logo4.gif (427 bytes)

arrow7.gif (1098 bytes)


පලතුරු පසු අස්‌වනු හානිය අවම කිරීමට නව තාක්‌ෂණයෙන් යෙදවුම් ද්විත්වයක්‌

තෝරාගත් පලතුරු වර්ග කිහිපයක පසු අස්‌වනු හානි හෙවත් වෙළෙඳ පොළ දක්‌වා පැමිණිමේ දී හා වෙළෙඳපොළේ දී සිදු වන අපතේ යැම් අවම කිරීම සඳහා සාර්ථක යෙදවුම් දෙකක්‌ හඳුන්වා දීමට කාර්මික තාක්‌ෂණ ආයතනය (ITI) සමත් ව සිටියි.

මින් එකක්‌, පලතුරු නෙළාගත් පසු, සිදු වන තෙතමන හානිය හා රෝග හානි වළක්‌වාලන ජෛව ඉටි ආලේපනයකි. අනෙක්‌ හඳුන්වා දීම වන්නේ වගා ක්‌ෂේත්‍රයේ දී ම යෙදිය හැකි, පලතුරුවල ගුණාත්මකභාවය රැකගනිමින් පෙර අස්‌වනු කාලය දීර්ඝ කිරීමට සමත් ද්‍රdවණයකි.

කාර්මික තාක්‌ෂණ ආයතනය 2012 වසරේ දී මේ සම්බන්ධ පර්යේෂණ කටයුතු ආරම්භ කර ඇත්තේ කැනේඩියානු ගෝලීය කටයුතු දෙපාර්තමේන්තුවේ කැනේඩියානු අන්තර්ජාතික සංවර්ධන පර්යේෂණ මධ්‍යස්‌ථානයේ මූල්‍යාධාර මත ක්‍රියාත්මක වන කැනේඩියානු ජාත්‍යන්තර ආහාර සුරක්‌ෂිතතා පර්යේෂණ අරමුදලේ අධාර යටතේ කැනේඩියානු ගුඑල්ෆ් විශ්වවිද්‍යාලයය, තමිල්නාඩු කෘෂිකර්ම විශ්වවිද්‍යාලය ඇතුළු සංවර්ධනය වෙමින් පවතින රටවල් තුනක පර්යේෂණ හා සංවර්ධන කටයුතු ආයතන අතර ඒකාබද්ධ ව්‍යාපෘතියක්‌ ලෙසිනි.

ශ්‍රී ලංකාවේ සිදු කෙරුණු පර්යේෂණ කටයුතු සඳහා රුපියල් මිලියන 94ක ප්‍රදානයක්‌ ලැබී තිබුණු අතර ව්‍යාපෘතිය නම් කර තිබුණේ 'නැනෝ තාක්‌ෂණය භාවිතයෙන් පලතුරු කල්තබාගැනීම වැඩිදියුණු කිරීම' නමිනි.

අධ්‍යයනය සඳහා අඹ, දෙහි, ගස්‌ලබු සහ තැඹිලි යන ඉහළ වෙළෙඳපොළ වටිනාකමක්‌ ඇති පලතුරු යොදාගන්නා ලදි. පර්යේෂණ කටයුතුවලින් පසු අස්‌වනු හානිය අවම කරන අතර උක්‌ත පලතුරු වර්ගවල දේශීය හා අපනයන වෙළෙඳපොළ වටිනාකම ඉහළ මට්‌ටමක පවත්වාගැනීම පිණිස ගුණාත්මකභාවය ඉහළ නැංවීම ද ඉලක්‌ක කරන ලදි.

නැනෝතාක්‌ෂණ යෙදවුමක්‌ ලෙස හඳුන්වා දී ඇති Hexanal නමැති ස්‌වාභාවික සංයෝගය (ද්‍රdවණය) මඟින් සිදු කෙරෙන්නේ පලතුරු ඉදීම පමා කිරීමයි. නැනෝතාක්‌ෂණය මඟින් Hexanal සංයෝගය පලතුරු තුළ නිදහස්‌ වන ප්‍රමාණය පාලනය කිරීම සිදු කෙරෙයි. මෙහි දී Hexanalවල ජෛව සුරක්‌ෂිතතාව පිළිබඳව ඉහළ අවධානයක්‌ යොමු කර ඇති අතර මේවා මිනිසුන්ට පමණක්‌ නො ව මීමැස්‌සන්ට, පළිබෝධ සතුරන්ට හා ගැඩවිලුන්ට ද හානිකර නො වන බව තහවුරු වී ඇත.

හඳුන්වා දී ඇති අනෙක්‌ තාක්‌ෂණික යෙදවුම වන ඉටි වර්ගය ආහාරයට ගත හැකි වීම විශේෂත්වයකි. එමඟින් පලතුරෙහි තෙතමන හානිය අඩු කරනවාට අමතර ව පසු අස්‌වනු රෝග හේතුවෙන් පලතුරට සිදු විය හැකි හානි ද වළක්‌වන බව පර්යේෂකයෝ පවසති.

මෙකී නිෂ්පාදන මෙරට පෞද්ගලික සමාගමක්‌ හරහා වෙළෙඳ පොළට නිකුත් කිරීමට ද මේ වන විට කටයුතු යොදා ඇත.