logo3.gif (702 bytes)

arrow7.gif (1098 bytes)


හේතු හඳුනා නො ගත් කාලික වකුගඩු රෝගීන් (CKDu) මුල් රෝගී අවධියේ දී ම නිවැරැදි ව හඳුනාගත හැකි වෛද්‍ය පරීක්‌ෂණයක්‌

ශ්‍රී ලාංකීය විද්‍යාඥයන් විසින් අප රට තුළ සිදු කරනු ලබන පර්යේෂණ පිළිබඳ තොරතුරු මහජනතාව අතර ප්‍රචලිත කිරීම අරමුණු කරගෙන මේ ලිපි පෙළ ඉදිරිපත් කෙරෙයි.

අප රටේ උතුරු මැද පළාත ගිලගෙන තිබෙන කාලික වකුගඩු රෝග මාරයා (CKDu) පිළිබඳ ඔබට අමුතුවෙන් විස්‌තර කළ යුතු නො වේ. තවමත් මේ ප්‍රදේශවල පැතිර යන මේ කාලික වකුගඩු අකරණයට මුල් වූ සැබෑ හේතුව තවමත් නිසි ආකාරයෙන් හඳුනාගෙන නැත. මේ රෝගය හේතු කොටගෙන දහස්‌ ගණනක්‌ රෝගීන් ඉතා දැඩි ලෙස පීඩා විඳිමින් සිටින අතර වසරකට මරණ දෙ දහසක්‌ පමණ අප රට තුළ සිදු වෙයි. මේ ආකාරයෙන් අධික මරණ සංඛ්‍යාවක්‌ සිදු වීමට එක්‌ හේතුවක්‌ ලෙස හේතු හඳුනා නො ගත් කාලික වකුගඩු අකරණිය මුල් අවස්‌ථාවේ දී ම හඳුනාගැනීමට අපොහොසත් වීම ලෙස දැක්‌විය හැකි ය. එයට හේතුව දැනට ශ්‍රී ලංකාව තුළ කාලික වකුගඩු රෝගීන් හඳුනාගැනීම සඳහා භාවිත කෙරෙන මුත්‍රා ප්‍රොaටීන පරීක්‌ෂාව සඳහා හේතු හඳුනා නො ගත් කාලික වකුගඩු රෝගීන් එම රෝගය වැළඳුණු මුල් අවස්‌ථාවල දී සංවේදී නො වීමයි. මේ හේතුවෙන් වකුගඩු රෝග පරීක්‌ෂාවේ දී ඔවුහු නිරෝගී රෝගීන් ලෙස සලකා ප්‍රතිකාර කිරීමෙන් බැහැර කෙරෙති. නැවත රෝගය ඉතා උත්සන්න වූ විට පමණි ඔවුන් වකුගඩු රෝගීන් බව හඳුනාගත හැකි වන්නේ. මෙය වර්තමානය වන විට අප රටේ කාලික වකුගඩු රෝගය ආශ්‍රිත ව පවතින දැවෙන ප්‍රශ්නයක්‌ වී තිබේ.

මේ කාලීන ප්‍රශ්නය හඳුනාගත් පේරාදෙණිය විශ්වවිද්‍යාලයයේ වකුගඩු රෝග ආශ්‍රිත පර්යේෂණ සහ පුහුණු මධ්‍යස්‌ථානයේ (Center for Research and Training on Kidney Diseases) විද්‍යාඥයෝ පිරිසක්‌ හේතු හඳුනා නො ගත් කාලික වකුගඩු රෝගීන් මුල් අවස්‌ථාවේ දී ම හඳුනාගැනීමට හැකි වන ලෙස වෛද්‍ය පරීක්‌ෂණයක්‌ සංවර්ධනය කිරීමට සමත් ව සිටිති.

මේ පර්යේෂණය සාර්ථක ව අන්තර්ජාතික ව ප්‍රකාශනයට පත් කළ සමන්ත ප්‍රභාත් රත්නායක මහතා මේ වන විට ශ්‍රී ලංකා නැනෝ තාක්‌ෂණ ආයතනයේ පර්යේෂණ විද්‍යාඥයකු වශයෙන් සේවය කරයි. ඔහු පාසල් අධ්‍යාපනය මහනුවර ධර්මරාජ විද්‍යාලයයෙන් ලබාගෙන පේරාදෙණිය විශ්වවිද්‍යාලයයෙන් විද්‍යාවේදී උපාධිය ලබා ඇත. ඉන් අනතුරු ව ස්‌වීඩනයේ දී විද්‍යාපති උපාධිය සම්පූර්ණ කොට නැවතත් අප රටට පැමිණ විවිධ ක්‌ෂේත්‍රයන් ආශ්‍රිත ව විද්‍යාත්මක පර්යේෂණ සිදු කරමින් සිටියි.

අප රට තුළ දැවෙන ප්‍රශ්නයක්‌ බවට පත් ව ඇති හඳුනා නො ගත් මූලයකින් ඇති වන කාලික වකුගඩු අකරණිය වැළඳී ඇති රෝගීන් මූලික අවස්‌ථාවේ දී හඳුනාගැනීමට යොදාගත හැකි වෛද්‍ය පරීක්‌ෂණයක්‌ ලෙස යොදාගත හැකි මේ පර්යේෂණය ආශ්‍රිත ව විදුසර විමසූ ප්‍රශ්නවලට සමන්ත රත්නායක මහතා පිළිතුරු දක්‌වා සිටියේ මේ අයුරෙනි.

මේ පර්යේෂණය සඳහා ඔබ යොමු වුණේ කෙසේ ද?

පාරිසරික රසායනය සම්බන්ධව විද්‍යාපති උපාධිය හැදෑරීමෙන් අනතුරු ව මා හට පාරිසරික ධූලක විද්‍යාව (Environmental Toxicology) සම්බන්ධව පර්යේෂණවල නිරත වීමට උනන්දුවක්‌ ඇති වුණා. එහි ප්‍රතිඵලයක්‌ ලෙස මම 2013 වසරේ දී කාලික වකුගඩු රෝගය ආශ්‍රිත ව පර්යේෂණ පවත්වන පේරාදෙණිය විශ්වවිද්‍යාලයයේ වෛද්‍ය විද්‍යා පීඨයේ වකුගඩු රෝග පර්යේෂණ කණ්‌ඩායම සමඟ සම්බන්ධ වුණා. එහි ප්‍රධාන පර්යේෂක (Principal Investigator) වකුගඩු රෝග සම්බන්ධ විශේෂඥ වෛද්‍ය නිශාන්ත නානායක්‌කාර සහ විශේෂඥ වෛද්‍ය තිලක්‌ අබේසේකර මහතා ගේ ප්‍රධානත්වයෙන් ඒ වන විටත් කාලික වකුගඩු රෝගය සම්බන්ධයෙන් පර්යේෂණ ගණනාවක්‌ සිදු කර අන්තර්ජාතික ව ප්‍රකාශයට පත් කර තිබුණා. මම මේ කණ්‌ඩායමට සම්බන්ධ වීමෙන් අනතුරු ව එම වෛද්‍යවරුන් ගේ මඟපෙන්වීම යටතේ හේතු හඳුනා නො ගත් කාලික වකුගඩු රෝගීන් රෝගයේ මූලික අවස්‌ථාවේ දී ම හඳුනාගැනීමේ හැකියාව ඇති පර්යේෂණ ක්‍රමවේදයන් සොයාගැනීම සඳහා අපේ අවධානය යොමු වුණා. මේ පර්යේෂණය සිදු කළ ඒකකය වර්තමානයේ දී පේරාදෙණිය විශ්වවිද්‍යාලීය වකුගඩු රෝග ආශ්‍රිත පර්යේෂණ සහ පුහුණු මධ්‍යස්‌ථානය (Center for Research and Training on Kidney Diseases) ලෙස ක්‍රියාත්මක වනවා.

කාලික වකුගඩු රෝගය (Chronic Kidney Diseases) සහ එහි ප්‍රභේද සම්බන්ධව අපට විස්‌තර කරන්න.

කාලික වකුගඩු රෝගය ලෝකයේ සුලබ ව හමු වන රෝගයක්‌. කාලයත් සමඟ ක්‍රමානුකූලව වකුගඩුවල ක්‍රියාකාරීත්වය දුර්වල වීම මෙහි දී සිදු වනවා. මෙහි අවසාන ප්‍රතිඵලය වන්නේ වකුගඩු සම්පූර්ණයෙන් ම අක්‍රීය වීම වන අතර නිසි ප්‍රතිකාර නො කිරීම නිසා මරණය සිදු විය හැකියි.



ලොව පුරා සුලබ ලෙස හමු වන කාලික වකුගඩු රෝගය මූලික වශයෙන් ම ඇති වන්නේ පාලනය නො කරන ලද දියවැඩියාව සහ අධි රුධිර පීඩනය නිසා වකුගඩුවේ ලේ පිරිසිදු කිරීමේ ක්‍රියාවලිය සිදු කරන ගුච්කාවට හානි සිදු වීමෙන්. ශ්‍රී ලංකාවේ මීට පෙර වකුගඩු අකරණිය වන ප්‍රධාන සාධකය ලෙස පැවතුණේ මේ දියවැඩියාව සහ අධි රුධිර පීඩනය නිසා ඇති වන වකුගඩු හානියයි. අනූව දශකයේ දී ශ්‍රී ලංකාවේ වියළි කලාපයෙන් වාර්තා වන වකුගඩු රෝගීන් ප්‍රමාණය ඉහළ යැම නිසා ඒ පිළිබඳ ව විමර්ශනය කිරීමට වෛද්‍යවරුන් පෙලඹුණා. ඒ අනුව දිවයිනේ වියළි කලාපයේ ව්‍යාප්ත වෙමින් පැවතුණ වෙනස්‌ ආකාරයක වකුගඩු රෝගයක්‌ හඳුනාගනු ලැබුණා. පාලනය නො කළ දියවැඩියාව හා අධි රුධිර පීඩනය මෙයට සම්බන්ධයක්‌ නො තිබූ නමුත් රෝග ලක්‌ෂණවලින් සමාන මේ රෝගයට හේතු වන නිශ්චිත සාධකයක්‌ එවකට හඳුනාගැනීමට නො හැකි වීම නිසා එය හේතු හඳුනා නො ගත් කාලික වකුගඩු අකරණිය ලෙස නම් කෙරුණා.

දැනට කාලික වකුගඩු රෝගය හඳුනාගැනීම සඳහා යොදාගන්නා වෛද්‍ය පරීක්‌ෂණ මොනවා ද?

දැනට කාලික වකුගඩු රෝගීන් නිරෝගී පුද්ගලයන් ගෙන් වෙන් කර හඳුනාගැනීම සඳහා මූලිකව භාවිත වන වෛද්‍ය පරීක්‌ෂණය නම් මුත්‍රා ප්‍රොaටීන පරීක්‌ෂාවයි (Dipstick Proteinuria). ප්‍රොaටීන සාන්ද්‍රණය අනුව වර්ණය වෙනස්‌ වන රසායනික සංයෝගයක්‌ අඩංගු පටියක්‌ මෙහි දී ප්‍රයෝජනයට ගන්නවා. මෙය ගුණාත්මක පරීක්‌ෂාවක්‌ වන අතර දැනට මෙය භාවිත කිරීමට ප්‍රධාන හේතූන් වන්නේ එහි ඇති පහසුව, ක්‌ෂණික ව ප්‍රතිඵලය කියවීමේ හැකියාව සහ අඩු වියදමයි. මේ පරීක්‌ෂාවට අමතර ව ක්‍රියෑටිනින් නම් සංයෝගය සඳහා විද්‍යාගාර පරීක්‌ෂාවක්‌ සිදු කිරීම මඟින් වකුගඩු ක්‍රියාකාරීත්වය පිළිබඳ වැඩිදුර තක්‌සේරුවක්‌ ලබාගත හැකියි.

එම වෛද්‍ය පර්යේෂණවල ඇති අඩුපාඩු මොනවා ද සහ නව වෛද්‍ය පර්යේෂණවල ඇති අවශ්‍යතාව කවර ආකාරයි ද?

මුත්‍රා ප්‍රොaටීන පරීක්‌ෂා කිරීමේ පටිය දැනට බහුල ව භාවිත වන ක්‍රමය වුවත් රෝගියා හට වැළඳී තිබෙන කාලික වකුගඩු රෝගයේ ස්‌වරූපය අනුව එම පරීක්‌ෂාවෙන් ලබා දෙන නිගමනයේ නිරවද්‍යතාව වෙනස්‌ විය හැකියි. උදාහරණ ලෙස දියවැඩියාව සහ අධි රුධිර පීඩනය නිසා හටගත් කාලික වකුගඩු රෝගයේ දී මුත්‍රාවල පවතින ප්‍රොaටීන ප්‍රමාණය අධිකයි. එබැවින් එවැනි රෝගීන් ප්‍රොaටීන පරීක්‌ෂාවකින් පහසුවෙන් හඳුනාගත හැකියි. ගැටලුව වන්නේ හේතු හඳුනා නො ගත් කාලික වකුගඩු රෝගයේ දී පිට වන මුත්‍රා ප්‍රොaටීන සාන්ද්‍රණය ඉතා අවම වීමයි. මේ නිසා මූලික හඳුනාගැනීමේ පරීක්‌ෂණයේ දී ම හේතු හඳුනා නො ගත් කාලික වකුගඩු රෝගීන් මුත්‍රාවල ප්‍රොaටීන නොමැති නිරෝගී පුද්ගලයන් ලෙස හඳුනාගැනීමට ඉඩකඩ තිබෙනවා. මෙවැනි රෝගීන් පසුව සම්පූර්ණ වකුගඩු අකරණියට ලක්‌ ව මිය යැමේ අවදානම අධිකයි. මේ හේතුව නිසා හේතු හඳුනා නො ගත් කාලික වකුගඩු රෝගීන් නිවැරැදි ව හඳුනාගැනීමේ ක්‍රමවේදයක්‌ සෙවීමට අපි උනන්දු වුණා.

මේ වාතාවරණය තුළ ඔබ පර්යේෂණ කණ්‌ඩායමේ අරමුණ වූයේ කුමක්‌ ද?

දියවැඩියාව සහ අධි රුධිර පීඩනය හේතු කොටගෙන හටගන්නා කාලික වකුගඩු රෝගය පිළිබඳව ලොව පුරා පර්යේෂණ ගණනාවක්‌ සිදු කර තිබෙනවා. එම වකුගඩු රෝගීන් හඳුනාගැනීම සඳහා භාවිත කළ හැකි පර්යේෂණ ක්‍රමවේද ගණනාවක්‌ දැනට සොයාගෙන තිබෙනවා. අපට අවශ්‍ය වූයේ ශ්‍රී ලංකාවේ බහුල, හේතු හඳුනා නො ගත් කාලික වකුගඩු රෝගීන් හඳුනාගැනීම සඳහා දැනට ලෝකයේ පවතින වකුගඩු ක්‍රියාකාරීත්වයට අදාළ ජෛව හැඳුනුම්කාරක (Biomarkers) සංයෝගවල යෝග්‍ය බව නිර්ණය කරගැනීමයි. රුධිරගත ක්‍රියෑටිනින් (Serum Creatinine) මට්‌ටම, රුධිරගත සිස්‌ටැටින් (Serum Cystatin C) මට්‌ටම සහ මුත්‍රාවල ඇල්බියුමින්/ක්‍රියෑටනින් අනුපාතය යන නිර්ණායකයන් මේ ක්‍රියාවලියේ දී අප අධ්‍යයනය කරන මූලික සාධක ලෙස පත් කරගත්තා. අප ගේ අවසන් අරමුණ වූයේ මේ දර්ශක තුන අතරින් එකක්‌ හෝ යුග්මයක්‌ හෝ එක වර භාවිත කරමින් හෝ හේතූ හඳුනා නො ගත් කාලික වකුගඩු රෝගීන් නිරෝගී පුද්ගලයන් ගෙන් වෙන් කරගැනීමයි.

මේ පර්යේෂණය සැලසුම් කළ සහ දියත් කළ ආකාරය අපට පැහැදිලි කරන්න.

පර්යේෂණය සැලසුම් කිරීමේ දී අප මුලින් ම සිදු කළේ රෝගීන් සහ නිරෝගී පුද්ගලයන් තෝරාගැනීම සඳහා සුදුසු ප්‍රදේශ නිර්ණය කරගැනීමයි. දැනට ලංකාවේ පවතින හඳුනා නො ගත් කාලික වකුගඩු රෝගය බහුල ප්‍රදේශ අතර ගිරාඳුරුකෝට්‌ටේ ප්‍රදේශයෙන් රෝගයේ ඉහළ ව්‍යාප්තියක්‌ වාර්තා වනවා. ගිරාඳුරුකෝට්‌ටේ රජයේ රෝහලේ වකුගඩු රෝග සායනයෙහි ප්‍රතිකාර ලබන රෝගීන් මේ පර්යේෂණය සඳහා තෝරාගනු ලැබුවා. ඊට අමතර ව එම ප්‍රදේශයේ ම රෝග ලක්‌ෂණ නො පෙන්වන නිරෝගී පුද්ගලයන් වත් තෝරාගනු ලැබුවා. මේ වකුගඩු රෝගය දක්‌නට නො ලැබෙන මාතලේ රත්තොට ප්‍රදේශයෙන් ද තවත් පුද්ගලයන් කණ්‌ඩායමක්‌ තෝරාගත්තා. එලෙස තෝරාගත් සියලු ම පුද්ගලයන්ගේ ලේ සහ මුත්‍රා නියෑඳි ලබාගෙන අපට නිර්ණය කිරීමට අවශ්‍ය වූ ජෛව හැඳුනුම්කාරක සංයෝග සඳහා පර්යේෂණ කරනු ලැබුවා. හේතු හඳුනා නො ගත් කාලික වකුගඩු රෝගීන් සහ රෝගය බහුල ප්‍රදේශයකින් තෝරාගත් නිරෝගී පුද්ගලයන් ගේ ප්‍රතිඵල සංසන්දනය කෙරුණු අතර ඒවා රෝගය ව්‍යාප්ත නො වූ ප්‍රදේශවල තෝරාගත් පුද්ගලයන් ගේ ප්‍රතිඵල සමඟ ද සංසන්දනය කරනු ලැබුවා. මේ සඳහා Receiver Operating Characteristics නම් සංඛ්‍යාන විද්‍යා උපක්‍රමය භාවිත කරනු ලැබුවා. මේ පර්යේෂණය සැලසුම් කිරීමේ දී සංඛ්‍යාන මූලධර්ම පදනම් කරගනිමින් පුද්ගල නියෑදි සකසාගැනීමට අවශ්‍ය උපදෙස්‌ පේරාදෙණිය විශ්වවිද්‍යාලයයේ වෛද්‍ය පීඨයේ මහාචාර්ය රංජිත් කුමාරසිරි මහතා ලබා දුන් අතර රෝගීන් ගේ වකුගඩු පටක නියෑඳි විශ්ලේෂණය හා ව්‍යාධිවේදී දත්ත ලබා දීම මහාචාර්ය නීලකාන්ති රත්නතුංග මහත්මිය විසින් සිදු කරනු ලැබුවා. දත්ත විශ්ලේෂණය සහ එක්‌රැස්‌ කිරීම සඳහා අප පර්යේෂණ කණ්‌ඩායමේ වෛද්‍ය සෙයිද් බදුර්දීන් මහතා මහඟු දායකත්වයක්‌ ලබා දුන්නා.

මේ අධ්‍යයනයෙන් හෙළි වූ වැදගත් කරුණු මොනවා ද?

දියවැඩියාව හෝ අධි රුධිර පීඩනය හෝ නිසා ඇති වන කාලික වකුගඩු අකරණිය හා ශ්‍රී ලංකාවේ වියළි කලාපයේ පවතින හේතු හඳුනා නො ගත් කාලික වකුගඩු රෝග අකරණිය රෝග ලක්‌ෂණවලින් සමාන වුවත් ව්‍යාධිවේදී වශයෙන් සහ අභ්‍යන්තර ව වෙනස්‌ බව නැවතත් තහවුරු වුණා. ඒ සමඟින් මේ දෙආකාර වූ වකුගඩු රෝග සඳහා එක ම ප්‍රොaටීන් පර්යේෂණය සිදු කිරීමෙන් සාමාන්‍ය වකුගඩු රෝගීන් වැඩි ප්‍රතිශතයක්‌ හඳුනාගැනීමට ලක්‌ වන අතර බහුතරයක්‌ හේතු හඳුනා නො ගත් වකුගඩු රෝගීන් මඟහැරීමට ලක්‌ වනවා. මේ පර්යේෂණයේ දී භාවිත කළ ක්‍රියෑටිනින් හා සිස්‌ටැටින් C යන සංඝටක ප්‍රොaටීන් පරීක්‌ෂාව වෙනුවට යෙදුවේ නම් මඟහැරීමට ලක්‌ වන බහුතරයක්‌ රෝගීන් රෝගය දරුණු අවස්‌ථාවට පත් වීමට පෙර හඳුනාගැනීමේ හැකියාව පවතිනවා. අප භාවිත කළ නිර්ණායක අතර සිස්‌ටැටින් C සංයෝගය ඉතා සාර්ථක ලෙස රෝගීන් වෙන් කර දැක්‌වීමට සමත් වුණා. රුධිරගත ක්‍රියෑටිනින් පරීක්‌ෂාව ද ඉහළ නිරවද්‍යතාවකින් රෝගීන් හඳුනාගැනීමේ හැකියාවක්‌ පෙන්නුම් කරනු ලැබුවා. සාමාන්‍ය වකුගඩු රෝගීන් සහ හේතු හඳුනා නො ගත් වකුගඩු රෝගීන් වෙන් කර හඳුනාගැනීමේ දී ඇල්බියුමින්/ක්‍රියෑටිනින් අනුපාතය ඉහළ නිරවද්‍යතාවකින් මේ කොට්‌ඨාශ දෙක ම වෙන් කර දැක්‌වීමේ හැකියාවක්‌ පෙන්නුම් කරනු ලැබුවා.

පර්යේෂණවල නිරත වෙද්දී ඔබ මුහුණ දුන් අභියෝග සහ ඒවා ජයගත්තේ කෙසේ ද?

මේ පර්යේෂණය සිදු කිරීමේ දී මතු වූ ප්‍රධාන බාධකය අවශ්‍ය තරම් තහවුරු කරන ලද, හේතු හඳුනා නො ගත් වකුගඩු රෝගීන් ප්‍රමාණයක්‌ සොයාගැනීමට නො හැකි වීමයි. දැනට හේතු හඳුනා නො ගත් වකුගඩු රෝගය බවට ස්‌ථර ව නිර්ණය කරගත හැක්‌කේ වකුගඩු පටක පරීක්‌ෂාවකින් පමණයි. එය වේදනාකාරී ක්‍රියාවලියක්‌ බැවින් බොහෝ දෙනා එය සිදු කිරීමට මැළිකමක්‌ දක්‌වනවා. අප පරීක්‌ෂණය කාන්තාවන් සහ පිරිමින් යන දෙපාර්ශ්වය ම සඳහා සැලසුම් කළත් රෝගී කාන්තාවන් 4ක්‌ පමණක්‌ සිටීම හේතුවෙන් කාන්තාවන් ඉවත් කර පිරිමි පුද්ගලයන් සඳහා පමණක්‌ පරීක්‌ෂණය සිදු කිරීමට අවසානයේ සිදු වුණා. ඊට අමතර ව වකුගඩු රෝගය වැළඳීමෙන් පසුව අධි රුධිර පීඩනයට ප්‍රතිකාර ගත් රෝගීන් ගේ පරීක්‌ෂණ ප්‍රතිඵල වෙනස්‌ වීමේ හැකියාවක්‌ තිබූ අතර එවැනි රෝගීන් ප්‍රථමයෙන් හඳුනාගැනීම සඳහා අවශ්‍ය තොරතුරු සොයාගැනීම ඉතා දුෂ්කර වුණා. එනමුත් ඉතා වෙහෙසකර ක්‍රියාවලියකින් අනතුරුව නිවැරැදි දත්ත සපයාගත හැකි රෝගීන් හා නිරෝගී පුද්ගලයන් කණ්‌ඩායම් තෝරාගැනීමට හැකි වුණා.

පර්යේෂණවල නිරත වෙද්දී ඔබට සහාය දැක්‌වූ තවත් පිරිස්‌ සිටිනවා ඇති.

ඇත්ත වශයෙන් ම ඔව්. මේ පර්යේෂණය සිදු කිරීමට සහාය ලබා දුන් වෛද්‍ය ප්‍රභාත් ගොඩමුදුනගේ සහ වෛද්‍ය රවිඳු මාතරආරච්චි යන දෙපළටත් ගිරාඳුරුකෝට්‌ටේ දිසා රෝහලේ වෛද්‍ය නිලධාරී ලිශාන්ත ගුණරත්න ඇතුළු එම කාර්ය මණ්‌ඩලය ස්‌තූතිපූර්වක ව සිහිපත් කිරීමට කැමතියි. එමෙන් ම පර්යේෂණය සඳහා මූල්‍යමය ප්‍රතිපාදන සැපයූ සෞඛ්‍ය අමාත්‍යංශයටත් අප ගේ ගෞරව පූර්වක ස්‌තූතිය පිරිනමනවා.

ශ්‍රී ලංකාව තුළ කාලික වකුගඩු රෝගයට ප්‍රතිකාර කිරීමේ දී මේ පර්යේෂණයේ සොයාගැනීම් භාවිත කළ හැක්‌කේ කෙසේ ද?

සෞඛ්‍ය අමාත්‍යංශයේ මූල්‍යාධාර මත සිදු කරන ලද මේ පරීක්‌ෂණයේ ප්‍රතිඵල සහ නිර්දේශ අප සෞඛ්‍ය අමාත්‍යංශය වෙත ලබා දී තිබෙනවා. ශ්‍රී ලංකාවේ වියළි කලාපයේ හේතු හඳුනා නො ගත් වකුගඩු රෝගය පැතිර පවතින ප්‍රදේශවල ජීවත් වන රෝගීන් හඳුනාගැනීම සඳහා සරල ප්‍රොaටීන් පරීක්‌ෂාව සුදුසු වන්නේ නැහැ. ඒ වෙනුවට අප නිර්දේශ කරන්නේ රුධිරගත ක්‍රියෑටිනින් මට්‌ටම සහ මුත්‍රා ප්‍රොaටීන්/ක්‍රියෑටිනින් අනුපාතය යන දර්ශක ඒකාබද්ධ මිනුම් දණ්‌ඩක්‌ ලෙස යෙදීම සුදුසු බවයි. රුධිරගත සිස්‌ටැටින් C මට්‌ටම ඉතා සාර්ථක දර්ශකයක්‌ වුවත් මිල අධික බැවින් ආර්ථික වශයෙන් එය ඵලදායී නැහැ.

අප රට තුළ ඔඩු දුවා ඇති ජාතික ප්‍රශ්නයක්‌ වන වකුගඩු රෝගය ආශ්‍රිත ගැටලු සඳහා අප විද්‍යාඥයන් ම පිළියම් සෙවීමට ඉදිරිපත් වීම අතිශයින් අගය කළ යුතු කරුණකි. ඉදිරියේ දී කාලික වකුගඩු රෝගීන් හඳුනාගැනීමේ වෛද්‍ය පරීක්‌ෂණවලට යොමු කරද්දී මේ විද්‍යාඥයන් විසින් හඳුන්වා දුන් වෛද්‍ය පරීක්‌ෂණය යොදාගත හැකි නම් ඉතා අවාසනාවන්ත ලෙස හේතු හඳුනා නො ගත් කාලික වකුගඩු රෝගයෙන් මිය යන සංඛ්‍යාව පහත හෙළීමට අනිවාර්යයෙන් ම හැකි වනු ඇත. මෙවන් පර්යේෂණ ඉදිරියටත් පවත්වාගෙන යමින් අප රට තුළින් හේතු හඳුනා නො ගත් කාලික වකුගඩු රෝගය තුරන් කිරීමට දායක වීමට මේ පර්යේෂක කණ්‌ඩායමට හැකි වේ යෑයි අපි බලාපොරොත්තු වෙමු.

මාධවී ද සිල්වා