logo3.gif (702 bytes)

arrow7.gif (1098 bytes)


ලුණු වතුර බොන කළුතර වැසියෝ

ශ්‍රී ලංකාවේ ප්‍රධානතම හා විශාලතම ගංගාව මහවැලි ගග වුව ද රට අභ්‍යන්තරයේ සිට විශාලතම ජල කදක්‌ මහ සයුර වෙත ගෙන යනු ලබන ගංගාව වන්නේ කළු ගගයි. ශ්‍රී ලංකාවේ තෙත් කලාපීය භූමි දර්ශයක්‌ වටා වර්ග කිලෝමීටර 2720ක්‌ පුරා පැතිරෙන කළුගඟ කිලෝමීටර 129ක්‌ ඔස්‌සේ දිව විත් ලක්‌දිව විශාලතම ජල ප්‍රවාහය ලෙස සයුරට මුදාහරියි. ශ්‍රීපාද රක්‍ෂිතයෙන් ඇරඹෙන කළු ගග සිංහරාජ වනයෙන් ද මනා ලෙස පෝෂණය ලැබීම මීට හේතුව වේ.

මේ මහා ජල ධාරිතාව නිසා ම කළු ගග සම්පත් රැසකට තෝතැන්නක්‌ වෙයි. මින් ප්‍රධානතම වන්නේ වර්ෂයකට දෙවරක්‌ පමණ පැමිණෙන මහා ගංවතුර තත්ත්වයයි. එහෙත් වැරැදි භූමි කළමනාකරණ ක්‍රමවේද නිසා මිනිසා විසින් එම ගංවතුර දැනටමත් මහා සාපයක්‌ කරගෙන අවසාන ය. දෙවැන්න ඒ සමග පැමිණෙන වැලි කදයි. ගොඩනැගිලි ද්‍රව්‍යයක්‌ ලෙස නිරතුරු ව භාවිත කළ හැකි ව තිබුණ මේ වැලි සම්පත අත්තනෝමතික පරිභෝජනය විසින් මහා විනාශයක්‌ බවට පත් කරගනු ලැබ ඇති බව ද නොරහසකි. අනෙක්‌ ඉතා වටිනා ම සම්පත ගෙග් ඉවුරේ ඇති ශාක ප්‍රජාවයි. තෙත් වැසි වනන්තරයන්හි නොඉදුල් ගුණයෙන් ඇරඹෙන මේ ගං ඉවුරු වෙරළබඩ කලපු ආශ්‍රිsත කඩොලාන වනාන්තර හා පද්ධතියකින් අවසන් වෙයි. එහෙත් අද වන විට මේ කළු ගං ඉවුරු තේ වතු, රබර් වතු, කර්මාන්ත අප ජල කටවල් මෙන්ම හෝටල්වලින් විකෘත වී ඇත. තවත් ඉතිරි ව ඇත්තේ එහි ගලා යන ජලය පමණි. එය ද තෙයාකාරයකින් දූෂණය වී ඇත. ඉන් ප්‍රධානතම දූෂ්‍යකාරකය වන්නේ කළු ගං ෙද්‍රdaණියේ ඇති තේ ඉඩම්වලට යොදන කෘෂි රසායනයන් ය. දෙවැන්න කළු ගග දෙපස ඇති විවිධ කර්මාන්තශාලාවලින් හා නාගරික ප්‍රදේශවලින් පිට කරන අප ජලයයි. තෙවැන්න කලකට කළු ගං මෝය කට තුළින් රට තුළට වදිනා ලවණ ජලය ය.

මෙයින් පළමු කාරුණු දෙක ම පාලනය කළ නො හැකි තරම් ඉහළ වේගයකින් කළු ගං ජලයට බලපෑම් ඇති කරන නමුත් එය අදිසි මාරකයක්‌ සේ ගං දිය සමග මුහුදට ගලා යයි. එහෙත් මහා සමුද්‍රයේ ජලය උඩු ගං බලා යැම සොබාදහම කිසිසේත් බලාපොරොත්තු නො වූ, සොබාදහම කිසිසේත් සැලසුම් නො කළ කාරණයකි. එහෙත් එය අද සිදු වෙයි. මේ නිසා ඇති වන පාරිසරික බලපෑම පමණක්‌ නො ව සමාජ බලපෑම ද සුළුපටු නො වේ.

කළු ගග ආශ්‍රිත ව ජීවත් වන ජනතාව ගේ ප්‍රධාන පානීය ජල මූලාශ්‍රය වන්නේ කළු ගගයි. ශ්‍රී ලංකා ජල සම්පාදන හා ජලාපවහන මණ්‌ඩලය මගින් ජනතාව ගෙන් මුදල් ගෙන කළු ගෙග් ජලය සිය නිවෙස්‌ කරා එවන්නේ මනා පිරිපහදුවකින් අනතුරු ව බව පැවසුවත්, ළිංවල ද ජලය සිදී යන නියං කාලවල දී ඒ නළ ජලය සමග නිවෙස්‌ කරා එන්නේ ලුණු ජලයයි. ඊට බලපාන හේතු

රැසක්‌ ඇති නමුත් මේ උවදුර තවදුරටත් මහත් ඛේදවාචකයක්‌ නො වී කළමනාකරණය කරගැනීමට බලධාරීන් අපොහොසත් වීම සැබැවින් ම කණගාටුවට කරුණකි.

සැබැවින් ම කළු ගෙග් ජලයට ලවණ ජලය මුසු වීමට හේතු වන කාරණා එකින් එක විග්‍රහ කිරීම වැදගත් වෙයි.

මෙහි මූලික ම හේතුව වන්නේ ගෝලීය දේශගුණ අර්බුද හමුවේ වර්ෂාපතන රටාවේ ඇති වී තිබෙන අසාමාන්‍යතාවයි. දිගු නියං කාල හා කෙටි මහා වැසි සමයන් නිසා සමස්‌ත ධරණි තලයේ ඇති ලතෙත් බව දැන් බොහෝ විට තුරන් වී ගොසිනි. ඒ නිසා සති කිහිපයක වැසි නැති බව බොහෝ විට දැඩි නියගයක්‌ අපට සිහිගන්වයි. ඒ නිසා ගංගා ජලයේ පහළ යැම ඉතා ම ඉක්‌මනින් සිදු වේ.

දෙවැනි හේතුව වන්නේ අධික ලෙස වැලි ගොඩදැමීම නිසා ගං පතුල මහා සමුද්‍රයේ ජල තලයට වඩා පහත් වීමයි. ඒ නිසා සාපේක්‍ෂ ව බරෙන් වැඩි ලවණ ජලය ගංගාවේ මේ ගැඹුරු ස්‌ථානවලට ගං පත්ල ඔස්‌සේ ගලා එයි. ඒ නිසා සිදු වන්නේ නිරන්තර ව මිරිදිය හා කරදිය ගං මෝයේ දී නො ව ගෙග් ඉහළ ස්‌ථානයක දී ම මිශ්‍ර වීමට පටන් ගැන්මයි. මේ නිසා ගංගාශ්‍රිත ව ජීවත් වන මත්ස්‍ය ප්‍රජාවට, ගං ඉවුරුවල ඇති ශාක ප්‍රජාවට ඇති කරනුයේ අහිතකර බලපෑමකි.

අධික වර්ෂාපතනයත් සමග ම ගංවතුර තත්ත්වයක්‌ ඇති වීම ස්‌වාභාවික ය. ගංවතුර සොබාදහමේ අවශ්‍යතාවකි. ගංවතුරෙන් යට වන ප්‍රදේශ ජනතාව සිය වාසභූමි කරගත් විට ගංවතුර කාලයට ඔවුනට ගංවතුරෙන් පීඩා විදීමට සිදුවීම අමුතු කරුණක්‌ නො වේ. අවුල ඇත්තේ ගංවතුරේ නො ව වැරැදි භූමි කළමනාකරණ ක්‍රමයන්හි ය. කොරේ පිටට මරේ මෙන් එවැනි ගංවතුර සමයන්හි දී දින කිහිපයක පීඩාව ඉවසාගනු නො හී වසර ගණනාවක්‌ හෙමින් සැරේ ඉදි වුණ වැලි පරය බර යන්ත්‍ර යොදාගෙන බලධරයන් විසින් බිද දැමෙනුයේ චණ්‌ඩ වූ ගං දියට ක්‍ෂණික ප්‍රතිචාර දක්‌වන්නට ය. ඉන් මතු වන විපත්තියේ තරම නො දත් මේ අඥන බලධරයන්ට එමඟින් බිඳ දමනුයේ සොබාදහම විසින් එහි තිර පැවැත්ම උදෙසා ඉදි කළ මහා පවුරක්‌ බව පසක්‌ වනුයේ ඉන් පසු එන නියං සමයේ ය.

නියං සමය පැමිණි විට ගං දියේ ජල පීඩනයට වඩා මුහුදු දියේ ජල පීඩනය වැඩි වූ විට මුහුදු ජලය සමග එන වැලි ගං ජල තලයේ වැදී නවතී. එ මගින් එකතු වන වැලි මගින් වැලි පරයක්‌ ඇති වෙයි. මේ වැලි පරය විසින් ගං දියේ මිරිදියත් මුහුදේ කරදියත් මුසු වීම වළක්‌වාලයි. එහෙත් ගංවතුර මර්දනය පිණිස වැලි පර කඩා බිද දැමීම මඟින් සිදු වනුයේ නැවත ක්‌ෂණික ව පුනරුත්ථාපනය කළ නොහැකි ලෙස, සොබාදහමට දරාගත නොහැකි ලෙස නැවත වැලි පරයක්‌ ඉදි වීමේ හැකියාව අහිමි වී යැමයි. එ විට චණ්‌ඩ රළ පෙළ කෙළින් ම ගංදිය සමග රට තුළට ඇතුළු වන්නේ උගත්, බලවත්, බලධාරීන් ගේ අමන තීරණවල රෞද්‍ර ප්‍රතිඵල මොනවාට පසක්‌ කරමිනි.

එහෙත් ඉන් පීඩනයට පත් වන්නේ මේ තකතීරු තීරණ ගත් අතළොස්‌සක්‌ වූ බලධාරීන් පමණක්‌ නො වේ. සමස්‌ත ප්‍රජාව ම ය. අද උපන් කිරි කැටියා ගේ සිට මිය යන මහල්ලා දක්‌වා ඉන් පීඩා විදිති. ඒ එම කරදිය මිශ්‍ර ජලය ජල නළ මගින් ගෙයින් ගෙට මුදලට විකුණන කල්හි ය. යන්තම් නියං සමය පටන් ගන්නවාත් සමග ම ලුණු මිශ්‍ර ජලය නළ මගින් පැමිණීම දැන් කළුතර ඇත්තන්ට සුලබ අත්දැකීමකි. මේ අත්දැකීම අහම්බයක්‌ නො වන අතර ම ඊයේ පෙරේදා ඇති වු තත්ත්වයක්‌ ද නො වේ. දැන් දශකයකටත් වඩා කාලයක්‌ මේ සිදු වීම එසේ ම සිදු වෙයි.

මේ සදහා විකල්ප කවරේ ද?

ගංගා ආශ්‍රිත ව දැනට විනාශ වී ඇති ගංගාධාර වනාන්තර පද්ධතිය නැවත සංරක්‌ෂණය කිරීම ඉහළ ජලාධාරවල වනාන්තර විනාශය හා තේ වගාවේ ව්‍යාප්තිය පාලනය කිරීම, වෙරළබඩ මෝය ආශ්‍රිත ව ඉදි වන ස්‌වාභාවික වැලි වැටිය තහවුරු කරගැනීම වැදගත් වේ. ඒ අතර වඩාත් ඉක්‌මනින් ප්‍රායෝගික විසඳුමක්‌ ලෙස පිරිපහදුවට ජලය ලබාගනු ලබන ස්‌ථානය තෙඹුවන ප්‍රදේශයෙන් ඉවත් කොට ඊට වඩා ඉහළ තැනකින් ලබාගැනීමයි.

කෙසේ වෙතත් වඩාත් ප්‍රායෝගික විසඳුම වන්නේ කරදිය බාධකයක්‌ කළුගඟ හරහා ඉදි කිරීම ය. එහෙත් මේ විකල්පය නිසි තාක්‌ෂණික පදනමක්‌ යටතේ සිදු කළ යුතු ය. ඉන් සැලසෙන සෙත හා සෞඛ්‍ය ගුණය අතින් සලකන කල එය කිසිසේත් ම අසාර්ථක ආයෝජනයක්‌ නො වනු ඇත.

වතුර ගන්නා තැන වෙනස්‌ කිරීමට අමතර ව තවත් කළ යුතු වන්නේ ස්‌වාභාවික ව ඇති වන වැලි වැටිය තහවුරු කරගැනීමයි. වරාය නගරය ඉදි කිරීමට වියදම් කරන සම්පත් දෙස බැලූ විට මේ නොමිලයේ සොබාදහම විසින් ඉදි කර දෙනු ලබන වැලි වැටිය රැකගැනීමට අප අදක්‍ෂ වීම සැබැවින් ම කණගාටුවට කරුණකි. කළ යුත්තේ සොබාවික ව මතු වන වැලි වැටිය තහවුරු කරගැනීම පමණකි. එය සැම අතින් ම හොද ආරක්‍ෂකයෙකි. එය නො තිබුණා නම් සුනාමි වැනි විපත් අවස්‌ථාවන්වල දී අතිශය බිහිසුණු විනාශයක්‌ වන්නට ද ඉඩ තිබිණි.

ස්‌වාභාවිකව මෝය කටේ ඉදි වන වැලි වැටිය

රැකගැනීම නො සලකා හැර, පායන කාලයේ ගග හරහා වැලි කොට්‌ට යොදා වැටි සෑදීම බලධරයන් මීට පෙර කර ඇත. එවැනි ක්‍රියාවන් අපේ ජන වහරේ හදුන්වන්නේ 'අතීසාරයට අමුඩ ගැසීම' ලෙස ය. ඊළග ගංවතුර සමග ඒ සියලු වියදම්, සම්පත් විනාශ කර ඒ වියදම් ජල බිලට එකතු කර ජනතාව තව තවත් පෙළීම වෙනුවට ජල බලධාරීන් වෘත්තීය හා විද්‍යාත්මක කෝණයකින් මේ ගැටලුව දෙස බැලිය යුතු කාලය පැමිණ ඇත.

ලුණු වතුර පානය කිරීම අයහපත් ප්‍රතිඵල රැසක්‌ අප වෙත ළගා කර දීමට සමත් වෙයි

ශරීරය විජලනය වීම.

ක්‌ලාන්ත ගතිය ඇති විම.

මොළයට හානි වීම සහ මරණය එහි අවසන් ප්‍රතිඵලයන් ය.

මේ ආබාධ ගෙන දෙන්නේ 100%ක්‌ ලුණු වතුර පානය කිරීම නිසා ය. අවශ්‍ය තරමට වඩා ලුණු රසයක්‌ ජලයේ දැනේ නම් එය පරිභෝජනයට සුදුසු වන්නේ නැත. ඊට හේතුව අපට ලුණු රස අමිහිරි ව දැනීම නිසැක ව ම එම ආහාරයෙන් අපව ඈත් කිරීමට සොබාදහම දෙන සංඥවක්‌ බැවිනි. අප ගෙදරදොරේ පාවිච්චියට ගන්නා මේස ලුණු වතුර ද්‍රdවණයේ සංයුතියත්, මුහුදු වතුර ද්‍රdවණයක සංයුතියත් එකිනෙකට සමාන නො වේ. සැබැවින් ම ලවණ වර්ග රැසක්‌ මුහුදු ජලයේ පවතියි. අපේ ලේ පවා ලුණු රසයෙන් යුක්‌ත ය. සිරුරට ලුණු අවශ්‍ය බවට තර්කයක්‌ නැත. එහෙත් ඕනෑ ම දෙයක්‌ ඕනෑවට වඩා වුවමනා නැත. ලුණු වතුර බොනු වෙනුවට ආහාර රසවත් කිරීම මගින් අපි ශරීරයට ලුණු ඇතුළු කරගන්නෙමු. ඒ ස්‌වාභාවිකව දිවට සංවේදි වන ප්‍රමාණයට පමණි. සාමාන්‍යයෙන් නිරෝගි, වැඩුණු අයෙකු දිනකට ලුණු 5 ටක්‌ පමණ ආහාරයට ගැනීම ඔහු ගේ හෝ ඇය ගේ නිරෝගි පැවැත්මට හේතු වේ. එහෙත් මේ ප්‍රයෝජන ලැබෙන්නේ පාලනයක්‌ ඇති ව ලුණු භාවිතයෙනි. ජල නළවලින් ලුණු වතුර බෙදීමෙන් ඇති කරන මහජන සත්කාරයක්‌ නම් නැත. මේ සමග ගෙදරදොරේ සේදීමේ කටයුතු ආදියට ද ඇති කරනුයේ ද නරක බලපෑමකි. ලුණු වතුර සහ සබන් වතුර අතර හැසිරීම සබන් ගා මුහුදේ නෑමට ගිය ඕනෑ ම කෙනක්‌ දනියි. ඒ අත්දැකීම ගෙදර නාන කාමරයේ දී ලබාගැනීමට කිසිවෙක්‌ කැමැති වන්නේ නැත.

අපේ ඒක පුද්ගල වාර්ෂික ජල අවශ්‍යතාව ඝන මීටර 651ක්‌ පමණ වේ. ජනගහන වර්ධනයත් නාගරීකරණයත් සමග මේ අවශ්‍යතාව සපුරාගැනීමේ එක ම මඟ ගෙදර පයිප්පය වීම නොවැළැක්‌විය හැකි ය.

කළුතර ජල යෝජනා ක්‍රමය ආරම්භ වන්නේ 1986 වර්ෂයේ සිට ය. අද වන විට එයින් කළුතර, වාද්දුව, පයාගල, අලුත්ගම, බෝම්බුවල පිලමිනාවත්ත වැනි ප්‍රදේශවලට ජලය බෙදා දෙනු ලබයි. සාමාන්‍ය දෛනික ජල පරිභෝජනය ජල ලීටර් ලක්‍ෂ 450කි. පාරිභෝගික සංඛ්‍යාව ආසන්න වශයෙන් 66000ක්‌ පමණ වේ. මේ ජලය බෙදන ප්‍රදේශය ආශ්‍රිත ව පසුගිය දශකයේ පමණක්‌ ශ්‍රී ලංකාවේ පාලන තන්ත්‍රය ඉහළින් ම මෙහෙයවන කැබිනට්‌ ඇමතිවරුන් දුසිමකට ආසන්න ප්‍රමාණයක්‌ පහළ වී සිටිය හ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ද, පළාත් සභා ඇමැතිවරු ද, මන්ත්‍රිවරු ද, ප්‍රාදේශීය සභාවල සභිකයෝ ද සිටිය හ. එහෙත් මහජනතාව ගේ මූලික අවශ්‍යතාවක්‌ වන පානීය ජලය අදටත් පවතින්නේ "ගැටලුකාරී" තැනක ය. ලංකාවේ ලොකු ම ජල කද දෙපස ඉදගෙන මේ ගැටලුව දරුණු අතට යාවත්කාලීන වන්නට දී බලා සිටින මොවුන් ගිණිය යුත්තේ කුමන සත්ත්ව ගණයෙහි ලා දැයි තේරුම්ගැනීම සැබැවින් ම උගහට ය.

ලුණු ජලය, ගංගා ජලය සමග මුසු වීමත් සමග ගංගා ජලයේ පවතින සන්නායකතාව මතුපිට සිට පතුල දක්‌වා වැඩි වෙයි. ඊට හේතුව ලවණවලින් පොහොසත් මුහුදු ජලය බර වැඩි බැවිනි. මුහුදු වතුරේ සන්නයකතාව 40000 ෆිරැජපක්‌ පමණ වන අතර පිරිසිදු මිරිදියේ එම අගය

40-80 ෆිරැජප පමණ වේ. ගංගා පතුල ගැඹුරු වීම සහ ගඟ පළල් වම නිසා ප්‍රතිරෝධයකින් තොර ව මුහුදු ජලය රට තුළට පැමිණෙන අතර දැනට කිලෝමීටර 15ක පමණ දුරක්‌ මේ අවසරයෙන් මුහුදු ජලය උඩුගං බලා යයි.

ගගකින් ජලය ගැනීමේ දී සැලකිය යුතු කරුණු ගණනාවකි. ඉන් ප්‍රධානතම කරුණ එම ගංගාව මගින් රැගෙන යන ජල ප්‍රමාණයයි. එහෙත් එම ජලය කාර්මික දූෂකවලින් දූෂණය වී ඇත්නම් තත්ත්වය බොහෝ දරුණු වේ. එ බැවින් කාර්මික දූෂණයට අවම ලෙස ලක්‌ වුණු ජලය ඉතා ප්‍රයෝජනවත් ය. නැතිනම් පිරිහදුවට යන වියදම ඉතා ඉහළ අගයක්‌ වනු ඇත. ඊට අමතර ව සාගරයට ආසන්න තැනකින් ජලය ගන්නේ නම් වඩදිය හා බාදිය හැසිරීමද සැලකිල්ල ගත යුතු ය. ජලය ගත යුත්තේ ජල පෘෂ්ඨයට ආසන්න නමුත් පහළ තැනකිනි. ගංගා පත්ලෙන් කිසිදු විටක ජලය ගනු නො ලබයි. ගංගාවේ ජලය වඩදිය මුහුදු මට්‌ටමට වඩා පහළින් පවතියි නම් වඩදිය අවස්‌ථාවල දී ගංගාව තුළට එන ජලයේ කඨිනතාව බාදිය සමග 100%ක්‌ පහ ව නො යයි. එම කඨින ජලය ඝනත්වයෙන් වැඩි නිසා එය ගෙග් පහළ ජල ස්‌ථරවලට ප්‍රතිස්‌ථාපනය වී ගං පත්ලේ කඨිනතාව වැඩි කරයි. එ බැවින් එවැනි සැම වඩදියකට ම පසු ගංගා ජලයේ ක්‍රමික කඨිනතා වැඩි වීමක්‌ නිරීක්‌ෂණය කළ හැකි වෙයි. මේ තත්ත්වය සැලකිය යුතු ජල ප්‍රමාණයක්‌ ලැබෙන තුරු ගංගා ජලයේ රැදී පවතී.

ස්‌වාභාවික ව පවතින ගංගා පතුලේ සමෝච්ඡ රේඛාව (Invert Level) නැත හොත් යටියන මට්‌ටම වැලි හෑරීම නිසා තව දුරටත් පහළ යයි. එ මගින් මුහුදු ජලය ගංගාව වෙත කැඳවාගැනීමක්‌ සිදු වෙයි. එ බැවින් නිසි ප්‍රමිතියකින් යුතු ජලය ජනතාව වෙත ලබා දීමට නම් ප්‍රථමයෙන් ම ගෙග් වැලි ගොඩ දැමීම නවතා දැමිය යුතු ය. එසේ නැත හොත් ජල පිරිපහදුව ගෙග් තවත් ඉහළ තැනකට ගෙන යා යුතු ය. නැතිනම් ගෙග් ඉහළ තැනකින් ජලය පිරිපහදුව වෙත රැගෙන ආ යුතු ය. එසේ ජලය ගෙන ඒමට කළු ගෙග් අත්තක්‌ වන කුඩා ගඟ යෝජනා වී තිබුණ ද ජලය හිඟ වකවානුවක දී එම ගඟේ ද ජලය ඉහළ යන අවශ්‍යතාවට සාපේක්‍ෂ ව ප්‍රමාණවත් නො වේ නම් එය ද ඉතා විශාල ධන නාස්‌තියකි. ඊට අමතරව කදන ජල පිරිපහදුව එහි තෙවැනි අදියර ද දක්‌වා සිය ධාරිතාව ප්‍රසාරණය කර ඇති බැවින් එ මගින් ද ඉතා විශාල ජල ප්‍රමාණයක්‌ පොම්ප කරගනු ලබයි. ඒ ධාරිතාව ද දවසින් දවස ඉහළ යැමට නියමිත වන්නේ කොළඹ නගරයේ සිදු වන ශීඝ්‍ර සංවර්ධනයන්ට අදාළ ජල සැපයුම සහතික කිරීමට ය.

දැනට පවත්නා ඉතා ප්‍රායෝගික විසදුම ලෙස හදුන්වා දිය හැක්‌කේ කළු ගෙග් ජලය ඉහළට යැම වැළැක්‌වීම පිණිස මුහුදු ජල බාධකයක්‌ ඉදි කිරීම ය. මේ ක්‍රියාමාර්ගය ගිං ගෙග් දැනටමත් සිදු කරනු ලබයි. ඊට අමතර ව නිල්වලා ගගට ද එවැනි ව්‍යාපෘතියක්‌ ක්‍රියාත්මක කිරීමට පටන් ගෙන ඇත.



එහෙත් කළු ගග සම්බන්ධව ඉතා විශාල මුදලක්‌ වැය කර එවැන්නක ශක්‍යතා අධ්‍යයනයක්‌ සිදු කර අදාළ තොරතුරු සම්පාදනය කර ඇතත් ඒ සදහා වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ විරෝධතාව මතු වී ඇත. මේ පිළිබද ව අනුමැතිය දීම පිණිස වූ දිස්‌ත්‍රික්‌ සංවර්ධන කමිටු සාකච්ඡාවේ දි ඊට විරෝධතාව දක්‌වමින් වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඉදිරිපත් කර ඇති තර්කය එන්නේ එ මගින් ගංවතුර තර්ජනය උග්‍ර වන බව ය. එහෙත් ගංවතුර තර්ජනය මැඩපැවැත්වීම පිණිස ගත් ලොකු ම උත්සාහය වන කළුතර මෝය කට සිද බිද දැමීම තුළින් අප දැනටමත් මාස ගණනාවක්‌ විදවීමට අවශ්‍ය පදනම සකස්‌ කරගෙන හමාර ය. කළ යුත්තේ කළු ගග හරහා ඉතා ශක්‌තිමත් මුහුදු ජල බාධකයක්‌ ඉදි කර සමස්‌ත ජල සැපයුම සුරක්‍ෂිත කිරීමත් ගංවතුර පාලනයට වඩාත් ක්‍රමවත් තාක්‍ෂණික වශයෙන් ප්‍රායෝගික ක්‍රියාදාමයක්‌ භාවිතයට ගැනීමත් ය. (ඒ ක්‍රියාමාර්ග ඉදිරි ලිපියකින් සාකච්ඡා කරනු ලැබේ).

අවම තරමින් කෙත්හේන ජල පවිත්‍රාගාරයට විදුලි ජනක යන්ත්‍රයක්‌ වත් නැති බව සදහන් කළ යුතු ය. යම් හෙයකින් හදිසි විදුලි බිද වැටීමක්‌ හෝ විදුලි කප්පාදුවක්‌ හෝ සිදු වුව හොත් එදාටත් කළුතර වැසියන්ට ජලය නැති බව සිහි කටයුතු ය. එනමුත් ආපදා කළමනාකරණයටත්, ජලය සැපයීමටත් වගකියන බලධාරීන් ගේ ලයිස්‌තුවේ දිග නම් අඩු නැත.

ලවණ මිශ්‍රිත ජලය පිරිපහදුවට ගැනීමෙන් පිරිපහදු යන්ත්‍රවල මල බැදීම ශීඝ්‍ර වන අතර මල බැෙදන සියලු ම උපාංගවල ආයු කාලය ඉක්‌මනින් කෙළවර වේ. ඊට අමතර ව එම ජලය ගෙදර දොර උපකරණ මල බැදීම ඉක්‌මන් කරනු ඇත. කෘෂි කර්මාන්තය, සංචාරක කර්මාන්තය ආදියට ද සිදු වන්නේ බලවත් හානියකි. මහජන සෞඛ්‍යය බිද වැටීම ඊටත් වඩා භයානක ය. මේ උවදුර දවසින් දවස උග්‍ර වන්නට නියමිත ය.

අප වෙළෝදපළට ගොස්‌ මිල දී ගන්නා පාරිභෝගික ද්‍රව්‍යයක එහි අන්තර්ගත දේ හා එහි ගුණාත්මකභාවය පිළිබද සටහනක්‌ එම නිශ්පාදනය සමග සටහන් ව තැබීම නෛතික අවශ්‍යතාවකි. එහෙත් රජය මැදිහත් ව ජනතාවට ලබා දෙන ජනතාවගේ ප්‍රධානතම අවශ්‍යතාවක්‌ වූ ජලයේ ප්‍රමිතිය පිළිබදව මෙතරම් තාක්‍ෂණය දියුණු යුගයේ වත් කිසිදු දැනුවත්කමක්‌ ලබාගැනීමට මඟක්‌ පාරිභෝගිකයාට නැති සෙයකි. අඩු ම තරමින් අවශ්‍ය කෙනකුට කෙටි පණිවිඩයක්‌ මගින් හෝ නැතිනම් බිල්පත සමග මුද්‍රිතව හෝ එම තොරතුරු ජනතාව වෙත ලබා දීම ජල සම්පාදන ආයතනයේ මූලික වගකීමකි. ඒ දැනුවත් බව ලබාගැනීම මහජනයාගේ අයිතියකි. එ බැවින් අප ජීවත් වන්නේ තවමත් තම තමාගේ ආරක්‍ෂාව තම තමා විසින් සුරක්‍ෂිත කරගත යුතු මාරක ජන සමාජයක නො වේ ද යන කරුණ කළුතර ජල ප්‍රශ්නයෙහි දී ද නැවත අපට සිහිපත් වෙයි.

රුචිර ශ්‍යාමන්ත ගුණතිලක