logo3.gif (702 bytes)

arrow7.gif (1098 bytes)


ප්‍රාථමික ශ්‍රේණිවල ක්‍රියාත්මක පරිසරය ආශ්‍රිත ක්‍රියාකාරකම් තුළින් සිසුන් ගේ විද්‍යාත්මක චින්තනය ඔප් නැංවේ ද? - 2 කොටස

ප්‍රාථමික ක්‍රියාවලි කුසලතා

(පසුගිය සතියෙන්)

1993 වසරේ හඳුන්වා දෙන ලද විෂය නිර්දේශයේ අප හා පරිසරය තේමා මෙසේ පෙන්වා දිය හැකි ය. විද්‍යාත්මක චින්තනය වැඩෙන ආකාරයට ක්‍රියාකාරකම් සැකසීම සඳහා වූ ඉඩකඩ මේ අභිමතාර්ථ සලකා බැලීමෙන් අවබෝධ වේ.

1. නිරීක්‌ෂණ හා ගවේෂණ කාර්යයන්.

2. මූලික සංකල්ප වර්ධනය සහ තර්කානුකූල චින්තනය වර්ධනය.

3. ගැටලු ඉදිරිපත් කිරීම සහ ඒවා විසඳීමට පරීක්‌ෂණ හෝ විමර්ශන සැලසුම් කිරීම.

4. සොයාගත් දේ විමසිලිමත් ව අරුත් ගැන්වීම.

5. රටා හා සම්බන්ධතා අගය කිරීම.

6. දැනුම ලබාගැනීම හා ඉගෙනුම් කුසලතා වර්ධනය.

මේ විෂය ක්‌ෂේත්‍රය 2017 වර්ෂයේ 1, 2 සහ 3 ශ්‍රේණි සඳහා නව සංශෝධනයකට ලක්‌ විය. ඒවාට අදාළ විෂය නිර්දේශ සහ ගුරු අත් පොතෙහි ආරම්භයේ සඳහන් වන අදහසින් පරිසරය ආශ්‍රිත ක්‍රියාකාරකම් විෂයෙන් අපේක්‌ෂා කරන දෙය පිළිබඳ අදහසක්‌ ලබාගත හැකි ය.

පරිසරය ආශ්‍රිත ක්‍රියාකාරකම් යනුවෙන් හැඳින්වෙන මේ ඉගෙනුම් ක්‌ෂේත්‍රය මිනිසා සහ මිනිස්‌ ප්‍රජාව කෙරෙහි විවිධ අයුරින් බලපෑම් කරන්නා වූ භෞතික, සමාජීය සහ ජෛව පද්ධති කෙරෙහි හා ඒවා පදනම් කරගෙන සිදු විය යුතු ඉගෙනුම් ක්‍රියාවලියක්‌ කෙරෙහි යොමු කරවන්නකි පුද්ගලයාට ජීවත් වීමට අභියෝග වන පාරිසරික ගැටලු හඳුනාගනිමින් ඒවාට විසඳුම් සෙවීමේ නිපුණතා අත්පත් කර දීම අරමුණු කර ගනිමින් විෂය අත්දැකීම් අත්පත් කර දීම කෙරෙහි මෙහි දී අවධානය යොමු කර ඇති බව අවබෝධ වේ. මෙහි තව දුරටත් පෙන්වා දී ඇත්තේ දරුවන් ගේ කුතුහලය හේතුවෙන් වටපිටාව කෙරෙහි අන්තර්ක්‍රියා කිරීමට අවැසි පරිදි සංවේදී ඉන්ද්‍රියන් භාවිතයට හුරු කිරීම තුළින් වටපිටාවේ වන දෑ පිළිsබඳ නිවැරැදි නිරීක්‌ෂණ ලබාගැනීම, තොරතුරු සොයාගැනීම, තොරතුරු වාර්තා කිරීම සහ ඒවා පාදක ව වර්ගීකරණය, තර්කණය වැනි චින්තන හැකියා වර්ධනය මේ විෂය ක්‌ෂේත්‍රය තුළින් අපේක්‌ෂා කරන බවයි. එම අදහස්‌ දැක්‌වීම අනුව පැහැදිලි වන්නේ විෂය ක්‌ෂේත්‍රය ආශ්‍රිත අත්දැකීම් හරහා ප්‍රාථමික පාසල් දරුවන් ගේ විද්‍යාත්මක චින්තනය ඉස්‌මතු කිරීම තුළින් නිරීක්‌ෂණ, අනුමාන, සරල පරීක්‌ෂණ සහ ගවේෂණ ආශ්‍රිත ව ගැටලු විසඳීම සඳහා මූලික වශයෙන් යොමු කරවීම ඉලක්‌ක කොට ඇති බවයි. මෙහි දී කණ්‌ඩායම් ක්‍රියාකාරකම් හරහා තෘප්තිමත් අත්දැකීම් ලබා දීම සහ පූර්ව සූදානම් සහිත බව දැඩි ලෙස අවධාරණය කර ඇත. විෂයමාලාව ක්‍රියාවට නැංවීමේ දී මේ සම්බන්ධයෙන් අවධානය යොමු කිරීම කාර්යයේ සාර්ථකත්වයට හේතු වනු නො අනුමාන ය.

විෂයේ වැදගත්කම සම්බන්ධයෙන් සලකා බලන විට විද්වත් සහ දාර්ශනික අදහස්‌වලින් ලැබෙන පිටිවහල ද ඉමහත් ය. රොස්‌ (Ross) (1960) පෙන්වා දෙන ආකාරයට අධ්‍යාපනය තුළ අඩංගු වන්නේ දරුවා ගේ හැඟීම්, ආශාවන් සහ ශක්‌තීන් බඳු වටිනාකම් පද්ධතියක්‌ ගොඩනංවා ගැනීම සඳහා යොමු කිරීම බවයි. ශිෂ්‍ය අවශ්‍යතාවලට අනුරූප ඔහු ගේ පරිසරය ඇසුරෙන් ගොඩනැංවෙන ආශාවන් සහ වුවමනාවන් ඉටු කරගැනීමට ඔහුට සහාය වීම අධ්‍යාපනය ලෙස පෙන්වා දී ඇත. ප්‍රාථමික ශේ්‍රණි සඳහා මේ විෂය ක්‌ෂේත්‍රයේ අධ්‍යාපනික වටිනාකම කෙතෙක්‌ දැයි මින් අවබෝධ වේ.

සිසුන් ගේ චින්තන ශක්‌තිය වර්ධනය කිරීම සඳහා අධ්‍යාපනය ක්‍රියාවට නැංවීම සම්බන්ධයෙන් ජෝන් ඩුවී පෙන්වා දෙන අදහස්‌ විමසා බැලීමෙන් පරිසරය විෂය අත්දැකීම් ලබා දීම සිදු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් අදහසක්‌ ලබාගත හැකි ය. ඔහු පෙන්වා දෙන පරිදි යම් කිසි ගැටලුවක්‌ ආශ්‍රිත සැකයකින් ඇරඹෙන චින්තනය අවස්‌ථා ගණනාවක්‌ කරා ගොස්‌ ප්‍රතිඵලය කරා ළඟා වේ. ඊට පරීක්‌ෂණ, තොරතුරු, නිරීක්‌ෂණ ආදිය ඇතුළත් ය. එම අවස්‌ථා කර්ටිස්‌ (Curtis) (1958) මෙසේ පෙන්වා දී ඇත.

1. පවත්නා තත්ත්වයන් අනුව පුද්ගලයකුට යම් ගැටලුවකට විසඳුමක්‌ සෙවීමට පෙලඹවීමක්‌ ඇති වීම.

2. එම ගැටලු සහගත අවස්‌ථාව විසඳීමට යෝග්‍ය නිශ්චිත ප්‍රශ්නයක්‌ හෝ ප්‍රශ්න කිහිපයක්‌ ඒ ඇසුරින් සැකසීම.

3. මේ ගැටලු බුද්ධි ගෝචර රටාවකට අනුව අවබෝධ කරගැනීම සඳහා පෙලඹවීමක්‌ ඇති වීම.

4. මේ තත්ත්වයන් යටතේ යහපත් ප්‍රතිඵල අපේක්‌ෂාවෙන් උපකල්පන ගොඩනැංවීම.

5. උපකල්පන පරීක්‌ෂා කිරීමෙන් ගැටලුවට ස්‌ථීර විසඳුමක්‌ සොයාගැනීම.

ගැටලු විසඳීම සඳහා සාර්ථක විධිමත් ක්‍රමවේදයක්‌ දෙසට හුරු කිරීමක්‌ මෙහි දී සිදු කෙරෙන බව අවබෝධ වේ. ඒ අනුව පාසල් අධ්‍යාපනය සහ ජීවිතය බද්ධ ව ගමන් ගන්නා ආකාරයක්‌ පැහැදිලි වේ. ඩුවී ගේ දර්ශනය අනුව අධ්‍යාපනය සම්බන්ධයෙන් ගුරුවරයා ගේ වගකීම අත්දැකීම් සංවිධානය බව පැහැදිලි වේ. ක්‍රියාකාරකම් සම්පාදනය කරුණු කියා දීමට වඩා හොඳ තත්ත්වයක්‌ බව මොහු ගේ පිළිගැනීම විය.

ශිෂ්‍යයා පසු වන මනෝවිද්‍යාත්මක තත්ත්වය සහ ඉගෙනුම් අත්දැකීම් ලබා දීම

මේ වයසේ දරුවන්ට සත්‍ය අත්දැකීම් හෙවත් ඉන්ද්‍රියන් ඇසුරු කරගත් අත්දැකීම් ලබා දීම වැදගත් වන්නේ ඔවුන් පසු වන මනෝ විද්‍යාත්මක අවධිය අනුව වේ. 1-5 ශ්‍රේණිවල දරුවන් පසුවන බුද්ධි වර්ධන අවධිය පියාඡේ ගේ ළමා සංවර්ධන අවධි අනුව සලකන විට සංයුක්‌ත චින්තන අවස්‌ථාව වේ. මේ චින්තනයේ වැදගත් ලක්‌ෂණය වනුයේ පංෙච්න්ද්‍රියන්ට නතු වන දේ ඇසුරින් චින්තනය මෙහෙයවීමයි. වයස අවුරුදු 5 -11 දක්‌වා දරුවන් මේ චින්තන අවධියේ පසු වන අතර මේ හේතුවෙන් ඔවුනට අත්දැකීම් ලබා දීමේ දී ද්‍රව්‍ය, වස්‌තු වැනි පංෙච්න්ද්‍රියන්ට ගෝචර වන දේ යොදාගැනීම ඵලදායී වේ. එනම් ඇස, කන, නාසය, දිව සහ සම යන සංවේදී ඉන්ද්‍රියන් තියුණු තත්ත්වයට පත් කරන නිරීක්‌ෂණ අවස්‌ථා සම්පාදනය ඵලදායී බව අධ්‍යාපන මනෝ විද්‍යාඥයන් ගේ මෙන් ම දාර්ශනිකයන් ගේ ද අදහස වේ. මේ කාර්යය විද්‍යාත්මක චින්තනයේ මූලික අවස්‌ථාවයි. එනම් විද්‍යාඥයන් දැනුම ගොඩනැංවීම සඳහා පංෙච්න්ද්‍රිය මූලික නිරීක්‌ෂණය තුළින් පරිසරය විමසුමට ලක්‌ කොට ඇත. (මේ අවධියෙන් පසු ඔවුන් එළඹෙන්නේ වියුක්‌ත චින්තන අවධිය හෙවත් පරිකල්පනයෙන් යමක්‌ අවබෝධ කරගැනීමේ අවධියට වේ. එය බොහෝ විට අවුරුදු 11 හෝ 12 සිට ඇරඹෙන නව යොවුන් විය කාල පරිච්ඡේදයට අයත් වේ.) පරිසරය ආශ්‍රිත ක්‍රියාකාරකම් විෂය හරහා ප්‍රධාන වශයෙන් අපේක්‌ෂා කරන්නේ පරිසරයට අදාළ නිපුණතා සංවර්ධනය බැවින් ඉගෙනුම් - ඉගැන්වීම් වැඩසටහන් සැලසුම් කිරීමේ දී මේ දාර්ශනික සහ මනෝ විද්‍යාත්මක පසුබිම් අවබෝධය අත්‍යවශ්‍ය වේ. ඉගැන්වීම් සහ ඇගයීම් ක්‍රමවේද ඒ අනුව සකස්‌ කරගත යුතු වේ. දේශන සටහන් කියවීම් සහ පෙළ පොත වෙතට යොමු කර වාර්තා කිරීම් උචිත නො වන බවත් ක්‍රියාකාරකම් පාදක සෘජු අත්දැකීම් ලබා දීම අවශ්‍ය බවත් තේරුම්ගත යුතු ය. විෂයේ රුචිකත්වය පවත්වාගැනීම සඳහා සෞන්දර්ය, නිර්මාණ සහ වෙනත් සමෝධානිත ක්‌ෂේත්‍ර යොදාගත්ත ද මූලික තේමා විද්‍යාත්මක බවින් අපගමනය නො කිරීමට වගබලාගත යුතු ය. ප්‍රාථමික අධ්‍යාපන සහ ප්‍රාථමික ගුරු අධ්‍යාපන විෂයමාලා සහ වැඩසටහන් සැලසුම් කිරීමේ දී මේ විෂයේ ස්‌වභාවය ආශ්‍රිත විද්‍යාත්මක බව ආරක්‌ෂා කිරීමේ යුතුකමක්‌ සහ වගකීමක්‌ සියල්ලන්ට ම ඇත.

විෂයේ සමෝධානිත බව සහ ඉගෙනුම් අත්දැකීම් ලබා දීම

පරිසරය ආශ්‍රිත ක්‍රියාකාරකම් එහි අර්ථයෙන් ම පැහැදිලි වන සේ අවට පරිසරය කෙරෙහි විමසිලිමත් බව වර්ධනයට පංෙච්න්ද්‍රියන් ඇසුරෙන් තොරතුරු ලබාගැනීම පිණිස ක්‍රියාකාරී වීම අරමුණු කරගත් විෂයයකි. වර්තමානයේ මේ විෂය තනි විෂයයක්‌ ලෙස නො ව විෂය ක්‌ෂේත්‍ර ගණනාවක සංයෝජනයක්‌ ලෙස සමෝධානිත ව ක්‍රියාවට නැංවීම සිදු වුව ද, එහි ප්‍රාථමික අභිමතාර්ථය පරිසරයේ සිදු වන දේ තේරුම්ගැනීම සඳහා චින්තනය සහ ක්‍රියාකාරිත්වය බව විෂයයේ විකාශනය විමසීමේ දී පැහැදිලි වේ. සමෝධානිත ස්‌වභාවයට හේතු වන්නේ මේ වයසේ දරුවන් අත්දැකීම් ලබාගන්නේ එනම් ලෝකය දකින්නේ වෙන් වෙන් ව නො ව සමස්‌තයක්‌ ලෙස වීමයි. සෞන්දර්ය විෂයයන් වන චිත්‍ර, නැටුම් සහ සංගීතය, මවුබස, ශාරීරික අධ්‍යාපනය, ගණිතය, භූගෝල විද්‍යාව සහ ඉංග්‍රීසි යන විෂයන් සමඟ විද්‍යාව විෂය සමෝධානය වීමෙන් පරිසරය ආශ්‍රිත ක්‍රියාකාරකම් විෂය සමන්විත වුව ද, විද්‍යාත්මක භාවයෙන් ඉවත් ව සමෝධානිත විෂයයක්‌ ලෙස අත්දැකීම් ලබා දීම විෂය හර සුන් තත්ත්වයට ඇද දැමීමක්‌ බව අවබෝධ කර ගත යුතු ය.

(සමාප්තයි)

රුහුණ ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයේ

ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය

ඩබ්ලිව්. පුෂ්පා

(විද්‍යාවේදී (ගෞරව), අධ්‍යාපනපති, විද්‍යා අධ්‍යාපන විශේෂ වෘත්තීය පුහුණු (යෝර්ක්‌ විශ්ව විද්‍යාලය, කැනඩාවල ශ්‍රී ලංකා ගුරු අධ්‍යාපනඥ සේවය)