logo3.gif (702 bytes)

arrow7.gif (1098 bytes)


ස්‌නායු පිරිහීමේ රෝග සඳහා පිළියම් ලෙස භාවිත කළ හැකි දේශීය ශාකමය සංයෝග හඳුනාගැනීමට පරිගණකමය ප්‍රවේශයක්‌

ශ්‍රී ලංකා තරුණ විද්‍යාඥයන් ගේ ඇකඩමිය (SLAYS) මඟින් ජාතික විද්‍යා පදනම (NSF) සහ විද්‍යා, තාක්‌ෂණ හා නවෝත්පාදන සම්බන්ධීකරණ ලේකම් කාර්යාලය (COSTI ආයතනය) සමඟ එක්‌ ව සංවිධානය කළ 3MT තරගයේ (3 Minute Thesis Competition) අවසන් වටය සඳහා තේරුණු තරුණ විද්‍යාඥයන් ගේ පර්යේෂණ පිළිබඳ තොරතුරු මේ ලිපි පෙළ මඟින් ඉදිරිපත් කෙරෙයි.

අද දින පළ වන්නේ එම තරගයේ ප්‍රථම ස්‌ථානය ලැබූ ජයග්‍රාහිකාව වන ශාලිනි තිරුචිත්තම්පලම් විසින් සිදු කරනු ලබන පර්යේෂණයේ තොරතුරුයි.

සැම ශ්‍රී ලාංකිකයන් අට දෙනකු ගෙන් එක්‌ අයෙක්‌ වයස අවුරුදු හැට ට වැඩි පුද්ගලයෙකි. දකුණු ආසියානු කලාපය තුළ ජනගහනය ශීඝ්‍රයෙන් ම වයස්‌ගත වීමේ වේගය දක්‌නට ලැබෙන රට වන්නේ ශ්‍රී ලංකාවයි. වැඩ කරන ජනගහනයට සාපේක්‌ෂ ව වයස්‌ගත ජනගහනය ඉහළ යැම සමාජ ආර්ථික ප්‍රශ්න රාශියකට මූල බීජය වී ඇත. මේ ගැටලු අතර වයස්‌ගත වූවන් ගේ සෞඛ්‍ය තත්ත්වය ප්‍රධාන තැනක්‌ ගනී. ස්‌නායු පිරිහීමේ රෝග (Neurodegenerative Diseases) වයස්‌ගත ජනගහනය අතර බහුල ව දක්‌නට ලැබෙයි. ස්‌නායු මරණයට පත් වීම ඇතුළු, ස්‌නායුවල ව්‍යqහය සහ ක්‍රියාකාරීත්වය ක්‍රමික ව අහිමි වී යැම ස්‌නායු පිරිහීමේ රෝගයක්‌ ලෙස අර්ථ දැක්‌විය හැකි ය. තවමත් අප රට තුළ වයස්‌ගත ජනගහනය අතර මේ රෝග ව්‍යාප්තිය සම්බන්ධ ව පුළුල් පර්යේෂණ දියත් වී නැත. ස්‌නායු පිරිහීමේ රෝග සුව කළ හැකි ඖෂධ සොයාගැනීමට විදේශ රටවල විශාල වශයෙන් පර්යේෂණ පවත්වනු ලැබේ. ඖෂධීය ශාකවලින් පොහොසත් රටක්‌ වශයෙන් දේශීය ශාකවලින් හමු වන රසායනික සංයෝග භාවිතයෙන් මේ රෝග සුව කිරීමට සමත් ඖෂධයක්‌ නිපදවිය හැකි නම් එය අප රට ලබන අමිල ජයග්‍රහණයකි.

මේ කාලෝචිත අවශ්‍යතාව වටහාගත් කොළඹ විශ්වවිද්‍යාලයයේ පර්යේෂකයන් පිරිසක්‌ ස්‌නායු පිරිහීමේ රෝග සුව කිරීම සඳහා දේශීය ශාකවල හමු වන සංයෝගවල ඇති සුදුසු බව හඳුනාගැනීමට පර්යේෂණ දියත් කර තිබේ. එහි ඇති සුවිශේෂී බව නම් ඔවුන් මේ පර්යේෂණය සඳහා පරිගණකමය ප්‍රවේශයක්‌ භාවිත කිරීමයි. මේ පර්යේෂණය සාර්ථක ව සිදු කරමින් සිටින තරුණ විද්‍යාඥ ශාලිනි තිරුචිත්තම්පලම් මෙනවිය කොළඹ විශ්වවිද්‍යාලයයේ රසායන විද්‍යා අධ්‍යන අංශයේ ආචාර්ය උපාධි ශිෂ්‍යාවක ලෙස කටයුතු කරයි. එහි අධීක්‌ෂකවරයා වශයෙන් මහාචාර්ය සමන්ත වීරසිංහ මහතා පර්යේෂණය උදෙසා මඟ පෙන්වයි. මේ පර්යේෂණය පිළිබඳ ව විදුසර යොමු කළ ප්‍රශ්න සඳහා තරුණ විද්‍යාඥ ශාලිනි තිරුචිත්තම්පලම් අදහස්‌ දක්‌වා සිටියේ මෙලෙසිනි.

ස්‌නායු පිරිහීමේ රෝග (Neurodegenerative Diseases) පිළිබඳ අධ්‍යයනය වැදගත් වන්නේ ඇයි?

අද වන විට ලෝක ජනගහනයෙන් විශාල ප්‍රමාණයක්‌ ස්‌නායු පිරිහීමේ රෝග (Neurodegenerative Diseases) නිසා පීඩාවට පත් වී සිටිනවා. ඇල්සයිමර් (Alzheimer's), පාර්කින්සන් (Parkinson's), ප්‍රියොන් (Prion), හන්ටින්ග්ටන් (Huntington's) රෝග ස්‌නායු පිරිහීමේ රෝගවලට උදාහරණ ලෙස දැක්‌විය හැකියි. වයස්‌ගත ජනගහනයේ වැඩි වීම සහ මිනිසා ගේ ආයු කාලය ඉහළ යැම හේතුවෙන් ස්‌නායු පිරිහීමේ රෝග ව්‍යාප්ත වීමේ දැඩි අවදානමක්‌ මතු ව තිබෙනවා. මොළය පරිහානියට පත් කරන රෝග නිසා පුද්ගලයකු ගේ චින්තනය, මතකය, ශාරීරික සහ මානසික ක්‍රියාකරම්වල පාලනය සහ සම්බන්ධීකරණය අඩපණ කරනවා. වර්තමානයේ මේ රෝග සඳහා ඇති ඖෂධ එතරම් ඵලදායී නැහැ. ඒවාට රෝගයේ ප්‍රගමනය නවතාලිය නො හැකි අතර ඒවා දිගු කලක්‌ භාවිත කිරීමෙන් විවිධ අතුරු ආබාධ ඇති විය හැකියි. ඒ වගේ ම මේ හේතුවෙන් විවිධ සමාජීය හා ආර්ථික ගැටලුත් හටගන්නවා. රෝගී, වයස්‌ගත තම ආදරණීයයන් රැකබලා ගැනීමට රටේ ශ්‍රම බලකාය නිවසේ නතර වීම ඉන් එකක්‌ ලෙස දැක්‌විය හැකියි.

ශ්‍රී ලංකාව තුළ ස්‌නායු පිරිහීමේ රෝග ව්‍යාප්තිය පිළිබඳ තත්ත්වය කෙසේ ද?

මෙය තවමත් විවෘත ප්‍රශ්නයක්‌. ස්‌නායු පිරිහීමේ රෝග පැතිර යැම සම්බන්ධයෙන් ශ්‍රී ලාංකීය ප්‍රජාව මූලික කරගත් අධ්‍යයන පවත්වා ඇත්තේ ඉතා ම සුළුවෙන්. එමඟින් දැනගන්නට ලැබුණු කරුණු අනුව මේ රෝග ශ්‍රී ලංකාව තුළත් දක්‌නට ලැබෙන අතර, සංවර්ධිත රටවල වයස අවුරුදු 65ට වැඩි පුද්ගලයන් අතර ඇල්සයිමර් රෝගය (Alzheimer's Disease) ව්‍යාප්ත ව ඇති අනුපාතය ශ්‍රී ලාංකීය ජනගහනය තුළ ද දක්‌නට ලැබෙනවා. සංවර්ධිත රටවලට සාපේක්‌ෂ ව වයස්‌ගත වැඩිහිටියන් ගේ සෞඛ්‍යය සම්බන්ධ ව ඇති අඩු අවධානය සහ සෞඛ්‍ය පර්යේෂණ පැවැත්වීමට ඇති අවම පහසුකම් හේතුවෙන් අප රට තුළ තවමත් ස්‌නායු පිරිහීමේ රෝග ආශ්‍රිත ව ක්‍රමානුකූල විමර්ශනයක්‌ සිදු කොට නැහැ. මෙහි ප්‍රතිඵලයක්‌ ලෙස මේ රෝග පිළිබඳ ව ජාතික වසංගත අධ්‍යයන ඇස්‌තමේන්තුවක්‌ නොමැතිකම දැඩි අඩුපාඩුවක්‌.

පරිගණකමය රසායන විද්‍යාව (Computational chemistry) යනු කුමක්‌ ද?

විද්‍යාගාර පර්යේෂණ මඟින් අපට අදාළ තොරතුරු විශාල රාමුවක්‌ තුළ ලබා දෙනවා. එහෙත් සමහර අවස්‌ථාවල දී ජෛව රසායන විද්‍යා පැතිකඩකින් සියුම් ව අධ්‍යයනය කරන විට අපට අවශ්‍ය වනවා ජෛව ක්‍රියාදාම සඳහා ඉවහල් වන පරමාණු අතර ඇති සම්බන්ධය දැනගැනීමට. පරිගණකමය රසායන විද්‍යාවේ දී රසායනික විද්‍යා ප්‍රශ්න විසඳීම සඳහා පරිගණක සමාකරණයන් ඉවහල් කරගනු ලබනවා. එය න්‍යායාත්මක රසායන විද්‍යාව උපයෝගී කරගනිමින් කාර්යක්‌ෂම පරිගණක මෘදුකාංග වැඩසටහන් තුළින් අණු සහ පරමාණුවල ගුණ, ව්‍යqහයන් සහ අන්තර් ක්‍රියාවන් අධ්‍යයනය කරනවා. අණු අතර අන්තර්ක්‍රියා සඳහා ආකෘති නිර්මාණය කිරීමට මට්‌ටම් දෙකක්‌ පවතිනවා. ඉන් එකක්‌ ක්‌වොන්ටම් යාන්ත්‍රණය (Quantum Mechanics) පාදක කොට ගෙන ඇති අතර අනෙක අණුක යාන්ත්‍රණය (Molecular Mechanics) පදනම් ව තිබෙනවා.

පරිගණකමය රසායන විද්‍යාව ශ්‍රී ලංකාවට තවමත් අලුත් ක්‌ෂේත්‍රයක්‌. එහි වැදගත්කම අපට පැහැදිලි කරන්න.

පරිගණකමය පර්යේෂණ යොදාගැනීමෙන් පර්යේෂණ සඳහා වැය වන රසායනික ද්‍රව්‍ය, මිනිස්‌ ශ්‍රමය සහ කාලය අවම කරගත හැකියි. එය ඖෂධයක්‌ වෙළෙඳපොළට ගෙන ඒමට ගත වන කාලය අඩු කරන අතර ඖෂධ වර්ධනය සම්බන්ධ ව පැහැදිලි රූපයක්‌ මැවීමට සමත් වනවා. විෂ සංයෝග පවා එමඟින් හඳුනාගෙන ඒවායේ විෂ බව මැනිය හැකි නිසා, විෂ බව ආශ්‍රිත ගැටලු හේතුවෙන් සායනික අත්හදා බැලීම්වල දී අසමත් වන ඖෂධ අපේක්‌ෂකයන් කල් තියා හඳුනාගෙන ඒවාට වැය වන කාලය සහ මුදල් ඉතිරි කරගත හැකියි. තව ද සතුන් යොදාගනිමින් පවත්වන පර්යේෂණ ද අවම කරගත හැකියි. විද්‍යාගාර පර්යේෂණ පසුව පැවැත්විය යුතු වුව ද, පරිගණකමය ඖෂධ නිර්මාණ මෘදුකාංග ආධාරයෙන් රසායනික සංයෝගවල ගුණ කල් තියා නිර්ණය කළ හැකි බැවින් ඖෂධ අපේක්‌ෂකයන් සම්බන්ධ පර්යේෂණවලට අවුරුදු ගණනින් වැය වන කාලය සහ විශාල මුදල් සම්භාරය ඉතිරි කරගැනීමට පුළුවන්. පරිගණකමය ප්‍රවේශ භාවිතයෙන් ඖෂධ නිර්මාණය කිරීමේ පර්යේෂණ බොහෝ රටවල පුළුල් වශයෙන් දැනටමත් සිදු වෙමින් පවතිනවා මෙන් ම පරිගණකමය ඖෂධ නිර්මාණ, මෘදුකාංග ආධාරයෙන් සාර්ථක ව නිෂ්පාදනය කොට වෙළෙඳපොළට හඳුන්වා දුන් ඖෂධ පිළිබඳ නිදසුන් රැසක්‌ ඉදිරිපත් කළ හැකියි.

මේ පර්යේෂණය සඳහා පරිගණකාත්මක ප්‍රවේශයක්‌ ඔබ භාවිත කළේ ඇයි?

පරිගණකමය ප්‍රවේශයක්‌ මඟින් වර්තමානයේ පවතින චිකිත්සක ක්‍රමවේද, රසායන ද්‍රව්‍ය සහ කාලය නාස්‌තියකින් තොර ව අඩු විද්‍යාගාර පර්යේෂණ සංඛ්‍යාවක්‌ හරහා සිදු කිරීමට මඟපාදනවා. අප ගේ පර්යේෂණය වෙනුවෙන් ශ්‍රී ලාංකීය ශාක වර්ගවල පවතින අණු දෙ සියයක්‌ සැලකිය යුතු වුණා. එබැවින් පරිගණකමය රසායන විද්‍යා ප්‍රවේශයක්‌ යොදාගැනීම උදව් වනවා ඖෂධය වෙළෙඳපොළට ගෙන ඒමට ගත වන කාලය සහ මුල්‍යමය පිරිවැය ඉතිරි කර දීමට. පරිගණකමය අධ්‍යයන විද්‍යාගාර පර්යේෂණ කටයුතු අවම කිරීම මෙන් ම පර්යේෂණයේ ඇතුළාන්තය පිළිබඳ පැහැදිලි චිත්‍රයක්‌ මැවීමට සමත් වනවා. පරිගණකමය පර්යේෂණවල මූලික අරමුණ නම් විවිධ වූ ක්‌ෂේත්‍රවල යෙදුම්වල දී භාවිත කළ හැකි පරිදි පරමාණු සහ අණුවල හැසිරීම් අධ්‍යයනය කිරීමයි. විද්‍යාගාර අධ්‍යයනයන්වල දී අපට සංයෝගවල විෂ සහිත බව පිළිබඳ ව අපට කිසි අදහසක්‌ නැහැ. එහෙත් පරිගණකමය අධ්‍යයනයකින් අපට හැකියි එම සංයෝගවල විෂ සහිත බව පිළිබඳ ව ගවේෂණය කිරීමට. එය විද්‍යාගාර පර්යේෂණ අවම කිරීමට හෝ ඒවා පූර්ව ආරක්‌ෂාවකින් යුතු ව කරගෙන යැමට හෝ අවස්‌ථාව සලසනවා.

මේ පර්යේෂණයෙන් හෙළි වූ වැදගත් සොයාගැනීම් මොනවා ද?

ශ්‍රී ලංකාවට ආවේණික සහ ඒක දේශීය ශාකවල අන්තර්ගත රසායනික සංයෝග 200කට ආසන්න සංඛ්‍යාවක්‌ අතරින් ලිපින්ස්‌කි නියමය (Lipinski's rule) යොදාගනිමින් සංයෝග 27ක්‌ තෝරා බේරාගනු ලැබුවා. ඒ අතරින් ඇල්සයිමර් රෝගය සඳහා ප්‍රතිකර්මයක්‌ ලෙස යොදාගැනීමට 'හැකියාවක්‌' ඇති සංයෝග 15ක්‌ ද, පාර්කින්සන් රෝගය සඳහා සංයෝග 13ක්‌ ද, ප්‍රියොන් රෝගය සඳහා භාවිත කළ හැකි සංයෝග 6ක්‌ ද ශාක 12ක්‌ ආශ්‍රිත ව සොයාගනු ලැබුවා. හන්ටින්ග්ටන් රෝගයට ප්‍රතිකාර ලෙස යොදාගැනීමට හැකි සංයෝග ඒ අතර හමු වුණේ නැහැ.

අවසාන වශයෙන් අපට පවසන්න මේ පර්යේෂණයේ ප්‍රතිඵල ප්‍රයෝගික ව භාවිත කළ හැකි අයුරු.

ස්‌නායු පිරිහීමේ රෝග ආශ්‍රිත ගැටලු විසඳීමට මේ පර්යේෂණයේ ප්‍රතිඵල අන්තර් ක්‌ෂේත්‍ර ආකාරයෙන් යොදාගත හැකියි. අතුරු ආබාධ අවම කරමින් මේ ඖෂධීය ශාක සෘජු පරිභෝජනය කිරීමේ විභවය පිළිබඳ තවදුරටත් සමීක්‌ෂණය කළ යුතුයි. ඖෂධ වර්ධනය මෙන් නො ව මෙමඟින් ඖෂධීය ශාක වගා කිරීම වැඩිදියුණු වන අතර ජාතික ආර්ථිකයට පිරිවැය ඵලදායී ආකාරයෙන් දායක කරගත හැකියි.

තවමත් ශ්‍රී ලාංකීය පර්යේෂණ ක්‌ෂේත්‍රයට නැවුම් විෂයයක්‌ වන පරිගණකමය රසායන විද්‍යාව යොදාගනිමින් ඉහළ තාක්‌ෂණික මට්‌ටමේ පර්යේෂණ අප රට තුළ විද්‍යාඥයන් විසින් දියත් කරනු ලැබීම ප්‍රශංසාවට ලක්‌ කළ යුතු මයි. මේ පර්යේෂකයන් ගේ සොයාගැනීම් නිසා අනවශ්‍ය ලෙස විද්‍යාගාර පර්යේෂණ සඳහා වැය වන කාලය, මුදල් හා ශ්‍රමය අපට ඉතුරු කරගත හැකියි. මේ පරිගණකමය අධ්‍යයනය මඟින් හඳුනාගත් ස්‌නායු පිරිහීමේ රෝගවලට ප්‍රතිකාර වශයෙන් යොදාගත හැකි ශාකමය සංයෝග අනාගතයේ දී ඖෂධ ලෙස වැඩි දියුණු කර රෝගීන්ට භාවිතයට ගත හැකි තත්ත්වයට පැමිණීමට විශාල ඉඩකඩක්‌ පවතිනවා.

මේ ලිපිය සමඟින් ශ්‍රී ලාංකීය පර්යේෂණ ලිපි පෙළ මඟින් ඉදිරිපත් කළ 3MT තරගයේ අවසන් වටය සඳහා තේරුණු තරුණ විද්‍යාඥයන් ගේ පර්යේෂණ පිළිබඳ තොරතුරු අවසන් වේ. ලබන සතියේ සිට දිවයින පුරා විසිරුණු තරුණ විද්‍යාඥයන් ගේ පර්යේෂණ ලිපි පෙළක්‌ බලාපොරොත්තු වන්න.

මාධවී ද සිල්වා