logo3.gif (702 bytes)

arrow7.gif (1098 bytes)


පොලිතින් දහනය කරන්නා සමූලඝාතකයෙකි!

පොලිඑතිලීන් හෝ පොලිතීන්, 1898 වර්ෂයේ දී 'හැන්ස්‌ වොන් පෙච්මන් (Hans Von Pechmann) නම් විද්‍යාඥයා විසින් අහඹු ලෙස සොයාගන්නා ලදද්දකි. මේ අපූර්ව සොයාගැනීම ඉතා ඉක්‌මනින් ජනතාව අතර ප්‍රචලිත විය. පොලිතීන් බෑගයේ සිට මහා පරිමාණ නිෂ්පාදන දක්‌වා පොලිඑතිලීන් යොදාගැනීම ව්‍යාප්ත වීමට වැඩි කාලයක්‌ ගත නො වී ය. වර්තමානය වන විට ලෝකයේ වාර්ෂික පොලිතීන් නිෂ්පාදනය ටොන් මිලියන 80ක්‌ පමණ වේ. මෙහි පවතින අසුන්දර ම සහ භයානක ම තත්ත්වය නම් පොලිතීන් දිරාපත් නො වීමයි. දිනෙන් දින එකතු වන පොලිතීන් සහ ප්ල ප්ලාස්‌ටික්‌ ද්‍රව්‍ය පෘථිවි තලය වසාගනිමින් ස්‌වභාවධර්මය පවා වෙනස්‌ කිරීමට සමත් ව ඇත. වර්ෂාපතන චක්‍ර වෙනස්‌ වීම, ගෝලීය උෂ්ණත්වය ඉහළ යැම වැනි ගෝලීය සාධකවලටත්, මිනිස්‌ සහ සත්ත්ව ජීවිතවලට ඝෘජු ව මත් පොලිතීන් මඟින් බලපෑම් සිදු කර ඇත. බොහොමයක්‌ රටවල එකතු වන පොලිතීන් සහ ප්ලාස්‌ටික්‌ අපද්‍රව්‍ය මුහුදට බැහැර කිරීම නිසා මේ වන විට සමුද්‍ර දූෂණය ඉතා ඉහළ මට්‌ටමකට පැමිණ ඇති අතර එමඟින් සාගර ජීවීන් හට ඝෘජු ව ම බලපෑම් සිදු වී ඇත. එහෙත් මේ ලිපිය තුළින් ඔබ වෙත ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන්නේ බොහෝ විට මිනිසා ගේ නො දැනුවත්කමින් සිදු වන පොලිතීන් සහ ප්ලාස්‌ටික්‌ අක්‍රමවත් විනාශ කිරීමක්‌ වන පිළිස්‌සීම නිසා ජීවීන්ට සහ පරිසරයට සිදු වන බලපෑම සම්බන්ධව ය.

බොහොමයක්‌ ජනයා එදිනෙදා ගෙදර දොර එකතු වන පොලිතීන් සහ ප්ලාස්‌ටික්‌ අපද්‍රව්‍ය (වතුර බෝතල්, යෝගට්‌ කෝප්ප, පොලිතීන් බෑග්) දිරාපත් නො වන බැවින් පුළුස්‌සා විනාශ කිරීමට පෙලඹී සිටිති. මෙය ඉතා බරපතළ තත්ත්වයකි. පොලිතීන් හෝ ප්ලාස්‌ටික්‌ යනු පුළුස්‌සා විනාශ කළ නො හැකි ද්‍රව්‍යයක්‌ වන අතර පිළිස්‌සීම මඟින් විමෝචනය වන විෂ වායුවෙහි බලපෑම අනුමාන කිරීමට වත් නො හැකි තරම් විශාල වේ. පර්යේෂණ මඟින් කර ඇති සොයාගැනීම්වලට අනුව මේ විෂ වායු ආඝ්‍රාණය නිසා හතිය, හෘදයාබාධ, සමේ රෝග, හිසරදය, ස්‌නායු දුර්වලතා, අක්‌මාව සහ වකුගඩු අකර්මණ්‍ය වීම මෙන් ම ජීවීන් ගේ ප්‍රතිශක්‌තිකරණ පද්ධතියට ද ඝෘජු ව ම බලපෑම් සිදු කරන අතර පසුකාලීන ව පිළිකා තත්ත්වයන් ද ඇති විය හැකි ය. පොලිතීන් හෝ ප්ලාස්‌ටික්‌ දහනයේ දී ස්‌ටයිරින් (Styrene) නම් වායුව නිපදවෙන අතර එය ඝෘජු ව ම සමට සහ පෙනහලුවලට උරාගැනීම සිදු වේ. මේ වායුවේ ඉහළ සාන්ද්‍රණයකට අක්‌ෂි කාචය පවා විනාශ කර අන්ධභාවයට පවා පත් කිරීමට හැකියාව ඇත. පොලිඑතිලීන් දහනයේ දී නිපදවෙන දරුණු ම විමෝචක ලෙස ඩයොක්‌සින් (Dioxin) සහ ෆියුරන්ස්‌ (furans) හැඳින්විය හැකි ය. ඩයොක්‌සින් සහ ෆියුරන්ස්‌ යනු අති ප්‍රබල විෂ රසායන ද්‍රව්‍යයන් දෙකකි. මේවා පිළිකාකාරක ලෙස හඳුනාගෙන ඇති අතර වර්තමානයේ පිළිකා රෝගීන් ගේ විශාල වැඩි වීමක්‌ වාර්තා වේ. එයට ප්‍රධාන ම හේතුවක්‌ ලෙස මේ විමෝචනකාරක දෙක හඳුනාගෙන ඇත.

ඉහත සඳහන් කළ කරුණුවලට අමතර ව පොලිතීන් සහ ප්ලාස්‌ටික්‌ දහනයේ දී විමෝචනය වන විෂ වායු සහ අංශුමය ප්ලාස්‌ටික්‌ වායුගෝලයට එකතු වී වායුගෝලය දූෂණය කරයි. ඉන් විමෝචනය වන විෂ රසායන ද්‍රව්‍ය පස තුළට හෝ ජලය තුළට හෝ උරාගැනීම ද සිදු වේ. එනම් මේ සියල්ල අවසාන වන්නේ බීමට සුදුසු ජලය මත හෝ අහාර දාම මත ය. එනම් ආඝ්‍රාණයෙන් පමණක්‌ නො ව ආහාර හෝ ජලය මඟින් ද මේ විෂ රසායන අප ශරීරයට ඇතුළු වී හානි සිදු කරයි. මේ විනාශයේ දරුණු ම තත්ත්වය නම් පොලිතීන් සහ ප්ලාස්‌ටික්‌ දහනය සිදු කරන පුද්ගලයාට පමණක්‌ නො ව එමඟින් උපන්, නූපන් සමස්‌ත ජීවීන් ප්‍රජාවට ම හානිය එක ලෙස බෙදී යැමයි. එනම් පොලිතින් දහනය සිදු කරන පුද්ගලයා සමූලඝාතකයකු ලෙස හැඳින්වීමට ද හැකි ය.

මේ තත්ත්වයෙන් මිදීමට නම් එක්‌ පුද්ගලයකු වශයෙන් නො ව සමස්‌ත ප්‍රජාව ම එක ලෙස මේ තත්ත්වය තේරුම්ගෙන පොලිතීන් සහ ප්ලාස්‌ටික්‌ දහනයෙන් වැළකිය යුතු ය. මේ පිළිබඳව සමාජය දැනුවත් කිරීම සිදු කළ යුතු අතර ඒ සඳහා රාජ්‍ය අනුග්‍රහය අත්‍යවශ්‍ය සාධකයකි. ශ්‍රී ලංකාව තුළ පොලිතීන් දහනය තහනම් කිරීමට නීති සම්පාදනය සිදු කර ඇතත් සමාජය දැනුවත් භාවය ඉතා පහළ මට්‌ටමක පැවතීම නිසා කිසිදු සීමාවකින් තොර ව මේ අපරාධය බොහෝ මිනිසුන් විසින් සිදු කරනු ලබයි. පොලිතීන් සහ ප්ලාස්‌ටික්‌ භාවිතය අවම කිරීම, නැවත නැවත භාවිත කිරීම, නැවත ප්‍රතිචක්‍රිකරණය කිරීම යන ක්‍රියාවලි සිදු කිරීම මේ තත්ත්වය අවම කිරීමට ගත හැකි ක්‍රියා මාර්ග වේ.

පළමුව අපි දැනුවත් වෙමු. දෙවනුව අන්‍යයන් දැනුවත් කරමු. පොලිතීන් සහ ප්ලාස්‌ටික්‌ දහනයෙන් වළකිමු.

ශ්‍රී ලංකා විද්‍යාභිවර්ධන සංගමයේ

පරිසර කමිටු සාමාජික

රුවන් කළුබෝවිල