logo3.gif (702 bytes)

arrow7.gif (1098 bytes)


ස්‌වාභාවික ආපදා පිළිබඳව දැනුම් දෙන නව නිපැයුමක්‌

පසුගිය වර්ෂය ශ්‍රී ලංකාව දැඩි ලෙස ස්‌වාභාවික විපත්වල බලපෑමට ලක්‌ වූ වර්ෂයක්‌ ලෙස සැලකිය හැකි ය. ගංවතුර, නාය යැම්, සුළි සුළං පමණක්‌ නො ව කුණු කඳු පවා නාය යැමට ලක්‌ වීම නැවත නැවතත් පරිසරය පිළිබඳ අප ගේ දැඩි සැලකිල්ල යොමු කිරීමට සමත් විය.

කෙසේ වෙතත් මේ ආපදා තත්ත්වයන් නිරීක්‌ෂිණයට ලක්‌ කරමින්, ඒ සඳහා විසඳුම් සපයන්නන් ද නැතුවා ම නො වේ. ඒ අයුරින් ආපදා පිළිබඳව දැනුම් දෙන නව නිර්මාණයක්‌ සැකසූ සිසුන් දෙදෙනකු පසුගිය දා අප හා ඒ පිළිබඳ ව විස්‌තර පැවසූ හ. ඒ, ශ්‍රී ලංකා විද්‍යාභිවර්ධන සංගමයේ 73 වැනි සැසිවාරයට සමගාමී ව පැවැති දීප ව්‍යාප්ත නව නිර්මාණකරුවන් ගේ නව නිර්මාණ ප්‍රදර්ශනය හරහා ය. කවිශ්ක හංසන හා ශෙහාන් රන්දුල වන මේ සිසුන් දෙදෙනා කෑගල්ල ස්‌වර්ණ ජයන්ති මහා විද්‍යාලයයේ 12 වැනි ශ්‍රේණියේ ඉගනුම ලබති.

මොවුන් විසින් නිර්මාණය කරන ලද ආපදා සංවේදක උපකරණය ප්‍රධාන සංවේදක 4කින් සමන්විත වීම විශේෂත්වයකි.

එනම්,

1. වර්ෂාමානය

2. භූකම්පන දර්ශකය

3. පස්‌ කන්දේ ඇල වීමක්‌ පෙන්වන සංවේදකය

4. පස්‌ කන්ද තුළ පැලුමක්‌ මඟින් ජලය ගලා යන්නේ දැයි පෙන්වන සංවේදකය.

මෙහි ඇති වර්ෂාමානයේ විශේෂත්වය වන්නේ, එමඟින් High level (150 mmට වැඩි) හා Low level (0 - 10 mm අතර) ලෙස මානයන් දෙකකින් වර්ෂාපතනය මැනගත හැකි වීමයි. තව ද වර්ෂාමානය තුළ එක්‌රැස්‌ වන ජලය, ජලය ඉවත් කරන ස්‌විච්චය මඟින් නිවසේ සිට ම ඉවත් කරගැනීමේ හැකියාව ද පවතී. අධික වර්ෂාපතනයක දී එය දැනුම් දෙන High level බල්බය දැල්වෙන අතර, අඩු වර්ෂාපතනයක දී Low level බල්බය දැල්වේ.

භූ කම්පන දර්ශකය, පස්‌ කන්ද ඇල වීම පෙන්වන සංවේදකය, පස්‌ කන්දක්‌ තුළින් ජලය ගලා යැම පෙන්වන සංවේදකය යන සංවේදක තුනෙන් ම පොළොවේ සිදු වන සුළු හෝ කම්පන තත්ත්වයක්‌ වුව ද දැනුම් දේ. පොළොවේ කම්පනයක්‌ එක්‌ වරක්‌ හෝ ඇති වුව හොත් මේ සංවේදකය මඟින් එම තත්ත්වය හඟවන බල්බය හා බසරය දිගින් දිගට ම ක්‍රියා කරවයි.

මෙහි දී මේ උපකරණයට සවි කර ඇති ජංගම දුරකථනය මඟින් නිවෙස්‌ හිමියා ගේ ජංගම දුරකථනයට ඇමතුමක්‌ ලබා දීම සිදු කෙරේ. මෙහි ඇති විශේෂ වාසිය වන්නේ නාය යැමේ අවදානමක්‌ ඇති සැම විටක ම මේ පණිවිඩය ලැබෙන බැවින්, ආරක්‌ෂිත කලාපයක්‌ කරා යැමට මිනිත්තු 15ක පමණ කාලයක්‌ හිමි වීමයි.

මේ නිපැයුම සඳහා රු. 20,000/-ක පමණ මුදලක්‌ වැය වූ බව කවිශ්ක හා ශෙහාන් පවසති. මේ සඳහා පේටන්ට්‌ බලපත්‍රය දැනටමත් අයදුම් කර ඇති අතර, තනි ව පිරිවැය දැරීමට නො හැකි වුවත් සහයෝගයක්‌ ලැබුණ හොත් මේ තාණය වාණිජ මට්‌ටමින් හඳුන්වා දීමට හැකියාව ඇති බව ඔවුහු වැඩිදුරටත් අප හා පැවසූ හ. තම පාසලෙන් හා නිවසින් මේ සඳහා ඔවුනට විශාල සහයෝගයක්‌ ලැබී ඇත.

විපතක්‌ සිදු වූ විට එකිනෙකාට දොස්‌ පවරාගන්නා මෙවන් රටක, මේ සිසුන් දෙදෙනා කටයුතු කර ඇති ආකාරය වඩාත් බුද්ධිමත් ය. කළ යුතු වන්නේ මෙවැනි නිර්මාණකරුවන් තවදුරටත් දිරිමත් කරමින් රටක්‌ වශයෙන් ඉදිරියට යැම ය.

ශෂිප්‍රභා කල්පනී