logo3.gif (702 bytes)

arrow7.gif (1098 bytes)


සුමාත්‍රානු රයිනෝසිරස්‌ ගහනය අඩු වීම සඳහා හේතු වූ අතීත දේශගුණ වෙනස්‌ වීම

ඉන්දුනීසියාවේ සුමාත්‍රා දූපතේ හා බෝර්නියෝ දූපතේ වාසය කරන සුමාත්‍රානු රයිනෝසිරස්‌ (Sumatran Rhinoceros) ලෙස හැඳින්වෙන රයිනෝසිරස්‌ විශේෂය ලෝකයේ ජීවත් වන රයිනෝ විශේෂ පහ අතරින් කුඩා ම විශේෂය වෙයි. Dicerorhinus sumatrensis ලෙස සත්ත්ව විද්‍යාත්මක ව හැඳින්වෙන මේ සත්ත්ව විශේෂය Dicerorhinus ගණයට අයත් වන එක ම විශේෂයයි. එම විශේෂයේ උප විශේෂ තුනක්‌ පිළිබඳ ව වාර්තා වන අතර, එක්‌ විශේෂයක්‌ මේ වන විට වඳ වී ගොස්‌ ඇති සේ සැලකේ.

සුමාත්‍රානු රයිනෝසිරස්‌ කෙතරම් දැඩි ලෙස වඳ වීමේ තර්ජනයට ලක්‌ ව ඇත්තේ ද යත්, IUCN රක්‌ත ලේඛනයේ 'දැඩි අන්තරායක' (Critically Endangered) තත්ත්වයේ ලා සැලකෙන සත්ත්ව විශේෂයකි. 2011 වර්ෂය වන විට ස්‌වාභාවික පරිසරයේ මේ විශේෂයට අයත් රයිනෝ සතුන් 216ක්‌ පමණ හමු වූ බව වාර්තා වෙයි. එහෙත් ඇතැම් මෑතකාලීන ගණන් බැලීම්වලට අනුව දැන් මේ ගණන සියයකටත් වඩා අඩු ය. අතීතයේ දී මේ සතුන් ගේ ව්‍යාප්තියේ උතුරු සීමාව ඉන්දියාව සිට ලාඕසය දක්‌වා වූ අතර, දකුණු සීමාව ඉන්දුනීසියානු දූපත් විය. එහෙත් අද වන විට මේ සතුන් වාසය කරන්නේ සුමාත්‍රා දූපතේ හා බෝර්නියෝ දූපතේ පමණකි. මැලේසියානු අර්ධද්වීපයේ මේ සතුන් ජීවත් වන්නේ ද යන්න සැකසහිත බව පෙන්වා දී තිබෙයි. මේ සතුන් පත් ව ඇති බරපතළ ම තර්ජනය වන්නේ අං ලබාගැනීම සඳහා දඩයම් කිරීමයි. එසේ ම මේ සත්ත්වයා ගේ දේහ කොටස්‌ විවිධ ඖෂධීය අවශ්‍යතා සඳහා යොදාගැනීම ද දැකිය හැකි ය. ශතවර්ෂ ගණනාවක්‌ තිස්‌සේ සිදු වූ මේ දඩයම් කිරීම නිසා සුමාත්‍රානු රයිනෝසිරස්‌ අද වන විට වඳ වීමේ තර්ජනයට ලක්‌ ව ඇති බව පිළිගැනෙයි.

කෙසේ වෙතත්, මේ සතුන් ගේ ප්‍රවේණික ද්‍රව්‍ය සම්බන්ධ ව මෑතක දී සිදු කරන ලද අධ්‍යයනයකින් අපූරු කරුණක්‌ අනාවරණය වී ඇත. ඒ අනුව, මේ රයිනෝ විශේෂයේ ගහනය අඩු වීමට බලපෑ හේතු ආරම්භ වූයේ අද ඊයේ නො ව, අදින් වසර මිලියනයකට පමණ කාලයකට පෙර පැවැති ප්ලයිස්‌ටොසීන යුගයේ මැද භාගයේ දී පමණ ය.

ප්‍රවේණික ද්‍රව්‍ය පිළිබඳ අධ්‍යයනයක්‌

මේ අධ්‍යයනය සඳහා යොදාගෙන ඇත්තේ ඇමෙරිකාවේ සින්සිනාටි සත්ත්වෝද්‍යානයේ වාසය කළ සුමාත්‍රානු රයිනෝසිරස්‌ සතෙකු ගෙන් ලබාගත් නිදර්ශකයකින් උකහාගත් ගෙනෝමයකි. ඉපු (Ipuh) නමින් හැඳින්වුණු එම සත්ත්වයා වසර 22ක්‌ පමණ කාලයක්‌ එම සත්ත්වෝද්‍යානයේ වාසය කර 2013 වර්ෂයේ දී මිය ගොස්‌ ඇත. එම සතා ගෙන් පැවත එන රයිනෝ සත්තු මේ වන විට ඉන්දුනීසියාවේ අභය භූමිවල වාසය කරති.

මේ ප්‍රවේණික ද්‍රව්‍ය යොදාගනිමින් Pairwise Sequential Markovian Coalescent (PSMC) නම් අණුක විද්‍යාත්මක තාක්‌ෂණික ක්‍රමවේදයක්‌ යොදාගනිමින් එම සතුන් ගේ ප්‍රවේණික ඉතිහාසයක්‌ ගොඩනැංවීමට මේ පර්යේෂකයන්ට හැකියාව ලැබී ඇත. මෙහි දී එක්‌ ජීවියකු ගේ ගෙනෝම අනුක්‍රමයක්‌ (genome sequence) යොදාගනිමින් එම ජීවියා අයත් විශේෂයේ ගහනයේ විශාලත්වයේ ඉතිහාසය ගොඩනැංවීමට හැකියාව ලැබෙයි. මෙය දුර්ලභ හෝ වඳ වී ගිය හෝ විශේෂ අධ්‍යයනය කිරීමේ දී විශේෂයෙන් වැදගත් වන ක්‍රමවේදයකි. උක්‌ත අධ්‍යයනයේ දී ද මේ ක්‍රමවේදයෙන් ලබාගත් දත්ත හා පාරිසරික නිෙත ආකෘතියක්‌ සම්බන්ධ කරමින් අතීතයේ සිදු වූ දේශගුණ වෙනස්‌ වීම් මේ සතුන් ගේ ගහනයේ විශාලත්වයට බලපා ඇති ආකාරය අවබෝධ කරගැනීමට මේ පර්යේෂකයෝ උත්සාහ කළ හ.

සුමාත්‍රානු රයිනෝසිරස්‌ ගහනයේ වෙනස්‌ වීම්

සුමාත්‍රානු රයිනෝ ගහනය ඉතිහාසයේ දී උච්චාවචනය වූ ආකාරය මේ ප්‍රවේණික දත්ත අනුව පැහැදිලි වී තිබෙයි. මේ සතුන් ගේ ගහනයේ උපරිම ප්‍රමාණය දැකිය හැකි වී ඇත්තේ සුන්ඩාලන්තය නමින් හඳුන්වනු ලබන බිම් ප්‍රදේශය පැවැති කාල සීමාවේ ය. සුන්ඩාලන්තය යනු අදින් වසර මිලියන 2.6ක පමණ කාලයකට පෙර පටන් මුහුදු මට්‌ටම පහළ ගොස්‌ තිබූ කාලයේ දී අග්නිදිග ආසියාවේ දැකිය හැකි වූ විශාල ගොඩබිම් ප්‍රදේශයකි. ඊට මලයාසියානු අර්ධද්වීපය, සුමාත්‍රා, ජාවා හා බෝර්නියෝ යන වර්තමානය වන විට දූපත් බවට පත් ව ඇති ප්‍රදේශ ඇතුළත් විය. මේවා එක ම ගොඩබිමක්‌ ලෙස සම්බන්ධ වී තිබූ අතර ඒ අනුව මේ දූපත් ආසියා මහාද්වීපයට ද සම්බන්ධ ව තිබිණි. මේ අනුව මේ ප්‍රදේශවල සත්ත්ව සංක්‍රමණ සිදු වූ බව පැහැදිලි වෙයි. පසුව මුහුදු මට්‌ටම ඉහළ යැමේ දී මේ ප්‍රදේශ සමහරක්‌ දූපත් බවට පත් වූ අතර විශාල ප්‍රදේශයක්‌ මුහුදුබත් විය. (සිතියම බලන්න) මේ කලාපය ජෛවභූගෝල විද්‍යාත්මක ව (biogeographically) වැදගත් කලාපයක්‌ සේ සැලකේ.

සුන්ඩාලන්තය පැවැති කාලයේ දී, එනම් අදින් වසර 950,000ක්‌ පමණ කාල සීමාවකට පෙර සුමාත්‍රානු රයිනෝ ගහනය එහි උපරිම විශාලත්වයට ළඟා වූ බව ප්‍රවේණික දත්ත අනුව මේ විද්‍යාඥයන් ගේ අදහස වෙයි. එහි උපරිම ප්‍රමාණය ඇස්‌තමේන්තුගත කර ඇත්තේ සතුන් 57,800ක්‌ පමණ ලෙස ය. මේ ප්‍රමාණය සඵල ගහන විශාලත්වය (Effective population size) ලෙස හැඳින්වෙයි. එමඟින් අදහස්‌ වන්නේ යම් ගහනයක අභිජනනය කරන සතුන් ගේ ප්‍රමාණය, වැඩිහිටි සතුන් ගේ ප්‍රමාණය, පිළිබඳ සංඛ්‍යාවකි. සතුන් ගේ ගහනයේ මේ වර්ධනය සිදු වී ඇත්තේ මුල් ප්ලයිස්‌ටොසීන යුගයේ සිට මධ්‍ය ප්ලයිස්‌ටොසීන යුගය දක්‌වා වූ කාලයේ දී ය.

එහෙත් අයිස්‌ යුගයේ අවසානයේ දී මුහුදු මට්‌ටම ඉහළ යැම නිසා පෙර කී සුන්ඩාලන්තයෙන් විශාල කොටසක්‌ මුහුදුබත් විය. එයට අයත් භූමි ප්‍රදේශයේ කොටස්‌ සමහරක්‌ දූපත් බවට පත් ව මහාද්වීපයෙන් වෙන් විය. බෝර්නියෝ, ජාවා, සුමාත්‍රා දූපත් මෙසේ මලයාසියානු අර්ධද්වීපයෙන් වෙන් වීම සිදු විය. ඒ සමඟ අදින් වසර 12,000ක්‌ පමණ කාලයකට පෙර කාලය වන විට මේ කලාපයේ විශාල ක්‌ෂSරපායින් පීඩා විඳින්නට පටන්ගෙන තිබිණි. සුමාත්‍රානු රයිනෝසිරස්‌ ද ඉන් එක්‌ විශේෂයක්‌ විය.

සුමාත්‍රානු රයිනෝ වැනි සතුන් දූපත්වලට කොටු වූ අතර ඒ සමඟ මේ සතුන්ට ජීවත් වීම සඳහා යෝග්‍ය වූ පරිසරය විශාල ලෙසින් අඩු වීම හා වාසස්‌ථාන කඩ කඩ වීමෙන් ගහන වෙන් වීම දැකිය හැකි විය. අදින් වසර 9,000ක්‌ පමණ වන විට මේ සතුන් ගේ සඵල ගහන විශාලත්වය 700ක්‌ පමණ ප්‍රමාණයක්‌ දක්‌වා අඩු වී තිබූ බව මේ අධ්‍යයනයේ ප්‍රවේණික සාධක මඟින් හෙළි වෙයි. මේ සඳහා බලපෑ සාධකය වූයේ දේශගුණ වෙනස්‌ වීමයි.

ගහනයේ විශාලත්වය අඩු වීම නිසා සුමාත්‍රානු රයිනෝසිරස්‌ ගහනයේ ප්‍රවේණික විවිධත්වය අඩු වීම සිදු වී ඇත. ඒ සමඟ එදා අඩු වූ රයිනෝ ගහනය කිසිදු දිනයක යථා තත්ත්වයකට පත් වූ බවක්‌ නො පෙනෙන බව මේ පර්යේෂකයන් ගේ අදහසයි. මේ අනුව සුමාත්‍රානු රයිනෝ විශේෂය බොහෝ කාලයක්‌ තිස්‌සේ වඳ වී යැමේ මාවතේ ගමන් කරමින් සිට ඇති බව මේ විද්‍යාඥයන් ගේ අදහස වෙයි.

මානව බලපෑම

රයිනෝ සතුන් ගේ වාසස්‌ථාන වූ වනාන්තර බිම් විනාශ කිරීම හා රයිනෝ දඩයම් කිරීම වැනි මෑත කාලයේ දී මිනිසුන් විසින් සිදු කරන ලද කටයුතු ඒ වන විටත් ජාන විවිධත්වයෙන් පිරිහීමට පත් ව තිබූ මේ රයිනෝ සතුන් වඳ වී යැමේ අවදානම තවදුරටත් වර්ධනය කිරීම සඳහා හේතු වූ බව ද පැහැදිලි ය. ප්‍රවේණික විවිධත්වය අඩු සත්ත්ව විශේෂයක්‌ මිනිසුන් ගේ දඩයමට ලක්‌ වීම නිසා දැඩි අවදානමකට ලක්‌ වීමට අවස්‌ථාවක්‌ ඇත.

හොලෝසීන යුගයේ දී වනාන්තර හෙළි කිරීම මෙන් ම රයිනෝ සතුන් දඩයම් කිරීම ද මිනිසුන් විසින් සිදු කරන ලද බවට සාධක පවතියි. නිදසුනක්‌ ලෙස බෝර්නියෝ දූපතේ නියා ගුහාව වැනි ප්‍රාග් ඓතිහාසික සාධක සහිත ස්‌ථානවලින් ලැබී ඇති සාධක දැක්‌විය හැකි ය. ඒ අපර ප්ලයිස්‌ටොසීන සමයේ දී ය. මේ අනුව මෑත අතීතයේ දී රයිනෝ ගහනය අඩු වීම සඳහා මානව ක්‍රියාකාරිත්වය ද බලපා ඇති බව පැහැදිලි ය.

මේ කරුණු අනාවරණය වීම රයිනෝ සංරක්‌ෂණය පිළිබඳ ව වර්තමානයේ ඇති වී තිබෙන උත්සාහය අසාර්ථක විය හැකි යෑයි අවතක්‌සේරු කරනු නො ලැබේ. වෙනත් ආකාරයකින් පවසන්නේ නම්, සුමාත්‍රානු රයිනෝසිරස්‌ ගහනය අද මුහුණ පා ඇති තර්ජන වැළැක්‌වීම කළ නොහැකි යෑයි අවතක්‌සේරු කිරීමක්‌ ඉන් අදහස්‌ නො වෙයි. එහෙත් මේ විශේෂයේ ගහනයේ තත්ත්වය වඩා පුළුල් වූ පාරිසරික හා පරිණාමික සන්දර්භයක පිහිටුවනු ලැබීමට මේ අධ්‍යයනය මඟින් උපකාරයක්‌ ලැබෙන බව මේ පර්යේෂකයන් ගේ අදහස වෙයි. එසේ ම පරිණාමීය වශයෙන් ඇති ප්‍රවණතා හඳුනාගනු ලැබීම සංරක්‌ෂණ උත්සාහය සාර්ථක කරගැනීම සඳහා වැදගත් බව අමුතුවෙන් කිවයුතු නැත. කෙසේ වෙතත් සුමාත්‍රානු රයිනෝසිරස්‌ සංරක්‌ෂණය පෙරටත් වඩා අභියෝගයක්‌ බව නම් පැහැදිලි ය.

මූලාශ්‍රය: CCurrent Biology, DOI: 10.1016/j.cub.2017.11.021

ධනේෂ් විසුම්පෙරුම