logo3.gif (702 bytes)

arrow7.gif (1098 bytes)


දින දර්ශනය ඇරඹිය යුතු විද්‍යාත්මක දිනය ජනවාරි 01 නො වේ

ග්‍රෙගරියන් දින දර්ශනය (Gregorian calender) අනුගමනය කරන ලොව රාජ්‍යයන් රැසක බහුතර ජනතාව ජනවාරි මාසයේ ප්‍රථම දවසේ, 2018 නව වසරේ සම්ප්‍රාප්තිය සැමරූ ආකාරය ඔබ ජනමාධ්‍ය තුළින් අසන්නට, දකින්නට ඇති. ග්‍රෙගරියන් දින දර්ශනය බිහි වී ගත වූ ශතවර්ෂ සතරක පමණ කාලය පුරා ම ලොව ජනතාව නව වසරක උදාව සනිටුහන් කර ඇති. විදුසර පාඨක සහ ලේඛක සමූහය වශයෙන්, මේ වසරින් වසර ඉදිරියට යන නව වසරක උදාව සැමරුමේ යථාර්ථයක්‌ තිබේ ද නැද්ද යන්න පිළිබඳ ව විග්‍රහ කර බලමු.

ක්‍රිස්‌තු පූර්ව 45 වසරේ දී පමණ, එකල සිටි න්‍යායාචාර්යවරුන් ගේ සහාය ඇති ව ජුලියස්‌ සීසර් විසින් සම්පාදනය කරන ලද ජුලියන් දින දර්ශනය (Julian calender) විවිධ සංශෝධනවලට භාජන වී වසර 1582 දී ප්‍රසිද්ධියට පත් වූ ග්‍රෙගරියන් දින දර්ශනය ලොව රාජ්‍යයන් රැසක ම භාවිතයට පත් විය.

මිනිසා විසින් සන්නිවේදන මාර්ග සොයාගැනීමේ ඉතිහාසය ඉතා දීර්ඝ ය. සන්නිවේදනය සඳහා, මිනිස්‌ පරිණාමයේ ආරම්භක අවධියේ දී යොදාගත් 'හූ' හඬ සහ නවීන තාක්‌ෂණික මෙවලම් අතර සන්නිවේදන ක්‍රම රැසක්‌ ගැන තොරතුරු පොතපතේ අඩංගු ය. එම සන්නිවේදන ක්‍රමවල දියුණුව සහ භාවිතය සිදු වූයේ විද්‍යාව සහ තාක්‌ෂණය ගෝලීය විෂයයන් ලෙස සැලකීමට මිනිසා දැක්‌වූ කැමැත්ත නිසා මිස, පෙරදිග, අපරදිග, ආසියාතික, දේශීය, පාරම්පරික, සංස්‌කෘතික ආදී වශයෙන් දැනුම ප්‍රභේද කිරීමෙන් නම් නො වේ. අදින් ශත වර්ෂයකට පමණ පෙර, හැකියාව තිබූ සැම කෙනකු ම සන්නිවේදනයේ දී කිsසි ම භේදයකින් තොර ව ගුවන් විදුලි තාක්‌ෂණය සතු කරගත්තා මෙන් ම අද දවසේ තත්ත්වය ඊටත් වඩා උසස්‌ ය. ජංගම දුරකථන උපකරණ නිෂ්පාදනය කළේ කවුද හෝ කොහේ ද යන්න විමසුම් නො කර ම මහා දේශප්‍රේමීහු පවා නවීන සන්නිවේදන උපකරණ අත රඳවාගනිති.

විද්‍යාව සහ තාක්‌ෂණය ප්‍රභේද කිරීමෙන් වැළකී, කලින් කලට දියුණු වූ විද්‍යා මාවතේ ගමන් කළ රාජ්‍යයන් අද ලොව දියුණු තත්ත්වයට ළඟා වී සිටිය ද, පාරම්පරික ව පැවත එන බොහෝ මිථ්‍යා මතවල සිර වී සිටින රාජ්‍යයන් දියුණුව නම් වූ මාවතේ තවමත් බඩගාමින් සිටී. එවන් රාජ්‍යයන් උගතුන් ගේ සේවය රටට කෙතරම් අත්‍යවශ්‍ය වුව ද ඒ උගතුන් තම රටවල් හැර දා නවීන විද්‍යාව සහ තාක්‌ෂණය ප්‍රයෝජනයට ගනිමින් ඉදිරියට යන රාජ්‍යයන් වෙත ළඟා වීම අවහිර කිරීම ඉතා අසීරු කරුණක්‌ වී ඇත.

2017 වසර ගෙවී ගොස්‌ 2018 වසරට පා තැබූ මේ මොහොතේ වත් යථාර්ථය අවබෝධ කරගත යුතු බව වටහා ගත හොත් අඩු ම වශයෙන් විදුසර පාඨක ලේඛක කණ්‌ඩායම වත් ලෝකයට වැදගත් දෙයක්‌ දායක කිරීමට සමත් වනු ඇත.

ජුලියස්‌ දින දර්ශනය සංශෝධනය කොට ග්‍රෙගරියන් දින දර්ශනය සම්පාදනය කිරීමේ කාර්යයේ දී, ග්‍රීක, මිසර සහ ඊජිප්තු ජාතිකයන් විසින් කරන ලද නිරීක්‌ෂණ පාදක කොටගෙන වසරක දිග දින 365කට සහ සතර වැනි වසර දින 366කට සීමා කළාට සැක නැත. එහෙත් දින දර්ශනයේ ප්‍රථම දවස වන ජනවාරි පළමු දිනය අහඹු ලෙස (Arbitrary) තෝරාගෙන ඇත. එසේ නැතිනම් අද ලෝකය දන්නා තාරකා විද්‍යාත්මක සාධකවලට ගැළපෙන ලෙස ජූලියන් දින දර්ශනය සංශෝධනය වී නොමැත.

අද පාසල් අධ්‍යාපනය ලබන දු දරුවන් පවා දන්නා සත්‍යයක්‌ නම්, තාරකා විද්‍යාවේ දැක්‌වෙන පරිදි, දෙසැම්බර් 31 වැනි දා හෝ ජනවාරි 1 වැනි දා හෝ සූර්යයා සහ අපේ ලෝකය අතරවත් සිදු වන කිසි ම වැදගත් සාපේක්‌ෂ සිදුවීමක්‌ නොමැත යන්න ය. ජුලියන් දින දර්ශන සම්පාදක කණ්‌ඩායම එය සටහන් කිරීම ආරම්භ කළ දවස ජනවාරි 1 ලෙස යෙදුවා පමණි. ලෝකයේ රාජ්‍යයන්වල සහ රාජ්‍යයන් අතර සිදු වන කටයුතු රැසකට දින දර්ශනයක භාවිතය අත්‍යවශ්‍ය වන නිසා ම ග්‍රෙගරියන් දින දර්ශනය ඒ සඳහා යොදාගැනීමේ වරදක්‌ නොමැත. එහෙත් එම දින දර්ශනයේ ආරම්භක හෝ අවසන් දින පිළිබඳ ව විශේෂ ආශ්චර්යයන් සම්බන්ධ යෑයි යන මිථ්‍යාව ප්‍රතික්‌ෂේප විය යුතු ය.

එම යථාර්ථය වටහා නො ගැනීමේ එක්‌ අවාසනාවන්ත ප්‍රතිඵලයක්‌ නම් නව වසර උදාවේ සැමරුම් සඳහා ලොව පුරා සිදු වන මහා ආර්ථික විනාශයයි. දින දර්ශනවල සඳහන් සමහර සාධක මත ගොඩනැඟුණ මිථ්‍යා මත හිස මුදුනින් ගත් මිනිසුන් මුහුණ දෙන අභාග්‍යයන් අපමණ ය. මායාවරුන් සකස්‌ කළ දින දර්ශනයක්‌ නිසා 2012 වසරේ ලෝක විනාශයක්‌ සිදු වන බව විශ්වාස කිරීම එක්‌ උදාහරණයකි.

මීට පෙර විදුසර ලිපිවලින් සාකච්ඡා කළ පරිදි තාරකා විද්‍යාත්මක සාධක පදනම් කරගෙන දින දර්ශනයක්‌ සකස්‌ වීම ඉතා අවශ්‍ය ය. ලොව පුරා වසන සැම සත්ත්වයකුට ම පාහේ ඉතා වැදගත් වන පාරිසරික සාධකවල බලපෑම තීරණය කිරීමේ දී ඉතා වැදගත් වන තාරකා විද්‍යාත්මක සංසිද්ධි වන සූර්යයා සමකයට මුදුන් වන දින දෙකෙන් එකක්‌ හෝ සූර්යයා මකර නිවර්තනයට හෝ කර්කටක නිවර්තනයට මුදුන් වන දිනය වසරක ආරම්භය ලෙස සැලකීම දින දර්ශනයක්‌ සැලසුම් කිරීමේ දී වඩාත් අර්ථවත් ය. එසේ ම අප පෘථිවිය සූර්යයාට ආසන්නතම වන දවස හෝ දුරස්‌තම වන දවස හෝ දින දර්ශනයක ආරම්භය සඳහා සුදුසු ය. සූර්යයා වටා අප ලෝකය ගෙවන මාර්ගය රූප සටහනේ දක්‌වා ඇත.

කේ. ආර්. අභයසිංහ