logo3.gif (702 bytes)

arrow7.gif (1098 bytes)


ක්‌ෂුද්‍ර නිදිමත පාලනයට දේශීය ශාකසාර යොදා නිපදවූ ටොෆියක්‌

ශ්‍රී ලංකා තරුණ විද්‍යාඥයන් ගේ ඇකඩමිය (SLAYS) මඟින් ජාතික විද්‍යා පදනම (NSF) සහ COSTI ආයතනය සමඟ එක්‌ ව සංවිධානය කළ 3MT තරගයේ (3 Minute Thesis Competition) අවසන් වටය සඳහා තේරුණු තරුණ විද්‍යාඥයන් ගේ පර්යේෂණ පිළිබඳ තොරතුරු මේ ලිපි පෙළ මඟින් ඉදිරිපත් කෙරෙයි.

පරිගණක තිරය දෙස දිගු වේලාවක්‌ බලා සිටීම, වාහනයක්‌ පදවාගෙන යැම වැනි ඒකාකාරී ක්‍රියාවන්වල නිරත වීමේ දී නිදිමත වී ඔබටත් නො දැනීම ඇස්‌ පිය වී තිබෙනවා ද? එසේ නම් ඔබත් ක්‌ෂුද්‍ර නිදිමත (Micro Sleepiness) හෙවත් කෙටි නින්දේ ගොදුරක්‌ බවට පත් වී තිබේ. මෙය දවස පුරා ඕනෑ ම වෙලාවක තත්පරයකින් කොටසක සිට තත්පර 30ක උපරිම කාල සීමාවක්‌ දක්‌වා ක්‌ෂණික ව ඇති විය හැකි ස්‌වාභාවික ජීව විද්‍යාත්මක සංසිද්ධියකි.

ඇඩිනොසින් රසායනිකය මොළයේ ඇති ඇඩිනොසින් ප්‍රතිගාහක සමඟ සම්බන්ධ වූ විට ස්‌නායුක සෛලවල ක්‌ෂමතාව මන්දනය වීම හේතුවෙන් නිදිමත, කම්මැලිකම වැනි තත්ත්වයන් ඇති වීම සාමාන්‍යයෙන් සිදු වේ. මෙයට අමතර ව දවසේ වරින් වර මහන්සිය, නිදිමත හා මන්දගාමී ස්‌වභාවයන් ඇති වීම අපේක්‌ෂා කළ හැකි ය. ක්‌ෂුද්‍ර නිදිමතේ විශේෂත්වය වන්නේ ක්‌ෂණික ව යථා තත්ත්වයට පත් වීම හා එම කෙටි කාලය තුළ ස්‌නායුක සංවේදනයන් සඳහා ප්‍රතිචාර දැක්‌වීම ප්‍රමාද වීමයි. එබැවින් ක්‌ෂණික තිගැස්‌මකට ලක්‌ ව තීරණ ගැනීමට නොහැකි වීම හේතුවෙන් විවිධ අනතුරුවලට ලක්‌ වීමේ වැඩි අවදානමක්‌ පවතී. මේ නිසා රථ වාහන අනතුරු සහ එමඟින් ඇති වන ජීවිත අනතුරු ප්‍රමාණය ශීඝ්‍ර ලෙස ඉහළ යමින් පවතී. ඊට අමතර ව අලාභ හානි, ඵලදායීතාව අඩු වීම, තත්ත්වයෙන් බාල නිෂ්පාදන සිදු වීම සහ රටේ දළ ජාතික නිෂ්පාදිතයට අහිතකර බලපෑම් ඇති වීම වර්තමානයේ දැවෙන ප්‍රශ්නයක්‌ ව පවතී.

මේ ප්‍රශ්නයට විසඳුමක්‌ සෙවීමට පර්යේෂණ පැවැත්වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයයේ විද්‍යාඥයන්ට ක්‌ෂුද්‍ර නිදිමත පාලනය කිරීමට සමත් ටොෆියක්‌ නිපදවීමට හැකි වී ඇත. සක්‍රිය ස්‌වාභාවික ශාක රසායනික වන සිනමැල්ඩිහයිඩ්, පයිපරින්, කැෆේන්, ජින්ජරෝල් අනුමත ප්‍රමාණවලින් යොදා මේ ටොෆිය නිෂ්පාදනය කර තිබේ. කාර්යක්‌ෂමතා අධ්‍යයන පරීක්‌ෂණයට අනුව එක්‌ වරක්‌ මේ ටොෆිය භාවිත කිරීම මඟින් පර්යේෂණයට සහභාගී වූ අය ගෙන් 80%කට වඩා වැඩි ප්‍රමාණයක ගේ කෙටි නිදිමත පාලනය වී ඇත. එමෙන් ම එක්‌ ටොෆියක්‌ භාවිතයෙන් පසු සහභාගි වූවන් ගෙන් 35%, 30%, 20%, සහ 15%ක පිරිසක්‌, පිළිවෙළින් පැයකට අඩු කාලයක්‌, පැය 1ත් 2ත් අතර, පැය 2ත් 3ත් අතර සහ පැය 3ත් 4ත් අතර කාලයක්‌ සඳහා තමන් ගේ කෙටි නිදිමත පාලනය වූ බව දන්වා ඇත.

ක්‌ෂුද්‍ර නිදිමත පාලනය සඳහා මූලිකාංග ලෙස ස්‌වයං විශ්වාසය ගොඩනැඟීම, හැපීමේ දී මුඛ කුහරය තුළ සිදු වන චලන මඟින් මොළයේ සෛල උත්තේජනය කිරීම, ආවේණික විශේෂිත රස සහ සුවඳ මඟින් නිදිමතට එරෙහි උත්තේජන සැපයීම, නිදිමත පාලනය කිරීම සඳහා ක්‍රියාත්මක වන ජෛව රසායන ක්‍රියාවලීන්ට අවශ්‍ය රසායනික ශක්‌තිය සැපයීම මේ පර්යේෂණයේ දී හඳුනාගත් අතර එම සියලු ලාක්‌ෂණික මේ ටොෆිය මඟින් සපයා දී ඇත.

මේ පර්යේෂණය සාර්ථකව සිදු කළ තරුණ විද්‍යාඥ රුමේෂ් ලියනගේ මහතා විදුසර යොමු කළ ප්‍රශ්න සඳහා අදහස්‌ දැක්‌වූයේ මෙලෙසිනි.

ඔබ ගැන කෙටි හැඳීන්වීමක්‌ කරන්න. මේ පර්යේෂණය සඳහා ඔබ යොමු වුණේ කෙසේ ද?

මම රුමේෂ් ප්‍රසංග ලියනගේ. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයයේ ආහාර විද්‍යාව හා තාක්‌ෂණය පිළිබඳ විශේෂ උපාධිය හැදෑරීමෙන් පසුව මේ වන විට පශ්චාත් උපාධි (PhD) පර්යේෂණ කටයුතු නිම කරමින් සිටිනවා. අපේ රටේ වගේ ම ලෝකයේ පවතින විවිධ ගැටලු සඳහා ආහාර තාක්‌ෂණය භාවිත කර විසඳුම් සෙවීම වගේ ම එතුළින් ලබාගත් දැනුම සමාජගත කිරීම තමයි මගේ අනාගත බලාපොරොත්තුව.

ඇත්ත වශයෙන් ම මේ පර්යේෂණය සඳහා මූලික අදහස ලබා දුන්නේ මහාචාර්ය එස්‌. බී. නවරත්න මහතා. ඒ වගේ ම මහාචාර්ය කේ. කේ. ඩී. එස්‌. රණවීර සහ ආචාර්ය ඉන්දිරා වික්‍රමසිංහ යන මහත්ම මහත්මීන් මේ පර්යේෂණයේ දී අධීක්‌ෂකවරුන් ලෙස විශාල කාර්යභාරයක්‌ ඉටු කරනවා.

අපේ රටේ වගේ ම විදේශ රටවලටත් දැඩි අභියෝගයක්‌ ව පවතින මාර්ග අනතුරු සහ ජීවිත හානි සඳහා ප්‍රධාන හේතුවක්‌ ලෙස නිදිමත හඳුනාගෙන තිබුණත් මේ සඳහා මූලික ම හේතුව නිදිමතට වඩා භයානක ක්‌ෂුද්‍ර නිදිමත බව හඳුනාගන්නට අප කණ්‌ඩායමට හැකි වුණා. ඉන් අනතුරුව මේ පිළිබඳ වැඩිදුර අධ්‍යයනය සඳහා මූලික සමීක්‌ෂණයක්‌ සිදු කළා. ඊට අමතර ව පර්යේෂණ පත්‍රිකා පරිශීලනය සහ මේ පිළිබඳ ව දැනුම ඇති විවිධ ෙක්‌ෂaත්‍රවල පුද්ගලයන් හමු වී සාකච්ඡා පැවැත්වීම මඟින් තවදුරටත් කරුණු සොයාගැනීමට හැකි වුණා. ඉන් පසුව එම තොරතුරු ඔස්‌සේ මේ පර්යේෂණය ආරම්භ කෙරුණා. අද වන විට මේ පිළිබඳ පර්යේෂණ පත්‍රිකා කිහිපයක්‌ ම අන්තර්ජාතික සඟරාවල පළ කිරීමටත් දේශීය මෙන් ම විදේශීය පර්යේෂණ සමුළු සඳහා සහභාගී වී කරුණු ඉදිරිපත් කිරීමටත් අපට හැකි වී තිබෙනවා. එමෙන් ම මේ පර්යේෂණය සඳහා 2017 වසරේ දී තරුණ පර්යේෂකයකු ලෙස ශ්‍රී ලංකා තරුණ විද්‍යාඥයන් ගේ ඇකඩමිය (SLAYS) ජාතික විද්‍යා පදනම (NSF) සහ විද්‍යා, තාක්‌ෂණ හා නවෝත්පාදන සම්බන්ධීකරණ ලේකම් කාර්යාලය (COSTI) මඟින් පැවැත්වූ 3 Minute Thesis තරගයෙන් මා හට රන් සම්මානයක්‌ ද දිනා ගැනීමට හැකි වුණා.

ක්‌ෂුද්‍ර නිදිමත හේතුවෙන් ශ්‍රී ලංකාවේ මාර්ග අනතුරු විශාල ප්‍රමාණයක්‌ සිදු වෙනවා ද?

ඇත්ත වශයෙන් ම ඔව්. ශ්‍රී ලංකාවේ පොලිස්‌ දර්ශක අනුව වසරින් වසර නිදිමත හේතුවෙන් සිදු වන අනතුරු සහ විශේෂයෙන් ම ජීවිත හානි ප්‍රමාණය ඉහළ යමින් පවතිනවා. අධිවේගී මාර්ගවල ධාවනයේ දී ඇති වන ඒකාකාරී බව නිසා මෙලෙස අනතුරු ඇති වීමේ ඉහළ අවදානමක්‌ පවතිනවා. එමෙන් ම පැය 14.00 - 20.00, 2.00 - 06.00 අතර කාලය තුළ රියදුරාට නින්ද යැම නිසා සිදු වන මාර්ග අනතුරු ප්‍රමාණය ඉතා ඉහළ අගයක්‌ ගන්නා අතර පැය 16.00 සිට 18.00 අතර කාල සීමාවේ ද අනතුරු ඇති වීමේ හැකියාවක්‌ පවතිනවා.

විශේෂයෙන් ම එක දිගට පැය ගණනාවක්‌ රිය පැදවීම, මත්ද්‍රව්‍ය පානය කර ධාවනය කිරීම, මානසික ආතතිය, ආලෝකය සහ වාහන තදබදය වැනි පාරසරික තත්ත්ව, බර ආහාර (Heavy Diet) පරිභෝජනය කර රිය පැදවීම මඟින් ක්‌ෂුද්‍ර නිදිමත ඇති වීමේ ඉහළ හැකියාවක්‌ පවතිනවා.

ක්‌ෂුද්‍ර නිදිමත නැති කිරීම සඳහා වන ඔබේ පිළියම ටොෆියක්‌ ආකාරයෙන් ඉදිරිපත් කිරීමට සිතුවේ ඇයි?

මූලික සම්මුඛ සාකච්ඡාවල ප්‍රතිචාර අනුව බහුතරයක්‌ දෙනා ගේ ඉල්ලීම මෙහි දී සලකා බැලුණා. එමෙන් ම වාහනය ධාවනය කරන අතරතුර පහසුවෙන් පරිභෝජනය කිරීමට හැකි වීම, අවම නිෂ්පාදන වියදම, පහසුවෙන් කල් තබාගැනීමට හැකි වීම සහ පාරිභෝගික ආකර්ෂණය දිනාගත හැකි ආකාරයට මේ නිෂ්පාදනය සිදු කළ යුතු බව අප ගේ පර්යේෂණ කණ්‌ඩායම තීරණය කළා.

මේ නිෂ්පාදනයේ අඩංගු වන ශාක රසායනික දේශීය ව හමු වන ශාකවලින් නිස්‌සාරණය කර ලබාගත් ඒවා ද?

ක්‌ෂුද්‍ර නිදිමත වැළැක්‌වීමට නිපදවූ මේ ටොෆියේ අඩංගු සියලු ම ක්‍රියාකාරී සංයෝග දේශීය ව බහුලව පවතින එමෙන් ම සාමාන්‍ය ජීවන කටයුතු සඳහා යොදාගනු ලබන කෝපි, ඉඟුරු, ගම්මිරිස්‌ සහ කුරුඳු වැනි ශාකවලින් ලබාගත් ඒවායි. මේ ද්‍රව්‍ය භාවිත කොට නිෂ්පාදනය කරන ලද ටොෆි සඳහා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයයේ වෛද්‍ය පීඨයේ ආචාරධර්ම සමාලෝචන කමිටුවේ (Ethics Review Committee) ද අනුමැතිය ලැබී තිබෙනවා.

මේ ටොෆිය වෙළෙඳපොළට හඳුන්වා දීමට ඔබ අදහස්‌ කරනවා ද? ඒ සඳහා ඔබ දැනට ගෙන ඇති ක්‍රියාමාර්ග මොනවා ද?

මේ නිෂ්පාදනය භාවිත කිරීම මඟින් අප රටේ සිදු වන මාර්ග අනතුරු අවම කිරීම සහ දෛනික මරණ ප්‍රමාණය අවම කිරීමට ඇති දායකත්වය නිසා අනාගතයේ දී පර්යේෂණ කටයුතු අවසන් කොට වෙළෙඳපොළට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා.

ඒ සඳහා මූලික පියවරක්‌ වශයෙන් පේටන්ට්‌ බලපත්‍රය ලබාගැනීම සහ කුඩා ප්‍රමාණයේ යන්ත්‍රයක්‌ (Proto Type Machinery) නිපදවීම මඟින් නිෂ්පාදන ක්‍රියාවලිය අධ්‍යයනය කිරීම අවසන් කරමින් පවතිනවා.

පර්යේෂණවල නිරත වෙද්දී ඔබ මුහුණ දුන් අභියෝග මොනවා ද?

ශ්‍රී ලංකාව තුළ ඇති සම්පත් සහ දැනුම අප රටේ සංවර්ධනයට භාවිත කිරීම සඳහා වගකිවයුතු අංශවල අවධානය තවදුරටත් යොමු විය යුතුයි. එමෙන් ම අප රට තුළ ඇති පර්යේෂණ වටපිටාව (Research Environment) සහ ඒ ආශ්‍රිත අඩුපාඩු හේතුවෙන් පොදුවේ පර්යේෂකයන් මුහුණ දෙන ඇතැම් ගැටලුවලට මුහුණ දීමට අපටත් සිදු වුණා. එහෙත් ඒ සියලු අභියෝග හමුවේ නො සැලී දැඩි අධිෂ්ඨානයෙන් තම වගකීම් රට වෙනුවෙන් ඉටු කිරීමට අප සැම උත්සාහ කරනවා. මෙහි දී විශේෂයෙන් ම පර්යේෂණයේ අධීක්‌ෂකවරුන්, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයයේ උප කුලපතිතුමා, ව්‍යවහාරික විද්‍යා පීඨයේ පීඨාධිපතිතුමා, ආහාර විද්‍යා හා තාක්‌ෂණ අධ්‍යයන අංශයේ අංශාධිපතිතුමා ඇතුළු කාර්ය මණ්‌ඩලය, පශ්චාත් උපාධි පීඨයේ පීඨාධිපතිතුමිය, රසායන විද්‍යා අධ්‍යයන අංශයේ Center for Advanced Material Research (මූල්‍යමය අනුග්‍රහය සැපයීම), පරිගණක විද්‍යා අධ්‍යයන අංශය, ශ්‍රී ලංකා පොලීසිය, අධිවේගී මාර්ග කළමනාකරණ අංශ, පශ්චාත් අස්‌වනු තාක්‌ෂණ අංශය, අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සහ ජනාධිපති කාර්යාලය මේ පර්යේෂණය සාර්ථක කරගැනීම සඳහා විශාල සහයෝගයක්‌ දැක්‌වූවා.

දින කිහිපයකට පෙර මේ නිෂ්පාදනය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ දී සාකච්ඡාවට බඳුන් වුණා නේ ද?

ඔව්. පසුගිය 08 වැනි දා පාර්ලිමේන්තුවේ පැවැති විද්‍යා හා තාක්‌ෂණ අමාත්‍යංශයේ වැය ශීර්ෂය ඉදිරිපත් කිරීමේ දී මේ පිළිබඳ ව සාකච්ඡාවට බඳුන් වුණා. ඒ නිසා අනාගතයේ දී මෙවැනි පර්යේෂණ සඳහා වැඩි වශයෙන් රාජ්‍ය අනුග්‍රහය බලාපොරොත්තු විය හැකි බවට විශ්වාසයක්‌ පවතිනවා. මේ සඳහා මඟපෙන්වීම පිළිබඳ ව COSTI ආයතනයේ මහාචාර්ය අජිත් ද අල්විස්‌ මහතාට ස්‌තුතිවන්ත විය යුතුයි.

මෙවන් කාලීන අවශ්‍යතාවයන් හඳුනාගෙන එයට දේශීය අමු ද්‍රව්‍ය යොදාගෙන සාර්ථක පිළියමක්‌ ඉදිරිපත් කළ ශ්‍රී ලාංකික විද්‍යාඥ කණ්‌ඩායමේ උත්සාහය අප ඉතා අගය කළ යුතු ව තිබේ. නුදුරු අනාගතයේ දී කෙටි නිදිමතට තිත තබන 100% ශ්‍රී ලාංකික නිෂ්පාදනයක්‌ වන මේ ටොෆිය ඔබටත් වෙළෙඳපොළෙන් මිල දී ගැනීමට හැකි වනවා ඇත.

මාධවී ද සිල්වා