logo4.gif (427 bytes)

arrow7.gif (1098 bytes)


ශ්‍රී ලංකා විද්‍යාභිවර්ධන සංගමයේ මෙවර වාර්ෂික සැසිවාරයේ තේමාව 'ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනය උදෙසා විද්‍යාඥයන් ගේ කාර්යභාරය'

කසුනි යාපා රූපසිංහ

ශ්‍රී ලංකා විද්‍යාභිවර්ධන සංගමයේ 73 වැනි වාර්ෂික සැසිවාරය, දෙසැම්බර් මස 04 වැනි දා සිට 08 වැනි දා තෙක්‌ පැවැත්වේ. ජාතික විද්‍යා පදනමේ සම සංවිධාන දායකත්වයෙන් පවත්වනු ලබන මෙවර සැසිවාරයේ තේමාව වනුයේ 'ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනය උදෙසා විද්‍යාඥයන් ගේ කාර්යභාරය' යන්න වේ.

මෙහි සමාරම්භක උත්සවය දෙසැම්බර් මස 04 වැනි දින, කොළඹ බණ්‌ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ දී ප.ව. 02.00ට ආරම්භ විය.

මෙවර සැසිවාරයේ ප්‍රධාන සම්මන්ත්‍රණය, දෙසැම්බර් මස 05 වැනි දින කොළඹ ගලධාරි හෝටලයේ දී පැවැත්වෙන අතර, එය මෙවර තේමාව වන 'ශ්‍රී ලංකාවේ ආර්ථරික සංවර්ධනය උදෙසා විද්‍යාඥයන් ගේ කාර්යභාරය' යන්න පදනම් කරගෙන දේශීය හා විදේශීය විද්වතුන් විසින් පවත්වනු ලබන දේශන සහ කතිකාවන් ගෙන් සමන්විත වේ.

පැවැත්වීමට නියමිත විද්‍යාත්මක සැසි, දීප ව්‍යාප්ත පාසල් නව නිර්මාණකරුවන් ගේ තරගය සහ ප්‍රදර්ශනය, නව නිර්මාණකරණය පිළිබඳ සුළු සමුළුව (mini symposium) සහ වාර්ෂික මහ සභා රැස්‌වීම යන අංග දෙසැම්බර් 06, 07, 08 යන දිනයන්හි දී නාවල ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාල පරිශ්‍රයේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

මෙවර සැසිවාරයේ දී විවිධ විෂයන්වලට අයත් විද්‍යාත්මක පර්යේෂණ පත්‍රිකා සහ නිබන්ධ සාරාංශ (abstracts) 137ක ප්‍රමාණයක්‌ හා පෝස්‌ටර 62ක ප්‍රමාණයක්‌ ඉදිරිපත් කෙරෙනු ඇත.

මෙයට සමගාමීව පැවැත්වෙන පාසල් නව නිපැයුම්කරුවන් ගේ තරගය සහ ප්‍රදර්ශනය, 06 හා 07 දිනවල පෙ.ව. 10.00 සිට ප.ව 04.00 දක්‌වා මහජනයා සඳහා විවෘත වේ. ප්‍රදර්ශනය නැරඹීමට පැමිණෙන පාසල් සිසුන් සඳහා දෙසැම්බර් 06 වැනි දින නව නිර්මාණකරණය පිළිබඳ සුළු සමුළුවක්‌ ද (mini symposium) පැවැත්වීමට කටයුතු යොදා ඇත.

විද්‍යාභිවර්ධන සංගමයේ වාර්ෂික සැසිවාරය පිළිබඳව දැනුම්වත් කිරීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවක්‌ එම සංගමයේ වත්මන් සභාපති වී. රෙගුනාදන් මහතා, මාධ්‍ය සම්පත් සේවාවේ සභාපති වෛද්‍ය මනුඡ් වීරසිංහ මහතා සහ නව සභාපතිවරයා ලෙස පත් වීමට නියමිත මහාචාර්ය චන්දන ජයරත්න මහතා ගේ ප්‍රධානත්වයෙන් නොවැම්බර් මස 29 වැනි දින කොළඹ 07 විඡේරාම මාවතේ පිහිටි විද්‍යා මන්දිරයේ දී පැවැත්විණ.

එහි දී අදහස්‌ දක්‌වමින් වෛද්‍ය මනුඡ් වීරසිංහ මහතා පවසා සිටියේ ශ්‍රී ලංකා විද්‍යාභිවර්ධන සංගමය යනු ශ්‍රී ලංකාව තුළ විද්‍යාත්මක ක්‌ෂේත්‍රයන්හි උන්නතිය වෙනුවෙන් කටයුතු කරන පැරැණිතම සංගමය වන බවයි. 'අලුත් අගුත් දෑ නො තනන ජාතිය ලොව නො නගී' යන කුමාරතුංග මුනිදාසයන් ගේ කියමන සිහිපත් කළ ඒ මහතා, ශ්‍රී ලංකා විද්‍යාභිවර්ධන සංගමය වසර ගණනාවක සිට නව සංකල්පයන් බිහි කිරීමේ දැක්‌ම පෙරදැරි කරගෙන කටයුතු කරන බව ද පැවසී ය.

මෙහි දී ශ්‍රී ලංකා විද්‍යාභිවර්ධන සංගමයේ කාර්යභාරය පැහැදිලි කරමින් මහාචාර්ය චන්දන ජයරත්න මහතා පවසා සිටියේ පර්යේෂණ මෙහෙයවීම හා පර්යේෂණ පත්‍රිකා පළ කිරීම සම්බන්ධව දැනුම අවබෝධය ලබා දීම, විද්‍යාඥයන් ගේ අභිවෘද්ධිය වෙනුවෙන් කටයුතු කිරීම මෙන්ම විද්‍යාත්මක ක්‌ෂේත්‍රයන් කෙරෙහි පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් තුළ උනන්දුව ඇති කිරීම උදෙසා වන පාසල් වැඩසටහන් ක්‍රියාත්මක කිරීම ද, ඇතැම් අවස්‌ථාවල දී ප්‍රතිපත්ති සම්පාදන කටයුතුවල දී තීන්දු තීරණ ගැනීම සඳහා රජය වෙත උපදෙස්‌ ලබා දීම ද සංගමය විසින් සිදු කෙරෙන බවයි.

ශ්‍රී ලංකා විද්‍යාභිවර්ධන සංගමයනියෝජනය කරමින් මේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්‌ වූ ශාන්තිජා කොරයා, ආචාර්ය මෙත්තිකා විතානගේ, මහාචාර්ය චමරි හෙට්‌ටිආරච්චි, ආචාර්ය චින්තක ද සිල්වා, සහ ආචාර්ය ප්‍රසාද් ජයවීර යන මහත්ම මහත්මීන් මෙවර වාර්ෂික සැසිවාරයේ තේමාව වන ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනය උදෙසා විද්‍යාඥයන් ගේ කාර්යභාරය' යන්න අවධාරණය කරමින් අදහස්‌ දැක්‌වූ අතර ඒ වෙනුවෙන් ශ්‍රී ලංකා විද්‍යාභිවර්ධන සංගමය විසින් ක්‍රියාත්මක කර ඇති වැඩසටහන් පිළිබඳව සමාලෝචනයක්‌ ද ඉදිරිපත් කෙරිණ.

සැසිවාරය පිළිබඳ වැඩිදුර තොරතුරු ශ්‍රී ලංකා විද්‍යාභිවර්ධන සංගමයේ නිල වෙබ් අඩවියෙන් (www.slaas.lk) ලබාගත හැකි ය.