logo3.gif (702 bytes)

arrow7.gif (1098 bytes)


සහජීවනය මඟින් අලි - මිනිස්‌ ගැටුම විසඳීමේ මඟ

විද්‍යාභිවර්ධන සංගමයේ ආචාරධර්ම පිළිබඳ කමිටුව විසින් සංවිධානය කරන ලද මහාචාර්ය කෝට්‌ටේගොඩ අනුස්‌මරණ දේශනය පසුගිය 10 වැනි දා විද්‍යාභිවර්ධන සංගම් මූලස්‌ථානයේ ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි. "අලි - මිනිස්‌ සහජීවනය මඟින් අලි - මිනිස්‌ ගැටුම විසඳීම" මැයෙන් පැවැති මේ දේශනය පවත්වන ලද්දේ මහාචාර්ය සරත් කොටගම මහතා විසිනි. මේ ලිපිය එම දේශනය අනුසාරයෙන් සැකසුණකි.

Elephas maximus maximus යන විද්‍යාත්මක නාමයෙන් හැඳින්වෙන ශ්‍රී ලංකාවේ වාසය කරන අලියා, ආසියානු අලි විශේෂයට අයත් උප විශේෂ 4න් එක්‌ විශේෂයකි. ආසියානු අලියා ජාත්‍යන්තර රතු දත්ත පොතේ අන්තරායට ලක්‌ වූ (Endangered) කාණ්‌ඩයට ඇතුළත් සත්ත්වයෙකි. වැඩුණු ජීවියකු ගේ දේහ බර කිලෝග්රෑම් 1,000 - 5,000 අතර පරාසයේ පවතී. අලි, සිය දේහ බරින් 10%ක්‌ පමණ ආහාර ස්‌කන්ධයක්‌ දෛනිකව පරිභෝජනය කරති. මොවුන් ගේ ආහාර අවශ්‍යතාව සාපේක්‌ෂව වැඩි අතර විශාල පරාසයක, ශාකමය ආහාර මොවුනට පරිභෝජනය කළ හැකි ය.

ශ්‍රී ලංකාවේ සංස්‌කෘතිය තුළ අතීතයේ පටන් අලින්ට විශේෂිත ස්‌ථානයක්‌ හිමි ව තිබේ. අතීතයේ දී ගොඩනැඟිලි ඉදිකිරීම, යුද කටයුතු, ප්‍රවාහන කටයුතු හා සංස්‌කෘතික වශයෙන් වැදගත් වන පෙරහැර ආදී විශේෂිත කටයුතු සඳහා විශාල ප්‍රමාණයෙන් අලි ඇතුන් යොදාගන්නා ලදී.

යටත්විජිත සමයෙන් පසු ආරම්භ වූ සංවර්ධන ව්‍යාපෘතිs හා වගාබිම් සඳහා වනාන්තර එළි කිරීමේ දී අලින් ගේ වාසභූමි හා ඔවුන් ගේ ක්‍රියාකලාපයන් හරිහැටි අධ්‍යයනය කර නොමැති අතර මෙය අලි - මිනිස්‌ ගැටුම තීව්‍ර වීමට බලපා ඇත.

අලි - මිනිස්‌ ගැටුමේ වර්තමාන තත්ත්වය

වාර්ෂිකව අලින් 250ක්‌ පමණ ද, මිනිසුන් 50ක්‌ පමණ ද අලි - මිනිස්‌ ගැටුම් හේතුවෙන් ජීවිතක්‌ෂයට පත් වන අතර වාර්ෂික ව සිදු වන දේපළ හා වගා හානිය ද විශාල ය. කඩාවැදීම් බොහෝ විට සිදු කරනුයේ පිරිමි අලින් වන අතර ස්‌ත්‍රී සතුන් ගම් හා නිවෙස්‌වලට කඩාවදින්නේ සාපේක්‌ෂව අඩුවෙනි.

අලි - මිනිස්‌ ගැටුමට හේතු වන ප්‍රධාන කරුණු කිහිපයක්‌ පවතී. ඒ අතර අලි ගහනය වර්ධනය වීම, මිනිස්‌ (ජන)ගහනය වර්ධනය වීම, අලින් ගේ වාස භූමි මිනිසා විසින් ආක්‍රමණය කරනු ලැබීම, කෘෂිකාර්මික කටයුතු හේතුවෙන් අලින් මිනිස්‌ ජනාවාස වෙත ආකර්ෂණය වීම ප්‍රධාන ස්‌ථානයක්‌ ගනී.

70 - 80 දශකවල බොහෝ විද්වතුන් අනාවැකි පළ කළේ 2000 වර්ෂය පමණ වන විට අලින් ලංකාවෙන් තුරන් වනු ඇත යනුවෙනි. එහෙත් ශ්‍රී ලංකාවේ අලි ගහනය 1900 පමණ වන විට 10,000ක පමණ අගයක්‌ බව වාර්තා වී තිබිණි. අනතුරුව අලි ගහනය අක්‍රමවත් ව විචලනය වී ඇති අතර 2011 වන විට ලංකාවේ වන අලින් 5,879ක්‌ පමණ ජීවත් වූ බව අලි සංගණන වාර්තාවේ සඳහන් වී ඇත. අලි ගහන නිරීක්‌ෂණයේ දී මේ සංඛ්‍යාව ඊටත් වඩා ඉහළ අගයක්‌ ගැනීමට ඉඩ ඇති බව මහාචාර්ය කොටගම පවසයි. එනම්, වර්තමානයේ අලි රංචු නිරීක්‌ෂණයේ දී පෙනී යන්නේ බොහෝ රංචු ස්‌ථාවර අතර තවදුරටත් වර්ධනය වීමේ විභවයක්‌ පවතින බවයි. එමෙන් ම ලංකාවේ ජනගහනය ද වර්ධනය වන බැවින් සාර්ථක ක්‍රමවේදයන් අනුගමනය නො කරන්නේ නම් අලි - මිනිස්‌ ගැටුම් ද ක්‍රමයෙන් ඉහළ යනු ඇත. ආසියාවේ වැඩි ම අලි ගහන ඝනත්වය පවතින්නේ ශ්‍රී ලංකාව තුළ ය. මේ නිසා අනෙකුත් කලාපයන්ට සාපේක්‌ෂව අලි - මිනිස්‌ ගැටුම සැලකිය යුතු මට්‌ටමකින් ශ්‍රී ලංකාව තුළ දැකිය හැකි ය.

සාමාන්‍යයෙන් අලියෙක්‌ දිනකට කිලෝග්රෑම් 150ක පමණ ආහාර ප්‍රමාණයක්‌ ගනියි. ඔවුන් වැඩිපුර ම ආහාරයට ගන්නේ තෘණ විශේෂයන් ය. දිනකට පැය 17 - 19 අතර කාලයක්‌ ඔවුහු ආහාර පිණිස වැය කරති.

අලින් ගේ ආහාර රටා හා හැසිරීම් රටා නිරීක්‌ෂණයේ දී ඔවුනට වඩාත් ම සුදුසු පරිසරය වනුයේ වියළි තෘණ බිම් හා වගුරු සහිත තෘණ බිම් ය. එනිසා මේ පරිසර පද්ධතිවල වැඩිපුර ම අලි වාසය කරති. මේ පරිසරවල වර්ග කිලෝ මීටරයට අලින් 2 - 4 අතර සංඛ්‍යාවක්‌ ජීවත් වන අතර හොඳින් වර්ධනය වූ වනාන්තරවල අලි ගහනය වර්ග කිලෝ මීටරයට අලින් 0.2ක්‌ පමණ වැනි අවම මට්‌ටමක පවතියි. මේ නිසා අලින් "මායිම් විශේෂ" (Edge Species) ලෙස හඳුන්වනු ලැබේ.

මිනිසුන් වනාන්තර එළි කර වගාබිම් සැකසීම නිසා එම වගා භූමි ආශ්‍රිත ප්‍රදේශ අලින්ට ජීවත් වීමට සුදුසු ප්‍රදේශ බවට පත් වේ. එමෙන් ම ඔවුන් ගේ ස්‌වාභාවික වාස භූමි අහිමි වීම නිසා වගාබිම් දෙසට අලින් පැමිණීම තවදුරටත් තීව්‍ර වේ. වගා භූමි ආශ්‍රිත ව පෝෂණය බහුල ආහාර ප්‍රමාණය අධික බැවින් හා කෘෂිකර්මය සඳහා මිනිසුන් විසින් සකසනු ලබන ජල ප්‍රභව නිසා අලි බහුලව වගා බිම් දෙසට පැමිණෙති. "අපි ඔවුන් ගේ වාස භූමි ආක්‍රමණය කරනවා පමණක්‌ නො ව එම භූමිවල කෘෂිකර්මාන්තය දියුණු කරමින් අලින්ව එම ප්‍රදේශවලට ආකර්ෂණය කරනවා. එමෙන් ම කෘෂිකර්මාන්තය සිදු කිරීමේ දී එම ප්‍රදේශවලට ස්‌ථීර ජල ප්‍රභව ගෙන ඒම මේ තත්ත්වය තවදුරටත් තීව්‍ර කරනවා." යනුවෙන් මහාචාර්යවරයා පැවසී ය. විශේෂයෙන් ම නියඟ කාලවල දී අලි බොහෝ දුරට ජල ප්‍රභව හා ආහාර සොයමින් වනාන්තර හා රක්‌ෂිත ප්‍රදේශවලින් පිටතට යති. ජල ප්‍රභව හා ආහාර සාපේක්‌ෂව සුලබ ගම්මාන ආශ්‍රිත කෘෂිකාර්මික භූමිවලට කඩා වැදී එම භෝග විනාශ කරති. එවිට ගම්වාසීන් කුපිත වී අලින් එලවීමට උත්සහ කිරීමේ දී අලි - මිනිස්‌ ගැටුම් ඇති වේ. ඇතැම් අවස්‌ථාවල වගාවන්ට හානි නො කරමින් තම ජල අවශ්‍යතා සපුරාගනිමින් නැවත වනන්තරවලට ගිය අලි රංචු පිළිබඳව ද තමාට අත්දැකීම් ඇති බව මහාචාර්යවරයා පැවසී ය. මෙවැනි අවස්‌ථාවල දී අනාරක්‌ෂිත වගා ළිං හා කෘෂිකාර්මික ඇළවලින් ජලය බීමට උත්සහ කිරීමේ දී අලින් ඒවාට වැටීම ද සුලබ සිද්ධියකි.

අලි මිනිස්‌ ගැටුම අවම කිරීමේ ක්‍රියාමාර්ග

70 - 80 දශකවල පටන් අලි - මිනිස්‌ ගැටුම අවම කිරීමට විවිධ ක්‍රියාමාර්ග ගෙන තිබිණි. එම ක්‍රියාමාර්ග වනුයේ විදුලි වැට ඉදිකිරීම, මිනිස්‌ ජනාවාස ආශ්‍රිත ප්‍රදේශවල සිටින අලින් හා ප්‍රචණ්‌ඩකාරී ලෙස හැසිරෙන අලින් අල්ලා වෙනත් ආරක්‌ෂාකාරී ස්‌ථානවලට ගෙන ගොස්‌ දැමීම, අලින් ජනාවාස ප්‍රදේශවලින් එලවීම, අලින් ගම් වැදුණු අවස්‌ථාවල අලි වෙඩි දල්වා එලවීම, අලි පුනරුත්ථාපනය කිරීම වැනි ක්‍රියාමාර්ගයන් ය.

අලි වැට ඉදි කිරීම ප්‍රථමයෙන් ම ආරම්භ කර ඇත්තේ '70 දශකයේ දී පමණ අම්පාර සීනි කර්මාන්ත ශාලාව ආසන්නයේ තිබූ උක්‌ වගාවන් අලින් ගෙන් ආරක්‌ෂා කරගැනීමට ය. ඒ වන විට අලින් රටේ සීනි කර්මාන්ත ශාලා ආශ්‍රිත වගාවන්ට රුපියල් මිලියන 275ක පමණ අලාභ හානියක්‌ සිදු කර තිබිණි. මීට ප්‍රතිචාර ලෙස කන්තලේ හා පැලවත්ත ආශ්‍රිත උක්‌ වගාවන් රැකගැනීම පිණිස විදුලි වැට ඉදි කරන ලදී. වනාන්තර හා වගා භූමි අතර පවතින තෘණ භූමිවලට එන අලින් ඇතැම් අවස්‌ථාවල වගා භූමි තුළට ගමන් කර ඒවාට හානි කර තිබිණ. මේ නිසා වගා භූමි හා වනාන්තර අතර මීටර 10ක පමණ බිම් තීරුවක්‌ එළි කර එහි මධ්‍යයේ අලි වැට ඉදි කරන්නට කටයුතු කෙරිණි.

මේ වන විට රුපියල් බිලියන 10ක්‌ පමණ වියදම් කර කිලෝමීටර 3,500ක පමණ දිගකින් යුතු විදුලි වැට ප්‍රමාණයක්‌ රට තුළ ඉදි කර ඇත. එහෙත් තවමත් අලි - මිනිස්‌ ගැටලුව විසඳී නැත.

විදුලි වැට අසාර්ථක වීමට හේතු

විදුලි වැට ඉදි කිරීමේ දී අලින් ගේ ව්‍යාප්තිය අධ්‍යයනය නො කිරීම මීට ප්‍රධාන හේතුවක්‌ වී ඇත. අතීතයේ විදුලි වැට ඉදි කිරීම ප්‍රධාන වශයෙන් සිදු කරනු ලැබ ඇත්තේ වනජීවී සංරක්‌ෂණ දෙපාර්තමේන්තුව විසිනි. මෙහි දී විදුලි වැට බොහොමයක්‌ ඉදි කර ඇත්තේ වනජීවී සංරක්‌ෂණ දෙපාර්තමේන්තුවට අයත් රක්‌ෂිත වටා ය. එහෙත් අලින් සීමා විශේෂයක්‌ බැවින් රක්‌ෂිතවලට වඩා ඉන් පිටත වනාන්තර කලාප තුළ වාසය කිරීමට ඔවුහු වැඩි කැමැත්තක්‌ දක්‌වති. මේ නිසා ඉදි කළ බොහෝ අලි වැට දෙපස ම අලින් දැකගත හැකි විණි. තව ද ඒ විදුලි වැට බොහොමයක්‌ ඉදි කර ඇත්තේ වනාන්තර තුළ බැවින් ප්‍රතිසංස්‌කරණ අපහසුතා පවතියි. එවැනි අලි වැටවල් අකර්මණ්‍ය වී ඇත. කෙසේ නමුත් වර්තමානයේ නව ආකාරයකින් විදුලි වැට නිර්මාණය ආරම්භ කර තිබෙන බව මහාචාර්ය කොටගම පැවසී ය.

නව වැඩපිළිවෙළට අනුව ගම් වැට (Village fence) හා වගා වැට (Crop fence) ලෙස විදුලි වැට වර්ග 2ක්‌ හඳුන්වා දී ඇති අතර ගම් වැට යනු ගම්මාන වටා ඉදි කරන ලද ස්‌ථාවර විදුලි වැටකි. මේවා ස්‌ථාවර ලෙස ගම්මාන වටා ඉදි කර ඇත. මේවායේ නඩත්තුව එම ගම් වැසියන් අතර ක්‍රමවත් ව බෙදා දී තිබේ. ඒ සඳහා පවුලකට රුපියල් 3,000ක පමණ මාසික දීමනාවක්‌ ලැබේ.

වගා වැට යනු වානේ පයිප්පවලින් තනන ලද තාවකාලික වැටකි. මේවා වගා කරන කාලවල දී වගා භූමි වටා ඉදි කරන අතර අස්‌වැන්න නෙළු පසු ගලවා දැමිය හැකි ලෙස ඉදි කෙරෙයි. කලින් ඉදි කර ඇති වැටවල් අලුත්වැඩියා කිරීමට ගම්මානවලින් ජනතාව පුහුණු කොට ඒවා නඩත්තු කිරීමේ වගකීම් භාර දීමට කටයුතු කර ඇත. අලි - මිනිස්‌ ගැටුම විසඳීමේ වගකීම තනි ව රජය විසින් සිදු කිරීමට වඩා මෙසේ ජනතාව අතර වගකීම බෙදා දීම වඩාත් කාර්යක්‌ෂම බව මහාචාර්ය කොටගම පැවසී ය.

ජනාවාස ආශ්‍රිත ව ගැවසෙන අලින් අල්ලා සුදුසු ස්‌ථානවලට ගෙනගොස්‌ දැමීම ද අලි - මිනිස්‌ ගැටුම අවම කිරීමට ගත් ක්‍රියාමාර්ගයකි. මේ ක්‍රියාමාර්ගය ද යම් පමණක සාර්ථකත්වයක්‌ පෙන්වා ඇති නමුත් මෙහි දී ද අලින් හා සම්බන්ධ ගැටලු ගණනාවක්‌ මතු විය. අලි රංචුවක්‌ සැලකූ කල ඔවුන්ට ම ආවේණික වාස භූමි පවති. ආසියානු අලින් ගෙන් ලංකාවේ ජීවත් වන අලියා සංක්‍රමණික විශේෂයක්‌ නො වේ. ඔවුහු එක්‌ එක්‌ අලි රංචුවලට සුවිශේෂී වූ වාස භූමි තුළ ජීවත් වෙති. කෙසේ නමුත් මොවුහු කාලගුණික රටා හා කෘෂිකාර්මික රටාවන්ට අනුකූලව සාපේක්‌ෂව කුඩා ප්‍රමාණයේ සංචරණයක්‌ දක්‌වති. ඔවුන් ගේ වාස භූමි වර්ග කිලෝමීටර 50 - 400 පමණ භූමි ප්‍රදේශයක පැතිරී පවති. මේ භූමි ප්‍රදේශයේ ඇතැම් විට අලි රංචු කිහිපයක්‌ ම ජීවත් විය හැකි ය. එහෙත් ඉහත සඳහන් කළ ආකාරයට අලින් අල්ලා වෙනත් ස්‌ථානවලට ගෙන ගොස්‌ දැමුව ද නැවත සිය මුල් ස්‌ථානයට ම පැමිණීමට ඔවුහු පෙලඹෙති. සාපේක්‌ෂව විශාල දුර ප්‍රමාණයකට ගෙන ගොස්‌ දැමුව ද බොහෝ අලින් ඉක්‌මනින් නැවත සිය මුල් වාස භූමියට ම පැමිණි බව තම අත්දැකීම් ඇසුරින් මහාචාර්යවරයා පෙන්වා දුනි. මෙසේ පැමිණීමේ දී අලි - මිනිස්‌ ගැටුම් ඇති වන බවටත්, නිවැරැදි ලෙස මාර්ගය සොයාගැනීමට නොහැකි වූ අලින් නගරවලට ද පිවිසී මහත් කලබැගෑනි ඇති කරන බවටත් වාර්තා ඇත.

මීට අමතර ව මෙසේ යනෙන අතර මාර්ගය වැරැදී මුහුදු මධ්‍යයට ද ගසාගෙන ගොස්‌ නාවික හමුදාව මඟින් මුදාගත් අලින් ගැන ද මෑතක දී වාර්තා විය.

රේඩියෝ කොලර යොදාගනිමින් සිදු කළ අධ්‍යයනයකින් හෙළි වී ඇත්තේ වෙනත් වාසස්‌ථානවලට ගෙන ගොස්‌ දැමූ අලින් ගෙන් සැලකිය යුතු ප්‍රමාණයක්‌ මරණයට පත් ව ඇති බවයි. බොහෝ දෙනෙක්‌ නැවත මුල් ස්‌ථානයට ම පැමිණ ඇත. දිගට ම නව ස්‌ථානයේ ජීවත් ව ඇත්තේ සාපේක්‌ෂව අඩු අලින් ප්‍රමාණයකි. මේ නිසා මේ ක්‍රමවේදය සුදුසු ක්‍රමවේදයක්‌ නො වන බව මහාචාර්යවරයා පැවසී ය.

ජනාවාස හා වගා භූමි ආශ්‍රිත ව ගැවසෙන අලින් රක්‌ෂිත ප්‍රදේශවලට එලවීම ද අලි - මිනිස්‌ ගැටුම තාවකාලිකව අඩු කිරීමට ගන්නා ක්‍රියාමාර්ගයකි. මෙහි දී ගම්මාන හා වගා භූමිවලට පැමිණි අලින් පිළිබඳ ව වනජීවී සංරක්‌ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙන පැමිණිලි හේතුවෙන් එම අලින් එලවීම සිදු කෙරෙයි. මෙය අලි - මිනිස්‌ ගැටුම් සිදු වන බොහෝ ප්‍රදේශවල ක්‍රියාත්මක වේ. වනජීවී සංරක්‌ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හා ගම්වාසීන් එකතු ව, අලි වෙඩි, රතිඤ්ඤා ආදිය භාවිතයෙන් අලින් එලවීම සිදු කෙරෙයි. මේ ක්‍රියාමාර්ග ගැනීමේ දී බොහෝ අවස්‌ථාවල අලින් ප්‍රචණ්‌ඩකාරී ලෙස හැසිරී ඇති බවත් එවිට සිදු වන හානිය හානිය බරපතළ බවත් මහාචාර්යවරයා පැහැදිලි කළේ ය. මෙහි දී ඇතැම් අලින් පලා යැමේ දී අනාරක්‌ෂිත වගා ළිංවලට වැටීම හා මාරාන්තික තුවාල ලැබීම සිදු වේ. එමෙන් ම මෙහි ප්‍රතිඵලය ලෙස අලි රංචුවලින් අලි පැටවුන් අතරමං වීම ද දැකගත හැකි ය.

දිගින් දිගට ම අලි එලවීම සිදු කළ ප්‍රදේශවල අලින්, අලි වෙඩිවලට හා එලවීම්වලට සංවේදී වීම අඩු වී ඇති බවත් මහාචාර්යවරයා පැහැදිලි කළේ ය. මේ ක්‍රියාවලිය සඳහා උපයෝගී කරගන්නා අලි වෙඩි වනජීවී සංරක්‌ෂණ දෙපාර්තමේන්තුව මඟින් අදාළ ප්‍රදේශවල ජනතාවට බෙදා දේ. මේ සඳහා වාර්ෂිකව රුපියල් මිලියන 50කටත් වැඩි මුදලක්‌ රජය මඟින් වැය කෙරෙයි. මෙය ඇත්ත වශයෙන් ම නාස්‌තියකි.

දුම්රිය හා ගැටීම නිසා සිදු වන අලි මරණ

අලින් දුම්රියේ ගැටීම නිසා සැලකිය යුතු අලි ප්‍රමාණයක්‌ වාර්ෂික ව මිය යන බව සංඛ්‍යා ලේඛන මඟින් පැහැදිලි වේ. මීට ප්‍රධාන හේතුව වන්නේ අලින් දුම්රිය මාර්ගය හරහා ගමන් කරන බව දුම්රිය නවත්වාගත හැකි දුරක දී රියදුරාට දැනගත නොහැකි වීමයි. මීට අමතර ව වර්තමානයේ පවතින දුම්රිය එන්ජිමේ හා දුම්රිය නළාවේ නාදය අලින් දුම්රිය දෙසින් එලවීමට නො ව දුම්රිය දෙසට ආකර්ෂණය වීමට බලපාන බව, සිදු කළ පරීක්‌ෂණයකින් හෙළි වී ඇති බව මහාචාර්ය කොටගම ප්‍රකාශ කළේ ය.

මීට මාස කිහිපයකට ප්‍රථම දුම්රිය - අලි අනතුරු වැළැක්‌වීමේ ව්‍යාපෘතිය (REAP) මඟින් අලි අනාවරක පද්ධති, අලි අනතුරු බහුල ප්‍රදේශ කිහිපයක සවි කරන ලදි. (මේ උපකරණ පද්ධතියේ ක්‍රියාකාරිත්වය 2017 මාර්තු 15 විදුසර පුවත්පතේ පළ විය.) මේ පද්ධති සැලකිය යුතු ප්‍රගතියක්‌ අත් කරගෙන තිබේ. මේ නිසා එම පද්ධති තවදුරටත් ස්‌ථාපිත කිරීමට නියමිත ය.

වන අලින්ට මහාමාර්ග ආශ්‍රිත ව ආහාර ලබා දීම ගැන අදහස්‌ දැක්‌වූ මහාචාර්යවරයා කියා සිටියේ වර්තමානය වන විට අලින් කිහිප දෙනකු ම මෙසේ ආහාර ලබාගැනීමට පුරුදු වී සිටින බවයි. මේ නිසා මහාමාර්ග තදබදය ඇති වනවාට අමතරව ඇතැම් විට මිනිස්‌ ක්‍රියාකාරකම් නිසා මේ අලින් කලබල වී වාහන හා පුද්ගලයන්ට අලාභ හානි ද සිදු කර ඇත. මේ නිසා මේ ක්‍රියා පිළිවෙත අනුමත කිරීමට නොහැකි බව මහාචාර්යවරයා පැවසී ය.

තවදුරටත් අලි - මිනිස්‌ ගැටුම අවම කිරීම සඳහා ගම්වාසීන් දැනුවත් කිරීම, දැනට ප්‍රදේශ කිහිපයක පමණක්‌ ක්‍රියාත්මක වන ගම් වැට හා අලි වැට තවදුරටත් ව්‍යාප්ත කිරීමට බලාපොරොත්තු වේ. කාර්යක්‌ෂමව හා අලින්ට ද සාපේක්‌ෂව වැඩි නිදහස ලබා දෙමින් අලි - මිනිස්‌ ගැටුම අවම කිරීමට ඉන් හැකියාව ලැබෙනු ඇත.

පින්නවල අලි අනාථාගාරය හා උඩවලව ඇත් අතුරු සෙවණ

අලි - මිනිස්‌ ගැටුම මඟින් වැඩිහිටි අලින් මරණයට පත් වූ හා තම අලි රංචුව මඟහැරීම නිසා අනාථ වන අලි පැටවුන් මේ මධ්‍යස්‌ථානවලට ලබා දේ. පින්නවල අලි අනාථාගාරයේ වර්තමානයේ අලින් 93ක්‌ පමණ ජීවත් වන අතර මොවුන් විවිධ වයස්‌ කාණ්‌ඩවලට අයත් වේ. මේ මධ්‍යස්‌ථානයේ අලි අභිජනන ක්‍රියාවලිය සිදු වීමට අවකාශ සලසා ඇති බැවින් මධ්‍යස්‌ථානය තුළ අලි ගහනය වර්ධනය වේ. අලි අනාථාගාරයේ ජීවත් වන සුදුසු අලින් නිශ්චිත ක්‍රමවේදයක්‌ හරහා පුහුණු කිරීමෙන් පෙරහැර ආදි සංස්‌කෘතික අංගයන්ට හා සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය උදෙසා යොදාගත හැකි අලින් බිහි කළ හැකි ය. එමෙන් ම එම ක්‍රියාවලිය පෞද්ගලික අංශයට වඩා සාර්ථක ලෙස රාජ්‍ය අංශය මඟින් සිදු කළ හැකි බව මහාචාර්යවරයා ගේ අදහස විය.

උඩවලව ඇත් අතුරු සෙවණ අලි පැටවුන්ට ම විශේෂිත වූ ස්‌ථානයකි. විවිධ ප්‍රදේශවලින්

රැගෙන එන අලි පැටවුන් එහි රඳවා තබාගනිමින් ඔවුන් පරිසරයට හුරු කරමින් හා යහපත් සෞඛ්‍ය තත්ත්වයක්‌ යටතේ පවත්වා ගනිමින් අවුරුදු 4 - 5 පමණ වන විට ස්‌වාභාවික අලි රංචු වෙත මුදාහරී. රේඩියෝ කොලර යොදාගනිමින් සිදු කළ පරීක්‌ෂණවල දී මෙසේ මුදාහළ අලින් සැලකිය යුතු ප්‍රමාණයක්‌ සාර්ථක ලෙස ස්‌වාභාවික පරිසරයට අනුවර්තනය වී ඇති බව හෙළි වී ඇත. සංඛ්‍යාලේඛන නිරීක්‌ෂණයේ දී මේ මධ්‍යස්‌ථාන දෙක ම ශ්‍රී ලංකාවේ ප්‍රධාන සංචාරක ආකර්ෂණය දිනාගත් ස්‌ථාන බව පැහැදිලි ය.

වන අලින් ශ්‍රී ලංකාවට සංචාරක ආකර්ෂණය ලබා දෙන ප්‍රධාන සාධකයකි. මේ නිසා තවදුරටත් අලින් සංචාරක කර්මාන්තය නඟා සිටුවීමට යොදාගත හැකි ආකාරය මහාචාර්යවරයා පැහැදිලි කළේ ය.

අලින් සංචාරකයන් ප්‍රවාහනය සඳහා යොදාගැනීම පවතින නීතිවලට අනුකූලව සිදු කරන්නේ නම් යහපත් ය. එහෙත් වර්තමානයේ දී නම්, එම නීති පිළිපැදීම සතුටුදායක නො වන බව පැවසූ මහාචාර්ය කොටගම එමඟින් අලින්ට මෙන්ම සංචාරකයන්ට ද අනතුරු සිදුවීමේ ඉඩකඩ වැඩි බව පෙන්වා දුනි. අදාළ නීති පිළිපදින්නේ ද යන්න පිළිබඳ ව සොයා බැලීමේ යාන්ත්‍රණය ශක්‌තිමත් වීමේ වැදගත්කම මහාචාර්යවරයා අවධාරණය කර සිටියේ ය.

අලි - මිනිස්‌ ගැටුමේ හෙට දවස

අලි ගහනය තවදුරටත් වර්ධනය වීමේ හැකියාව ඉහළ ය. අලි - මිනිස්‌ ගැටුම පවතින ප්‍රදේශවල ගම්මාන සැලසුම් කිරීමේ දී අතීතයේ පැවැති වැව මූලික කරගත් සාම්ප්‍රදායික ගම්මාන සංකල්පයට අනුව සැලසුම් කිරීම මඟින් අලියා හා මිනිසා අතර ගැටුම් ඇති වන ප්‍රදේශය අවම කරගත හැකි ය. මේ ගම්මාන 'එල්ලංගාව' ලෙස හැඳින්වේ. මෙහි දී විසිරුණු ජනාවාස වෙනුවට කේන්ද්‍රීය ගම්මාන ඉදි කිරීම සිදු කළ යුතු ය.

අලි ගහනවල වාස භූමි තීරණය කිරීම ඉතා වැදගත් ය. එමෙන් ම ඔවුන් ගේ වාස භූමිය තුළ ගමන් කිරීමට යොදාගන්නා අලි මංකඩ අවහිර නො වන ලෙස සංවර්ධන ව්‍යාපෘති සැලසුම් කිරීමට වගබලාගත යුතු ය.

නියං සමයන්හි දී අලි රක්‌ෂිත ප්‍රදේශවලින් බැහැරට ගමන් කර ජලය සොයමින් සාපේක්‌ෂව විශාල දුර ප්‍රමාණයක්‌ ගමන් කරති. මේ ව්‍යාප්තිය හා අලින් ගේ හැසිරීම් පිළිබඳව අධ්‍යයනය කිරීම ඉතා වැදගත් වේ.

මීට අමතර ව අලි අනතුරු සංඥ පද්ධති ඉදි කළ හැකි අතර උපවනික (Subsonic) අලි අනතුරු සංඥ පද්ධති සවි කර අලින් ගම්මාන ප්‍රදේශවලට පැමිණිමේ දී ඔවුන්ව එලවීමට යොදාගත හැකි වනු ඇත.

අලින් ගේ ජීවන රටාවන් තේරුම්ගනිමින්, ඔවුන් ගේ පැවැත්මට අහිතකර ලෙස බලපෑම් නො කරමින් මිනිසා ජීවත් විය යුතු ය. තිරසාර අලි - මිනිස්‌ ගැටුම් වැළැක්‌වීමේ ක්‍රමෝපායන් අනුගමනය කරමින් අලින් සහ මිනිසුන් සහජීවනයෙන් වාසය කළ යුතු ව ඇත.

සකස්‌ කළේ ජනිත මනෝඡ්