logo3.gif (702 bytes)

arrow7.gif (1098 bytes)


ආන්දෝලනාත්මක කාමරන්කා භීතිකාව

ආසන්න වශයෙන් දැනට මාස දෙකකට පමණ පෙර සිට ශ්‍රී ලංකාව තුළ විවිධ ජනමාධ්‍ය සහ සමාජ ජාල ඔස්‌සේ වේගයෙන් ඇවිළී ගිය පුවතක්‌ වූයේ, කාමරන්කා නම් පලතුර ආහාරයට ගැනීම නුසුදුසු බවත්, එය අප වකුගඩුවලට විෂ සහිත බවත් ය. මේ පුවත ශීඝ්‍රයෙන් මාධ්‍ය සහ සමාජ ජාල ඔස්‌සේ පැතිරී යන්නට ආසන්නතම හේතුව වූයේ, කොළඹ ජාතික රෝහලේ වකුගඩු රෝග පිළිබද විශේෂඥ වෛද්‍යවරයකු වන එරංග විඡේවික්‍රම මහතා ඉංග්‍රීසි පුවත්පතක්‌ සදහා කළ ප්‍රකාශයකි. එහි දී ඔහු ප්‍රකාශ කළේ කාමරන්කා අනුභව කළ හෝ පානය කළ හෝ තරුණ නිරෝගී පුද්ගලයන් පවා ක්‌ෂණිකව ඇති වන තීව්‍ර්‍ර වකුගඩු අකර්මණ්‍ය වීමේ රෝගයට (acute kidney disease) ගොදුරු වී තමා වෙත ප්‍රතිකාර පිණිස පැමිණෙන බවයි. තවදුරටත් ඔහු ප්‍රකාශ කර තිබුණේ අත්‍යවශ්‍ය නො වන පලතුරක්‌ ලෙස සැලකෙන කාමරන්කා නිරාහාර ව සිටින වේලාවන්හි දී අනුභවය හෝ පානය හෝ වඩාත් භයානක තත්ත්වයක්‌ ඇති කළ හැකි වන බවයි. එලෙස ම අකර්මණ්‍ය වන වකුගඩු නැවත නිසි පරිදි යථා තත්ත්වයට පත් කිරීමට නොහැකි වීමේ සම්භාවිතාව ඉතා ඉහළ නිසා හැකි නම් අත්‍යවශ්‍ය නො වන පලතුරක්‌ වන කාමරන්කා ආහාරයට ගැනීමෙන් වළකින ලෙස ද ඔහු පවසා තිබිණි.

කෙසේ වෙතත් මේ පුවත සැළ වූ පසු බොහෝ දෙනා මතු කළ කරුණක්‌ වූයේ, බොහෝ ශ්‍රී ලාංකිකයන් දීර්ඝකාලීනව මේ පලතුර අනුභව කර තිබුණ ද එමගින් වකුගඩු අකර්මණ්‍ය වීමක්‌ සුලබ සිදුවීමක්‌ ලෙස වාර්තා වී ඇත් ද යන්නයි.

කාමරන්කා පලතුර මිනිස්‌ වකුගඩුවලට විෂ සහිත වන්නේ කෙසේ දැයි යන්න පැහැදිලි කිරීමට එම ලිපියට ම අදහස්‌ දක්‌වමින් විශේෂඥ වෛද්‍ය එරංග විඡේවික්‍රම මහතා උත්සාහ කර තිබුණේ කාමරන්කාවල අඩංගු යෑයි පැවසෙන ඔක්‌සලික්‌ අම්ලය සහ නියුරෝනවලට විෂ සහිත ද්‍රව්‍යයක්‌ වන caramboxin නම් රසායනික සංයෝගය මගින් සෘජු ව ම acute kidney disease තත්ත්වය ඇති වන බවයි. එහි දී ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ කාමරන්කාවල සාපේක්‌ෂව ඉහළ ප්‍රමාණයකින් අඩංගු ඔක්‌සලික්‌ අම්ලය වකුගඩුවල නාළිකා (renal tubules) (රූපය 01) අවහිර කරමින් oxalic nephropathy නම් තත්ත්වය ඇති කරන බවයි.

යම් පුද්ගලයකු වෛද්‍ය විද්‍යාවේ යම් විෂයයක්‌ සම්බන්ධව විශේෂඥ වෛද්‍යවරයකු වීම, ඉතා විශාල කාලයක්‌ තිස්‌සේ විවිධ කැප කිරීම් සිදු කරමින් තම අධ්‍යයන කටයුතු සහ පුහුණු වීම් කටයුතු මනාව අවසන් කරමින් සිදු කළ යුත්තකි. ඉන් පසුව ද විශේෂඥ වෛද්‍යවරයකු තම වෘත්තීය ජීවිත කාලය පුරා ම විවිධ රෝගීන් ගේ රෝග විනිශ්චය, රෝගීන්ට ප්‍රතිකාර කිරීම සහ ඔවුන් සුව කිරීම යන කාරණා ඔස්‌සේ එක්‌ රැස්‌ කරගන්නා සායනික අත්දැකීම්වලට මිලක්‌ හෝ වටිනාකමක්‌ හෝ තක්‌සේරු කිරීම අපහසු වේ. එසේ ම ඉහත කී කාර්යයන් සියල්ල අවසානයේ ඔහු සැබෑ විශේෂඥයකු බවට පත් වේ. එවැනි වෛද්‍යවරයකු සිදු කරන ප්‍රකාශයක්‌ එක වර ම බැහැර කිරීම හෝ සමච්චලයට ලක්‌ කිරීම හෝ එතරම් යෝග්‍ය කටයුත්තක්‌ නො වේ. වගකිව යුතු විශේෂඥ වෛද්‍යවරයකු පදනමකින් තොර ව ප්‍රකාශ නිකුත් නො කරන බවට ලාංකීය ජනතාව තුළ ද විශාල විශ්වාසයක්‌ පවතී.

කෙසේ නමුත් එවැනි විශේෂඥ වෛද්‍යවරයකු සිදු කරන ප්‍රකාශයන් සියලු දෙනා එක්‌සිත් ව පිළිගත යුතු යෑයි නියමයක්‌ ද නො පවතී. මන්ද යත් ඔවුන් එම ප්‍රකාශය සිදු කරන්නේ හුදෙක්‌ ම තමා වෙත ප්‍රතිකාර පිණිස පැමිණෙන රෝගීන් ගෙන් නිතර අසන්නට ලැබෙන මැසිවිලි අවම කරමින් ඔවුන් ගේ නිරෝගී බව පවත්වාගැනීමට උපකාරී වනු ඇතැයි යන අදහස පෙරදැරි කරගෙන විය හැකි ය. එවැනි ප්‍රකාශයන් නව විද්‍යාත්මක සහ වෛද්‍ය විද්‍යාත්මක සංකල්ප ඔස්‌සේ සිතමින් විචාරශීලීව සමාජගත කිරීම අනෙකුත් විද්වතුන් ගේ කාර්යභාරය විය යුතු ය.

කාමරන්කා ආසියාතික රටවල ප්‍රචලිත පලතුරක්‌ වන අතර යුරෝපා රටවල පවා ඒ සදහා දැන් දැන් විශේෂ ඉල්ලුමක්‌ පවතී. මෙය බොහෝ දෙනා සුමිහිරි පලතුරක්‌ ලෙස හෝ පලතුරු පානයක්‌ ලෙස හෝ සකසා ආහාරයට ගැනීමට පුරුදු වී ඇත. එසේ ම බොහෝ ලාංකීය ජනයා අතර පවතින මතයක්‌ වන්නේ මේ පලතුර ආහාරයට ගැනීම දියවැඩියාව වැනි රෝග තත්ත්ව සදහා යෝග්‍ය වන බවයි. එම මතය බොහෝ දුරට විද්‍යාත්මක ක්‍රමය ඔස්‌සේ මීයන් වැනි සතුන් යොදාගෙන සිදු කළ විධිමත් පර්යේෂණවලින් ද තහවුරු වූවකි. 2017 වසරේ චීනයේ සිදු කළ පර්යේෂණයකින් අනාවරණය වී තිබුණේ කාමරන්කා සාරය (juice) මීයන් ගේ රුධිර ගලූකෝස්‌ මට්‌ටම කැපී පෙනෙන ලෙස අඩු කරන බවත් ප්‍රති දියවැඩියා ඖෂධයක්‌ ලෙස කාමරන්කා සාරය ලබාගැනීමේ දී දියවැඩියාව අඩු කිරීම සදහා වැදගත් වන ඇතැම් හිතකර ජාන ප්‍රකාශනයන් ද ක්‍රමවත් වන බවත් ය. ඊට අමතරව ඔවුන් ගේ නිරීක්‌ෂණවලට අනුව දියවැඩියාව නිසා වකුගඩුවල ඇති වන glomerular hypertrophy වැනි තත්ත්වයන් කාමරන්කා මගින් අවම වෙයි.

මේ අතර බොහෝ දේශීය සහ අනෙකුත් විවිධ රටවලට අවේනික වෛද්‍ය ක්‍රමවල කාමරන්කා පලතුර ප්‍රති ප්‍රදාහ ගුණෙන් යුක්‌ත වන බව පැවසෙයි. එසේ ම එම ගුණය මීයන් යොදාගෙන විවිධ රටවල සිදු කළ පර්යේෂණ මගින් තහවුරු කර ඇත. ඒ අතරින් 2011 වසරේ බ්‍රසීලයේ පර්යේෂකයන් පිරිසක්‌ සිදු කළ පර්යේෂණයකින් අනාවරණය වූයේ සමෙහි ඇති වන රෝග තත්ත්වයන් සදහා ප්‍රතිප්‍රදාහ ප්‍රතිකාරයක්‌ ලෙස කාමරන්කා පත්‍ර වැදගත් වන බවයි. එහි දී ඔවුහු කාමරන්කා පලතුර පිළිබද කිසිවක්‌ නො පවසති.

මීට අමතරව මේ පලතුර සතු ව තවත් බොහෝ ඖෂධීය ගුණයන් පවතින බවට විද්‍යාත්මක සාක්‌ෂි පවතී. ඒ අතරින් කාමරන්කා සතු ප්‍රති බැක්‌ටීරියා කාරක ගුණය මෙන් ම ප්‍රති ඔක්‌සිකාරක ගුණය ද විද්‍යාත්මක ප්‍රජාව තුළ කතා බහට ලක්‌ වූවකි. කෙසේ වෙතත් කාමරන්කා සතු ව ප්‍රති පිළිකාකාරක හැකියාවක්‌ ඇත් දැයි සොයා බැලීම සදහා ජෛව අණුකජීව වේද සහ ජෛවතාක්‌ෂණ ආයතනයේ අප පර්යේෂණ කණ්‌ඩායම සිදු කළ මූලික පරීක්‌ෂණයක දී අනාවරණය වූයේ එවැනි හැකියාවක්‌ කාමරන්කා සතු ව නො පවතින බවයි.

කාමරන්කා පිළිබද එකී මෙකී සියලු කරුණුවලින් කියවෙන්නේ යහපත් ඖෂධීය ගුණයක්‌ මෙන් ම අයහපත් (විෂ සහිත) ගුණයක්‌ ද කාමරන්කා සතු වන බවයි. කාමරංකා සම්බන්ධව පමණක්‌ නො ව අතීතයේ සිට පැවතුණු විවධ වෛද්‍ය ක්‍රම මෙන්ම දැනට ප්‍රචලිත ව පවතින බටහිර වෛද්‍ය ක්‍රමය තුළ ද භාවිත වන බොහොමයක්‌ ඖෂධ සොයාගෙන හෝ නිස්‌සාරණය කරගෙන ඇත්තේ ශාක හෝ වෙනත් ස්‌වාභාවික ද්‍රව්‍යයන් යොදාගෙන බව වෛද්‍ය හා විද්‍යාත්මක ප්‍රජාව හොදහැටි දන්නා කාරණයකි. එයට හේතුවක්‌ විය හැක්‌කේ බටහිර වෛද්‍ය විද්‍යාව දියුණු වීමට පෙර සිට ම මිනිසා විවිධ රෝගාබාධ සදහා ශාකමය හෝ ස්‌වාභාවික ඖෂධ භාවිත කර තිබීම විය හැකි ය.

කෙසේ වෙතත් වර්තමානයේ දියුණු බටහිර වෛද්‍ය ක්‍රමය තුළ බොහෝ විට ඖෂධ සංශුද්ධ සංයෝගවලින් සකසා ඇති මුත් දේශීය හෝ ආයුර්වේද ක්‍රමය තුළ රෝගය සදහා ක්‍රියාකාරී වන ඖෂධ අඩංගු වන්නේ ශාක සාර මිශ්‍රණයක්‌ තුළ ය. එහි දී ඇතැම් විට ශාකවල පත්‍ර, පොතු, මුල් හෝ ගෙඩි විශේෂ ක්‍රමයන්ට සකසා මුඛයෙන් ලබා දීම හෝ පිටතින් ගැල්වීම හෝ වැනි විධික්‍රම අනුගමනය කෙරෙයි. අවසානයේ දේශීය හෝ ආයුර්වේද ප්‍රතිකර්ම ක්‍රම තුළ සිදු වන්නේ ද බටහිර වෛද්‍ය ක්‍රමය තුළ සිදු වන ඖෂධ ලබා දීමේ ක්‍රමවේදයන්ට බොහෝ සෙයින් සමාන ක්‍රමයකි.

කෙසේ වෙතත් බටහිර ක්‍රමයේ ලබා දෙන ඖෂධ සංශුද්ධ අවස්‌ථාවේ පවතින බැවින් දේහයට ඖෂධය ඇතුළු වූ පසු අක්‌මාව තුළ දී සහ ඖෂධ ක්‍රියා කරන අවයවය තුළ දී මෙන් ම සිරුරෙන් පරිවෘත්තිය හරහා එම ඖෂධ ඉවත් වීම දක්‌වා සියලු ම ක්‍රියාකාරකම්වල යාන්ත්‍රණයන් පැහැදිලි කිරීමක්‌ සිදු වේ. එම නිසා බටහිර වෛද්‍ය ක්‍රමය සදහා ඖෂධ නිපදවීමට වසර 15ක්‌ හෝ ඊට ආසන්න කාලයක්‌ ගත වේ. එහි දී ප්‍රථමයෙන් ම සංශුද්ධ ඖෂධය සාදාගැනීමෙන් පසු ඒවා පරීක්‌ෂණාගාරවල වගා කළ හැකි සෛලවලට හදුන්වා දෙමින් ඒවායේ මූලික ක්‍රියාකාරිත්වය, එම ඖෂධ නිසා මිනිස්‌ දේහයෙන් වෙන් කරගත් පරීක්‌ෂණාගාරවල වගා කළ සෛලවල සිදු වන ජාන ප්‍රකාශනයේ වෙනස්‌කම් ආදී විවිධ විස්‌තරාත්මක කරුණු විද්‍යාත්මක ක්‍රමය මගින් අනාවරණය කරගත් පසු එම ඖෂධ මීයන් වැනි සතුන්ට ලබා දී එහි දී එම සතුන් තුළ සිදු වන වෙනස්‌කම්, විෂ සහිත බව වැනි කරුණු විමර්ශනය කෙරෙයි. එසේ ම අදාළ රෝගය ඇති සතුන්ට එම ඖෂධය නැවත ලබා දී රෝගය සුව වන කාර්යක්‌ෂමතාව, අතුරු ප්‍රතිඵල, ඖෂධීයව ක්‍රියාකාරී වන මාත්‍රාව වැනි බොහෝ කරුණු අනාවරණය කරගැනෙයි. ඉන්පසුව සෛල ආධාරයෙන් සහ පරීක්‌ෂණාගාර මීයන් වැනි සතුන් ආධාරයෙන් ඖෂධයේ ක්‍රියාකාරිත්වය සහ ආරක්‌ෂිත බව ද තහවුරු වූ පසු එය මිනිසාට ලබා දීම සුරක්‌ෂිත බව තීරණය කිරීමට තරම් සාක්‌ෂි ප්‍රමාණවත් නම් පමණක්‌ එය දිගු කාලයක්‌ තිස්‌සේ මිනිසා යොදාගෙන සිදු කරන සායනික පර්යේෂණ සිදු කර එහි විවිධ අදියරවල දී එකී ඖෂධය සාර්ථක සේ හැෙගන්නේ නම් පමණක්‌ එය සායනික ඖෂධයක්‌ ලෙස මිනිසුන් සඳහා ප්‍රතිකාර පිණිස භාවිතයට නිර්දේශ කරනු ලැබේ.

මෙහි දී පැවසිය යුතු විශේෂ කරුණ වන්නේ මූලික පර්යේෂණවල දී ඖෂධීය ගුණයක්‌ ඇති ස්‌වාභාවික සංයෝග ලෙස හදුනාගන්නා සංයෝග 5000කින් හෝ 10000කින් සාර්ථකව මිනිසා ගේ භාවිතයට යොදාගත හැකි ඖෂධ නිපදවිය හැකි වන්නේ එකක්‌ හෝ දෙකක්‌ පමණක්‌ බව ය. (රූපය 2).

කෙසේ වෙතත් ඉහත කී අයුරින් බටහිර වෛද්‍ය ක්‍රමයේ සාර්ථක වූ ඖෂධ පවා යම් කලක්‌ මිනිසුන්ට ලබා දීමේ දී හදුනාගැනෙන අහිතකර බලපෑම් නිසා භාවිතය තහනම් කළ අවස්‌ථා ද බොහෝ දක්‌නට ඇත. ඇතැම් විට එවැනි තහනම් කිරීමකට මූලාරම්භය වනුයේ විශේෂඥ වෛද්‍ය එරංග විඡේවික්‍රම නිරීක්‌ෂණය කළාක්‌ මෙන් පැනනැගුණු සිද්ධීන් කිහිපයකින් අනාවරණය වූ මූලික තොරතුරු දියුණු විද්‍යාත්මක ක්‍රම මගින් පරික්‌ෂා කර බලා ලැබෙන නිගමන ඔස්‌සේ යමින් විය හැකි ය.

බටහිර වෛද්‍ය විද්‍යාව කොපමණ දියුණු වූ යුගයක්‌ වුව ද ලෝකයේ ප්‍රචලිත ව පවතින තවත් ක්‌ෂේත්‍රයක්‌ වන්නේ දිගුකාලීන භාවිතය තුළින් මතු වන සාක්‌ෂි මත පදනම් වූ විකල්ප වෛද්‍ය ප්‍රතිකාර ක්‍රමය ය. (Evidence based complementary and alternative medicine). දියවැඩියාව සදහා කාමරන්කා භාවිතය ද එවැනි අයුරින් මිනිසුන් අතර කාලයත් සමග ප්‍රචලිත වූවකි. මෙලෙස මිනිසුන් දිගු කලක්‌ යම් ස්‌වාභාවික ඖෂධීය ද්‍රව්‍යයක්‌ භාවිතයේ දී එහි යම් විෂ සහිත බවක්‌ හෝ වෙනත් අහිතකර බලපෑමක්‌ හෝ දුටුව හොත් ක්‍රමයෙන් එය භාවිතයෙන් ඉවත් කරනු ඇත.

මිනිසුන් අතර කාමරන්කා භාවිතය නුසුදුසු ය යන්න පිළිබදව සැලකිය යුතු තරම් මතයක්‌ විශේෂඥ වෛද්‍ය එරංග විඡේවික්‍රම මහතා අනාවරණය කරන තුරු ශ්‍රී ලංකාව තුළ නො වී ය. එනමුත් ඒ මහතා අනාවරණය කරන මතය විද්‍යාත්මක ලෝකයට නම් එ තරම් අලුත් මතයක්‌ නො වේ. අප එසේ පවසන්නේ වසර 2000 පමණ වන විටත් වෛද්‍ය එරංග විඡේවික්‍රම මහතා නිරීක්‌ෂණය කළාක්‌ මෙන් කාමරන්කා භාවිතය නිසා රෝගී වූයේ යෑයි සැලකෙන වකුගඩු රෝගීන් ලෝකයේ වාර්තා වී තිබීම නිසා ය. ලෝකයේ අනෙක්‌ වෛද්‍යවරුන් සහ විද්‍යාඥයන් අනාවරණය කරගෙන තිබූ පරිදි කාමරන්කාවල වැඩි බලපෑම එල්ල වී තිබුණේ ක්‍රමිකව වකුගඩු අකර්මණ්‍ය වන නිදන්ගත වකුගඩු රෝගය (chronic kidney disease) වැළදුණු රෝගීන්ට ය. ශ්‍රී ලංකාවේ රජරට ප්‍රමුඛ ප්‍රදේශකිහිපයක මේ ආකාරයේ රෝගයක්‌ ඉතා ම දරුණු ලෙස ව්‍යාප්ත ව පවතී. එම රෝගය සදහා මූලික හේතුව පවා තව ම හදුනාගෙන නොමැත. එම නිසා බොහෝ විශේෂඥ වෛද්‍යවරුන් හා විද්‍යාඥයන් පවසන මතය පිළිබදව දැඩි අවධානය යොමු කරමින් එවැනි රෝගීන් කාමරන්කා යන අත්‍යවශ්‍ය නො වන පලතුර භාවිත කිරීමෙන් වැළකී සිටීම නුවණට හුරු ය.

අනෙක්‌ අතට නිසි විද්‍යාත්මක සාක්‌ෂි මගින් විශේෂඥ වෛද්‍ය එරංග විඡේවික්‍රම මහතා අනාවරණය කළ කල්පිතය සනාථ වන තුරු දියවැඩියාව සදහා විකල්ප ඖෂධයක්‌ ලෙස කාමරන්කා භාවිතය සුදුසු යෑයි කිසිවකුටත් පැවසිය නොහැකි ය. අප එසේ පවසන්නේ කාමරන්කා ආහාරයට ගත් සියල්ලන්ට ම ඉහත කී ක්‌ෂණික වකුගඩු අකර්මණ්‍ය වීමේ රෝගය (acute kidney disease) වැළදී නො තිබුණත් කාමරන්කා භාවිත කරන ඕනෑ ම දියවැඩියා රෝගියකුට ඉහත කී රෝගය වැළදීමේ සම්භාවිතාවක්‌ තිබෙන නිසා ය.

වෛද්‍ය එරංග විඡේවික්‍රම මහතා ද අප හා පැවසූ පරිදි නිරෝගී පුද්ගලයකු කාමරන්කා භාවිත කරනවා ද නැද්ද යන්න තමන් ම තීරණය කළ යුතු කාරණයකි. එයට හේතුව තවම කාමරන්කා භාවිත කරන ඕනෑ ම නිරෝගී පුද්ගලයකුට වකුගඩු අකර්මණ්‍ය වීමේ රෝගය වැළදීමේ සම්භාවිතාව පිළිබදව හෝ නිසි පර්යේෂණයක්‌ සිදු වී නොමැති වීම ය.

කාමරන්කා පිළිබද ආන්දෝලනාත්මක පුවත නව පර්යේෂණ සදහා මග හෙළි කරයි ද?

ලෝකයට අලුත් පුවතක්‌ නො වූවත් ශ්‍රී ලංකාවට නව පුවතක්‌ මවමින් වෛද්‍ය එරංග විඡේවික්‍රම මහතා පසුගිය දා කළ අනාවරණය හුදෙක්‌ ඔහු ගේ පෞද්ගලික සායනික අත්දැකීම් සහ දැනුම යොදාගෙන සිදු කළ එකකි. කාමරන්කා විෂ වීමේ සිද්ධීන්හි සුලබතාව එ තරම් ප්‍රමුඛ කාරණයක්‌ නො වුව ද වසරකට මිනිසුන් කිහිප දෙනකු හෝ රෝගාතුර වීමේ සමභාවිතාවක්‌ පවතී. තවම කාමරන්කා විෂ වීම පිළිබද විධිමත් පර්යේෂණ සිදු වී නොමැති නිසාත් එය ඇතැම් පුද්ගලයන්ට පමණක්‌ විෂ වන නිසාත් ඒ පිළිබද නව විද්‍යාත්මක පර්යේෂණ ඇරඹීමේ අවශ්‍යතාවක්‌ සහ යෝග්‍යතාවක්‌ පවතින බව අපට හැෙග්. එලෙස ම වෛද්‍ය එරංග විඡේවික්‍රම මහතා ශ්‍රී ලාංකීය විද්‍යාඥයන් හට වටිනා කල්පිතයක්‌ ගොඩනගා දී ඇති බව අපට ප්‍රකාශ කළ හැකි ය. එය හුදෙක්‌ කල්පිතක්‌ ලෙසින් අප දකින්නේ, එය තවදුරත් විද්‍යාත්මක ක්‍රම ඔස්‌සේ පරීක්‌ෂා කිරීම මගිsන් නව නිගමනවලට එළඹිය හැකි අවකාශයක්‌ ඇති බව අපට හැෙගන නිසා ය.

කාමරන්කාවල පවතින ඔක්‌සලික්‌ අම්ලයෙන් පමණක්‌ ඉහත කී වකුගඩු ආබාධ ඇති වන්නේද නැතිනම් කාමරන්කාවල ම පවතින වෙනත් සංයෝගයක්‌ හෝ කිහිපයක්‌ ඔක්‌සලික්‌ අම්ලය ද හවුල් කරගෙන එම රෝගී තත්ත්වය ඇති කරන්නේ ද, එසේ නම් කාමරන්කාවල පවතින අනෙක්‌ සක්‍රිය රසායනික සංයෝග මොනවා ද, එසේ නව සංයෝග පවතින්නේ නම් එම සංයෝග මිනිසා ගේ ජාන ප්‍රකාශනය කෙසේ වෙනස්‌ කරයි ද වැනි කරුණු කාරණා සොයා බැලිය යුතු ය. එමෙන් ම වෙනත් ඖෂධයක්‌ හෝ ආහාරයක්‌ හෝ සමග කාමරන්කා පරිභෝජනය කරන පිරිසකට පමණක්‌ වකුගඩු අක්‍රිය වීමේ රෝගය ඇති වන්නේ ද, එසේත් නැත්නම් බහුතරයක්‌ සාමාන්‍ය ජනයාට වඩා වෙනස්‌ වූ ජාන ප්‍රකාශන රටාවක්‌ ඇති පුද්ගලයන්ට පමණක්‌ කාමරන්කා අහාරයට ගත් පසු ඉහත කී වකුගඩු ආබාධ ඇති වන්නේ ද ආදිය සොයා බැලිය යුතු කාරණා අතර වේ. මේ සදහා මිනිසුන් යොදාගෙන පර්යේෂණ කිරීම දැඩි අවදානම් සහගත ය. එම නිසා ඒ වෙනුවට විද්‍යාගාර මීයන් වැනි සතුන් යොදාගෙන පර්යේෂණ සිදු කර යම්තාක්‌ දුරට හෝ කාමරන්කාවල අහිතකර බලපෑම් ඇති නම් ඒවා අනාවරණය කරගැනීම වැදගත් වේ.

බටහිර වෛද්‍ය විද්‍යාවේ මූලාරම්භකයන් ලෙස සැලකෙන හිපොක්‍රටීස්‌ නම් දාර්ශනිකයා වැනි දාර්ශනිකයන් සහ වෛද්‍ය වෘත්තිකයන් ජීවත් වූ කාලයේ පටන් ම අද දක්‌වා බටහිර වෛද්‍ය ක්‌ෂේත්‍රය අත්පත් කරගෙන ඇති දියුණුව අති මහත් ය. එහි දී සාමාන්‍ය ජනයා බොහෝ විට සෘජු ව ම ස්‌තුතිවන්ත වන්නේ වෘත්තීයමය වෛද්‍යවරුන්ට පමණි. එනමුත් වර්තමාන වෛද්‍ය ක්‌ෂේත්‍රයේ දියුණුවට බොහෝ ක්‌ෂේත්‍රවල විද්වතුන් කළ අතිමහත් සේවය ද අප සිහි කළ යුතු ය. එහි දී නව තාක්‌ෂණයන් ඔස්‌සේ ශල්‍යකර්ම කිරීම, නිවැරැදී රෝග විනිශ්චය සහ දියුණු ප්‍රතිකාර ක්‍රම අනුගමනය කිරීම සදහා වන අතිදියුණු තාක්‌ෂණික උපකරණ සාදමින් භෞතික විද්‍යාඥයන් සහ ඉංජිනේරුවන් මෙතෙක්‌ සිදු කර ඇති මෙහෙය අති මහත් ය. එසේ ම නව ඖෂධ නිපදවීම සහ ඒ සම්බන්ධ සායනික පර්යේෂණ දක්‌වා සියලු පර්යේෂණ මෙහෙයවමින් වෛද්‍යවරුන්ට රෝගීන් සදහා නිර්දේශ කිරීමට ඖෂධ නිපදවන විද්‍යාඥයන් ගේ දායකත්වය ද මිල කළ නොහැකි ය. එනම් රෝගී වූ රෝගීන් එම දුකින් මුදවාගෙන ඔවුනට යහපත් දිවියක්‌ අපට උදා කිරීම දක්‌වා යන ගමන ඉතා විශාල වෘත්තිකයන් ප්‍රමාණයක ගේ සක්‍රිය දායකත්වයෙන් සිදු වන්නක්‌ බව පැහැදිලි ය. එහි දී එකිනෙකා ගේ වෘත්තීය වපසරියන් හොදින් තේරුම්ගෙන අෙන්‍යාන්‍ය මතයන්ට ද ගරු කරමින් එදිනෙදා අපට ඇති වන ගැටලුවලට සැබෑ විසදුම් සෙවීමට අප කැප විය යුතු ය. කාමරන්කා ආන්දෝලනයට ද සැබෑ පැහැදිලි කිරීම් සහ විසදුම් ලබා දිය හැක්‌කේ එවැනි සාමූහික ක්‍රියාවලියකිනි. එහි දී විද්‍යාඥයන් සහ වෛද්‍යවරුන් පළ කරන මතයන් පිළිබදව සාමාන්‍ය ජනයා ගේ සහ අනෙක්‌ විද්වතුන් ගේ විවේචන්යන් ද එම මත නිවැරදි මාර්ගයට ගැනීම සදහා උපකාරී වන බව අප අමතක කළ යුතු නැත.



කොළඹ විශ්වවිද්‍යාලයයේ

ජෛවරසායන අණුකජීවවේද සහ ජෛවතාක්‌ෂණ ආයතනයේ

ආචාර්ය සමීර ආර්. සමරකෝන්