logo3.gif (702 bytes)

arrow7.gif (1098 bytes)


නියගය හා කැරලි කෝලාහල ඇති වීම අතර නූතන ලෝකයේ දැකිය හැකි සබඳතාව

නියගය හා ජල හිගය වැනි ස්‌වාභාවික ආපදා අවස්‌ථාවල දී කැරලි කෝලාහල ඇති වීම සිදු විය හැකි සිදුවීමකි. මේවා සුළු ගැටුම්වල සිට මහා අරගල දක්‌වා විවිධ විය හැකි ය. එවැනි අවස්‌ථාවල දී ඇතැම් විට පාලන තන්ත්‍ර පවා බිඳ වැටුණු අවස්‌ථා ඇති බව ඉතිහාසයේ සඳහන් වේ. එමෙන් ම ඉතිහාසයේ සඳහන් නො වෙතත්, එවැනි ආපදා අවස්‌ථා ඇතැම් රටවල පාලන තන්ත්‍ර බිඳවැටීම සඳහා ඝෘජු ව හා වක්‍ර ව බලපා ඇති බව පර්යේෂණ මගින් පෙන්වා දී තිබේ. වීනයේ ඇතැම් රාජ වංශවල බිඳ වැටීම, ඇමෙරිකානු මහාද්වීපයේ ඇතැම් ප්‍රදේශවල අතීතයේ පැවැති ශිෂ්ටාචාර බිඳවැටීම සඳහා මේ තත්ත්වය හේතු වී ඇති බව නූතන පර්යේෂණවලින් හෙළි වී ඇත.

කෙසේ වෙතත් අතීතයට සාපේක්‌ෂව සමාජ ආරක්‌ෂණය අතින් වඩා ඉහළ තත්ත්වයක්‌ පවත්නා වර්තමාන සමාජයෙහි එවැනි තත්ත්වයක්‌ ඇති විය හැකි ද යන්න ගැටලුවකි. විශේෂයෙන් තොරතුරු හා දේශපාලන යාන්ත්‍රණය මගින් එවැනි තත්ත්ව පාලනය කිරීම සඳහා කටයුතු කළ හැකි තත්ත්වයක්‌ තිබිය දී එවැනි තත්ත්වයක්‌ ඇති විය හැකි ද යන්න ගැටලු සහිත ය. එහෙත් ආර්ථික අතින් එතරම් ඉදිරියට ගොස්‌ නොමැති රටවල හෝ සමාජවල මෙවැනි තත්ත්ව දැකිය හැකි බවට සාධක ඇත. මේ නිසා නියග කාලය හා කැරලි කෝලාහල ඇති වීම අතර ඇති සම්බන්ධය කෙබඳු ආකාරයේ එකක්‌ ද යන්න පිළිබඳ ව කලක්‌ තිස්‌සේ අධ්‍යයනය කිරීමට උනන්දුවක්‌ දැකිය හැකි විය. අප්‍රිකාවේ සිදු කරන ලද මෑතක දී ප්‍රකාශයට පත් අධ්‍යයනයකින් නියග හා කැරලි කෝලාහල අතර ඇති ඝෘජු සම්බන්ධය පිළිබඳ ව පෙන්වා දී තිබිණි.

අප්‍රිකාවේ නියගය හා කෝලාහල

මේ අධ්‍යයනයේ දී අවධානයට ලක්‌ වූ ප්‍රදේශය හෙවත් උප-සහරානු අප්‍රිකාව සම්බන්ධ ව ජලය වැදගත් සාධකයක්‌ වන අතර, ජලය හිග වීම හා වියළි කාලගුණ තත්ත්ව ඇති වීම මේ කලාපයේ සුලබ ය. මිනිසුන් විසින් වගා කරනු ලබන භෝග අතරින් 95%ක්‌ පමණ වර්ෂා ජලය යටතේ වගා කරනු ලබන භෝග වෙයි. වාරි ජල සම්පාදනය සඳහා සුදුසු ප්‍රදේශවල වගා කරනු ලබන්නේ භෝග අතරින් 5%ක්‌ තරම් අඩු ප්‍රමාණයක්‌ පමණකි. එසේ ම මේ ප්‍රදේශයේ පිරිසිදු ජලපහසුකම් නො මැති ජන සංඛ්‍යාව ඉහළ වන අතර, මේ නිසා අසාමාන්‍ය වියළි කාලගුණ තත්ත්වයක්‌ ඇති වීමෙන් ජලය හිග වීමට ඇති අවස්‌ථා ඉහළ යයි.

මෙසේ ජලය හිග වීම නිසා කෘෂි නිෂ්පාදනය අඩු වේ. එය ගොවීන් ගේ ආදායම අඩු වීමට ද හේතු වේ. ආහාර නිෂ්පාදනය අඩු වීම ප්‍රජාව අතර ආහාර හිගයකට හේතු වේ. ආහාර හිග වීම නිසා ආහාර මිල ද ඉහළ යයි. නාගරික ප්‍රදේශවල ප්‍රමාණවත් ආහාර සැපයුමක්‌ නො ලැබීම ද සිදු විය හැකි ය. මේ තත්ත්වය නිසා ගැටුම් හා කැරලි කෝලාහල ඇති විය හැකි ය. විවිධ ජන කණ්‌ඩායම් අතර හිග වන ජල සම්පතට ඇති වන තරගයේ ප්‍රතිඵලයක්‌ ලෙස ඔවුන් අතර ගැටුම් ඇති වීමේ අවස්‌ථා ඉහළ යැම සිදු වෙයි.

මීට පෙර මෙවැනි ගැටුම් පිළිබඳව සිදු කර තිබූ අධ්‍යයන විශාල ප්‍රදේශයක්‌ ආවරණය කළ ඒවා විය. එහෙත් මෙවැනි කෝලාහල ඇති වන්නේ කුඩා ප්‍රදේශවල වීම නිසා දත්ත අවශ්‍ය වන්නේ කුඩා ප්‍රදේශ සම්බන්ධ ව විය. එනම් නියගය පිළිබඳ ව මෙන් ම කෝලාහල සම්බන්ධ ව දත්ත අවශ්‍ය වන්නේ ද සාපේක්‌ෂව කුඩා ප්‍රදේශ සම්බන්ධව ය. මේ නිසා වඩා සියුම් ව දත්ත නිරීක්‌ෂණය හා විශ්ලේෂණය කිරීමක්‌ අවශ්‍ය කර තිබේ. මේ සඳහා පර්යේෂකයන් කු=ඩා ප්‍රදේශ අනුව දත්ත එකතු කිරීම සිදු කර ඇත.

මේ පිළිබඳ ව අවධානය යොමු කළ පර්යේෂකයන් පිරිසක ගේ අභිප්‍රාය වූයේ මේ ජල හිගය හා කැරලි ඇති වීම අතර කිසියම් ක්‍රමානුකූල සම්බන්ධයක්‌ තිබේ ද යන්න සොයාගැනීමයි. මේ සඳහා ඔවුහු නියගය පිළිබඳ ව දර්ශකයක්‌ හා ගැටුම් පිළිබඳ දර්ශකයක්‌ යොදාගනිමින් අලුත් ම අකාරයක සංසන්දනයක්‌ සිදු කර ඇත. ඔවුන් නියගය පිළිබඳ දත්ත ලබාගැනීම සඳහා මෙහි දී යොදාගෙන ඇත්තේ යම් ප්‍රදේශයක වර්ෂාපතනය හා වාෂ්පීකරණය අතර වෙනස පෙන්වා දෙන සුචියක්‌ වන ප්‍රමිත කළ වර්ෂාපතන - වාෂ්පීකරණ සුචියයි (Standardised
Precipitation - Evapotranspiration Index). මෙමගින් වසර සියයක්‌ කාලයක්‌ සඳහා මාසයෙන් මාසයට, වර්ග කිලෝමීටර් 2,500 ප්‍රදේශයෙන් ප්‍රදේශයට දත්ත ලබාගත හැකි ය. මෙසේ ලබාගත් දත්ත හා සමාජ ගැටුම් විශ්ලේෂණ දත්ත සමුදාය (Social Conflict Analysis Database) නම් ගැටුම් පිළිබඳ තොරතුරු ඇතුළත් දත්ත සමුදායක්‌ මගින් ලබාගත් දත්ත හා සමපාත කිරීමෙන් පර්යේෂකයන් උක්‌ත අධ්‍යයනය සිදු කර තිබේ. මේ ගැටුම් පිළිබඳ දත්ත සමුදායට අදාළ ගැටුම් පිළිබඳ ව නිශ්චිත ස්‌ථානීය විස්‌තර, ආරම්භය හා පැවැති කාලය වැනි විස්‌තර ඇතුළත් ය. මෙහි දී නියගයට අදාළ නො වන වෙනත් හේතු නිසා ඇති වූ ගැටුම් තිබීමට හැකි වීම පර්යේෂකයන් මුහුණ දුන් අභියෝගයක්‌ විය. ඒවා වෙන් කර ගැනීමෙන් පසුව නියගය නිසා ඇති වූ ගැටුම් හඳුනාගැනීමට පර්යේෂකයන්ට හැකියාව ලැබී ඇත.

උප - සහරානු අප්‍රිකාවේ 1990 සිට 2011 වර්ෂය දක්‌වා වූ කාලයේ දී ඇති වු කැරලි කෝලාහල 1,738ක්‌ පිළිබඳ ව කරුණු විමසීම මෙහි දී සිදු කර ඇති අතර එහි දී ආවරණය කර ඇති රටවල් ගණන 42කි. මෙහි දී අදාළ ස්‌ථානය පිළිබඳ ව දත්ත සහිත වූ කුඩා පරිමාණ සමාජ ගැටුම් හෙවත් අරගල (small - scale social conflict-riots) සේ මේ අධ්‍යයනයේ දී හඳුන්වා දී ඇත.

ජල හිගය හා ගැටුම් අතර සම්බන්ධතාව

මෙහි දී පර්යේෂකයන් අනාවරණය කරගත් ආකාරයට නියගය පැවතීම නිසා කැරලි කෝලාහල ඇති වීමට ඇති හැකියාව 10%කින් පමණ ඉහළ යා හැකි ය. එය ඕනෑ ම ප්‍රදේශයක ඇති විය හැකි දෙයකි. එය අදාළ ප්‍රදේශය පිහිටන්නේ නගරයක ආසන්නයේ වුව ද, කාන්තාරයක්‌ ආසන්නයේ වුව ද යනුවෙන් වෙනසක්‌ නොමැත. එසේ ම පර්යේෂකයන් මෙහි දී හඳුනාගෙන ඇති ආකාරයට නියග ආශ්‍රිත කැරලි කෝලාහල ඇති වීමට ඇති හැකියාව සඳහා බලපාන තවත් සාධක තුනක්‌ තිබේ. ඉන් එකක්‌ වන්නේ ජන ඝනත්වයයි. අධික ජන ඝනත්වයක්‌ ඇති ප්‍රදේශයක දී ජල අවශ්‍යතාව අධික වන බැවින් කැරලි කෝලාහල ඇති වීමේ හැකියාව 50%ක්‌ දක්‌වා ඉහළ යා හැකි ය. එසේ ම නියගයේ අවදානමට ලක්‌ ව ඇති ප්‍රදේශයේ විල් හෝ ගංගාවක්‌ නොමැති නම් කැරලි කෝලාහල ඇති වීමේ හැකියාව දෙගුණයකින් හෙවත් 20% දක්‌වා ඉහළ යයි. අනෙක්‌ අතට එකිනෙකට වෙනස්‌ ජනවර්ග එක ම ජල ප්‍රභවයක්‌ පරිහරණය කරන අවස්‌ථාවල දී නියගයක්‌ ඇති වුව හොත් හා ජල පරිහරණය පිළිබඳ සාම්ප්‍රදායික විධික්‍රම බිඳවැටීමක්‌ සිදු වුව හොත්, කැරලි කෝලාහල ඇති වීමේ හැකියාව 20% දක්‌වා ඉහළ යා හැකි ය.

එසේ ම නියගය හා සම්බන්ධ ගැටුම් ඇති වන්නේ මාසයක්‌ පමණ කාලයක්‌ ඇතුළත දී වීම විශේෂිත ය. එමගින් පෙන්වා දෙන්නේ තමන් ගේ කෘෂිකර්මයට, ආර්ථිකයට හා සෞඛ්‍යයට බලපාන ගැටලුවක්‌ පිළිබඳ ව ප්‍රජාව කඩිනමින් ප්‍රතිචාර දක්‌වන බවයි. මේ අධ්‍යයනයෙන් නියගය හා කැරලි කෝලාහල ඇති වීම අතර ඇති ක්‍රමානුකූල හා ක්‌ෂණික සම්බන්ධය පිළිබඳ ව කරුණු අනාවරණය කරයි.

ගැටුම් වැළැක්‌වීමේ වැදගත්කම

මෙහි දී පර්යේෂකයන්ට හෙළි වී ඇත්තේ ජල සම්පත්වල හදිසියේ අඩු වීම නිසා අසහනකාරී තත්ත්ව ඇති වීම අතර ක්‍රමානුකූල සම්බන්ධතාවක්‌ ඇති බවයි. විශේෂයෙන් සාපේක්‌ෂව අඩු ආර්ථික වර්ධනයක්‌ සහිත සමාජයක මෙවැනි ගැටුම් ඇති වීමට අවස්‌ථා ඇති බව පැහැදිලි ය. සමාජ සංවර්ධනයත් එයට හේතුවක්‌ වී ඇත. අප්‍රිකාවෙන් පිටත වුව ද මෙවැනි තත්ත්ව ඇති ප්‍රදේශවල ද සමාන තත්ත්ව වාර්තා වී ඇත. ඉන්දියාවේ ඇතැම් ප්‍රදේශ මේ සඳහා නිදසුන් වේ. කෙසේ වෙතත්, සමාජ ආර්ථික වශයෙන් වඩාත් දියුණු තත්ත්ව ඇති රටවල හා සමාජවල පවා ජලය පිළිබඳ ගැටලුවල දී ජනතාව අතර ගැටුම් ඇති විය හැකි අවස්‌ථා අපේක්‌ෂා කළ හැකි ය. ඒ ජල අර්බුද වඩාත් තීව්‍ර වන අවස්‌ථාවල දී ය. අනෙක්‌ අතට බරපතළ ආපදා තත්ත්වවල දී දියුණු යෑයි සම්මත රටවල වුව ද එවැනි තත්ත්වයක්‌ අපේක්‌ෂා කළ හැකි ය. සමාජ ආරක්‌ෂණය හා සුබසාධනය ඉහළ මට්‌ටමින් ඇති රටවල පවා ආපදා අවස්‌ථාවල ද ඇති වූ මෙවැනි බිඳවැටීම් අපි දැක ඇත්තෙමු.

මෙවැනි ගැටුම් නිසා ජීවිත හානි මෙන් ම දේපළ හානි ද ඇති වේ. එපමණක්‌ නො ව එය අදාළ රටේ ආර්ථිකයට ද බලපායි. ඇතැම් අවස්‌ථාවල දී එහි ඇති වන තත්ත්වය පෞද්ගලික මෙන් ම රාජ්‍ය අංශයේ ආර්ථික ක්‍රියාකාරිත්වය සඳහා බලපෑමක්‌ සිදු කරන අතර, මේ තත්ත්වය වඩාත් බලපෑමක්‌ ඇති කරන්නේ දරිද්‍රතාව අධික වූ ප්‍රදේශවලට ය. මේ නිසා උක්‌ත පර්යේෂකයන් පවසන වැදගත් කරණක්‌ වන්නේ නියග තත්ත්වයක්‌ හමුවේ ඇති වන ගැටුම්කාරී තත්ත්වය පාලනය කිරීම සඳහා දේශපාලන ආයතනවල කඩිනම් හා ක්‌ෂණික මැදිහත්වීම වැදගත් වන බවයි. විශේෂයෙන් ගැටුම් වැළැක්‌වීම හා ජනතාව ගේ අවශ්‍යතා සපුරාලීම සඳහා මේ පර්යේෂණය වැනි පර්යේෂණවල ප්‍රතිඵල යොදාගැනීමට ඇති හැකියාව පැහැදිලි කරුණකි. මේ තත්ත්වය අද දවසේ අප්‍රිකාවට මෙන්ම හෙට දවසේ සෙසු ලෝකයට ම වැදගත් වන්නේ ඉහළ යන වියළි දේශගුණ තත්ත්වය අනාගතයේ දී සෙසු රටවලට ද වැඩි බලපෑමක්‌ සිදු කිරීමේ අවදානමක්‌ ඇති නිසා ය.

මුලාශ්‍රය( Journal of Environmental Economics and Management, DOI: 10.1016/j.jeem.2017.06.002

ධනේෂ් විසුම්පෙරුම