logo3.gif (702 bytes)

HOME


පවස නිවන සිත සනසන සොදුරු නදී ජලය දූෂණය

විටක සොදුරු දසුන් මවමින් නිසල ව ගලා යන ගංගා ජලය තවත් විටෙක රුදුරුව ගම් නියම් ගම් යට කරමින් උතුරා යයි. මේ සොදුරු බව යට සැගව ඇති බිහිසුණු සේයා අප වෙත ගෙන එන පණිවිඩය පහසුවෙන් මඟහැර යා නොහැකි එකකි.

ඉතිහාසයේ සිට ම මානව ශිෂ්ටාචාර ගංගා අසබඩ ගොඩනගා ඇත. වර්තමානයේ ද නගර, මිනිස්‌ වාසස්‌ථාන හා කර්මාන්ත ගොඩනැගී ඇත්තේ ගංගාධාරවල ය. මේ තත්ත්වය ගංගාවලට දූෂකාරක එක්‌ වීමට ප්‍රධාන හේතුව ය.

ස්‌වාභාවිකව ගලා යන ජලය කිසි විටකත් සම්පූර්ණයෙන් පවිත්‍ර යෑයි කිව නොහැකි ය. මන්ද යත් ජලයට පසේ හා පාෂාණවල ඇති ඛනිජ සමග ප්‍රතික්‍රියා කර ඒවා ද්‍රdව්‍ය කිරීමට හැකියාව ඇති බැවිනි. මෙසේ දිය වූ කාබනික හා අකාබනික ද්‍රව්‍ය ස්‌වාභාවික ජලයේ තිබිය හැකි ය. ස්‌වාභාවිකව ගලා යන ජලයේ ආසනික්‌ පවා 0.83 μg/l - 2.1 μg/l (ඒකක දක්‌වා ඇත්තේ ජලය ලීටරයට මයික්‍රොග්රෑම්වලිනි) පමණ තිබිය හැකි බව වාර්තා වේ.

ගලා යන ජලයට ගලා නො යන ජලයට වඩා එක්‌ වන දූෂක ස්‌වයං පවිත්‍රකරණය කිරීමේ හැකියාව ඇත. එහෙත් මේ ධාරිතාව ඉක්‌මවන දූෂක ප්‍රමාණයක්‌ එක්‌ වූ විට ජල ධාරා දූෂණයට ලක්‌ වේ. අසල්වැසි ඉන්දියාවේ පූජනීයත්වයෙන් සලකන ගංගා නම් නදිය ලෝකයේ දූෂිත ම ගංගාවලින් 06 වැනි ස්‌ථානයේ ලා සැලකෙන්නේ දිනකට ඊට එක්‌ වන පිරිපහදු නො කළ මළ අපවහන ලීටර් මිලියන 3,000ක්‌ නිසා ය.

අප රටේ ජලධාරාවල ජලයේ ගුණාත්මකභාවය පවත්වාගැනීම වැදගත් ඇයි?

මේ ජලධාරා බොහෝ ජෛව විශේෂවලින් පොහොසත් ය. පරිසරයේ සමතුලිතතාව

රැකගැනීමට ඉතා හොද පරිසර පද්ධති වේ.

එසේ ම අප රටේ ගංගා සියල්ල ම පාහේ ද ඇළ දොළ ද සෘජු ව ම පානීය ජල මූලාශ්‍ර ලෙස යොදාගැනෙයි. විදුලි උත්පාදන බලාගාර ද මේ ජල ධාරා යොදාගෙන ක්‍රියාත්මක වේ. දේශීය හා විදේශීය සංචාරකයන් ගේ ආකර්ෂණය ඇදගන්නා විශේෂ සාධකයක්‌ ද වේ. අතීතයේ මෙන් ම වර්තමානයේ ද විනෝදාස්‌වාදය සදහා ද බෙහෙවින් යොදාගැනේ.

අප රටේ ජලධාරාවල ගුණාත්මක බව

මතුපිට ජලය මිනිස්‌ ක්‍රියාකාරකම් හේතුවෙන් ද, ස්‌වාභාවික ව ගලා එන වැසි ජලයේ මිශ්‍ර වූ දූෂක හේතුවෙන් ද දූෂණයට ලක්‌ වේ. දිගු කාලීනව ලබාගත් ජල තත්ත්ව විශ්ලේෂණ දත්ත අනුව කැලණි ගග, බෙන්තර ගග, මා ඔය හා දඩුගම් ඔය වැනි ජල ධාරාවල සමස්‌තයක්‌ ලෙස ඉහළ සිට පහළ ප්‍රදේශය දක්‌වා ම මළ ද්‍රව්‍ය හා කැළි කසළ ජලයට එක්‌ වීමෙන් සිදු වන දූෂණය දැකිය හැකි ය. ජලධාරාවල ඉහළ කොටස්‌වල එම දූෂණය හැරුණු විට ජලයේ ගුණාත්මක බව ඉහළ මට්‌ටමක පවතී.

සියලු ජලධාරාවල පහළ ප්‍රදේශවල ඉහළ ප්‍රදේශවලට වඩා වැඩි දූෂණයක්‌ පවතියි. ජල ධාරා අසල ඇති කර්මාන්තවලින් මුදාහරින පිරිපහදු කළ හා නො කළ කාර්මික අපසන්දන, ගෘහස්‌ථ කැළි කසළ හා මළ අපවහන එක්‌ වීම මීට හේතු වේ. මීට අමතර ව කැලණි ගඟ, බෙන්තර ගඟ හා මා ඔය වැනි ජලධාරාවල අනවසර වැලි ගොඩ දැමීම නිසා පතුල ගැඹුරු වීමෙන් වියළි කාලයේ දී මුහුදු ජලය රට තුළට ගලා ඒමෙන් පහළ ප්‍රදේශයේ ලවණතාව ඉහළ යැම දැකිය හැකි ය. තව ද ඉහළ ජලධාරා තදබල ඉවුරු ඛාදනයට ද මේ හේතුව නිසා ලක්‌ ව ඇත. සියලු ම ජලධාරාවල ජලයේ ගුණාත්මක බව කාලගුණික තත්ත්ව අනුව අවුරුද්ද මුළුල්ලේ ම විචලනය වේ.

කැලණි ගග මෙතරම් දූෂිත ද?

අපේ රටේ ගංගා අතරින් විශාල ම ගංගා ෙද්‍රdaණියක්‌ හිමි ආගමික හා සංස්‌කෘතික වටිනාකමකින් යුත් කැලණි ගග රටේ ගංගා අතරින් වැඩි ම දූෂණයක්‌ වී ඇති ගග ලෙස සැලකේ.

කැලණි ගග ජනගහනය අධික කාර්මිකකරණය වූ නගර කිහිපයක්‌ හරහා මුහුදට ගලා යන නිසා එහි දූෂණය වීමේ ප්‍රවණතාව ඉහළ ය. කැලණි ගංගාධාරයේ විශාල ප්‍රමාණයේ කර්මාන්ත 11,732ක්‌ ද, මධ්‍යම මට්‌ටමේ කර්මාන්ත 14,249ක්‌ ද ස්‌ථාපිත බව දැනට නිර්ණය කර ඇත.

එහෙත් කොළඹ නගරයේ 80%කට පානීය ජලය සපයන ජල මූලාශ්‍රය ද මෙය ම ය. මේ ජල පොම්පාගාර බොහොමයක්‌ ගෙග් පහළ කොටසේ ස්‌ථාපනය කර ඇත. අවිස්‌සාවේල්ලේ සිට අඹතලේ දක්‌වා ගෙග් ස්‌ථාන 06ක්‌ මෙසේ ජලය සැපයීමට යොදාගැනේ.

කැලණි ගෙග් ඉහළ කොටසේ කිතුල්ගල සිට පෑලියගොඩ දක්‌වා දිගු කාලීනව ලබාගත් ජල තත්ත්ව විශ්ලේෂණ දත්ත පරිස්‌ථිත (ambient) ජල තත්ත්ව ප්‍රමිතීන් සමග සැසදීමේ දී පෙනී යන්නේ ගග තවමත් භයානක දූෂණ මට්‌ටමක නො පවතින බවත් ශීඝ්‍රයෙන් දූෂණයට ලක්‌ වෙමින් පවතින බවත් ය.

වත්මන් හා අනාගත පරපුර වෙනුවෙන් කැලණි ගෙග් ජලයේ ගුණාත්මක බව සුරැකීම කාලීන අවශ්‍යතාවක්‌ වන බව මින් මනාව පැහැදිලි ය.

ගග දූෂණය වන්නේ මෙසේ ය

කැළණි ගෙග් ද සමස්‌තයක්‌ ලෙස ලබාගත් ජල තත්ත්ව දත්ත අනුව ඉහළ සිට පහළට මළ අපවහන එක්‌ වීමෙන් හා ගෘහස්‌ථ කැළි කසළ එක්‌ වීමෙන් වන දූෂණය අවුරුද්ද පුරා ම සිදු වේ. ගෙග් ඉහළ ප්‍රදේශයේ සිට තල්දූව දක්‌වා ඉහත දැක්‌වූ දූෂණය හැරුණු විට ජලයේ ගුණාත්මකභාවය ඉහළ මට්‌ටමක පවතී. එහෙත් එතැන් සිට මුහුද තෙක්‌ පහළ ප්‍රදේශයේ ජලයේ තත්ත්වය වැලිවිට, පූගොඩ තොටුපොළ වැනි ස්‌ථානවල හැරුණු විට අවුරුද්ද පුරා බොහෝ විචලනයක්‌ දක්‌වයි.



පෑලියගොඩ වැනි ප්‍රධාන ගෙග් ස්‌ථානවල ද, රග්ගහවත්ත ඇළ, මහ ඇළ, පූගොඩ ඇළ හා පුස්‌සැලි ඔය වැනි අතු ගංගාවල ද කර්මාන්තශාලා හා කාර්මික ජනපදවලින් එක්‌ වන කාර්මික අපසන්දන කැළි කසළ හා මළ අපවහන එක්‌ වීම මගින් වන දූෂණය අවුරුද්ද මුළුල්ලේ ම නිරීක්‌ෂණය වේ. මේ ස්‌ථානවල දිය වූ ඔක්‌සිජන් ප්‍රමාණය අඩු වීමක්‌ හා කාබනික, අකාබනික ද්‍රව්‍යවල ඉහළ යැමක්‌ මඟින් මෙය පිළිබිඹු වේ. වර්ෂාපතනය වැඩි කාලවල දී ගගට එක්‌ වන දූෂක ප්‍රමාණය වැඩි වුව ද ගෙග් ජලය වැඩි නිසා ඒවා තනුකකරණය වන අතර ගංගා ජලයේ ගුණාත්මක බව යහපත් අතට හැරේ. එහෙත් වියළි සමයන්හි දී දූෂක සාන්ද්‍රණය වීමෙන් ජලයේ ගුණාත්මකභාවය අඩු වේ. විශ්ලේෂිත ජල තත්ත්ව දත්ත අනුව ගෙග් බැර ලෝහ සාන්ද්‍රණවල තවමත් විචලනයක්‌ නැති තරම් ය.

තද වියළි කාලවල දී ගෙග් පහළ කොටසේ ලවණ ජලය මිශ්‍ර වීම සෑම අවුරුද්දක ම සිදු වේ. එවිට ගෙග් එම ප්‍රදේශවල විද්යුත් සන්නායකතාව, ක්‌ලෝරයිඩ් සාන්ද්‍රණයේ හා ලවණතාවේ පැහැදිලි ඉහළ යැමක්‌ දැකිය හැකි ය. ගං මෝයේ සිට කිලෝමීටර 14ක පමණ දුරකින් පිහිටි අඹතලේ ජල පොම්පාගාරයෙන් මහජනතාවට පානීය ජලය සැපයීම සදහා මේ කාලවල දී විශාල පරිශ්‍රමයක්‌ හා පිරිවැයක්‌ දැරීමට සිදු වේ.

දූෂණය වළක්‌වාගැනීමට නම්

ගංගාවල ඉවුරු රක්‌ෂිත ප්‍රදේශවල අනවසර ඉදි කිරීම් දිනෙන් දින ම වැඩි වෙමින් පවතී. ගංගා දූෂණය වැළැක්‌වීමට මුල් පියවර විය යුත්තේ එම සංවේදී කලාප නැවත නිර්ණය කොට පනතකින් බලාත්මක කොට පවත්වාගෙන යැම ය. තව ද එම ප්‍රදේශ ආරක්‌ෂා කිරීමට නිති පසු විපරම් සිදු කිරීම හා නීති රෙගුලාසි ඇති කිරීම ද කළ යුතු වේ. ගංගා ඉවුරේ ඇති අනවසර ඉදිකිරීම් හා මළ අපවහන බැහැර කිරීම් නැවැත්වීමට නිසි පියවර වහා ගත යුතු ව ඇත.

කර්මාන්තවලින් බැහැර කරන අප ජලය යම් පිරිපහදුවකින් පසු බැහැර කරලීම සදහා පරිසර ආරක්‌ෂණ බලපත්‍රයකට යටත් කිරීම මගින් කර්මාන්තකරුවන් පොලඹවනු ලැබේ. එහෙත් පිරිපහදු පද්ධති සහිත කර්මාන්තවල ද ඒවා නිසි ලෙස ක්‍රියාත්මක නො කරන අවස්‌ථා සුලබ ය. මොවුන් නීතිමය රාමුවකට කොටු කරගැනීමට වඩා දැනුවත් කිරීම මගින් ඔවුන් ගේ ආකල්පමය වෙනසක්‌ ඇති කිරීමට උත්සාහ දැරීම ඵලදායී වනු ඇත.

පිවිතුරු නිෂ්පාදන ක්‍රමෝපායන්ට යොමු කිරීම සදහා ප්‍රතිපාදන හා ණය පහසුකම් සැපයීම සිදු කළ යුතු ය. ගංගා සුරැකීම සදහා ගංගා ෙද්‍රdaණියේ ඇති කර්මාන්තවල කර්මාන්තකරුවන් ගේ ම එකමුතු ඇති කිරීම ද තවත් නැවුම් අදහසක්‌ වේ. දැනට ගංගා ආශ්‍රිත ව ඇති අධික දූෂකකාරක පිට කරන කර්මාන්ත, කර්මාන්තපුර හෝ වෙනත් ස්‌ථානවල ස්‌ථාපනය සදහා ප්‍රතිපාදන සපයා දිරි ගැන්වීම කළ යුතු ය. රටේ ආර්ථිකය වැඩි දායකත්වයක්‌ දරන කර්මාන්තවල පැවැත්ම රටක තිරසාර සංවර්ධනය සදහා අත්‍යවශ්‍ය සාධකයකි. එම නිසා කර්මාන්ත වසා දැමීම නො ව කර්මාන්තකරුවන් පරිසරය සුරකිමින් නිෂ්පාදනයට පෙලඹවීම කළ යුතු ය.

මෑත කාලයේ දී නගරවල කසළ පවිත්‍රකරණය යහපත් ලෙස සිදු කෙරුණ නිසා ගංගා ඉවුරු මත කසළ ගොඩවල් අඩු වුව ද කැළිකසළ ජලධාරාවලට සෘජු ව ම බැහැර කිරීමේ ප්‍රවණතාවේ අඩුවක්‌ සිදු නො විණ. අප රටේ ඝන අපද්‍රව්‍ය කළමනාකරණයට නීති ප්‍රතිපත්ති සැකසීම අත්‍යවශ්‍ය වේ. මෙහි දී ජනතාව දැනුවත් කිරීම හා නීති විරෝධී කසළ බැහැර කිරීම සදහා දඩ පැනවීම හොද උපාය මාර්ග වේ.

වැලි ගොඩ දැමීම හා මැණික්‌ ගැරීම සදහා අවසර නිකුත් කළ පසු නිති පසු විපරම් කොට රෙගුලාසි උල්ලංඝනය කරන්නන් නීතියට හසු කරගත යුතු ය. ඉහළ ජලධාරාවල ශීඝ්‍රයෙන් සිදු වන වන විනාශය නැවැත්වීමට කඩිනම් පියවර ගත යුතු ව ඇත. කැලණි ගෙග් ජලය පවිත්‍ර ව තබාගැනීම සදහා පරිසර අමාත්‍යංශය මගින් විටින් විට ව්‍යාපෘති ක්‍රියාත්මක කෙරිණ. පවිත්‍ර ගංගා වැඩසටහන ඉන් එකකි. එහෙත් එම එකදු ව්‍යාපෘතියකට වත් ඉලක්‌ක අරමුණ සඵල කරගැනීමට නො හැකි විය.

වර්තමානයේ අප රටේ බොහෝ දෙනකු පවස නිවාගන්නේ ජල කරාමයෙනි. එහෙත් ජල කරාමයට ජලය ලැබෙන මූලාශ්‍රය ගැන ඔවුන් කිසිදු විටක නො සිතනවා විය හැකි ය. සැබැවින් ම ජල සම්පාදන හා ජලාපවහන මණ්‌ඩලය ජලය සපයනුයේ යම් පිරිපහදුවකින් අනතුරුව ය. එහෙත් ජලධාරාවලට එක්‌ වන දූෂකකාරක ප්‍රමාණය වැඩි වුව හොත් හා එක්‌ වන දූෂකකාරක පිරිපහදු ක්‍රම මගින් ඉවත් නො වන දෑ වුව හොත් ඉන් ජලය පවිත්‍රකරණයට යන පිරිවැය ඉහළ යනවා පමණක්‌ නො ව ජල පරිහරණය කරන්නන් ගේ සෞඛ්‍යයට ද තර්ජනයක්‌ එල්ල වනු ඇත.

අප රටේ ජලධාරාවල දූෂණය වැළැක්‌වීමට අදාළ බලධාරීන් වහා විධිමත් පියවර ගත යුතු ව ඇත. ඒ සමාන ව රටේ ජනතාව වන අපට ද පුද්ගලයන් ලෙස වගකීමක්‌ ඇත. අප ආකල්පමය වෙනසක්‌ ඇති කරගත යුතු කාලය එළඹ ඇත. නොඑසේ නම් අප පවස නිවන ජලධාරා අපට ම ව්‍යසනය කැදවන කාලය දුර ඈතක නො වනු ඇත.

තුෂාරා පැලවත්ත
වරලත් රසඥ,
ජල තත්ත්ව රසායනාගාරය
මධ්‍යම පරිසර අධිකාරිය