logo3.gif (702 bytes)

arrow7.gif (1098 bytes)


උපද්‍රවකාරී අපද්‍රව්‍ය ප්‍රශස්‌ථ කළමනාකරණයට යොමු කිරීමේ කාලීන අවශ්‍යතාව

20 වැනි ශතවර්ෂයේ දීර්ඝ කාලයක්‌ පුරා ජපානයේ චිසෝ නමැති කර්මාන්තශාලාව මිනමාටා කලපුවට මීතයිල් මර්කරි බැහැර ලූයේ ය. එනිසා රසදිය බැර ලෝහය මත්ස්‍යයන් හා මුහුදු බෙල්ලන් හරහා ආහාර දාමය ඔස්‌සේ මිනමාටාවාසීන් ගේ ශරීරවලට ඇතුළු විය. මේවා සාන්ද්‍රගත වීමෙන් ඇති වූ දරුණු ස්‌නායු රෝගයක්‌ හේතුවෙන් දහස්‌ සංඛ්‍යාත පිරිසක ගේ ජීවිත අහිමි වීම උපද්‍රවකාරී අපද්‍රව්‍ය අනිසි ලෙස බැහැර ලීමේ ප්‍රතිවිපාකයන්ට ප්‍රසිද්ධ උදාහරණයකි. වර්තමානයේ දී නාගරීකරණයත් තාක්‌ෂණයේ දියුණුවත් සමග සියලු ම පුද්ගලයන් උපද්‍රවකාරී අපද්‍රව්‍ය ජනනය කිරීමට දායක වන බව ඔබ මදකට හෝ සිතුවේ ද?

උපද්‍රවකාරී අපද්‍රව්‍ය යනු මොනවා ද?

ඝන තත්ත්වයේ, අර්ධ ඝන තත්ත්වයේ, ද්‍රවමය තත්ත්වයේ හෝ වායුමය තත්ත්වයේ පවතින යම් අපද්‍රව්‍යයක්‌ එහි ජෛවීය, රසායනික හෝ භෞතික ගුණ හේතුවෙන් ජීවීන්ට, ද්‍රව්‍යවලට, මානව සෞඛ්‍යයයට හෝ පරිසරයට යම් අයහපතක්‌/උපද්‍රවයක්‌ ඇති කරයි ද, සාම්ප්‍රදායික අපද්‍රව්‍ය කළමනාකරණ ක්‍රමවේද භාවිත කර කළමනාකරණය කළ නොහැකි වේ ද එය උපද්‍රවකාරී අපද්‍රව්‍යයක්‌ ලෙස හදුන්වනු ලබයි. උපද්‍රවකාරී අපද්‍රව්‍යයන්හි ප්‍රධාන ලක්‌ෂණ ලෙස ගිනිගන්නාසුලු බව, විෂ සහිත බව, විඛාදක ගුණය, ප්‍රතික්‍රියාශීලිත්වයෙන් යුක්‌ත බව, පිපිරෙනසුලු බව, ආසාදක ගුණ සහිත බව යනාදී ගුණයන් හදුනාගෙන ඇත.

කර්මාන්තයන්හි මෙන් ම අප එදිනෙදා ජීවිතයේ දී ද භාවිත වන සහ භාවිතයෙන් පසු ඉවත් කරන බොහෝ ද්‍රව්‍ය උපද්‍රවකාරී අපද්‍රව්‍යයන්ට ඇතුළත් වේ. නිදසුන් ලෙස විෂ කාබනික හා අකාබනික රසායනික ද්‍රව්‍ය (අම්ල, භෂ්ම, හැලජනීකෘත හා නො වන හයිඩ්රෝකාබන්, සයනයිඩ, ෆිනෝල යනාදිය), බැර ලෝහ (රසදිය, ඊයම්, කැඩ්මියම්, ආසනික්‌, රිදී වැනි) දැවි තෙල්, වර්ණක, විද්යුත් උපකරණ හා බල්බ යනාදිය, රෝහල්වලින් බැහැර ලන ආසාදක අපද්‍රව්‍ය, ඇස්‌බැස්‌ටොස්‌, කෘෂි රසායනික ද්‍රව්‍ය, අපද්‍රව්‍ය පිරිපහදු පද්ධතිවලින් ඉවත් වන රොන් බොර, විකිරණශීලී අපද්‍රව්‍ය යනාදිය ගත හැකි ය.

උපද්‍රවකාරී අපද්‍රව්‍ය හේතුවෙන් ඇති වන පාරිසරික හා සෞඛ්‍යමය බලපෑම් අතිමහත් ය. පස, වායුගෝලය හා ජල මූලාශ්‍ර දූෂණය වීම, ආහාර දාම හා ආහාර ජාල ඔස්‌සේ බැර ලෝහ තැන්පත් වීම, ජෛව විවිධත්වයට හානි පැමිණවීම ප්‍රධාන වශයෙන් ඇති වන පාරිසරික බලපෑම් ය. මීට අමතරව සෞඛ්‍ය ගැටලු ලෙස පිළිකා ඇති වීම, ස්‌නායු පද්ධතියේ අක්‍රමිකතා ඇති වීම, ප්‍රතිශක්‌තිකරණය කෙරෙහි බලපෑම් ඇති වීම, ප්‍රජනන පද්ධතිවල අක්‍රමිකතා, ශරීරයේ අසාත්මිකතා ඇති වීම ද සිදු වේ.

උපද්‍රවකාරී අපද්‍රව්‍ය ජනනය වීමේ වර්ධනය

මිලියන 20කට අධික වූ ජනගහනයකින් යුත් ශ්‍රී ලංකාවේ දිනෙන් දින ඇති වන ඉල්ලුමට සරිලන සැපයීම ලබා දීමට කාර්මික අංශයේ සංවර්ධනය සිදු වීම ශීඝ්‍රයෙන් සිදු වන අතර ඒ හා සමගාවීව පරිසරයට මෙන් ම පුද්ගල සෞඛ්‍යයට ද අහිතකර වන උපද්‍රවකාරී අපද්‍රව්‍ය ජනනය වීම ද ශීඝ්‍ර ව වර්ධනය වෙමින් පවතී. බංගලාදේශය, ඉන්දියාව වැනි රටවල කාර්මීකරණය හේතුවෙන් සිදු වී ඇති පාරිසරික දූෂණය දෙස බැලූ කල ඉදිරියේ දී ශ්‍රී ලංකාවේ ද එවැනි තත්ත්වයක්‌ ඇති විය හැකි බවට පූර්වකථනය කළ හැකි ය.

ශ්‍රී ලංකාව තුළ ඉතා විශාල පරිමාණයේ කර්මාන්තයන් මෙන් ම මධ්‍යම හා කුඩා පරිමාණයේ කර්මාන්ත ද රැසක්‌ ඇත. සාමාන්‍යයෙන් බොහෝ විශාල පරිමාණයේ කර්මාන්තවලින් බැහැර කරන උපද්‍රවකාරී අපද්‍රව්‍ය කළමනාකරණය කිරීම පහසු වන්නේ ඇතැම් විට ඒවා බහු ජාතික සමාගම් වීමත්, ප්‍රධාන කාර්යාල/කර්මාන්ත දියුණු රටවල තිබීමත්, එම රටවලින් තාක්‌ෂණය හා මූල්‍යමය පහසුකම් ලබාගැනීමට ඔවුන්ට හැකි වීමත් නිසා ය. තව ද ඒවායේ කළමනාකාරීත්වය, දූෂණ පාලන ක්‍රියාවලිය පිළිබදව මනා දැනුවත්භාවයක්‌ ඇති පිරිසක්‌ වීම වඩා වාසි සහගත ය. එහෙත් බොහෝ දකුණු ආසියාතික රටවල විශාල ප්‍රමාණයක්‌ ඇත්තේ කුඩා හා මධ්‍යම පරිමාණයේ කර්මාන්ත ය. ඇතැම් විට කුඩා හා මධ්‍යම ප්‍රමාණයේ කර්මාන්තවලින් බැහැර කරන අපද්‍රව්‍ය ප්‍රමාණය නිශ්චිත ලෙස ගණනය කළ නොහැකි වුවත් එවැනි කර්මාන්ත රැසකින් සිදු වන පරිසර දූෂණය අතිමහත් ය.

ප්‍රධාන වශයෙන් උපද්‍රවකාරී අපද්‍රව්‍ය උත්පාදනය කරන ස්‌ථාන

රෙදිපිළි වර්ණ ගැන්වීමේ කර්මාන්තශාලා

කෘෂි රසායනික ඇසුරුම් කර්මාන්තශාලා

රබර් නිෂ්පාදන ආශ්‍රිත කර්මාන්තශාලා

ශක්‌ති ජනනය කරන කර්මාන්තශාලා

ලෝහ/ යකඩ නිෂ්පාදන කර්මාන්තශාලා

ආසාදක අපද්‍රව්‍යයන් බැහැර කරන රෝහල්

බැටරි, ඉලෙක්‌ට්‍රොනික අපද්‍රව්‍ය කොටස්‌ කරන ස්‌ථාන

දැවිතෙල් ජනනය වන, පරිහරණය කරන කර්මාන්ත

වාහන සේවා ස්‌ථාන

ශ්‍රී ලංකාව තුළ ඉලෙක්‌ට්‍රොනික හා විදුලි අපද්‍රව්‍ය කළමනාකරණය පිළිබඳ තත්ත්ව වාර්තාවට (2016) අනුව වාර්ෂිකව මුදා හැරෙන ඉලෙක්‌ට්‍රොනික අපද්‍රව්‍ය ප්‍රමාණය 2016 වර්ෂයේ දී මෙටි්‍රක්‌ ටොන් 10,000ක්‌ වන අතර 2030 වර්ෂයේ දී මෙටි්‍රක්‌ ටොන් 43,000ක්‌ ලෙස සිව් ගුණයකින් වර්ධනය වනු ඇතැයි අපේක්‌ෂා කෙරේ. සරල උදාහරණයක්‌ ලෙස ජංගම දුරකථන භාවිතය පෙන්වා දිය හැකි ය. ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ 2015 දත්තයන්ට අනුව සැම ශ්‍රී ලාංකිකයන් සිය දෙනකුට ම ජංගම දුරකථන 113ක්‌ ඇත. එනම් ජනගහනයට වඩා අධික ප්‍රමාණයක්‌ ජංගම දුරකථන ඇත. ජංගම දුරකථනයක සාමාන්‍ය ආයු කාලය වසර දෙකක්‌ පමණ වන බැවින් සැම වසරක දී ම විශාල ප්‍රමාණයක්‌ භාවිතයෙන් ඉවත් වේ. ඉලෙක්‌ට්‍රොනික අපද්‍රව්‍ය බැහැර ලීම හරහා බැර ලෝහ වක්‍ර ලෙස පරිසරයට මුදා හැරීම සිදු වෙමින් පවතී. ඉලෙක්‌ට්‍රොනික අපද්‍රව්‍ය තුළ ද රසදිය, ඊයම්, රිදී වැනි බැර ලෝහ අඩංගු වේ. කර්මාන්තවලින් මෙන් ම ගෘහාශ්‍රිත ව ද අවිධිමත් ලෙස බැහැර ලන ඉලෙක්‌ට්‍රොනික අපද්‍රව්‍ය ප්‍රමාණය වැඩි වෙමින් පවතින නිසා පසට, ජල මූලාශ්‍රවලට මේ බැර ලෝහ එකතු විය හැකි ය.

උපද්‍රවකාරී අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා පවතින නීතිමය රාමුව

ශ්‍රී ලංකාවේ කාර්මික දූෂණය පිළිබඳ ගැටලුව විසදීම සඳහා වන ප්‍රධාන ව්‍යවස්‌ථානුකූල ප්‍රතිපත්ති වනුයේ 1980 අංක 47 දරන ජාතික පාරිසරික පනතත් එහි සංශෝධන වන 1988 අංක 56 හා 2000 අංක 53 දරන පනත් ය. කාර්මික පරිසර දූෂණ පාලනය කිරීමේ ගැටලුව සම්බන්ධයෙන් ජාතික පාරිසරික පනතේ ඇති ප්‍රධාන නියාමනයන් ලෙස පහත ක්‍රියාවලි හැදින්විය හැකි ය.

1. පාරිසරික බලපෑම් ඇගයීම් ක්‍රියාවලිය

2. පාරිසරික ආරක්‌ෂණ බලපත්‍ර ක්‍රියාවලිය (2008.01.25 දිනැති අංක 1533/16 දරන ගැසට්‌ පත්‍රයට අනුව)

3. ලැයිස්‌තුගත උපද්‍රවකාරී අපද්‍රව්‍ය කළමනාකරණ බලපත්‍ර ක්‍රියාවලිය (2008.01.01 දිනැති අංක 1534/18 දරන ගැසට්‌ පත්‍රයට අනුව)

මේ මගින් කාර්මික හෝ වෙනත් ව්‍යාපෘති ස්‌ථාපිත කිරීමට පෙර එමගිsන් ඇති වන පාරිසරික බලපෑම් ඇගයීම සිදු කර නියාමනය සිදු කරන අතර පවත්නා කර්මාන්ත මගින් සිදු වන පාරිසරික දූෂණය අවම කිරීමට ගත හැකි නියාමනයන් ද සිදු කරනු ලැබේ. පවත්නා කර්මාන්ත උපලේඛනගත අපද්‍රව්‍ය උත්පාදනය කිරීම, එකතු කිරීම, ප්‍රවාහනය කිරීම, ගබඩා කිරීම, නිෂ්කාෂණය කිරීම, ප්‍රතිචක්‍රීකරණය කිරීම/බැහැර කිරීම හෝ අපද්‍රව්‍ය බැහැර කිරීම සඳහා පහසුකම් පිහිටුවීම යන පදනම මත මධ්‍යම පරිසර අධිකාරියේ ක්‍රියාත්මක වන බලපත්‍ර ක්‍රියාවලියට නතු විය යුතු ය. මීට අමතරව උපද්‍රවකාරී අපද්‍රව්‍ය කළමනාකරණය උදෙසා අන්තර්ජාතික සම්මුතීන් ද පවතී.

1. බාසල් සම්මුතිය.

2. රොටර්ඩෑම් සම්මුතිය.

3. ස්‌ටොක්‌හෝම් සම්මුතිය.

4. මිනමාටා සම්මුතිය.



දේශසීමා හරහා උපද්‍රවකාරී අපද්‍රව්‍ය ප්‍රවාහනය දැඩි ලෙස පාලනය කරන හා නීත්‍යනුකූල ප්‍රවාහනය ද පාලනය කරන බාසල් සම්මුතිය ශ්‍රී ලංකාව තුළ 1992 නොවැම්බර් මස 28 දින සිට බලාත්මක වේ.

එසේ ම නිශ්චිත උපද්‍රවකාරී රසායනික ද්‍රව්‍ය ජාත්‍යන්තර වෙළෙඳාමේ දී ඇති විය හැකි හානියෙන් මිනිසුන් ගේ සෞඛ්‍යය හා පරිසරය ආරක්‌ෂා කරගැනීම සඳහා ඒ ඒ පාර්ශ්වකරුවන් අතර වගකීම බෙදාගැනීම දිගුකාලීනව පරිසරයේ පවතින හායනය නො වන කාබනික දූෂකකාරක මගින් මිනිස්‌ සෞඛ්‍යයට හා පරිසරයට සිදු වන හානිය අවම කිරීම සඳහා ඇති ගෝලීය සම්මුතිය වන ස්‌ටොක්‌හෝම් සම්මුතිය 2015 දෙසැම්බර් 22 දින සිට බලාත්මක වේ.

මීට අමතරව රසදිය භාවිතය හා කළමනාකරණයට අදාළ වූ නවතම සම්මුතිය මිනමාටා සම්මුතියයි.

උපද්‍රවකාරී අපද්‍රව්‍ය කළමනාකරණය පිළිබඳ වර්තමාන තත්ත්වය

වර්තමාන ශ්‍රී ලංකාව තුළ කර්මාන්ත උපද්‍රවකාරී අපද්‍රව්‍ය කළමනාකරණය විශාල ගැටලුවක්‌ බවට පත් වී ඇත. මූලික වශයෙන් උපද්‍රවකාරී අපද්‍රව්‍ය අවසාන බැහැරලීම සිදු කිරීමට කේන්ද්‍රස්‌ථාන වූ පහසුකම් ප්‍රමාණාත්මකව නොමැති වීම ප්‍රධාන ගැටලුවකි. උපද්‍රවකාරී අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා තාක්‌ෂණික විශේෂඥ දැනුම අඩු බව, පරීක්‌ෂණාගාර පහසුකම් හිගය, මූල්‍යමය සම්පත් අවම වීම, පුද්ගලික දැනුවත්භාවය අඩු බව හා ඇතැම් විට දේශපාලනික මැදිහත්වීම් යනාදිය ද වර්තමාන ශ්‍රී ලංකාවේ උපද්‍රවකාරී අපද්‍රව්‍ය ප්‍රශස්‌ථ කළමනාකරණයට යොමු කිරීමට බලපාන ප්‍රධාන ගැටලු අතර වේ.

දැනට ශ්‍රී ලංකාව තුළ උපද්‍රවකාරී අපද්‍රව්‍ය කළමනාකරණයට ප්‍රධාන වශයෙන් පොදු පහසුකම් තුනක්‌ පමණක්‌ පවතියි. ඒවා නම් ආසාදක සායනික අපද්‍රව්‍ය කළමනාකාරිත්වයට 'සිසිලි හනාරෝ එන්කෙයා' පෞද්ගලික ආයතනයත්, බැහැරලන ප්‍රතිදීප්ත හා සංයුක්‌ත බල්බ කළමනාකාරිත්වයට 'ඒෂියා රීසයික්‌ලින් පෞද්ගලික ආයතනයත්', වෙනත් බොහෝ අපද්‍රව්‍ය බැහැරලීම සඳහා 'ලංකා සියැම් සිටි සිමෙන්ති පෞද්ගලික සමාගමත් ය. එහෙත් වර්තමානයේ උද්ගත වී ඇති ප්‍රධාන ගැටලුව වන්නේ මේ පහසුකම් තුළ දැනට මෙරට තුළ ජනනය වන සියලු අපද්‍රව්‍ය කළමනාකරණයට ධාරිතාව මෙන් ම සංයුතිය අනුව ප්‍රමාණවත් පහසුකම් නො වීමයි. එනිසා තවත් මෙවැනි පොදු පහසුකම් ස්‌ථාපිත කිරීමට පියවර ගැනීමත් වෙනත් විකල්ප ක්‍රම වෙත ගමන් කිරීමත් කාලීන අවශ්‍යතාවකි.

උපද්‍රවකාරී අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා අනුගමනය කළ යුතු ප්‍රධාන පියවර 3කි.

1. නිපදවන අපද්‍රව්‍ය ප්‍රමාණය අඩු කිරීම.

2. උපද්‍රවකාරීභාවය අඩු කිරීම හෝ උපද්‍රවකාරී නො වන ද්‍රව්‍යයන් බවට පත් කිරීම.

3. අවශේෂයන් නිත්‍ය ලෙස තැන්පත් කිරීම සිදු කිරීම.

3R සංකල්පයට අනුව අඩු කිරීම, නැවත භාවිතය හා ප්‍රතිචක්‍රිකරණය කිරීම මගින් නිපදවන අපද්‍රව්‍ය ප්‍රමාණය අඩු කළ හැකි ය. ඉන් අනතුරුව ද ඉතිරි වන ද්‍රව්‍ය දහනය කිරීම, තාප ප්‍රතිකර්ම, භෞතික/රසායනික/ ජෛවීය ප්‍රතිකර්ම සිදු කිරීම මගින් උපද්‍රවකාරීභාවය අඩු කිරීම හෝ නැති කිරීම හෝ සිදු කළ හැකි ය. එම ප්‍රතිකර්ම සිදු නො කළ හැකි විට අවශේෂ උපද්‍රවකාරී අපද්‍රව්‍ය ආරක්‌ෂිත කසළ රඳවනයක තැන්පත් කිරීම සිදු කළ හැකි ය.

දැනට ශ්‍රී ලංකාවේ උපද්‍රවකාරී අපද්‍රව්‍ය නිත්‍ය තැන්පත් කිරීම සඳහා කිසිදු ආරක්‌ෂිත කසළ රදවනයක්‌ නොමැත. එහෙත් එවැනි කසළ රදවනයක තැන්පත් කළ යුතු අපද්‍රව්‍ය නිපදවන කර්මාන්ත රට තළ පවතී. එනිසා උපද්‍රවකාරී අපද්‍රව්‍ය නිත්‍ය තැන්පත් කිරීම උදෙසා එක්‌ ආරක්‌ෂිත කසළ රදවනයක්‌ හෝ ස්‌ථාපිත කිරීමට අවශ්‍ය තාක්‌ෂණික හා මූල්‍යමය පහසුකම් ලබාගැනීම වැදගත් වේ.

මීට අමතරව මහා පරිමාණයෙන් සිදු වන කාර්මික දූෂණය පාලනයට දැඩි නීතිමය යාන්ත්‍රණයක්‌ තිබීම, කර්මාන්තයන්හි දූෂණය අවම කරන උපකරණ ස්‌ථාපිත කිරීමට දිරි දීමනා හෝ බදු සහන හෝ ලබා දීම හා සිදු වන දූෂණයට සමගාමීව කර්මාන්තවලින් අය කිරීමක්‌ සිදු කිරීම හා එහි වගකීම නිෂ්පාදකයා විසින් භාරගනු ලැබීම මගින් ද උපද්‍රවකාරී අපද්‍රව්‍ය අක්‍රමවත්ව බැහැර ලීම අවම කර එය නිසි ලෙස කළමනාකරණයට යොමු කළ හැකි ය. ගෘහස්‌ථව භාවිතයෙන් ඉවත ලන ඉලෙක්‌ට්‍රොනික අපද්‍රව්‍ය අනිසි ලෙස පරිසරයට බැහර ලීම සිදු නො කොට පළාත් පාලන ආයතන මගින් ක්‍රමවත් යාන්ත්‍රණයක්‌ තුළින් ඒවා එකතු කර නිසි කළමනාකරණයට යොමු කළ යුතු ය. තව ද රෝහල්, පාසල්, විද්‍යාගාර තුළ ද භාවිත වන රසදිය වැනි බැර ලෝහ අඩංගු උපකරණ භාවිතයෙන් ඉවත ලන විට අනුගමනය කළ යුතු පිළිවෙත් පිළිබඳ ව දැනුවත්භාවය ඇති කළ යුතු ය. මෙසේ උපද්‍රවකාරී අපද්‍රව්‍ය ප්‍රශස්‌ථ කළමනාකරණයට දායක වීම සියලු පුරවැසියන් ගේ කාලීන වගකීමයි.

හරින්දි ප්‍රනාන්දු
පරිසර නිලධාරි,
අපද්‍රව්‍ය කළමනාකරණ ඒකකය
මධ්‍යම පරිසර අධිකාරිය