logo4.gif (427 bytes)

arrow7.gif (1098 bytes)


මානසික රෝගවලින් තොර සමාජයක්‌ බිහි කිරීම සඳහා සැමට සාධාරණ පිළිගැනීමක්‌ ඇති සමාජයක්‌ ස්‌ථාපිත කළ යුතුයි

අප අතීතයේ ජීවත් විය යුතු නැතත් වර්තමාන සමාජයේ සාර්ථකත්වය උදෙසා අවශ්‍ය විට දී අතීත සංස්‌කෘතික පුරුදු සමාජගත කිරීම වැදගත් බව ජාත්‍යන්තර මනෝවිද්‍යාවේද සංගමයේ සභාපති මහාචාර්ය සැත් කූපර් මහතා පැවසී ය.

එක්‌ ක්‍රමවේදයකට, එක්‌ පුද්ගල කණ්‌ඩායමකට, එක්‌ වෘත්තියකට පමණක්‌ ප්‍රමුඛ පිළිගැනීමක්‌ ලබා දී සෙසු පාර්ශ්ව පිළිකෙව් කිරීම නුසුදුසු බව පෙන්වා දුන් ඒ මහතා චීනයේ දී ප්‍රතිකාර ගැනීමට රෝහලකට ගිය විට රෝගියාට බටහිර හෝ පාරම්පරික හෝ යන වෛද්‍ය ප්‍රතිකාර දෙකෙන් එකක්‌ තෝරාගැනීමේ නිදහසක්‌ ඇති බව නිදසුන් වශයෙන් ගෙනහැර පෑවේ ය. මහාචාර්ය කූපර් මේ අදහස්‌ පළ කර සිටියේ 'සංවර්ධනය උදෙසා මනෝවිද්‍යාඥයන් ගේ කාර්යභාරය' යන මැයෙන් ඉකුත් බදාදා කොළඹ ගාලුමුවදොර හෝටලයේ දී පැවැති විද්වත් කතිකාවතක දී ය. මේ අවස්‌ථාව සංවිධානය කර තිබුණේ ශ්‍රී ලංකා මනෝවිද්‍යා සංගමය විසිනි.

කෙසේ වෙතත් ප්‍රතිකාරයට වඩා වැදගත් වන්නේ වළක්‌වාගැනීම බව පෙන්වා දුන් මහාචාර්යවරයා මානසික රෝගවලින් තොර සමාජයක්‌ බිහි කිරීම සඳහා ජාති, ආගම්, ඇති නැති භේදයකින් තොර ව සියලු දෙනා අත්වැල් බැඳගැනීමේ අවශ්‍යතාව සිය දේශනයේ දී අවධාරණය කර සිටියේ ය.

එහි දී වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ මහාචාර්යවරයා,

'මානව සමාජයක සාර්ථකත්වය පිටුපස පවතින්නේ සියලු අංශ හා සියලු දෙනා අතර සහයෝගයයි. එය කුඩා කල සිට ම ප්‍රවර්ධනය කළ යුත්තක්‌. එහෙත් අපේ අධ්‍යාපන රටාව අප මෙහෙයවන්නේ විශේෂිත ක්‌ෂේත්‍රයක හුදෙකලා වීමටයි. අපට නිතර ම දැනෙන්නේ අප ජීවත් වන්නේ අනාරක්‌ෂිත වටපිටාවක බවයි. මෙවැනි සමාජයක එක්‌ ප්‍රතිඵලයක්‌ වන්නේ මානසික රෝග. විශේෂයෙන් ම විෂාදය. ඉකුත් දශක කිහිපය තුළ විෂාදයෙහි කැපී පෙනෙන වර්ධනයක්‌ සිදු ව ඇති බව ලෝක සෞඛ්‍ය සංවධානය පෙන්වා දෙනවා.' යනුවෙන් පැවසී ය.

මේ තත්ත්වය පිටුදැකීම සඳහා විධිමත් අධ්‍යාපනයට අමතරව ජනමාධ්‍ය හා සමාජ වැනි අවිධිමත් අධ්‍යාපන මාධ්‍ය හරහා ද ජනතාව දැනුම්වත් කිරීම වැදගත් බව මහාචාර්ය කූපර් සඳහන් කර සිටියේ ය.

මේ අවස්‌ථාවට එක්‌ වූ ලෝක සෞඛ්‍ය සංවිධානයේ වැඩ බලන ශ්‍රී ලංකා නේවාසික නියෝජිත වෛද්‍ය ඔලිවියා කොරැසෝන් නීවේරාස්‌ මහත්මිය අදහස්‌ දක්‌වමින් පැවසුවේ ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව ලෝකයේ විෂාදයෙන් පෙළන සංඛ්‍යාව මිලියන 300කට අධික බවයි. මේ රෝග තත්ත්වය ලෝක ආර්ථිකයට කරන බලපෑම වසරකට ඩොලර් ටි්‍රලියනයකි. ඒ අනුව මානසික සෞඛ්‍යය හුදෙක්‌ සෞඛ්‍ය ගැටලුවක්‌ පමණක්‌ නො ව රටක සංවර්ධන ඉලක්‌ක සහ ගෝලීය මට්‌ටමෙන් තිරසර සංර්ධන ඉලක්‌ක සපුරාගැනීමේ ලා ද බාධකයක්‌ ලෙස හඳුනාගත හැකි ය. ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඉදිරි ක්‍රියාකාරී සැලැස්‌මෙහි යහපත් මානසික සෞඛ්‍යය කෙරෙහි විශේෂ අවධානයක්‌ යොමු කර ඇත්තේ එබැවිනි. මේ අනුව රටක සේවා, සැලසුම් සහ ප්‍රතිපත්ති අංශයන්හි දී ජනතාව ගේ යහපත් මානසික සෞඛ්‍යය විශේෂයෙන් සැලකිල්ලට ගත යුතු බව පැහැදිලි බව ඇය පෙන්වා දුන්නා ය. ළදරු අවධියේ සිට ම පුද්ගලයකු ගේ මානසික සෞඛ්‍යය යහපත් මටටමින් පවත්වාගැනීමට වගබලාගත යුතු බවත් මෙය සෞඛ්‍ය අංශයට තනි ව කළ හැකි කාරියක්‌ නො වන අතර අධ්‍යාපනය, සමාජ සේවා, නීතිය, ආර්ථික වැනි සෙසු අංශවල ද සහාය ඇති ව එකමුතුවෙන් සපුරාගත යුතු ඉලක්‌කයක්‌ බවත් නීවේරාස්‌ මහත්මිය සිහිපත් කර සිටියා ය.

සෞඛ්‍ය, පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍යංශයේ මානසික සෞඛ්‍ය අංශයේ අධ්‍යක්‌ෂ වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා මහත්මිය මෙරට මානසික සෞඛ්‍ය සේවයේ ප්‍රගතිය ගැන අදහස්‌ දක්‌වමින් මෙහි දී පවසා සිටියේ විශේෂයෙන් ම සුනාමියෙන් පසු මානසික වෛද්‍ය සේවා රට පුරා ම පෙරට වඩා ව්‍යාප්ත කිරීමට හැකි වී ඇතත් ජනතාව ගේ මානසික යහපැවැත්ම දියුණු කිරීමට තවත් විශාල වැඩ කොටසක්‌ සිදු කිරීමට ඇති බව ය. මෙරට මනෝ විද්‍යාත්මක සේවාව සාපේක්‌ෂව පවතින්නේ අසතුටුදායක මට්‌ටමක බව පැවසූ ඇය රාජ්‍ය සෞඛ්‍ය අංශයේ සේවයේ නිරත ව සිටින්නේ මනෝ විද්‍යාඥයන් 24 දෙනකු පමණක්‌ බව ද පෙන්වා දුන්නා ය. මෙයට හේතුව වී ඇත්තේ අපේක්‌ෂිත සුදුසුකම් සපුරන මනෝවිද්‍යාඥයන් හිගකම ය. 2020-2030 අතර කාලය තුළ මෙරට මානසික ආබාධ සහිත අය ගෙන් වැඩි ප්‍රමාණයක්‌ විෂාදයෙන් පෙළෙන්නන් වනු ඇතැයි හඳුනාගෙන තිබෙන බව කී ඇය එම තත්ත්වයට මුහුණ දීමට අප දැන් සිට ම සූදානම් විය යුතු බව සඳහන් කර සිටියාය ය. මේ සඳහා අවශ්‍ය කරන දැනුවත් කිරීමේ වැඩසටහන්වල අංගයක්‌ ලෙස දැනටමත් මනෝ විද්‍යාව පාසල් මට්‌ටමින් ඉගැන්වීමට අධ්‍යාපන අමාත්‍යංශය සැලසුම් කර ඇති බව ද අධ්‍යක්‌ෂවරිය අනාවරණය කර සිටියා ය.

මෙහි දී අදහස්‌ දැක්‌වූ ශ්‍රී ලංකා මනෝවිද්‍යා සංගමයේ අතුරු කමිටුවේ සභාපතිනි පේරාදෙනිය විශ්වවිද්‍යාලයයේ කෘෂිකර්ම පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ෂාමලා කුමාර් මහත්මිය පැවසුයේ ශ්‍රී ලංකා මනෝ විද්‍යා සංගමයේ පළමු ප්‍රසිද්ධ සම්මන්ත්‍රණය මෙය බවයි.

ශ්‍රී ලංකා මනෝ විද්‍යා සංගමයට ජාත්‍යන්තර සංගමයේ සාමාජිකත්වය පිරිනැමීම ද මෙදින සිදු විය.

කොළඹ විශ්වවිද්‍යාලයයේ, වෛද්‍ය පීඨයේ වෛද්‍ය අධ්‍යාපන, සංවර්ධන හා පර්යේෂණ මධ්‍යස්‌ථානයේ අධ්‍යක්‌ෂ සහ වෛද්‍ය අධ්‍යාපන මහාචාර්ය ඉන්දික කරුණාතිලක සහ කොළඹ විශ්වවිද්‍යාලයයේ, වෛද්‍ය පීඨයේ සායනික මනෝවිද්‍යාව පිළිබඳ මහාචාර්ය ප්‍රියංජලී ඩි සොයිසා යන මහත්ම මහත්මීහු ද විද්වත් කතිකාවට එක්‌ වූ හ.