logo3.gif (702 bytes)

arrow7.gif (1098 bytes)


විද්‍යා ප්‍රබන්ධ
දම් පැහැ මමිය 5

අනතෝලි ද්නෙප්රෝව්

වර්ෂ 1919 දී උපන් අනතෝලි ද්නෙප්රෝව් එක්‌සත් සෝවියට්‌ සමාජවාදී ජනරජයේ විද්‍යාඥ ඇකඩමිය හා සම්බන්ධ ආයතනයක සේවය කළ කීර්තිමත් භෞතික විද්‍යාඥයෙකි. 1960 වසරේ දී ඔහු විසින් රචනා කරන ලද "මැක්‌ස්‌වෙල් සූත්‍රය" නම් විද්‍යා ප්‍රබන්ධය ලේඛකයකු ලෙස ඔහු ගේ දස්‌කම් ප්‍රකට කළේ ය. ද්නෙප්රෝව් ගේ ප්‍රියතම විෂය වූයේ සයිබනතික විද්‍යාව (මොළය, ස්‌නායු පද්ධතිය හා විද්යුත් යාන්ත්‍රික පද්ධති අතර සන්නිවේදනය හරහා ගොඩනැෙගන ස්‌වයංක්‍රීය සන්නිවේදන හා පාලන ක්‍රමවේද අධ්‍යයනය) හා එහි විස්‌මයාන්විත ජයග්‍රහණ හා ඇදහිය නොහැකි විභවයන් පිළිබඳ අධ්‍යයනය ය. විද්‍යාත්මක යථාවාදී බව ඔහු ගේ රචනාවන්හි සුවිශේෂි ව පෙනෙන ලක්‌ෂණයකි.

සිංහල වියමන - මාධව වෛද්‍යරත්න

සෝපානයට නැඟ ඉහළින් වු ගුවන් ප්‍රවේශය වෙත ගිය අපි එතැනින් ඝෝෂා රහිත ව කේබල මත දිවෙන බමර යානයකට ගොඩ වීමු. එය විනාඩි කිහිපයකින් අප මොස්‌කව්හි එක්‌ කෙළවරක සිට අනෙක කරා රැගෙන ගියේ ය. වලාවෙන් තොර නීල වර්ණ අහස සීතලෙන් බර විය. හරිත පැහැ පිඬුවක්‌ සේ දිස්‌ වූ නගරය නිල් පැහැති මිහිදුම් සේලයක දැවටී තිබිණ.

"නුඹ ඉපදුණේ මෙහේ ද?" අන්ෙද්‍රdaව් ඇසී ය.

"නැහැ" මම පිළිතුරු දුනිමි.

"පහුගිය අවුරුදු තිහේ දී අපේ මේ නගරෙ පුදුමාකාර වෙනස්‌කම්වලට ලක්‌ වුණා."

"ඒක ඇත්ත," මම අනුකූලතාව දැක්‌වූයෙමි.

"ඒක නෙවෙයි, මේ මමියේ වයස ඇරුණා ම නුඹේ සිද්ධාන්තය ඔප්පු කරන්න තියෙන අනෙක්‌ සාධක මොනව ද?"

අන්ෙද්‍රdaව් යුහුව ඇවිද ගියේ මගේ බාධා කිරීම ගණනකට වත් නො ගනිමිනි. ඔහුට මගේ ප්‍රශ්නය මඟහැර යැමට අවශ්‍ය වූවා සේ ය.

"මම නම් ඉපදුණ දවසෙ ඉඳන් ම ජීවත් වුණේ මෙහේ. මොස්‌කව් නගරෙ දෙවැනි ප්‍රතිසංස්‌කරණය මේ ඇස්‌ දෙකෙන් ම මම දැක්‌කා. ඒක සිද්ධ වුණේ හරියට සුරංගනා කතාවක වගේ... මේ යෝධ මන්දිර, එතකොට උයන් පහළ වුණේ හරියට අහසින් කඩාගෙන වැටුණ වගේ. උමං දුම්රිය වෙනුවට, හෙලිකොප්ටරයි මේ සද්ද බද්ද නැති යන්ත්‍රයි නගරෙ වටේ කරක්‌ ගහන්න පටන් ගත්තා. පරණ පන්නේ ට්‍රෑම්, ට්‍රොලි බස්‌වලට පාවිච්චි කරපු විදුලි රැහැන් දැන් පේන්න වත් නැහැ. ඒ වෙනුවට දැන් තියෙන්නේ මීටර සිය ගාණක්‌ ඉහළින් එල්ලෙන සංගිලි පාලමුයි, බමර යානා කේබල් හයි කරපු දිළිසෙන ලෝහ කුලුනුයි. ජීවිතේ හරි ම ත්‍රාස්‍යජනක වෙලා, ආශ්චර්යවත් වෙලා. ජීවිතේ ආශ්චර්යවත් වෙලා..." ඔහු පුනරුච්ඡාරණය කළේ කල්පනා බර වෙමිනි.

ප්‍රශ්නය යළි ඇසීමට මට අවශ්‍ය වුවත් ඒ මොහොතේ ම අප ගමන් කළ බමර යානය වේදිකාවක්‌ අසබඩ නතර වූයේ ය.

"ඔන්න අපි ආවා" අන්ෙද්‍රdaව් කී ය.

"අර පේන්නෙ අපේ ප්‍රතිග්‍රාහක මධ්‍යස්‌ථානෙ."

පහළ බැලූ මා දුටුවේ හරිත පැහැ ලතා මඬුල්ලකින් ගැවසි පැතලි වහලකින් යුත් කුඩා ගොඩනැගිල්ලකි.

ස්‌පන්දිත පරිලෝකනය ඇසුරින් භෞතික වස්‌තූන් ගේ පරිමාමිතික ප්ලාස්‌ටික්‌මුවා ආකෘති නිර්මාණය කළ යන්ත්‍රය හැඳින්වුණේ ඉලෙක්‌ට්‍රොනික-වනි පුනරාවර්තකය යනුවෙනි. එය දිළිසෙන මල නො බැඳෙන වානේවලින් හා දීප්තිමත් සුදු පැහැති එනැමලයෙන් සැදුණු සුවිසල් ව්‍යqහයක්‌ වූයේ ය. එහි වූ සිසිලන නළවලින් වරින් වර උණුසුම් හෝ සිසිල් වායු පිහිරක්‌ ඉවත විදුණේ ය. ඇසෙන නෑසෙන තරමේ සියුම් ගුමුවක්‌ යන්ත්‍රය තුළින් නැඟී ආවේ ය.

ශාලාවේ කෙළවර වීදුරු දෙබෙදුම පිටුපසින් පළමුවැන්නට වඩා පමණින් කුඩා වූ තවත් යන්ත්‍රයක්‌ දක්‌නට ලැබිණ. අපි ඒ දෙසට ගමන් කළෙමු.

පාලක පුවරුව අසල හිඳ සිටි යුවතියක්‌ පොතක්‌ කියවමින් සිටියා ය. වරින් වර පොතෙන් දෑස ඉවතට ගත් ඕ පාලක පුවරුව දෙස බැලුවා ය. ඈ ඉදිරිපිට වූ නියොන් එළියක්‌ අක්‍රමවත් අන්තරයන් සහිත ව නිවි නිවී දැල්වුණේ ය.

"මොකද්ද දැන් යන වැඩේ ගාල්යා?"

"අලුත් පරමාණු ප්‍රතික්‍රියාකාරකයක ආකෘතියක්‌. රෝමෙන් එව්වේ" නැඟී සිටි තරුණිය පිළිතුරු දුන්නා ය.

"රේඩියෝ මාර්ගෙන් ද? කේබල් මාර්ගෙන් ද?"

"රේඩියෝ ප්‍රතිප්‍රචාරණ මාර්ගෙන්"

හිස සැලූ අන්ෙද්‍රdව් මා දෙසට හැරුණේ ය.

"දැන් බලාගන්න ඒක කරන්නේ කොහොම ද කියල. මෙන්න මෙතන තමයි අපි කේත තොරතුරු ප්‍රතිග්‍රහණය කරන්නේ. ඒවායේ තියෙන්නේ අපට එවන වස්‌තුවේ හැම ලක්‌ෂයක ම ඛණ්‌ඩාංක, ඒක හැදිලා තියෙන ද්‍රව්‍යයේ පාට, ඒකෙ ගොඩනැඟීමේ විස්‌තර, දිග, පළල, ඝනකම වගේ දේවල් එක්‌ක කේතනය කරපු විස්‌තර. ඒ තොරතුරු විස්‌තාරකයේ ඉඳල ඊළඟට ඇතුළු වෙන්නෙ විකේතකයට. ඊට පස්‌සේ ඒවා වෙන වෙන ම නාළිකාවලට යවනවා. ඒවායින් තමයි යන්ත්‍රයේ රසායනික හා යාන්ත්‍රික කොටස්‌ මෙහෙයවන ප්‍රතිප්‍රචාරකය ක්‍රියාත්මක කරවන්නේ."

සුවිසල් මණ්‌ඩපයේ තිබූ යන්ත්‍රය වෙත යළි පැමිණි අපි එහි මධ්‍යයේ වූ දර්පණයක්‌ වන් දැවැන්ත දැකුම් කුටිය වෙත ළඟා වීමු. අන්ෙද්‍රdaව් එහි තිබූ විදුලි පහනක්‌ දැල්වූ අතර අභ්‍යන්තර කුටීරය දීප්තිමත් ව ආලෝකයෙන් බැබළුණේ ය. කුටීරය මැද තිබූ හැඩයක්‌ නැති කිසියම් ස්‌කන්ධයක්‌ තුනී ලෝහ ඉදිකටු රැසක්‌ විසින් හාත්පසින් වට කරනු ලැබ ඒවාට ස්‌පර්ශ වෙමින් පැවතිණ.

"මෙන්න මෙතන දි තමයි අපි අර තොරතුරු අනුරුවක්‌ බවට හරවන්නේ. අර පේන වායු සිසිලනය කරලා තියෙන ඉදිකටු අපි බෙහෙත් විදින්න පාවිච්චි කරන එන්නත් කටුවලට සමානයි. ඒවායින් හීන් දියර ප්ලාස්‌ටික්‌ දහරා කෙටි විදුම් හැටියට නිකුත් වෙනවා. මේ ඉදිකටු, මුල් වස්‌තුව සංවේදනය කරමින් තියෙන පාර-වනි ඉදිකටු එක්‌ක සමකාලික කරලයි තියෙන්නේ. බිංදුවෙන් බිංදුව, ලක්‌ෂයෙන් ලක්‌ෂයට මේ ප්ලාස්‌ටික්‌ දහරාවෙන් අනුරුව ගොඩ නැෙගනවා. මෙන්න මේ ලීවර පාවිච්චි කරලා අපිට පුළුවන් අනුරුවේ පරිමාණය පාලනය කරන්න. ඒ නිසා අපිට මේ අනුරූ මුල් වස්‌තුවට වඩා කුඩාවට හරි විශාල ව හරි හදන්න පුළුවන්.

"එතකොට පාට?"

"ඒක හරි ලේසියි. මුල් අවස්‌ථාවේ දී මේ ප්ලාස්‌ටික්‌ ද්‍රව්‍යයට පාටක්‌ නැහැ. ඒත් අපිට ලැබෙන වර්ණ තොරතුරු අනුව, ප්‍රකාශ කැලරි මීටරය අවශ්‍ය ප්‍රමාණයට ඒකට ඩයි වර්ගයක්‌ එකතු කරනවා..."

"එතකොට මෙතැනයි එහෙනම් දම් පාට මමිය ඉපදුණේ?"

අන්ෙද්‍රdaව් හිස සැලී ය.

"කොහොම වුණත් මට තාමත් තේරුම්ගන්න බැරි ඇයි ඒක දම් පාට ම වුණේ කියල. මේ ඔක්‌කොම සිද්ධ වෙන්නෙ නුඹ විස්‌තර කරපු ආකාරෙට නම් ඒකට තියෙන්න ඕන ස්‌වාභාවික ලේ - මස්‌ පාටක්‌ නේ ද?"

"ඔය විෂය ගැන සම්මන්ත්‍රණේ දීත් හරියට මතභේද, තර්ක - විතර්ක ඇති වුණා. මං හිතන්නේ එක භෞතික විද්‍යාඥයෙක්‌ මේ පටලැවිලි සහගත සංසිද්ධියට හොඳ පැහැදිලි කිරීමක්‌ කළා. නුඹ අහල තියෙනව ද ඩොප්ලර් ආචරණය ගැන ?"

"ඔය කියන්නෙ කිරණ ප්‍රභවය නිරීක්‌ෂකයා ගෙන් ඈතට යනකොට සිද්ධ වෙන තරංග ආයාමයේ වැඩි වීම නේ ද?"

"හරියට ම හරි. උදාහරණයක්‌ හැටියට ගත්තොත් නුඹ නිශ්චලව ඉන්න නිරීක්‌ෂකයකු ගෙන් ඈතට අධික වේගයකින් යනව නම් ඔහුට නුඹේ ශරීරය රතු පාටට පේන්න පුළුවන්. මං හිතන්නේ මමියේ පාටින් අපට පෙන්නුම් කරන්නේ ප්‍රති - ලෝකය ඊට විරුද්ධ දිශාවට, ඒ කියන්නෙ පෘථිවිය දිහාවට අති විශාල වේගයකින් ඇදිල එනවා කියන එකයි."

වීදුරු දෙබෙදුම පිටුපසින් සිටි යුවතිය ඔහුට හඬ ගැසුවේ ඒ මොහොතේ දී ය.

"ඉක්‌මනට ටෙලිෆොaන් එකට එන්න ලු"

අන්ෙද්‍රdaව් මොහොතකට සමුගත් අතර මම එතැන සිටගෙන මීට කිලෝමීටර දස දහස්‌ ගණනක්‌ ඈතින් පිහිටි වස්‌තුවක පරිමාමිතික පිටපත නිමවමින් සිටි ප්ලාස්‌ටික්‌ ඉසින ඉදිකටු දෙස බලාගෙන සිටියෙමි. මම සිතින් මවාගන්නට උත්සාහ කරමින් සිටියේ සියලු පරිකල්පනයන් ඉක්‌මවන්නා වූ දුරක තිබු මිනිස්‌ සිරුරක පරිමාමිතික අනුරුව මේ ඉදිකටු මගින් නිමවන අයුරු බලා සිටි විද්‍යාඥයන් තුළ කෙතරම් උත්කර්ෂයක්‌ පහළ වන්නට ඇත් ද යන්නයි.

යුහු ව මා වෙත පැමිණි අන්ෙද්‍රdaව් මගේ උරහිසින් අල්වාගත්තේ ය.

"එන්න. ඉක්‌මන් කරන්න. අපි පටස්‌ ගාල යන්න ඕනෑ."

"කොහාට ද?" මම කෑගසා ඇසුවේ විස්‌මයෙනි.

"අපි ආපහු යන්න ඕනෑ ශල්‍යාගාරෙට... පුළුවන් තරම් ඉක්‌මනින්..."

සිදු වන්නේ කුමක්‌ ද යන්න පිළිsබඳ අල්පමාත්‍ර හෝ අදහසක්‌ නොමැති ව මම ඔහු පසුපස ඇදී ගියෙමි. බමර යානා මං පෙත දිගේ ඉහළ නැඟි අප අවසානයේ ඉසිඹුවකට පැමිණියෙමු.

"මොකද වෙලා තියෙන්නෙ?" මම ඇසුවෙමි.

"කවද ද නුඹ අන්තිම වතාවට බිරිඳට කතා කළේ?"

"මොකද්ද කිව්වේ?"

"නුඹ අන්තිමට බිරිඳට කතා කළේ කවද ද?" ඔහු පුනරුච්ඡාරණය කළේ සිය ගැඹුරු කාලවර්ණ දෑස නෙරවා මා දෙස බලමිනි.

බමර යානය පිටත් වන්නට සැරසිණ. යුහුව මා එතුළට ඇදගත් අන්ෙද්‍රdaව් කවුළුවක්‌ විවෘත කළේ ය. වේගවත් සුළං පහරක්‌ ඇතුළට කඩා වැදුණේ ය.

"වහා ම රේඩියෝ ටෙලිෆොaනය එළියට අරගෙන බිරිඳට කතා කරපන්."

මම දුරබනුව සාක්‌කුවෙන් ඉවතට ඇද ගතිමි.

"කෝ බලමු... අපොයි දෙයියනේ, ඒකෙ තියෙන්නේ ෆෙරයිට්‌ ඇන්ටෙනාවක්‌. කිසි ම කමකට නෑ... බලමු මේක කනට තියාගන්න පුළුවන් ප්‍රමාණෙට ජනේලෙන් එළියට වත් දික්‌ කරල. මේ බමර යානෙ ලෝහ බඳ නිසා රේඩියෝ සංඥා වැහිලා තියෙන්නේ."

යන්තමින් ලෙනින්ස්‌කි අංකය ඔබාගන්නට ඉඩක්‌ තබාගනිමින් මම හැකි උපරිමයෙන් කවුළුව දෙසට බර වූයෙමි. මගේ හදවත බිහිසුණු ලෙස ස්‌පන්දනය වෙමින් තිබිණ. කුමක්‌ ද මේ වෙන්නෙ?

"මොකද?"

"උත්තරයක්‌ නැහැ"

"ඕක තව පොඩ්ඩක්‌ එළියට දික්‌ කරන්න බලමු?"

මම යළිත් වතාවක්‌ අංකය එබුවෙමි.

"කිසි ම උත්තරයක්‌ නැහැ" මගේ කටහඬ බැරෑඬි ස්‌වරයක්‌ ගත්තේ ය.

"කෝ... මට දීපන් ඒක... මම ඒක පුළුවන් තරම් ඈතට දික්‌ කරන්නම්. නුඹ අහගෙන ඉඳපන්"

රේඩියෝ දුරබනුව අතට ගත් අන්ෙද්‍රdaව් සිය අත වැළමිට තෙක්‌ කවුළුවෙන් ඉවතට දිගු කළේ ය. පහළ බසිමින් තිබූ බමර යානයේ වේගය එක්‌වර ම තියුණු ලෙස වැඩි වුයේ ය. අනතුරුව සිදු වූ හදිසි ගැස්‌සීමකින් රේඩියෝ දුරබනුව මා අතින් ගිලිහී ඉවත පියාඹා ගියේ ය.

"හත් ඉලව්වයි... දැන් ඉතින් මුකුත් කරලා හමාරයි."

බලවත් සුළං දහරාවෙන් මගේ මෙවලම ඉවතට ගසාගෙන යනු ලැබී ය. කවුළුව මත තදින් වැදුණු අන්ෙද්‍රdaව් ගේ අතේ වැළමිටෙන් පහළ ලේ ගලමින් තිබිණ.

මොහොතක්‌ ගත වන තුරු අපි නිහඬ ව එකිනෙකා දෙස බලාගෙන පසු වූයෙමු. ඔහු ගේ දෑසේ වූයේ බියෙන් තැතිගත් බැල්මකි.

"මගේ බිරිඳට මක්‌ වෙලා ද?" අවසන යන්තම් කෙඳිරුමක්‌ පිට කරගන්නට මම සමත් වීමි.

"මම දන්නෙ නෑ... ඒත් අපිට ඉක්‌මනින් ම දැනගන්න ලැබේ වි... හොඳට උත්සාහ කරලා මතක්‌ කරපන් අද වෙනකොට ඇගේ වයස හරියට ම කීය ද කියල. ඒ වගේ ම ෆිලෝ මැරුණු දවසේ ඉඳල හරියට ම කොච්චර දවස්‌ ගත වෙලා ද කියල."

මගේ මනස බියජනක අවුල් ජාලාවක පැටලී තිබිණ... මට අතිශයින් සරල අංක ගණිතමය එකතු කිරීමක්‌ හෝ කරගත නොහැකි ව තිබිණ. හැරත් ඔහුට අවශ්‍ය වූයේ කුමක්‌ ද, ඒ කුමක්‌ සඳහා ද යන්න මට තෝරා බේරා ගත නො හැකි විය. අවසන යන්තම් කටහඬ අවදි කරගන්නට මම සමත් වීමි.

"මගේ බිරිඳ ගේ වයස අවුරුදු විසි තුනයි, මාස තුනයි, දවස්‌ හයයි.... ෆිලෝ මැරිලා මාස තුනයි දවස්‌ තුනයි.

"අධික අවුරුදු ගණන් අරගෙන ද ඔය ගාන හැදුවෙ."

"නැහැ"

"කමක්‌ නැහැ. ඒක මං කරගන්නම්. කියපන් මට දවසයි, මාසෙයි, අවුරුද්දයි..... නැහැ නැහැ වැඩිය හොඳයි මට ෆිලෝ මැරුණු දවස කිව්වොත්."

බමර යානය මුදු ලෙස නැවතුම වෙත ළඟා වූයේ ය. මගේ අතකින් අල්ලාගත් අන්ෙද්‍රdaව් පිට වීමේ දොරටුව වෙත මා ඇදගෙන දිව ගියේ හතිය අතරින් කිසිවක්‌ මුමුණමිනි.

විච්ඡේද ශල්‍යාගාරයට යන කාලය පුරා ම අප දෙදෙනා ගෙන් කවරකු හෝ කතා කළේ නැත. මට කිසිවක්‌ මතකයට නො එයි. මායා ගේ උපන් දිනය මට අමතක ය. ෆිලෝ මිය ගිය දිනය ද සිහිපත් කළ නොහැකි ය.

ප්‍රකෘතිමත් ව හිනැහෙමින් සිටි දොස්‌තරකු ප්‍රවේශ ශාලාවේ දී අපට හමු විය. දම් - තැඹිලි පැහැති විශාල ප්ලාස්‌ටික්‌ කුට්‌ටියක්‌ ඔහු ගේ දෑතේ රැඳී තිබිණ. අන්ෙද්‍රdaව් සිය දබරැඟිල්ල තොල් මත තබා නිහඬ වන ලෙස සන් කළ ද, දොස්‌තරට ඒ ගැන වගේ වගක්‌ නො වීය.

"මට දැන් ම සුබපතන්න පුළුවන්... මට දැන්ම ම සුබපතන්න පුළුවන්...." හේ කෑගැසුවේ ය.

"දැන් අපිට දැනගන්න ඉතිරි වෙලා තියෙන්නේ අපේ පෘථිවිවාසියා මැරුණේ කොහොම ද කියන එක විතරයි. අපි දන්නවා දම් පාට මමිය මැරුණේ කොහොම ද කියලා." ඔහු දෑතේ රඳවාගෙන තිබූ ප්ලාස්‌ටික්‌ කැටිය අන්ෙද්‍රdaව් අත තැබී ය. "ලිම්ෆොසාකෝමා. වසාගැටිති පිළිකාවක ආශ්චර්යවත් ප්ලාස්‌ටික්‌ ආකෘතියක්‌."

මම භීතියෙන් මුසපත් ව පසුපසට විසි වී ගියෙමි.

"මොකද්ද නුඹ කීවේ?"

"එච්චර දෙයක්‌ නෙවි. ඇත්ත වශයෙන් ම මම පුදුම වුණා නුඹේ මේ ප්‍රති - ලෝකෙ ඈයෝ මේ වගේ සරල දේකට වත් ප්‍රතිකාර කරන්න දැනගෙන නො හිටි එක ගැන. එහෙ මිනිස්‌සුන් ගේ මළ කඳන් රේඩියෝ මාර්ගෙන් අපිට එවන්න නම් ඒගොල්ල ඉගෙනගෙන තියෙනවා. ඒත් පිළිකාවකට ප්‍රතිකාර කරන විදිහ ගැන තේරුමක්‌ නැහැ. විලි ලැඡ්ජයි."

(ලබන සතියේ තවත් කොටසක්‌)