logo3.gif (702 bytes)

HOME


විද්‍යා ප්‍රබන්ධ
දම් පැහැ මමිය 4

අනතෝලි ද්නෙප්රෝව්

වර්ෂ 1919 දී උපන් අනතෝලි ද්නෙප්රෝව් එක්‌සත් සෝවියට්‌ සමාජවාදී ජනරජයේ විද්‍යාඥ ඇකඩමිය හා සම්බන්ධ ආයතනයක සේවය කළ කීර්තිමත් භෞතික විද්‍යාඥයෙකි. 1960 වසරේ දී ඔහු විසින් රචනා කරන ලද "මැක්‌ස්‌වෙල් සූත්‍රය" නම් විද්‍යා ප්‍රබන්ධය ලේඛකයකු ලෙස ඔහු ගේ දස්‌කම් ප්‍රකට කළේ ය. ද්නෙප්රෝව් ගේ ප්‍රියතම විෂය වූයේ සයිබනතික විද්‍යාව (මොළය, ස්‌නායු පද්ධතිය හා විද්යුත් යාන්ත්‍රික පද්ධති අතර සන්නිවේදනය හරහා ගොඩනැෙ`ගන ස්‌වයංක්‍රීය සන්නිවේදන හා පාලන ක්‍රමවේද අධ්‍යයනය) හා එහි විස්‌මයාන්විත ජයග්‍රහණ හා ඇදහිය නොහැකි විභවයන් පිළිබඳ අධ්‍යයනය ය. විද්‍යාත්මක යථාවාදී බව ඔහු ගේ රචනාවන්හි සුවිශේෂි ව පෙනෙන ලක්‌ෂණයකි.

සිංහල වියමන - මාධව වෛද්‍යරත්න

කිරිගරුඬ ශාලාව අතුරු සිදුරු නොමැති ව පිරී ඉතිරී ගොස්‌ තිබූ අතර හිඳගැනීම සඳහා ස්‌ථානයක්‌ සොයාගැනීම උගහට විය. අවසානයේ දී ශාලාව පසුපස ප්‍රධාන ප්‍රවේශ දොරටුව අසල අසුනක්‌ යන්තම් සොයාගැනීමට මම සමත් වීමි. කන්බනු පැළඳගත් මම දෘශ්‍යාධාරක පැනලයේ තිරය ක්‍රියාත්මක කළෙමි. ඇකඩමියේ සභාපති වූ ශාස්‌ත්‍රඥ ජොනතොව් සම්මන්ත්‍රණයේ අරමුණ වූ 'අන්ද්‍රෝව් කල්පිතයේ විද්‍යාත්මක ශක්‍යතාව විමසීම' පිළිබඳව සංsප්ත ව විස්‌තර කරමින් කෙටි දේශනයක්‌ කළේ ය. සියලු කථිකයන්ට දරදඬු කාල නියමයක්‌ පනවා තිබුණේ කථිකාසනයේ විනාඩි තුනක්‌ හා කාණ්‌ඩ සාකච්ඡා වාරයේ විනාඩි දෙකක්‌ වශයෙනි. සාකච්ඡා වාර පැවැත්වීමට නියමිත ව තිබූ ඇකඩමි ශාලාවන්හි පටිගත කිරීමේ යන්ත්‍ර සවි කොට තිබූ අතර සැම නියෝජිතයකුට ම සිය අදහස්‌ පළ කරන්නටත්, අන් නියෝජිතයන් ගේ දේශන හා වාර්තා පිටපත් ලබාගැනීමටත් අවකාශ සලසා තිබිණ.

අන්ද්‍රෝaව් පස්‌වැනි කථිකයා ලෙස න්‍යාය පත්‍රගත ව සිටියේ ය. සභාවාරය ආරම්භ කිරීමට නියමිත ව තිබුණේ චිකාගෝවෙන් පැමිණි රේඩියෝ-තාරකා විද්‍යාඥ හෝනර්ට ය. පිටත අභ්‍යවකාශයෙන් පැමිණෙන රේඩියෝ තරංගයන්හි පදාර්ථමය වැදගත්කම සම්බන්ධයෙන් අනාවරණය වී ඇති කරුණු පිළිබඳව හේ විස්‌තර කළේ ය. භෞතික ස්‌වරූපයේ සංඥාවන් අර්ථ විවරණය කරගැනීම සඳහා පදනම් වූ තොරතුරු සිද්ධාන්තමය සූත්‍රයක්‌ තිරයෙහි දිස්‌ වන්නට විය. හෝනර් ගෙන් අනතුරුව අදහස්‌ දැක්‌වූ මොස්‌කව් සිට පැමිණි සොල්වින්, ඇල්d ස්‌වෝන් කලාපයන් වෙතින් පැමිණි සංඥා ප්‍රතිග්‍රහණයට යොදාගත් උපකරණයන්හි බුහුටිකම් ගැන විස්‌තර කළේ ය. බුලවායෝ සිට පැමිණි සුගාන් කතා කළේ කොස්‌මික්‌ රේඩියෝ තොරතුරු පටිගත කිරීමේ හා ගබඩා කිරීමේ මූලධර්ම පිළිබඳව ය.

සියලු ලියවිලි අතර නීරස ම එක වූ ප්‍රංශ රේඩියෝ ඉංජිනේරුවකු වූ සුෂී විසින් ලියන ලද අතිශයින් විශ්ලේෂණාත්මක වාර්තාවක්‌ මට හමු විය. පාරවනි තරංග මඟින් භෞතික සිරුරු අවකාශීය පරිලෝකනයට බඳුන් කිරීම හා ඒවා නැවත ද්‍රව්‍යමය තොරතුරු ආකෘති බවට හැරවීම පිළිබඳ සිය නිරීණ ඔහු එමඟින් ඉදිරිපත් කොට තිබිණ. ඔහු කියා සිටියේ එම ක්‍රියාවලියට පදනම් වන්නේ ද්විමාන රූපවාහිනි තිරයක පරිලෝකන මූලධර්මය ම බවත් එහි දී සිදු වන එක ම වෙනස තොරතුරු පිරිවෙළුම සඳහා මයික්‍රෝන කිහිපයක විෂ්කම්භයෑති වනි තරංගයක්‌ හෙවත් පාරවනි 'ඉදිකටුවක්‌' යොදාගැනීම බවත් ය ඔහු ගේ නිගමනය වූයේ(

'ජීව වස්‌තූන් ගේ තොරතුරු ප්‍රතිග්‍රහණය සඳහා ස්‌වභාවයෙන් ම එම ජීවීන් සායනිකව මිය ගොස්‌ තිබිය යුතු ය. යටත් පිරිසෙයින් සාකච්ඡාවට බඳුන් වූ පරිලෝකන ක්‍රමවේදය සඳහා හෝ එය අදාළ විය යුත්තේ පාරවනි තරංග මඟින් ජීවී සෛල විනාශ වන බැවිනි.'

මෙවැනි මූලික වාර්තා සකසා තිබූ අතර පර්යේෂණාත්මක සොයාගැනීම්වල ගුණාත්මක භාවය පිළිබඳව අදහසක්‌ ලබාගැනීමට නියෝජිතයන්ට ඉන් අවකාශ සැලසිණ.

අවසන අන්ද්‍රෝව් සිය දේශනය සඳහා නැඟී සිටියේ ය.

"පදාර්ථයේ පවතින මූලික අංශු හා ප්‍රතිඅංශු ගැන ඔබ දැනටමත් දන්නවා. ඒ නිසා ඒ ගැන ආයෙමත් කතා කරන්න මගේ අදහසක්‌ නෑ. මම නිකම් ඒවායේ නම් ටික විතරක්‌ කියාගෙන යන්නම්. ඉලෙක්‌ට්‍රොaන, පොසිට්‍රොaන, ප්‍රොaටෝන සහ ප්‍රති-ප්‍රොaටෝන, නියුට්‍රොaන සහ ප්‍රති-නියුට්‍රොaන. කෙටි ආයු කාලයක්‌ ඇති අනෙකුත් අංශු දැනට ඒ හැටි වැදගත් වෙන්නෙ නැහැ. මලිනොව්ස්‌කි හා සේග් විසින් කරන ලද පර්යේෂණවලින් ඔප්පු කරලා තියෙනවා මූලික අංශුවලින් ඕනෑ ම මූලද්‍රව්‍යයක ස්‌ථායී ප්‍රති-පරමාණු නිර්මාණය කරන්න පුළුවන් බව. ප්‍රති-ලෝකයක්‌ ගොඩනඟන්න මේක විතරක්‌ ප්‍රමාණවත්. ඒත් මම ඔබේ අවධානයට ලක්‌ කරන්න උත්සාහ කරමින් ඉන්නේ ඒක ගැන නෙවි. ප්‍රති-අංශු බිහි වෙන්නෙ යුගල වශයෙනුයි. අපේ අලුත් ම පර්යේෂණවලින් ඔප්පු කරල තියෙන ආකාරයට යුගල තරු විතරක්‌ නෙවි යුගල ග්‍රහ මණ්‌ඩල පවා පවතින්න පුළුවන්. යුගලයේ එකක්‌ පදාර්ථ වන අතරේ අනෙක ප්‍රති-පදාර්ථවලින් හැදුණු ප්‍රතිබිම්බමය ප්‍රකාශ සමාවයවිකයක්‌. ඔබ දන්නවා, මෙහෙම බිහි වන යුගල, භෞතික වශයෙන් සර්වසම වුණත් ඒවා ආරෝපණය හා භ්‍රමණ ගති ලක්‌ෂණ අතින් එකිනෙකට වෙනස්‌ බව. අඩු ශක්‌තියක්‌ හා දුර්වල පරස්‌පර ක්‍රියාවන් සහිත දෙවැනි වර්ගයට බැහැ ජීව විද්‍යාත්මක පරිණාම ක්‍රිsයාවලියට බලපෑම් කරන්න. මම ප්‍රකාශ කර සිටිනවා අපේ සූර්යයා සහ ග්‍රහයන් බිහි වූ මොහොතේ ම සුවිශාල විද්යුත් චුම්බක ක්‌වොන්ටම් මඟින් ඒවායේ ප්‍රති-පදාර්ථමය නිවුන්නුන් බිහි වුණ බව. වෙනත් තාරකාවල විකිරණ උච්ඡාවචනයන් ගේ ප්‍රතිඵලයක්‌ හැටියට මේ ක්‌වොන්ටම්, කාලෙන් කාලෙට විශ්වය තුළ දර්ශනය වෙන්න පුළුවන්. ඒක එහෙම නම් ප්‍රති-මානව ගහණයකින් සමන්විත ප්‍රති-පෘථීවියක්‌ පවතින බව."

අනතුරුව සිනා රළ ප්‍රවාහයක්‌ ශාලාව සිසාරා ගලා යන්නට විය.

නැඟී සිටි සභාපතිවරයා අන්ද්‍රෝව් ඇමතී ය.

"ප්‍රති-මානව, ප්‍රති-මිනිස්‌ කියන යෙදුම් එච්චර ප්‍රියමනාප නැහැ. පොඩි අපහාසාත්මක ගතියක්‌ දැනෙනවා."

"සමාවෙන්න, මම අදහස්‌ කළේ ප්‍රති-පදාර්ථයෙන් සෑදුණු මිනිසුන් කියන එකයි."

සිනාව කෙමෙන් මැකී ගියේ ය.

අනතුරුව ප්‍රති-පදාර්ථයෙන් සෑදුණු මිනිසුන් ගේ ව්‍යqහය පිළිබඳ සවිස්‌තර විග්‍රහයක්‌ අන්ද්‍රෝව් විසින් ඉදිරිපත් කරන ලදි. ඔහු අවධාරණය කළේ පෘථීවි ව්‍යqහයට අදාළව පැවතිය යුතු අපවර්තිත සමමිතිකභාවයේ අවශ්‍යතාවයි. වාර්තාවේ දම් පැහැ මමිය පිළිsබඳ කොටසට පැමිණි විට ඔහු ගේ උනන්දුව පමණටත් ඉහ වහා ගිය බැවින් කතාවේ ඉතිරි කොටස ඔහුට යාබද ශාලාවේ දී ඉදිරිපත් කළ හැකි බවට සභාපතිවරයා විසින් යෝජනා කරනු ලැබිණ.

ඊළඟ දේශකයා වූ නොවොසිබර්ස්‌ක්‌හි සිට පැමිණි විශිෂ්ටතම මානවවේද විශේෂඥයකු වූ ගුටන්, අන්ද්‍රෝව් ගේ සිද්ධාන්තයට රැහැණිව අදහස්‌ ප්‍රකාශ කළේ ය. සංඛ්‍යාන දත්ත ද භාවිත කරමින් ඔහු පෙන්වා දුන්නේ පෘථිවිය මත ම විවිධ ස්‌ථානවල වෙසෙන මිනිසුන් අතර විස්‌මයජනක සමානකම් බහුල ව දැකිය හැකි බවයි. මමියේ දක්‌නට ලැබුණ පැති මාරු වූ අභ්‍යන්තර අවයව සම්බන්ධයෙන් ද ඔහු අප ගේ ග්‍රහලොව තුළ ම දක්‌නට ලැබුණ සමාන අවස්‌ථාවන් පිළිබඳ නිදසුන් ගෙනහැර පෑවේ ය.

එකවර ම විනීතභාවයේ සියලු නීති රීති අවුල් කර දමමින් ශාලාව මැදින් කිසිවකු කෑගැසුවේ ය. "නුඹේ ඔය සම්භාවිතාව දහයේ විශාලත්ව ගණයෙන් වැඩිවිය යුතු යි. ඒ නිසා ඒක බොහොම කුඩා අගයක්‌"

"ඒ කොහොම ද?" ගුටන් ණික ව ප්‍රහාරය මඟහැරියේ ය.

"මුලින් ම කියන්න තියෙන්නෙ දම්පාට මමිය කියන්නෙ පෘථිවිවාසියකු ගේ සර්වසම පිටපතක්‌. දෙවනුව ඇගේ අවයව පිහිටලා තියෙන්නේ පැති මාරු වෙලා. තුන් වැනි ව භාෂාවේ දී ෆිලෝට සර්වසම උඩු කය රූපයක්‌ අභ්‍යවකාශයෙන් ලැබිල තියෙනවා. මේ වගේ අති විශේෂ සංකීර්ණතාවක්‌ ඇති සිදුවීම් තුනක්‌ එකවර අහම්බෙන් සිද්ධ වෙන්න පුළුවන්කමක්‌ නෑ."

චින්තාපර ව බැම අකුලාගත් ගුටන් නිහඬ ව ම පසු වූ අතර මුණු මුණුවක්‌ ශාලාව සිසාරා පැතිර ගියේ ය.

"හොඳයි, පැහැදිලි කරන්න" සභාපති ඇනැවී ය.

"මං හිතන්නෙ නෑ එහෙම කළ යුතුයි කියල. මොකද, අර මහත්මයා ඔහු ගේ තර්කය ඔප්පු කළ නිසා"

කථීකාසනයෙන් පහළට බට හේ සිය අසුනෙහි හිඳගත්තේ ය.

එළියට බැස ප්‍රවේශ ශාලාවට පැමිණි මම සම්මන්ත්‍රණයේ ප්‍රථම වාර්තා කට්‌ටලය මුද්‍රණය කරමින් තිබූ ඉලෙක්‌ට්‍රොනොගෆ් යන්ත්‍රය වෙත ගියෙමි. දේශකයෝ ඒ අසල හඬ-වරිත කුටි තුළ පසු වූ හ.

ඔවුහු තර්ක කරමින්, විරෝධය පාමින් හා සැක සංකා මතු කරමින් අන්ද්‍රෝව් ගේ කල්පිතය නිෂ්ප්‍රභ කරන්නට වෙර දැරූ හ.

අනතුරුව විවෘත සඳැල්ල වෙත ගිය මම ලෙනින්ස්‌කි අංකය ඇමතීමි. මායා, දුරබනුව ඔසවන්නට පෙර තරමක වේලාවක්‌ ගත විය.

"ඔයා සම්මන්ත්‍රණය බලනව ද?" මම ඇසීමි.

"දැන් නම් නැහැ. මට ටිකක්‌ වෙහෙසයි වගේ. දන්නව ද? අර ගුටන් වේදිකාවෙන් බැහැල ගියාට මොකද, මං හිතන්නේ එයා හරි. මේ සමානකම අහම්බයක්‌ කියලයි මටත් හිතෙන්නේ. අපේ ලෝකේ ඇතුළෙ ම ඔය වගේ අහම්බ කොච්චර තියෙනව ද, එහෙම එකේ මුළු විශ්වය ම ගත්තොත් ඒක එහෙම වෙන්න ම එපැයි. ආයුබෝවන් වස්‌තුව. මං හිතන්නේ මං ගිහින් ආයේ ටිකක්‌ ඇලවුණොත් හොඳයි වගේ."

මායා, රිසීවරය තැබුවා ය. ඈ නො ව අන් අයකු දම් පැහැ මමියට සමාන වුවා නම් මා වඩාත් කැමති වන්නට ඉඩ තිබූ බව මායාට කියාගන්නට මට අවස්‌ථාවක්‌ නො ලැබිණ.

****************************

නරක ම දෑ සිදු වූයේ සම්මන්ත්‍රණය අවසන් වීමෙන් පසුව ය. ඉදිරිපත් වූ පර්යේෂණ දත්ත අන්ද්‍රෝව් ගේ කල්පිතය සාධනය කිරීමට තරම් ප්‍රමාණවත් නො වන බවට ඒකමතික ව නිගමනය කළ විද්වත් පිරිස තම තමන් ගේ වාසස්‌ථාන බලා පිටත් ව ගොස්‌ තිබිණ. පැය කිහිපයක්‌ ගත වන්නටත් කලියෙන් දම් පැහැ මමිය පිළිබඳ ලෝකයා ගේ උනන්දුව අතුරුදන් විය. අනු රූ සියල්ල ඉවත් කොට කෞතුකාගාරයන්හි යටිබිම් මහලවල තැන්පත් කරන ලද අතර අන්ද්‍රෝව් විසින් විච්ඡේදනය කරන ලද අනුරුව පමණක්‌ මධ්‍යම ව්‍යවච්ෙච්ද විද්‍යා ශාලිකාව වෙත රැගෙන යන ලදි.

එහෙත් ව්‍යවච්ඡේදඥයෝ, ව්‍යාධි-ව්‍යවච්ඡේදඥයෝ, භෞතවේදීහු, සෛල විද්‍යාවේදීහු ඇතුළු පිරිසක්‌ තවමත් මමිය සම්බන්ධ අධ්‍යයනයන් සිදු කරමින් සිටිය හ. ලෙනින්ස්‌කි බලා පිටත් වීමට පෙර කිසියම් අලුත් තොරතුරක්‌ ඇත් දැයි සොයා බැලීමට ගිය මම විච්ඡේදන අංශයේ දොරකඩ දී අන්ද්‍රෝව් ගේ ඇඟේ හැපී නතර වූයෙමි. අපමණ වෙහෙසකාරී බවක්‌ ඔහු වෙතින් දිස්‌ විය.

අඩක්‌ ඇරුණු දොර අතරින් මා දුටුවේ දම් පැහැ මමියේ ඉතිරි ව තිබූ හැඩක්‌ කඩක්‌ නැති කොටස්‌ මතට එබීගෙන සිටි දොස්‌තරුන් පිරිසකි.

"කොහොම ද වැඩ කටයුතු?" මම අන්ද්‍රෝව් ගෙන් ඇසීමි.

"නරක නැහැ. අපි ඔප්පු කළා මමියේ අභ්‍යන්තර අවයවවල අපවර්තිත සමමිතිය පිළිබඳ සැකයක්‌ නැහැ කියල."

"ඉතින් එහෙම එකේ, දැන් මොනව ද ඔය ඈත් එක්‌ක කරන්නේ?"

අන්ද්‍රෝව් ඕනෑවට එපාවට මෙන් දෙවුර හැකිළී ය.

"ඒ ගොල්ල හදන්නේ මමියේ වයස කොච්චරක්‌ ද කියල හොයාගන්න. ඉන් පස්‌සෙ නුඹේ බිරිඳ ගේ වයසත් එක්‌ක සංසන්දනය කරන්න."

"අපරාදේ ඔය ප්‍රති-ලෝකේ මිනිස්‌සු ඈව රේඩියෝ මාර්ගෙන් මේ ලෝකෙට එවන කොට ඇගේ චරිත කතාව ලියපු කොළයක්‌ අමුණලා එවපු නැති එක." මම විහිළු කළෙමි. "මට සහතිකයි, අමාරුවෙන් හරි අපිට අකුරුවල නොපිට ප්‍රතිබිම්බය කියවගන්න තිබ්බා."

"මම කණගාටු වෙන්නේ වෙන දෙයක්‌ ගැන. මහාචාර්ය ෆිලෝ ගේ උඩු කය වෙනුවට මුළු ශරීරය ම අපිට ලැබිල තිබුණ නම් මගේ විරුද්ධකාරයන්ට එයාල ගේ තර්ක ඔප්පු කරන්න බොහොම අමාරු වෙන්න තිබ්බා."

මම එකඟතාව පළ කරමින් හිස වැනුවෙමි.

"නුඹේ බිරිඳ ෆිලෝ එක්‌ක වැඩ කළා නේ ද?"

"ඔව්. ඈ ඔහු ගේ සහායිකාව විදියට වැඩ කළා. ඈ ඔය ඉන්දුනීසියානු භාෂා කාණ්‌ඩයක්‌ ගැන අධ්‍යයනය කරේ ෆිලෝ ගේ උපදේශකත්වය යටතේ."

අන්ද්‍රෝව් හිස සැලුවේ ය.

"මගේ කල්පිතය හරියි කියල ඔප්පු කරන්න තව එක විදිහක්‌ තියෙනවා. ඒ ඔක්‌කොම තීරණය වෙන්නේ අරගොල්ල මත." ඔහු විච්ඡේදන අංශය හිසින් දැක්‌වූයේ ය.

"මමියේ වයස ද ?"

"ඒකයි. තව වෙනත් දේවලුයි."

මගේ වැළමිටෙන් අල්වාගත් අන්ද්‍රෝව් බරාඳය ඔස්‌සේ මා රැගෙන ගියේ ය.

"මේ වෙලාවේ අපිට එතන බලන්න තරම් වැදගත් දෙයක්‌ නැහැ. නුඹ කැමති ද මුල් පිටපත් අවකාශීය පරිලෝකනය කරපු තොරතුරු ගොනු කරලා ආකෘති හදන යන්ත්‍රය වැඩ කරන හැටි බලන්න ?"

"ආයෙත් අහල."

(ලබන සතියේ තවත් කොටසක්‌)