logo3.gif (702 bytes)

HOME


ඖෂධ නියාමනය අත්‍යවශ්‍ය ඇයි?

ලෝකය පාලනය කරන්නේ ඇමෙරිකාවේ සිටින මුල් පෙළේ ජනමාධ්‍ය ආයතන හිමිකරුවන් කිහිප දෙනකු ය යන්න මීට කලකට පෙර ජනප්‍රිය ව තිබූ මතයකි.

එහෙත් අද වන විට ලෝකය පාලනය කරන්නේ ඇමෙරිකාවේ ම සුපිරි ඖෂධ නිෂ්පාදන සමාගම් කීපයක්‌ විසින් යෑයි Wall Street ජර්නලය පසුගිය දා සදහන් කළේ ය.

එක්‌ පැත්තකින් ඖෂධ නිෂ්පාදනය හා ඖෂධ අලෙවිය මිනිසුන් ගේ දිවි රැක දෙන මහා සත් ක්‍රියාවක්‌ වන්නේ ය. අනෙක්‌ අතට එය මහා ධන සම්භාරයක්‌ අත්පත් කර දෙන කර්මාන්තයක්‌ වන්නේ ය. තවත් පැත්තකින් එය බූවල්ලකු ගේ ස්‌වභාවයක්‌ ඇති මාෆියාවක්‌ ද වන්නේ ය.

මිනිසකුට වටිනා ඇදුම් පැළදුම්, හොද ම වර්ගයේ ආහාරපාන, මෝටර් රථ, නිවාස නොමැති ව ජීවත් වන්නට පවා බැරිකමක්‌ නැත. යන්තම් ටිකක්‌ ආහාර ගෙන ජීවත් වන්නට පවා බැරි නැත. එහෙත් ගත යුතු ම වූ ඖෂධයක්‌ නො ගත්තොත් රෝගියකු මිය යැමට වුව හැකි ය. බස්‌රථවල හිගා කන බොහෝ හිගන්නන් ඔවුන් ගේ හිගා කෑමේ මූල හේතුව ලෙස දක්‌වන්නේ ලෙඩකට බෙහෙත් ගැනීමට මුදල් නැති වීම බවයි. ඔවුන් ගේ ප්‍රකාශ කෙතරම් සත්‍ය ද යන්න ගැන කිව නොහැකි වුවත් මෙසේ හිගා කන අයට සැලකිය යුතු මුදලක්‌ හිමි වීමෙන් අපට පෙනී යන දෙයක්‌ වෙයි. ඒ බෙහෙතක්‌ ගැනීම පිණිස සිගමනක්‌ දීමට බොහෝ දෙනා කැමැති වන බවයි.

ඖෂධ සමාගම් මසකට ඩොලර් බිලියන - මිලියන ගණන් ලාබ උපයද්දී අසරණ දුගී රෝගියකුට සුදුසු ඖෂධ නොමැති ව සුසුම් ලන්නට වන තත්ත්වයක්‌ උදා වී තිබේ.

බොහෝ රටවල නිදහස්‌ සෞඛ්‍ය සේවා නොමැති අතර ඒ රටවල සියලු ඖෂධ රෝගියා මිල දී ගත යුතු වේ. අපේ රටේ නිදහස්‌ සෞඛ්‍ය සේවාවක්‌ පවතී. එසේ ම පසුගිය කාලයේ දී අප රටේ බහුලව භාවිත වන ඖෂධ කීපයක ම මිල ගණන් අඩු කරන ලදි. එය ප්‍රශංසාවට බදුන් විය යුතු කරුණක්‌ වුව ද ඖෂධ සම්බන්ධ සියලු ගැටලු විසදී ඇති බවක්‌ නො පෙනේ. ඖෂධ මිල සම්බන්ධ ගැටලු හා ප්‍රමිතිය පිළිබද ගැටලු තවදුරටත් ඉතිරි ය.

ඖෂධ මිල පිළිබද ගැටලු මෙරට පමණක්‌ මුහුණ දෙන හුදෙකලා ගැටලු නො වේ. ජාත්‍යන්තර සමාගම් අසාධාරණ ලෙස විශාල ලාභයක්‌ ඖෂධ නිෂ්පාදනය හා අලෙවිය මගින් උපයයි. කෙසේ වෙතත් අප මෙහි දී අමතක නො කළ යුතු කරුණක්‌ ද තිබේ. එය නම්, සමහර ඖෂධ නිෂ්පාදනය සදහා අවුරුදු ගණනක්‌ පුරා අධ්‍යයනයන්

රැසක්‌ කරන බවයි. එම අධ්‍යයනයන් සදහා වැය වන අධික වියදම් ද ඖෂධයේ මිලට එක්‌ වේ. ඊට අමතරව ඖෂධ සමාගම්වල ප්‍රචාරක හා වෙනත් වියදම් මේ ඖෂධවල මිලට එකතු කෙරේ. ඖෂධ සමාගමක විධායක නිලධාරියකුට මෝටර් රථයක්‌ ගන්නට සිදු වුවොත් ඒ සමාගම් නිපදවන ඖෂධ මිල ඊළග මාසයේ සිට වැඩි වන බව Wall Street ජර්නලයේ වූ කාටුනයක දැක්‌විණි. එහෙත් එය හුදු විහිළුවක්‌ නො වේ. ඇමෙරිකාව පමණක්‌ සැලකුව හොත් ඖෂධ සමාගම් වසරකට සෘජු ප්‍රචාරක දැන්වීම් සදහා ඩොලර් බිලියන 3ක්‌ පමණ වියදම් කරයි. එසේ ම තමන්ට හිතවත් මාධ්‍යවේදීන්ට ප්‍රතිපාදන, විදේශ චාරිකා, කොක්‌ටේල් පාටි ලබා දීමට, දේශපාලකයන්ට හා අතරමැදියන්ට අල්ලස්‌ දීමට, සමහර විට 'පාතාල ගණයේ වැඩ' සඳහා මාසික ගාස්‌තු ගෙවීමට ආදි කරුණු සදහා ඩොලර් බිලියන 1ක්‌ පමණ වියදම් කරයි. අප උණට හෙම්බිරිසාවට නිතර ම ගන්නා ශත ගණනක්‌ වූ පෙත්තකට පවා මේ වියදම් එක්‌ වී ඇත.

මිලට අමතරව ප්‍රමිතිය සම්බන්ධ ගැටලු ද ඖෂධ මාෆියාවේ එක්‌ අංගයකි. සැබැවින් ම වඩාත් භයානක වන්නේ මෙයයි. මෙය ක්‍රම දෙකකට ක්‍රියාත්මක වේ. එකක්‌ නම් අඩු මිලට හොද ඖෂධ ලබා දීමට හැකි ව තිබිය දී වැඩි මිලට වෙනත් වෙළෝද නාමයකින් එම ඔසුව ම වෙළෝදපොළට නිකුත් කිරීමයි. එක ම ප්‍රතිඵල ම ලබා දෙන - එක ම රසායනික සංයෝගය සහිත සංයෝග දෙකක මිල අහසට පොළොව සේ වෙනස්‌ වන්නේ ඇයි ද යන්න එක්‌ අතකින් බලවත් ගැටලුවකි. එහෙත් මේ වෙළෝද ලෝකය තුළ එය ගැටලුවක්‌ ද නො වේ. මන්ද වෙළෙඳ ලෝකයේ මුඛ්‍ය පරමාර්ථය ලාබ ලැබීම බැවිනි. එසේ ම ඖෂධ මිල මෙතරම් ඉහළ යන්නේ ඇයි ද යන්න ඊට එක්‌ වන පෙර කී ආකාරයේ වියදම් හරහා අපට හිතාගත හැකි ය.

මේ ඖෂධ මාෆියාවේ භයානක ම අංශය වන්නේ කිසිදු ඖෂධීය වටිනාකමක්‌ නොමැති රසායන ද්‍රව්‍ය ඖෂධ ලෙස වෙළෝදපොළට නිකුත් වීමයි. මෙය රෝගියාට මුදල් පමණක්‌ නො ව ජීවිතය ද අහිමි කරවන තරමේ අවදානමක්‌ සහිත ක්‍රියාවකි.


මරණයේ තුන්වැනි පුරෝගාමියා

පසුගිය දා ඩෙන්මාර්ක ජාතික මහාචාර්ය Peter C. Gotzsche අපූර්ව අධ්‍යයන ප්‍රතිඵලයක්‌ ප්‍රසිද්ධ කළේ ය. Gotzsche යනු කෝපන්හේගන්හි Nordic Cochrane විශ්ව විද්‍යාලයයේ ඖෂධවේදය පිළිබද මහාචාර්යවරයකු වන අතර ලොව සිටින විශිෂ්ට ගණයේ වෛද්‍ය පර්යේෂකයන් අතරෙන් කෙනකු ලෙස සැලකෙන්නකි. මේ මහැදුරුතුමා ඖෂධවලට අදාළව කළ අධ්‍යයනයන් මගින් පෙන්වා දුන්නේ ලොව සිදු වන මරණවලට තුන්වැනි හේතුකාරකය නියම කරන ලද ඖෂධ (Prescribed medication) බවයි.

වැඩියෙන් ම මිනිසුන් මිය යන්නේ හෘදයාබාධවලින් බවත්a, දෙවනුව පිළිකාවලින් බවත්, තුන්වැනුව ඖෂධ නිසා බවත් ඔහු පෙන්වා දෙයි. කෙසේ වෙතත් මෙය අලුත් ම අලුත් අදහසක්‌ ද නො වේ. 2013 දී Deadly Medicine and Organised Crime ග්‍රන්ථය සම්පාදනය කරමින් පවා ඔහු මේ අදහස ඉදිරිපත් කළේ ය. (මීට පෙර කැලිෆොaනියා විශ්වවිද්‍යාලයයේ පර්යේෂකයන් පිරිසක්‌ ද, නියම කරනු ලබන ඖෂධ ලොව තුන්වැනි මරණ සාධකය බව පෙන්වා දුනි). තම ග්‍රන්ථයේ දී මහාචාර්ය Peter C. Gotzsche ඖෂධ සමාගම්වල මාෆියාව ගැන ද දීර්ඝ ලෙස තොරතුරු හෙළි කරයි.

ඔහු තම ග්‍රන්ථයෙන් ඇමෙරිකානු ඖෂධ සමාගම් 11ක කල්ක්‍රියාව දැඩි ලෙස විවේචනය කරයි. ඖෂධ සමාගම් වෛද්‍ය අංශයේ අය පමණක්‌ නො ව ඉහළ ම රාජ්‍ය නිලධාරීන්, ආගමික නායකයන්, සිවිල් සංවිධාන ප්‍රධානීන්, මාධ්‍යවේදීන් හා වෘත්තිකයන් මිලට ගන්නා ආකාරය පැහැදිලි කරයි. ඔහුට අනුව ඇමෙරිකානු ජනාධිපතිට, බ්‍රිතාන්‍ය අගමැතිට, ජර්මානු චාන්සලර්ට, ප්‍රංශ ජනාධිපතිට නැති බලයක්‌ ඇමෙරිකානු ඖෂධ සමාගම්වලට තිබේ.

කෙසේ වෙතත් මේ ඖෂධ මාෆියාව හුදෙක්‌ ම මෙහෙයවන්නේ ඇමෙරිකාවේ ප්‍රධාන ඖෂධ සමාගම් පමණක්‌ නො වේ. යුරෝපයේ, අප්‍රිකාවේ හා ආසියාවේ ජාවාරම්කරුවෝ ද මීට හවුල් ව සිටිති.

ඉන්දියාව සැලකුව හොත් එහි තත්ත්වය ඉතා බරපතළ ය. ඉන්දියාවේ රසායන ද්‍රව්‍ය පිළිබද ඇමැති Anth Kumar පසුගිය දා පැවසුවේ ඉන්දියාව තුළ රුපියල් 5ට මිල දී ගත හැකි ඖෂධය ම වෙනත් වෙළෝද නාමයකින් රුපියල් 2500ට ෆාමසිවල අලෙවි වන බවයි. එය 500 ගුණයක වෙනසකි. එම ඖෂධ අතර රසායනිකව කිසිදු වෙනසක්‌ නැති බව ද ඔහු පෙන්වා දුන්නේ ය.

එසේ ම ඉන්දියාවේ ව්‍යාජ ඖෂධ අලෙවිය විශාල ලෙස ව්‍යාප්ත ව තිබේ. කිසිදු රසායනික ක්‍රියාවක්‌ නො දක්‌වන හෝ හානිකර ප්‍රතිඵල සහිත හෝ රසායන ද්‍රව්‍ය ඖෂධ ලෙස අලෙවිය සම්බන්ධයෙන් ඉන්දියාවට ඇත්තේ නරක ඉතිහාසයකි. පිළිකාවලට අවශ්‍ය කෙරෙන ඇතැම් බෙහෙත් පෙත්තක මිල ඉන්දියානු රුපියල්වලින් 10,000 ද ඉක්‌මවයි. හොර ජාවාරම්කරුවකුට මේ හැඩය ඇති පෙත්තක්‌ ශත 10කට නිෂ්පාදනය කරන්නට පුළුවන. එවිට එක පෙත්තකින් ලැබෙන ලාබය රුපියල් 9999කට ආසන්න ය. සියයට දහයක්‌ හෝ විස්‌සක්‌ හෝ ෆාමසිකරුට දුන්න ද, අතිවිශාල ලාබයක්‌ හොර ජාවාරම් සමාගමට ලැබේ. ෆාමසිකරුට ද විශාල ලාබයක්‌ ලැබේ. රෝගියාට වන්නේ අවැඩක්‌ පමණි. එය නිශ්ක්‍රිය ඔසුවක්‌ නම් රෝගියාට ලැබෙන ප්‍රතිඵලය වන්නේ තම රෝගය සුව නො වීම පමණකි. එහෙත් ගන්නා බෙහෙත තුළ අහිතකර රසායන ද්‍රව්‍යයක්‌ හෝ දැනටමත් ගන්නා බෙහෙතකට එරෙහි ප්‍රතික්‍රියා දක්‌වන රසායනයක්‌ හෝ අඩංගු වුව හොත් තත්ත්වය වඩාත් භයානක ය.

මෙවැනි අහිතකර ඔසු බහුලව අලෙවි කරන ඔසුසල් ගැන ඉන්දියාවෙන් නිතර ම වාර්තා වේ. මුම්බායිහි පමණක්‌ මෙවැනි වෙළෝදසල් සුවිශාල සංඛ්‍යාවක්‌ ඇති බව කියෑවේ. නවදිල්ලි නගරයේ නීත්‍යනුකූල නො වන ඔසුසල් විශාල සංඛ්‍යාවක්‌ පවතින අතර, ඒවායේ අලෙවි වන ඖෂධවලින් 90%ක්‌ ම ව්‍යාජ ඖෂධ ය.


කුමරාගේ මරණය හා ඖෂධ මාෆියාව

මෙක්‌සිකෝවේ ද අහිතකර ඖෂධ අලෙවියේ මාෆියාව සුවිශාල ලෙස වර්ධනය වී තිබේ. ප්‍රින්ස්‌ ජෝර්ඡ් නෙල්සන් නම් සුපිරි ගායකයා ගේ මරණය හා මෙක්‌සිකෝ ඖෂධ මාෆියාව අතර සම්බන්ධයක්‌ ඇතැයි පසුගිය දා කියෑවිණි. මෙක්‌සිකෝහි මෙක්‌සිකෝ සිටිහි ඇති ඖෂධ ශාලාවලින් 60%ක ම පමණ ඇත්තේ ව්‍යාජ ඔසු බව විදෙස්‌ මාධ්‍ය වාර්තාවල පළ විය.

Zhenli Ye Gon නම් මෙක්‌සිකානු ඖෂධ කර්මාන්තකරු පසුගිය දා අත්අඩංගුවට ගත් අතර එයට හේතුව වූයේ මෙක්‌සිකෝව තුළත්, ආසියාව තුළත් නීත්‍යනුකූල නො වන (ව්‍යාජ) ඖෂධ බෙදාහැරීමයි.


බිලියන 200ක ව්‍යාජ ඔසු ලොව පුරා සැරිසරයි

ඇමෙරිකානු ජාතික පර්යේෂක Shirley Redth විසින් කරන ලද අධ්‍යයනයක දී හෙළි ව ඇත්තේ ගෝලීය වාර්ෂික ව්‍යාජ ඔසු අලෙවිය ඩොලර් බිලියන 200 ඉක්‌මවන බවයි. ලොව ඇති මෙවැනි ඔසු වර්ග 800ක්‌ පමණ පවතින බව ද ඔහු පෙන්වා දෙයි.

ලංකාවට අදාළව ව්‍යාජ ඖෂධ අලෙවිය සම්බන්ධ සංඛ්‍යාලේඛන සොයාගැනීමට අපට නොහැකි වූ අතර ඒ සම්බන්ධව අදාළ නිලධාරීන් ගෙන් අප විසින් කරන ලද ඉල්ලීම් සදහා ලද පිළිතුරු සතුටුදායක ඒවා නො වී ය. විශේෂයෙන් පොලිසිය සතු ව මෙවැනි සංඛ්‍යාලේඛන නොමැති වීම කණගාටුදායක කරුණකි.

ඖෂධ මාෆියාවේ සැම පාර්ශ්වයකට ම විසදුම් දෙන්නට ජනමාධ්‍යයක්‌ ලෙස අපට නොහැකි වුවත් රෝගීන් (බෙහෙත් මිල දී ගන්නා අය) දැනුවත් කරවීම හරහා මේ මාෆියාවේ බූවලු අඩුවලින් යම් මට්‌ටමකට හෝ ජනතාව ගලවාගන්නට හැකියාවක්‌ ඇතැයි අපි විශ්වාස කරමු.

වෛද්‍යවරයාව ද ප්‍රශ්න කළ යුතු ය

ඖෂධ මාෆියාවෙන් ගැලවෙන්නට පමණක්‌ නොව ඖෂධ සම්බන්ධව පැනනගින බොහෝ ගැටලුවලට විසදුමක්‌ ලෙස කළ යුතු දෙයක්‌ නම් තමක්‌ බෙහෙත් ගන්නා වෛද්‍යවරයා ගෙන් තමා තුළ ඇති ප්‍රශ්නවලට පිළිතුරු ඉල්ලීමයි. වෛද්‍යවරයා බෙහෙතක්‌ ලියූ විට ඒ බෙහෙත ගැන විස්‌තර ඉල්ලීමේ අයිතියක්‌ රෝගියාට ඇත. බොහෝ රෝගීහු බෙහෙත ගැන දැනගන්නට වුවමනාවක්‌ තිබුණත්, වෛද්‍යවරයා කෝප වෙතැයි සිතා ඒ ගැන නො විමසා සිටිති. යහපත් වෛද්‍යවරයකු බෙහෙතක්‌ සම්බන්ධව අසන ප්‍රශ්නයකට පිළිතුරු නො දී සිටින්නේ නැත.


අනවශ්‍ය ඖෂධවලින් හැකිතාක්‌ දුරට ඈත් වෙමු, ඖෂධ භාවිතය සීමා කරමු

මේ ලේඛකයා හා සාකච්ඡාවක යෙදෙමින් ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපතිවරිය අවධාරණය කළ මූලික ම කරුණක්‌ වූයේ ලංකාවේ මිනිසුන් ඕනෑ දෙයටත් එපා දෙයටත් ඖෂධ පාවිච්චි කරන්නට පුරුදු ව සිටින බවයි. සැබැවින් ම එය ඉතා වැදගත් ප්‍රකාශයකි. ඖෂධ මාෆියාව සමග නීත්‍යනුකූල ව සෘජු ව සටනේ යෙදෙන අතරතුර මාෆියාවට එරෙහි ව කළ හැකි අනියම් සටනක්‌ වන්නේ හැකිතාක්‌ ඖෂධ භාවිතය සීමා කිරීමයි. එය පෞද්ගලික මට්‌ටමින් පටන්ගත යුත්තකි. අද වන විට හැම දෙනෙක්‌ ම ඖෂධ පාවිච්චි කරන්නට තරමේ ලෙඩක්‌ ඇතත් නැතත් ඖෂධ කිහිපයක්‌ මිල දී ගනිති.

ඔබ ගැන ම සිතන්න. සමහර විට ඔබට හිසරදය හැදෙන්නේ මසකට එක්‌ වරක්‌ හෝ දෙකකි. එහෙත් ඔබේ පසුම්බියේ, අත්බෑගයේ, සාක්‌කුවේ හෝ කාර්යාල ලාච්චුවේ, කුස්‌සියේ මේසය මත වේදනානාශක පෙති 30-40ක්‌ ඇත. බොහෝ විට මේවා කල් ඉකුත් වී ඉවත් කරන්න සිදු වේ.

මහාචාර්ය Gotzsche සදහන් කරන පරිදි ඇමෙරිකානුවන් මිල දී ගන්නා වේදනා නාශක පෙතිවලින් සියයට 40ක්‌ පමණ ම කල් ඉකුත් වීම නිසා හෝ අවශ්‍ය නො වීම නිසා කුණුගොඩට යෑවේ. (කල් ඉකුත් වීම යනුවෙන් මෙහි සදහන් කර ඇත්තේ අලෙවිකරු කල් ඉකුත් වූ දෙයක්‌ දීම නො ව පාවිච්චි නො කොට දිගු කලක්‌ තබාගැනීම ය). ඉන්දියානු පර්යේෂකයකු වන Indrajith Rai විසින් කරන ලද අධ්‍යනයකින් හෙළි ව ඇත්තේ ආසියානු කතුන් ද තමන් මිල දී ගන්නා බෙහෙත් පෙතිවලින් සියයට 25-30කට අතර ප්‍රමාණයක්‌ විසි කර දමන බවයි. විශේෂයෙන් ම අප රටේ අය ප්‍රතිජීවක ඖෂධ හා වේදනානාශක අනවශ්‍ය ලෙස මිල දී ගන්නා බව පෙනී ගොස්‌ තිබේ.


ඖෂධවේදියා වෛද්‍යවරයකු ලෙස සැලකීම මාෆියාවට උඩ ගෙඩි දීමක්‌

ඖෂධවේදියා වෛද්‍යවරයකු ලෙස සැලකීම ද ඖෂධ මාෆියාවට අනියම් ලෙස අනුබල දීමක්‌ ලෙස සැලකිය හැකි ය. නම හෙළි කිරීමට අකැමැති වූ වෛද්‍ය විද්‍යා මහාචාර්යවරයෙකු අප හා පැවසුවේ ලංකාව තුළ ව්‍යාජ ඖෂධ වෙළෝදාම ඉතා බහුලව සිදු වන බවත් ඒ සදහා වගකිව යුතු වන්නේ ෆාමසි බවත් ය. නිතිපතා මෙවැනි ෆාමසි වැටලීම් සිදු වන නමුත් පොලීසියෙහි මේ සම්බන්ධ සංඛ්‍යාලේඛන නොමැත.

කෙසේ වෙතත් මේ සම්බන්ධ වරදෙන් කොටසක්‌ ෆාමසිවලට, මෙවැනි ඔසු නිපදවන කර්මාන්තකරුවන්ට මෙන් ම කිසිදු අවබෝධයකින් තොර ව බෙහෙත් ගන්නට යන රෝගීන්ට ද පැටවෙන බව එම මහාචාර්යවරයා පවසයි. මන්ද යත් ඔහුට අනුව මෙවැනි ව්‍යාජ ඖෂධ බොහෝ විට අලෙවි කරනුයේ ෆාමසිවල සිටින්නන් වෛද්‍යවරුන් ලෙස සලකන ගැනුම්කරුවන්ට බවයි. ඖෂධ මාෆියාව තුළ විශාල කාර්යභාරයක්‌ ඖෂධ ශාලා හිමිකරුවන් විසින් ඉටු කරනු ලබන බවට, එනම් ඔවුන් මේ ජාලයෙහි ප්‍රධාන පුරුකක්‌ වන බවට සාක්‌ෂ්‍ය ජාත්‍යන්තරව ලැබී ඇත. ලංකාවට අදාළව ඒ ගැන කිසිවක්‌ කිව නොහැක්‌කේ ඒ සම්බන්ධ දත්ත අප සතු ව නොමැති බැවිනි.

ලංකාවේ තත්ත්වය භයානක නැහැ, ඒත් අවදියෙන් සිටිය යුතුයි - නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල් වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා

ලංකාවේ ඖෂධ මාෆියාවක්‌ පවතිනවා යෑයි ඇතැමුන් පවසනවා. ඒ ගැන ඔබේ අදහස?

ඔය වචනයට මං කැමැති නැහැ. පළමුවෙන් ම කියන්න ඕනෙ එය සාවද්‍ය අරථකථන දෙන්නක්‌ (Misnomer) බව. මාෆියාවක්‌ කියන්නේ විශාල පිරිසක්‌ ඉතා ම හොදට සංවිධානය වෙලා කප්පම් අරගෙන මහ ව්‍යසනයක්‌, ජන පීඩනයක්‌ කරන තත්ත්වයක්‌. ලංකාවේ ඖෂධ කර්මාන්තයට අදාළ ව එහෙම තත්ත්වයක්‌ නැහැ. ලෝකයේ සමහර රටවල නම් මීට අදාළව මහා බිහිසුණු තත්ත්වයක්‌ පවතිනවා.

මගේ විශ්වාසයට අනුව නම් ඖෂධ කර්මාන්තයේ නියෑළෙන අය ගෙන් බහුතරය හොද මිනිසුන්. නරක වැඩ වනවා නම් ඒ ස්‌වල්පයක්‌ විතරයි. ඉතිං ඒ නිසා ඖෂධ මාෆියාවක්‌ කියන වදන භාවිතය සුදුසු නැහැ.

අනෙක්‌ අතට මේ කර්මාන්තයට යොමු වන බොහෝ දෙනා ඇත්තට ම ඒ කෙරෙහි යොමු වන්නේ යම් මෙහෙයක්‌ කිරීමේ අරමුණෙන්. පස්‌සේ සල්ලි විශාල ලෙස ලැබෙද්දි සුළු පිරිසක්‌ අනවශ්‍ය දේ කරන්න පෙලෙඔනවා ඇති. කොහොම වෙතත් ඖෂධ අලෙවියට අදාළව පසු විපරම් නිරතුරු කරන්න ඕනෙ කියන එකයි මගේ අදහස.

ඖෂධවේදියා හොද උපදේශකයකු විය යුතුයි - ඖෂධ විද්‍යා සංගමයේ සභාපති සුදත් හේවගේ

උක්‌ත මහාචාර්යවරයා ඔසුසල් කෙරෙහි එල්ල කළ චෝදනාවට පිළිතුරු ලබාගැනීමට අප යොමු වූයේ ඖෂධ විද්‍යා සංගමයේ සභාපති සුදත් හේවගේ මහතා වෙත ය. මේ ඔහු විදුසරට දැක්‌වූ අදහසයි.

"අපේක්‌ෂිත ප්‍රමිතියෙන් තොර ඖෂධ අලෙවිය අපේ කලාපයේ රටවල ඉතා භයානකව ප්‍රචලිත වෙමින් පවතිනවා. නමුත් අපේ රටේ මේ සදහා නීතීමය කටයුතු කිරීමට ජාතික ඖෂධ නියාමන අධිකාරියේ මැදිහත් වීමක්‌ පවතිනවා. මේ වගේ ප්‍රශ්නයක්‌ ඇති වුව හොත් ඒ ආයතනය ක්‍රියාකාරි වනවා. මං ඔය චෝදනාවට පිළිතුරු දෙන විට යමක්‌ කියන්න ඕනේ. සමහර විට ෆාමසි හරහා ඔය විදිහෙ අකටයුතුකම් වනවා ඇති. හැබැයි සුදුසුකම් සහිත යහපත් ඖෂධවේදීන් මේ කටයුතුවලට සම්බන්ධ නැහැ. හැබැයි සුදුසුකම් සහිත ඖෂධවේදීන් ඉන්නේ සීමිත සංඛ්‍යාවක්‌. ඒත් ෆාමසි තියෙනවා විශාල සංඛ්‍යාවක්‌. ඖෂධවේදීන් සිටින ෆාමසිවලත් ගැටලු ඇති වනවා. බොහෝ ඖෂධ ශාලාවල ඖෂධවේදීන් ඇතත් ඖෂධවේදීන් නොමැති ෆාමසි වෙතින් ගැටලු මතු විය හැකියි.

උසස්‌ පෙළ ජීවවිද්‍යාව කරන අය ගේ ලොකු ම අරමුණ වෛද්‍යවරයකු වීම. වෛද්‍යවරයකු වෙන්න හැමෝට ම බැහැ නෙ. ඊළගට මේ අය බලන්නේ 'සහායක වෛද්‍ය' (Para medic) සේවාවකට ඇතුළත් වන්න. එතන දී ඒ අයට ඖෂධවේදය පෙනෙනවා.

හැබැයි හොද ඖෂධවේදියකු වෙන්න උසස්‌ පෙළ විද්‍යා අංශයෙන් වැඩ තුන විතරක්‌ මදි. විභාගය සමත් වීම, පුහුණුව වගේ ම මනුෂ්‍ය සාරධර්ම අවශ්‍යයි. හැබැයි එහෙම හොද ඖෂධවේදීන් නැතුවා නො වේ. ඔබ කිවූ ආකාරයේ ප්‍රතිඵල විරහිත ඔසු විකුණන කෙනෙක්‌ව ඖෂධවේදියකු විදිහට හදුන්වන්න බැහැ. රෝගියකු ගේ ජීවිතය ගැන විශාල වගකීමක්‌ අපට (ඖෂධවේදියකුට) තියෙනවා. රෝහලක වැඩ කරන ඖෂධවේදියකු සැලකුව හොත් තියෙනවා Three Dot System කියා ක්‍රියාදාම පාලන ක්‍රියාවලියක්‌ (Process Cntrol). ඒ කියන්නේ ඖෂධවේදීන් තිදෙනකු පරීක්‌ෂා කරල තමයි ඖෂධය දෙන්නේ. මං හිතන්නේ ඖෂධ පිළිබද දැනුම තියෙන දෙන්නෙක්‌වත් ඖෂධ ලබා දීමේ ක්‍රියාවලියේ දී සම්බන්ධ වෙන්න ඕන.

ඉතින් නුසුදුසු පුද්ගලයන් සම්බන්ධ වුණා ම ගැටළු ගොඩනැෙගන්න බැරිත් නැහැ. කොහොම වෙතත් මෙවැනි ඖෂධ පිළිබද ගැටළු සමුදායක්‌ ඇත්නම් එයින් ගැලවෙන්න බෙහෙත් මිල දී ගන්න අය දැනුවත් වීමක ඉන්න ඕනෙ. විශේෂයෙන් ම රෝගියා දැන සිටින්න ඕනේ තමාට මේ ඔසුව ගැන තොරතුරු දැනගන්න අයිතියක්‌ ඇති බව.

තමන් ලබාගන්නා සියලු ඖෂධවල ඖෂධ නාම රෝගියා දැන සිටිය යුතුයි. එසේ ම ඖෂධවේදියා රෝගියාට අනිවාර්යයෙන් ම කියා සිටිය යුතු කරුණු රැසක්‌ තියෙනවා. ඖෂධය කල් ඉකුත් වන දිනය කවදා ද? එකවර මේ ඔසුව කොපමණ ගත යුතු ද? දවසකට ගන්නට ඕනෑ ප්‍රමාණය, කොපමණ කලක්‌ නොකඩවා ගත යුතු ද? ගත යුතු වන්නේ කුමන වේලාවට ද? නිදසුනක්‌ ලෙස කෑමට පෙර ද පසු ද ගත යුතු වන්නේ? කුමක්‌ සමග ද? සමහර ආහාර ගැනීම් මේ ඖෂධයට බලපානවා ද? ඔබ ගේ රැකියාවට මේ ඖෂධ බලපානවා ද? (සමහර ඖෂධ දුන් විට නින්ද යන නිසා රියදුරන් වැනි අයට ඒවා දීෙමි දී ඖෂධවේදියා විශේෂ උපදෙස්‌ ලබා දිය යුතු ය), අතුරු ආබාධ තියෙනවා ද? (අතුරු ආබාධ ඇති වන ඖෂධ රැසක්‌ ඇත) වැනි තොරතුරු කිව යුතුයි.

හැබැයි මේ හැම දෙය ම සිදු වන්නට නම් රෝගියා හා ඖෂධවේදියා අතර හොද සංකථනයක්‌ ඇති විය යුතුයි. මට ප්‍රමාද වෙලා, මට ඉක්‌මනට යන්න ඕන යන හැගීමෙන් දුවන්න බලාගෙන ෆාමසියට ගිහින් බැහැ. එවිට වෛද්‍යවරයා මොන තරම් හොද බේතක්‌ දී තිබුණත් ඵලක්‌ වෙන්නෙ නැහැ. ඖෂධවේදියා සතු ව උපදේශන කාර්යයක්‌ තියෙනවා. මේ ඖෂධ උපදේශනය රෝගියකු ගේ පැත්තෙන් හරි වැදගත්. ඖෂධවේදියකුට හොද විනයක්‌ තියෙන්න ඕනෙ. ඖෂධවේදීන් දැනුවත් කිරීමේ ව්‍යාපෘතියක්‌ අපේ සංගමය මගින් පසුගිය දා ගාල්ලෙන් ඇරඹුවා. ලබන මාසේ මාතරත් එකක්‌ තියෙනවා. ඖෂධවේදී ක්‍ෂෙත්‍රයට යොමු වන අය මේ හුදු මුදල් උපයන මගක්‌ ලෙස නො ව සේවාවක්‌ ලෙස සිතිය යුතුයි.

ප්‍රතිජීවක නියම කරන්නට ඖෂධවේදියකුට නොහැකියි - මහාචාර්ය ගීතා ප්‍රනාන්දු

ප්‍රතිජීවක (Antibiotics) නිතර ම අනවශ්‍ය ලෙස ගන්නට සමහර අය පෙලඹෙනවා. එය වරදක්‌. එසේ ම ප්‍රතිජීවක නියම කළ හැක්‌කේ වෛද්‍යවරයකුට පමණයි. ප්‍රතිජීවක ඖෂධ ප්‍රධාන වශයෙන් ම භාවිත කරනුයේ බැක්‌ටීරියා රෝගකාරක මඟින් ඇති කරන ආසාදනයන්ට ප්‍රතිකාර කිරීම උදෙසායි. ඒවා බැක්‌ටීරීයා ගණනින් වර්ධනය වීම වළක්‌වාලමින් හෝ බැක්‌ටීරීයා විනාශ කර දැමීම මගින් හෝ අවශ්‍ය ප්‍රතිපල ලබා දෙනවා. එහෙයින් අපේක්‌ෂිත ප්‍රතිඵල ලබාගැනීම සදහා නිර්දේශිත ප්‍රතිජීවක ඖෂධ ප්‍රමාණවත් මාත්‍රාවක්‌ උචිත කාල අන්තරවල දී ප්‍රමාණවත් කාලයක්‌ සදහා ලබාගැනීම වැදගත්.

ප්‍රතිජීවක ඖෂධ භාවිත කළ යුත්තේ, වෛද්‍ය නිර්දේශය මත පමණයි. ඒවා සෙම්ප්‍රතිශ්‍යාව, වයිරස නිසා සෑදෙන පාචනය හෝ අනෙකුත් වයිරස මගින් සෑදෙන රෝග තත්ත්වයන් සදහා භාවිත නො කළ යුතුයි. ප්‍රතිජීවක ඖෂධ වයිරස ආසාදනයට විරුද්ධව ක්‍රියා නො කරන අතර බොහෝ වයිරස ආසාදන අදාළ පුද්ගලයා ගේ ප්‍රතිශක්‌තිකරණ පද්ධතිය මගින් ඉබේ ම සුව කරනු ඇති.

අනුචිත ලෙස ප්‍රතිජීවක ඖෂධ භාවිත කිරීම නිසා "ප්‍රතිජීවක ප්‍රතිරෝධය" ((Antibiotic Resistance) ලෙස හැදින්වෙන තත්ත්වය ඇති විය හැකියි. එහි ප්‍රතිඵලය වනුයේ සමහර බැක්‌ටීරියා ආසාදනයන්ට ප්‍රතිජීවක ඖෂධ භාවිත කළ විට කිසිදු ඵලදායිතාවක්‌ නොමැති වීමයි. ප්‍රතිජීවක ප්‍රතිරෝධය ලෝකය පුරා ම දැකිය හැකි අහිතකර තත්ත්වයක්‌. මේ ප්‍රතිරෝධය වර්ධනය අවම කිරීම සදහා පහත නිර්දේශ පිළිපැදිය යුතුයි.

අවශ්‍ය අවස්‌ථාවන්හි දී පමණක්‌ ප්‍රතිජීවක ඖෂධ භාවිත කිරීම.

වෛද්‍ය නිර්දේශයකින් තොර ව ප්‍රතිජීවක ඖෂධ භාවිතයෙන් වැළකීම.

නියමිත මාත්‍රාව, නිර්දේශිත මුළු කාලය සදහා ම භාවිත කිරීම, නියමිත මාත්‍රාව සහ ගත යුතු කාලය සදහා වෛද්‍යවරයා ගේ උපදෙස්‌ පිළිපදින්න.

රෝග තත්ත්වය තරමක්‌ යහපත් අතට හැරෙන විට ප්‍රතිජීවක ඖෂධ නිවස තුළ තබා නො ගන්න. එසේ ම වෙනත් අයකු හට ඒවා ලබා දීමෙන් ද වළකින්න.

ප්‍රතිජීවක ඖෂධ භාවිතයට පෙර ඒවායෙහි කල් ඉකුත් වීමේ දිනය පරීක්‍ෂා කර බලන්න.

ඔබේ වෛද්‍යවරයා විසින් නියම කරනු ලබන නිශ්චිත අවස්‌ථාවල දී හැර බැක්‌ටීරියා ආසාදනයක්‌ ඇති වීම වැළැක්‌වීමට ප්‍රතිජීවක ඖෂධ භාවිත නො කළ යුතු ය.

පෙනිසිලීන් (Penicillin) වැනි ප්‍රතිජීවක ඖෂධ හේතුවෙන් ආසාත්මික (allergy) හෝ අතිසංවේදී ප්‍රතික්‍රියා ඇති වීමට පුළුවන්. කැසීම, සමේ පලු පිට දැමීම, ඇස්‌ වටා ඉදිමීම ආදි ලක්‌ෂණ ඇති විය හැකි යි. ආසාත්මික ප්‍රතික්‍රියාවක්‌ ඇති වුව හොත් ඖෂධය ගැනීම ඉක්‌මනින් ම නතර කර වෛද්‍යවරයා හමු වී උපදෙස්‌ පතන්න. උග්‍ර ලෙස ප්‍රතික්‍රියා (anphylaxis) ඇති වුව හොත් ජීවිතයට තර්ජනයක්‌ පවා ඇති විය හැකියි. එවැනි විටෙක ඉක්‌මනින් ම රෝගියා රෝහල්ගත කර ප්‍රතිකාර ලබා දිය යුතුයි. හුස්‌ම ගැනීමේ අපහසුතාව, රුධිර පීඩනය අඩු වීම, වමනය සහ සිහි මූර්ජා වී ඇද වැටීම මෙවැනි තත්ත්වයක දී ඇති විය හැකි සමහර රෝග ලක්‌ෂණ. පෙනිසිලින් හෝ වෙනත් ප්‍රතිජීවක ඖෂධයකට ආසාත්මික ප්‍රතික්‍රියාවක්‌ ඇති වී තිබේ නම් ප්‍රතිකාර ගැනීමට ගිය විට ඒ බව ඔබේ වෛද්‍යවරයාට දැන්වීමෙන් වෙනත් සුදුසු ප්‍රතිජීවක ඖෂධයක්‌ ලබා දීමේ අවස්‌ථාව සැලසෙනවා. ඇති විය හැකි අහිතකර බලපෑම් සහ එම තත්ත්වයන් අවම කර ගැනීමට ගත යුතු පියවර පිළිබදව වෛද්‍යවරයා ගෙන් අසා දැනගන්න.

ආසාදනයේ බරපතළකම අනුව ප්‍රතිජීවක ඖෂධ මුඛ මාර්ගයෙන් හෝ නික්‌ෂේපණ (injection) වශයෙන් හෝ ලබාගත හැකියි.

සමහර ප්‍රතිජීවක ඖෂධ දේහයට අවශෝෂණය ආහාර මගින් අඩු කළ හැකියි. එරිත්‍රොමයිසින්, මෞඛ පෙනිසිලින් (Erythromycin, oral Penicillin) වැනි ඖෂධ ආහාරයට පෙර ලබා දීමෙන් අවශෝෂණය වැඩි වනවා. එනිසා ප්‍රතිජීවක ඖෂධ ලබා දීම කළ යුත්තේ ආහාරයට පෙර ද පසු ද ආදි වශයෙන් වන තොරතුරු වෛද්‍යවරයා ගෙන් අසා දැන ගන්න.

ගර්භණී මවුවරුන්ට සමහර ප්‍රතිජීවක ඖෂධ පමණක්‌ ආරක්‌ෂාකාරීයි. තවත් සමහරක්‌ භ්‍රෑණයට හානිදායක විය හැකියි. ගර්භණී සමයේ දී කිසිදු ඖෂධයක්‌ වෛද්‍ය නිර්දේශයෙන් තොර ව ලබා නො ගත යුතු අතර සැම අවස්‌ථාවක දී ම ඔබේ ගර්භණී භාවය පිළීබදව ඖෂධ නිර්දේශ කරන වෛද්‍යවරයාව දැනුවත් කිරීම ඉතා වැදගත්.

නිතරම භාවිතවන ප්‍රතිජීවක ඖෂධ ගැන ඔබ දැන සීටීම වැදගත්.

සුලබව භාවිත කරන ප්‍රතිජීවක ඖෂධ සදහා උදාහරණ පහත දැක්‌වෙනවා.

ඇමොක්‌සිලීන් (Amoxicillin),

ක්‌ලොක්‌සසිලින් (Cloxacillin),

බෙන්සයිල්පෙනිසිලින් (Benzylpenicillin),

කොඇමොක්‌සික්‌ලැව් (Co-amoxiclav),

එරිත්‍රොමයිසින් (Erythromycin),

සිප්රොෆ්ලොක්‌සසින් (Ciprofloxacin),

සෙෆලෙක්‌සින් (Cefalexin),

ටෙට්‍රාසයික්‌ලින් (Tetracycline)

මනෝඡ් රත්නායක