logo3.gif (702 bytes)

arrow7.gif (1098 bytes)


නිවර්තන වනාන්තර හා පශු පාලනයේ ඉහළ හරිතාගාර විමෝචන

දේශගුණ වෙනස්‌ වීම සඳහා බලපාන හරිතාගාර වායු විමෝචන පිළිබඳව බොහෝ දේ අපි මේ වන විට ද දනිමු. එහෙත් මේ පිළිබඳව වැදගත් කරුණු වරින් වර සිදු කරනු ලබන නව පර්යේෂණවලින් අනාවරණය වේ. ඇතැම් අවස්‌ථාවල දී මෙතෙක්‌ ඒ ප්‍රභව සම්බන්ධව දැන නො සිටි කරුණු අනාවරණය වන අතර තවත් අවස්‌ථාවල දී අප දැන සිටි කරුණු වඩා නිවැරැදි කිරීම සිදු වේ.

මේ ලිපිය ලියෑවෙන්නේ මැතක දී පළ වූ අධයයන දෙකකින් හෙළි වී ඇති කරුණු සම්බන්ධව ය. ඉන් එක්‌ අධ්‍යයනයකින් කියෑවෙන්නේ නිවර්තන වනාන්තරවලින් නිකුත් වන හරිතාගාර වායු විමෝචන ප්‍රමාණය ඒවායින් අවශෝෂණය කරන වායු විමෝචන ප්‍රමාණය ඉක්‌මවා ගොස්‌ ඇති බව ය. මේ නිසා වනාන්තර තවදුරටත් කාබන් තිර කරන සේ සැලකිය හැකි ද යන ගැටලුව මතු වේ.

අනෙක්‌ අධ්‍යයනයේ දී අවධානය යොමු ව ඇත්තේ පශු පාලන අංශයෙන් නිකුත් වන මීනේත් වායු විමෝචන පිළිබඳව වෙයි. මීතේන් වායුව ද ප්‍රබල හරිතාගාර වායුවකි. එම අධ්‍යයනයෙන් කියෑවෙන ආකාරයට එම අංශයේ විමෝචන ප්‍රමාණය මේ වන විට ගණන් බලා ඇත්තේ සත්‍ය ප්‍රමාණයට වඩා අඩු ප්‍රමාණයක්‌ ලෙස ය.

වනාන්තරවලින් හරිතාගාර වායු විමෝචන නිකුත් වේ

නිවර්තන වනාන්තර යනු හරිතාගාර වායු අවශෝෂණය කරනු ලබන පරිසර පද්ධතියකි. ඒ නිසා කාබන් සංචිතයක්‌ ලෙස එය වැදගත් බව සාමාන්‍ය පිළිගැනීමයි. ශාක වර්ධනයේ දී මෙසේ කාබන් සංචිත කිරීම සිදු වේ. එහෙත් ශ්වසනයේ දී හා කාබනික ද්‍රව්‍ය දිරාපත් වීමේ දී වනාන්තරයකින් කාබන් ඩයොක්‌සයිඩ් විමෝචනය වීමක්‌ ද සිදු වේ. එහෙත් සාමාන්‍යයෙන් නිවර්තන වනාන්තරවල ශුද්ධ කාබන් අවශෝෂණයක්‌ සිදු වන බව විශ්වාස කරනු ලැබේ. එහෙත් පසුගිය දා ප්‍රකාශයට පත් අධ්‍යයනයකට අනුව නිවර්තන වනාන්තරවල හරිතාගාර වායු විමෝචන ප්‍රමාණය, අවශෝෂණය කරනු ලබන ප්‍රමාණය ඉක්‌මවා ඉහළ ගොස්‌ ඇත.

දකුණු ඇමෙරිකාවේ, අප්‍රිකාවේ හා ආසියාවේ පිහිටා ඇති නිවර්තන වනාන්තර මගින් මෑතක්‌ වන තුරු ම හරිතාගාර වායු විමෝචන අවශෝෂණය සම්බන්ධව වැදගත් මෙහෙයක්‌ ඉටු කරනු ලැබූයේ වනාන්තර වර්ධනය වීමේ දී ය. එහෙත් මේ වනාන්තර හායනයට ලක්‌ ව තිබීම නිසා හරිතාගාර වායු විමෝචන අවශෝෂණය කරන ප්‍රමාණයට වඩා විමෝචනය වන ප්‍රමාණය අධික වී තිබේ. මේ අධ්‍යයනයේ දී හෙළි වී ඇකි පරිදි, මේ වනාන්තර මගින් වාර්ෂිකව හරිතාගාර වායු ටෙට්‍රා ග්‍රෑම් 436ක්‌ අවශෝෂණය කරයි. එහෙත් වනාන්තරවලින් වර්ෂයක දී විමෝචනය කරනු ලබන හරිතාගාර වායු විමෝචන ප්‍රමාණය වාර්ෂිකව ටෙට්‍රා ග්‍රෑම් 861ක්‌ පමණ වේ. මේ අනුව වාර්ෂිකව ටෙට්‍රා ග්‍රෑම් 425ක ප්‍රමාණයක හරිතාගාර වායු විමෝචන නිවර්තන වනාන්තරවලින් වාර්ෂිකව නිකුත් වේ. එනම් කාබන් හානියක්‌ සිදු වේ. සංසන්දනාත්මකව ගත හොත් මේ සමස්‌ත වෙනස ඇමෙරිකාවේ ධාවනය වන රථවාහන මගින් විමෝචනය වන හරිතාගාර වායු විමෝචන ප්‍රමාණයට වඩා අධික බව දක්‌වා තිබේ.

මෙහි දී හෙළි වූ ආකාරයට වනාන්තර මගින් අපේක්‌ෂිත කාබන් තිර කිරීමේ කාර්යභාරය ඉටු නො වීම එක්‌තරා ආකාරයකින් විස්‌මයට කරුණකි. එහෙත් ඒ සඳහා හේතුවක්‌ ඇත. වනාන්තරවල දැකිය හැකි ශාකවලින් වායුගෝලයෙන් කාබන් ඩයොක්‌සයිඩ් වායුව ඉවත් කිරීම සුපුරුදු පරිදි ම සිදු කරයි. එහෙත්, වනාන්තරයෙන් නිකුත් වන හරිතාගාර වායු ප්‍රමාණයට වඩා හරිතාගාර වායු විමෝචන අවශෝෂණය කරගැනීමට තරම් වනාන්තරයේ ශාකවලට හැකියාවක්‌ නො තිබීම මේ ගැටලුවට හේතු වී තිබේ. ඒ වනාන්තර හායනයට ලක්‌ ව තිබීම නිසා ය. මේ අනුව නිවර්තන කලාපයේ වනාන්තර ප්‍රදේශ සමහරක්‌ තවදුරටත් කාබන් තිර කරන ප්‍රදේශ නො වේ.

මේ අධ්‍යයනය සඳහා මේ විෂය පිළිබඳව මෙතෙක්‌ සිදු කරන ලද සවිස්‌තර ම ක්‍රමවේදය යොදාගෙන තිබීම නිසා මෙමගින් හෙළිදරව් වන කරුණු වැදගත් වේ. මෙහි දී වන හායනය (degradation) හා බාධා කිරීම (disturbance) පමණක්‌ නො ව වෙනත් කරුණු සම්බන්ධව ද අවධානය යොමු කර තිබේ. නිදසුනක්‌ ලෙස ගත හොත්, ශාක ඝනත්වය තුනී වීම, වනාන්තරයේ වියන් ස්‌තරය එසේ ම තිබිය දී පහළ පිහිටි ශාක ස්‌තර අහිමි වීම වැනි කරුණු පිළිබඳව මෙහි දී අවධානය යොමු ව ඇත. මේ දෙවනුව කී කරුණ ඇති වීමට වරණීය දැව හෙළීම්, ලැව් ගිනි ආදිය බලපායි. මේ නිසා වනාන්තරවල ජෛව ස්‌කන්ධය 75%ක්‌ පමණ ප්‍රමාණයකින් අඩු විය හැකි නමුත් චන්ද්‍රිකා ඡායාරූප මගින් සිදු කරන අධ්‍යයනයවල දී මේවා නිරීක්‌ෂණය නො වේ. ඉහළ අහසේ සිට ලබාගන්නා චන්ද්‍රිකා ඡායාරූපවලින් පෙනෙන්නේ හානියට ලක්‌ නො වූ රුක්‌ වියනක්‌ වීම මීට හේතුවයි. එයට යටින් ඇති හානියට හා හායනයට ලක්‌ වූ වනාන්තරයේ තත්ත්වය එයට නිරීක්‌ෂණය වන්නේ නැත.

උක්‌ත අධයයනයේ දී වසර 12ක (2003-2014) චන්ද්‍රිකා ඡායාරූප මෙන්ම ක්‌ෂේත්‍ර අධ්‍යයන දත්ත ද සංයෝජනය කර ඇත. එහි දී ඔවුන්ට පෙනී ගොස්‌ ඇති පරිදි වැඩි ම කාබන් හානියක්‌ සිදු ව ඇත්තේ වන හායනයෙන් හා වනාන්තරවලට සිදු වන බාධා කිරීම් නිසා ය. එය සමස්‌ත හානියෙන් 68.9%ක්‌ පමණ ප්‍රමාණයකට හේතු වේ. වනාන්තර විනාශයෙන් සිදු ව ඇති හානිය ඊට වඩා අඩු ය. වන හායනය මෙතරම් බරපතළ වූවක්‌ බව පර්යේෂකයන් මීට පෙර අපේක්‌ෂා නො කළ දෙයකි. මේ තත්ත්වය නිවර්තන වනාන්තර පිහිටි සැම මහාද්වීපයක ම පාහේ සිදු ව ඇත. (මූලාශ්‍රය: Science , DOI: 10.1126/science.aam5962).

ගවයන් ගෙන් නිකුත් වන මීතේන් විමෝචන අධිකයි

පශු පාලන අංශයෙන් නිකුත් වන හරිතාගාර වායු විමෝචන ප්‍රමාණය කලින් ඇස්‌තමේන්තු කළ ප්‍රමාණයට වඩා ඉහළ අගයක්‌ ගන්නා බව ද පසුගිය දා නිකුත් වී ඇති තවත් අධ්‍යයනයක්‌ මගින් හෙළි කර ඇත. එක්‌ සත්ත්වයකුට සාපේක්‌ෂව නිකුත් කරනු ලබන විමෝචන ප්‍රමාණය පිළිබඳ කරනු ලැබ ඇති සංශෝධිත ගණනය කිරීම් අනුව, 2011 වර්ෂයේ දී ලෝකයේ පශු පාලන අංශයේ විමෝචන ප්‍රමාණය ඇස්‌තමේන්තු ප්‍රමාණයට වඩා 11%ක්‌ පමණ ඉහළ වේ. මේ ඇස්‌තමේන්තුගත ප්‍රමාණය ගණනය කර ඇත්තේ එක්‌සත් ජාතීන් ගේ දේශගුණ වෙනස්‌ වීම පිළිබඳ අන්තර්-රාජ්‍ය මණ්‌ඩලයේ (IPCC) 2006 වර්ෂයේ දත්ත මත පදනම් ව ය.

මේ අනුව 2011 වර්ෂයේ සමස්‌ත මීතේන් විමෝචන ප්‍රමාණය ටෙට්‌රා ග්‍රෑම් 119.1ක්‌ පමණ වේ. එයට ආන්ත්‍රික ක්‍රියාවලියෙන් පිට වන මීතේන්වල (enteric fermentation methane) 8.4%ක ඉහළ යැමක්‌ ද, අපද්‍රව්‍ය කළමනාකරණ මීතේන්වල (manure management methane) 36.7%ක ඉහළ යැමක්‌ ද ඇතුළත් වේ. මේ අධ්‍යයනයට අනුව, පශු පාලනයෙන් නිකුත් වන මීතේන් විමෝචන ප්‍රමාණය කැපී පෙනෙන ආකාරයෙන් ඉහළ ගොස්‌ ඇත්තේ ආසියාවේ, දකුණු ඇමෙරිකාවේ හා අප්‍රිකාවේ දියුණු වන රටවල ය. ඇමෙරිකාවේ හා කැනඩාවේ මේ ඉහළ යැමේ කැපී පෙනෙන වෙනසක්‌ නොමැති අතර, යුරෝපයේ මීතේන් විමෝචන ප්‍රමාණය පහළ ගොස්‌ තිබේ.

ලෝකයේ බොහෝ ප්‍රදේශවල සතුන් අභිජනනය මගින් විශාල ප්‍රමාණයේ සතුන් බිහි ව ඇති අතර, මේ සතුන් වැඩි ආහාර ප්‍රමාණයක්‌ ආහාරයට ගැනීම ද සිදු වේ. මේ හේතුව නිසා ද, පශු සම්පත් කළමනාකරණයේ ඇති වූ වෙනස්‌කම් නිසා ද මීතේන් වායු විමෝචන ඉහළ ගොස්‌ ඇති බව පර්යේෂකයන් පෙන්වා දී ඇත. මේ පර්යේෂකයන්ට අනුව කලින් සකස්‌ කළ ඇස්‌තමේන්තු පදනම් ව ඇත්තේ යල් පැන ගිය දත්ත මත වීම මීට හේතුවයි.

වෙනත් පර්යේෂණවලින් හෙළි ව ඇති ආකාරයට ද 2000 සිට 2006 අතර කාලයේ දී වඩා සෙමින් ඉහළ ගොස්‌ ඇති වායුගෝලයේ මීතේන් වායු සාන්ද්‍රණය ඉන්පසුව වඩා වේගවත් ව ඉහළ ගොස්‌ තිබේ. පසුගිය දශකයේ දී පමණ මීතේන් වායු සාන්ද්‍රණය දස ගුණයකින් පමණ වර්ධනය වීම මීට නිදසුනකි. මීතේන් වායුව වායුගෝලයට එක්‌ වන ස්‌වාභාවික ක්‍රම වන්නේ පීට්‌ බිම්, තෙත්බිම් හා වේයන් වැනි ක්‍රම ය. එසේ ම මිනිසුන් ගේ ක්‍රියාකාරකම් මගින් මීතේන් එක්‌ වන ආකාර දෙකක්‌ දැකිය හැකි ය. ඉන් එකක්‌ වන්නේ ගල් අගුරු, තෙල් හා ස්‌වාභාවික වායු නිෂ්පාදනයේ දී හා ප්‍රවාහනයේ දී සිදු වන කාන්දු වීම් ය. අනෙක ගවයන් හා බැටළුවන් වැනි රෝමන්ථයන් ගේ ආහාර ජීර්ණ ක්‍රියාවලියේ දී හා කාබනික ද්‍රව්‍ය දිරාපත් වීමේ දී ය. මිනිසුන් ගේ ක්‍රියාකාරකම් නිසා වායුගෝලයට නිකුත් වන මීතේන් වායු ප්‍රමාණය සමස්‌ත මීතේන් වායු විමෝචනවලින් තුනෙන් දෙකක්‌ පමණ වේ.

2015 වර්ෂයේ සංඛ්‍යාලේඛනවලට අනුව ලෝකයේ හරිතාගාර වායු විමෝචනවලින් 16%ක්‌ මීතේන් වායුව වේ. එහෙත්, එම වායුවට කාබන් ඩයොක්‌සයිඩ් වායුවට වඩා සූර්ය විකිරණ අවශෝෂණය කරගත හැකි බැවින් එහි හරිතාගාර ආචරණ විභවය ඉහළ ය. එහෙත් අනෙක්‌ අතට මීතේන් වායුව වායුගෝලයේ පවත්නා කාලය කාබන් ඩයොක්‌සයිඩ් වායුවට වඩා අඩු ය. මේ කරුණු සියල්ල සලකා බලන විද්‍යාඥයන් ගේ අදහස වන්නේ මේ වායුවේ හරිතාගාර වායු හැකියාව කාබන් ඩයොක්‌සයිඩ් වායුව මෙන් 28 ගුණයක්‌ ඉහළ බවයි. (මූලාශ්‍රය( Carbon Balance and Management., DOI: 10.1186/s13021-017-0084-y).

ඉදිරි අභියෝගය

මේ අධ්‍යයන දෙකෙන් ම හෙළි වන කරුණු මගින් පෙනෙන්නේ මේ තත්ත්වය දේශගුණ වෙනස්‌ වීම පාලනය කිරීමෙහි ලා අතිරේක අභියෝගයක්‌ විය හැකි බවයි. මේ තත්ත්වය නිසා දේශගුණ වෙනස්‌ වීමට විසඳුමක්‌ ලබාගැනීම සඳහා ලෝකය ම අපේක්‌ෂා තබාගෙන සිටින පැරිස්‌ දේශගුණ ඉලක්‌කවලට ළගා වීම අභියෝගයක්‌ වීම වළක්‌වාගැනීමට නම් කඩිනමින් හා ක්‍රියාකාරීව කටයුතු කිරීමට සිදු වනු ඇත.

නිදසුනක්‌ ලෙස ගත හොත්, වනාන්තර පිළිබඳ ගැටලුවේ දී ප්‍රතිපත්ති සම්පාදකයන් කඩිනමින් කිසියම් පියවරක්‌ ගැනීම වැදගත් බව පර්යේෂකයන් ගේ අදහසයි. මේ තත්ත්වය වළක්‌වාගැනීමට නම් නිවර්තන වනාන්තර ආරක්‌ෂා කිරීමට හා ප්‍රතිස්‌ථාපනය කිරීමට අවශ්‍ය පියවර ගැනීම වැදගත් වේ. නිවර්තන වනාන්තර නැවතත් කාබන් අවශෝෂණය කර තිර කරන තත්ත්වයකට පත් කිරීම සඳහා එය අත්‍යවශ්‍ය බව ඔවුන් ගේ අදහසයි.

එසේ ම පශුපාලන අංශයේ විමෝචන පාලනය සඳහා ද කටයුතු කිරීම ද වැදගත් වේ. නිදසුනක්‌ ලෙස ගත හොත් පශු පාලන අංශයේ විමෝචන ඉහළ යැමට එක්‌ හේතුවක්‌ වන්නේ මිනිසුන් ගේ ආහාර වේලෙහි මස්‌ හා කිරි ආහාර ප්‍රමාණය තවදුරටත් ඉහළ යැම ය. මිනිස්‌ ආහාරයේ කිරි හා මාංශ ආහාර ප්‍රමාණය අඩු කළ හැකි නම්, එය පශු පාලන අංශයේ විමෝචන අඩු කිරීම සඳහා හේතු වනු ඇත. එසේ ම මේ සතුන් ගේ විමෝචන අඩු කළ හැකි ක්‍රම සම්බන්ධව ද අවධානය යොමු ව තිබේ.

ධනේෂ් විසුම්පෙරුම