logo3.gif (702 bytes)

arrow7.gif (1098 bytes)


ගාල්ල ලබුදූව වී පර්යේෂණ ආයතනයෙන් වී වගාවේ යෙදෙන ගොවීන් සදහා හඳුන්වා දෙන 'ගොවි වෙදැදුරු' e චැනලින් සේවාව

වී වගාවේ ඇති වන රෝග හා පළිබෝධ හානි නිවැරැදි ලෙස හදුනාගෙන ඒවා පාලනය සදහා ගොවීන්ට ගොවි බිමේ සිට ම විශේෂඥ උපදෙස්‌ ලබාගත හැකි 'e චැනලින්' සේවාවක්‌ ගාල්ල ලබුදූව වී පර්යේෂණ ආයතනයේ ජීවා පොන්නම්පෙරුමආරච්චි මහත්මිය විසින් පර්යේෂණ මට්‌ටමින් හඳුන්වා දෙනු ලැබ තිබේ. "ගොවි වෙදැදුරු" ලෙස නම් කර ඇති මේ e චැනලින් සේවාව පිළිබදව වැදගත් මූලික තොරතුරු අනාවරණය කිරීම මේ සාකච්ඡාවෙන් සිදු කෙරේ.

ප්‍රශ්නය - වී වගාවේ යෙදෙන ගොවීන් වෙනුවෙන් මෙවැනි සේවාවක්‌ ඇරඹීමට මුල් වූ හේතු මොනවා දැයි පැහැදිලි කළ හැකි ද?

පිළිතුර - වී වගාවේ රෝග, පළිබෝධ, වල් පැළෑටි සහ පාංශු වැනි ක්‍ෂෙත්‍ර ගැටලු නිසා අස්‌වැන්න 20% - 30% දක්‌වා ප්‍රමාණයකින් අඩු වන බව සොයාගෙන තිබෙනවා. මේ නිසා නිෂ්පාදන වියදම ඉහළ යැමෙන් වගාවේ ඵලදායිතාව අඩු වන බව දක්‌නට ලැබෙනවා. කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් වී වගාවේ ක්‍ෂෙත්‍ර ගැටලු සදහා නොයෙක්‌ පර්යේෂණ සිදු කර සාර්ථක නිර්දේශ ලබා දී ඇතත් මේවා ගොවීන් විසින් යොදාගනු ලැබීම බලාපොරොත්තු වන මට්‌ටමෙන් සිදු නො වන බව පෙනී ගොස්‌ තිබෙනවා.

ප්‍රශ්නය - එසේ වීමට කවර හේතු බලපානවා ද?

පිළිතුර - ගොවීන් අතර නව දැනුම හා තාක්‌ෂණය ව්‍යාප්ත කිරීම කෘෂිකර්ම ව්‍යාප්ති අංශ මඟින් ඉටු කෙරෙන නමුත් ක්‍ෂෙත්‍ර ගැටලු විසදීමේ දී එක්‌ එක්‌ ගොවියා ගේ ක්‌ෂේත්‍රයට ගොස්‌ එම ගැටලු විසඳීමට ප්‍රමාණවත් නිලධාරීන් සංඛ්‍යාවක්‌ නැහැ. ඒ වගේ ම කලින් කලට ඇති වන පළිබෝධ වසංගත, සංකීර්ණ රෝග තත්ත්ව නිවැරැදි ව හදුනාගෙන විසදුම් ලබා දීමට අවශ්‍ය විශේෂිත දැනුම නොමැති වීමත් ගොවීන්ට ඇති වන ක්‍ෂෙත්‍ර ගැටලුවලට නිසි විසදුම් ලබා දීමට බාධාවක්‌ වී තිබෙනවා.

ගොවීන්ට බොහෝ විට තම කුඹුරේ ඇති වන රෝග හා පළිබෝධ හානි පිළිබදව නිසි අයුරින් උපදෙස්‌ නො ලැබීම නිසා අනවශ්‍ය කෘෂි රසායන යෙදීමත්, ඒවා අනවශ්‍ය ප්‍රමාණවලින් යෙදීමත් බොහෝ විට දක්‌නට ලැබෙනවා. දිලීර නාශකවලින් කිසිසේත් මර්දනය නො වන බැක්‌ටීරීයා රෝගවලට ගොවීන් කෘෂි රසායන යෙදීම නිදසුනක්‌ ලෙස පෙන්වා දිය හැකියි. මේ නිසා ගොවීන් කෘෂි රසායන සදහා අනවශ්‍ය ලෙස මුදල් වැය කරන අතර පරිසරයට ද අනවශ්‍ය ලෙස කෘෂි රසායන මුදා හැරීම ද සිදු වනවා.

ප්‍රශ්නය - මේ 'ගොවි වෙදැදුරු' මොබයිල් ඇප් එක සහ වෙබ් අඩවිය හදුන්වා දීම මගින් ලබාගත හැකි යෑයි බලාපොරොත්තු වන ප්‍රතිලාභ මොනවා ද?

පිළිතුර - වී වගාව ඇතුළු සියලු ම බෝගවල ඇති වන පළිබෝධ හා රෝග පිළිබද දත්ත බැංකුවක්‌ අප සතු ව නැති අතර එවැනි දත්ත එකතු කිරීමේ ක්‍රමවේදයක්‌ ද නැහැ. මේ ගැටලුවලට සාර්ථක විසදුමක්‌ ලබා දීමේ අපේක්‌ෂාවෙන් බතලගොඩ වී පර්යේෂණ හා සංවර්ධන ආයතනය යටතේ ඇති ලබුදූව වී පර්යේෂණ ආයතනයේ ශාක ආරක්‍ෂණ අංශයෙන් e පළිබෝධ සමීක්‌ෂණ පද්ධතිය, ගොවි වෙදැදුරු මොබයිල් ඇප් එක හා ගොවි වෙදැදුරු වෙබ් අඩවිය නිර්මාණය කර තිබෙනවා.

ප්‍රශ්නය - තම වගාවට ඇති වන රෝග හා පළිබෝධ හානිවලට විසදුම් ලබාගැනීමට අවශ්‍ය ගොවීන් මේ සේවාව ලබාගැනීම සඳහා අනුගමනය කළ යුතු ක්‍රමවේදය පැහැදිලි කරන්න.

පිළිතුර - ශ්‍රී ලංකාවේ වී ගොවීන් ගේ පළිබෝධ හා රෝග ඇතුළු ක්‍ෂෙත්‍ර ගැටලු ස්‌මාර්ට්‌ ජංගම දුරකථනයක්‌ හරහා වෙබ් අඩවිය වෙත එවීමෙන් ගොවීන්ට අවශ්‍ය විසදුම් ලබාගැනීමට මේ මගින් අවස්‌ථාව තියෙනවා. ගොවි වෙදැදුරු නමින් හදුන්වන මේ මොබයිල් ඇප් එක ස්‌මාර්ට්‌ ජංගම දුරකථනවල ඇති Play Store හරහා බාගත කළ හැකියි. කුඹුරු ගොවීන් සදහා පරිශීලන නාමයන් හා රහස්‌ අංකයන් ලබා දී ගොවීන් ලියාපදිංචි කිරීමෙන් අනතුරුව ඇප් එක භාවිත කළ හැකියි. මේ සදහා අදාළ බල ප්‍රදේශයේ කෘෂිකර්ම ව්‍යාප්ති නිලධාරීන් ගේ සහාය ලබාගත හැකියි. දැනට මෙය ගාල්ල දිස්‌ත්‍රික්‌කයේ ලබුදූව කුරුන්දයාය, යක්‌කලමුල්ල විලවල යාය, බද්දේගම ලේල්කඩ යාය, හබරාදුව ඉදුරන්නේවිල යාය, පිටිගල උහන්ඕවිට යාය යන යායවල ගොවීන් 50 දෙනකු පමණ සමග සම්බන්ධ වී 2017 යල කන්නයේ සිට අත්හදාබැලීමේ පදනමින් සිදු කරනවා.

ප්‍රශ්නය - මෙසේ ලියාපදිංචි වූ පසු ගොවීන්ට අවශ්‍ය උපදෙස්‌ ලබාගැනීමට අනුගමනය කළ යුතු ක්‍රමවේදය කුමක්‌ ද?

පිළිතුර - ඇප් එක හරහා කුඹුරේ තිබෙන රෝග හා පළිබෝධ පිළිබද විස්‌තර, වගාවේ තොරතුරු සහිතව ඡායාරූප 5ක්‌ ඇමිණීමෙන් "ගොවි වෙදැදුරු" වෙබ් අඩවියට අප්ලෝඩ් කළ යුතුයි. මේ තොරතුරු හා ඡායාරූප විශ්ලේෂණය කිරීමෙන් පසුව ගොවි වෙදැදුරු වෙබ් අඩවිය හරහා ම ගොවීන් ගේ ජංගම ස්‌මාර්ට්‌ දුරකථන වෙත රෝග පළිබෝධය කුමක්‌ ද යන්නත් විසදීම සදහා නිර්දේශයනුත් යවනු ලබනවා. මොබයිල් ඇප් එක සහ යවනු ලබන පණිවිඩය සිංහල භාෂාවෙන් නිර්මාණය කර තිබෙන නිසා ගොවීන්ට මේ සමග කටයුතු කිරීම පහසු වනවා. නිsර්දේශය ක්‍රියාත්මක කිරීමෙන් පසු එය සාර්ථක වූවා ද නැද්ද යන ප්‍රතිචාරය ද බැලිය හැකි ය.

ප්‍රශ්නය - මෙසේ ගොවීන් ගෙන් ලැබෙන දත්ත විශ්ලේෂණ කිරීමෙන් අනතුරුව ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග මොනවා ද?

පිළිතුර - දත්ත ගබඩාවේ දත්ත විශ්ලේෂණය මගින් කෘෂිකර්ම උපදේශන බල ප්‍රදේශ මට්‌ටමින් යම් කාල පරිච්ඡේදයක දී එක්‌ එක්‌ පළිබෝධ රෝග වාර්තා වීම සහ ප්‍රවනතා ප්‍රස්‌තාර මගින් දැක්‌විය හැකි අතර අදාළ බල ප්‍රදේශවල කෘෂි උපදේශකවරුන්ට එය බලා ගැනීමට හැකියි.

එක්‌ එක්‌ පළිබෝධ රෝග ඇති වී තිබෙන්නේ කුමන ක්‍ෂෙත්‍රවලට ද යන්න සිතියම්ගත වන අතර ඒ මගින් වගා කන්නයක දී තම බල ප්‍රදේශයේ ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වීමට ප්‍රවනතාවක්‌ ඇති පළිබෝධ රෝග කුමන ප්‍රදේශයට ව්‍යාප්ත වන්නේ දැයි අදාළ ව්‍යාප්ති නිලධාරීයාට නිරීක්‌ෂණය කිරීමට හැකිය. ඒ අනුව සුදුසු ක්‍රියාමාර්ග ගැනීමට ඔවුන්ට හැකියාව ලැබෙනවා.

අවුරුදු කිහිපයක්‌ තුළ එකතු වන දත්ත විශ්ලේෂණය කිරීමෙන් පුරෝකථන ආකෘති සෑදිය හැකි අතර ඒ අනුව පර්යේෂණ හා ව්‍යාප්ති වැඩසටහන් සැලසුම් කළ හැකියි.

ප්‍රශ්නය - මේ නව වැඩසටහන ක්‍රියාත්මක කිරීමට ඇති විය හැකි බාධා මොනවා ද?

පිළිතුර - ගොවීන් අතරස්‌මාර්ට්‌ ජංගම දුරකථන වැඩි වශයෙන් ප්‍රචලිත ව නොමැතිකම මෙය ක්‍රියාත්මක කිරීමට බාධාවක්‌ ලෙස පෙනෙනවා. නමුත් යායේ ගොවීන් කිහිප දෙනකුට හෝ ස්‌මාර්ට්‌ ජංගම දුරකථන තිබෙනවා. ඒ හරහා වුවත් අනෙකුත් ගොවීන්ට ද තම ගැටලු විසදාගත හැකියි. ප්‍රදේශයේ කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාර හා කෘෂිකර්ම උපදේශක නිලධාරීන්ට ස්‌මාර්ට්‌ දුරකථනයක්‌ ඇත්නම් ගොවීන්ට මේ සදහා උපකාර කළ හැකියි.

ප්‍රශ්නය - මේ කටයුතු සදහා ඔබට අදාළ ආයතනවලින් සහ පුද්ගලයන් ගෙන් ලැබුණු සහාය කොහොම ද?

පිළිතුර - කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ වී වගාවේ කීට විද්‍යා සහ ව්‍යාධිවිද්‍යා පර්යේෂකයකු ලෙස මේ e - පළිබෝධ සමීක්‌ෂණ පද්ධතිය, ගොවි වෙදැදුරු මොබයිල් ඇප් එක සහ වෙබ් අඩවිය නිර්මාණය කිරීමේ දී මා හට රුහුණ විශ්වවිද්‍යාලයයේ කෘෂිකර්ම පීඨයේ හිටපු මහාචාර්ය එල්. නුගලියද්ද මහතා ගෙන් ලැබුණු අගනා මාර්ගෝපදේශකත්වය හා ක්‌ලෑන් එක්‌ස්‌ සොලියුෂන් ආයතනයේ සම නිර්මාතෘවරුන් වන නවාංජන බණ්‌ඩාර සහ හියාන් පෙරේරා යන ඉංජිනේරුවන් මෘදුකාංග ඉංජිනේරුවන් ලෙස ඉටු කළ කාර්යභාරය ඉතා ම වැදගත් වුණා.

මේ සදහා ශ්‍රී ලංකා කෘෂිකාර්මික පර්යේෂණ ප්‍රතිපත්ති සභාව විසින් මූල්‍ය දායකත්වයක්‌ ලබා දුන්නා. එසේ ම කෘෂිකර්ම අධ්‍යක්‍ෂ ජනරාල් ආචාර්ය රොහාන් විඡේකෝන්, අතිරේක කෘෂිකර්ම අධ්‍යක්‍ෂ ජනරාල් (සංවර්ධන) ඩබ්. ඒ. ජී. සිසිර කුමාර, අධ්‍යක්‍ෂ (තොරතුරු හා සන්නිවේදන) ආර්. ඩී. සිරිපාල යන මහත්වරුන් සහ අධ්‍යක්‍ෂ (වී පර්යේෂණ හා සංවර්ධන) ආචාර්ය අමිතා බෙන්තොට මහත්මිය මේ ව්‍යාපෘතිය සාර්ථක කරගැනීම සදහා අවශ්‍ය දිරිගැන්වීම් හා උපදෙස්‌ ලබා දුන්නා.

ගාල්ල ලබුදූව වී පර්යේෂණ ස්‌ථානයේ ස්‌ථානභාර සහකාර කෘෂිකර්ම අධ්‍යක්‌ෂ,

(කෘෂි පර්යේෂණ)
ගාල්ල දිස්‌ත්‍රික්‌ කෘෂිකර්ම අධ්‍යක්‍ෂ (වැ.බ)
ජීවා පොන්නම්පෙරුම ආරච්චි
මහත්මිය සමග සාකච්ඡා කළේපී. එල්. ජයවර්ධන
කවින්ධ්‍යා ජයවර්ධන