logo3.gif (702 bytes)

HOME


විද්‍යා ප්‍රබන්ධ
දම් පැහැ මමිය

නතෝලි ද්නෙප්රෝව්

වර්ෂ 1919 දී උපන් අනතෝලි ද්නෙප්රෝව් එක්‌සත් සෝවියට්‌ සමාජවාදී ජනරජයේ විද්‍යාඥ ඇකඩමිය හා සම්බන්ධ ආයතනයක සේවය කළ කීර්තිමත් භෞතික විද්‍යාඥයෙකි. 1960 වසරේ දී ඔහු විසින් රචනා කරන ලද "මැක්‌ස්‌වෙල් සූත්‍රය" නම් විද්‍යා ප්‍රබන්ධය ලේඛකයකු ලෙස ඔහු ගේ දස්‌කම් ප්‍රකට කළේ ය. ද්නෙප්රෝව් ගේ ප්‍රියතම විෂය වූයේ සයිබනතික විද්‍යාව (මොළය, ස්‌නායු පද්ධතිය හා විද්යුත් යාන්ත්‍රික පද්ධති අතර සන්නිවේදනය හරහා ගොඩනැෙගන ස්‌වයංක්‍රීය සන්නිවේදන හා පාලන ක්‍රමවේද අධ්‍යයනය) හා එහි විස්‌මයාන්විත ජයග්‍රහණ හා ඇදහිය නොහැකි විභවයන් පිළිබඳ අධ්‍යයනය ය. විද්‍යාත්මක යථාවාදී බව ඔහු ගේ රචනාවන්හි සුවිශේෂි ව පෙනෙන ලක්‌ෂණයකි.

සිංහල වියමන - මාධව වෛද්‍යරත්න

1

අගනුවරට ආ විට හිතට දැනෙන හැඟීම කවරාකාර දැයි ඔබ හොඳින් දනී. එය හරියට ම නන්නාඳුනන අමුතු ලෝකයකට ඔබ එක පැහැර ඇද වැටුණාක්‌ වැන්න. හෙලිකොප්ටර විසින් ඔබ චතුරස්‍රයකින් තවෙකකට ගෙන යන විට, නො එසේ නම් ශක්‌ති සම්පන්න කේබල මත ඝෝෂා රහිත ව ම ලිස්‌සා යන විභ්‍රම යානයක හිඳ යෝධ මන්දිර මුදුන් දෙස උඩින් පල්ලෙන් බලන විට, ප්‍රභවය අබිරහසක්‌ වූ දීප්තිමත් ආලෝකයෙන් දිදුලන උමං දුම්රිය මාර්ගය දෙසට නිසොල්මනේ පල්ලම් බසින විට, මේ විස්‌මයාවහ ඉපැරැණි නගරය වූ මොස්‌කව්හි සැම දෙයක්‌ ම මනස්‌කාන්ත හා සුවිශේෂී බවක්‌ අත් කරගන්නා බව පෙනෙයි. සැම දෙයක්‌ ම අනාගතය දෙසට ඉලක්‌කගත වූ බවක්‌ දැනෙයි.

කිසි ම වැදගැම්මක්‌ නැති පිටිසර ගොඩයකු ලෙස මම මා ගැන නො සිතමි. උතුරුකරේ පිහිටි, මා ජීවත් වන ලෙනින්ස්‌කි නගරයේ ද විශාල චතුරස්‍රවල කේබල් මං, හෙලිකොප්ටර හා රූපවාහිනි තොරතුරු මධ්‍යස්‌ථාන ඇත. එහෙත් මොස්‌කව් නගරයට යන සැම විටෙක ම මට භය සම්ප්‍රයුක්‌ත මෙන් ම අවුල්කාරී හැඟීමක්‌ යන්තමින් මෙන් දැනෙයි. මෙසේ වන්නේ මන්දැයි බොහෝ වර කල්පනා කළ මා අවසානයේ නිගමනය කළේ ඊට හේතුව මොස්‌කව් ජීවිතයේ වූ අධිවේගී රිද්මය විය හැකි බව ය. අගනුවර ජීවිතය බොහෝ වේගයෙන් පණගැසෙයි. ස්‌වභාවයෙන් ම මිත්‍රශීලී හා ආගන්තුක සත්කාරයට ලැදි මිනිසුන් පවා නිරන්තර කඩිමුඩියක ඉන්නා බව හැඟෙයි. චලනය වන පදික පියමග මත පවා නිසල ව නො සිටින ඔවුහු ඒවා තමන් රැගෙන යන අතරතුර පවා සිටින්නේ දුවන නො දුවන ගානේ කඩිනමක ය. මීට දශක ගණනාවකට පෙර ඝෝෂාකාරී තරප්පු සෝපාන මත නැග පැරැණි මොස්‌කව් උමං දුම්රිය පොළට කඩිමුඩියේ දුවන අතරවාරයේ පොත පත ද කියවන්නට පුරුදු වී සිටි සිය මුතුන් මිත්තන් ගේ සම්ප්‍රදායට අනුගත වන්නට ඔවුන් වෙර දරන සෙයකි.

දැවැන්ත ගොඩනැගිලි දෙකක්‌ වූ ක්‍රීඩා මන්දිරය හා කලා මන්දිරය අතරමැද උසට උසේ එල්ලී සිටි වොස්‌තානියා චතුරස්‍රයේ පිහිටි රූපවාහිනි තොරතුරු මධ්‍යස්‌ථානය අසල නැවතුණ මම, මට යැමට අවශ්‍ය ව තිබූ ද්‍රව්‍යමය සංස්‌කෘතික කෞතුකාගාරයේ ලිපිනය යතුරු පුවරුවේ ඇතුළත් කළෙමි. කෞතුකාගාරය වෙත යැම සඳහා අදාළ උපදෙස්‌ ඛණ්‌ඩාංක ද සහිත ව තිරයේ දිස්‌ වන්නට විය.

මා කළ යුතු ව තිබුණේ එතැනින් යටි බිම් උයනට බැස පියාපත් සහිත ප්‍රතික්‍රියාකාරක යානයට ගොඩ වීම ය. එය, ජනතා මිත්‍රත්ව දිය බස්‌නාව අසබඩ පිහිටි නිදහසේ සමාධිය වෙත මා රැගෙන යනු ඇත. එතැනින් හෙලිකොප්ටරයකට ගොඩවදින මට 'නීල පථය'ට ගොඩ බැස කෙළින් ම අගස්‌ති උමං මග ඔස්‌සේ කෞතුකාගාරය වෙත යා හැකි වනු ඇත. වර්ණ තිරයෙහි දිස්‌ වූයේ සමාන්තරානීකයක හැඩය ගත් තිස්‌ මහල් ගොඩනැගිල්ලකි. එහි රඹ පැහැති සිරිමැටි ඔබ්බවා තිබූ අතර අප විසින් චන්ද්‍රයා වෙත යවනු ලැබූ ප්‍රථම අභ්‍යවකාශ යානයේ උන්නත කැටයමක්‌ රැගත් සුදෝ සුදු පැහැති කිරිගරුඬ ඵලකයක්‌ ද සවි කොට තිබිණ. දක්‌වා තිබූ දිශාව ඔස්‌සේ තත්පර 130කටත් අඩු කාලයක්‌ තිස්‌සේ ගමන් කළ මම මගේ ගමනාන්තය කරා ළඟා වීමි. ඇවිද යන අතරතුර ම මම පෞද්ගලික ස්‌වයංක්‍රීය රේඩියෝ දුරකථනය භාවිත කරමින් මගේ පැමිණීම පිළිබඳව මහාචාර්ය සයන් හට දැනුම් දුන්නෙමි. ඔහු මා මුණගැසීමට කෞතුකාගාරයේ ප්‍රධාන ද්වාරය අසලට පැමිණ සිටියේ ය.

"නුඹව දැකීමත් සතුටක්‌, මගේ ඉලන්දාරි මිත්‍රයාෘ ඔහු සිය මිහිරි සංගීතමය කටහඩින් කෑගැසුවේ දෝතින් ම මගේ අත අල්ලාගෙන සමාචාර දක්‌වන අතර ය. "මොන දේකට නුඹ මේ කංකරච්චල්කාර නගරෙ තියෙන අපේ නිස්‌කලංක තිප්පොලට ආව ද?"

මේ වන විට තරුණ පෙනුම වියෑකී ඇති මේ විද්‍යාඥයා ගේ මඳක්‌ ඔච්චම්කාර දෑස දෙස මම විමසිලිමත් ව බැලුවෙමි. මීට වසර දෙකකට පෙර මා මොස්‌කව්හි 'විප්ලවයේ සරසවියෙ'හි පශ්චාත් උපාධිය හදාළ සමයේ මතකය අවදි විය. එහෙනම්, ඔහු වෙනස්‌ වෙලා ම නැහැ.

"මම මෙහෙ එන්න තෝරාගත්තෙ වැරැදි වෙලාවක්‌ ද මන්දා. මම අහගෙන රේඩියෝ එකේ ප්‍රවෘත්තිවලට කියනවා නුඹ ලෑස්‌ති වෙනව කියල ටෝගෝවලට...."

"කොහොමට වත් නෑ... කොහොමට වත් නෑ.." මහාචාර්යවරයා කීවේ ඊට එකඟ නො වෙමිනි. "මට තව පැය දහ තුනක්‌ ම ඉතිරි වෙලා තියෙනවා ඒ වැඩේට. මම හිතන්නේ නුඹේ පටලැවිල්ලට උත්තර හොයන්න ඒක වැඩියත් එක්‌ක සෑහේ වි."

"මම හිතන්නේ නැහැ ඒකට නුඹේ වටිනා කාලයෙන් පැය දෙක තුනකට වඩා ඕනෑ වේ වි කියල." මම කීවෙමි. "නුඹට කමක්‌ නැතිනම් බාග විට අපිට පුළුවනි දැන්ම ම පටන්ගන්න.."

මා කෙතරම් වරද්දාගත්තේ ද යන්න එවේලේ මම දැන නො සිටියෙමි.

කිරිගරුඬ ශාලාවකට ප්‍රවිශ්ට වූ අපි ඝෝෂා රහිත සෝපානයක්‌ විසින් කෞතුකාගාරයේ දහ හත් වැනි මහල වෙත සැණෙකින් ගෙන යනු ලැබීමු. මහාචාර්ය සයන් ගේ කාර්යාලය පිහිටියේ මෙතැන ය. ගමන් ගන්නා අතරතුර මහාචාර්යවරයා ටෝගෝ සංචාරය අතරතුර ඔහු ගේ වැඩසටහන පිළිsබඳ විස්‌තර මට කීවේ ය.

"මේ දිස්‌ත්‍රික්‌කේ මිනිස්‌සුන් ගේ නිදහස්‌ අරගලයේ දෙවැනි අදියර ගැන අපි තව විස්‌තර ටිකක්‌ හොයල බලන්න අවශ්‍යයි අවුරුදු ගානක්‌ ගත වුණත් කවුරුවත් ඔය ලේඛනාගාර තෝම්බු ගැන විපරමක්‌ කරලා නැහැ.... ඒක අපේ මේ කෞතුකාගාරෙ තියෙන එක දුර්වල තැනක්‌." ඔහු ගේ ස්‌වරය අමිහිරි විය. "හොඳයි. ඔන්න දැන් මම නුඹේ වැඩේට ලෑස්‌තියි" ඔහු කීවේ කවිච්චිය මත හිඳගනිමිනි.

ඇඳි පුටුව මත හරිබරි ගැහුණු මම බී්‍රෆ්කේසය විවෘත කොට මගේ බිරිඳ මායා ගේ ඡායාරූපයක්‌ ගෙන මහාචාර්යවරයා අත තැබුවෙමි.

"මේ මූණේ හුරුවක්‌ හෙම දැනෙනව ද?" මා ඇසුවේ ඔහු ගේ විඩාපත් මුහුණ දෙස විමසිලිමත්ව බලමින් එහි සියුම් හෝ චලනයක්‌ අල්ලාගත හැකි දැයි ඉව කරමිනි.

මහාචාර්ය සයන් ඡායාරූපය දෙස ඉක්‌මන් බැල්මක්‌ හෙළා දෑස මා වෙත යොමු කළේ විස්‌මයෙනි. ගැඹුරින් සිතන බවක්‌ පෙනුණ ද හෙතෙම සිය හිස වනමින් සිටියේ ය. මෙහි එන්නට පෙර ලෙනින්ස්‌කිහි දී මගේ බිරිඳ ගෙන් සමුගන්නා මොහොතේ දී ඇය මෙසේ කියා තිබිණ. "ඔයා බලන්නකෝ... එයා මෙන්න මෙහෙම කරා වි" ඇය හිස සල සලා, නළල

රැළි කරමින්, කට ද උල් කොට පෙන්වූයේ මේ මොහොතේ මහාචාර්යවරයා කරමින් සිටි ආකාරයට ඒකාන්ත වශයෙන් සමාන ව ය.

"නැහැ... මට ඒක නිච්චියට ම කියන්න බැහැ" ඔහු පිළිතුරු දුන්නේ ප්‍රහේලිකාත්මක ව මා දෙස බලමිනි.

එහෙත් මා ඉන් සෑහීමට පත් ව හිස නමා බී්‍රෆ්කේසය අවුස්‌සන්නට වන් කල ඔහු මඳක්‌ විස්‌මයට පත් වූයේ ය. එවර මා එළියට ඇදගත්තේ කෞතුකාගාර නාමාවලියේ අලුත් ම සංස්‌කරණය ය. නො ඉවසිල්ලෙන් මැඩුණු මහාචාර්යවරයා මා අසලට ළං වූයේ ය.

"නුඹට කියන්න පුළුවන් ද මේ මොකක්‌ ද කියලා?" මා ඇසුවේ නාමාවලිය විවෘත කොට එහි දම් පැහැ මමියේ ආලේඛ්‍ය චිත්‍රයක්‌ මුද්‍රණය කොට තිබූ පිටුව දිගහැර ඔහු අත තබමිනි.

පොදුවේ ගත් කල ඉහළ පෙළේ ප්‍රකාශනවල ප්‍රධාන සංස්‌කාරකවරයා එහි පළ වන සියලු කාරණා පිළිබඳව නො දැන සිටීම සාමාන්‍ය කරුණකි. අන් කවරකු සේ ම සාමාන්‍ය මිනිසකු වන ඔහු ගේ වැඩි අවධානය ස්‌වභාවයෙන් ම යොමු වන්නේ තමා ගේ විෂය කේෂ්‍රත්‍රයට අදාළ ලිපි ලේඛන කෙරෙහි පමණි. අනෙකුත් ලිපි පිළිබඳ වගකීම බොහෝ විට සහායකයෝ තමන් වෙත පවරාගනිති. මෙහි දි සිදු වූයේ ද එවැන්නක්‌ බව පැහැදිලි ය.

නැවත වරක්‌ මමියේ ආලේඛ්‍ය චිත්‍රය දෙස නෙත් යොමු කළ මහාචාර්යවරයා නාමාවලියෙහි පිටු ගණනාවක්‌ පෙරළමින්, එය කෞතුකාගාරය තුළ තිබු නව ප්‍රදර්ශන භාණ්‌ඩය බවට සැක හැර දැනගත්තේ ය.

අනතුරු ව හේ එක්‌ වර ම උස්‌ හඬින් කෑගැසුවේ ය.

"ඉතින් මොකද? දෙක ම එකයි"

"මොනවද එක?" ලැබෙන පිළිතුර කුමක්‌ දැයි දැන දැන ම මම ඇසුවෙමි.

"දම් පාට මමියෙ පින්තූරෙයි, මේකයි." ඔහු කීවේ විස්‌මයෙනි.

"මම දැනගෙන හිටියා ඒක එහෙම වෙයි කියලා" බිරිඳ ගේ ආලේඛ්‍ය ඡායාරූපය, නාමාවලියෙහි මුද්‍රණය කොට තිබූ පින්තූරය අසල තබමින් මම කීමි.

"දැනගෙන හිටියා..? කෝක කොහොම වෙයි කියල ද?" ඔහු විමසුවේ පටලැවිලි සහගත ස්‌වරයෙනි.

"මම දැනගෙන සිටියා නුඹ එහෙම කියයි කියලා. මම මායා එක්‌කත් වාද කළා. ඒත් ඈට හොඳ විස්‌වාසයක්‌ තිබුණා නුඹ එක පාරට ම වෙනස හඳුනාගනී වි කියල."

මහාචාර්යවරයා ගේ මුහුණ දැඩි ස්‌වරූපයක්‌ ගත්තේ ය.

"මට තේරෙන්නෙ නැහැ මොනව ගැන ද නුඹ මේ කතා කරන්නෙ කියල. කවුද මේ කියන මායා?"

"මම කතා කරන්නේ මේ පින්තූරේ තියෙන සමානකම ගැන. මායා කියන්නේ මගේ බිරිඳ."

"මේකට නුඹේ බිරිඳ ගේ තියෙන සම්බන්දෙ මොකද්ද?"

"මේ මගේ බිරිඳ ගේ ඡායාරූපය... ඒ වගේ ම මේක..." මම සඟරාවේ වූ ඡායාරූපය දෙස ඇඟිල්ල දිගු කළෙමි. "දම් පාට මමියේ පින්තුරය"

කවිච්චියෙන් එසැවුණු මහාචාර්යවරයා මගේ කේශාන්තයේ සිට පාදාන්තය දක්‌වා නෙත් යෑවී ය. ඔහුගේ දෙබැම සෙමෙන් සැලෙන අයුරු මම දුටුවෙමි.

"මම හිතන්නේ නැහැ කිලෝමීටර පන් දාහක්‌ විතර දුරු කතර ගෙවාගෙන නුඹ මෙහේ ආවේ මාත් එක්‌ක විහිලු කරන්න කියලා" ඔහු කතා කළේ හික්‌මවාගත් ස්‌වරයකින් යුතු ව ය.

ඔහුට සිය කටහඬ මේච්චල් කරගැනීමට අපහසු වූ සෙයක්‌ මට පෙනිණ.

"කොහොමට වත් නැහැ... ඇත්ත වශයෙන් ම මට මෙහෙට එන්න හේතු වුණේ මේ සමානකම තමයි. නුඹ දන්නව නෙ මම ලෙනින්ස්‌කි ප්‍රාදේශීය අධ්‍යයන පිළිබඳ කෞතුකාගාරයේ ප්‍රධානියා බව. නුඹේ නාමාවලියේ අලුත් ම සංස්‌කරණය ලැබුණ ම මට පුදුම හිතුණා නම් දම් පාට මමිය හා මගේ බිරිඳ ගේ අතර තිබුණු සමානකම ගැන."

මගේ අතින් නාමාවලිය ගත් හේ පුළුලැති කවුළුව අසලට ගියේ ය. මධ්‍යාහ්නයේ ප්‍රභාස්‌වර හිරු කිරණ ඇස්‌ මානයට හසු නො වන තරම් තුනී වීදුරු තහඩුව අතරින් ගලා එමින් තිබිණ. හෙලිකොප්ටරයක ඡායාමාත්‍ර දර්ශනයක්‌ පහළ වුව ද මහාචාර්යවරයා එය යන්තමින් හෝ දුටුවේ නැත. ආලේඛ්‍ය ඡායාරූප දෙක සුපරීක්‌ෂාකාරීව සංසන්දනය කරමින් හේ අතිශය ගැඹුරු කල්පනාවක නිමග්න ව සිටියේ ය.

මට මායා ගේ වචන සිහිපත් විය. "ඔහු ඉන්තේරුවෙන් ම කියා වි මේ පින්තූර දෙකේ බෙල්ලේ හැඩය වෙනස්‌ කියලා"

"මේ මොකද? මේ දෙන්න ගෙ බෙල්ලේ හැඩය වෙනස්‌" මහාචාර්යවරයා කෑගැසුවේ ප්‍රීතියෙනි.

ඔහු වෙත ගමන් කළ මම මඳ සිනාවක්‌ පෑවෙමි.

"ඒක ඇත්ත. දෙන්න ගෙ බෙල්ල සමාන නැහැ. ඒත් එයාල ගේ මුහුණු දෙක නම් සහමුලින් ම එක සමානයි. මේ වෙලාවෙ මම උනන්දු වෙන්නේ මෙන්න මේ සමානකම ගැන විතර ය. වෙනස ගැන කතා කරන්න අපි පස්‌සේ වෙලාවක්‌...."

පෙර සිටි ස්‌ථානයට යළි පැමිණි අපි අසුන් ගතිමු. මා ඇඳි පුටුව තෝරාගන්නා අතරේ මහාචාර්යවරයා කවිච්චිය මත හිඳගත්තේ ය.

"මට තව ටිකක්‌ විස්‌තර කියන්න, ඇයි නුඹ මෙහි ආවේ කියලා" හේ ඉල්ලී ය.

ඉතා ම වැදගත් මොහොත දැන් එළැඹී ඇත. මම මඳක්‌ නොසන්සුන් වීමි. මගේ සිතිවිලි හැකි තරම් සුපැහැදිලිව මේ මොහොතේ ප්‍රකාශ කළ යුතු ය. දෙතොල් තෙරපා ගත් මා නොසන්සුන් ලෙස මගේ බැල්ම මේ දිගු පුළුලැති අධ්‍යයනාගාරය සිසාරා අයාලේ යෑව්වේ කතාව පටන්ගැනීමට උපකාර කළ හැකි කිසියම් වස්‌තුවක්‌ අල්ලාගැනීමට වෙර දරමිනි.

(ලබන සතියේ තවත් කොටසක්‌)