logo3.gif (702 bytes)

arrow7.gif (1098 bytes)


පැරණි රජයේ ගොඩනැගිලි ආරක්‌ෂා කිරීමට යෝග්‍ය ප්‍රතිපත්තියක අවශ්‍යතාව

පසුගිය ජුනි මාසයේ දී තැපැල් දෙපාර්තමේන්තුවේ සේවකයෝ දෙවරක්‌ ම වැඩ වර්ජනය කළ හ. තැපැල් වෘත්තීය සමිතිවලට අනුව ඊට හේතු වූ ප්‍රධාන ඉල්ලීමක්‌ වූයේ තැපැල් දෙපාර්තමේන්තුව සතු ගොඩනැගිලි කිහිපයක්‌ පෞද්ගලික අංශයට පැවරීමට රජය ගෙන ඇති තීරණයකි. නුවරඑළිය, මහනුවර හා ගාල්ල කොටුව තුළ පිහිටා ඇති ගොඩනැගිලි එසේ පැවරීමට හෝ විකිණීමට හෝ යන ගොඩනැගිලි අතර විය. එම ගොඩනැගිලි පෞද්ගලික අංශයට පැවරීමට යන්නේ හෝටල් ආරම්භ කිරීමට ය. රජය මේ ගැන දැරූ ස්‌ථාවරය වූයේ අදාළ ගොඩනැගිලි වෙනත් කාර්යයක්‌ හෝ වෙනත් සංවර්ධන අවශ්‍යතාවන් හෝ සදහා යොදාගැනීමේ දී තවදුරටත් තැපැල් සේවා එම ස්‌ථානවල පවත්වාගෙන යැමේ හැකියාව සැලසෙන පරිදි හා තැපැල් දෙපාර්තමේන්තුවේ අනන්‍යතාව ආරක්‌ෂා වන පරිදි තවදුරටත් අදාළ වෘත්තීය සමිති සමග සාකච්ඡා කර ඇති කරගනු ලබන එකගතාවන් මත කටයුතු කිරීමයි. අවසානයේ දී ලිත ව ලබා දුන් පොරොන්දුවක්‌ මත වර්ජනය අවසන් කරන ලදි.

ඉහත සඳහන් ගොඩනැගිලි තුන ම රාජ්‍ය ආයතනයක්‌ වන තැපැල් දෙපාර්තමේන්තුව සතු දේපොළ වේ. ගාලු කොටුවේ පිහිටා ඇති

පැරැණි ගොඩනැගිල්ලේ ගාලු කොටුව තැපැල් කාර්යාලය පවත්වාගෙන යනු ලැබේ. නුවරඑළියේ පිහිටි ගොඩනැගිල්ල නුවරඑළිය තැපැල් කාර්යාලයයි. මහනුවර පැරැණි තැපැල් කාර්යාල ගොඩනැගිල්ලේ අද වන විට මහනුවර ප්‍රාදේශීය තැපැල් තෝරන මධ්‍යස්‌ථානය, ප්‍රධාන තැපැල් ස්‌ථානාධිපති නිල නිවස, තැපැල්කරු බෙදීම් අංශය හා මහනුවර තැපැල් අභ්‍යාස ආයතනය පවත්වාගෙන යනු ලැබේ.

මේ ගොඩනැගිලිවල පෞරාණික අගය ඉහළ ය. ඒ නිසා පුරාවිද්‍යාත්මකව වැදගත් උරුම ගොඩනැගිලි ලෙස සැලකිය හැකි ය. නිදසුනක්‌ ලෙස ගත හොත් ගාල්ල කොටුවේ තැපැල් කාර්යාලය පවත්වාගෙන යන ගොඩනැගිල්ල 18 වැනි සියවසේ මුල් භාගයේ දී පමණ ඉදි කරන ලද බව සිතිය හැකි ය. ඡේ. ඩබ්ලිව්. හෙයිඩ්ට්‌ නම් ඕලන්ද ජාතිකයා විසින් 1744 දී රචනා කරන ලද "හෙයිඩ්ට්‌ ගේ ලංකාව" නම් කෘතියේ එක්‌ රූප ඵලකයක මේ ගොඩනැගිල්ලේ මුල් ස්‌වරූපය දැකිය හැකි ය. එකල එම ගොඩනැගිල්ල ලිපි කටයුතු භාර නිලධාරියකු ගේ හෝ සහකාර නිලධාරියකු ගේ හෝ වාසස්‌ථානය ලෙස භාවිත වී ඇත. එහි ආලින්දය පසු කලක එකතු කළ එකක්‌ බව පෙනේ. පසු කලක 19 වැනි සියවසේ බ්‍රිතාන්‍ය යුගයේ දී මෙය ගාල්ලේ අණ දෙන නිලධාරියා ගේ වාසස්‌ථානයේ කොටසක්‌ වූ බව සඳහන් වේ. මේ ස්‌ථානයට තැපැල් කාර්යාලය ගෙන එන ලද්දේ 19 වැනි සියවසේ දී බව සිතිය හැකි ය. ගාලු කොටුව තුළ ඇති සෙසු පැරැණි ගොඩනැගිලි මෙන්ම මෙය ද පුරාවිද්‍යා ආඥ පනතේ නියමවලට යටත් ය.

නුවරඑළිය තැපැල් කාර්යාල ගොඩනැගිල්ල 1894 වර්ෂයේ දී ඉදි කරන ලද්දකි. ඒ වන විට වෙනත් ස්‌ථානයක පිහිටා තිබූ තැපැල් කාර්යාලය වෙනුවට මේ නව ගොඩනැගිල්ල බ්‍රිතාන්‍ය පාලන සමයේ දී රජයේ වැඩ දෙපාර්තමේන්තුව මගින් ඉදි කරන ලදි. එය ඉදිකිරීම සඳහා වසර කිහිපයක්‌ ගත වූ අතර එය ටියුඩර් එඩ්වර්ඩියන් ගෘහ නිර්මාණ සම්ප්‍රදායට අයත් පිරමිඩාකාර වහල සහිත දර්ශනීය ගොඩනැගිල්ලකි. එය අදත් ක්‍රියාකාරී ව පවත්නා ඔරලෝසුවක්‌ සහිත කුලුනකින් ද සමන්විත ය. මේ තැපැල් කාර්යාල ගොඩනැගිල්ල පුරාවිද්‍යා ආඥාපනත යටතේ ආරක්‌ෂිත ස්‌මාරකයක්‌ ලෙස 2007 වර්ෂයේ දී ප්‍රකාශයට පත් කර තිබේ.

මහනුවර දුම්රිය ස්‌ථානයට ආසන්න ව පිහිටා ඇති මහනුවර පැරැණි තැපැල් කාර්යාල ගොඩනැගිල්ල 20 වැනි සියවස ආරම්භයේ දී පමණ රජයට පවරාගත් ගොඩනැගිල්ලකි. ඒ වන විට කුලී ගෙවමින් පවත්වාගෙන ගිය රජයේ ආයතන කීපයක කාර්යාල 1902 දී පමණ මේ ගොඩනැගිල්ලට ගෙන ගොස්‌ තිබේ. තැපැල් කාර්යාලය මේ ස්‌ථානයට ගෙන යැම අවශ්‍ය වී ඇත්තේ එවකට භාවිතයට ගත් තැපැල් කාර්යාල ගොඩනැගිල්ල භාවිතය පිළිබඳ ගැටලු මතු වීම නිසා ය. පසු කලක සෙසු කාර්යාල මේ ගොඩනැගිල්ලෙන් වෙනත් ස්‌ථානවලට ගෙන ගිය අතර තැපැල් කාර්යාලය පමණක්‌ එහි ඉතිරි විය. 1995 දී ඊට යාබදව නව තැපැල් සංකීර්ණයක්‌ ඉදි කිරීමෙන් පසුව මේ ගොඩනැගිල්ල ඉහත සඳහන් වූ තැපැල් දෙපාර්තමේන්තුවේ කාර්ය කිහිපයක්‌ සඳහා භාවිත කරනු ලැබේ.

උරුම ගොඩනැගිලි රැකගැනීමේ අවශ්‍යතාව

අපේ රටේ අතීතයෙන් මේ දක්‌වා ඉතිරි වී ඇති දේ අපේ රටේ ජාතික උරුමයයි. ඈත අතීතයට අයත් විවිධ ඉදිකිරීම් හා ගොඩනැගිලි මෙන් ම මෑත අතීතයට අයත් ඓතිහාසික ගොඩනැගිලි ද මෙහි දී වැදගත් වේ. විශේෂයෙන් පොදු ගොඩනැගිලි හා රජයේ ගොඩනැගිලි ලෙස භාවිත වූ ගොඩනැගිලි අතරින් වසර සියයකට වඩා පැරැණි හා හොඳ තත්ත්වයේ පවත්නා ගොඩනැගිලි ඇත්තේ සීමිත ප්‍රමාණයකි. ඒ අතරින් ද වාස්‌තු විද්‍යාත්මක වශයෙන් වැදගත්කමක්‌ ඇති ගොඩනැගිලි ඇත්තේ තවත් අඩු ගණනකි. නාගරික ප්‍රදේශවල භූමි භාවිතයේ ඇති වී තිබෙන වෙනස්‌කම් මීට හේතුවයි. මෙරට පුරාවිද්‍යා නීතිය අනුව වසර සියයකට වඩා පැරැණි ගොඩනැගිලි හා ස්‌ථාන ආදිය ආරක්‌ෂිත ස්‌මාරක ලෙස ප්‍රකාශයට පත් කළ හැකි ය.

කෙසේ වෙතත් දිගුකාලීන වශයෙන් ගත් විට එවැනි ගොඩනැගිලි ආරක්‌ෂා කිරීමට හා නඩත්තු කිරීමට අධික මුදලක්‌ වැය විය හැකි ය. එවැනි නඩත්තුවක්‌ සඳහා වියදම් කිරීමට රජයේ ආයතනවලට මුදල් හිග වීම පුදුමයට කරුණක්‌ නො වේ. අනෙකක්‌ තබා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන ගොඩනැගිලි හා ස්‌මාරක හා ඔවුන් ගේ පරීක්‌ෂාව යටතේ ඇති ආරක්‌ෂිත ස්‌මාරකවල නඩත්තුව සඳහා ද ඇත්තේ සීමිත ප්‍රතිපාදන ප්‍රමාණයක්‌ බව රහසක්‌ නො වේ.

මේ හේතුව නිසා පැරැණි ගොඩනැගිලි රජයේ පාලනය යටතේ පවත්වාගැනීම අසීරු කරුණක්‌ බව ඇතැම් අවස්‌ථාවල දී රජයේ බලධාරීන් පවසනු දැකිය හැකි ය. මේ නිසා එවැනි ගොඩනැගිලි පෞද්ගලික අංශයට පැවරීමට යෝජනා කිරීම එතරම් පුදුමයට කරුණක්‌ නො වේ. එහි අරමුණ වන්නේ ලාභ උපයන කාර්ය සඳහා මෙවැනි ගොඩනැගිලි භාවිත කිරීමට යොමු කිරීම හා එමගින් ඒවායේ ප්‍රතිසංස්‌කරණය, නඩත්තුව සඳහා අරමුදල් උපයාගැනීම ය. එවිට එවැනි ගොඩනැගිලි ආරක්‌ෂා කරගත හැකි ය. මෙවැනි ප්‍රවණතාවක්‌ මෙරට මෙන්ම ලෝකයේ ඇතැම් රටවල ද දැකිය හැකි ය. එහෙත් එය කෙතරම් සාර්ථක ද යන්න ගැන ලෝකය පුරා විද්වතුන් විසින් සිදු කරනු ලැබ ඇති අධ්‍යයන හා විචාරවල සාකච්ඡා වී තිබේ.

මේ පිළිබඳව වැදගත් වන විචාරයක්‌ ලෙස පුරාවිද්‍යා සංරක්‌ෂණය හා ස්‌ථාන කළමනාකරණ සැලසුම් පිළිබඳ විශේෂඥයකු වන ගෙටානෝ පලුම්බෝ (Gaetano Palumbo) 2006 වර්ෂයේ දී ලියූ ලිපියක්‌ දැක්‌විය හැකි ය. යුරෝපයේ පෞද්ගලිකකරණය කරන ලද රජයට අයත් සංස්‌කෘතික උරුම පිළිබඳව අධ්‍යයනය කළ ඔහු දිගුකාලීන වශයෙන් ගත් විට, මෙසේ සංස්‌කෘතික උරුමය භාවිතය පිළිබඳ සංකල්ප දෙකක්‌ හදුනාගනියි.

ඉන් පළමුවැන්න වන වෙළෙඳපොළ අරමුණු කරගනිමින් පෞද්ගලික අංශයට සංස්‌කෘතික උරුමයන් ලබා දීම හෙවත් සංස්‌කෘතික උරුමය සූරාකෑමක්‌ (cultural heritage exploitation) ලෙස ඔහු නම් කරයි. එහි අරමුණ වන්නේ ආර්ථික ප්‍රතිලාභ ලබාගැනීම වන බැවින් අදාළ හිමිකරු ගේ අවධානය යොමු වන්නේ අදාළ උරුමයේ සෞන්දර්යාත්මක හෝ වාස්‌තුවිද්‍යාත්මක ස්‌වභාවය හා ඓතිහාසික වශයෙන් එම ස්‌ථානයට ඇති වැදගත්කම පිළිබඳව ය. එහි ඓතිහාසික භාවිතය පිළිබඳව එහි දී අවධානයක්‌ යොමු නො වන නිසා එය හුදකලා වූ ස්‌මාරකයක්‌ ලෙස ඔහු සලකයි. එසේ ම මෙවැනි අවස්‌ථාවල දී අඛණ්‌ඩව එම ස්‌ථානය ආරක්‌ෂා කිරීම සඳහා ආයෝජන සිදුවීමේ ගැටලු ඇති වී තිබෙන බව බොහෝ විචාරකයන් දක්‌වා ඇත. නිදසුනක්‌ ලෙස අදාළ පෞද්ගලික ආයතන එම ගොඩනැගිලි නඩත්තුව හා සංරක්‌ෂණය සඳහා කරනු ලබන වියදම් සීමා කළ අවස්‌ථා සුලබ ය. නඩත්තු හා සංරක්‌ෂණ වියදම් ඔවුන් ගේ ලාභයට වඩා අඩු වූ අවස්‌ථාවල දී එම ගොඩනැගිලි නො සලකා හැරීම සිදු විය හැකි ය. එසේ ම පෞද්ගලික අංශය මගින් එවැනි ගොඩනැගිලිවල සිදු කරන ලද නො ගැළපෙන වෙනස්‌කම් නිසා මෙන්ම භාවිතයේ වෙනස්‌කම් නිසා අදාළ ගොඩනැගිල්ලේ හෝ ස්‌මාරකයේ ඇති තථ්‍යභාවය (Authenticity) අහිමි වීමේ හැකියාවක්‌ ද ඇත. එවිට උරුමයක්‌ ලෙස එය තවදුරටත් හැෙගන්නේ ද යන්න ගැටලුවකි.

අනෙක්‌ සංකල්පය වන්නේ සංස්‌කෘතික උරුමයේ සමාජමය වටිනාකම් ඉස්‌මතු කිරීමේ අරමුණින් සිදු කරනු ලබන ප්‍රවේශයක්‌ හෙවත් සංස්‌කෘතික උරුම භාවිතයයි (cultural heritage use). එහි අවධානය යොමු වන්නේ අදාළ උරුමයේ වැදගත්කම හා එමගින් සමාජයට සිදු කළ හැකි කාර්යභාරය පිළිබඳ ව ය. එහි දී ආර්ථික ප්‍රතිලාභ මුල් තැනක්‌ නො ගන්නා අතර, එහි දී සෞන්දර්යාත්මක, වාස්‌තුවිද්‍යාත්මක හා ඓතිහාසික ආදි අංශ මෙන් ම එම උරුමයේ ඇති සමාජමය වැදගත්කම ද තහවුරු කරයි. භෞතික ගොඩනැගිල්ලක වුව ද භාවිතය හා සමග ඇති කරගන්නා යම් සමාජයීය වැදගත්කමක්‌ පවතී. මෙවැනි ප්‍රවේශයක දී අදාළ උරුමය බොහෝ විට මහජනතාව ගැවසෙන හා මහජන අවශ්‍යතා සඳහා තවදුරටත් භාවිත වන්නකි.

ඇතැම් අවස්‌ථාවල දී එහි අතීත භාවිතය සඳහා ම හෝ ඒ හා සමාන වූ භාවිතයක්‌ සඳහා යොදාගත හැකි ය. මෙවැනි භාවිතයක්‌ සඳහා රාජ්‍ය අංශයේ මැදිහත් වීම මෙන් ම ප්‍රජාව ගේ දායකත්වය ද වැදගත් බව පැහැදිලි ය.

මේ කරුණු අනුව රාජ්‍ය අංශය මෙවැනි උරුම ගොඩනැගිලි සම්බන්ධව සිය අයිතිය අත්හැර විකිණීමේ හෝ පැවරීමේ හෝ ප්‍රතිපත්තිය එතරම් සාර්ථක එකක්‌ නො වන බව උක්‌ත විචාරයේ දී දක්‌වා ඇත.

සාධාරණ භාවිතයක්‌ සඳහා යොදාගැනීම

අපේ උරුමයක්‌ වන පැරැණි ගොඩනැගිලි රජයේ පාලනයේ හෝ පෞද්ගලික අංශය යටතේ හෝ පවත්වාගත්ත ද, ඒවා කුමන භාවිතයක්‌ සඳහා යොදාගන්නේ ද යන්න වැදගත් බව මෙයින් පෙනේ. මේ සඳහා මනා නිදසුන් දෙකක්‌ අපට ලංකාවෙන් දැක්‌විය හැකි ය. මේ අවස්‌ථා දෙකෙහි දී ම අදාළ ගොඩනැගිල්ල අඛණ්‌ඩව භාවිතයට ගැනීම හා නඩත්තු වීම සිදු වී ඇතත්, එක්‌ අවස්‌ථාවක දී එහි පැරැණි භාවිතයේ ස්‌වරූපය අහිමි වී ඇති අතර, අනෙක්‌ අවස්‌ථාවේ දී පැරැණි ස්‌වරූපය ඉස්‌මතු වන ආකාරයේ භාවිතයක්‌ සිදු වී ඇත.

පැරැණි ගොඩනැගිල්ලක්‌ වන කොළඹ කොටුවේ පිහිටි ඕලන්ද රෝහල එක්‌ නිදසුනකි. එම ගොඩනැගිල්ල මනාව සිදු කරන ලද ප්‍රතිසංස්‌කරණයකින් පසුව මේ වන විට ආරක්‌ෂිත තත්ත්වයක ඇත. එය මේ වන විට රජයට අයත් ගොඩනැගිල්ලක්‌ වුව ද පෞද්ගලික වෙළෙඳ සංකීර්ණයක්‌ ලෙස ක්‍රියාත්මක වේ. එය රජයේ අයිතියේ පවතින අතර ම ආර්ථික අරමුණු මුල් කරගත් භාවිත සදහා යොදාගෙන ඇත. ගොඩනැගිල්ලේ ස්‌වරූපයේ වෙනස්‌කමක්‌ සිදු වී නැතත් එය පැරණි ඕලන්ද රෝහල යෑයි සිතෙන්නේ නැති තරමට එහි භාවිතයේ ස්‌වරූපය වෙනස්‌ වී තිබේ. එහි පැමිණෙන්නන් එම ගොඩනැගිල්ලේ ඇති ඓතිහාසික හෝ පුරාවිද්‍යාත්මක හෝ වැදගත්කම පහසුවෙන් තේරුම්ගන්නා බවක්‌ සිතීම අසීරු ය.

කෙසේ වෙතත් රජයේ අයිතිය යටතේ ඇති කොළඹ පිටකොටුවේ පිහිටි ඕලන්ද යුග කෞතුකාගාරය පවත්වාගෙන යන පැරැණි ගොඩනැගිල්ල මීට වඩා වෙනස්‌ ය. එය ප්‍රතිසංස්‌කරණය කිරීමෙන් පසුව එම ගොඩනැගිල්ල ඒ සඳහා ම ගැළපෙන ආකාරයේ භාවිතයක්‌ සඳහා යොදාගෙන තිබේ. ඒ කෞතුකාගාරයක්‌ ලෙස ය. එය සමාජමය වශයෙන් වැදගත් කාර්යයක්‌ ද ඉටු කරයි. එහි පුරාවිද්‍යාත්මක අගය රැකී ඇති අතර, ඒ බව එය භාවිත කරන්නවුන්ට පහසුවෙන් අවබෝධ වේ.

මේ අනුව පැහැදිලි ව පෙනෙන කරුණක්‌ වන්නේ පැරැණි ගොඩනැගිලි ආරක්‌ෂා කරගැනීමේ දී එහි අතීත භාවිතය මෙන් ම අනාගත භාවිතය සම්බන්ධව ද සැලකිලිමත් විය යුතු බවයි. එවැනි ගොඩනැගිලි ආරක්‌ෂා කරගැනීමට ගන්නා ක්‍රියාමාර්ග මගින් ඒවායේ අතීත භාවිතය පිළිබඳ පෙනුම හෙවත් උරුමයේ ස්‌වභාවය හෝ සජීවී බව අහිමි වී යන්නේ නම්, පුරාවිද්‍යාත්මක උරුමයක්‌ ලෙස එහි අගයේ අඩු වීමක්‌ සිදු විය හැකි බව ය.

මේ අනුව වඩාත් සාර්ථක වන්නේ භාවිතය මත පදනම් වූ තීරණ ගැනීමේ ක්‍රියාවලියකට යැම බව අපට පෙනේ. එහි දී පැරැණි රජයේ ගොඩනැගිලි තවදුරටත් රාජ්‍ය අංශය සතු ව තිබීම වැදගත් වන්නේ එමගින් අදාළ උරුමයේ පැවැත්ම තහවුරු වන නිසා ය. එසේ ම එම උරුමය එහි මුල් භාවිතය මත ම පදනම් වන්නේ නම් එහි සජීවී බව තවදුරටත් රැකේ. අවශ්‍ය නම් පෞද්ගලික අංශය සමග හවුල්කාරීව වුව ද එය සිදු කළ හැකි ය. එම හවුල්කාරීත්වය පිළිබද ඉතා හොද නිදසුනක්‌ ලෙස 1906 දී විදුලිසංදේශ හුවමාරු මධ්‍යස්‌ථානයක්‌ ලෙස ඉදි කරන ලද වර්තමානයේ කුරුදුවත්ත තැපැල් කාර්යාලය ලෙස භාවිත වන ගොඩනැගිල්ල සම්පත් බැංකුවේ මූල්‍ය අනුග්‍රහයෙන් පෞරාණික අගය කිසිදු වෙනස්‌ කිරීමකින් තොර ව සංරක්‌ෂණය කිරීම දැක්‌විය හැකි ය. එසේ ම කොළඹ ජාතික කෞතුකාගාරයේ ප්‍රදර්ශන මැදිරි නවීකරණය කිරීම සඳහා තවත් බැංකුවක්‌ වන හොංකොං හා ශැංහයි බැංකුවේ අනුග්‍රහය ලබාගැනීම ද මෙවැනි හවුල්කාරිත්වයක්‌ සඳහා තවත් නිදසුනක්‌ වේ.

ධනේෂ් විසුම්පෙරුම
මුදිත කරුණාමුනි
ඡායාරූපය( නුවරඑළිය තැපැල් කාර්යාල ගොඩනැගිල්ල (මුදිත කරුණාමුනි)