logo3.gif (702 bytes)

HOME


නවීන තාක්‌ෂණික යෙදවුම්වලට සරිලන ලෙස අපේ මිනිරන්වල අගය ඉහළ නැංවීමේ පර්යේෂණ සමූහයක ප්‍රගතිය

ලෝක වෙළෝදපොළ වෙත ඛනිජ සම්පත් පදනම් කරගත් අමුද්‍රව්‍ය සපයන ප්‍රමුඛතම සැපයුම්කරුවකු ලෙස ශ්‍රී ලංකාව අද්විතීය ස්‌ථානයක වැජඹේ. ඉතා ඉහළ වටිනාකමකින් යුතු වන, තාක්‌ෂණයෙන් ඉහළ නිමැවුම් ද්‍රව්‍ය සදහා අවැසි වන, ආර්ථිකමය අතින් වටිනා ඛනිජ සම්පත්, සරල "අමුද්‍රව්‍ය" ලෙස කිසිදු පිරිසැකසුමකින් තොර ව අපනයනය කිරීම මගින් ශ්‍රී ලංකාව, සිය ආර්ථිකයට ලබාගත හැකි ව තිබෙන මහත් වූ ආදායමක්‌ දිනපතා අහිමි කරගනිමින් සිටියි. උසස්‌ තත්ත්වයේ ශ්‍රී ලංකාවේ මිනිරන් සම්පත, ක්‌වාට්‌ස්‌, ඛනිජ වැලි, ඇපටයිට්‌, ආදිය මේ සදහා උදාහරණ කිහිපයක්‌ පමණි. මේ සම්පත් කෙරේ වන වඩා වැඩි අගය එකතු කිරීමක්‌ සදහා යැමට, අප සතු වන තාක්‌ෂණයේ මදකමත්, ප්‍රාග්ධන හිගකමත් ප්‍රධාන සීමාකාරී සාධක ද්විත්වය වශයෙන් හඳුනාගත හැකි ය. ඉහළ අගය එකතු කිරීමක්‌ සිදු කරමින්, අප දැනට අපනයනය කරන ඛනිජ අමුද්‍රව්‍ය, නිමිද්‍රව්‍ය බවට පත් කිරීමෙන් අනතුරුව, ඒවා එළඹෙන අතිsශය ඉහළ මිල ගෙවීමට කිසිදු විදේශ රටක්‌ හෝ ගැනුම්කරුවෙක්‌ කැමැති නො වේ. මේ නිසා ම, විදේශ රටවලින් මේ සදහා අවශ්‍ය කරන තාක්‌ෂණය ලැබේ යෑයි අපේක්‌ෂා කිරීම හුදු හිතලුවක්‌ පමණක්‌ වන සංදර්භයක, රට තුළ ම මෙකී තාක්‌ෂණයන් දියුණු කරගැනීමේ අවශ්‍යතාව පැනනගී. දේශීය විද්‍යාඥයන්ට, තාක්‌ෂණවේදීන් ප්‍රමුඛ කොටගත් විද්‍යාත්මක ප්‍රජාවට මෙහි දී මහත් වූ කාර්යභාරයක්‌ පැවරේ. මෑතක දී ආරම්භ කිරීමට යෙදුණු ජාතික නැනෝ තාක්‌ෂණ වැඩපිළිවෙළ (NNI - National Nano - technology Innitiative) දේශීය සම්පත් සදහා අගය එකතු කිරීමේ නවමු සහ වඩාත් ම ඉදිරිගාමී ප්‍රවේශයක්‌ සදහා මග සලසා ඇත.

දේශීය සම්පතින් දේශය දියුණු කිරීමේ එම ප්‍රතිපත්තිය අනුව යමින්, මහනුවර, හන්තානේ, පිහිටි ජාතික මූලික අධ්‍යයන ආයතන විසින් වසර 2013, ජනවාරියේ අරඹන ලද නැනෝ තාක්‌ෂණය සහ ද්‍රව්‍ය භෞතික පර්යේෂණ ව්‍යාපෘතිය (Nano - technology and physics of Materials), මේ වන විටත් ඉහළ ජයග්‍රහණයන් අත් කරගන්නට සමත් ව තිබේ. මේ ව්‍යාපෘතියේ මූලික ම අරමුණ වන්නේ ශ්‍රී ලංකාවේ ඛනිජ ද්‍රව්‍යවලින් ව්‍යqත්පන්න කරගත හැකි ඉහළ මට්‌ටමේ සංශ්ලේෂී ද්‍රව්‍ය හා අධිතාක්‌ෂණික ද්‍රව්‍ය සම්බන්ධයෙන්, මූලික හා පදනම් මට්‌ටමේ විද්‍යාත්මක පර්යේෂණයන් සිදු කිරීමයි.

ශ්‍රී ලංකාව් ඛනිජවලින් නිපදවන ලද වැඩි දියුණු කළ ද්‍රව්‍ය උදෙසා වන ලෝහ-අයන අන්තරස්‌ථාපන (metal-ion intercalation) ක්‍රමවේද පිළිබද අධ්‍යයනය ප්‍රධාන අරමුණ කරගත් මෙහි දී, ශ්‍රී ලංකාවේ බහුල ඛනිජ ද්‍රව්‍ය යොදාගෙන වැඩි දියුණු කරන ලද ද්‍රව්‍ය (Advanced Materials) නිපදවීම සුවිශේෂී වෙයි. දේශීය ඛනිජ මගින් නිපදවූ මේ ඉහළ තාක්‌ෂණික ද්‍රව්‍ය, අනතුරුව ව්‍යqහ වෙනස්‌ කිරීම්වලට භාජන කෙරෙනුයේ පරමාණුක හා නැනෝ මට්‌ටමෙනි. එලෙස ම මේ ලෝහ අයන මගින් අන්තරස්‌ථාපිත ද්‍රව්‍යයන්හි, ලෝහ අයන අන්තරස්‌ථාපන හා විස්‌ථාපන ක්‍රමවේද සහ විද්යුත් රසායනික හැසිරීම් පිළිබද වැඩිදුර විද්‍යාත්මක ගවේෂණයන් ද සිදු කෙරේ. මේ ව්‍යාපෘතියේ දිගුකාලීන අරමුණු වනුයේ ශ්‍රී ලංකාවේ ස්‌වාභාවික ඛනිජ සම්පත්, ඉහළ ශ්‍රේණියේ වැඩි දියුණු කරන ලද, තාක්‌ෂණික ද්‍රව්‍ය බවට පත් කිරීමයි. සුපිරිසුදු මිනිරන් ((High purity graphite), පෘෂ්ඨීය විකරණය කරන ලද ග්‍රැෆයිට්‌ (Surface Modified Graphite), ග්‍රැෆීන් (Graphene) හෙවත් අධිතාක්‌ෂණික තනි පරමාණුක මිනිරන් ස්‌ථර, නැනෝ කාබන් සංයුක්‌ත ද්‍රව්‍ය ආදිය මේවාට උදාහරණ කිහිපයක්‌ පමණි. මේ ද්‍රව්‍ය ගෝලීය වෙළෝදපොළ තුළ ඉහළ ම මිලක්‌ හිමි කරගන්නා, නැනෝ තාක්‌ෂණික හා අධිතාක්‌ෂණික කාර්මික යෙදවුම් සදහා භාවිතයට ගන්නා වටිනා ද්‍රව්‍යයන් වේ.

මෙලෙස වැඩිදුර විද්‍යාත්මක ගවේෂණයන් හා මූලික අධ්‍යයනයන් සිදු කෙරෙන, ඉහත සදහන් ක්‍ෂෙත්‍රයෙහි අවධානය වඩාත් ම යොමු වන ප්‍රායෝගික කාර්මික භාවිතයක්‌ ලෙස යළි ආරෝපණය කළ හැකි බැටරි (Re - chargeable
Batteries) හදුන්වා දිය හැකි ය. මේ බැටරි යෙදවුම්වල ප්‍රධාන අංගයක්‌ වන බැටරි ඉලෙක්‌ට්‍රොaඩ සදහා කාබන් යොදාගැනෙන අතර, ඒ සදහා මිනිරන් හෙවත් ග්‍රැයිට්‌ භාවිත කෙරේ. නූතන ලෝකයේ, ප්‍රධාන වශයෙන් ම කරළියට පැමිණ ඇති හරිත තාක්‌ෂණික ක්‍රමවේද, ලෝකයේ ග්‍රැයිට්‌ සදහා වන වෙළෝදපොළ වටිනාකම ඉහළ යැමට මූලික ම හේතුවයි. ක්‍ෂාරීය (Alkaline) හා ලිතියම් ලෝහ අයන බැටරි, ඉන්ධන කෝෂ, සූර්ය බලශක්‌ති කෝෂ, අර්ධ සන්නායක හා න්‍යෂ්ටික බලශක්‌ති යෙදවුම් සදහා මිනිරන් නැති ව ම බැරි අමුද්‍රව්‍යයක්‌ වී හමාර ය. ජංගම දුරකථන, ලැප්-ටොප් පරිගණක, ඩිජිටල් කැමරා වැනි විද්යුත් ආම්පන්නවල භාවිත ලිතියම් අයන බැටරි මේ ඉහළ යන මිනිරන් ඉල්ලුමට වැඩිපුර දායක නො වුණත්, විදුලි වාහන හා දෙමුහුම් වාහන භාවිතය හමුවේ තත්ත්වය වෙනස්‌ වී ඇත. මේවායේ බැටරිවල සාමාන්‍ය ලිතියම් අයන බැටරියක අඩංගු ලිතියම් ප්‍රමාණයට වඩා 10 - 20 ගුණයක්‌ පමණ මිනිරන් අඩංගු වන අතර, මේ හරිත බලශක්‌ති වාහනවල බැටරියේ විශාලත්වය වැඩි වන විට අවශ්‍ය කරන මිනිරන් ප්‍රමාණය ද ඉහළ යැම වැළැක්‌විය නොහැක්‌කකි. ඒ, මේ බැටරිවල ඇනෝඩීය ද්‍රව්‍යය ලෙස, සවිවර (Porous) කාබන් ද්‍රව්‍යයන් අවැසි වන බැවිනි. ඒ අනුව මෙකී කාබන් ද්‍රව්‍යයට වන ප්‍රධානතම ආදේශකය ලෙස, ශ්‍රී ලංකාවේ ඉල්ලම් මිනිරන් (Vein Graphite) ලොව පුරා පිළිගැනීමට ලක්‌ ව ඇත. ඒ 95% - 98%ක්‌ තරම් අතිශය ඉහළ ප්‍රතිශත සංශුද්ධතාවක්‌, ශ්‍රී ලංකාවේ ඉල්ලම් මිනිරන් සතු වන බැවිනි. සාමාන්‍ය මිනිරන් මෙටි්‍රක්‌ ටොන් 01කට එක්‌සත් ජනපද ඩොලර් 648ක්‌ ලැබෙද්දී, ශ්‍රී ලංකාවේ ඉල්ලම් මිනිරන්, මෙටි්‍රක්‌ ටොන් 01කට එක්‌සත් ජනපද ඩොලර් 932ක්‌ ලැබෙන්නේ එබැවිනි. ඒ මෙක්‌සිකානු ක්‍ෂුද්‍ර කණිකාමය මිනිරන්වල ඒකක මෙටි්‍රක්‌ ටොන් එකක මිල එක්‌සත් ජනපද ඩොලර් 49ක්‌ වන තත්ත්වයක්‌ යටතේ ය. කෙසේ වුව ද නැනෝ පරිමාණයට සකසන ලද මිනිරන් මගින්, මෙටි්‍රක්‌ ටොන් 01කට එක්‌සත් ජනපද ඩොලර් 1200ක්‌ හෝ අනිවාර්යයෙන් ම ඊටත් වැඩි මිලක්‌ උපයාගැනීමේ ශක්‍යතාවක්‌ පවතින නිසා ම, මෙකී ව්‍යාපෘතීන්වල වැදගත්කම ඉහළ යයි. එලෙස ම මීට ආධාර වන තවත් දත්තයක්‌ නම්, 2011 - Mackie Research Group වාර්තාවට අනුව, වසර 2020 වත් දී විදුලි වාහනවලට පමණක්‌ අවශ්‍ය වන අතිරේක, සුපිරිසිදු මිනිරන් ප්‍රමාණය ටොන් 460,000ක්‌ පමණ වන බවයි. වසර 2010 දී ශ්‍රී ලංකාවේ මිනිරන් නිෂ්පාදනය ටොන් 11,000ක්‌ පමණක්‌ වූයේ, ඒ වසරේ ගෝලීය මිනිරන් නිෂ්පාදනයෙන් 2%ක්‌ පමණක්‌ ශ්‍රී ලංකාවට හිමි කර දෙමිනි. ඒ අනුව ශ්‍රී ලංකාව සිය නිෂ්පාදන ධාරිතාව වැඩි කිරීමේ අවශ්‍යතාවකට ද මුහුණ දෙයි.

ඕස්‌ටේ්‍රලියාවේ සිය මූලස්‌ථානය කොටගත් Mackie Research Group සමාගමේ, 2012 - වාර්ෂික මිනිරන් කර්මාන්ත වාර්තාව (Graphite Industry Report -2012) අනුව ශ්‍රී ලංකාව ලෝකයේ එක ම වාණිජ ඉල්ලම් මිනිරන් නිෂ්පාදකයා වෙයි. 95% - 98%ක පමණ සංශුද්ධතාවක්‌ පවතින ශ්‍රී ලංකාවේ ධමනි මිනිරන්, අධි තාක්‌ෂණික යෙදවුම් සදහා භාවිත කරන්නට නම් හැකි උපරිම සංශුද්ධතාවක්‌ ලබාගැනීම අවශ්‍ය වෙයි. ජාතික මූලික අධ්‍යයන ආයතනයේ නැනෝ තාක්‌ෂණ හා වැඩිදියුණු කරන ලද ද්‍රව්‍ය ව්‍යාපෘතියේ විද්‍යාඥයන්, මේ මිනිරන්වල සංශුද්ධතාව 99.99%ක්‌ තෙක්‌ ඉහළ නැංවීමට අවශ්‍ය පවිත්‍රණ තාක්‌ෂණික ක්‍රමවේද සොයාගැනීමට සමත් ව තිබේ.

ලෝකය තුළ මිනිරන් පවිත්‍රකරණය කොට අපද්‍රව්‍ය ඉවත් කිරීම සදහා විවිධ භෞතික හා රසායනික ක්‍රමවේද යොදාගැනේ. මේ අතුරින් උෂ්ණත්වය ඉහළ නැංවීමට භාවිත කෙරෙන, තාපන ක්‍රමවේදයන් භාවිතය අතිශයින් ම මිල අධික ය. එලෙස ම නයිටි්‍රක්‌, සල්ෆියුරික්‌, හයිෙඩ්‍රාක්‌ලෝරික්‌ වැනි අම්ල භාවිතය ද, වාණිජ නිෂ්පාදනය අතින් එතරම් හිතකර ක්‍රමවේද නො වේ. පෙණ ඉපිලුම් (Froth Floatation) වැනි හුදකලා ක්‍රමයන් ද සාර්ථක ප්‍රතිඵල ලබා දී නොමැති තත්ත්වයක්‌ යටතේ, ජාතික මූලික අධ්‍යයන ආයතනයේ විද්‍යාඥයන් වඩා සංයුක්‌ත ක්‍රමවේදයන් තුළින්, මිනිරන් පවිත්‍රකරණයට සාර්ථක හා වානිජමය අතින් ඉහළ ශක්‍යතාවක්‌ දක්‌වන නව තාක්‌ෂණයක්‌ සොයාගැනීමට සමත් ව ඇත. මේ තුළ භාවිත කෙරෙන ක්‍ෂාර 'කර කිරීමේ' (Alkali Roasting) ක්‍රමය මගින්, ශ්‍රී ලංකාවේ ධමනි මිනිරන් සතු ව බහුල ව පවතින සල්යිඩ හා සිලිකේට්‌ අපද්‍රව්‍ය ඉවත් කිරීම සාර්ථකව සිදු වන බව ද ඔප්පු කොට තිබේ.

එලෙස ම බැටරි යෙදවුම් තුළ භාවිත වන මිනිරන් සතු ව තිබිය යුතු ඉහළ විද්යුත් රසායනික ගුණ ඉහළ නැංවීමට අවශ්‍ය තාක්‌ෂණය ද මේ දේශීය විද්‍යාඥයෝ පිරිස සිදු කරමින් සිටිති. මේ සදහා මිනිරන් පෘෂ්ඨ විකරණය (Surface Modification) සිදු කරන අතර, ඒ සදහා බහුලව භාවිත වන තාපන ඔක්‌සිකරණයට පරිබාහිරව, රසායනික ඔක්‌සිකරණ ක්‍රමවේදයන් මගින් ඉහළ ඵල නෙළාගැනීමට ඔවුන් සමත් ව ඇත. එලෙස ම ඔවුන් භාවිත කරන පවිත්‍රක ක්‍රමවේදය මගින් ද විද්යුත් සන්නායකතාව හා විද්යුත් රසායනික ක්‍රියාකාරිත්වය ඉහළ නැංවෙන බව අනාවරණය වී ඇත. ලිතියම් අයන යළි ආරෝපණය කළ හැකි බැටරි සදහා වන, ඔවුන් ගේ උසස්‌තම මිනිරන් ඇනෝඩ ඉලෙක්‌ට්‍රොaඩය 99.9%ක්‌ වන තරම් අතිශය ඉහළ කූලෝම් කාර්යක්‍ෂමතාවක්‌, (Coulomb Efficiency) පෙන්වා ඇත්තේ, ඉතා අඩු අප්‍රතිවර්ත්‍ය ධාරිතාවක්‌ ද, (Irreversible Capacity) සමගිනි. තව ද, එහි ස්‌ථායි ප්‍රතිවර්ත්‍ය ධාරිතාව 378 mA h g-1 ලෙස දක්‌වන්නේ, සෛද්ධාන්තිකව අපේක්‌ෂිත ධාරිතාව වන

372 mA h g-1 ද ඉක්‌මවා යමිනි. සම්පූර්ණයෙන් ම දේශීය පර්යේෂණයක්‌ වන මේ ව්‍යාපෘතියේ ඉහළ ම ප්‍රතිඵල වාර්තා කරනුයේ, ශ්‍රී ලංකාවේ මිනිරන් කර්මාන්තය සතු ආර්ථිකමය විභවය තව තවත්, ඉහළ දමමිනි.

දිනෙන් දින ඉහළ යන ලිතියම් අයන බැටරිවල ගෝලීය අවශ්‍යතාව හමුවේ, ලිතියම් ලෝහයේ ඇති දුලබතාව හා එනිසා ම ඉහළ යන මූල්‍ය වටිනාකම හමුවේ ලිතියම් අයන බැටරි කර්මාන්තය අර්බුදයකට මුහුණ දෙමින් සිටිති. එය දෙමුහුම් හා විද්යුත් වාහන කර්මාන්තයටත්, අවශේෂ මහා පරිමාණ යෙදවුම්වලටත් තර්ජනයක්‌ වෙමින් වර්ධනය වේ. මේ තත්ත්වය හමුවේ ලිතියම් වෙනුවට වෙනත් ලෝහ ආදේශක කරා නිෂ්පාදකයෝ යොමු වෙමින් සිටිති. සෝඩියම්, මැග්නීසියම්, පොටෑසියම් වැනි ලෝහ ආදේශක දැනටමත් වෙළෝදපොළ තුළට පැමිණමින් ඇත. ඒ සෝඩියම් වැනි ලෝහයන් පෘථිවිය මත වඩා සුලබ හා ලාභදායි වීම පදනම් කරගනිමිනි. එලෙස ම ලිතියම් හා සෝඩියම් සතු ව බොහෝ දුරට සමාන ක්‍ෂාර ලෝහ ගුණයන් පවත්නා නිසා, ලිතියම් බැටරි තාක්‌ෂණය සෝඩියම් බැටරිවලට ආදේශ කිරීම පහසු වේ යෑයි සලකනු ලැබේ. එසේ වුවත් සෝඩියම්, පොටෑසියම් වැනි අයන සතු ඉහළ අයනික අරය නිසා, විද්යුත් රසායනික ක්‍රියාවලිය සුනම්‍ය ලෙස සිදුවීමේ අපහසුතා ඇති වේ. එලෙස ම ඉහළ අයනික අරය නිසා, ලිතියම් බැටරිවල දී භාවිත වන මිනිරන් වැනි ඇනෝඩික ද්‍රව්‍යයන් භාවිතය සුදුසු නො වන්නේ, බැටරි ආරෝපණය හා විසර්ජනය වීමේ දී සිදු විය යුතු අයන අන්තරස්‌ථාපනය (මිනිරන්වල පවතින පරමාණුක ස්‌ථර අතරට, ලෝහ අයන ඇතුළු වීම හා ඒ අතර රැඳීම) සිදු වන්නට අවශ්‍ය අන්තර - ස්‌ථරීය දුර (Inter - Layer Distance) සෝඩියම් වැනි ඉහළ අයනික අරීය අයන සදහා ප්‍රමාණවත් නො වන බැවිනි. මෑතක දී ඉහළ සෛද්ධාන්තික ගණනය කිරීම්වලට අනුව සාමාන්‍ය මිනිරන්වල පවතින නැනෝමීටර 0.34 (0.34 10-12 m)ක අන්තර - ස්‌ථරීය දුර, සෝඩියම් අයන සදහා භාවිත කරන්නේ නම් නැනෝ මීටර  0.37 (0.37 10-12 m) දක්‌වා ඉහළ නැංවිය යුතු වේ. මේ සදහා වන විසදුම් ලෙස විවිධ ව්‍යqහ, විවිධ සංයුතීන් (උදා- හයිඩ්‍රජන් අඩංගු කාබන්) හා විවිධ ස්‌වරූප (කාබන් නැනෝ නළ, සවිවර කාබන් සහ ඔක්‌සිහෘත ග්‍රැෆින් ඔක්‌සයිඩ් - Reduced Graphene Oxides), ඇනෝඩීය ද්‍රව්‍යයන් ලෙස භාවිතය යෝජනා වී ඇත.

ඒ අනුව, සෝඩියම්, මැග්නීසියම්, පොටෑසියම් වැනි ආදේශක ලෝහ අයන බැටරි සදහා වන බැටරි ඇනෝඩය තැනිය හැකි ද්‍රව්‍යයක්‌ ලෙස, ශ්‍රී ලංකාවේ වඩා සුලබතම ඉල්ලම් මිනිරන් භාවිත කළ හැකි අන්දම පිළිබදව ද, ජාතික මූලික අධ්‍යයන ආයතන පර්යේෂකයන් සිය අවධානය යොමු කර ඇත. මෙහි දී ඔවුහු ඔක්‌සිහෘත ග්‍රැෆින් ඔක්‌සයිඩ් හා විස්‌තාරිත මිනිරන් (Expanded Graphite) දේශීයව වාණිජ වශයෙන් නිපදවීමට ඇති හැකියාව සොයා බලමින් සිටිති. විශේෂයෙන් ම විස්‌තාරිත මිනිරන් කෙරේ වැඩි අවධානයක්‌ යොමු කරන්නේ, ඉතා කෙටි මගකින්, සෝඩියම් අයන බැටරි සදහා අතිශයින් ම සුදුසු ඇනෝඩීය ද්‍රdවණයක්‌ ඉන් ලබාගත හැකි නිසා ය. සෝඩියම් අයන බැටරි ප්‍රචලිත වීම මගින් වැඩි විද්යුත් ධාරිතාවක්‌ සහිත සහ ඉක්‌මනින් ම යළි ආරෝපණය කරගත හැකි සුහුරු බැටරි යෙදවුම් නිපදවාගත හැකි නිසා ම, මේ කර්මාන්තය ද පවතින්නේ අතිශය ඉහළ වර්ධන ප්‍රවණතාවක ය.

හන්තානේ ජාතික මූලික අධ්‍යයන ආයතන විද්‍යාඥයන් දියුqණු කරමින් සිටින අමතර උසස්‌ ද්‍රව්‍යයක්‌ වන ග්‍රැෆින් ඔක්‌සයිඩ් හා ඔක්‌සිහෘත ග්‍රැෆින් ඔක්‌සයිඩ්, දේශීය මිනිරන් මගින් නිපදවීම, වාණිජමය අතින් ශ්‍රී ලංකාවට අද්විතීය වාසි අත්පත් කරගත හැකි තවත් ක්‍ෂේත්‍රයකි. ඔක්‌සිහෘත ග්‍රැෆින් ඔක්‌සයිඩ් ඇනෝඩික ද්‍රව්‍යයක්‌ ලෙස භාවිත කළ හැකි ය. එසේ ම ග්‍රැෆින් ඔක්‌සයිඩ් ආශ්‍රිත පර්යේෂණ වැඩිදුර ගෙන යැම මගින්, ග්‍රැෆින් හෙවත් ඒක පරමාණුක මිනිරන් ස්‌ථර නිපදවීම දක්‌වා දේශීය තාක්‌ෂණය ඉහළ නැංවිය හැකි අතර, මේ පර්යේෂණ ක්‍ෂේත්‍රය ලෝ ප්‍රකට IBM, Samsung, Nokia, Intel වැනි මහා පරිමාණ සමාගම් පවා සිය ප්‍රාග්ධනය යොදවන අධ්‍යයන ක්‍ෂේත්‍රයකි. වසර 2020 වන විට එක්‌සත් ජනපද ඩොලර් මිලියන 675ක්‌ පමණ වෙතැයි සැලකෙන, ග්‍රැෆින් වාණිජ වෙළෙඳපොළ, ශ්‍රී ලංකාවේ අති සුපිරිසිදු ඉල්ලම් මිනිරන් වාණිජකරණය කළ හැකි සුවිසල් ක්‍ෂේත්‍රයකි. අර්ධ සන්නායකවල සිලිකන් වෙනුවට ග්‍රැෆින් යොදාගත හැකි වීම මෙහි වෙළෙඳපොළ සාධකය තීව්‍ර කරන එක්‌ කරුණක්‌ පමණි.

ඝන සංයුක්‌ත ද්‍රව්‍ය පද්ධති, ද්විතීයික ශක්‌ති මූලාශ්‍ර හා අධිතාක්‌aෂණික විද්යුත් යෙදවුම් තුළ භාවිත කළ හැකි ලාභදායී ද්‍රව්‍යය වේ. මේ පර්යේෂණ ව්‍යාපෘති තුළ මෙකී ද්‍රව්‍ය නිපදවීම ද සිදු කෙරෙන අතර, ශ්‍රී ලංකාවේ දේශීය මිනිරන් අන්තරස්‌ථාපනය කරන ලද පොලිඇනිලින් සංයුක්‌ත ද්‍රව්‍යයක්‌ මේ වන විටත් නිපදවා අවසන් ය. වානේ පෘෂ්ඨයන් ආරක්‌ෂා කරගත හැකි ප්‍රතිවිඛාදන (Anti- Corrosive) හා ජලභීතික (Hydrophobic) ගුණයන් ගෙන් යුක්‌ත ආරක්‌ෂක ආවරණ ද්‍රව්‍යයක්‌ වශයෙන් මෙය යොදාගත හැකි ය. වඩා ලාභදායී ලෙස නිපදවාලිය හැකි වීමත්, දේශීය මිනිරන් සම්පත් භාවිත කිරීමට හැකි වීමත් මෙහි සුවිශේෂිත්වය ඉහළ නංවයි. මේ අයුරින් දේශීය මිනිරන් ආශ්‍රිත බහුඅවයවික හා සංයුක්‌ත ද්‍රව්‍යයන් නිපදවීම මගින්, ද්‍රව්‍ය විද්‍යාව තුළින් දේශීය සම්පත් සඳහා අගය එකතු කරන්නට, ජාතික මූලික අධ්‍යයන ආයතන විද්‍යාඥයෝ සමත් ව සිටිති.

දේශීය ඛනිජ සම්පතින් උපරිම ඵල නෙළාගන්නට සිය විද්‍යාත්මක පර්යේෂණ මෙහෙයවන අතර, ලැබූ සාර්ථකත්වයන් සංකේතවත් කරමින්, ජාතික මූලික අධ්‍යයන ආයතනයේ නැනෝ තාක්‌ෂණ හා වැඩිදියුණු කරන ලද ද්‍රව්‍ය ව්‍යාපෘතිය මගින්, දේශීය මිනිරන් භාවිතයන් සඳහා නවමු තාක්‌ෂණය සොයාගැනීම සබැඳි ව, පේටන්ට්‌ බලපත්‍ර 03ක්‌ සඳහා මේ වන විටත් අයදුම්පත් ගොනු කොට ඇත. එලෙස ම ඔවුන් ගේ "යළි ආරෝපණය කළ හැකි බැටරි සඳහා ශ්‍රී ලාංකේය ඉල්ලම් මිනිරන් සංවර්ධනය" නම් ව්‍යාපෘතිය, වසර 2015-2020 සඳහා වූ "ශ්‍රී ලංකාවේ ජාතික පර්යේෂණ හා සංවර්ධන ආයෝජන සැලසුම" (National Research and Developent Investment Framework for 2015- 2020)ට ද ඇතුළත් ව ඇති අතර, ශ්‍රී ලංකාවේ මධ්‍යම රජයේ පූර්ණ අනුග්‍රහය ලබන්නට ද සමත් ව ඇත.

මේ වන විට මේ ව්‍යාපෘතිය ශ්‍රී ලංකා ඌව වෙල්ලස්‌ස විශ්වවිද්‍යාලයයේ දේශීය ඛනිජ සම්පත් සඳහා අගය එකතු කිරීමේ පර්යේෂණයන් සමගත්, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ ගර්භ විද්‍යා අංශය සමගත් පර්යේෂණ සහයෝගිතාවන් ගොඩනගාගෙන ඇත. පර්යේෂණ කණ්‌ඩායමේ නායකත්වය ජාතික මූලික අධ්‍යයන ආයතනයේ පර්යේෂණ විද්‍යාඥ ආචාර්ය අතුල විජයසිංහ මහතා දරන අතර, පේරාදෙණිය විශ්වවිද්‍යාලයයේ මහාචාර්ය අමරසූරිය පිටවල, ආචාර්ය නන්ද බාලසූරිය, ශ්‍රී ලංකා ඌව වෙල්ලස්‌ස විශ්වවිද්‍යාලයයේ ආචාර්ය නිශාන්ත අත්තනායක, ආචාර්ය ගයානි අමරවීර, ස්‌පාඤ්ඤයේ මැඩ්රිඩ් නුවර වෙසෙන ශ්‍රී ලාංකේය විද්‍යාඥයකු වන ආචාර්ය පුෂ්පක සමරසිංහ යන මහත්ම මහත්මීහු විද්‍යා කණ්‌ඩායමට ඇතුළත් වෙති. එලෙස ම පර්යේෂණ සහායකයන් ලෙස, පශ්චාත් උපාධි අපේක්‌ෂකයන් වන සසංක හේවාතිලක, නිරෝෂණ කරුණාරත්න, නිමාලි රත්නායක, තිලානි සෙනෙවිරත්න සහ නිරූබා කනගරත්නම් යන පිරිස සම්බන්ධ ව සිටිති. පර්යේෂණ කණ්‌ඩායමට අවශ්‍ය තාක්‌ෂණික සහාය, ජාතික මූලික අධ්‍යයන ආයතනයේ ප්‍රධාන තාක්‌ෂණික නිලධාරී ඩබ්ලිව්. ජී. ජයසේකර මහතා ලබා දෙයි.

ජාතික මූලික අධ්‍යයන ආයතනයේ අධ්‍යක්‌ෂ මහාචාර්ය පරාක්‍රම කරුණාරත්න මහතා ව්‍යාපෘතියට අවශ්‍ය සහාය නිබඳව ම ලබා දෙන අතර, ශ්‍රී ලංකාවේ වෙසෙන කීර්තිමත් භෞතීය විද්‍යා විද්වතකු වන, විද්‍යානිධි, සම්මානිත මහාචාර්ය ලක්‌ෂ්මන් දිසානායක මහතා ව්‍යාපෘතියේ විශේෂඥ මගපෙන්වීම සිදු කරයි. ශ්‍රී ලංකාවේ ජාතික පර්යේෂණ සභාව ද (National Research Council) ව්‍යාපෘතියට විශේෂ දායකත්වයක්‌ ලබා දෙයි.

පූර්ණ වශයෙන් ම, ශ්‍රී ලංකාවේ දේශීය විද්වතුන් ගේ බුද්ධිමය ශ්‍රම දායකත්වයෙන් ඔප් නැංවෙන මේ සුවිශේෂී වෑයමේ අනගි ඵල, සමස්‌ත රටට ම ලැබෙන දිනය නුදුරු අනාගතයේ දී ම උදා වනු ඇත. හුදු ප්‍රාථමික කර්මාන්තයන් ගෙන් ඔබ්බට ගොස්‌, අධිතාක්‌ෂණික නිපැයීම් බිහි කරමින් දියුණු රටක්‌ ජාතියක්‌ බිහි කරලීsමට, ශ්‍රී ලංකාවෙන් ම බිහි වුණු මේ දේශීය විද්‍යාඥයන් දරන වෑයම පැසසුමට ලක්‌ විය යුතු ය.

නිරෝෂන් සෙනෙවිරත්න
ශ්‍රී ලංකා ඌව වෙල්ලස්‌ස විශ්වවිද්‍යාලය
ආචාර්ය අතුල විජයසිංහ
ජාතික මූලික අධ්‍යයන ආයතනය,
හන්තාන පාර, මහනුවර