logo3.gif (702 bytes)

arrow7.gif (1098 bytes)


අලි-මිනිස්‌ ගැටුම වැළැක්‌වීමට අලින් අල්ලා විකිණීම විසඳුමක්‌ ද?

අලි පිළිබඳව කිසියම් දේශපාලනමය කතාබහක්‌ යළිත් ආරම්භ වී තිබේ.

'කැළෑ ප්‍රමාණයේ හැටියට ලංකාවට අවශ්‍ය අලි හාර දාහයි' යනුවෙන් හා අලි බෝ වීම පාලනය කිරීමට කටයුතු කළ යුතු යෑයි පාලක පක්‌ෂයේ දේශපාලනඥයකු පැවසූ කතාවක්‌ මේ සාකච්ඡාව සඳහා මූලික හේතුව විය. ඒ සමග තවත් අදහස්‌ සමූහයක්‌ මතු ව ඇත්තේ වනජීවී-මිනිස්‌ ගැටුමට හේතු වන හානි කරන ඌරන්, රිලවුන් වැනි වෙනත් සතුන් සම්බන්ධව ද ගත යුතු පියවර ද මේ ප්‍රකාශයට ඈඳීමත් සමග ය.

මේ ප්‍රකාශය පිළිබඳව විවිධ අදහස්‌ පළ වී ඇත. ඉන් සමහරක්‌ පළ වී ඇත්තේ ඉහත කී ප්‍රකාශයට පක්‌ෂ ව ය. සමහරක්‌ ඊට විපක්‌ෂ ව ය. මේ අදහස්‌ මුද්‍රිත මාධ්‍යයේ මෙන්ම සමාජ ජාලවල හා වෙනත් වෙබ් අඩවිවල ද පළ වී තිබේ. මේ සමහර අය ගේ අදහස්‌ හාස්‍යජනක වන්නේ ඉන් ඔවුන් ගේ අලින් හා වනජීවීන් පිළිබඳ දැනුම ද ප්‍රශ්න කෙරෙන නිසා ය. නිදසුනක්‌ ලෙස ඇතැමුන් අලි රංචුවක නායකත්වය දරන ඇත් රජු ගැන ද කතා කර තිබිණි. ආසියානු අලි රංචුවක නායකත්වය දරන්නේ වැඩිමහල් ගැහැනු අලියකු බව නො දන්නා අය තවමත් සිටිති. තවත් සමහරුන්ට අනුව ලංකාවේ අලින් ඉන්නේ 2000-2500ක්‌ අතර ප්‍රමාණයක්‌ පමණි.

මෙරට අලි ගහනය කොපමණ ද?

මෙරට වෙසෙන අලි ගහනය පිළිබඳව ද ගැටලුවක්‌ ඇති බව පෙනේ. මෙරට අලි ගහනය පිළිබඳව ඇති වඩාත් පිළිගත හැකි ගණනය කිරීම වන්නේ වනජීවී සංරක්‌ෂණ දෙපාර්තමේන්තුව මැදිහත් ව 2011 වර්ෂයේ දී සිදු කරන ලද අලි සංගණනයයයි. එහි වාර්තාව The First Island Wide National Survey of Elephants in Sri Lanka 2011 යනුවෙන් 2013 වර්ෂයේ දී පළ විය. එම වාර්තාවේ සඳහන් වන ආකාරයට මේ වන විට අලි 5,879ක්‌ පමණ මෙරට වාසය කරති. අප මාතෘකා කරගත් ඉහත කී දේශපාලනඥයා ගේ කතාවේ දී ඔහු මෙරට අලි 6,000ක්‌ සිටිනවා යෑයි පවසන්නේ මේ මත පදනම් ව විය යුතු ය.

මේ ගණන විශාල සංඛ්‍යාවක්‌ බැවින් ඇතැම් අය මේ සංගණනය පිළිබඳව සැක කරන ආකාරයක්‌ ද දැකිය හැකි ය. එහෙත් ස්‌වාධීන ව සිදු කර ඇති අධ්‍යයනවලින් ද ඇතැම් ප්‍රදේශවල අලි ගහන සම්බන්ධව හෙළි වී ඇති සංඛ්‍යාලේඛන මීට සමාන ය. නිදසුනක්‌ ලෙස ගත හොත්, ශර්මින් ද සිල්වා සහ තවත් අය විසින් 2011 දී Biological Conservation සගරාවේ ප්‍රකාශයට පත් කරන ලද අධ්‍යයනයකට අනුව උඩවලව ජාතික වනෝද්‍යානය පිළිබඳව සිදු කරන ලද අධ්‍යයනයකට අනුව එහි වාසය කරන අලින් ගණන 804-1,160 අතර බව ගණන් බලා ඇත. (DOI: 10.1016/j.biocon.2011.03.011) කෙසේ වෙතත් 2011 දෙපාර්තමේන්තු සංගණනයේ දී උඩවලව පමණක්‌ නො ව, රුහුණ, ලුණුගම්හෙහෙර හා බුන්දල යන ජාතික උද්‍යාන මෙන්ම ඉන් පිටත ප්‍රදේශ ද ඇතුළත් දකුණු වනජීවී කලාපයෙන් ම (එවකට දකුණු කලාපය) වාර්තා වන, වන අලින් ගණන 1,086ක්‌ පමණි.

අනෙක්‌ අතට මෙරට වාසය කළ හැකි අලින් කොපමණ ප්‍රමාණයක්‌ ද යන්න පිළිබඳව ප්‍රාමාණික අධ්‍යයන සිදුව තිබේ ද යන්න සැකසහිත ය. එසේ සිදු ව ඇතත්, 'අවශ්‍ය' යෑයි අලින් ප්‍රමාණයක්‌ නියම කිරීමට මිනිසුන්ට සදාචාරාත්මක අයිතියක්‌ තිබේ ද යන්න ගැටලුවකි. අලින් යනු ද ස්‌වාභාවික පරිසරයේ මිනිසුන් මෙන්ම ජීවත් වීමේ අයිතියක්‌ ඇති ජීවීන් කොට්‌ඨාසයකි.

පර්යේෂකයන් පෙන්වා දී ඇති ආකාරයට මෙරට අලි ගහනයෙන් සැලකිය යුතු ප්‍රමාණයක්‌ වාසය කරන්නේ ආරක්‌ෂිත ප්‍රදේශවලින් බාහිර ව ය. ඇතැම් විට කැළෑවලින් ද බැහැර ව යමිනි.

අලි ඉන්නේ කැළෑවල පමණක්‌ ද?

ඇතැමුන්ට අනුව අලින් ඉන්නට ඕනෑ කැළේ හෝ ආරක්‌ෂිත ප්‍රදේශවල පමණකි. එහෙත් මිනිසුන් මෙසේ සීමා පනවා ඇති බව අලින් දන්නේ නැත. එසේ ම අලින් ගේ වාසස්‌ථාන වූ ප්‍රදේශ මේ වන විට මිනිසුන් සිය වගා කටයුතු හා ජනාවාස සඳහා යොදාගෙන ඇත. ආහාර මෙන්ම ජලය ද අලින් ගේ අවශ්‍යතාවකි. ජල මාර්ග සොයා ඇතැම් අවස්‌ථාවල දී මානව ජනාවාස සහිත ප්‍රදේශ හරහා ගමන් කිරීමට අලින්ට සිදු ව තිබේ. එසේ ම දික්‌ගැසුණු නියගය වැනි සුවිශේෂ තත්ත්වවල දී ආහාර හා ජලය පිළිබඳ ගැටලුව තවදුරටත් උග්‍ර වේ.

පර්යේෂණවලින් පෙන්වා දී ඇති පරිදි අලි ඇත්තු ආහාර සොයා හේන් ආශ්‍රිත ව මෙන්ම වැව් පිටි ආශ්‍රිත ව ගැවසෙති. අලි හේන්වල භෝග අස්‌වැන්න නෙළාගත් පසුව ඉතිරි භෝග හා ඉන්පසුව වැවෙන ශාකවලට රුචිකත්වයක්‌ දක්‌වති. රුහුණ ජාතික වනෝද්‍යානයට යාබදව පිහිටා ඇති නිමලව ප්‍රදේශයට උතුරින් පිහිටි හේන් වගා කළ ප්‍රදේශ ආශ්‍රිත ව සිදු වූ සිදුවීම මේ සඳහා දැක්‌විය හැකි යෝග්‍යතම නිදසුනකි. එහි දී පෙනී ගිය පරිදි රුහුණ ජාතික වනෝද්‍යානයේ වාසය කළ අලින් වියළි කාලයේ දී යාබදව පිහිටා ඇති හේන් පිහිටා තිබූ ප්‍රදේශවලට පැමිණ අස්‌වනු නෙළාගෙන තිබූ හේන්වල ඉතිරි ව තිබූ භෝග ශේෂ හා සෙසු ශාක ආහාරයට ගැනීම සිදු කර ඇත. එහෙත් යළි වර්ෂා සමය එළැඹීමත් සමග මේ අලින් අතරින් වැඩි ප්‍රමාණයක්‌ යළිත් වනෝද්‍යානය තුළට හා වෙනත් වගා නොකරන ප්‍රදේශවලට පිවිසි බව රේඩියෝ කොලර් යොදාගනිමින් කළ අධ්‍යයනයකින් හෙළි වූ බව ඊ. ඩී. වික්‍රමනායක හා තවත් අය පළ කර ඇති පර්යේෂණ වාර්තාවකින් දක්‌වා ඇත. මෙය වැදගත් වන්නේ වර්ෂා සමයේ දී මේ ප්‍රදේශවල හේන් වගාව සිදු කරන නිසා ය. ඒ කාලයේ දී අලින් ගේ ගැවසීම අඩු වීම නිසා අලි-මිනිස්‌ ගැටුම් අවම වීමට මේ තත්ත්වය හේතු විය. මේ නිසා සාම්ප්‍රදායික ජීවනෝපාය ක්‍රම මනා පාලනයකින් යුක්‌ත ව භාවිත කිරීම අලි සංරක්‌ෂණය මෙන්ම අලි-මිනිස්‌ ගැටුම අවම කිරීම සඳහා යොදාගත හැකි උපක්‍රමයක්‌ බව පෙන්වා දී තිබේ. කෙසේ වෙතත්, 2000 වර්ෂයෙන් පසුව පමණ මෙසේ, කලින් කලට ප්‍රදේශවලට සංක්‍රමණය වෙමින් දිවි ගෙවූ අලින් රුහුණු ජාතික උද්‍යාන ප්‍රදේශයට සීමා කරමින් විදුලි වැටක්‌ ඉදි කිරීමෙන් පසුව එම අලින් අතරින් සැලකිය යුතු ප්‍රමාණයක්‌ අකාලේ මිය ගිය බව වාර්තා වී තිබේ.

අලින් සමග දිවි ගෙවීම

මිනිසුන් හා අලින් අතර සහයෝගී පැවැත්මක්‌ පිළිබඳව යම් අදහසක්‌ පවත්වාගත නොහැකි ද යන්න සිතා බැලිය යුතු දෙයකි. ඒ සඳහා බහු පාර්ශ්වීය ප්‍රවේශයක්‌ අවශ්‍ය බව සැබෑ ය. සංවර්ධනය හා මිනිසුන් ගේ අවශ්‍යතා සොයාබැලීම හා ඒ සඳහා අවශ්‍ය ඉඩම් ලබාගැනීම මෙන්ම වනජීවීන් උදෙසා අවශ්‍ය බිම් ප්‍රමාණය තබාගැනීම රටක්‌ ලෙස වැදගත් ය. වනජීවී කළමනාකරණය මෙහි දී වැදගත් වේ. මේ සඳහා විවිධ උපක්‍රම අනුගමනය කිරීමට සිදු විය හැකි ය. විදුලි වැට, ජීව වැට, අගල්, ගැටලුකාරී අලින් ඇල්ලීම, අලින් එළවීම ආදි විවිධ උපක්‍රම මේ සඳහා භාවිත වේ. මේ අතරින් වඩාත් වැදගත් වන්නේ මිනිසුන් හා අලින් අතර සහයෝගී පැවැත්මක්‌ සිදු කළ හැකි ආකාරයේ විසඳුම් ය. එවැනි විසඳුම් සාර්ථකව ක්‍රියාත්මක කළ අවස්‌ථා තිබේ. අලින් ගේ සංචරණයට ද අවස්‌ථාව ලබා දෙමින් ගම් වටා විදුලි වැට යෙදවූ අවස්‌ථා මේ සඳහා නිදසුනකි.

අනාදිමත් කාලයක සිට පැවත එන අලි-මිනිස්‌ ගැටුම අලින් ගේ හා මිනිසුන් ගේ මරණවලට මෙන්ම දේපොළ හා වගාහානිවලට හේතු වන කරුණක්‌ බව සැබෑවකි. මෙය කඩිනමින් විසඳුමක්‌ සෙවිය යුතු ගැටලුවක්‌ ද වේ. එසේ ම මෙය රටේ සැම තැනකට ම එක ම ආකාරයේ විසඳුමක්‌ ලබා දිය හැකි ගැටලුවක්‌ නො වේ. එයට හේතුව ගැටලුවට බලපා ඇති හේතු විවිධ ප්‍රදේශවල දී වෙනස්‌ වීම ය. මේ අනුව මෙය විවිධ ආකාරයේ විසඳුම් ලබා දිය යුතු ආකාරයේ ගැටලුවක්‌ බව බලධාරීන් මෙන්ම ප්‍රතිපත්ති සම්පාදකයන් ද වටහාගත යුතු වේ. එහෙත් මේ ගැටලුවට විසඳුම අලි ඇල්ලීම හෝ විකිණීම නම් නො වේ.

හීලෑ අලින් අවශ්‍ය කුමකට ද?

අලි-මිනිස්‌ ගැටුමට විසඳුම් ලෙස ඉදිරිපත් වන යෝජනාව අතරට අලින් අල්ලා විකිණීම නම් ඇතුළත් විය යුතු යෑයි ක්‌ෂේත්‍රයේ කිසිදු විද්වතකු පවසනු ඇතැයි අප සිතන්නේ නැත. ඉන් පළමු කරුණ වන්නේ අලින් අද අවශ්‍ය වන්නේ කුමක්‌ සඳහා ද යන්නයි. සත්වෝද්‍යානවල ප්‍රදර්ශනය සඳහා විදේශ රටවලට යෑවූ අලින් පත් ව ඇති ඉරණම විදේශීය මාධ්‍ය ඔස්‌සේ වාර්තා වේ.

සාම්ප්‍රදායික දැනුමක්‌ ලෙස සැලකිය හැකි අලි හීලෑ කිරීම පිළිබඳ මෙරට ඉතිහාසය බොහෝ පැරැණි ය. එහෙත් අද වන විට හීලෑ අලින් අවශ්‍ය වන්නා වූ ප්‍රධානතම කාර්යය වන්නේ සංස්‌කෘතික වශයෙන් වැදගත්කමක්‌ ඇති පෙරහැර පමණකි. ඇතැමුන් ඊට විරුද්ධ වුව ද පෙරහැර යනු අනාදිමත් කාලයක සිට පැවත එන සංස්‌කෘතික අංගයකි. මෙය බුදුදහම මෙරටට හඳුන්වා දුන් කාලයේ සිට පැවත එන්නක්‌ බව මහාවංසය අනුව පෙනේ. නිදසුනක්‌ ලෙස ගත හොත් මෙරට පළමු ස්‌තූපය වන ථූපාරාමය නිර්මාණය කළ අවස්‌ථාවේ දී එහි තැන්පත් කිරීම සඳහා ධාතූන් වහන්සේලා තැන්පත් කිරීම සඳහා සංවිධානය කරන ලද පෙරහැරේ දී ධාතූන් වහන්සේලා වැඩමවීම සඳහා ඇතකු යොදාගැනීම මීට නිදසුනකි.

කෙසේ වෙතත් පෙරහැර සඳහා අලින් ලබාගැනීම සඳහා වුව ද පෞද්ගලික අයිතියට ලබා දීම ප්‍රවර්ධනය කිරීම නො කළ යුතු බව අප ගේ අදහසයි. ඉහත කී ආකාරයට පෙරහැර සඳහා අලි ඇතුන් සැපයීම රාජ්‍ය අංශයේ මැදිහත් වීමෙන් සිදු කළ හැකි ය. එවැන්නක්‌ සඳහා යම් ආරම්භයක්‌ පසුගිය දිනක පැවැත්වුණු බවක්‌ වාර්තා විය. එය යම් ආකාරයකින් සතුටට හේතු වන කරුණකි.

පෞද්ගලික අයිතිය ප්‍රවර්ධනය නො කළ යුතු යෑයි අප සඳහන් කරන්නේ එමගින් අලින් යොදාගෙන මුදල් ඉපැයීම අරමුණු කරගත් නව ධනපති පංතිය නිසා අලින් පත් ව ඇති අසරණ තත්ත්වය අද අප ගේ ඇස්‌ හමුවේ දිස්‌ වන නිසා ය. මෙරට තුළ අලින් යොදාගෙන වැඩ ගැනීම දැන් අවම මට්‌ටමකට පත් ව තිබේ. එය තවදුරටත් අඩු වෙමින් පවතින්නකි. සෆාරි සඳහා යොදාගැනීම අලින් පත් විය හැකි දරුණුතම තත්ත්වයක්‌ වන්නේ එය හුදෙක්‌ මුදල් අරමුණු කරගෙන කරන්නක්‌ බව පෙනෙන නිසා ය. සංචාරක අධිකාරීන් ඒ සඳහා නිකුත් කර ඇති මාර්ගෝපදේශ හා මේ වන විට සෆාරි කාර්යයේ යොදාගන්නා අලින් සම්බන්ධව ක්‍රියාත්මක නො වන බව ක්‌ෂේත්‍රයට සමීප පිරිස්‌වල මතය වේ. අලින් ගේ සුබසාධනය සම්බන්ධව මේ පිරිස්‌වල අවධානය අවම ය. මේ නිසා පෞද්ගලික අයිතියට අලින් ලබා දීම නො කිරීම වඩාත් හොඳ ය.

ධනේෂ් විසුම්පෙරුම