logo4.gif (427 bytes)

arrow7.gif (1098 bytes)


ඩෙංගු එන්නතක්‌ මෙරටට හඳුන්වා දීම තවත් කල් යන හැඩ

මනෝඡ් රත්නායක

ඩෙංගු සඳහා ලොව රටවල් කීපයක භාවිත වන ඩෙංග්වැක්‌සියා (Dengvaxia) නම් එන්නත ලංකාවේ ලියාපදිංචි නො කරන්නට රජය තීරණය කර ඇති බව වාර්තා වේ. මේ සම්බන්ධ සාකච්ඡාවක්‌ පසුගිය සතියේ දී සෞඛ්‍ය අමාත්‍යංශයේ දී සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ගේ ප්‍රධානත්වයෙන් පැවැති අවස්‌ථාවේ දී මේ තීරණය ගන්නා ලදැයි වාර්තා වේ. මේ අවස්‌ථාවට රාජිත සේනාරත්න, ජාතික වෛද්‍ය නියාමන අධිකාරියේ සභාපති මහාචාර්ය අසිත ද සිල්වා, ඩෙංගු සායනික කළමනාකරණ මධ්‍යස්‌ථානයේ ප්‍රධානී වෛද්‍ය ලක්‌කුමාර ප්‍රනාන්දු, ජාතික ඩෙංගු මර්දන ව්‍යාපාරයේ වෛද්‍ය හසිත තිසේරා යන මහත්වරු සහභාගි වූ හ. මෙය ලියාපදිංචි නො කරන්නට තීරණය කර ඇත්තේ අදාළ එන්නත ලංකාවේ පවතින ඩෙංගු වයිරස ප්‍රභේදයට එරෙහි ව එතරම් ප්‍රබලව ක්‍රියාකාරී නො වේ ය යන මතයට අනුව බව ද වාර්තා වේ. එසේ වුව ද මේ පුවත ඉහත සාකච්ඡාවට සහභාගි වූ කිසිවකු හෝ වෙතින් තහවුරු කරගන්නට අපට නොහැකි විය.

මේ සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කළ යුතු ව ඇතැයි අප විශ්වාස කරන මහාචාර්ය අසිත ද සිල්වාට මේ ලේඛකයා අවස්‌ථා ගණනක දී ඇමතුම් දුන් අතර, වරින් වර පසුව අමතන ලෙස අපට දැනුම් දුන් නමුත් ඔහු පසුව දුරකථනයට සම්බන්ධ වූයේ නැත. ඩෙංගු මර්දන ඒකකයේ වෛද්‍ය හසිත තිසේරා මහතා ගෙන් මේ පිළිබඳව විමසූ විට ඔහු පළමුව කීවේ තමා ගෙන් නො ව ජාතික වෛද්‍ය නියාමන අධිකාරියෙන් මේ ගැන විමසන ලෙස ය. එහෙත් මේ සාකච්ඡාවට ඔහු ද සහභාගී වූ බව අප දන්නේ යෑයි දැන්වූ විට ඔහු කීවේ ඉදිරි දිනයක තමා හමු වී මේ ගැන තොරතුරු දැනගන්නා ලෙස ය. අවාසනාවකට මෙන් මේ ඉදිරි දිනය එළඹෙන්නේ අප ගේ මේ සතියේ පුවත්පත පළ වීමෙන් පසු එළැඹෙන දෙවැනි දවසේ දී ය.

මේ හේතුව නිසා මේ ලියාපදිංචිය නො කිරීමේ තීරණය පූර්ණකාලීන එකක්‌ ද නොඑසේ නම් තාවකාලික එකක්‌ දැයි දැනගන්නට අපට නොහැකි විය. කෙසේ වෙතත් මේ ඩෙංග්වැක්‌සියා ඖෂධය බෙදාහැරීමට අදාළ ප්‍රංශ සමාගමේ ලංකා නියෝජිත සමාගමේ ප්‍රධානියකු ගෙන් අප මේ ගැන විමසූ විට ඔහු කීවේ සාකච්ඡාවල ප්‍රගතිය ගැන කිසිවක්‌ රජය තවමත් ඔවුන්ට දක්‌වා නැති බවයි.

අප සමග සාකච්ඡා කළ නම හෙළි කිරීමට අකැමැති වූ වසංගත රෝග පිළිබඳ හසළ දැනුමක්‌ ඇති වෛද්‍යවරියක පැවසුවේ මේ එන්නත තවදුරටත් පරීක්‌ෂණවලට යොමු කිරීමෙන් පසු භාවිතයට ගැනීමේ හැකියාව ඇති බවයි.

පවතින විද්‍යාත්මක තොරතුරුවලට අනුව ලොව පිළිගත් ඩෙංගු එන්නත් ඇත්තේ ඉතා ම ස්‌වල්පයක්‌ වන අතර ඩෙංග්වැක්‌සියා යනු ඒ අතරෙන් ඉහළ ම පිළිගැනීමක්‌ සහිත එකක්‌ බව සඳහන් වේ. ප්‍රංශයේ ප්‍රකට ඖෂධ සමාගමක්‌ විසින් නිපදවන ලද මේ ඖෂධය පළමුව ලියාපදිංචි කරන ලද්දේ මෙක්‌සිකෝවේ ය. 2015 දෙසැම්බර් මස මෙක්‌සිකෝවේ වයස අවුරුදු 9-45 කාණ්‌ඩයේ භාවිතය සඳහා එයට අනුමැතිය ලැබිණි. ඇතැම් වයිරස ප්‍රභේදවලට අදාළව සියයට 71 සිට 79ක්‌ දක්‌වා සාර්ථකත්වයක්‌ එය වාර්තා කොට තිබේග අදාළ ඖෂධ සමාගමේ නිල වෙබ් අඩවියට අනුව ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිල පිළිගැනීමක්‌ ඇති රටවල්

රැසක ම වෛද්‍ය නියාමන අධිකාරී මගින් මේ එන්නත අනුමත කොට ඇත.

2016 වසර වන විට මෙක්‌සිකෝවට අමතරව පිලිපීනය, බ්‍රසීලය එල්a සැල්වදොaරය, කොස්‌ටරිකාව, පැරගුවේ, ගෝතමාලාව, පේරු, තායිලන්තය, සිංගප්පූරුව හා ඉන්දුනීසියාව මේ එන්නත අනුමත කොට තිබේ.

කෙසේ වෙතත් සෞඛ්‍ය සේවා අධ්‍යක්‌ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය ජයසුන්දර බණ්‌ඩාර මහතා පැවසුවේ වයස අවුරුදු 9ට අඩු රෝගීන්ට භාවිතයට ඇති නොහැකියාව ඇතුළුව ගැටලු කීපයක්‌ හේතු කොටගෙන මේ එන්නතට අප රට තුළ අනුමැතිය දීම ප්‍රශ්නකාරී වන බවයි. (මේ ගැටලුවට සෘජු ව ම අදාළ හා මේ සාකච්ඡාවලට සහභාගි වූ අය අදහස්‌ දැක්‌වීමට අකැමැතිව දුරකථනය මඟහැර සිටිය දී මේ අදහස හෝ දැක්‌වීම ගැන ජයසුන්දර බණ්‌ඩාර මහතාට අපේ ස්‌තුතිය පුද කරමු).

රජය මෙය ප්‍රතික්‌ෂේප කරන්නේ නම් වෙනත් සුදුසු එන්නතක්‌ සලකා බැලීමට යොමු වීම වැදගත් බව මේ පිළිබඳ විශේෂඥ දැනුමක්‌ ඇති පිරිස්‌වල මතයයි.