logo3.gif (702 bytes)

HOME


සර්පයන් සහ විෂ: නව විද්‍යාත්මක සොයාගැනීම්

මෑතක දී කැලණිය විශ්වවිද්‍යාලයයේ වෛද්‍ය පීඨයේ පර්යේෂණ කණ්‌ඩායමක්‌ විසින් ශ්‍රී ලංකාව පුරා ප්‍රජා මූලික අධ්‍යයනයක්‌ සිදු කර ඒ මගින් ශ්‍රී ලංකාවේ සර්ප දෂ්ඨ කිරීම්වල පැතිරීම ප්‍රමාණාත්මකව ගණනය කරන ලදී. ඒ අනුව ශ්‍රී ලංකාවේ සැම මිනිසුන් ලක්‌ෂයකින් ම මිනිසුන් 398ක්‌ වාර්ෂිකව සර්ප දෂ්ඨනවලට ලක්‌ වන බව සොයාගන්නා ලදී. මෙයින් 40%කට පමණ විෂ ශරීරගතවන බව ද මේ වාර්තාවෙන් පෙන්වා දී ඇත. එසේ ම ශ්‍රී ලංකාවේ සර්ප දෂ්ඨන බහුලව ම සිදු වන්නේ උතුරුමැද පළාත තුළ බවත්, එම පළාත තුළ සර්ප දෂ්ඨනවලින් 70%ක්‌ පමණ විෂ ශරීරගත වන දෂ්ඨන බවත් මෙහි සඳහන් වෙයි. මේ සංඛ්‍යා අනුව ශ්‍රී ලංකාව, ලොව ජනගහන අනුපාතය අනුව සර්ප දෂ්ඨන බහුලව ම සිදු වන රටක්‌ බව නැවතත් තහවුරු වී ඇත. එම නිසා සර්ප දෂ්ඨන ගැනත් වෛද්‍ය විද්‍යාත්මක වැදගත්කමකින් යුතු සර්පයන් ගැනත් අප හට අවබෝධයක්‌ තිබීම වැදගත් වෙයි.

දැනට ලොව පුරා සර්ප විශේෂ 3200ක්‌ පමණ විද්‍යාත්මකව හඳුනාගෙන ඇති අතර යම් ප්‍රමාණයක හෝ විෂ ඇත්තේ එයින් විශේෂ 600කට පමණි. එයිනුත් වෛද්‍ය විද්‍යාත්මකව වැදගත් වන්නේ විශේෂ 250ක පමණ සංඛ්‍යාවකි. ශ්‍රී ලංකාව තුළ හා අවට මුහුදේ සර්ප විශේෂ 104ක්‌ පමණ වාර්තා වෙයි. එයින් අති බහුතරයක්‌ විෂ නොමැති සර්පයන් වන අතර විෂ සහිත සර්පයන් අතරින් වෛද්‍ය විද්‍යාත්මකව වැදගත් සර්ප විශේෂ වන්නේ කිහිපයක්‌ පමණි.

විෂ සහිත සර්පයන් දෂ්ඨනයෙන් මිනිසාට ඇති වන සෞඛ්‍ය අවදානම නිසා ඉමහත් වෛද්‍ය විද්‍යාත්මක වැදගත්කමක්‌ එම සතුන්ට නිතැතින් ම හිමි වෙයි. එම නිසා ඔවුන් ගේ විෂ ප්‍රබලත්වය අනුව සර්පයන් උග්‍ර විෂ, මඳ විෂ, සුළු විෂ සහ නිර් විෂ ලෙස වර්ග කිරීම සිදු වේ. තව ද 'මාරාන්තික විෂ' සහ 'මාරාන්තික නො වන විෂ' ලෙස ද සමහරු විෂ සහිත සර්පයන් වර්ග කරති. මේ වර්ග කිරීම ධූලකවේදය (Toxinology) හා සම්බන්ධ විද්‍යාත්මක ප්‍රකාශනවල දී භාවිත නො වුණ ද, ජනප්‍රිය විද්‍යා ලිපිවල බහුලව භාවිත වන්නකි. එසේ ම සර්පයන් ගැන උනන්දුවක්‌ දක්‌වන බොහෝ පරිසරවේදීහු ද මේ වර්ග කිරීම භාවිත කරති. එසේ ම එයින් ඔබ්බට ගොස්‌ මේ වර්ග කිරීම් මත පදනම් ව සර්ප දෂ්ඨනවල දී ගත යුතු ක්‍රියාමාර්ග ගැනත්, ඇතැම්හු විවිධ අදහස්‌ පළ කරති.

සර්ප විෂෙහි ප්‍රබලත්වය මනිනුයේ කෙසේ ද?

සර්පයන් ගේ විෂෙහි ප්‍රබලත්වය මැනීමට සම්මතය ලෙස විද්‍යාත්මකව භාවිත වන මිනුම වන්නේ මධ්‍යන්‍ය මාරාන්තික මාත්‍රාවයි. (Median Lethal Dose - LD50). සරලව ගත් කල LD50 මගින් අදහස්‌ වන්නේ විද්‍යාගාර මීයන් නියෑදියකින් හරි අඩක්‌ පැය 24ක්‌ හෝ 48ක්‌ හෝ තුළ මරණයට පත් කිරීමට සමත් වන සර්ප විෂ මාත්‍රාවයි. එම නිසා විෂෙහි ප්‍රබලත්වය වැඩි වන තරමට LD50 අගය අඩු වෙයි. එසේ ම මීයන්ට විෂ එන්නත් කරන මාර්ගය (Route) අනුව ද (උදා: අන්තඃශිරා, අන්තඃපේශි) මේ අගයන් වෙනස්‌ වෙයි. විවිධ සර්ප විශේෂ සඳහා මේ අගයන් අඩංගු "වගු" ලොව පුරා ප්‍රචලිත ව ඇත. මේ වගු අනුව බොහෝ විට ලොව විෂ අධිකම සර්ප විශේෂය ලෙස සැලකෙන්නේ ඕස්‌ටේ්‍රලියාවේ Inland taipan (Oxyuranus microlepidotus) සර්ප විශේෂයයි. එසේ ම මේ වගු අනුව ලොව අධිකතම විෂ ප්‍රබලත්වයකින් යුතු සර්පයන් බොහොමයක්‌ ඔස්‌ටේ්‍රලියාව තම වාසභුමිය කරගෙන ඇති බව ද පෙනී යයි.

විෂ වගු භාවිත කර, මිනිසාට සර්පයන් ගේ විෂ බලපෑ හැකි ආකාරය පුරෝකථනය කරමින් විෂ ප්‍රබලත්වය අනුව සර්පයන් උග්‍ර විෂ, මඳ විෂ, සහ සුළු විෂ ලෙස වර්ග කිරීම සඳහා, සර්ප විෂෙහි LD50 අගය භාවිත කිරීමට සමහරු පෙලඹී සිටිති. එහෙත් මේ වගු පරිහරණය කරන බොහෝ දෙනා අමතක කරන කරුණ වන්නේ මේ LD50 යනු මීයන් මැරීමේ මිනුමක්‌ මිස මනුෂ්‍යයන්ට ඇති බලපෑමේ මිනුමක්‌ නො වන බව ය. එසේ ම මේ LD50 අගයන් අනුව උග්‍ර විෂ හෝ මඳ විෂ හෝ නිර්වචනය කිරීම සඳහා කිසිදු විද්‍යාත්මක නිර්ණායකයක්‌ ද නොමැත.

සර්ප විෂ ප්‍රබලත්වය මැනීමේ මිනුම් මිනිසුන්ට අදාළ ද?

පසුගිය දශක තුන තුළ ධූලකවේදය සහ විෂ පරිණාමය පිළිබඳ මානව දැනුම ශීඝ්‍රයෙන් පුළුල් විය. සර්පයන් ගේ විෂෙහි සංයුතිය, විශේෂ අතර පමණක්‌ නො ව, එක ම විශේෂය තුළ ම විශාල විවිධත්වයකින් යුතු බවට දැන් ඕනෑ තරම් සාධක ඇත. මේ විෂ විවිධත්වය සඳහා මූලික ම සාධකය වන්නේ ගොදුරු සත්ත්ව විශේෂවල විවිධත්වයයි. එම නිසා බොහෝ සර්ප විශේෂවල විෂ, තම ගොදුරු විශේෂ සඳහා විශේෂිත ව බලපාන ලෙස සකස්‌ වී ඇත. උදාහරණයක්‌ ලෙස සන්ධිපාදකයන් ආහාරයට ගන්නා සර්පයකු ගේ විෂ සංයුතිය සකස්‌ වන්නේ බොහෝ විට සන්ධිපාදකයන් හට බලපාන ධූලක (toxins) බහුල වන පරිදි වන අතර, සමහර විට මීයන්ට එහි ඇති බලපෑම සාපේක්‌ෂව අඩු වනු ඇත. මේ ආකාරයෙන් ම, මීයන් ආහාරයට ගන්නා සර්පයන් ගේ විෂ සංයුතිය සකස්‌ වෙන්නේ මීයන් ක්‌ෂණිකව අඩපණ කළ හැකි ධූලකවලින් වන අතර ඒවායින් සමහරක්‌ මිනිසාට එතරම් හානි ඇති කිරීමට සමත් නො වේ. උදාහරණයක්‌ ලෙස ඕස්‌ටේ්‍රලියානු සහ අග්නිදිග ආසියානු සර්පයන් ගේ විෂ යොදාගෙන මා ඇතුළු පර්යේෂණ කණ්‌ඩායම විසින් මොනෑෂ් සහ ක්‌වීන්ස්‌ලන්ත විශ්වවිද්‍යාලවල දී මෑතක දී කරන ලද පර්යේෂණ අනුව තහවුරු වූයේ සර්ප විෂෙහි ඇති සමහර ස්‌නායු ධූලක කාණ්‌ඩ මීයන්ට ක්‌ෂණිකව මරණය ගෙන දුන්න ද, මානව ස්‌නායු පද්ධතිය ඒවාට හොඳින් ඔරොත්තු දෙන බවයි. එසේ ම පේරාදෙණිය වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය කලණ මාදුවගේ මහතා ගේ පර්යේෂණ අනුව තහවුරු වූයේ මිනිසුන් ගේ රුධිරය කැටිගැසීම ලෙස අකර්මණ්‍ය කරන සමහර සර්ප විෂවලට මීයන් හොඳින් ඔරොත්තු දෙන බවයි. ඒ අනුව, පැහැදිලි වන්නේ මීයන් මරාදැමීමට ඇති හැකියාව මත සර්ප විෂෙන් මිනිසාට වන බලපෑම පුරෝකථනය කිරීම නො ගැළපෙන බවයි. එසේ නම් මෙයින් ගම්‍ය වන්නේ, මීයන් මරණයට පත් කිරීමේ හැකියාව මත ගොඩනැගුණු LD50 සහ ඒ අනුව ගොඩනැගුණු උග්‍ර විෂ, මඳ විෂ, සහ සුළු විෂ, බෙදීම, සර්ප දෂ්ඨනවලින් මිනිසාට වන බලපෑම් විස්‌තර කිරීමට යොදා නො ගත යුතු බවයි.

මාරාන්තික විෂ සහිත සර්පයන් ලෙස සමහර සර්පයන් හැඳින්වීම නිවැරැදි ද?

මාරාන්තික දෂ්ඨන සිදු කර ඇති හෝ සිදු කිරීමට හැකියාව ඇතැයි උපකල්පනය කළ හැකි හෝ සර්ප විශේෂ සඳහා සමහරු 'මාරාන්තික විෂ සහිත සර්පයන්' යන යෙදුම භාවිත කරති. බොහෝ විට 'උග්‍ර විෂ සර්පයන්' යනුවෙන් සමහරුන් හඳුන්වන්නේ ද මේ සර්පයන් වෙයි.

සර්ප විෂ යනු විවිධ ධූලක රැසක එකතුවකි. සර්ප දෂ්ඨනයකින් පසු දෂ්ඨ කළ ස්‌ථානයේ සිට එම ධූලක වර්ග විවිධ ශීඝ්‍රතාවන් ගෙන් රුධිරයට අවශෝෂණය වී විවිධ ඉන්ධද්‍රිය පද්ධතිවලට විවිධ ලෙස බලපායි. සර්ප දෂ්ඨනයක දී 'මරණය' යනු විවිධ ධූලක ක්‍රිsයාකාරීත්වයන්හි සාමූහික ප්‍රතිඵලයයි. සර්පයකු ගේ විෂ ප්‍රබලතාව, සර්ප දෂ්ඨනයක දී රෝගියාට මරණය ළගා කර දිය හැකි ප්‍රධාන සාධකයක්‌ වුව ද එය එක ම සාධකය නො වෙයි. විෂ ප්‍රබලත්වයට අමතරව, ශරීරගත වුණු විෂ මාත්‍රාව, විෂ එන්නත් වූ පටක ගැඹුර සහ මාර්ගය (route), රෝහල වෙත රෝගියා ගෙන ඒමට ඇති වූ ප්‍රමාදයන්, ප්‍රථමාධාර ලබා දීම හෝ නො දීම, ප්‍රති විෂ (antivenom) ලබා දීමේ ප්‍රමාදයන්, ප්‍රති විෂ ඖෂධවල සඵලතාව සහ රෝගියාට ඇති වෙනත් රෝගී තත්ත්වයන් වැනි වැදගත් සාධක මත සර්ප දෂ්ඨනයකට ලක්‌ වූ පුද්ගලයකුට විෂෙන් වන බලපෑම රඳා පවතියි.

උදාහරණයක්‌ ලෙස පළා පොළගා සාමාන්‍යයෙන් සලකන්නේ මාරාන්තික නො වන සර්පයකු ලෙස වුව ද අහම්බෙන් සිදු වන පළා පොළොන් දෂ්ඨනයක්‌ මගින් විෂ විශාල ප්‍රමාණයක්‌ ඝෘජු ව ම ශිරාවක්‌ තුළට ඇතුළු වුව හොත් ඉතා ඉක්‌මනින් මාරාන්තික තත්ත්වයක්‌ ඇති විය හැකි ය. එම නිසා සර්පයන් 'මාරාන්තික' හෝ 'මාරාන්තික නො වන' ආකාරයෙන් ලේබල් කිරීම ද උචිත නො වෙයි.

එසේ ම ලංකාවේ සර්ප දෂ්ඨන වැඩි ම සංඛ්‍යාවකට හේතු වන, පුළුල් ව්‍යාප්තියක්‌ ඇති, (මෙරේම් ගේ) පොළොන් තෙලිස්‌සා (Hypnale hypnale) ගේ දෂ්ඨනවලින් සිදු වන සංස්‌ථානික විෂ ශරීරගත වීම් සහ මරණ ප්‍රතිශතය ඉතා අඩු වුව ද, දරුණු ස්‌ථානීය විෂ බලපෑම් ඉතා බහුල ය. එහෙත් මාරාන්තික විෂ සහිත සර්පයකු ලෙස සැලකෙන, සීමිත ව්‍යාප්තියක්‌ ඇති මුදු කරවලා (Bungarus ceylonicus) දෂ්ඨනයෙන් මරණයක්‌ වාර්තා වී තිබුණ ද මේ දක්‌වා වාර්තා වී ඇති දෂ්ඨන ගණන ඉතා ම සුළු සංඛ්‍යාවකි. එම නිසා ප්‍රජා සෞඛ්‍ය ඇසකින් බලන කල මුදු කරවලාට වඩා (මෙරේම් ගේ) පොළොන් තෙලිස්‌සා දෂ්ඨනයෙන් මිනිසුන්ට වන සෞඛ්‍යමය බලපෑම ඉහළ ය.

වෛද්‍ය විද්‍යාත්මක වැදගත්කම අනුව විෂ සහිත සර්පයන් වර්ග කිරීමේ වැදගත්කම

එසේ නම් විශාල ගෝලීය කලාපයක, රටක හෝ ප්‍රදේශයක වෛද්‍ය විද්‍යාත්මක වැදගත්කමකින් යුතු සර්පයකු හඳුනාගැනීමට වඩා උචිත ක්‍රමවේදයක්‌ තිබේ ද? මේ සඳහා අවශ්‍ය වන්නේ කරුණු හතරක්‌ මත අප ඇති කරගත යුතු එකගතාවකි. එනම්,

(1) එම සර්ප විශේෂය මගින් වන සර්ප දෂ්ඨන කෙතරම් සුලබ ද යන වග

(2) එම සර්ප දෂ්ඨනවලින් මිනිසුන්ට වී ඇති ස්‌ථානීය සහ සංස්‌ථානික විෂ බලපෑම් සහ මරණවල සුලබතාව

(3) එම සර්පයා ගේ ව්‍යාප්තිය අනුව කොපමණ මිනිසුන් ජනගහනයක්‌ අනතුරේ ද යන වග (population at risk).

(4) එම සර්ප විශේෂයට දැනට ප්‍රතිවිෂ බෙහෙතක්‌ තිබේ ද යන වග

මේ අනුව ශ්‍රී ලංකාවේ සිටින වෛද්‍ය විද්‍යාත්මකව ඉතා ම වැදගත් සර්ප විශේෂ (snakes of highest medical importance) මොනවා ද?

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් 2010 දී ප්‍රකාශිත වාර්තාවක්‌ මගින් ශ්‍රී ලංකාවේ වෙසෙන වෛද්‍යමය වැදගත්කමක්‌ සහිත සර්පයන් කාණ්‌ඩ දෙකකට බෙදා වෙන් කර ඇත. එහි දී වෛද්‍යමය ඉතා වැදගත්කමක්‌ ඇති කාණ්‌ඩයට (category 1) ඇතුළත් කර ඇති සර්පයන් වන්නේ තිත් පොළගා, තෙල් කරවලා, නාගයා සහ මෙරේම් ගේ පොළොන් තෙලිස්‌සා ය. මේ වර්ගීකරණයට අනුව වෛද්‍ය විද්‍යාත්මකව ද්විතීය වැදගත්කමකින් යුතු කාණ්‌ඩයට (category 2) ඇතුළත් කර ඇත්තේ මුදු කරවලා, වැලි පොළගා, පළා පොළගා (Trimerusurus trigonocephalus) සහ කඳුකර පොළොන් තෙලිස්‌සා (Hypnale nepa) යන විශේෂ ය. මේ ප්‍රකාශනය පළ වන විට ලංකාවේ වැලි පොළොන් දෂ්ඨනයන් පිළිsබඳව තිබුණේ ඉතා අඩු සායනික දත්ත ප්‍රමාණයක්‌ වීම වැලි පොළගා දෙවැනි කාණ්‌ඩයේ ලා සැලකීමට හේතු වූවා විය හැකි ය. එහෙත් ඉන් පසුව ලංකාවේ වැලි පොළොන් දෂ්ඨන ගැන ප්‍රධාන පර්යේෂණ පත්‍රිකා දෙකක්‌ ප්‍රකාශයට පත් වුණු අතර ඒවා මගින් උතුරු පළාත තුළ වැලි පොළොන් දෂ්ඨන බහුල බවත්, එසේ ම සංස්‌ථානික විෂ බලපෑම් ද බහුල බවත් හඳුනාගැනිණි. එම නිසා වැලි පොළගා අනිවාර්යයෙන් ම පළමු කාණ්‌ඩයට ඇතුළත් කළ යුතු බව පෙනෙයි. එසේ ම ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඉහත ප්‍රකාශනය පළ වුණු පසුව, අප ගේ පර්යේෂණ වාර්තාවක්‌ මගින් පොළොන් තෙලිස්‌සන් නාමකරණය වෙනස්‌ වූ අතර ඉන් පසු ලංකාවේ දෙවැනියට සුලබ ම පොළොන් තෙළිස්‌සන් විශේෂය ලංකාවට ආවේණික මූකලන් පොළොන් තෙලිස්‌සා (Hypnale zara) බව හඳුනාගැනිණි. එසේ ම එම විශේෂය මගින් සිදු වුණු මාරාන්තික දෂ්ඨනයක්‌ ද ලංකාවෙන් වාර්තා විය. එම නිසා මූකලන් පොළොන් තෙලිස්‌සා දෙවැනි කාණ්‌ඩයට ඇතුළත් විය යුතු ය.

තිත්පොළගා (Russellís viper, Daboia russelii)

වෛද්‍ය විද්‍යාත්මකව බලන කල ලංකාවේ සිටින ඉතා ම වැදගත් සර්ප විශේෂයයි. එසේ ම ලංකාවේ පුළුල් ම ව්‍යාප්තියක්‌ පෙන්වන විෂ සහිත සර්ප විශේෂය ද මෙයයි. තව ද ලංකාවේ රෝහල්වලට වසරකට වාර්තා වෙන 37,000 පමණ වන මුළු සර්ප දෂ්ඨනවලින් 30%ක්‌ පමණ සංඛ්‍යාවකට හේතු වන්නේ තිත් පොළගා ය. වියළි කලාපයේ සර්ප දෂ්ඨනවලින් හරි අඩකට පමණ ද මේ විශේෂය හේතු වෙයි. දෂ්ඨනවලින් 60%ක්‌ පමණ පිරිසකට සංස්‌ථානික විෂ බලපෑම් සිදු වෙයි. දෂ්ඨ කිරීම්වලින් 85%කටත් වඩා සිදු වන්නේ පාදයේ වළලුකරින් පහළ කොටසට ය. ස්‌ථානීය පටක කුණු වීම් බහුලව වාර්තා නො වේ. රුධිර කැටි ගැසීම අකර්මණ්‍ය වීම හේතුවෙන් ඉබේ සිදු වන අභ්‍යන්තර හා බාහිර රුධිර වහන සහ වකුගඩු අකර්මණ්‍යය වීම තිත් පොළොන් දෂ්ඨ කිරීම් මගින් බහුලව ඇති වන තදබල සංස්‌ථානික විෂ බලපෑම් ය. මේවාට අමතරව, ශ්‍රී ලංකාවේ සහ දකුණු ඉන්දියාවේ වෙසෙන තිත් පොළගුන් ගහණයන්ට සුවිශේෂ වන ස්‌නායු ධූලක නිසා බොහෝ විට තදබල නො වන, මාංශ පේශි අකර්මණ්‍ය වීම් ද බහුලව දැකිය හැකි ය. ඉන්දියාවේ නිෂ්පාදිත ප්‍රතිවිෂ ඖෂධ මගින් තිත් පොළොන් විෂ ආවරණය වුව ද, ශ්‍රී ලංකාවේ තිත් පොළොන් විෂ සඳහා එම ඖෂධවල කාර්යක්‌ෂමතාව (efficacy) උසස්‌ මට්‌ටමක නො පවතින බවට විද්‍යාත්මකව සනාථ වී ඇත.

තෙල් කරවලා/මග මරුවා (Indian krait/Common krait, Bungarus caeruleus)

වියළි සහ අතරමැදි කලාපයේ සර්ප දෂ්ඨ කිරීම්වලින් 5-10% අතර ප්‍රමාණයකට හේතු වන්නේ මේ සර්ප විශේෂයයි. රාත්‍රි කාලයේ ගොදුරු සොයා අර්ධ වශයෙන් නිම වූ නිවාස, පැල්පත් සහ කූඩාරම් තුළට එන මේ සර්පයන් ගේ දෂ්ඨ කිරීම්වලට බහුලව ම ගොදුරු වන්නේ බිම නිදාගන්නා අයයි. එම නිසා ම ශරීරයේ ඕනෑ ම ස්‌ථානයක්‌ දෂ්ඨනයට ලක්‌ විය හැකි ය. ස්‌ථානීය විෂ බලපෑම් නොමැති තරම් වුව ද, විෂ ශරීරගත වීමත් සමග ක්‍රමිකව පැතිරී යන ස්‌නායු-පේශි අකර්මණ්‍ය වීම මගින්, දෂ්ඨනයට ලක්‌ වූ රෝගීන් අඩක ගේ පමණ ශ්වසන පේශි අඩපණ වී මාරාන්තික තත්ත්වයක්‌ ඇති වෙයි. ස්‌නායු පේශි අකර්මණ්‍ය වීම ස්‌ථාපිත වූ පසු ප්‍රතිවිෂ ඖෂධවල සඵලතාව ඉතා ම අල්ප වන අතර රෝගී ජීවිත බේරාගැනීමට බොහෝ පිටිවහලක්‌ වන්නේ LDත්‍රිම ශ්වසන ආධාරක යන්ත්‍ර ය.

(අද පත්‍රයේ කවරයේ ඡායාරූපයේ දැක්‌වෙන්නේ තෙල් කරවලෙකි)

නාගයා (Common cobra, Naja naja)

ශ්‍රී ලංකාව තුළ පුළුල් ව්‍යාප්තියක්‌ පෙන්වන නාගයන් මනුෂ්‍ය වාසස්‌ථාන ආශ්‍රිත ව බහුලව හමු වෙයි. දෂ්ඨ කිරීම් බොහොමයක්‌ පාදයේ දණහිසින් පහළ කොටසට සහ අත්වලට සිදු වෙයි. දෂ්ඨනයට ලක්‌ වන ස්‌ථානවල දරුණු ආකාරයේ ස්‌ථානීය විෂ බලපෑම් බහුලව සිදු වන අතර පටක කුණු වීම නිසා සමහර විට දෂ්ඨනයට ලක්‌ වූ අත් සහ පාද ශල්‍යකර්ම මගින් ඉවත් කිරීමට සිදු වෙයි. රෝගීන් ගෙන් 20%කට පමණ දෂ්ඨනයෙන් පසු ඉක්‌මනින් පැතිර යන ස්‌නායු-පේශි අකර්මණ්‍ය වීම නිසා ජීවිතයට අන්තරාදායක මට්‌ටමට ශ්වසන පේශි අකර්මණ්‍ය වීම් සිදු විය හැකි ය. ඉන්දියානු ප්‍රති විෂ ඖෂධ මගින් මේ විශේෂය ආවරණය කළ ද එහි කාර්යක්‌ෂමතාව පිළිsබඳ ගැටලු පවතී.

(මෙරේම් ගේ) පොළොන් තෙලිස්‌සා (Merremís hump-nosed pit viper, H. hypnale)

ශ්‍රී ලංකාවේ සර්ප දෂ්ඨනවලින් වැඩි ම ප්‍රමාණයකට හේතු වන්නේ (මෙරේම් ගේ) පොළොන් තෙලිස්‌සා ය. ලංකාව තුළ පුළුල් ව්‍යාප්තියක්‌ පෙන්වන මේ විශේෂය තෙතමනය සහිත ගෙවතු සහ වගා බිම් ආශ්‍රිතව සුලබව හමු වෙයි. දෂ්ඨ කිරීම් බහුලව ම සිදු වන්නේ අත් සහ පාදවලට වන අතර රෝගීන් ගෙන් 16%ක ගේ එම ස්‌ථානවල දරුණු පටක කුණු වීම් දක්‌නට ලැබේ. එසේ ම, (මෙරේම් ගේ) පොළොන් තෙලිස්‌සා දෂ්ඨනයෙන් කලාතුරකින් රුධිර කැටි ගැසීම අකර්මණ්‍ය වීම සහ වකුගඩු අකර්මණ්‍ය වීම සිදු විය හැකි ය. දැනට මේ සර්පයන් දෂ්ටනය සඳහා ප්‍රතිs විෂ ඖෂධයක්‌ නොමැත.

වැලි පොළගා (Saw-scaled viper/ Echis carinatus)

ශ්‍රී ලංකාවේ උතුරු කළාපයට සීමා වී ඇති වැලි පොළගුන් එම විශේෂයේ ම ආසියාවේ අනෙකුත් ප්‍රදේශවලින් වාර්තා වන වැලි පොළගුන්ට වඩා ශරීර ප්‍රමාණයෙන් කුඩා බවක්‌ පෙන්වයි. දෂ්ඨන බහුලව ම වාර්තා වී ඇත්තේ දිවා කාලයේ දී ගෙවතු ආශ්‍රිතව ය. දෂ්ටනවලින් 70%කට වඩා සිදු වන්නේ අත්වල ඇගිලිවලට සහ පාදවලට ය. වැලි පොළගා බවට තහවුරු කළ දෂ්ඨන අනුව, වැලි පොළගා දෂ්ඨ කළ රෝගීන් 90%කට වඩා රුධිරය කැටිගැසීමේ අකර්මණ්‍යතා ඇති වෙයි. එසේ ම දෂ්ඨ කළ ස්‌ථානයේ මඳ ස්‌ථානීය විෂ බලපෑම් ද බහුලව වාර්තා වෙයි. එසේ ම වකුගඩු අකර්මණ්‍ය වීම් ද කලාතුරකින් දැකිය හැකි ය. ඉන්දියානු ප්‍රති විෂ ඖෂධය මගින් මේ විශේෂය ආවරණය කළ ද එහි කාර්යක්‌ෂමතාව සතුටුදායක මට්‌ටමක නොමැත.

වෛද්‍ය විද්‍යාත්මකව වැදගත් ශ්‍රී ලංකාවේ අනෙක්‌ සර්ප විශේෂ මොනවා ද?

දෂ්ඨන මගින් මිනිසුන්ට දැඩි විෂ බලපෑම් කළ හැකි, එහෙත් දෂ්ඨන එතරම් සුලබ නොමැති ශ්‍රී ලංකාවේ වෙසෙන සර්පයන් වන්නේ මුදු කරවලා, මූකලන් පොළොන් තෙලිස්‌සා, කඳුකර පොළොන් තෙලිස්‌සා, පළා පොළගා සහ වාලක්‌කඩි (මුහුදු නයි) විශේෂ ය. එයට අමතර ව, දෙපැත් කළුවන් (Calliophis විශේෂ), නිහාලුවා (Balanophis ceylonensis) සහ මාපිල් විශේෂවලට ද (Boiga‌) වෛද්‍ය විද්‍යාත්මක වැදගත්කමක්‌ ඇත. මාපිලා යනු ඉතා ප්‍රබල විෂක්‌ ඇති, මරණ පවා සිදු කළ හැකි සර්පයකු බවට මහජනතාව අතර ඇති මතය වැරැදි බව මෙහි දී සඳහන් කළ යුතු ය.

ශ්‍රී ලංකාවේ දැනට භාවිත වන ක්‍රමවේදයට අනුව සර්පයන් දෂ්ඨනයේ දී ප්‍රතිකාර තීරණය කිරීමට දෂ්ඨ කළ සර්පයා හඳුනාගැනීම අවශ්‍ය නො වෙයි. එයට හේතු වන්නේ දැනට ලංකාවේ ඇත්තේ බහු සංයෝජක ප්‍රතිs විෂ ඖෂධයක්‌ වීමයි. එම ඖෂධය ලබා දීම තීරණය කරන්නේ රෝගීන්ට විෂ ශරීරගත වී ඇති බවට වන සායනික සාක්‌ෂි මත ය. බොහෝ දෙනා සතු ව ඇති අනවබෝධයක්‌ නම් දෂ්ට කළ සර්පයා

රැගෙන පැමිණිය හොත් රෝහලේ දී නියම ප්‍රතිකාරය ඉක්‌මනින් ලැබෙන බවත් නැත හොත් ප්‍රතිකාර ප්‍රමාද වන බවත් ය. එහෙත් වෛද්‍යවරුන් ලෙස අපට ලබා දිය හැකි අවවාදය වන්නේ සර්ප දෂ්ඨනයක දී දෂ්ඨ කළ සර්පයා ඇල්ලීමට හෝ එම සතා විෂ සහිත ද නැද්ද යන්න හඳුනාගැනීමට හෝ කාලය මිඩංගු නො කර හැකි ඉක්‌මනින් රෝගියා රෝහල්ගත කරන ලෙසයි.

ආචාර්ය, වෛද්‍ය අංජන සිල්වා
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, රජරට වෛද්‍ය පීඨය අනුරාධපුර
මොනෑෂ් විෂ පර්යේෂණ කණ්‌ඩායම, මොනෑෂ් විශ්වවිද්‍යාලය, ඕස්‌ටේ්‍රලියාව
ඡායාරූප : ආචාර්ය වෛද්‍ය අංජන සිල්වා සහ ආචාර්ය කලණ මාදුවගේ