logo3.gif (702 bytes)

arrow7.gif (1098 bytes)


රසදිය හා රසදිය භාවිතය පිළිබඳ තොරතුරු බිඳක්‌

රසදිය කාමර උෂ්ණත්වයේ දී ද්‍රව තත්ත්වයේ පවතින බැර ලෝහයක්‌ වේ. රිදී පැහැති ය. Hg යන රසායනික නාමයෙන් හඳුන්වන මේ ලෝහයට එම නාමය ලැබී ඇත්තේ ග්‍රීක Hydrogarum හෙවත් 'දියරමය රිදී' යන්නෙනි.

රසදිය ලබාගන්නේ කෙසේ ද?

රසදිය, ස්‌වභාවිකව පෘථිවි කබොලෙහි දක්‌නට ඇති අතර, 'සිනබාර්' නම් රතු පැහැති පාෂාණය රසදිය අඩංගු ලවණයක්‌ ලෙස බහුලව දක්‌නට හැකි ය. රසදිය ලබාගන්නේ ආකරවලිනි. රසදිය ආකර වැඩි වශයෙන් චීනය, ලතින් අමෙරිකානු රටවල දක්‌නට ලැබේ.

ප්‍රයෝජන

රසදිය, මිනිසුන් විසින් අනාදිමත් කාලයක සිට විවිධ අවශ්‍යතාවන් සඳහා භාවිත කරනු ලැබ ඇති අතර, ඒ සදහා ඇති සාක්‌ෂි, ප්‍රාග් ඓතිහාසික යුගය දක්‌වා දිවයයි. ආදී චීනවාසීන්, රසදිය භාවිත කිරීම මගින් ආයුෂ දිගු කරගැනීමට හැකි වේ යෑයි සිතූ අතර, 16 හා 17 වැනි සියවස්‌හි දී සිෆිලිස්‌ රෝගය සදහා ප්‍රතිකර්මයක්‌ ලෙස ද, හිස්‌වැසුම්වලට භාවිත කරන හම් පදම් කිරීමට ද යොදාගන්නා ලදී.

පසුකාලීනව, රසදිය භාවිතය අඩු වුව ද තවමත් විවිධ කාර්යයන් සදහා රසදිය හෝ එහි සංයෝග හෝ භාවිත කරනු ලැබේ.

රන් ආකරවලින් රත්රන් වෙන් කරගැනීමට හා ස්‌වර්ණාභරණ කර්මාන්තයේ දී රසදිය බහුලව භාවිත වන අතර කෘෂිකර්මාන්තයේ දී පළිබෝධනාශකයක්‌ ලෙස ද මෙය යොදාගැනේ. එමෙන් ම රසදිය සන්නායකයක්‌ ලෙස ද භාවිත වේ. CFL බල්බ ඇතුළු ෆ්ලෝරසන්ට්‌ වැනි ආලෝක ප්‍රභවයන්හි රසදිය අඩංගු වේ.

උෂ්ණත්වමාන, රුධිර පීඩන මාපක, වෙනත් ද්‍රව පීඩක මාන වැනි රසදිය යෙදූ මාපක වර්ග තවමත් අප අතර භාවිතයේ පවතී.

දත් පිරවීම සදහා යොදාගන්නා සංයෝගවල රසදිය අල්පමාත්‍ර ප්‍රමාණයකින් අඩංගු විය හැකි ය. එමෙන් ම සමහර හෝමියෝපති ඖෂධ හා ආයුර්වේදයේ භාවිත කරන රස ඖෂධ නිෂ්පාදනය සදහා රසදිය ඉතා සුළු ප්‍රමාණවලින් භාවිත කරනු ලැබේ.

එමෙන් ම සම පැහැපත් කිරීම සදහා යොදාගනු ලබන සමහර සබන් හා ආලේපන වර්ගවල ද රසදිය අඩංගු විය හැකි ය.

රසදිය, මූලද්‍රව්‍යයක්‌ ලෙස ද, එහි කාබනික හා අකාබනික සංයෝග ලෙස ද පැවතිය හැකි ය. මේ අනුව, ස්‌වභාවය, ලබාගත හැකි ප්‍රයෝජන, එයින් ඇති වන බලපෑම වෙනස්‌ වේ.

පරිසරයට එකතු වන ආකාරය

රසදිය හෝ රසදිය අඩංගු සංයෝග, පාෂාණ දිරා යැමේ දී, ස්‌වාභාවිකව ද, රසදිය හෝ එහි සංයෝග යොදාගන්නා කර්මාන්තශාලාවලින් පිට වන අපද්‍රව්‍ය මුදාහැරීමෙන් ද පරිසරයට එකතු විය හැකි ය. මේ අපද්‍රව්‍ය ජලයට එකතු වූ විට ජලජ ශාකවල ද, ඒවා ආහාරයට ගන්නා විවිධ ජලජ සතුන් ගේ ද, මසුන් ගේ ද ශරීරවල තැන්පත් වන අතර, ආහාර දාමයේ ඉහළ පුරුක්‌වල මේ තැන්පත් වීම වැඩි වශයෙන් සිදු වේ. මේ මසුන් ආහාරයට ගැනීමේ දී මිනිසුන් හා ගෘහාශ්‍රිත සතුන් ද අවදානමට ලක්‌ විය හැකි ය.

අහිතකර බලපෑම්

රසදිය ශරීරයට අහිතකර බලපෑම් ඇති කළ හැකි ලෝහයක්‌ ලෙස සැලකේ. මේ අහිතකර බලපෑම්,

ශරීරයට ඇතුළු වන ප්‍රමාණය, ඇතුළු වූ කාල පරාසය - (දීර්ඝ කාලයක්‌ පුරා ඇතුළු වීම සිදු විණි නම් බලපෑම වැඩි ය)

රසදිය අන්තර්ගත සංයෝග වර්ගය - කාබනික සංයෝග (Methyl mercury) වැඩි බලපෑමක්‌ ඇති කරයි.

ශරීරයට ඇතුළු වූ ආකාරය

පුද්ගලයා ගේ වර්ධන අවස්‌ථාව (කලල අවස්‌ථාවට ඇති බලපෑම වැඩි ය) අනුව වෙනස්‌ වේ.

රසදිය හෝ එහි සංයෝග හෝ ශරීරයට ඇතුළු විය හැකි ආකාර නම්,

ආහාර මගින් (මුඛය හරහා)

රසදිය වාෂ්ප ආඝ්‍රාණය කිරීමෙන් (ශ්වසන පද්ධතිය හරහා) - රත්රන් පිරිසිදු කිරීමේ හා රන් ආභරණ නිෂ්පාදනය කිරීමේ නියෑළෙන්නන් හට මේ අවදානම ඇත.

සම හරහා

රසදිය හා එහි කාබනික සංයෝග මගින් ස්‌නායු පද්ධතියට බලපෑම් සිදු කරයි. මෙහි දී අධික ලෙස වෙව්ලීම, අතපය හසුරුවාගැනීමේ අපහසුව, නින්ද යැමේ අපහසුතා, කතා කිරීමේ අපහසුතා, මතකයේ දුර්වලතාවන් වැනි රෝග ලක්‌ෂණ දැකිය හැකි ය.

එමෙන් ම, රසදිය විශාල ප්‍රමාණයක්‌ එක වර ආඝ්‍රාණය කිරීමේ දී, පෙනහළුවලට හානි විය හැකි ය. තව ද ප්‍රතිශක්‌තිකරණ පද්ධතියට, ස්‌නායු පද්ධතියට හා අනෙකුත් පද්ධතිවලට ද බලපෑම් ඇති කරවන අතර රසදිය නිසා මරණයට පවා පත් විය හැකි ය.

රසදියවල අකාබනික ලවණ ආහාර මාර්ගය හරහා ශරීරගත වීමෙන් ආහාර මාර්ගයේ පිළිස්‌සුම් මෙන්ම වකුගඩුවලට ද අයහපත් ලෙස බලපෑම් ඇති විය හැකි ය.

මිනමාටා ඛේදවාචකය

මිනමාටා ඛේදවාචකය (Minamata Disaster) දීර්ඝකාලීනව රසදිය ශරීරගත වීම නිසා ඇති වන බලපෑම පෙන්වීමට ඇති හොද ම නිදසුනකි.

මිනමාටා යනු ජපානයේ පිහිටි වෙරළාසන්න සුන්දර නගරයකි. මෙහි වැසියන් බොහොමයක්‌ දිවි සරි කරගත්තේ ධීවර කර්මන්තයෙන් ය. වසර එක්‌ දහස්‌ නව සිය පනස්‌ ගණන්වල දී මේ නගර වැසියන් හදුනා නො ගත් රෝගයකින් පෙළුණු අතර, මේ රෝගීහු ස්‌නායු පද්ධතිය හා සම්බන්ධ රෝග ලක්‌ෂණ පෙන්වූ හ. මේ නිසා දහසකට වැඩි රෝගීන් සංඛ්‍යාවක්‌ මිය ගිය අතර, ඉතා විශාල ප්‍රමාණයක්‌ ආබාධිත තත්ත්වයට පත් විය.

අසල පිහිටි රසායනික ද්‍රව්‍ය නිෂ්පාදනය කරන කම්හලකින් බැහැර කෙරෙන අපජලය මගින් මිනමාටා කලපු ජලය දූෂණය වී එහි විසූ මත්ස්‍යයන් හා අනෙකුත් ජීවීන් ගේ සිරුරුවල මීතයිල් මර්කරි නමැති රසදිය රසායනික ද්‍රව්‍ය (දූෂකය) තැන්පත් වීමත් ඒවා ආහාරයට ගත් මිනමාටාවාසීන්ට විෂ වීමත් නිසා එම ක්‍රියාදාමය දිගින් දිගට ම සිදු වී ස්‌නායු අබාධය හටගත් බව පසුව සොයාගැනිණි. මේ රෝගී තත්ත්වය 1956 දී මිනමාටා රෝගය (Minamata Disease) යනුවෙන් නම් කරන ලදී.

හානි වළක්‌වාගැනීම

රසදිය මගින් වන හානි වළක්‌වාගැනීම සදහා පහත සදහන් ක්‍රියාමාර්ග අනුගමනය කළ යුතු වේ.

රසදිය ආකර තහනම් කිරීම (ශ්‍රී ලංකාවේ රසදිය ආකර නොමැත)

රසදිය යොදාගෙන කරනු ලබන කර්මාන්ත අවම කිරීම (අප රටෙහි මෙවැනි කර්මාන්ත නැත)

රසදිය අඩංගු උපකරණ/සංයෝග වෙනුවට, ආදේශක යොදාගනිමින්, ක්‍රමයෙන් එම උපකරණ / සංයෝග භාවිතයෙන් බැහැර කරලීම. (මේ සදහා දැනටමත් යම් පියවර ගෙන ඇත. උදාහරණ ලෙස රසදිය අඩංගු උෂ්ණත්වමාන වෙනුවට විද්යුත් උෂ්ණත්වමාන භාවිතය)

රසදිය අඩංගු උපකරණ භාවිතයේ දී ආරක්‌ෂාකාරී පියවර (බිදීම වැළැක්‌වීම සදහා) ගැනීමට පුරුදු වීම හා උපකරණයක්‌ බිදුණු විට ආරක්‌ෂාකාරී ලෙස පරිසරයට එකතු නො වන සේ බැහැර කිරීමේ පියවර අනුගමනය කිරීම.

සාමාන්‍ය ජනතාව, රසදිය අඩංගු උපකරණ පරිහරණය කරන්නන්, කර්මාන්ත ශාලා සේවකයන්, රසදිය අඩංගු නිෂ්පාදනවල තිබිය යුතු අවම අගයයන් (permissible levels) පිළිබඳව දැනුම්වත් වීම හා රසදියවලට නිරාවරණය වීමෙන් ආරක්‌ෂාකාරී වීම, ඉහිරුණු විට දී ගත යුතු ක්‍රියාමාර්ග, අපද්‍රව්‍ය නිසි ලෙස බැහැර කිරීම යනාදිය පිළිබදව දැනුම්වත් කිරීම ඉතා වැදගත් ය.

එමෙන් ම මේ අපද්‍රව්‍ය නිසි ලෙස බැහැර කරලීමේ ක්‍රමවේදයක්‌ හා අදාළ නීති පද්ධතියක්‌ තිබිය යුතු වේ. (පරිසර පනත මගින් කර්මාන්ත ශාලා අපද්‍රව්‍ය බැහැර කිරීම පිළිබදව හා තිබිය යුතු අවම අගයන් පිළිබදව දක්‌වා ඇත).

එමෙන් ම අභාවිත උපකරණ හා ප්‍රතිදීප්ත බල්බ එකතු කිරීමෙන් පසු පරිසර හිතකාමී ව ප්‍රතිචක්‍රීකරණය කිරීමේ ක්‍රමවේදයක්‌ ද තිබිය යුතු ය.

වෛද්‍ය නිරූපා පල්ලෙවත්ත
විශේෂඥ - සෞඛ්‍ය ක්‌ෂේත්‍රය
මිනමාටා මූලික තක්‌සේරු ව්‍යාපෘතිය
මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යංශය