logo3.gif (702 bytes)

HOME


පුරාඋද්භිදවිද්‍යාත්මක සාධකවලින් හෙළි වන අග්නිදිග ආසියානුවන් මැඩගස්‌කරයට ගිය කාලය

මැඩගස්‌කරය යනු අප්‍රිකා මහාද්වීපයට නුදුරුව, ඊට කිලෝමීටර 500ක්‌ පමණ නැෙගනහිර දිශාවෙන් ඉන්දියානු සාගරයේ නිරිතදිග කෙළවරට වන්නට පිහිටා ඇති දූපතකි. මැඩගස්‌කර වැසියන් භාවිත කරන මලගාසි භාෂාව අයත් වන්නේ ඔස්‌ට්‍රොනීසියානු (Austronesian) භාෂා පවුලට ය. මේ භාෂා පවුලට අයත් භාෂා කතා කරනු ලබන්නේ ප්‍රධාන වශයෙන් අග්නිදිග ආසියානු ප්‍රදේශවල හා පැසිෆික්‌ ප්‍රදේශයේ දුපත් රාජ්‍යවල ය. ඊට නිදසුන් ලෙස හවායි දූපත් වාසීන් ගේ භාෂාව, මාඕරිවරුන් ගේ භාෂාව, සැමෝවා භාෂාව හා මැලේ භාෂාව දැක්‌විය හැකි ය. ඒ අනුව ඔස්‌ට්‍රොනීසියානු භාෂා කතා කරන ආසන්න ම ප්‍රදේශ පිහිටා ඇත්තේ මැඩගස්‌කරයට වඩා අවම වශයෙන් කිලෝමීටර 6,000ක්‌ පමණ ඈතින් වීම කිසියම් ආකාරයකට කදිම සිදුවීමකි.

මෙසේ අග්නිදිග-ආසියාවෙන් පැමිණි ජනතාව මෙන්ම අප්‍රිකානුවන් ද නූතන මලගාසි ජනතාව ගේ ප්‍ර්‍රවේණික පසුබිම සඳහා දායක වී ඇති බව මේ අනුව පැහැදිලි ය. එහෙත් මැඩගස්‌කර වැසියන් හා ඊට ආසන්න ව පිහිටා ඇති අප්‍රිකානු ජනතාව අතර යම්කිසි වෙනසක්‌ ඇති බව වෙනත් සාධකවලින් ද හෙළි වී තිබේ. නිදසුනක්‌ ලෙස ගත හොත්, ප්‍රවේණික හා සංස්‌කෘතික සාධක අනුව පෙනී ගොස්‌ ඇත්තේ මැඩගස්‌කරය අතීතයේ කිසියම් අවස්‌ථාවක ඔස්‌ට්‍රොනීසියානු භාෂා කතා කරන ජන පිරිසක්‌ මගින් ද ජනාවාසකරණය වී ඇති බවයි. වාග්විද්‍යාත්මක පර්යේෂණවලින් හෙළි වී ඇති කරුණු අනුව එම ජනාවාස වීම සිදු වන්නට ඇත්තේ පළමු සහස්‍රකය ඇතුළත බව යෝජනා කර තිබේ. ඒ අනුව එම කාලයේ දී අග්නිදිග ආසියානු ප්‍රදේශවලින් මැඩගස්‌කරයට ජන සංක්‍රමණයක්‌ සිදු වී තිබේ ය යන අදහස පර්යේෂකයන් අතර කලක පටන් පැවතියේ ය. මෙය ලෝකයේ මානව භූගෝල විද්‍යාව සම්බන්ධයෙන් ඇති විස්‌මයජනක සිදුවීමක්‌ ලෙස අතැම් අවස්‌ථාවල දී දක්‌වා ඇත.

අග්නිදිග ආසියාවෙන් සංක්‍රමණය වූ පිරිසක්‌ මැඩගස්‌කර දූපත ජනාවාස වීමක්‌ සිදු වූ බව මෙවැනි සාධක මත දැන සිටිය ද, එය සිදු ව ඇත්තේ කවදා ද යන්න ගැන තොරතුරු මෑතක්‌ වන තුරු නිශ්චිතව අනාවරණය වී තිබුණේ නැත. ඒ පිළිබඳ පුරාවිද්‍යාත්මක සාධක හමු වී නැති වීම ඒ සඳහා හේතු විය. මැඩගස්‌කරයේ සිදු කර ඇති පුරාවිද්‍යාත්මක කැණීම් හා ගවේෂණවල දී දූපත ජනාවාස වීම පිළිබඳ සාධක විශාල ප්‍රමාණයක්‌ හමු වී ඇත. එම සාධක මගින් වඩා සමීප ව පිහිටා ඇති අප්‍රිකා මහාද්වීපයේ සිට පැමිණි දඩයම්කරුවන්-ඵලවැල රැස්‌ කරන කණ්‌ඩායම් වැනි පිරිස්‌ පොදු වර්ෂ පූර්ව පළමු හෝ දෙවැනි සහස්‍රකයේ පමණ සිට එම දූපතේ වාසය කර ඇති බව හෙළි වී ඇත. එහෙත් අග්නිදිග ආසියානුවන් හෙවත් ඔස්‌ට්‍රොනීසියානුවන් විසින් ඇති කරන ලද ජනාවාස පිළිබඳ සාධක හමු වී නොමැත.

කෙසේ වෙතත් පසුගිය වර්ෂයේ දී ප්‍රකාශයට පත් කළ පර්යේෂණයකින් මේ ගැටලුව සාර්ථක ආකාරයෙන් විසඳා තිබේ. ඒ අනුව මැඩගස්‌කරය ජනාවාස කළ අග්නිදිග ආසියාවෙන් පැමිණි ඔස්‌ට්‍රොනීසියන් භාෂාවක්‌ කතා කරන ජන කොටස්‌ එම ප්‍රදේශය ජනාවාස කරගෙන ඇති කාලය පිළිබඳව ද නිශ්චිත සාධක අනාවරණය කරගැනීමට පර්යේෂකයන් පිරිසක්‌ සමත් ව තිබේ. ඒ පුරාඋද්භිදවිද්‍යාත්මක (paleobotanical) සාධක ආශ්‍රයෙනි.

පුරාඋද්භිදවිද්‍යාත්මක සාධක

මැඩගස්‌කරයේ සිදු කරන ලද පුරාවිද්‍යාත්මක අධ්‍යයනවල දී මෙතෙක්‌ අඩු අවධානයකට ලක්‌ ව ඇති අංශයක්‌ ලෙස ශාක පිළිබඳ සාධක දැක්‌විය හැකි ය. මැඩගස්‌කරයේ වර්තමානයේ දැකිය හැකි ශාක අතරින් 10%ක්‌ පමණ ප්‍රමාණයක්‌ ලෝකයේ වෙනත් ප්‍රදේශවලින් එම දූපතට හඳුන්වා දී ඇති බව උද්භිද විද්‍යාඥයන් අනාවරණය කරගෙන ඇති කරුණකි. මෙසේ හඳුන්වා දුන් ශාක අතර සැලකිය යුතු ප්‍රමාණයක්‌ ආසියානු සම්භවයක්‌ ඇති භෝග වර්ග, කුළුබඩු, වගා භූමිවල වැවෙන වල් පැළෑටි ආදිය තිබේ. නිදසුනක්‌ ලෙස ගත හොත්, කෙසෙල් (Musa විශේෂ), අල වර්ග (Dioscorea alata හා Colocasia esculenta වැනි), පොල් (Cocos nucifera) වැනි අග්නිදිග ආසියානු භෝග වර්ග මෙන්ම, නැෙගනහිර හා දකුණු ආසියානු සම්භවයක්‌ ඇති ආසියානු වී (Oryza sativa) ද දැක්‌විය හැකි ය. මුං (Vigna radiata) හා ආසියානු කපු (Gossypium arboreum) ද මැඩගස්‌කරයේ වගා කරනු ලබන භෝග අතර වේ. මේ භෝග වර්ග මැඩගස්‌කරයට හඳුන්වා දුන් කාලය එම රටට ඔස්‌ට්‍රොනීසියානු සංක්‍රමණ ඇති වූ කාලය හා සමපාත වීමට ඉඩ ඇති බව මෙහි දී අනුමාන කර ඇත. ඒ පැසිෆික්‌ ප්‍රදේශවලට මෙවැනි භෝග හඳුන්වා දීම හා සංක්‍රමණ අතර සම්බන්ධයක්‌ ඇති බව මීට පෙර සිදු කර ඇති අධ්‍යයනවලින් පෙන්වා දී ඇති නිසා ය.

එබැවින් උක්‌ත අධ්‍යයනයේ දී අවධානයට ලක්‌ කර තිබුණේ පුරාවිද්‍යාත්මක කැණීම්වලින් අනාවරණය වන පුරාඋද්භිදවිද්‍යාත්මක ශේෂ පිළිබඳ කරුණු සම්බන්ධයෙනි. ඒ සඳහා මැඩගස්‌කර් දූපතේ, ඒ ආසන්නයේ ඇති දූපත්වල හා කෙන්යාවේ හා ටැන්සානියාවේ නැෙගනහිර අප්‍රිකානු වෙරළ තීරය ආශ්‍රිත ස්‌ථාන 18ක සිදු කරන ලද පුරාවිද්‍යා කැණීම්වලින් ලැබුණු සාධක විමසීමට ලක්‌ කර ඇත. පුරාවිද්‍යාත්මක ස්‌තරවල ඇති තැන්පතු පරීක්‌ෂා කිරීමෙන් මෙසේ ශාකවල ශේෂ ලබාගෙන ඇති අතර, එමගින් විවිධ ශාක ශේෂ 2,443ක්‌ පමණ ප්‍රමාණයක්‌ හඳුනාගෙන තිබේ.

මෙසේ හඳුනාගත් භෝග ශාක අතරින් වගා කර ඇත්තේ කුමන කාලයක දී ද යන්න විකිරණශීලී කාබන් කාලනිර්ණය අනුව සොයාගැනීමට හැකියාව ලැබී තිබේ. ඒ අනුව හඳුනාගත් භෝග වර්ග වගා කළ කාලය තීරණය කිරීමට ද පර්යේෂකයන්ට අවස්‌ථාව ලැබී ඇත. එසේ ම මේ භෝග අප්‍රිකානු භෝග විශේෂ ද, නොඑසේ නම් වෙනත් ප්‍රදේශවලින් හඳුන්වා දුන් භෝග ද යන්න ඔවුන් ගේ අවධානයට ලක්‌ වූ තවත් කරුණකි.

එහි දී උක්‌ත පර්යේෂකයන්ට මේ දෙවර්ගයට ම අයත් භෝග අදාළ ජනාවාසවල ව්‍යාප්ත ව තිබූ ආකාරය පිළිබඳ කැපී පෙනෙන රටාවක්‌ හඳුනාගැනීමට ද ඔවුන්ට හැකියාව ලැබී ඇත. අප්‍රිකානු ශාකවල ශේෂ ප්‍රධාන වශයෙන් හමු වී ඇත්තේ අප්‍රිකානු වෙරළ තීරයේ හා අප්‍රිකානු මහාද්වීපයට වඩාත් ආසන්නව පිහිටා ඇති දූපත්වල ය.

එහෙත් මැඩගස්‌කරයේ දී මෙන්ම ඊට වඩා සමීප ව පිහිටා ඇති කොමොරොස්‌ දූපත්වල දී ඔවුන්ට හමු වී ඇත්තේ ආසියානු භෝග වර්ගවල ශේෂ ය. මෙසේ කැණීම්වලින් ලැබී ඇති වැදගත් ම සාධක වී ඇත්තේ ආසියානු වී ප්‍රභේද හා මුං ශාකවල ශේෂ හමු වීමයි. මේ ශාක අග්නිදිග ආසියාවේ මෙන්ම දකුණු ආසියාවේ ද අතීතයේ දී වගා කර තිබේ. එසේ ම මැඩගස්‌කරයෙන් හා කොමොරෝස්‌ දූපත්වලින් ආසියානු කපු ශාකයේ ශේෂ ද ඔවුන්ට හමු වී ඇත. මේ භෝග වර්ග මැඩගස්‌කරයට හා යාබද ව පිහිටා ඇති කොමෝරෝස්‌ දූපත්වලට හඳුන්වා දී ඇත්තේ 8 9 සියවස්‌වල පමණ බව කාල නිර්ණයෙන් තහවුරු වී තිබේ.

මේ තොරතුරු අනුව අදාළ කාලයේ දී එහි විසූ ජනතාව ගේ යෑපුම් භෝග ලෙස භාවිත වී ඇත්තේ ආසියානු භෝග වර්ග බව පර්යේෂකයන් ගේ අදහස වේ. එසේ නම් අග්නිදිග ආසියාවේ සිට මේ ප්‍රදේශවලට ඔස්‌ට්‍රොනීසියානු භාෂා කතා කරන ජනතාව සංක්‍රමණය වී ජනාවාස පිහිටුවාගෙන ඇත්තේ පළමු සහස්‍රකයේ අවසන් සියවස්‌වල දී බව මේ පර්යේෂකයන් ගේ නිගමනය වේ. ඒ සඳහා ලැබී ඇති පළමු පුරාවිද්‍යාත්මක සාධකය ලෙස මේ සාධක දක්‌වා ඇත.

අග්නිදිග ආසියානුවන් ගේ ජනපද

මේ අනුව අග්නිදිග ආසියාවේ සිට මැඩගස්‌කරයට පැමිණි පිරිස්‌ ඔවුන් සමග මේ භෝග වර්ග රැගෙන පැමිණ, ඔවුන් ගේ නව වාසස්‌ථානයේ ඒවා වගා කර ඒවා මත යෑපුණු බව විද්‍යාඥයන් ගේ අදහස වේ. මෙසේ භෝග ශාක පිළිබඳ සාධක මත පදනම් ව දූපතේ අතීතය විමසා බැලීමට හැකියාව ලැබීම පුරාවිද්‍යාත්මක වශයෙන් වැදගත් කරුණකි. එසේ ම අප්‍රිකානු ජනපද, අග්නිදිග ආසියානු ජනපදවලින් වෙන් කරගැනීමට මෙමගින් හැකියාවක්‌ ලැබීම මැඩගස්‌කරය පිළිබඳව සිදු කරන අධ්‍යයනවලට වැදගත් වේ. අනෙක්‌ අතට අතීතයේ සිදු වූ සංක්‍රමණ ගැන මෙතෙක්‌ නිසි අවබෝධයක්‌ නො තිබූ කරුණු මෙමගින් අනාවරණය වී ඇත.

මැඩගස්‌කරය මෙන්ම ඊට බටහිරින් පිහිටා ඇති කොමොරෝස්‌ දූපත් ජනාවාසකරණය සඳහා අග්නිදිග ආසියානු ජනතාව දායක වී තිබීම ද මේ අධ්‍යයනයේ දී අනාරවණය වූ වැදගත් සිදුවීමකි. එම දූපත්වල සිදු කරන ලද කැණීම්වලින් ලැබී ඇති ප්‍රමුඛ භෝග වර්ග ද ආසියානු සම්භවයක්‌ ඇති භෝග වීම මීට හේතුවයි. කෙසේ වෙතත්, එම දූපත්වල වෙසෙන ජනතාව භාවිත කරන භාෂා අප්‍රිකානු භාෂා වන අතර, ඔවුන් අතර මැඩගස්‌කරවාසීන් මෙන් අග්නිදිග ආසියානු ජනතාවට ප්‍රවේණික සම්බන්ධයක්‌ හෝ ඥාතිත්වයක්‌ හෝ දක්‌වන ලක්‌ෂණ නොමැති වීම මේ පර්යේෂකයන් ගේ විස්‌මයට හේතු විය. එහෙත් කොමොරෝස්‌ දූපත් වාසීන් ගේ භාෂාව පිළිබඳව සිදු කර ඇති පර්යේෂණවල දී මීට පෙර වාග්විද්‍යාඥයන් දක්‌වා ඇති අදහසකින් ඒ පිළිබඳ සැකය දුරු වී ඇත. ඒ කොමොරෝස්‌ දූපත්වාසීන් ද අග්නිදිග ආසියානු ජනතාව විසින් පිහිටුවන ලද ජනපදයකින් පැවත එන්නන් විය හැකි බවට අදහස්‌ පළ වී තිබීම නිසා ය. එහෙත් පසු කාලයක ඇති වූ අප්‍රිකානු ජන සංක්‍රමණ හා වහල් වෙළෙඳාම නිසා ඇති වූ වෙනස්‌වීම් හේතුවෙන් කොමොරෝස්‌ දූපත්වාසී ජනතාව ප්‍රවේණික හා වාග්විද්‍යාත්මක අතින් අප්‍රිකානුවන්ට වඩාත් සමීප වන්නට ඇති බව මේ පර්යේෂකයන් ගේ අදහස වේ.

එසේ ම මේ කැණීම්වලින් ලැබී ඇති තොරතුරු අනුව නැෙගනහිර අප්‍රිකානු වෙරළ තීරයට ආසන්න ප්‍රදේශවල මෙන්ම අප්‍රිකා මහාද්වීපයට ආසන්න ව පිහිටා ඇති සැන්සිබාරය හා මෆියා වැනි දූපත්වල දැකිය හැකි භෝග ශේෂ අතර සුලබ වූයේ අප්‍රිකානු සම්භවයක්‌ සහිත ශාක ය. මේවා අතර ඉදල් ඉරිගු, මිලට්‌ වර්ග හා බැඕබැබ් වැනි ශාක විය. එම දූපත් අප්‍රිකාවට වඩා සමීප ව පිහිටීම පිළිබඳව සැලකූ විට එය සිදු විය හැකි කරුණකි.

(මූලාශ්‍රය( Proceedings of the National Academy of Sciences, DOI: 10.1073/pnas.1522714113)

ධනේෂ් විසුම්පෙරුම