logo3.gif (702 bytes)

arrow7.gif (1098 bytes)


විද්‍යා ප්‍රබන්ධ
උමතු රියදුරු 2 වැනි කොටස

සැමී ඩිජිටල් මාධ්‍ය පිළිබඳ හසළ බුද්ධියක්‌ ඇති අයෙක්‌ විය. කර්නල් ඩේවිඩ් ගේ අකල් මරණයෙන් පසු, සැමී සිය වාහනයට සැක සහිත යමක්‌ සිදු වුව හොත්, ඒ පිළිබඳව සංඥවක්‌ තම වාහනයෙන් තම ජංගම දුරකථනයට ලබාගත හැකි ඩිජිටල් වැඩසටහනක්‌ නිර්මාණය කරගත්තේ ය. ඔහු ඒ නරඹමින් සිටියේ ඒ වැඩසටහනින් ලැබුණු වීඩියෝ දර්ශන ය.

"හොරා ගේ ඇඳුම නම් වෙනස්‌. ඒත් එක ම මිනිහ ද කියල බලන්න, අපි අධෝරක්‌ත ඡායාරූපත් බලන්න ඕනේ. සැමී මේකෙන් අධෝරක්‌ත ඡායාරූපයත් බලන්න පුළුවන් ද?" නේතන් විමසී ය.

"මොකද බැරි?" සැමී දර්ශන පථය වෙනස්‌ කරන ගමන් පැවසී ය. එහි වූ අධෝරක්‌ත වීඩියෝවෙන්, පෙර අවස්‌ථාවල දී මෙන් මේ සොරා ගේ එක කකුලක්‌ නොමැති බව තහවුරු විය. සියල්ලෝ ම මහුණට මුහුණ බලාගත් හ. ඔවුන් තැතිගෙන සිටි වගක්‌ ඔවුන් ගේ මුහුණුවලින් දිස්‌ විය.

"මම ඊළග උමතු රියදුරා. මට නම් බැහැ වාහනයට නගින්!" සැමී භ්‍රාන්ත ව පැවසී ය. සියල්ලෝ ම නිශ්ශබ්ද ව කල්පනා කරන්නට වූ හ.

"ඔයා ගේ වාහනයට එයා ළං වුණ බව අපි දැනගත්තෙ ඔයා ගේ ඩිජිටල් වැඩසටහන නිසා. කවුද දන්නෙ, අපි නො දැක්‌කා වුණාට, අපේ වාහානවලටත් මිනිහා මොනව හරි කරා ද කියලා?" එරික්‌ ප්‍රශ්න කළේ ය. "මට හිතෙන්නේ මේ පුද්ගලය ගෙ මේ මොනයම් හෝ අද්භූත උපක්‍රමය බලපාන්නෙන් මිනිස්‌ මොළයට විතරයි. ඒ නිසා මොළයක්‌ නැති මිනිහෙක්‌ වාහනය එළෙව්වොත් එයට බලපෑමක්‌ වෙන එකක්‌ නැහැ" පැමෙලා විහිළුවෙන් මෙන් පැවසුවා ය.

"හොඳ අදහසක්‌. මොළයක්‌ නැති මිනිහකුට අපිට දැන් ඉන්නේ සැමී හරි 'ඩමී' හරි විතරයි.." සැමී ගේ කර වටා අතක්‌ යවමින් එරික්‌ එසේ පැවසුවේ අනෙක්‌ අය හිනස්‌වමිනි.

"හරියට ම හරි. සැමී පව් නිසා ඔයගොල්ලෝ ඩමීව පාවිච්චි කරන්න" පැමෙලා විහිළුවෙන් ම ඔහුට පිළිතුරු දුනි.

ඔවුන් තිදෙන හනික සැමී ගේ වාහනය වෙත පියමැන්නෝ ය. සැමී එහි රියදුරු අසුනට අනෙක්‌ පසින් වූ අසුනේත්, එරික්‌ සහ නේතන් පිටුපස අසුන්වලත් අසුන්ගත්තේ චකිතයෙනි. ඉන්පසුව සැමී, "දැන් අපි 'ඩමී'ව එළියට ගමු" යෑයි පවසමින්, රියදුරු අසුන යට වම් පස වූ බොත්තමක්‌ එබී ය. එවිට, රියදුරු අසුනෙහි අසුන්ගන්නා කොටස මැදින් දෙපසට වෙන් වී, ඒ ඇතුළතින් පුද්ගල අනුරුවක්‌ හෙවත් ඩමියක්‌ මතු වී ආවේ ය.

එම අනුරුව අලෝහමය ද්‍රව්‍යවලින් නිර්මිත ව තිබුණු රොබෝවෙකි. රොබෝවකු වුව ද, ඔහු ගේ පරිගණකයට යම් ස්‌ථාන දෙකක ඛණ්‌ඩාංක ඇතුළත් කළ විට, එම ලක්‌ෂ්‍ය අතර වූ ඕනෑ ම පාරක, වාහනය හොඳින් හසුරුවාගනිමින් ධාවනය කිරීමේ හැකියාව ඔහු සතු විය. මේ 'ඩමී' රියදුරා artificial intelligence හෙවත් කෘත්‍රිම බුද්ධියකින් ක්‍රියාත්මක වූවෙකි. බුද්ධි අංශයේ නිලධාරීන් ගේ වාහනවලට මේ 'ඩමී' රියදුරන් හඳුන්වා දී තිබූ සැබෑ හේතුව නම්, යම් නිලධාරියකු පහර කෑමකට ලක්‌ වුව හොත් හෝ වෙනත් හදිසි අවස්‌ථාවක දී හෝ එම නිලධාරියාට ප්‍රකෘති සිහියෙන් වාහනය එළවාගත නොහැකි විට, මේ 'ඩමී' රියදුරා ප්‍රයෝජනයට ගෙන එතනින් පළා යැමට සැලැස්‌වීමයි.

සැමී, 'ඩමී' රියදුරා ගේ කලව ප්‍රදේශයේ වූ කුඩා දොරක්‌ විවෘත කළේ ය. එහි කුඩා පරිගණකයක්‌ විය. එම පරිගණකය භාවිතයෙන්, ඔහු ඔවුන් සිටි ස්‌ථානයේ සිට කිලෝමීටරයක්‌ පමණ එහායින් වූ ස්‌ථානයක ඛණ්‌ඩාංක ඇතුළත් කළේ ය. ඉන් පසුව 'ඩමී' රියදුරාව වට කරමින් වීදුරුවක්‌ මතු විය. එයින් රියදුරාත්, වාහනයේ වූ අනෙක්‌ මගීන් අතරත් සම්බන්ධය බිඳ වැටිණි.

'ඩමී' රියදුරා වාහනය පණ ගන්වා මීටර කිහිපයක දුරක්‌ ධාවනය වූ විට මහත් පුදුමාකාර දෙයක්‌ සිදු විය. සැමී, නේතන් සහ එරික්‌ සිය හිස්‌ බදාගෙන මොර දෙන්නට වූ හ. එයින් වැඩි ම බලපෑමක්‌ දැක්‌වූයේ සැමී ය. 'ඩමී' රියදුරා ගේ වීදුරු කූඩුවට අතින් ආවේගයෙන් ගසමින්, "වාහනය හප්පන්න, මට මැරෙන්න ඕනේ" යෑයි ඔහු කෑ මොර දෙන්නට විය. එහෙත් වාහනයේ සිටි මනුෂ්‍යයන් තිදෙනාට සිදු වූ කිසිවක්‌ 'ඩමී' රියදුරාට ගෝචර නො වී ය. ඔහු කිසිවක්‌ නො වුණු අයුරින් පරෙස්‌සමෙන් වාහනය ධාවනය කළේ ය.

වාහනය මීටර 500ක්‌ පමණ ධාවනය වූ පසුව මේ සියලු විකාර සිදුවීම් හදිසියේ ම නැවතිණි. එහෙත් වාහනයේ සිටි මනුෂ්‍යයෝ තිදෙන සිsහි මූර්ඡා වී ඔවුන් සිටි අසුන්වල ම වැටී සිටියෝ ය. ඔවුන් නැවත ප්‍රකෘති සිහියට පැමිණියේ, 'ඩමී' රියදුරා වාහනය කිලෝමීටරයක්‌ එළවාගෙන ගොසින් වාහනය නතර කිරීමෙන් විනාඩි කිහිපයකටත් පසුව ය.

ඔවුහු තිදෙන දැස්‌ විවර කර මහත් භීතියෙන් වට පිට බැලූ හ.

"අපිට මොකද වුණේ?" තිදෙනා ම එකවර ඇසූ හ. ඔවුන් පැය භාගයක්‌ පමණ සිහි මූර්ඡා වී සිට ඇත. ඔවුහු දැඩි හිසරදයකින් පෙළෙන්නට වූ හ. වාහනය පණගන්වා ටික මොහාතකින් තමන් උන්මන්තකයන් වූ බව ඔවුන්ට තේරුම් ගියේ ය. එහෙත් 'ඩමී' රියදුරාට මේ කිසිවක බලපෑමක්‌ නො වූ බව ද ඔවුහු තේරුම්ගත් හ. මේ සිදු වූ අද්භූත සිදුවීම් බලපාන්නේ මනුෂ්‍ය ජීවීන්ට පමණක්‌ බව එයින් තහවුරු විය. ඔවුහු වාහනයෙන් බැස 'ඩමී' රියදුරා ලවා වාහනය ප්‍රධාන පාලක මධ්‍යස්‌ථානයට ගෙන ගිය හ. එහි දී ස්‌කෑනර් යන්ත්‍රයක්‌ මගින් වාහනය ඉතා දැඩි පරීක්‌ෂාවට ලක්‌ කරන ලදී. විශේෂයෙන් රියදුරු දොර සහ හැඩලයට දැඩි අවධානයක්‌ යොමු විය. එහෙත් අසාමාන්‍ය කිසිවක්‌ එහි නො වී ය. අවම වශයෙන් සිරීමක්‌ වත් නො වී ය.

මේ මෙහෙයුම්වලට සමගාමී ව, තවත් විශේෂ කණ්‌ඩායමක්‌ ක්‍රියාත්මක වී, වාහනවලින් සොරකම් කිරීමේ වරද පිට, කෘත්‍රිම පාදයක්‌ සහිත ආගන්තුකයා අත්අඩංගුවට ගත්තේ ය. ඔහු දැඩි පරීක්‌ෂාවට ලක්‌ කළ ද, සැකසහිත කිසිවක්‌ ඔහු සන්තකයේ නො වී ය. එහෙත් ඔහු ගොළුවකු බව බුද්ධි අංශයේ නිලධාරීන්ට හැගිණි. ඒ අත්අඩංගුවට පත් විගස තුෂ්ණිම්භූත වූ ආගන්තුකයා අතපය හසුරුවමින් ගොළු බසින් කථා කරන්නට වූ බැවිනි.

"ඒ මිනිහා ගොළුයි. හොඳට ම කලබල වෙලා. අපි එයා ගෙ ඇගිලි සලකුණු සහ DNA විශ්ලේෂණය කරනවා" නේතන් මූලික ප්‍රශ්න කිරීමේ විස්‌තර විපතට පත් කණ්‌ඩායමේ අනෙක්‌ අයට කී ය.

"සමහර විට මිනිහව තව කවුරු හරි මෙහෙයනවා ඇති. මිනිහා ගොළු නිසා. එයා ගෙ මෙහෙයුම්කාරයා ගෙ අනන්‍යතාවය කවදා වත් එළි වෙන්නෙ නැහැ. ඉතා බුද්ධිමත් සැලැස්‌මක්‌" සැමී සිය ප්‍රියතම පානයෙන් උගුරක්‌ බොන ගමන් පැවසී ය.

අනෙක්‌ අය කල්පනාකාරීව හිස වැනූ හ. සොරා, වැඩිදුර පරීක්‌ෂණය සඳහා විශේෂිත සිරමැදියක රඳවා තිබිණි. එය ඉතා උස, ඝනකම් සිමෙන්ති බිත්ති සහ ඉහළ ශක්‌තිමත් දැලක්‌ සහිත වා කවුළුවකින් සමන්විත කුටීරයක්‌ විය. සිර කුටීරයේ දොරවල් ද ඉතා ශක්‌තිමත් ව තනා තිබුණ අතර, එය තුළින් එළිය බැලීම සඳහා ශක්‌තිමත් වීදුරුවක්‌ සහිත කවුළුවක්‌ විය. සිර කුටීරයේ දොර දෙපස ආයුධ සන්නද්ධ මුර සෙබළු දෙදෙනෙක්‌ වූ හ.

මේ අතර, එරික්‌ DNA ඇගිලි සලකුණු වාර්තාව රැගෙන කාමරයට කඩා වැදුණේ මහත් කලබලයකිනි.

"මේ මිනිහා Weeding Intelligence ත්‍රස්‌ත කල්ලියේ ප්‍රබල සාමාජිකයෙක්‌ෘ නම හෙන්රි හාවඩ්!! මිනිහ ගෙ කකුල නැති වෙල තියෙන්නෙ කර්නල් ඩේවිඩ් ගෙ ප්‍රහාරයක්‌ නිසා. අපි හිතන්නේ මිනිහ ගොළුයි කියලා රගපාන්නේ බොරුවට. වහාම යමු"

Weeding Intelligence ත්‍රස්‌ත කල්ලිය ලෝකයේ එදා මෙදාතුර බිහි වූ භයානකතම කල්ලියක්‌ වූ අතර, තාක්‌ෂණික අවි නිපදවීම සහ හැසිරවීම අතින් ඔවුහු ඉදිරියෙන් ම සිටිය හ. ප්‍රධාන පෙළේ රටවල බිහි වන බුද්ධි අංශයේ නිලධාරීන් මුලිනුපුටා දැමීම ඔවුන් ගේ පරමාර්ථය විය. එම නිසා ඔවුන් ගෙන් සාමාන්‍ය වැසියනට තර්ජනයක්‌ නො වී ය. තමන් ගේ කල්ලියේ සාමාජිකයෙක්‌ට කවරකු හෝ යම් හානියක්‌ කළ විට, ඔවුන් එළවා එළවා පහර දීම මේ කල්ලියේ ප්‍රධාන ලක්‌ෂණයයි. කර්නල් ඩේවිඩ් ගේ පහර කෑමකින් හෙන්රි හාවඩ් ගේ කකුල නැති විය. ඔහු කර්නල් ඩේවිඩ්ව ඝාතනය කළේත්, කර්නල් ඩේවිඩ් ගේ කණ්‌ඩායමේ අනෙකුත් සාමාජිකයන් ලුහුබඳින්නේත් මේ නිසා ය.

"එහෙනම් මිනිහා අපිව මරන්න ගෙනාපු නිහඩ අවිය කට ඇතුළේ හංගගෙන ඇත්තේ. ඒකයි ගොළු විදිහට රගපෑවේ" සැමී පැවසුවේ අවසාන බීම උතුර පානය කර, අනෙක්‌ අය පසුපසින් දිව යන ගමන් ය.

එහෙත් ඔවුන් සිරමැදිරියට ළගා වන විට එතන වෙනත් කලබලයකි. සොරා හෙවත් හෙන්රි හාවඩ් දැඩි බිත්තිවල ඔළුව හප්පාගෙන සිය දිවි හානි කරගෙන ය. සිර මැදිරියේ මුර භටයන් දෙදෙනා ඔවුන් සතු ගිනි අවිවලින් හිසට වෙඩි තබාගෙන සියදිවි හානි කරගෙන සිටිය හ. කුමක්‌ සිදු වූවා ද යන්න කාට වත් සිතාගත නො හැකි විය.

නේතන්, එරික්‌ සහ සැමී මිය ගිය හෙන්රි ගේ සිරුරත්, විශේෂයෙන් ම මුඛයත් සිරුර අසළත් හොඳින් පරීක්‌ෂා කළ හ. ඔහු ගේ සිරුරට යට වී ලේවලින් තෙත් වූ කුඩා දුරස්‌ථ පාලකයක්‌ විය. එය කටේ සගවාගෙන සිටිය හැකි ප්‍රමාණයේ එකකි.

"මේ දුරස්‌ථ පාලකයේ බොත්තම්වලින් සියදිවි හානි කරගැනීමේ ආශාව ප්‍රේරණය කරන්න පුළුවන් ඇති. ඔබල ම බලන්න ඕනේ" එරික්‌ එය එහාට මෙහාට හරවමින් පැවසී ය.

"මෙතන නම් එපා!" අනෙක්‌ අය එකවර කෑ ගැසූ හ. ඔවුහු සිය ප්‍රධාන කාර්යාලයට ගොස්‌ දුරස්‌ථ පාලකයේ කොටස්‌ ගලවා බැලූ හ. එය පෙනුමෙන් සරල, නමුත් ප්‍රබල එකක්‌ විය. එහි බොත්තම්වලින් කිසිවක්‌ සක්‍රිය/අක්‍රිය කළ හැකි බව ගම්‍ය විය.

"අපි මගේ කාර් එක ගාවට යමු. ගිහිල්ල බලමු මේකෙන් සක්‍රිය වෙන්නෙ මොනව ද කියලා" සැමී දුරස්‌ථ පාලකය අතට ගනිමින් පැවසී ය. ඔවුන් තිදෙන සැමී ගේ වාහනය ගාල් කර තිබූ පරීක්‌ෂණාගාර ගරාජය වෙත ගමන් කළ හ. එය පිහිටියේ ප්‍රධාන ගොඩනැඟිල්ලේ පොළොව මට්‌ටමට වඩා තට්‌ටු හතරක්‌ පහළ වූ මහලක ය. ඔවුන් එහි යන විට, සැමී ගේත් පැමෙලා ගේත් වාහනවලට අමතරව, කර්නල් ඩේවිඩ් ගේ හැප්පී විකෘති වූ වාහනය ද විය.

වාහනවලට මීටර දහයක්‌ පමණ දුරින් සිට දුරස්‌ථ පාලකයේ බොත්තම් ඔබන ලදි. කිසිදු වෙනසක්‌ නො විණිත නො පෙනිණි. ඉන්පසුව පැමෙලා ගේ වාහනය අසළට එරික්‌ ද, සැමී ගේ වාහනය අසළට නේතන් ද ගමන් කළෝ ය.

සැමී හුන් තැන සිට දුරස්‌ථ පාලකයේ බොත්තම් තත්පර පහකට ඔබා අත හැරියේ ය. ඔහු දුටුවේ අමුතු දසුනකි. බොත්තම ඔබාගෙන සිටි කාලය තුළ වාහන අසළ සිටි නේතන් සහ එරික්‌ සිය හිස බදාගෙන, උමතුවෙන් "මට මැරෙන්න ඕනේ. මට මැරෙන්න ඕනේ" යෑයි කෑ මොර දෙන්නට වූ හ. බොත්තම අතහළ විගස ඔවුන් ගේ උමතු චර්යාව මගහැරිණි.

සැමී වහා ඔවුන් වෙත දිව ආවේ ය. නේතන් කාරයට හේත්තු වී බිම වාඩි විය. එරික්‌ බිම දිගා විය.

"කාර් එකේ මොකක්‌ හරි හයි කරල තියෙනවා. ඒක ඔය දුරස්‌ථ පාලකයෙන් සක්‍රිය කරන්න පුළුවන්" එරික්‌ හති අරිමින් තවමත් බිම දිගා වී සිටින ගමන් පැවසී ය. සැමී ගේ උදව් ඇති ව නේතන් නැගිට සෙමින් සෙමින් කකුල අද්දමින් එරික්‌ වෙතට ආවේ ය.

"ඔක නම් ආයි ඔබන්න එපා! නේතන් නිදිමතින් සහ තෙහෙට්‌ටුවෙන් සැමීට කී ය.

"මේ දුරස්‌ථ පාලකයෙන් සක්‍රිය වෙන දේ තියෙන්නේ කාර් එකේ. ඒත් ඒ සක්‍රිය වන මෙවෙලමේ සක්‍රියත්වයට බලපාන්නේ කෙටි පරාසකයට විතරයි. අපි අතන ඉන්නකොට, ඒ කීවේ කාරයට මීටර දහයක්‌ විතර එහායින් ඉන්න කොට අපිට පිස්‌සු හැදුණෙ නැහැ. පිස්‌සු හැදෙන්නේ කාරයට ගොඩක්‌ ළගින් ඉන්න අයට විතරයි" සැමී පැහැදිලි කළේ ය.

තව කොටසක්‌ ලබන සතියේ

නිමාෂි ප්‍රනාන්දු