logo3.gif (702 bytes)

HOME


විද්‍යා ප්‍රබන්ධ
උමතු රියදුරු

"ඔයා ඔය බීමට ඇබ්බැහි වෙලයි තියෙන්නේ. දුකටත් බොනවා. සතුටටත් බොනවා. කොයි වෙලෙත් බොනවා!" එරික්‌ දිගු සුසුමක්‌ හෙළමින් නොරිස්‌සුම්සහගතව සිය සගයා වූ සැමීට පැවසී ය. එරික්‌ ශෝකයෙන් විඩාපත් ව සිටියේ ය. ඔහු සිය කාරයේ දොර විවෘත කර රියදුරු අසුනෙහි අසුන්ගත්තේ ය. සැමී රියදුරු අසුනට අනෙක්‌ පසින් අසුන්ගෙන, ඔහු ගේ ප්‍රියතම සිසිල් බීම සහිත කෑනය ගෙන පානය කරමින්, දුර ඈත කල්පනාවක නිමග්න ව සිටියේ ය. ඔහු ද ශෝකයෙන් මුසපත් ව සිටියේ ය. එරික්‌ කී පරිදි, ඔහු දුකටත්, සතුටටත්, කිසිවක්‌ සිතාගත නොහැකි අවස්‌ථාවල දීත් ඒ බීම පානය කළේ ය.

සැමී දිගු සුසුමක්‌ හෙළී ය. "කර්නල් ඩේවිඩ් සිය දිවි හානි කරගන්න තරම් උමතු මිනිහෙක්‌ නො වෙයි" ඔහු රථයේ කවුළුව තුළින් හිස්‌ බැල්මක්‌ හෙළමින්, තව උගුරක්‌ පානය කළේ ය.

"මමත් එකගයි. ඒත් අපි පැහැදිලිව ම දැක්‌ක නේ කර්නල් ඩේවිඩ් උමතුවෙන් වාහනය එළවගෙන ගිහිල්ලා ගොඩනැගිල්ලක තදින් හප්පාගන්නවා"

එරික්‌ සිය වාහනය පණගන්වා. සුක්‌කානම අතට ගෙන, ඔළුව ඔසවා ඉදිරිපස බැලුවේ සිය වාහනය පැදවීම සඳහා මාර්ගය පැහැදිලි ද යන්න පිරික්‌සීමට ය. එහෙත් ඔහු ඊළග මොහොතේ දුටුවේ මහත් භයානක සිද්ධියකි. ඔවුන් ගේ රථය දෙසට ඉදිරියෙන් ඉතා වේගයෙන් කාරයක්‌ පැමිණෙමින් තිබිණි. කිසිවක්‌ සිතාගත නොහැකි වූ එරික්‌ වහා වාහනය ඉවතට කැපී ය. අනෙක්‌ වාහනය කසළ බඳුන් කිහිපයක්‌ ද තල්ලු කරගෙන ගොස්‌ කණුවක වැදී නතර විය.

එරික්‌ වාහනයෙන් බැස හැප්පුණු වාහනය දෙසට දිව ගියේ එහි රියදුරු, ඔවුන් ගේ

සහ-සේවිකාවක වූ පැමෙලා බැවිනි. සැමී ගේ අතින් කෑනය ගිලිහිණි. "පැමිලාට පිස්‌සු හැදිල ද? එයා අපිව මරන්නයි හැදුවේ!" ඔහු වික්‌ෂිප්තව පැවසී ය. සිහි එළවාගත් සැමී, එරික්‌ පසුපස, හැප්පුණු වාහනය දෙසට දිව ගියේ ය.

පැමෙලා ගේ කාරය කණුවේ තදින් හැපී තිබුණු නමුත් වාසනාවට මෙන් හැපී තිබුණේ රියදුරු සිටි පසට විරුද්ධ පස ය. එහෙයින් ඇයට බරපතළ හානියක්‌ සිදු නො වී තිබුණ ද, ඇය සිහිසුන් ව සිටියා ය. සැමී සහ එරික්‌ අවට රොක්‌ වූවන් ගේ ද සහාය ඇති ව ඇය වහා ඉවතට ගෙන එරික්‌ ගේ රථයෙන් හමුදා රෝහලට රැගෙන ගිය හ. පැමෙලා ගේ වාහනය රාජ්‍ය දේපළක්‌ වූ බැවින්, සැමී එය තමා සන්තකයට ගැනීමට කටයුතු කළේ ය. ඔහු එම කටයුත්ත කරන අතරතුර සූක්‌ෂම ලෙස වටපිට බැලුවේ, රැස්‌ වූ පිරිස අතර අසාමාන්‍ය හැසිරීමක්‌ ඇති පුද්ගලයකු වේ දැයි බැලීමට ය. එහෙත් එවැන්නකු ඔහු නො දුටුවේ ය. සැමී ගේ දර්ශන පථයට හසු නො වුව ද, මීටර 200ක්‌ පමණ එහායින් වූ ඉතා උස්‌ ගොඩනැඟිල්ලක, අටවැනි තට්‌ටුවේ ජනේලයක සිට යමෙක්‌ දුරදක්‌නයක්‌ මාර්ගයෙන් මේ සියල්ල නිරීක්‌ෂණය කරමින් සිටියේ ය.

පැමෙලාට සිහිය ඒමට බොහෝ වේලාවක්‌ ගත විය. ඇයට සිහිය එන විට ඇය අසල එරික්‌ සහ සැමීට අමතරව නේතන් නම් පුද්ගලයෙක්‌ ද සිටියේ ය.

"මම මේ කොහේ ද?" ඇය දැස්‌ විවර කර චකිතයෙන් වට පිට බැලී ය. කිසිවෙක්‌ කිසිවක්‌ නො කී හ. එරික්‌ සහ සැමී දුටු විට ඇය තැති ගත්තා ය.

"ඔය දෙන්නා?!! මට ඔය දෙන්න ගෙ කාර් එක හප්පන්න කිව්වා! මටත් සියි දිවි හානි කරගන්න බල කරා" ඇය ඔවුන් වෙතට ඇගිල්ලක්‌ දිගු කරමින් මිමිණී ය.

"කවුද?" ඉතිරි තිදෙන එකවර විමසූ හ.

ඇය හිස දෙපසට සෙලවී ය. "මගේ ඔළුව ඇතුළෙන් ආපු කටහඩක්‌..... මම දන්නෙ නැහැ ඒ කවුද කියල" ඇය අසරණ ව පැවසී ය.

"කර්නල් වේඩිව් සිය දිවි හානි කරගත්තා. ඔයත් සියදිවි හානි කරගන්න උත්සාහ කරා. නමුත් ඉලක්‌කය වැරදුණා. ඔය දෙන්න ම හොඳ සිහිබුද්ධිය ඇති පුද්ගලයන්. ඒත් වාහනයට නැගපු ගමන් උමතු රියදුරන් බවට පත් වුණා" නේතන් බැරෑරුම් ලෙස කරුණු පැහැදී ය.

"වාහනය හප්පාගැනීම සියදිවි හානි කරගැනීමක්‌ ලෙස පෙන්වන්න උත්සාහ කරාට, මේවා අහඹු සිදුවීම් නො වෙයි. එහෙම හිතන්න අමාරුයි. ඔය දෙන්න ගෙ මනස පාලනය කරන්න හැකියාව තියෙන කවුරු හරි පුද්ගලයෙක්‌ ඔය අහල පහළ ඉන්න ඇති. එහෙමත් නැතිනම් මනස පාලනය කරන්න පුළුවන් උපකරණයක්‌ අතැති ව යම් පුද්ගලයෙක්‌ ඉන්න ඇති" ඔහු වැඩිදුරටත් පැවසී ය.

"මම පැමෙල ගෙ වාහනය අනතුර සිදු වෙච්ච තැනින් එළියට ගන්න කොට, සැක සහිත කවුරු හරි වටේ පිටේ ඉන්නව ද කියල විපරම් කරල බැලුවා. ඒත් මට එහෙම කවුරු වත් හමු වුණේ නැහැ. ඒත් දුරස්‌ථ පාලකයකින් මනස මෙහෙයවන්න පුළුවන් උපකරණයක්‌ පාවිච්චි කරල කවුරු හරි මේ වැඩේ කරා ද දන්නෙ නැහැ" සැමී සිය මතය ඉදිරිපත් කළේ ය.

ඒ සමග ම, කාමරයට පැමිණි හමුදා නිලධාරියෙක්‌ සංයුක්‌ත තැටි දෙකක්‌ නේතන් අතට පත් කර, කාමරයේ සිටි නේතන් ඇතුළු අනෙක්‌ හමුදා නිලධාරීන්ට ආචාර කර එතැනින් නික්‌ම ගියේ ය.

"හරි. අපි බලමු. කර්නල් ඩේවිඩ් සහ පැමෙල ගෙ රිය අනතුරු වෙන්න කලින්, ඔයගොල්ලන් ගෙ වාහන අවට සිද්ද වුණු දේවල් මේවයෙ පටිගත වෙලා ඇති. මේ ඒ වාහනවල තිබුණු ආරක්‌ෂක කැමරාවලින් ලබාගත්ත දර්ශන" සංයුක්‌ත තැටි ආවරණය ගලවන අතර නේතන් විස්‌තර කළේ ය.

ඒ කාමරයේ සිටි සියලු දෙනා ප්‍රබල රටක රාජ්‍ය ආරක්‌ෂක අංශයේ නිලධාරීන් වූ බැවින්, ඔවුන් ගේ වාහන නවීන පන්නයේ ආම්පන්නවලින් සමන්විත විය.

සියල්ලෝ ම නිශ්ශබ්දව මහත් ඕනෑකමින් සංයුක්‌ත තැටි දෙකෙහි අන්තර්ගතය නැරඹූ හ. එම තැටි දෙකට ම පොදු එක සිදුවීමක්‌ විය. එනම්, කළු පැහැ දිගු කබායකින් සහ හිස්‌ වැස්‌මකින් සැරසුණු ආගන්තුකයෙක්‌, නතර කර තිබූ වාහන දෙකෙහි ම රියදුරු දොර අසලට පැමණ එය විවෘත කිරීමට ගත් උත්සාහයක්‌ එහි පටිගතව තිබිණි. ඔහු හඳුනාගැනීමට අපහසු වන ලෙස, ලේන්සුවකින් මුව ආවරණය කරගෙන සිටියේ ය. ඔහු, රියදුරු දොරේ වීදුරුවෙන් වාහනය ඇතුළට එබී, එහි දොර විවෘත කිරීමට නො හැකි බව දැනගත් පසු එතනින් ඉවත් ව ගියේ ය.

"අපේ දොරවල් විවෘත කරන්න අපේ ඇගිලි සලකුණු අවශ්‍යයි නේ, නමුත් මේ මිනිහා ඒ බව දන්නෙ නැති ව ඇති" මෙතෙක්‌ කිසිවක්‌ නො කී පැමෙලා කීවා ය. සිදු වූ අනතුරින් ඈ තවමත් තැතිගෙන සිටියා ය.

"නමුත් මට හිතෙන්නේ, එයා දොර විවෘත කරන මුවාවෙන්, දොරේ හැඩලය යට අපට සියදිවි හානි කරගන්න පොලඹවන යම් දෙයක්‌ අලවන්න හෝ ඇතුළු කරන්න ඇති. අපි දොර අරින කොට ඒ දේ අපේ ඇගිලිවල තැවරිලා ශරීරයට ඇතුළු වුණා වෙන්න බැරි ද? ඒක ලේවලට ගියා ම අපිව ක්‌ෂණයෙන් උන්මන්තක රියදුරන් බවට පත් වුණා වෙන්න පුළුවන්" ඇය තවදුරටත් පැහැදිලි කළා ය.

"හොඳ තියරි එකක්‌, නමුත් ඔයා ගෙ රුධිර වාර්තාවේ කිසි අසාමාන්‍ය රසායන ද්‍රව්‍යයක්‌ තිබුණෙ නැහැ" එරික්‌ පරිගණකය දෙසට හැරෙමින් පැවසී ය. "මේකට අමතරව, මට හිතෙනවා කාරය අනතුරට ලක්‌ වෙන්න කලින්, කාරය ඇතුළත සහ පිටත අධෝරක්‌ත ඡායාරූප සහිත වීඩියෝ දර්ශන නැරඹුවොත් හොඳයි කියල. කවුද දන්නෙ කාරය යට කවුරු හරි හැංගිල හිටිය ද කියලා" ඔහු එසේ කියමින් අදාළ වීඩියෝ දර්ශන විවෘත කළේ ය.

අධෝරක්‌ත කිරණ යනු, මිනිස්‌ ඇසට සංවේදනය වන දෘශ්‍ය පරාසයට අයත් නො වන කිරණ පරාසයයි. අපට එය සංවේදනය වන්නේ තාප ශක්‌තිය ලෙසට ය. යම් කිසි පෘෂ්ඨයකින් නිකුත් කරන අධෝරක්‌ත කිරණ හඳුනාගෙන, ඒ අනුසාරයෙන් අධෝරක්‌ත ඡායාරූප නිෂ්පාදනය කිරීමට අධෝරක්‌ත කැමරා උපයෝගි කරගනී. මෙහි දී උණුසුම් පෘෂ්ඨ රතු, කහ වැනි තද වර්ණවලින් ද, සිසිල් පෘෂ්ඨ තද නිල්, දම් වැනි වර්ණවලින් ද දිස්‌ වේ.

එරික්‌ විවෘත කළ අධෝරක්‌ත ඡායාරූප සහිත වීඩියෝවක්‌ පරීක්‌ෂා කළ විට, ඔවුන් සිතූ පරිදි කාරය ඇතුළත හෝ පිටත හෝ වෙන මිනිසකු හෝ ජීවියකු හෝ සැගව සිටියේ නැත. එහෙත්, දිගු කබාය ඇඳි ආගන්තුකයා ගේ අධෝරක්‌ත ඡායාරූපවල යම් අසාමාන්‍යතාවක්‌ ඔවුහු නිරීක්‌ෂණය කළ හ. එනම් ඔහු ගේ දකුණු කකුලෙහි දණහිසෙන් පහළ ඔහුට තිබුණේ බොරු කකුලකි. බොරු කකුල හැර ශරීරයේ ඉතිරි සියලු කොටස්‌ රතු සහ කහ පැහැයට නෑකම් කියන විවිධ වර්ණයෙන් දිස්‌ වූ අතර, අජීවී බොරු කකුල පමණක්‌ තද දම් පැහැයකින් දිස්‌ විය.

"අපි එහෙනම් අපේ සතුරව යම්තාක්‌ දුරට හඳුනගත්තා. එයා ගෙ එක කකුලක්‌ නැහැ. එයාව අත්අඩංගුවට ගන්න, එයාව හඳුනගන්න මේක හොඳ ඉගියක්‌ වේ වි. අපි දැන් විසිරෙමු" නේතන් පැවසී ය. "පැමෙලා, ඔයා තව දවසක්‌ මෙහෙ ඉන්න වේ වි"

"විසිරෙන්න කලින්..." සැමී සිය සිසිල් බීම කෑනයේ අවසාන උගුර කටට හළාගනිමින් කථා කරන්නට විය.

"පොඩ්ඩක්‌ හිතල බලන්න. උමතු රියදුරන් බවට හැරුණේ කර්නල් ඩේවිඩ් සහ පැමෙලා විතරයි. මේ වගේ උමතු රියදුරන් සාමාන්‍ය ජනතාව අතුරින් වාර්තා වුණේ නැහැ නේ. අපේ කාර් දෙකට ම ළං වුණෙත් එක ම පුද්ගලයෙක්‌.. සමහර විට මේ පුද්ගලයා ආරක්‌ෂක අංශයේ අපේ නිලධාරීන් ඉලක්‌ක කරනවා වෙන්න පුළුවන්" සැමී කල්පනාකාරී ව පැවසී ය.

"හ්ම්, අපි මේ මිනිහව ඉක්‌මනට ම අත්අඩංගුවට ගන්න ඕනේ" එරික්‌ පැවසී ය. ඒ සමග ම සැමී ගේ සාක්‌කුවෙහි වූ ජංගම දුරකථනය "බීප්-බීප්" නාදයක්‌ අඛණ්‌ඩව නිකුත් කරන්නට විය. සියල්ලෝ ම ඔහු දෙස හැරී බැලූ හ. සැමී කලබල වී සිය අතෙහි වූ කෑනය පසෙක තබමින් හනික ජංගම දුරකථනය ඉවතට ගත්තේ ය.

"ඒ මොකක්‌ ද ඒ සද්දය?" පැමෙලා විමසුවා ය.

"මං හිතන්නෙ මම ඊළග උමතු රියදුරා වෙන්න ඇතිෘ තැතිගත් සැමී සිය ජංගම දුරකථනයේ තිරය විවෘත කරමින් පැවසී ය. එහි වූයේ වීඩියෝ දර්ශනයකි. කමිසයක්‌, දිගු කලිසමක්‌ සහ මුහුණ ආවරණය වන පරිදි තොප්පියක්‌ පැළඳගත් මිනිසෙක්‌ ඔහු ගේ කාරයේ රියදුරු දොර අසල සිටියේ ය. ඔහු එය විවෘත කරන්නට උත්සාහ කරන වගක්‌ වීඩියෝ දර්ශනයෙහි විය. ඒ විවෘත කරන්නට නො හැකි වග තේරුම්ගත් පසු, ඔහු දොරට පයින් ගසා එතැනින් නික්‌ම ගියේ ය. ඒ වන විට සැමී ගේ දුරකථනයෙහි වූ දර්ශනය අනෙක්‌ අය ද නරඹමින් සිටියෝ ය.

තව කොටසක්‌ ලබන සතියේ

නිමාෂි ප්‍රනාන්දු