logo3.gif (702 bytes)

arrow7.gif (1098 bytes)


නොඉඳුල් නිවර්තන වනාන්තර යනු හිතලුවක්‌ ද ?

වසර 45,000ක අතීතයක පටන් වැසි වනාන්තර වෙනස්‌ කළ මිනිස්‌සු නිවර්තන වනාන්තර එළිපෙහෙළි කිරීම හා වනාන්තරවල සෙසු වෙනස්‌කම් මිනිසුන් විසින් සිදු කරන්නේ මෑත කාලයේ පටන් බව සාමාන්‍ය පිළිගැනීම වේ. වඩාත් නිශ්චිතව පවසන්නේ නම් ඒ නූතන කෘෂිකර්මාන්තයේ හා කාර්මීකකරණයේ ආරම්භයේ සිට ය. එයට පෙර කාලයේ මේ වනාන්තර මිනිස්‌ වාසයට නොසුදුසු සේ සැලකුණු බැවින් ඇතැම් විට හරිත කාන්තාර (green deserts) ලෙස හඳුන්වා තිබේ. නූතන සංරක්‌ෂණ වැඩපිළිවෙළේ ද මූලික පදනම වන්නේ ද මේ වෙනස්‌කම් මෑත කාලයේ දී සිදු ව ඇත්තේ ය යන්න ය.

කෙසේ වෙතත් මෑත දී සිදු කරන ලද අධ්‍යයනයකට අනුව මිනිසුන් වනාන්තර භාවිත කිරීම හා වනාන්තරවල වෙනස්‌කම් සිදු කිරීම පිළිබඳ කතාව බොහෝ ඈත අතීතයකට දිව යයි. ඒ අනුව අඩු ම වශයෙන් වසර 45,000ක්‌ තරම් වත් ඈත කාලයක සිට මිනිසුන් නිවර්තන වනාන්තර වෙනස්‌ කිරීම සිදු කොට ඇත. ඒ සඳහා මිනිසුන් යොදාගෙන ඇති උපක්‍රම අතර, වනාන්තර පාලිත ගිනි තැබීම් සිදු කිරීම හා ශාක හා සතුන් කළමනාකරණය හා වනාන්තරවල ශාක වැස්‌ම මුළුමනින් ඉවත් කිරීම වැනි උපක්‍රම භාවිත වී තිබේ. අප්‍රිකාවෙන් පිට වූ මානවයා විසූ බොහෝ නිවර්තන වනාන්තරවල මෙවැනි කරුණු වාර්තා වී තිබේ.

මේ කරුණු හෙළි ව ඇත්තේ මිනිසුන් ඈත අතීතයේ සිට ජගත් මට්‌ටමින් නිවර්තන වනාන්තරවලට සිදු කර ඇති බලපෑම් පිළිබඳව සිදු කරන ලද පුළුල් විමර්ශනයක දී ය. මෙවැනි බලපෑම් සම්බන්ධව ලෝකයේ විවිධ ප්‍රදේශවලින් වාර්තා වී ඇතත්, මේ අධ්‍යයනයේ දී ලෝකයේ විවිධ ප්‍රදේශවලින් ලැබී ඇති ඇති දත්ත සමාලෝචනයට ලක්‌ කර තිබීම නිසා එය වැදගත් වේ. මෙහි දී මිනිසුන් නිවර්තන වනාන්තරවලට බලපෑම් සිදු කළ අවධි තුනක්‌ සම්බන්ධව අවධානය යොමු කර ඇත. ඒ දළ වශයෙන් ගත හොත් දඩයක්‌කාර-ඵල වැල රැස්‌ කරන්නන් (hunter-gatherers) ලෙස ක්‍රියා කළ කාලය, කුඩා පරිමාණයෙන් කෘෂිකාර්මික කටයුතුවල නියෑළුණු කාලය හා මහා පරිමාණ නාගරික ජනාවාස පැවැති කාලය යනුවෙනි.

දඩයක්‌කාර-ඵලවැල රැස්‌ කරන්නන් ගේ කටයුතු

මිනිසුන් දඩයක්‌කරුවන් හා ඵල වැල රැස්‌ කරන්නන් වශයෙන් සිටි කාලයේ, අඩු වශයෙන් අදින් වසර 45,000කට පමණ පෙර සිට මිනිසුන් මේ ආකාරයෙන් වනාන්තරවල වෙනස්‌කම් සිදු කර ඇති බව හෙළි වී ඇත. එම වෙනස්‌කම් සැලකිය යුතු බරපතළ තත්ත්වයේ වෙනස්‌කම් වීම මෙහි දී අනාවරණය වී ඇති වැදගත් කරුණකි. මේ පිළිබඳව දැනට ඇති

පැරැණිතම කාල වකවානු ව වාර්තා වන්නේ අදින් වසර 45,000කට පමණ පෙර අග්නිදිග ආසියාවෙනි. ඒ නූතන මිනිසා මේ කලාපයට පැමිණි මුල් කාලයේ දී පමණ ය. එසේ ම ඔස්‌ටේ්‍රලියාවේ හා නව ගිනියාව වැනි රටවලින් ද මෙවැනි ගිනිතැබීම් පිළිබඳව සාධක ලැබේ. මේ ආකාරයෙන් වනාන්තතර එළි කිරීමෙන් මිනිසුන්ට ලැබුණු ප්‍රතිලාභය වූයේ ඔවුන් ආහාරයට ගැනීමට ප්‍රිය කරන සතුන් හා ශාක බහුල වූ පරිසර වැඩි වශයෙන් ඇති කරගැනීමට හැකියාවක්‌ ලැබීම ය. ඒ 'වන වාටි' (forest edge) ලෙස ද හඳුන්වන වනාන්තරයට යාබද වූ පරිසරයක්‌ ඇති කරගැනීමෙනි. මේ සම්පත් ප්‍රදේශ (resource patches) ආශ්‍රිත ව විශේෂිත එහෙත් තිරසර ආකාරයේ දඩයම් ක්‍රමවේද යොදාගෙන තෝරාගත් සතුන් දඩයම් කර ඇති බව විශ්වාස කරනු ලැබේ. මීට ප්‍රයිමේටාවන් වැනි සත්ත්ව කාණ්‌ඩ ඇතුළත් විය.

එසේ ම මේ ආකාරයෙන් සිදු කරන ලද කටයුතුවල දී අපර ප්ලයිස්‌යොසීන (Late Pleistocene) යුගයේ දී වනාන්තරවල විසූ විශාල සතුන් ගේ වඳ වී යැම සඳහා මිනිසුන් ගේ මේ කටයුතු හේතු වූ බවට සාධක ඇතත් එම මතය තවමත් විවාදිත ය. මේ ආකාරයෙන් වඳ වී ගිය සතුන් අතර විවිධ විශාල ප්‍රමාණයේ සතුන් ඇත. මේ සඳහා මිනිසුන් ගේ බලපෑමක්‌ තිබිණි නම් එය වැදගත් වන්නේ මේ සතුන් ගේ වඳ වීමෙන් ඇති වූ වෙනස්‌ වීම් නිසා ය. ඒ නිසා වන ඝනත්වයේ, ශාක විශේෂ ව්‍යාප්තියේ, ශාක ප්‍රජනන යාන්ත්‍රණවල හා වනාන්තරවල ජීවන චක්‍රය වැනි කරුණුවලට සැලකිය යුතු බලපෑමක්‌ සිදු වූ බව මේ පිළිබඳ පර්යේෂණ කරන විද්‍යාඥයන් ගේ අදහස වේ.

වනාන්තරවල ගොවිතැන් කිරීම

නිවර්තන වනාන්තර තුළ ගොවිතැන් කිරීම සම්බන්ධව පැරැණිතම සාධක ලැබී ඇත්තේ නව ගිනියාවෙනි. ඒ අදින් වසර 10,000කට පමණ පෙර පැවැති මුල් මධ්‍ය හොලෝසීන (Early-Mid Holocene) යුගයේ දී සිදු කරන ලද වගා කිරීම් ය. එසේ වගා කළ ශාක අතර විවිධ අල වර්ග හා කෙසෙල් වැනි භෝග වර්ග විය. මිනිසුන් මෙසේ වනාන්තරවල වගා කිරීමේ යෙදුණේ දඩයම හා ඵල වැල රැස්‌ කිරීම ද සිදු කරන අතර ය. මෙමගින් සැලකිය යුතු වැදගත් ප්‍රතිඵල ඇති වූ බව පැහැදිලි ය.

මිනිසුන් විසින් බොහෝ වනාන්තරවල වැවුණු ශාක හා ජීවත් වූ සතුන් ගෘහාශ්‍රිතකරණය කිරීම ඇති වන්නේ මෙහි ප්‍රතිඵලයක්‌ ලෙස ය. මෙමගින් වනාන්තර පරිසර විද්‍යාව වෙනස්‌ වූ අතර එසේ ගෘහාශ්‍රිතකරණය කළ ශාක හා සතුන් මේ දක්‌වා මිනිසුන් ගේ ආහාර වේලට අයත් වේ.

කෙසේ වෙතත් එදා එම මිනිසුන් යොදාගත්තේ එම ප්‍රදේශයේ ම පැවැති ශාක හා සතුන් භාවිත කරගන්නා කෘෂි කාර්මික උපායමාර්ගයකි. ඒ නිසා ඉන් සැලකිය යුතු හා දිගු කල් පවත්නා ආකාරයේ පාරිසරික හානියක්‌ සිදු වී නොමැති බව විද්‍යාඥයන් ගේ අදහස වේ. එසේ ම මේ ජන කණ්‌ඩායම් කුඩා වූ අතර ඔවුන් වාසය කළ පරිසරයට ගැළපෙන ආකාරයේ යෑපුම් මට්‌ටමේ පද්ධති ඇති කරගෙන තිබීම මීට දායක වන්නට ඇත.

කෙසේ වෙතත් කෘෂිකාර්මික නිෂ්පාදනවල අවශ්‍යතාව ඉහළ ගිය විට තත්ත්වය වෙනස්‌ විය.

විශේෂයෙන් බාහිරයෙන් හඳුන්වා දුන් කෘෂි පිළිවෙත් නිසා නිවර්තන වනාන්තර හා දූපත් පරිසර පද්ධතිවල දැඩි වෙනස්‌කම් ඇති වී තිබේ. අදින් වසර 2,400ක්‌ තරම් ඈත කාලයක දී අප්‍රිකාවේ බටහිර හා මධ්‍යම ප්‍රදේශවලට ඇතැම් ධාන්‍ය වර්ග හා ගව පාලනය හඳුන්වා දීමේ ප්‍රතිඵලයක්‌ ලෙස දැඩි පාංශු ඛාදනයක්‌ ඇති වීම හා වනාන්තර ගිනි තැබීම් විශාල ලෙස සිදු වීම දැකිය හැකි ය. වී හා කුරක්‌කන් හා මෙනේරි වැනි වගා කිරීම් හඳුන්වා දෙන ලද අදින් වසර 4000කට පමණ පෙර කාලයේ දී පමණ අග්නිදිග ආසියාවේ ද මෙවැනි වෙනස්‌කම් ඇති වී තිබේ. එහි දී ද විශාල නිවර්තන වනාන්තර ප්‍රදේශ ගිනි තබා හෙළි පෙහෙළි කොට ඇත. මෙය මෑත කාලයේ දී පාම් තෙල් ශාක වගා කිරීම සඳහා නිවර්තන වනාන්තර එළි පෙහෙළි කිරීම හා සමාන කළ හැකි ය. එයට ද හේතු වී ඇත්තේ ඉහළ ගොස්‌ ඇති ඉල්ලුමයි. මෙවැනි ක්‍රියාකාරකම් නිසා වනාන්තර ගිනි තැබීම පමණක්‌ නො ව ජෛව විවිධත්වය අඩු වීම, පාංශු ඛාදනය වේගවත් වීම හා අදාළ භූමි ප්‍රදේශය වන ගිනිවලට වඩාත් පහසුවෙන් ලක්‌ විය හැකි තත්ත්වයකට පත් වීම සිදු ව තිබේ. මෙය නිවර්තන වනාන්තර මුහුණ දෙන ඉතා බරපතළ තත්ත්වයකි.

වනාන්තර තුළ නගර බිහි වීම

නව තාක්‌ෂණික ශිල්ප ක්‍රම යොදාගනිමින් මෑත දී සිදු කර ඇති අධ්‍යයනවලින් හෙළි වී ඇත්තේ මිනිසුන් නිවර්තන වනාන්තර ඇතුළත සැලකිය යුතු තරම් විශාල නාගරික ජනාවාස ඇති කර තිබෙන බවයි. මීට පෙර අනුමාන කර නො තිබූ තරම් විශාල ප්‍රමාණයේ එවැනි ජනාවාස ඇමෙරිකාවෙන් හා අග්නිදිග ආසියාවෙන් හමු වී තිබේ. විශාල ලෙස ව්‍යාප්ත වූ මේ ජනාවාස ජාල ඇමසෝනියාව, මධ්‍යම ඇමෙරිකාව හා අග්නිදිග ආසියාවෙන් හමු වී ඇත. ඒවා නූතන යුගයේ මෙවැනි ජනාවාස හා නාගරික ජනාවාස පැවැතී ඇති කාලයට වඩා වැඩි කාලයක්‌ පුරා පැවැතී තිබීම මෙහි ඇති විශේෂත්වයකි.

මේ පැරැණි නාගරික මධ්‍යස්‌ථානවලින් ඉගෙනගත හැකි දේ ඇති බව මේ පර්යේෂකයන් ගේ අදහසයි. ඒ දැනුම වර්තමාන නගර මුහුණ දෙන පාරිසරික අභියෝග ජයගැනී ම සඳහා ද යොදාගත හැකි ය. නිදසුනක්‌ ලෙස ගත හොත්, පාංශු ඛාදනය හා විශාල ජනගහනයකට අවශ්‍ය තරම් ආහාර නිෂ්පාදනය කිරීමේ දී කෘෂිකාර්මික පද්ධතිවල අසාර්ථකත්වය අතීතයේ දී මෙන් ම අද දවසේ ද දැකිය හැකි වූ ගැටලු වේ. මායාවරුන් විසූ ඇතැම් ප්‍රදේශවල විසූ ජනතාව අතිරේක ආහාර භෝග ලෙස යොදාගත් ශාක වර්ග සමහරක්‌ වනාන්තර හෙළි පෙහෙළි කිරීමකින් තොර ව, පවත්නා වනාන්තරය ඇතුළත ම වගා කර ඇති බවට සාධක ලැබී ඇත. මෙය වනාන්තර වගා කිරීමක්‌ හෙවත් කිසියම් උදාහරණයක්‌ ලෙස හඳුන්වා දී තිබේ. එහෙත් ඇතැම් ප්‍රදේශවල සිදු ව ඇත්තේ මීට වෙනස්‌ දෙයකි. එහි දී පරිසරයට දරාගත නොහැකි තරම් ප්‍රමාණයෙන් ඒක භෝග වගා කිරීම හා වනාන්තර එළි පෙහෙළි කිරීම නිසා ඉන්පසු දේශගුණයේ පවා වෙනස්‌කම් ඇති වී තිබේ. එහි ප්‍රතිඵලය වූයේ එම ප්‍රදේශයේ ජනගහනයේ පැහැදිලි අඩු වීමක්‌ සිදු වීම ය.

මේ වනගත උපනාගරික ප්‍රදේශ නූතන නගර සඳහා තිරසර ආකෘතියක්‌ ලෙස යොදාගැනීමට ඇති හැකියාව ගැන ද අවධානයක්‌ මේ වන විට යොමු වී ඇත. මේ වනාත්තර ආශ්‍රිත නාගරික ප්‍රදේශ දේශගුණ වෙනස්‌ වීම වැනි තත්ත්ව හමුවේ ඇතැම් අවස්‌ථාවල දී ආහාර සුරක්‌ෂිතතාව තහවුරු කරමින් ස්‌වාරක්‌ෂක කලාපයක්‌ සේ ක්‍රියා කර තිබීම මීට හේතුවයි. මේවායේ දැකිය හැකි ලක්‌ෂණ වන විවිධාංගීකරණය, විමධ්‍යගතකරණය හා නාගරික කෘෂිකාර්මික දිවි පෙවෙත මේ පද්ධතිවල දැකිය හැකි වූ ඔරොත්තු දීමට හේතුව විය හැකි බව මේ පිළිබඳව අධ්‍යයනය කරන විද්‍යාඥයන් ගේ අදහස වේ.

සමස්‌තයක්‌ ලෙස ගත් විට මේ අධ්‍යයනයට සම්බන්ධ කරගත් ජගත් මට්‌ටමේ දත්ත අනුව කරුණු කීපයක්‌ පැහැදිලි ය. ඉන් එකක්‌ වන්නේ, නොඉඳුල් නිවර්තන වනාන්තර පද්ධති සේ සැලකිය හැකි වනාන්තර නොමැති විය හැකි බවයි. එසේ ම දැනට වසර දහස්‌ ගණනක්‌ තිස්‌සේ මිනිසුන් මේ වනාන්තරවලට කළ බලපෑම සිදු වී ඇති බවයි. ඒ අනුව සංරක්‌ෂණ ඉලක්‌ක තීරණය කිරීමේ දී භාවිත කළ හැකි එවැනි දර්ශීය වනාන්තර නොමැති තරම් වේ. අනෙක්‌ අතට නූතන සංරක්‌ෂණ උත්සාහයට ප්‍රයෝජනවත් වන වෙනත් කරුණක්‌ මෙහි දී හඳුනාගත හැකි ය. එනම්, නිවර්තන වනාන්තරවල පුරාවිද්‍යාත්මක ඉතිහාසය හා ඒවා අතීතයේ දී මිනිසුන් විසින් කෙසේ උපයෝගී කරගන්නා ලද්දේ ද යන්න ය.

(මූලාශ්‍රය: Nature Plants, DOI 10.1038/nplants.2017.93)

ධනේෂ් විසුම්පෙරුම