logo3.gif (702 bytes)

HOME


නුදුරු අනාගතයේ දී ම ඔබ අතට පත් වන අධිතාක්‌ෂණික ඇඳුම්

අප ඇඳුම් භාවිත කරන්නේ මූලික වශයෙන් අරමුණු දෙකක්‌ පදනම් කරගෙන ය. එනම් ආරක්‌ෂාව හා අලංකාරය යන අරමුණු දෙක ය. එහෙත් වර්තමාන තාක්‌ෂණයේ දියුණුවත් සමග මේ අරමුණු දෙකට අමතරව වෙනත් ප්‍රතිලාභ ද සහිත ඇඳුම් නිෂ්පාදනය කොට ඇත. මේ ලිපිය, මෑතකාලීන ව එවැනි විශේෂිත ක්‍රියාවන් සිදු කළ හැකි ලෙස නිර්මාණය කෙරුණු ඇඳුම් පිළිබදව ය.

ක්‍රීඩා ඇඳුම් නිෂ්පාදනය

විසිවැනි ශතවර්ෂය ආරම්භයේ දී ඇඳුම් නිර්මාණය සදහා ප්‍රධාන වශයෙන් යොදාගනු ලැබුවේ ස්‌වාභාවික කෝදි වර්ග ය. මේ ඇඳුම් යම් යම් විශේෂිත ක්‍රියාකරකම් සදහා භාවිත කිරීමේ දී යම් අවාසිසහගත තත්ත්වයන් ඇති විය. උදාහරණයක්‌ ලෙස පිහිනුම්කරුවන් විසින් භාවිත කරනු ලබන ඇඳුම් ස්‌වාභාවික තන්තුවලින් නිපදවූ විට ජලය තුළ දී පෝගීම නිසා ස්‌කන්ධය වැඩි වීමෙන් පිහිනුම්කරුවාට පිහිනීමට යෙදිය යුතු බලය වැඩි කරවයි. තව ද වාතය සමග හා ජලය තුළ දී ඇති කරන ඝර්ෂණය නිසා ද ස්‌වාභාවික කෙඳි මගින් නිපදවන ලද ඇඳුම් ක්‍රීඩකයන්ට අවාසි සහගත තත්ත්වයන් ඇති කරයි.

මෙවැනි අවාසි මගහැරවීම සදහා මුල් අවධියේ දී ස්‌වාභාවික කෙඳි වර්ග රසායනික ව වෙනස්‌ කිරීම මගින් ලබාගන්නා කෙඳි භාවිත කොට ක්‍රීඩා ඇඳුම් නිෂ්පාදනය සිදු කරන ලදී. මේ ආකාරයට නිපදවන ලද මුල්කාලීන කෙඳි වර්ගයක්‌ ලෙස viscose rayon හැඳින්විය හැකි ය. කපු තන්තු/කෙඳිවලට බොහෝ ලෙස සමාන වුවත්, සෙලියුලෝස්‌ වැනි ස්‌වාභාවික තන්තු/කෙඳි රසායනිකව වෙනස්‌ කිරීම මගින් viscose rayon නිෂ්පාදනය සිදු කරන ලදී. මේ ආකාරයට ස්‌වාභාවික කෙඳි රසායනිකව වෙනස්‌ කිරීම මගින් විවිධ ආකාරයේ කෙඳි/තන්තු වර්ග නිෂ්පාදනය viscose rayon නිපදවීමත් සමග ආරම්භ විය. මේ සමග කෘත්‍රිම කෙඳි/තන්තු වර්ග නිපදවීමේ හැකියාව පිළිබදව පරීක්‌ෂණ ආරම්භ විය.

කෘත්‍රිම තන්තු වර්ග

මුල් ම කෘත්‍රිම තන්තු/කෙඳි වර්ගය වනුයේ නයිලෝන් ය. නයිලෝන් යනු කෘත්‍රිම තන්තු වර්ගයක්‌ නිසා කෘමි සතුන් ගෙන් සිදු විය හැකි හානිය අවම වන අතර, විවිධ ස්‌වාභාවික තත්ත්වයන්ට ඔරොත්තු දීමේ හැකියාව ඇත. එමෙන් ම ජලය කාන්දු නො වීම (waterproof) හා ඉක්‌මනින් වියළීම නිසා ක්‍රීඩා ඇඳුම් නිෂ්පාදනය සදහා සුදුසු තන්තු/කෙඳි වර්ගයක්‌ ලෙස මුල් අවධියේ දී හඳුනාගන්නා ලදී. නයිලෝන් සතු ප්‍රධාන අවාසියක්‌ වනුයේ දහඩිය උරාගැනීමට හැකියාවක්‌ නොමැති වීම නිසා එළිමහනේ සිදු කරන ක්‍රීඩා සඳහා උචිත නො වීමයි.

එනිසා තවත් කෘත්‍රිම තන්තු වර්ග නිපදවීම ආරම්භ විය. ක්‍රීඩා ඇඳුම් නිෂ්පාදනය සදහා විශාල ලෙස යොදාගන්නා, spandex ලෙස සාමාන්‍ය නාමයෙන් හඳුන්වන බහුඅවයවිකයේ උපත 1959 දී සිදු විය. මේ බහුඅවියවිකය polyurethane හා polyuriays සහ-බහුඅවයවිකයකි (copolymer). මේ බහුඅවයවිකය සතු ව ඇති සුවිශේෂ ලක්‌ෂණයක්‌ නම් එහි සාමාන්‍ය දිග මෙන් හත් ගුණයක දිගක්‌ දක්‌වා ඇදීමට ඇති හැකියාවයි. වර්තමානයේ විවධ ක්‍රීඩා සඳහා විශේෂිත වූ ගුණ සහිත තන්තු මගින් නිපදවන ලද ඇඳුම් භාවිත කරනු ලැබේ.

සම මතුපිට ඇති උෂ්ණත්වය හා තෙතමනය ශරීරයට අවශ්‍ය ලෙස පාලනය කිරීමට හැකි ක්‍රීඩා ඇඳුම් වර්තමානයේ නිපදවා ඇත. උදාහරණයක්‌ ලෙස, ශරීරයේ මතුපිට ඇති අමතර උෂ්ණත්වය උරාගෙන රදවා තබාගනිමින් ශරීර මතුපිට උෂ්ණත්වය අඩු වීමක දී නැවත ලබා දීම හෝ වැඩි ප්‍රමාණයක්‌ නිපදවීමේ දී බාහිර පරිසරයට බැහැර කළ හැකි ක්‍රීඩා ඇඳුම් හැම අන්තර්ජාතික ක්‍රීඩකයෙක්‌ ම පාහේ භාවිත කරයි. මේ සදහා ඇඳුමේ ඇතුළු පැත්තේ තාපය උරාගත හැකි මෙන්ම සම මතුපිට සිසිල් වීමක දී නැවත තාපය සම මතුපිටට නිදහස්‌ කළ හැකි තාක්‌ෂණයකින් එය සමන්විත විය යුතු ය. එක්‌ නිෂ්පාදන ආයතනයක්‌ මගින් මේ සදහා යොදාගනු ලබන තාක්‌ෂණය Outlast Technology ලෙස හඳුන්වනු ලබයි. එම තාක්‌ෂණය මගින් සම මතුපිට විශේෂිත ලෙස බාහිරින් වෙනස්‌ වූ පරිසර තත්ත්වයක්‌ (microclimate) පවත්වාගත හැකි ය.

මෙවැනි ම තවත් තාක්‌ෂණයක්‌ ක්‍රීඩා ඇඳුම් නිෂ්පාදකයන් විසින් මෑතක දී යොදාගැනීම ආරම්භ විය. එම තාක්‌ෂණය, සිරුර මගින් නිකුත් කරන තාපය උරාගෙන නැවත ශරීරය වෙත අධෝරක්‌ත කිරණ ලෙස නිකුත් කිරීම සිදු කළ හැකි තාක්‌ෂණයකි. මේ අධෝරක්‌ත කිරණ මාංශපේශීන් මගින් අවශෝෂණය කෙරෙයි. අධෝරක්‌ත කිරණ මෙලෙස ශරීරය තුළට කිමිදීමේ ඇති හැකියාව නිසා අභ්‍යන්තර මාංශ පේශීන් වෙත තාපය ගෙන යැමේ හැකියාව මේ තාක්‌ෂණය සතු ය. මේ ක්‍රියාවලිය මගින් ඔක්‌සිජන් සංසරණය ඉහළ නංවන බවට විශ්වාස කරනු ලැබේ.

දහදිය ඳුගද උරා නො ගන්නා ඇඳුම්

ඇඳුමක්‌ ඇද සිටීම නිසා අප ගේ සමෙන් හෝ එම ඇඳුමෙන් හෝ දුගදක්‌ නිකුත් වීම බොහෝ විට ඔබ අත්දැක ඇත. සමහර අවස්‌ථාවන්හි දී මේ දුගද සේදීමෙන් අනතුරුව ද ඇඳුම්වල යම් ප්‍රමාණයක්‌ ඉතිරි වීම නැත හොත් එම දුගද සම්පූර්ණයෙන් ඇඳුම්වලින් ඉවත් කළ නොහැකි වීම ගැටලුවකි. දුගදක්‌ ඇති වීමට මූලික හේතුව වනුයේ ශරීරය මගින් නිපදවන ස්‍රාවයන්හි ඇති සංඝටක සම මත සිටින ක්‌ෂුද්‍ර ජීවීන් ගේ ක්‍රියාකාරීත්වය හේතුවෙන් විඝටනය වී ඳුගදක්‌ ඇති කළ හැකි සංයෝග බවට පත් වීම ය. මෙලෙස නිෂ්පාදනය වන සංයෝග අතුරින් කිහිපයක්‌ නම් Methanethiol" Hydrogen Sulfide, Propanoic acid, සහ Isovaleric acid වේ. මෙලෙස නිෂ්පාදනය වන සංයෝග ඇඳුම් නිෂ්පාදනය කොට ඇති තන්තු සමග රසායනිකව බන්ධනය වීම නිසා සේදීමෙන් අනතුරුව ද ඉවත් නො වන දහදිය දුගදක්‌ ඇඳුම් තුළට කා වැදීම සිදු වේ. උණුසුම් ජලයෙන් ඇඳුම් සේදීම මගින් මේ තත්ත්වය අවම කළ හැකි වුවත්, එමගින් ඇඳුම්වලට හානි සිදු වන නිසා දහදිය දුගද බොහෝ ප්‍රමාණයක්‌ ඉවත් වන ලෙස ඇඳුම් සේදීම සිදු කිරීම අපහසු ය. කාලයත් සමග දුගද ඇති කරන සංයෝග ස්‌ථිර ලෙස ඇඳුමේ තන්තු සමග බන්ධනය වීම හේතුවෙන් ඇඳුමෙන් දුගද ඉවත් කළ නොහැකි තත්ත්වයකට පත් විය හැකි ය.

සාම්ප්‍රදායිකව මේ තත්ත්වය වැළැක්‌වීමට බොහෝ විට සම මත සිටින ක්‌ෂුද්‍ර ජීවීන් අවම කිරීම හෝ ශරීරය මගින් ස්‍රාවය වන ද්‍රව ප්‍රමාණය අවම කිරීම යන උපක්‍රම යොදාගැනෙයි. ක්‌ෂුද්‍ර ජීවීන් අවම කිරීම සදහා ඇඳුමේ තන්තු මතට ක්‌ෂුද්‍රජීවීන් විනාශ කළ හැකි සංයෝග ඇතුළත් කිරීම මේ තත්ත්වය අවම කිරීම සඳහා යොදාගත හැකි ක්‍රමයකි. එමෙන් ම සම මත නිපදවෙන දුගද ඇති කළ හැකි සංයෝග ඇඳුමේ තන්තු මගින් උරාගැනීම වළක්‌වා, එම සංයෝග රදවා තබාගත හැකි හෝ දහදිය දුගද ඉවත් කළ හැකි සංයෝග ඇඳුමට ඇතුළත් කිරීම මගින් ද දහදිය දුගද ඇඳුම තුළට කා වැදීම වැළැක්‌විය හැකි ය. මෙලෙස දුගද ඇති කරන සංයෝග ඇඳුමේ තන්තු තුළට උරාගැනීම වැළැක්‌වීමට යොදාගත හැකි සංයෝග සදහා උදාහරණ ලෙස සියෝලයිට්‌ හා ඇලුමිනොසිලිකේට්‌ දැක්‌විය හැකි ය. දුගද ඇති කරන සංයෝග රෙදි නිපදවීම සදහා යොදාගන්නා තන්තුව ආවරණය වන සේ තුනී ස්‌තරයක්‌ ලෙස තන්තුව මත ආලේපනය කිරීමෙන්, තන්තු මගින් දුගද ඇති කරන සංයෝග උරාගැනීම සම්පූර්ණයෙන් වැළැක්‌විය හැකි ය. එමෙන් ම මේ දුගද ඇති කරන සංයෝග ඇඳුමේ තන්තු තුළට උරාගැනීම වැළැක්‌වීමට යොදාගත හැකි සංයෝග හා දුගද ඇති කරන සංඝටක ඇත. රසායනික බන්ධනයන් ඇති නො වන නිසා ඉතා පහසුවෙන් එම සංයෝග සේදීම මගින් සම්පූර්ණයෙන් ඉවත් කළ හැකි ය. මීට අමතරව තන්තුව මත ආලේප කරන සංයෝග ස්‌තරය මගින් ශරීරය විසින් ස්‍රාවය කරනු ලබන තරලයන්හි විඝටනය මගින් දුගද ඇති කළ හැකි අණු ද උරාගනිමින් දහදිය දුගද ඇති වීම වළක්‌වයි.

මේ ආකාරයට නිපදවන ලද ඇඳුම් මගින් දුගද ඇති කරන සංයෝග ස්‌ථිර ලෙස උරා නො ගැනීම නිසා කාලයත් සමග ඇඳුමේ යම් ස්‌ථානවලින් දුර්ගන්ධයක්‌ නිකුත් වීම සිදු නො වේ. එමෙන් ම දහදිය තුළ ඇති ක්‌ෂුද්‍ර ජීවීන් මගින් බිඳ හෙළීමෙන්, දුගද ඇති කරවන සංයෝග නිපදවිය හැකි සංයෝග උරාගන්නා නිසා දුගදක්‌ ඇති වීම පාලනය වීම ද සිදු වේ.

ස්‌වයංක්‍රීයව සුව වන රෙදි (Self-healing textiles)

අප විසින් අඳිනු ලබන ඇඳුමක්‌ යම් හේතු නිසා ඉරී යැමක්‌ සිදු විය හැකි ය. මෙවැනි අවස්‌ථාවක දී එම ස්‌ථානය නැවත සැකසීමක්‌ සිදු කළ යුතු වේ. මේ සදහා කාලය මෙන්ම යම් උපකරණ අවශ්‍යය වේ. මෙලෙස අප ඇද සිටින ඇඳුමේ ඉතා කුඩා ඉරී යැමක්‌ ගැටලුවක්‌ ඇති නො කළ ද විවිධ රැකියාවන්හි නියුතු පුද්ගලයන් හට ගැටලු ඇති කළ හැකි ය. උදාහරණයක්‌ ලෙස කෘෂිකාර්මික තත්ත්වයන් යටතේ ඇඳුමේ ඇති වන ඉරී යැමක්‌ මගින් විෂ සහිත කෘෂි රසායනික ද්‍රව්‍ය සම හා ගැටීම සිදු විය හැකි ය. එම නිසා ඉරී යැමක දී ස්‌වයංක්‍රීයව සුව වන රෙදි යම් කර්මාන්තයන්හි නියුතු පුද්ගලයන් ගේ ආරක්‌ෂාව සදහා වැදගත් විය හැකි ය.

මෙවැනි රෙදි නිපදවීම සදහා යොදාගනු ලබන තන්තු මතුපිට විශේෂිත බහු අවයවිකයකයන් ගෙන් යුතු ස්‌තරයන් ආලේප කරනු ලබයි. මේ බහු අවයවිකයන්හි ධන හා ඝෘණ ලෙස ආරෝපිත කලාපයන් ඇත. ඉරීමකට ලක්‌ වූ ඇඳුමක බිඳී යැමට ලක්‌ වූ තන්තු මත ආලේපිත විශේෂිත බහු අවයවිකයක ස්‌ථරයේ ඇති අණු තන්තුව ජලය වැනි ද්‍රdවණයක්‌ තුළ ගිල්වීමේ දී සක්‍රීය වී ස්‌තරය මතුපිටට පැමිණේ. එම අණු සතු ව ඇති විරුද්ධ අරෝපණයන් එකිනෙක සම්බන්ධ වීම මගින් ඉරී බිඳී ගිය තන්තු නැවත එකිනෙක සම්බන්ධ වීම සිදු වේ. මේ ආකාරයට ඉරී ගිය කොටස නැවත ගොඩනැගීමක්‌ සිදු වේ. ඉතා සුළු ප්‍රමාණයේ ඉරී යැම් ඇඳුමක්‌ ජලයේ ගිල්වා සේදීමක දී නැවත ස්‌වයංක්‍රීයව සුව වීමක්‌ සිදු වන ලෙස ඇඳුම් නිපදවීම සිදු කළ හැකි ය. (මෙය දැක්‌වෙන වීඩියෝවක්‌ විදුසර FB පිටුවට යැමෙන් ඔබට නැරඹිය හැකි ය).

ශක්‌තිය උරාගත හැකි ඇඳුම්

ශරීරයේ සිදු වන චලනයන් මගින් ශක්‌තිය නිපදවීමක්‌ සිදු වේ. මේ ශක්‌තියෙන් යම් ප්‍රමාණයක්‌ අපතේ යැමක්‌ සිදු වන අතර, විශේෂිත ඇඳුම් මගින් මෙලෙස නිදහස්‌ වන ශක්‌තිය උරාගෙන වෙනත් ශක්‌ති විශේෂයකට පරිවර්තනය කළ හැකි ය. උදාහරණයක්‌ ලෙස ස්‌වසනය කිරීමේ දී ශරීරයේ ඉහළ කොටස ප්‍රසාරණය වීමක්‌ හා සංකෝචනය වීමක්‌ සිදු වේ. විශේෂිත ඇඳුමක්‌ මගින් මේ ශක්‌තිය උරාගෙන විද්යුත් ශක්‌තියට පරිවර්තනය කළ හැකි ය.

මෙවැනි ඇඳුම් නිපදවීම සදහා යොදාගන්නා තන්තු සතු ව විභවයක්‌ සැපයූ විට ප්‍රසාරණය වීමේ හැකියාවක්‌ මෙන්ම බාහිරින් ප්‍රසාරණය කිරීමේ විද්යුත් ශක්‌තිය නිපදවීමේ හැකියාවක්‌ ඇත. මේ ගුණය piezoelectric ගුණය ලෙස හැඳින්වේ. Piezoelectric ගුණය සහිත තන්තු මගින් නිපදවන ලද ඇඳුමක්‌ ඇද සිටින පුද්ගලයකු ගේ දේහයේ සිදු වන චලනයන් මගින් විදුලි ශක්‌තිය නිපදවීමේ හැකියාව ඇත. Polyvinylidene fluoride (PVDF) යනු මේ ගුණය සහිත එක්‌ බහුඅවයවිකයක්‌ වන අතර එමගින් නිපදවන ලද තන්තු මගින් බාහිරින් ඇති කරනු ලබන ඇදීමක දී විද්යුත් ශක්‌තිය නිපදවිය හැකි ය. පරීක්‌ෂණ තත්ත්ව යටතේ මේ තන්තු මගින් නිපදවන ලද වර්ග සෙන්ටිමීටර් 100ක්‌ පමණ වන කොටසකින් තත්පරයකට 1% ප්‍රමාණයකින් ඇදීමකට හා සංකෝචනයකට ලක්‌ කිරීමේ දී මිලිවොට්‌ (mW) එකක ශක්‌ති ප්‍රමාණයක්‌ නිපදවිය හැකි ය. මේ ආකාරයට ම අප ගේ වැලමිට වැනි නැවීමකට ලක්‌ වන ශරීර කොටස්‌ මගින් ද ශක්‌තිය උරාගත හැකි ආකාරයට ඇඳුම් නිර්මාණය කළ හැකි ය. මෙවැනි ඇඳුමක්‌ ඇද සිටින පුද්ගලයකුට මේ ආකාරයට නිපදවෙන විද්යුත් ශක්‌තිය මගින් ශරීරයට හෝ ඇඳුමට හෝ සම්බන්ධ විද්යුත් උපකරණ ක්‍රියා කරවීමට යොදාගත හැකි ය. රූපය මගින් එවැනි ඇඳුමක්‌ ඇද සිටින මිනිසකු ගේ දළ සටහනක්‌ දැක්‌වේ.

ඇඳුම් නිපදවීම සදහා යොදාගත හැකි සන්නායක තන්තු

ශරීරයේ මත සිදු වන රසායනික හා භෞතික වෙනස්‌ වීම් නිරීක්‌ෂණය මගින් මිනිස්‌ සිරුරේ ඇති විය හැකි වෙනස්‌කමක්‌ කල් තබා හඳුනාගත හැකි ය. මේ සදහා මිනිස්‌ ශරීරය මත විශේෂිත සංවේදක සවි කළ හැකි වුවත් එම එකතු කරගන්නා දත්තයන් ලබාගැනීම සදහා සන්නායක වයර සම්බන්ධ කළ යුතු ය. මෙය අප ගේ එදිනෙදා සිදු කරන ක්‍රියාකාරකම් සඳහා බාධාවකි. එහෙත් මෙවැනි දත්තයන් අප ඇද සිටින ඇඳුම මගින් එකතු කළ හැකි නම් ශරීරයේ සිදු විය හැකි වෙනස්‌කම් කල් තබා හඳුනාගත හැකි ය. එමෙන් ම එලෙස අප ගේ ඇඳුමේ සවි කරන ලද සංවේදක හා සන්නායක තන්තු මගින් නිපදවූ ඇඳුමක්‌ මගින් එදිනෙදා සිදු කරන ක්‍රියාකාරකම් සඳහා ඇති විය හැකි බලපෑම අවම වේ. විද්යුත් සන්නායක ගුණය සහිත තන්තු නිපදවිය හැකි එක්‌ ක්‍රමයක්‌ වනුයේ තන්තු නිපදවීම සදහා සන්නායක හැකියාවක්‌ ඇති කෘතීම කාබනික බහුඅවයවික භාවිතයයි.

මෙවැනි සන්නායක බහුඅවයවිකවල ප්‍රධාන ලක්‌ෂණයක්‌ වනුයේ සංයුග්මක ද්විත්ව බන්ධන පැවතීමයි. සංයුග්මක ද්විත්ව බන්ධන යනු එක්‌ බන්ධනයක්‌ හැර අනෙක්‌ බන්ධනය ද්විත්ව බන්ධනයක්‌ වන පරිදි ඇති පිහිටීමකි. මෙවැනි පිහිටීමක්‌ මගින් ඉලෙක්‌ට්‍රොaන බහුඅවයවිකයේ එක කෙළවරක සිට අනෙක්‌ කෙළවර දක්‌වා ගමන් කිරීමේ හැකියාවක්‌ බහු අවයවිකයට ලැබීමෙන් සන්නායක ගුණය ලබාගනී. සන්නායක හැකියාවක්‌ ඇති කෘත්‍රිම කාබනික බහුඅවයවික කිහිපයක ව්‍යqහයන් මෙහි දක්‌වා ඇත.

මීට අමතරව සාමාන්‍යයෙන් ඇඳුම් නිෂ්පාදනය සඳහා යොදාගන්නා තන්තු වර්ග රසායනික ක්‍රම මගින් සන්නායක අලේපනයක්‌ ඇති කිරීමෙන් ද සන්නායක ගුණය සහිත තන්තු බවට පත් කළ හැකි ය. කපු තන්තු ක්‍රම කිහිපයකට සන්නායක ගුණය සහිත තන්තු බවට පත් කළ හැකි ක්‍රම කිහිපයක්‌ රූපසටහන මගින් පෙන්වා ඇත. එක්‌ ක්‍රමයක්‌ ලෙස කපු තන්තු මත මුක්‌ත ඛණ්‌ඩක බහුඅවයවීකරණ ප්‍රතික්‍රියායාවක්‌ මගින් සන්නායක ගුණය ඇති බහුඅවයවික තට්‌ටුවක්‌ ඇති කිරීමෙන් සන්නායක කපු තන්තු නිෂ්පාදනය කළ හැකි ය. මෙලෙස යොදාගන්නා බහුඅවයවික දෙකක්‌ නම් Polyaniline (PANI) හා Polypyrrole (PPy) වේ. මීට අමතරව වෙනත් ක්‍රම ද යොදාගත හැකි ය. කොපර් වැනි ලෝහයක්‌ යොදාගනිමින් කපු තන්තු මත තුනී පටලයක්‌ ඇති කිරීම එවැනි වෙනත් ක්‍රමයක්‌ වේ.

සන්නායක තන්තු නිපදවිය හැකි තවත් ක්‍රමයක්‌ නම්, සන්නායක ලෝහක තන්තුවක්‌ ස්‌වාභාවික තන්තු මිටියක්‌ සමග එකතු කොට ඇඹරීම ය. මෙහි දී ඉතා ම සිහින් මිනිස්‌ හිස කෙස්‌ ගසකට වඩා ඉතා ම සිහින් ලෝහ සන්නායක තන්තු යොදාගැනීම සිදු කරයි. මෙලෙස නිපදවන ලද තන්තුවක්‌ රූපසටහනේ දක්‌වා ඇත.

මෙහි අකුරු කොට දක්‌වා ඇත්තේ ලෝහ සන්නායක තන්තුව වන අතර, වර්ණයක්‌ රහිත ව ඇත්තේ සාමාන්‍ය රෙදි නිෂ්පාදනය සදහා යොදා ගන්නා තන්තු වේ. අවසානයේ ලැබෙන තන්තු මිටිය සන්නායක වන අතර මේ තන්තු මගින් නිෂ්පාදිත ඇඳුම් නිෂ්පාදකයාට අවශ්‍ය වන ලෙස සන්නායක පථයන් තැනිය හැකි ය. මෙවැනි තන්තු මගින් නිෂ්පාදිත රෙදි කැබැල්ලක්‌ රූපයේ දක්‌වා ඇත.

පළමු රූපයේ දික්‌ අතට හා හරස්‌ අතට ගමන් කරන සන්නායක තන්තු දැකගත හැකි ය. දෙවැනි රූපයේ එවැනි තන්තු මගින් නිපදවන ලද පරිපථයක දළ සටහන පෙන්වා ඇත. මේ සන්නායක තන්තු අවශ්‍ය ස්‌ථානයන්හි දී ස්‌පර්ශ වීමට සැලැස්‌වීම මගින් හා විසන්ධි කිරීම මගින් සංවේදකයේ සිට දත්ත අවශ්‍ය ස්‌ථානයට ගෙන ඒම සිදු කළ හැකි පරිපථයක්‌ ඇඳුම මත ගොඩනැංවිය හැකි ය.

විශේෂිත තත්වයන් සදහා උචිත ඇඳුම්

ශරීරයේ යම් කොටස්‌ සදහා විශේෂිත තත්ත්වයන් ලබා දිය යුතු අවස්‌ථාවන් සෞඛ්‍යමය හේතූන් මත ඇති විය හැකි ය. මෙවැනි අවස්‌ථා සදහා නිපදවන ලද විශේෂිත ඇඳුමක්‌ ලෙස WarmX මගින් නිපදවන ලද උඩු කය ආවරණය කරන යට ඇඳුම් වර්ගය හඳුන්වා දිය හැකි ය. මේ ඇඳුම මගින් ශරීරය අධික සීතලකට නිරාවරණය වීමේ දී උඩු කය උණුසුම් ව තබාගැනීම සදහා තාපය නිපදවීමේ හැකියාවක්‌ ඇත. මෙහි දී මේ ඇඳුම හා සම්බන්ධ කොට ඇති 12 V නැවත ආරෝපණය කළ හැකි බැටරියක්‌ මගින් අවශ්‍ය විද්යුත් බලය ලබා දේ. මේ විද්යුත් ශක්‌තිය පොලිඇමින් ආවරණයක්‌ සහිත ව රිදී මගින් නිපදවා ඇති සන්නායක තන්තු භාවිත කොට නිපදවා ඇති අතර ඇඳුම හරහා ගමන් කිරීමේ දී තන්තුවල ඇති ප්‍රතිරෝධය නිසා තාප ශක්‌තිය බවට පත් වේ. මේ තාපය මගින් ශරීරය උණුසුම් ව තබාගැනීමට අවශ්‍ය තාපය සපයනු ලබයි. ඇඳුම සේදීමේ දී බැටරිය ඉවත් කිරීමේ හැකියාවක්‌ ඇති පරිදි මෙය නිපදවා ඇත. තව ද ශරීරයේ අධික ලෙස ඇදීමක දී ආබාධයකට ලක්‌ විය හැකි ශරීර කොටස්‌ ආරක්‌ෂා කළ හැකි ඇඳුම් ද නිපදවා ඇත. වැලමිට හා දණහිස වැනි සන්ධි මත ඇති වන ආතතිය මිනිය හැකි මෙවැනි ඇඳුම් මගින් ප්‍රමාණය ඉක්‌මවා සිදු වන ඇදීමක්‌ හෝ වැරැදි ඉරියව්වකින් සිටීමක දී අදාළ පුද්ගලයාට දැනුම් දීමක්‌ සිදු කරයි. මේ දැනුම් දීම මගින් එවැනි සන්ධිවල සිදු වන ඉරී යැම් වළක්‌වාගත හැකි අතර ක්‍රීඩාවන්වල නියුතු ක්‍රීඩකයන් මෙවැනි ඇඳුම් භාවිතය මගින් අනතුරු වළක්‌වාගත හැකි ය. රුධිරයේ ඇති ඇල්බියුමින් ප්‍රොaටීනය සදහා සංවේදී වන කාබන් නැනෝ තන්තු මගින් නිපදවන ලද විශේෂිත සන්නායක තන්තු සහිත ඇඳුම් මගින් පුද්ගලයකු ගේ රුධිරය වහනය වීමක්‌ ඉක්‌මනින් හඳුනාගත හැකි ය. මෙවැනි ඇඳුමක්‌ විශේෂිත තත්ත්වයන් යටතේ සේවය කරන කාර්මිකයකු ගේ සිදු වන තුවාලයක්‌ ඉක්‌මනින් හඳුනාගැනීම සදහා උපකාරී විය හැකි ය.

ඇඳුම් මතුපිට මුද්‍රණය කරන ලද සංවේදක

අනාගතයේ දී අප විසින් භාවිත කරනු ලබන ඇඳුම්, මතුපිට විවිධ රෝගී තත්ත්වයන් හා ශරීර අසමතුලිතතාවන් හඳුනාගත හැකි සංවේදක සමග මිල දී ගත හැකි ය. එමගින් රෝගී තත්ත්වයන් කල් තබා හඳුනාගැනීමේ හැකියාවක්‌ ඇති වීමෙන් බොහෝ රෝගී තත්ත්වයන් ඉතා පහසුවෙන් මගහරවාගත හැකි වීම සිදු වේ. දැනට නිෂ්පාදිත සංවේදක මගින් ශරීරයේ ලවණ තුලිතතාව, දහදිය තුළ ඇති මද්‍යසාර ප්‍රමාණය හා ග්ලූකෝස්‌ ප්‍රමාණය වැනි සාධක හඳුනාගත හැකි ඇඳුම් මත ඇති සංවේදක නිපදවා ඇත. ඉදිරියේ දී තවත් බොහෝ සාධක සදහා මෙවැනි සංවේදක නිෂ්පාදනය වන බවට දැනටමත් ඉගි පළ වී ඇත.

මේ ලේඛකයා ඇතුළු කණ්‌ඩායමක්‌ කොළඹ විශ්ව විද්‍යාලයයේ රසායන විද්‍යා අධ්‍යයන අංශයේ මෙවැනි සංවේදක පිළිබද පර්යේෂණ සිදු කරමින් සිටියි. මේ කණ්‌ඩායම විසින් දැනටමත් ලංකාවේ ප්‍රධාන පෙළේ කර්මාන්ත ආයතනයක්‌ සමග මෙවැනි සංවේදකයක්‌ හඳුන්වා දීමට අදාළ පරීක්‌ෂණ කටයුතු සිදු කරනු ලබන බව ද විශේෂයෙන් සඳහන් කළ යුතු ය.



ආචාර්ය එම්. එන්. කෞමල්

ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, රසායන විද්‍යා අධ්‍යයන අංශය, කොළඹ විශ්ව විද්‍යාලයය, සභාපති, විද්‍යා ව්‍යාප්ති කමිටුව, ශ්‍රී ලංකා විද්‍යාභිවර්ධන සංගමය