logo3.gif (702 bytes)

arrow7.gif (1098 bytes)


විද්‍යා ප්‍රබන්ධ
මතකයේ එන්නත 6 කොටස

ජෝන් සිටියේ සතුටිනි. රෝස්‌ තමා වැළැක්‌වූ අයුරින් පැහැදිලි වන්නේ තමන්ට මුළු ආයතනයට ම බලපෑම් ඇති කළ හැකි බව ය. තමා දැන් සියලු දෙනා ම අභිබවමින් ඉදිරියට පැමිණෙමින් සිටී.

මේ වෙනස පුදුමාකාර ය. විශ්වාස කළ නොහැකි තරම් ය. එන්නත ලබාගෙන තවමත් ගෙවී ඇත්තේ දින නවයක්‌ පමණි.

සූසන් ගේ අමනාපය ද ප්‍රශ්නයකි. එහෙත් පසුව ඇය හා සමාදාන වීම කළ හැකි ය. තමා මේ දින නවයට පැමිණ ඇති දුර ඇයට පෙන්විය හැකි නම්...ෘ

උගුර පාදන හඩකින් ජෝන් තම කල්පනා ලොවින් මිදුණේ ය. රොඩ් පැමිණ සිටියි. ඔහු ජෝන් ගේ අවධානය තමා වෙත යොමු වන තෙක්‌ බලා සිටියා වැන්න.

ජෝන් තම දණක්‌ මත තබා තිබූ පාදය බිම තබමින් රොඩ් වෙත හැරුණේ ය.

"මං කැමැතියි ජෝන්ව මගේ කාර්යාලයේ දි හම්බ වෙන්න. වැදගත් දෙයක්‌ තියෙනවා. ඒක හරියට හරිගස්‌සන්න පුළුවන් එක ම එක්‌කෙනා ජෝන් විතරයි"

රොඩ් කථා කළේ පරෙස්‌සමිනි.

ජෝන් සෙමින් නැගී සිටියේ ය.

"ඒ මොකක්‌ ද?"

රොඩ් කාමරය සිසාරා බැලුවේ ය. මිනිසුන් පිරී ඇති මේ කාමරයේ අඩු තරමින් මිනිසුන් පස්‌ දෙනකුට වත් තම දෙබස ඇසෙනු ඇත. ඔහු තම අත තම කාර්යාල කාමරය වෙත දිගු කළේ ජෝන්ට එහි පැමිණෙන ලෙස සන් කරමිනි.

ජෝන් එහි යැමට මැළි වූයේ ය. එහෙත් වසර ගණනක්‌ තිස්‌සේ රොඩ් ගේ අණසකට යටත් ව විසූයෙන් පුරුද්දට මෙන් ඔහු රොඩ් පිටුපසින් ඇදුණේ ය.

ජෝන් ඇතුළු වූ පසු රොඩ් කාමරයේ දොර වැසූයේ සෙමිනි. එහි අගුලු දැමූ රොඩ් දොර ඉදිරියෙන් සිටගත්තේ ය.

කාමරය තුළ වූ පොත් රාක්‌කය අස්‌සෙන් ඇන්ඩර්සන් මතු විය.

"මේ මොකද?"

ජෝන් තියුණු හඩින් විමසුවේ ය.

"කිසි දෙයක්‌ නෑ....."

රොඩ් පවසන්නට විය. ඔහු මුහුණේ වූ සිනාව වියෑකී භයංකාර ස්‌වභාවයක්‌ මතු ව ඇත.

"අපි හදන්නේ ඔහේ ඔය විකෘතියෙන් මුදාගන්න. ආපසු සාමාන්‍ය තත්ත්වයට ගන්න. හෙලවෙන්න එපා ජෝන්"

ඇන්ඩර්සන් අත වූයේ එන්නත් කටුවකි. ඔහු සෙමින් ජෝන් වෙත කිට්‌ටු විය.

"කරුණාකරලා ජෝන් දගලන්න එපා. අපි ඔහෙට කරදරයක්‌ කරන්නෙ නෑ"

"මං කෑගැහුවොත්...."

ජෝන් පැවසුවේ ය.

"ඔහේ කෑගැහුවොත්...."

ඒ රොඩ් ය.

අඩුවක්‌ දාලා ඔහේ ගෙ ඇස්‌ ගෙඩි දෙක එළියට ගන්නවා. මං කැමැතිsයි ඒක කරන්න. ඒ හින්දා කෑගහනවා"

"මට මොනා හරි සිද්ධ වුණොත් ඔහේල දෙන්න පිට ම වරද වැටෙන්න දේවල් මං සූදානම් කරල තියෙනවා" ජෝන් පැවසුවේ අපහසුවෙනි.

"ඔහේට මොකුත් වෙන්නේ නෑ ජෝන්. ඔහේ හිටපු තත්ත්වයට ඔහේව පත් කරන්නයි අපි යන්නේ. ඒක කවදා හරි සිද්ධ වෙනවා. අපි දැන් ඒක ටිකක්‌ ඉක්‌මන් කරනවා. එච්චරයි."

ඇන්ඩර්සන් තවත් කිට්‌ටු විය.

"මං ඔහේව අල්ලගන්නම්..."

රොඩ් පවසන්නට විය.

"...මොකද? ඔහේ දැගලුවොත් අපේ මිත්‍රයට බාධා වෙනවා. වුවමනා ප්‍රමාණයට වැඩිය බෙහෙත් ඇතුළු වුණොත් ඔහෙට කිසි ම දෙයක්‌ මතක නැති වෙන්න පුළුවන්"

ජෝන් පස්‌සට පැන්නේ ය.

"මේකයි ඔහෙල ගෙ සැලසුම මට හැම දෙයක්‌ ම අමතක වුණහම ඔහෙල, ආරක්‌ෂා වෙයි කියලා හිතනවා. ඒ වුණාට....?

"අපි ඔහෙට හිරිහැර කරන්නෙ නැහැ ජෝන්"

ඇන්ඩර්සන් පැවසුවේ ය. ජෝන් ගේ නළලත දහදිය නිසා දිළිසිණ. ඔහු අතිහයින් බියපත් ව සිටියේ ය.

"මේකත් ඔහෙට අමතක වෙලා යා වි..." රොස්‌ පවසන්නට විය.

".....වැඩේ කරනවා ඇන්ඩර්සන්."

"හොඳයි...."

ඇන්ඩර්සන් කෙඳිරුවේ ය. ඔහු ජෝන් ගේ සුරත තරයේ අල්වාගනිමින් එන්නත් කටුව එදෙසට යොමු කළේ ය.

දොරට තට්‌ටු කිරීමක්‌ ඇසිණ.

"ජෝන්....!"

ඒ පැහැදිලි ගැහැනු කටහඩකි. ඇන්ඩර්සන් ගල් වූවා සේ ය. ප්‍රශ්නාර්ථයක්‌ නංවා ගත් ඔහු බැල්ම සෙස්‌සන් දෙසට යොමු කළේ ය.

දොර දෙසට හැරුණු දොස්‌ නැවතත් වහා ආපසු හැරුණේ ය. "ඉක්‌මනට මිනිහට එන්නත විදිනවා ඩොක්‌ටර්"

ඔහු පැවසුවේ හදිසි රහස්‌ ස්‌වරයකිනි. නැවතත් පිටත හඩ ඇසිණි.

"ජොනී - මං දන්නවා ඔයා ඇතුළෙ බව. මං පොලිසියට දන්නලා ආවේ. ඒ ගොල්ලො මග එනවා."

රොස්‌ නැවතත් කොඳුරන්නට විය.

"විදිනවා. විදිනවා. ඒකි බොරු කියන්නේ. පොලිසිය ආවත් එතකොට මේක ඉවරයි. කොහොම ද මෙහෙම දෙයක්‌ ඔප්පු කරන්නේ."

එහෙත් ඇන්ඩර්සන් පැකිළුණේ ය. ඒ මෙයා ගෙ ආදරවන්ති. එයා දන්නව අපි මෙයාට බෙහෙත් විදල තියෙන්නෙ බව. එයා එතන හිටියා."

"තොපි.... හරි."

රොස්‌ ගුගුළේ ය. පිටතින් දොරට පහර දෙනු ඇසිණි.

"මට ඇතුළට එන්න දෙනවා..... හොඳ හිතින්."

"එයාව කැමැති කරවගන්න එක විතරයි තියෙන්නේ. ඒත් මං හිතන්නේ අපිට මහන්සි වෙන්න ඕනෙ නෑ. අර බලනවා ජෝන් දිහා...."

ඇන්ඩර්සන් ජෝන් වෙත ඇගිල්ල දිගු කළේ ය.

ජෝන් සිටියේ මුල්ලක වාඩිගෙන ය. ඔහු ගේ දැස අඩවන් ව තිබිණ. සිහිය ද අවුල් ව ඇති සේ ය.

"......එයා බය වෙලා සාමාන්‍ය තත්ත්වයේ දී මතක්‌ වීමට බය වීම බලපානවා. මං හිතන්නේ. දැන් එයා තුළ එන්නත නෑ. ඈට එන්න ඉඩ දෙන්න. මං කතා කරන්නම්."

සූසන් ඇතුළට ආ වහා ම ජෝන් තුරුලු කරගත්තා ය. සුදුමැලි ව සිටි ඇගේ නිල් දැසේ විදුලිය පිරී තිබිණි.

"ජොනී මොකද වුණේ....?"

එහෙත් පිළිතුරු දෙන්නට වූයේ ඇන්ඩර්සන් ය.

"එයා අපේ පර්යේෂණයට එන්න නියමිත ව තිබුණේ ඊයේ. ඒත් ආවේ නෑ. එයා ගේ ලොක්‌කෝ එයා ගැන කියපු දේවල් හොඳ නැහැ. එයා හරි අමුතු විදිහකට හැසිරෙන්න පටන් අරන් තියෙනවා. සමහර විට ඔයාට පේන්නත් ඇති. එයාට නැවත ප්‍රතිකාර කරන එක අත්‍යවශ්‍ය ම බව අපට තේරුණා. ඒකයි...."

"එයාව හිර කරගෙන විදින්න ලෑස්‌ති වුණේ...ෘ"

"අපි විදින්න ලෑස්‌ති වුණා. ඒත් විදින්නේ නැතුව ම එයා සාමාන්‍ය තත්ත්වයට පත් වෙනවා. එයා ගේ ඇෙග් විදපු සලකුණක්‌ තියෙනව ද කියලා ඕන නම් බලන්න."

"හරි බලන්නම්, දැන් මොකද වුණේ කියනවා"

සූසන් ගේ හඩ තියුණු ය. ඈ තවමත් තම පෙම්වතා අල්ලාගත් ගමන් ය.

"එයා සාමාන්‍ය තත්ත්වයට පත් වෙනවා දවස්‌ දහයකින් විතර. අපි එයාට සම්පූර්ණ පඩිය එක්‌ක නිවාඩු දෙන්නම්. වෛද්‍ය ප්‍රතිකාර ඕන නම් අපේ වියදමෙන් ලබා දෙන්නම්. එයා සාමාන්‍ය තත්ත්වයට ආවම ආපහු වැඩට එන්න පුළුවනි"

සූසන් තියුණු දැසින් මොහොතක්‌ ඔවුන් දෙස බලා සිටියා ය.

"අද දවස ඇතුළත මට ඔය වගන්ති ලියවිල්ලකින් දෙන්න ඕන. එහෙම නැත්නම් හෙට මං මගේ නිතීඥයාව හම්බ වෙනවා."

ඈ අණ කළා ය.

"ඒ වුණාට සූසන්....?"

ඇන්ඩර්සන් පවසන්නට විය.

"....ඔයා දන්නවා ජෝන් මේකට ඉදිරිපත් වුණේ කැමැත්තෙන් බව"

"තත්ත්වය වැරැදි විදිහට මවල පෙන්නපු බව ඔහේ දන්නවා ඇන්ඩර්සන්. අර ලියවිල්ල දෙන්න."

"දෙන්නම්. හැබැයි පස්‌සේ ජෝන්ට කරදර ඇති වුණොත් ඒවට අපි වග නොකියන බවට අත්සන් කරන්න ඕන."

"බලමු... ඔයාට ඇවිදින්න පුළුවන් ද? ජොනී"

ඈ සෙමින් විමසුවා ය. ආදරයෙන් හා අනුකම්පාවෙන් ඇගේ හඩ බර වී තිබිණ.

"පුළුවන් සූ...."

ජෝන් බිමට නැඹුරු කරගත් දෙනෙතැති ව කොඳුළේ ය.

"හරි එහෙනම් යමු."

අවන්හලේ සංගීතය පැතිර යමින් පැවතිණ. ජෝන් ආහාර පොඩි කරන අතරතුරේ දැස්‌ කුඩා කර සූසන් දෙස බලා සිටියේ ය.

"කොහොම ද සූ ඔයා මාව හොයාගත්තේ?"

ඔහු සෙමින් විමසුවේ ය.

"ගෑනු නුවණ ජොනී...."

ඈ කිකිණි හඩින් සිනාසුණා ය.

"ඔයා මට මේ තරම් දෙයක්‌ කළා නම් අනිත් අය ඉදිරියේ හැසිරෙන හැටි මට තේරුම්ගන්න පුළුවන් වුණා. ප්‍රතිඵලය ඔයාව මරලා දැමීම වෙන්න පුළුවන් බවත් මං තේරුම්ගත්තා. ජොනී"

"මට ඔයාව ඕනි සූ.."

"හැම දා ම මං ඔයා ළග ජොනී. මේකෙන් ඔයා හොඳ පාඩමක්‌ ඉගෙනගත්තා. හැම දෙයක්‌ ගැන ම ඔයාට මග පෙන්වන්න කවුරු හරි හිටියා නම්...."

ඔහු ඇගේ රතැගිලි මෘදු ලෙස අල්ලාගත්තේ ය.

"මොකද අපි ඊළගට කරන්නේ සූ?"

"අපි සෙනසුරාදාට කසාද බඳිමු"

ඔවුන් ගේ විවාහ මගුල සඳහා ආයතනයේ කිසිවකුත් ආරාධනා ලැබ නො තිබිණි. ඒ සැබෑ චාම් විවාහ මගුලකි.

කැමරා ශිල්පියා මුහුණ දුන්නේ කරදරයකට ය. ඔහු ගේ කැමරාව හරියාකාරව වැඩ නො කරයි. ඔහු පහත මාලයේ දුරකථනය වෙත ගියේ ඡායාරූප ශාලාවෙන් උපදෙස්‌ ලබන්නට ය.

ජෝන් මොහොතකට කැමරාව අසල නතර විය. එතන වූ උපදෙස්‌ පොත් පිංච කියවූයේ ය.

සියලු දෙනා ම කලබලයෙනි. කිසිවකු ගේ අවධානය ඔහු වෙත යොමු ව නැත.

කැමරාව නියමාකාරයෙන් සකසන්නට ජෝන්ට ගත වූයේ සුළු මොහොතකි.

කැමරා ශිල්පියා දිව ආවේ ඡායාරූප ශාලාවට දොස්‌ නගමිනි.

"දුරකථනයෙන් උපදෙස්‌ ගන්න.... මේව ලේසි වැඩ ද?....

ඔහු කැමරාව අසළ නතර විය.

".....ආ...... මේක වැඩ කරනවා නේ. මට වැරදිලා වගේ"

මනාලයා හා මනාලිය ශාලාවේ මේස වටා ගමන් කරන්නට පටන් ගති. ලද අවසරයෙන් සූසන් ජෝන් වෙත නැඹුරු වූවා ය.

"ඔයා අර කැමරාව හැදුවා නේ ද ජොනී"

"ඔව් සූ...." දෙදෙනා එකිනෙකා දෙස බැලූයේ සෙනෙහස පිරි දැස්‌වලිනි.

"මින් පස්‌සේ තමන් ගේ දක්‌ෂකම් අනිත් අය ඉස්‌සරහ පෙන්නන්න ගියොත් මං කොනිත්තනවා හොඳේ..... කවුරුවත් ඔය රහස නො දැන ඉන්න තාක්‌ ඕක ප්‍රශ්නයක්‌ වෙන්නෙ නෑ. ඔයා හරි විදිහට හිටියොත් සුපිරි මිනිසෙක්‌ විදිහට අවුරුද්දක්‌ වුණක්‌ ඉන්න පුළුවන් ජොනී"

ඔහු සිනාසෙමින් තම සුරූපී බිරිඳ ගේ දැස්‌ දෙස බලා සිටියා පමණි.

නිමි

අයිසැක්‌ ඇසිමොව් ගේ විද්‍යා ප්‍රබන්ධයකි
අනුවාදය
දම්මිකා සෙනෙවිරත්න
(මෙය විදුසර පුවත්පතේ 1993 වසරේ පළ වූ ප්‍රබන්ධයකි)