logo3.gif (702 bytes)

arrow7.gif (1098 bytes)


විද්‍යා ප්‍රබන්ධ
මතකයේ එන්නත 5 කොටස

"මේ අදහස්‌ සතියක්‌ ඇතුළත පිළිගත්තේ නැත්තම් හරි ඒවා ක්‍රියාත්මක කිරීමේ ප්‍රධානියා විදිහට මාව පත් කළේ නැත්නම් හරි මම අස්‌ වෙනවා. මට පොඩි ආයතනයක රක්‌ෂාවක්‌ හොයාගන්න එක ප්‍රශ්නයක්‌ නො වෙයි. එතන දී මගේ අදහස්‌ ක්‍රියාත්මක කරන එක හරි ලේසියි. විධායක නිලධාරීන් කීප දෙනෙකු ගෙන් පටන්ගත්තා ම තත්ත්වයෙනුයි කාර්යක්‌ෂමතාවෙනුයි වැඩි ආයතනයක්‌ හදාගන්න මට පුළුවන්. ඉන් පස්‌සේ මේ ආයතනය පහළට බහින්න අවුරුද්දක්‌ වත් ගත වෙන එකක්‌ නෑ."

දිළිසෙන දැසින් යුතු ව ඔහු ප්‍රධානීන් තිදෙනා ගේ ම මුහුණුවලට එබුණේ ය.

"මගේ පැය භාගයක කාලය ඉවරයි. මාව ඒ තත්ත්වයට ඇදලා දැම්මොත් ඒක හොඳ විහිළුවක්‌ වේ වි."

"මං යනවා."

අනතුරු ව ඔහු දොරටුවෙන් පිට විණි. ප්‍රධානීහු තිදෙනා ම සිදු වූ දෙයින් සසල ව සිටිය හ. මේ ඔවුන් කිසිසේත් ම බලාපොරොත්තු වූවක්‌ නම් නො වේ. ප්‍රෙස්‌කොට්‌ නැඟී සිට වායු සමන යන්ත්‍රයෙන් කාමරයේ උණුසුම අඩු කළේ ය.

"මං හිතන්නෙ මිනිහ කියන්නෙ ආයතනය පවත්වාගෙන යැම ගැන අපි දන්නවට වැඩිය මිනිහ දන්නවයි කියන එක වෙන්න ඕන. මිනිහට යන්න දෙන්න බෑ."

ඔහු පැවසුවේ කල්පනා බර ව ය. රැන්ඩෝල් තිගැස්‌සිණි.

"ඔයා කියන්නෙ මිනිහ ගෙ ප්ලෑන අපි බාරගන්නවයි කියන එක ද?"

ඔහු විමසුවේ ය.

"මං එහෙම කිව්වෙ නෑ. ඔය දෙන්නත් හිතන්න මතක තියාගන්න ඕනේ මේක සම්පූර්ණයෙන් ම රහසිගතයි කියලා."

"මට මෙහෙම හිතෙනවා. අපි මොනවා හරි කළේ නැත්නම් අපි තුන් දෙනා ම මාසයක්‌ ඇතුළත පාරට වැටෙයි කියලා."

ඒ ග්ලූක්‌ ය.

"ඔව්."

ප්‍රෙස්‌කොට්‌ තවමත් කල්පනාවේ නිරත ව සිටින ලෙසින් කතා කළේ ය.

"ඉතින් අපි මොනව හරි කරමු."

"මොනව ද?"

"ඔහෙලා දන්නෙ නැත්නම් ඒකට මට ඉඩ අරින්න. දැනට අමතක කරලා දාල හොඳ සති අන්තයක්‌ ගත කරන්න."

අනෙක්‌ දෙදෙනා ගිය පසු ද ප්‍රෙස්‌කොට්‌ සිගරට්‌ටුව සපමින් කල්පනා කරන්නට විය.

අනතුරුව ඔහු තම දුරකථනය කරා ගියේ ය. "මේ කතා කරන්නෙ ප්‍රෙස්‌කොට්‌, මාව සඳුදා උදේ ම හම්බ වෙන්න. ඒක ඇහුණ නේ ද?"

ඔහු කිසිවකු ඇමතුවේ ය.

ඇන්ඩර්සන් ගත කළේ හොඳ සති අන්තයක්‌ නො වේ.

ඔහු ප්‍රෙස්‌කොට්‌ වෙත මුහුණ දුන්නේ අපහසුවෙනි.

"ඔහේ කැෆීර් එක්‌ක එකතු වෙලා ආයෙමත් පරීක්‌ෂණයක්‌ කළා නේ ද? කළා නේ ද?"

ප්‍රෙස්‌කොට්‌ ගුගුළේ ය.

තමන් කරන දේ නො තේරෙන සේ ජෝන් තම දැත් සූසන් වෙත යොමු කළේ ය.

සූසන් වහා එතැනින් ඉවත් වූවා ය.

"ඔයාට වාවගන්න බැහැ. ඔයාට තේරුම්ගන්න බැහැ. මොකක්‌ ද වඩාත් අවශ්‍ය කියන එක....

ඈ කතා කළේ අපහසුවෙනි. හැඩුම නිසා ඇගේ කටහඩ අපැහැදිලි ය.

"...මෙන්න මේ මුද්ද අරගෙන මගේ කාමරයෙන් දැන්ම යන්න. එහෙම නැත්නම් මං මොනා හරි දේකින් දමල ගහනවා."

ජෝන් තමා වෙත දමා ගැසූ මුද්ද අල්ලාගත්තේ ය. ඔහු දැසින් සසල වූ බවක්‌ පෙනිණි.

"සූසන්..."

"එළියට යන්න. ජෝන් ගෙයි සූගෙයි සම්බන්ධෙ මෙතනින් ඉවරයි."

ඇගේ මුහුණ කෝපයෙන් දිළිසිණ.

මොහොතක්‌ ඈ දෙස බලා සිටි ජෝන් දොරටුවෙන් පිට වුණේ ය.

පසු දා උදැසන ජෝන් තම ආයතනය වෙත යන විට ඇන්ඩර්සන් ඔහු එන පෙරමග බලා සිටියේ ය.

ඇන්ඩර්සන් පළ කළේ නොඉවසිලිමත් බවකි.

"ජෝන් අනිද්ද ම පරීක්‌ෂණාගාරයට වාර්තා කරන්න ඕන නේ... ඒ කියන්නෙ ඉරිදට මතක නේ"...

ඔහු විමසුවේ පුටුවෙන් නැගී සිටිමිනි.

"ඇයි අමතක? අමතක කිරීමට මං දක්‌ෂයි. මේ මොළයේ වෙනස්‌ වීම මට දරාගන්න පුළුවන්. ඉතින් මොකට ද මාව පරීක්‌ෂා කරන්නෙ"

"ඇයි ජෝන් කැෆීර්ටයි මටයි පේනවා එන්නත හොඳට වැඩ කරන බව. ඇත්තට ම අපිට ඉරිදා වෙනකම් බලා ඉන්න ඕනත් නෑ. ඔයා අපිත් එක්‌ක අද ම එනව නම් අපිටත් මේ ආයතනයටත් මනුෂ්‍ය සංහතියටමත් ඒක සේවයක්‌"

ජෝන් සෙමින් කතා කරන්න වූයේ ය.

"ඇයි මම වැඩ කරන හැටි බලලා අදහසක්‌ ගන්න බැරි ද? ඒක වඩා හොඳයි නේ. ඒක මට කරදරයක්‌ වෙන්න පුළුවනි. ඒත් මුල දී ඔහේලා ඒ ගැන කණගාටු වුණේ නෑ. කණගාටු වුණා ද?"

"ජෝන්... අපිට...."

"මොනාත් කියන්න එපා. මට මතකයි. අන්තිම ඉරිදා ඔහෙයි කැෆීරුයි මට කියපු දේවල්. ඒවායින් මට හොඳට ම පැහැදිලි ඔහෙලට ඕන වුණේ මම වැඩ කරන හැටියෙන් එන්නත ගැන අවබෝධයක්‌ ගැනීම බව. මම කරදරයක්‌ භාරගන්නවා නම් ඒකෙන් වන වාසියත් භාරගන්න ඕන. එන්නතක ප්‍රතිඵලයක්‌ හැටියට මිනිස්‌සු ඉදිරියේ පෙනී හිටින්න මට ඕන නෑ...."

ජෝන් කතාව මොහොතකට නවතා තියුණු බැල්මක්‌ ඇන්ඩර්සන් වෙත හෙළී ය.

"අනිත් අය මගේ දිහා පුදුමයෙන් බලා ඉන්නව බලන්න ඕනත් නෑ. මම දැන් මගේ මොළය පාවිච්චි කරන හැටි ඉගෙනගන්නවා. කොහොම ද හොඳින් වැඩ කරන්න පුළුවන් කියන එක තේරුම්ගත්ත ම මම ඔහෙලට කතා කරන්නම්. හැබැයි මතක තියාගන්න ඕන ඒක තේරුම්ගන්නේ මම මිසක්‌ ඔහේලා නො වන බව. එතකොට පුළුවන් මනුෂ්‍ය සංහතියට සෙතක්‌ කරන්න."

මුහුණේ මදහසක්‌ නංවාගන්නට ඇන්ඩර්සන් සමත් වූයේ ය.

"හරි ජෝන්. ඔහේ කොහොම ද අපි මිනිස්‌සුන්ට ඔහේ ගැන දැනුවත් කිරීම නවත්වන්නේ? ඔහෙත් එකක්‌ මේ සතියේ වැඩ කරපු අය දන්නවා ඔහේ වෙනස්‌ වෙලා බව. ඇයි කියලා ඒ ගොල්ලත් හිතනවා ඇති."

"හැබෑට.... මේ බලන්න ඇන්ඩර්සන් ඔය මූණේ මෝඩ හිනාව වහගෙන මේක අහනවා. ඔය හිනවා මට කරදරයක්‌. ඔහේත් කැෆීරුත් කතා කරපු හැම වචනයක්‌ ම, හෙළපු හැම හොර බැල්මක්‌ ම, කරපු හැම සංඥවක්‌ ම මට මතකයි. මම තේරුම්ගත්තා ඔහේලා පරීක්‌ෂණයට ලක්‌ කරපු මේ ආයතනයේ ඉන්න එක ම සේවකයා මං නො වෙන බව"

"පිස්‌සු කතා...."

එවර ඇන්ඩර්සන් ගේ මුහුණෙහි සිනාවක්‌ නො විණි.

"ඔහේ දන්නවා ඒක. ඔහේ දන්නවා ඒක වඩාත් හොඳින් මට ඔප්පු කරන්න පුළුවන් කියලත්. මම දන්නවා ඔය පරීක්‌ෂණයට ලක්‌ කරපු තුන් දෙනා ගැන. එක්‌ කෙනෙක්‌ ගෑනියක්‌. ඒ ගොල්ලන්ට බෙහෙත් කරපු ඉස්‌පිරිතාල ගැනත්, ඒ ගොල්ලන් ගැන දීලා තියෙන වැරැදි තොරතුරු ගැනත් මම දන්නවා..."

ඇන්ඩර්සන් ගේ මුහුණ අඳුරු වන්නට විය. ඔහු මුහුණේ මස්‌පිඩු සොලවමින් ජෝන් දෙස බලා සිටියේ ය.

"ඔහේලා මට මේ කිසි දෙයක්‌ ගැන කිව්වෙ නෑ. වැරැදි විදියට පරීක්‌ෂණයට ලක්‌ කරපු හතරවැනි මනුෂ්‍යයා මම. මට පුළුවන් ඔහේලව හිරේට යවන්න."

ජෝන් ගේ දිගු තියුණු දැස්‌ ඇන්ඩර්සන් වෙත ම යොමු ව තිබිණි.

"මට මේ ගැන කතා කරන්න ඕන නෑ. ඒත් ජෝන් ප්‍රතිකාරය නැවත කළේ නැත්නම් ඔහොම සම්පූර්ණ මතකය රඳවාගන්න බෑ. ආපහු එන්න අපි ප්‍රතිකාර කරන්නම්"

ඔහු සන්සුන් ලෙසින් පැවසුවේ ය.

"ආ.... හිතන්න එපා. මං ඔහෙල ගෙ වාර්තා ගැන හොයල බලල නෑ කියලා. අඩු තරමින් ඔහෙල රහස්‌ විදියට තියා ඉන්න වාර්තා ගැන වත් මට හැගීමක්‌ තියෙනවා. ඔහෙල මොනව ද රහස්‌ විදිහට තියාගෙන ඉන්නෙ කියන එක ගැන. මේ ප්‍රතිකාරය සමහරුන්ට කල් පවතිනවා. එය වඩාත් හොඳන් ක්‍රියා කරද්දී වඩාත් කල් පවතිනවා. මේ වගේ තත්ත්වයේ දී..."

ජෝන් ජයග්‍රාහී ලෙස සිනාසුණේ ය.

"එන්නත වුවමනාවටත් වඩා හොඳින් ක්‍රියා කරනවා. ඒ වගේ ම සෑහෙන කාලයක්‌ පවතිනවා. ඊළගට මම ඔහේ ළගට එද්දී..."

ඔහු නෙතගින් ඇන්ඩර්සන් දෙස බැලුවේ ය. ඔහේ ගෙ පැත්තෙ තියෙන හැම වැරැද්දක්‌ ම ඔහේට විරුද්ධව යොදවන්න ශක්‌තිය තියේ වි. අඩු ම තරමින් ඒ ගැන වත් හිතුවෙ නැද්ද?"

"අකෘතඥ වෙන්න එපා...."

ඇන්ඩර්සන් කෑගැසුවේ ය.

"මට කරදර කරන්න එපා"

ජෝන් වෙහෙස වූ ලෙසින් කතා කරයි.

"......ඔහේ ගෙ විලාප අහන්න ඉන්න මට වෙලාවක්‌ නෑ. යනවා මට වැඩ තියෙනවා."

ඇන්ඩර්සන් ගේ මුහුණ බියෙන් පිරී පවතියි. අකැමැත්තෙන් මෙන් ඔහු දොරටුවෙන් පිට වූයේ ය.

ඇන්ඩර්සන් කලබල විය. එහෙත් ඔහු කථා කරන්නට වූයේ මෘදු ලෙසිනි.

"ඒ ගැන කතා නො කර ඉන්න එක වඩාත් හොඳයි. ප්‍රෙස්‌කොට්‌ පර්යේෂණයේ සමහර තැන්වල දී අපි අතර දුරස්‌කමක්‌ තියෙනවට එකග වුණා මතකයි නේ. මේක සාර්ථක කරගැනීමේ අවදානම අපේ අතේ. ආයතනයට පස්‌සේ පුළුවන් සහභාගි වෙන්න.

"ඒ වුණාට ආයතනය ඔහේ ගෙ පඩිය දෙගුණයක්‌ කළා. අමතක කරන්න එපා ඒක. එහෙයි කෆීරුයි එකතු වෙලා මේ මිනිහා, ජෝන් හීත්ට එන්නත දීලා තියෙනවමයි. නැද්ද හොඳයි? ඒක හංගන්න බෑ.

"හ්ම්...... හරි"

"ඔහේ ලා කොයි තරම් දක්‌ෂ ද කියනව නම් දැන් මිනිහා අපිට විරුද්ධ වත් වැඩ කරනවා. මේකා දිවි මකුළුවෙක්‌."

ඇන්ඩර්සන් ප්‍රෙස්‌කොට්‌ ගේ රෞද්‍ර දැස්‌ දෙස බලා සිටියේ ය. ප්‍රෙස්‌කොට්‌ සැබැවින් ම අමනාප වී ඇත. ඉතා ම තදින් අමනාප ව ඇත.

"අපි හිතුවෙ නෑ. මේක මෙහෙම සිද්ධ වෙයි කියල. ජෝන් එක පාරට ම වෙනස්‌ වීමක්‌ පෙන්නුවේ නැති හින්දා අප හිතුවා එයාව ක්‌ෂේත්‍රයටත් දාලා බලන්න. අපි හිතුවේ දවස්‌ දෙක තුනකින් මිනිහට මතක නැති වේ වි කියලා"

ඇන්ඩර්සන් පැවසූයේ සමාව යදින ස්‌වරූපයකිනි. "මේ බස්‌ස.... ජෝන් මිනිහට කිසිසේත් ම මතක තියාගන්න ඕන නැති පරිගණක දත්ත එළියට දාද්දී මට මේක තේරුණා..."

ප්‍රේස්‌කොට්‌ කල්පනාබර ව පවසන්නට විය.

"කමක්‌ නෑ අපි දන්නවා කොතන ද දැන් අපි ඉන්නෙ කියලා. මේ මිනිහා ආයතනය මිනිහ ගෙ යටතට ගන්නයි හදන්නේ. මිනිහට අපෙන් ඈතට යන්න දෙන්නත් බෑ..."

"ජෝන් ගේ මතක්‌ කිරීමේ ශක්‌තියයි ඇති කිරීමේ ශක්‌තියයි සැලකුවොත් ආයතනය දියුණු කිරීමේ මිනිහ ගෙ අදහස්‌ හොඳ වෙන්න පුළුවන් නේ ද?

"ඒකෙන් වැඩක්‌ නෑ. මේ යකා අපිට තර්ජනයක්‌. මේක ගෙන් අප කොහොම හරි ගැලවෙන්න ඕන".

ඇන්ඩර්සන් මවිත විය. ඔහු ප්‍රෙස්‌කොට්‌ දෙස බැලුවේ දෙබැම රැලි කරමිනි.

"මොකක්‌ ද ඔහේ කිව්වේ ප්‍රෙස්‌කොට්‌? මිනිහව අයින් කරන්න කියන එක ද? මතක ශක්‌තිය පිළිබඳ කෙරෙන පර්යේෂණයට මිනිහ අපට ඉතා ම ප්‍රයෝජනවත්."

"අමතක කරනවා. ඒක භයානකයි. ඔහේ හදන්නේ සුපිරි හිට්‌ලර් කෙනෙක්‌ ඇති කරන්න".

තම ශ්‍රමය හා කාලය අපතේ යන සෙයකි. ඇන්ඩර්සන් මොහොතක්‌ නිහඩ ව සිටියේ ය.

ප්‍රෙස්‌කොට්‌ ගේ දැස්‌ තියුණු ය. ඔහු ගිජු ලිහිණියකු මෙන් ඇන්ඩර්සන් දෙස බලා හිදියි.

"මිනිහා ටික ටික සාමාන්‍ය තත්ත්වයට පත් වෙයි."

ඇන්ඩර්සන් පැවසුවේ මෘදු ස්‌වරයෙනි.

"කව ද?"

"හරියට ම කියන්න බෑ"

"කාලය ගත කරන්න බෑ. හෙට ම වැඩ පටන් ගන්නවා"

තව කොටසක්‌ ලබන සතියේ

(අයිසෙක්‌ ඇසිමොව් ගේ විද්‍යා ප්‍රබන්ධයක අනුවාදයකි)

දම්මිකා සෙනෙවිරත්න