logo3.gif (702 bytes)

HOME


විද්‍යා ප්‍රබන්ධ
මතකයේ එන්නත 4 කොටස

"ඔහේ දන්න සමහර තොරතුරු මේ ආයතනයෙ අධ්‍යක්‌ෂ මණ්‌ඩලයට ලැබුණෙ නෑ. ඒවා ලැබුණ නම් ආයතනය තවත් දියුණු වෙනවා. ඔහෙට එක්‌කෝ ඒ තොරතුරු අමතක වුණා. නැත්නම් ඔහේ ඒ ගැන සැලකිල්ලක්‌ ගත්තේ නෑ."

ජෝන් ගේ මුවග සාවඥ සිනාවක්‌ මතු විණි. රොස්‌ තවමත් දෙබැම රැළි කරගත් ගමන් ය.

"කොහොම වුණත් ඔහේ මේ රක්‌ෂාවට සුදුසු කෙනෙක්‌ නො වෙයි."

"ඔහේට පිස්‌සු"

රොස්‌ වෙනස්‌ නො කරගත් බැල්මෙන් යුතු ව මිමිණුවේ ය.

"කවුරුත් මාව විශ්වාස කරන්න ඕන නැහැ...." ජෝන් පවසන්නට විය.

"හැම දෙයක්‌ ම පරිගණකයේ තියෙනව. කවුරු හරි දන්නව නම් කෙතැන ද තියෙන්නෙ කියල පහසුවෙන් එළියට ගන්න පුළුවන්. මම ගිහින් විනාඩි දෙකෙන් ඕන දත්තයක්‌ එළියට අරන් දෙන්නම්."

රොස්‌ තියුණු බැල්මක්‌ හෙළුවේ ය. ඔහු කතා කරන්නට වූයේ අපහසුවෙනි.

"බොරු කතා ගොතල මාව අයින් කරන්න හදන මෝඩ උත්සාහයක්‌."

"මේක බොරුවක්‌ නො වෙයි කියල ඔයා දන්නව නේ. ඒත් මාව මෙතැනින් අයින් කරන්න හදනව නම් මට සිද්ධ වෙනව ඇයි මාව අයින් කරන්න හදන්නෙ කියන එක තේරුම් කරලා දෙන්න."

රොස්‌ කිසිත් පැවසුවේ නැත.

"මාව අස්‌කරනව ද?"

"මෙතනින් එළියට යනවා."

රොස්‌ ගුගුළේ ය.

"මගෙ රක්‌ෂාවත් එක්‌ක ද? රක්‌ෂාව නැති ව ද?"

මොහොතක නිහැඩියාවක්‌ පැවතිණි.

"තමුසෙ ගෙ රක්‌ෂාව තමුසෙට තියෙනවා."

වෙහෙස වූ බවක්‌ පළ කරමින් රොස්‌ සෙමින් පැවසුවේ ය.

සූසන් තම කුටියේ රෑ කෑම වේලක්‌ පිලියෙල කළා ය. එහෙත් කිසි දා ඇය මෙතරම් අසීරුතාවකට පත් නො විණි. ජෝන් දැන් තමන් ගේ කාර්යයෙහි ම ඇලී ගැලී වසයි. ඔහු මොහොතකට වත් එම කාර්යයෙන් මිදවීම කළ නොහැක්‌කකි.

"අපි තනිකඩයෝ වගේ ඉන්න අන්තිම දවස්‌ නවය සමරමු."

සූසන් ආදරබර ලෙසින් ජෝන් ඇමතුවා ය.

"අපට තවත් සැමරීම් කරන්න පුළුවන්."

ජෝන් ගේ මූවග වූයේ දඟකාරී සිනාවකි.

"මං මේ එන්නත අරගෙන දවස්‌ හතරයි ගියේ. රොස්‌ ගෙ අලි ඔළුව බිමට පාත් කළා. මින් පස්‌සෙ මිනිසා මට කරදර කරන්න එන එකක්‌ නෑ."

"ඉතින් මොනව ද වුණේ කියන්න කෝ."

ජෝන් තම මතකයේ හපන්කම් රසවත් කරමින් කියන්නට විය. ඔහු පවසන දැ ඇය තුළ කුතුහලයත් බියත් එක්‌ ව වඩවයි.

"කොහොම ද ඉතින් ඔයා රොස්‌ ගැන ඔය දේවල් දනගත්තෙ?"

අවසානයේ දී ඇය විමසුවා ය.

ජෝන් සිනා වූයේ ය.

"මෙතන රහස්‌ නෑ සූ. මිනිස්‌සුන්ට මතක්‌ කරගන්න බැරි වෙද්දියි එක එක දේවල් රහස්‌ වෙන්නෙ. ඔයාට ඇහෙන පෙනෙන හැම දෙයක්‌ ම මතක්‌ කරගන්න පුළුවන් නම් ඒවා සසඳලා කිරල බලල තේරුම්ගන්නත් පුළුවන්. රොස්‌ට මං කළේ ඒකයි. මම දන්න ඕන කෙනෙක්‌ ව මට ඒ විදිහට වටහාගන්න පුළුවන්."

"ඉතින් අනිත් අයව බය කරන්නත් පුළුවනි නෙ."

"මං රොස්‌ ව බය කළා."

ජෝන් ජයග්‍රාහී ලෙස සිනාසෙයි. සුළඟේ යන තම කෙටි කෙස්‌ කළඹ සකසමින් සූසන් ඔහු දෙස බලා හුන්නා ය. ඔහු දැඩි ප්‍රිතියෙන් දිදුළන හැටි.

"ඔයා හිතන්නෙ ඕක නුවණට හුරු වැඩක්‌ කියල ද?"

"ඒ මිනිහා නිශ්ශබ්ද කරන්න මං වෙන මොනව ද කරන්නෙ?"

"එයාලාට උදව් කරන්න ඉහළ පෙළේ මිනිස්‌සු ඕන තරම් ඉන්නවා."

"වැඩි කාලයක්‌ ඉන්න එකක්‌ නෑ. හෙට දවල් දෙකට මට සාකච්ඡාවක්‌ තියෙනව. අර සිගරට්‌ ගඳ ගහන නාකි මිනිහ ප්‍රෙස්‌කොට්‌ ලොක්‌කා එක්‌ක. මං ඒකෙ දි ඔය රොස්‌ ව කපලා දානවා."

සූසන් දැස්‌ ලොකු කළා ය. තම අතීත හා අනාගත ජයග්‍රහණයන් පිළිබඳ ප්‍රීතියෙන් ජෝන් නිරන්තරයෙන් උදම් අනන සේ ය.

"ඔයාට හිතෙන්නෙ නැද්ද ජොනී ඔයා ඉක්‌මන් වෙනව වැඩියි කියල?"

අවසානයේ ඇය විමසුවා ය.

"ඉක්‌මන් වෙනව වැඩියි? මං තවම පටන් ගත්තෙත් නෑ. ප්‍රෙස්‌කොට්‌ ඇවිල්ලත් ඇවිදින ගලක්‌. මේ ආයතනයෙ කරන විද්‍යාවලුත් ඇවිදින ගල්. හරි හෙමින්."

"අනේ ජොනී. ඔයාට ඕන කවුරු හරි මඟ පෙන්වන්න.

ඔයාට ඕන...."

"මට මොනවත් ඕන නෑ. මේක තියෙද්දි"

ඔහු තම නළලත දැක්‌වූයේ ය.

"මේකෙ කවුරුත් නෑ. කිසි ම දේකට මාව නවත්වන්නත් බෑ."

මුළු ලොව ම එක වර කඩා පාත් වෙන්නාක්‌ සේ සූසන්ට දැනිණි. තම සිත ඈ නිසා ම පිරී ඇති බැව් පැවසූ ඇය කියන ඕනෑ ම දෙයකට කුඩා දරුවකු සේ අවනත වූ ආදරණීය ජොනී

"හරි ඒක ගැන කතා නො කර ඉමු ජොනී. අපි දෙන්නට දෙවිදිහක අදහස්‌ දෙකක්‌ තියෙනව ක්‍රියාත්මක කරන්න."

ඈ ශක්‌තිය ගොඩනංවාගනිමින් පැවසුවා ය.

"ඒ මොනව ද?"

"ඇත්තට ම අපි දෙන්න තව දවස්‌ නවයකින් බඳිනව නේ. ඔයාට අමතක වීම් සිදු වුණු කණගාටුදායක දවස්‌වල ගත්ත තීරණයක්‌ ඒක."

"මට මතකයි."

"ජොන් නො සැලී හිsඳියි. ඔහු දැස්‌ මත් ව ඇති සේ ය. තම ආත්මය පිළිබඳ උපන් ප්‍රබෝධයෙන් මත් ව ඇති සේa ය."

"ඒ වුණාට මේ වේලාවෙ මට ආයතනයෙ සකස්‌ කිරීම් කරන්න ඕන. හැම දෙයක්‌ ම මගෙ අතට එනකම් මං හිතන්නේ මංගල්ලෙ ටිකක්‌ කාලෙකට කල් දාගන්න ඕන කියල"

"ආ...."

සූසන් තිගැස්‌සුණා ය. ඇගේ නිල් දැස්‌ කඳුළෙන් බර වන්නට ගත වූයේ සුළු මොහොතකි.

ආදරණීය ජොනී

"කවදා වෙනකම් ද ජොනී?"

ඈ ආයාසයෙන් වදන් ගොනු කරගත්තා ය.

"ඒක කියන්න අමාරුයි. මේව අල්ලගන්න යන කාලය අනුව තමයි ඒක තීරණය කරගන්න වෙන්නෙ.

මාසයක්‌ දෙකක්‌. එහෙම නැත්නම්" දැන් ඔහු ස්‌වරයේ ඇත්තේ උපහාසයකි.

"ඔයා හිතාවි මම ඉක්‌මන් වැඩියි කියල"

සූසන් වේගයෙන් හුස්‌ම ගත්තා ය.

"ඔය කාරණය ගැන මගේ අදහසුත් දැනගන්න ඔයා හිතල තිබුණ ද?"

ඈ විමසුවා ය.

ජෝන් ඈ දෙස බැලුවේ මවිත වූ සේ ය.

"ඒක අවශ්‍ය ද? ඔයාට පේනව නේ මොනා ද වෙන්නෙ කියලා. අපට ඒකට බාධා කරන්න බෑ. මේ බලන්න. ඔයා දන්නව ද මං හොඳ ගණිතඥයෙක්‌ කියල. මට පරිගණකයක්‌ වගේ වේගයෙන් වැඩි කරන්න, බෙදන්න පුළුවන්. මොකද මට ජීවිතයේ හම්බ වුණු හැම ගණන් කොටසක්‌ ම ටක්‌ ගාලා මකත් කරගන්න පුළුවන්. මට කියවන්න පුළුවන් ඕන නම් වර්ගමූල වගුවක්‌ ම නැත්නම්..."

සූසන් හඩන්නට වූවා ය. ඇගේ සුරූපි මුහුණ කඳුළින් තෙමී තිබිණ.

"ජොනී ඔයා අලුත් සෙල්ලම් බඩුවක්‌ එක්‌ක සෙල්ලම් කරන පුංචි ළමයෙක්‌ වගෙයි. ඔයාට මොනා වත් වැටහෙන්නෙ නෑ. ඔය මතක්‌ වීම බුද්ධියේ වැඩීමක්‌ නො වෙයි. ඒ බුද්ධිය එක අවුන්සයක්‌ වත් වැඩි කරන්නෙ නෑ. තර්ක ශක්‌තිය වත්, සාමාන්‍ය දැනීම වත් වැඩි වෙන්නෙ නෑ. බෝම්බ ගොඩක්‌ මැද්දේ ඉන්න පුංචි ළමයෙක්‌ වෙන්න එපා. මොළේ තියන අය දැන් ඔයාව බලාගන්න ඕන"

"ආ... එහෙනම් මට පේන්නෙ මට ඕන දේ ලැබෙනවා වගේ."

"ජෝන් කෑගැසුවේ ය."

"ඇත්තට ම මම නේ ද ඔයාට ඕන. ඒක වැරදි ද ජොනී."

"මොකක්‌ ද?"

"බලන්න ජොනී. ඔයාට මාව ඕන. මාව ගන්න. මම කවුද කියල මතක්‌ කරගන්න. අපි දෙන්න ගත කරපු කාලය මතක්‌ කරගන්න."

ඈ ඉකිබිඳින්නට වූවා ය.

*** *** *** ***

සිගරැට්‌ ගඳ නො තකමින් ජෝන් ප්‍රෙස්‌කොට්‌ ගේ කාමරයට යන විට වේලාව සවස දෙක හමාර විය.

තමා තෝරාගත යුත්තේ තම රාජකාරිය ද නැත්නම් සිගරට්‌ ද යන්න ගැන ප්‍රෙස්‌කොට්‌ ඉක්‌මනින් තීරණයක්‌ ගත යුතු බව ජෝන් දැන සිටියේ ය.

ග්ලුක්‌ හා රැන්ඩෝල් ද ප්‍රෙස්‌කොට්‌ සමඟ වූ හ. ආයතනයේ ප්‍රධානීන් තිදෙනා ම එක්‌ වර හමු වීම ගැන ජෝන්ට ඇති වූයේ සතුටකි. තම අත වූ සිගරැට්‌ටුව අළු බඳුන මත තබමින් ප්‍රෙස්‌කොට්‌ කතා කළේ ය.

"රොස්‌ මට කිව්ව ඔහෙත් එක්‌ක පැය භාගයක්‌ විතර කතා කරන්න කියල. අමුතු ම මතකයක්‌ තියනවයි කියන්නෙ ඔහෙට නේ ද?"

"මගෙ නම ජෝන් හීත් සර්, මම කැමතියි අපේ ආයතනය දියුණු කරන පිළිවෙළක්‌ හඳුන්වල දෙන්න. මේ පරිගණකයි, විද්යුත් සම්බන්ධීකරණයි උපරිම විදිහට ප්‍රයෝජනයට ගන්න හැටි ගැන."

පාලකයෝ තිදෙන එකිනෙකා ගේ මුහුණු බලාගත් හ. ග්ලුක්‌ ජෝන් ගේ දැස්‌ දෙස බැලුවේ තද දුඹුරු වුණු මුහුණෙන් යුතු ව ය.

"ඔහේ කාර්යාල කළමනාකරණය ගැන බහුශ්‍රැතයෙක්‌ වගේ."

"නෑ සර්, මං මේකෙ අවුරුදු 6ක්‌ හිටියා. ඒ කාලෙ තුළ සිද්ධ වේච්ච හැම දෙයක්‌ ම මට මතක්‌ වෙනව. කොයි තරම් අකාර්යක්‌ෂම, නාස්‌තිකාර විදිහට දේවල් සිද්ධ වුණා ද කියන එක මට පේනවා. අහනව නම් මම කියන්නම්. තේරුම්ගන්න ලේසි වේ වි."

"ඇත්තටම ලේසි වෙයි. මොකද අපි මේ අමාරු සංකල්ප විසඳගන්න බැරුව ඉන්නෙ"

රැන්ඩෝල් පැවසුවේ උපහාසාත්මකව ය. කැරලි ගැසුණු රතු කෙස්‌ නිසා ඔහු වයසට වඩා තරුණ සේ පෙනිණි.

"මීට පස්‌සෙ සර්ලට ප්‍රශ්නයක්‌ වෙන එකක්‌ නෑ"

ජෝන් පැවසුවේ ය.

"හරි තමුසෙ ගෙ සැලැස්‌ම කියනවා. විනාඩි විස්‌සයි දෙන්නෙ හිතන්න."

ප්‍රෙස්‌කොට්‌ පැවසුවේ ඔරලෝසුව දෙස බලමිනි.

"ඒ තරම් කාලයක්‌ යන්නෙ නෑ සර්."

ජෝන් ගේ මුහුණෙහි වූයේ ගැඹුරු පෙනුමකි.

"මම ඒක සැලසුම් කරල තියෙන්නේ. මට ඉක්‌මනින් කියන්න පුළුවන්."

ජෝන්ට තම සැලැස්‌ම විස්‌තර කිරීමට ගත වූයේ විනෙඩි පහළොවක කාලයක්‌ පමණි. පාලකයෝ තිදෙන ම එයට නිහඩ ව සවන් යොමු කර සිටිය හ.

"ඔහේ කියන විදිහට අපි දැන් වැඩට යොදල ඉන්න සංඛ්‍යාවෙන් භාගයකින් මේ වැඩ කරගන්න පුළුවන්."

"භාගයකටත් අඩුවෙන්."

ජෝන් සෙමින් පැවසුවේ ය.

"සංගම් හැදෙන්න ඉඩ නො ලැබෙන්න වැඩ කරන්න ඕනෙ. සංගම් හැදුණොත් පාලනය අඩාළ වෙනවා. වයසක මිනිස්‌සු ගත්තොත් ඉක්‌මනින් විශ්‍රාම යනවා. තරුණ අය ගත්තොත් අලුත් රක්‌ෂාවල් හොයාගෙන යනවා. අපේ හැම සිතිවිල්ලක්‌ ම ආයතනය දියුණු කිරීම සම්බන්ධයෙන් වෙන්න ඕන"

මෙතෙක්‌ වේලා නිහඩ ව ම සිටි ප්‍රෙස්‌කොට්‌ ඔවුන් දෙස බැලුවේ සිගරට්‌ටුවෙන් දුම් රැල්ලක්‌ පිට කරමිනි.

"මේ වගේ වෙනස්‌කම් සිදු කරද්දී කල්පනාවෙන් කරන්න ඕන. හරි අනතුරුදායකයි, තර්කානුකූලව හරි වගේ පෙනුණත් මිනිස්‌සු අතරට ගියහම වැරදෙන්න පුළුවන්."

ජෝන් ගේ දැස්‌ විශාල විණි. ඔහු අමනාප වූවා සේ ය. තම හැඟුම් වහා ම පිට කරගත නොහැකි ව ඔහු මොහොතක්‌ පමණක්‌ නිහඩ ව සිටියේ ය.

තව කොටසක්‌ ලබන සතියේ

(අයිසෙක්‌ ඇසිමොව් ගේ විද්‍යා ප්‍රබන්ධයක අනුවාදයකි)

දම්මිකා සෙනෙවිරත්න