logo3.gif (702 bytes)

HOME


විද්‍යා ප්‍රබන්ධ
මතකයේ එන්නත 3 කොටස

"කොහොමද ඒක කළේ ජෝන්? හරි පුදුමයි." රොස්‌ විමසුවේ දැස්‌ පිස දමමිනි.

"සුළු දෙයක්‌ සර්....."

ආත්ම විශ්වාසය වඩවාගනිමින් ජෝන් කතා කළේ ය.

"මට හොඳ මතකයක්‌ තියනවා මේ වගේ දේවල් ගැන."

"මේ අවුරුදු ගණනක්‌ තිස්‌සේ ඕක හංගාගෙන හිටියේ කොහොම ද? කවුරුත් දන්නෙ නෑ ජෝන් ගෙ ඔළුව ඇතුළෙ ඔය තරම් හොඳ මතකයක්‌ තියෙන බව."

"ඒක පෙන්න පෙන්න ඉන්න දෙයක්‌ නො වෙයි සර්. මට ඒකෙන් කිසි ම වාසියක්‌ නෑ නෙ."

රොස්‌ මොහොතක්‌ ජෝන් දෙස බලා සිටියේ ය. නැවත වහා ආපසු හැරී එතැනින් පිටවුණේ ය.

තමා ලද ශක්‌තිය ගැන ජෝන් සැබැවින් ම උද්දාමයට පත් ව සිටියේ ය. රෑ කෑම මේසයේ දී ද ඔහු අපහසුවෙන් වදන් ගලපමින් ඒ ගැන උද්දාම වූයේ ය. සූසන් ඒ අසා සිටින්නට වූයේ සිතින් නො සැළෙන්නට උත්සාහ ගනිමිනි. අවන්හලේ විදුලි බුබුළුවලට තම දැස්‌ නිලංකාර ව ඇති සේ ඇයට දැනිණි.

"ඔයාට මකත් වෙනව විතරයි ජොනී...."

ඇය පැවසුවා ය.

"...ඉතින් ඒකෙන් කිසි දෙයක්‌ දියුණු වීමක්‌ පෙනෙන්නෙ නැහැ."

"ඔයාට පිස්‌සු ද?"

ජෝන් සිය ඇහි බැම රැළි කරමින් යටැසින් ඈ දෙස වහා බැලුවේ ය.

"ඔයාට පිස්‌සු ද? මට මතක්‌ වෙන්නේ ඒ දේ විතරක්‌ නො වෙයි. මම කවදා හරි අහල තියෙන ඕනෑ ම දෙයක්‌ මතක්‌ කරන්න මට පුළුවන්. ඒක නැවත මතක්‌ කිරීමක්‌. උදාහරණයකට අපි ගනිමු ෂේක්‌ස්‌පියර් ගෙ පොතකින් පේළියක්‌."

"වෙන්නත් පුළුවන් නො වෙන්නත් පුළුවන්." ජෝන් මන්දොaත්සාහී වූ සේ ය.

"විහිළු කරන්න එපා සූ. හා කමක්‌ නැහැ. ඔයා ඕන ම පේළියක්‌ කියන්න. මම එතැන ඉඳල ඔයා කැමති තරම් දුරකට කියවන්නම්. ඉංගී්‍රසි සාහිත්‍ය පන්තියේ දී කියවපු සමහර පොතුයි මම තනියම කියවපු පොතුයි ගත්තොත් මට ඕනෑ ම පොතක්‌ මතකින් කියවන්න පුළුවන්...."

ඔහු මොහොතක්‌ සිනාබර ව බලා සිටියේ ය.

"මම උත්සාහ කරල තියෙනවා. මතකය ගලාගෙන එනවා. මම කවදා හරි කියවල තියෙන පත්තරයක කෑල්ලක්‌ හරි නැත්නම් බලලා තියෙන රූපවාහිනී දර්ශනයක්‌ හරි වචනයෙන් වචනයට දර්ශනයෙන් දර්ශනයට විස්‌තර කරන්න මට පුළුවනි."

"මොනා ද ඔයා ඒවත් එක්‌ක කරන්නෙ?"

ඇග් නිල් දැස්‌ මළානික වී තිබිණි. මේසය මත වැසූ පළාපෙත්තකු සමඟ ඈ සෙල්ලම් කරන්නට වූවා ය. හිතට දැනෙන්නේ නුහුරු බවකි.

"හැම වෙලාවෙ ම මගේ ඔළුවෙ ඕව කරකැවෙන්නේ නැහැ. හා දැන් කියන්න බලන්න."

විනාඩි පහක්‌ පමණ නිහඩ ව ගත විණි.

"ඔයා හිතන්න එපා මං හැම තිස්‌සෙ ම ෂේක්‌ස්‌පියර් ගෙ වගන්තිවල හිතෙන් පීන පීන ඉන්නව කියලා. මකත් කරන්න පුංචි උත්සාහයක්‌ ගන්න ඕන."

"කොහොම ද ඒ?"

"මං දන්නේ නෑ. කොහොම ද ඔයා ඔයා ගෙ අත උස්‌සන්නෙ? ඔයා මොන මොන විධාන ද පේශිවලට දෙන්නෙ? ඔයා හිතනවා ඔයාට අත උස්‌සන්න ඕන කියලා. එතකොට අත ඉස්‌සෙනවා. ඒ වගේ තමයි මට ඕන දෙයක්‌ ඕන වෙලාවට මතක්‌ කරගන්න පුළුවන්. අනවශ්‍ය වෙලාවට ඒව මකත් වෙන්නෙ නෑ. මතක්‌ වෙන හැටි තේරෙන්නේ නැති වුණාට මට මකත් කරගන්න පුළුවන්."

වේටර්වරයා පළමු කෑම වඩිය ගෙනාවේ ය. ජෝන් ආහාර ගන්නට වූයේ සංතෝෂයෙනි.

"හරි අමුතුයි."

සූසන් හතු පෙත්තක්‌ සපමින් කල්පනාබර ව පැවසුවා ය.

"අමුතු තමයි. ලෝකයෙ තිබෙන විශාල ම අරුම පුදුම සෙල්ලම් බඩුව මට ලැබිල තියෙනවා. ඒ වගේ ම මොළය. මේ අහන්න. මට ඕන වචනයක්‌ නිවැරැදි ව ශබ්ද කරන්න පුළුවන්. මට කිසි ම ව්‍යාකරණ වැරැද්දක්‌ නො වන බවටත් සහතිකයි."

"ඒ කියන්නෙ ඔයාට ඔයා කියවපු ශබ්ද කෝෂයි ඉගෙනගත්ත ව්‍යාකරණයි මතකයි කියන එක නේ."

ජෝන් ඈ දෙස හෙළුවේ තියුණු බැල්මකි. "නිකං විහිළු කරන්න එන්න එපා සූ.."

ඔහු ගේ දැස්‌ රතු වී තිබිණි.

"මං කවදා වත් ශබ්ද කෝෂ කියවල නෑ. මම කියවල තියෙන හැම වචනයක්‌ ම වගන්තියක්‌ ම මකත් කරන්න පුළුවන් කියන එකයි මං කිව්වෙ."

"ඔය තරම් ම නිවැරැදි වෙන්න යන්න එපා. ඔයා දැකලා තියනවා වැරැදි විදිහට ශබ්ද කරන වචන. ව්‍යාකරණ වැරැදි."

"ඒ විශේෂ දේවල්. මම නිවැරැදි වචනය මොකක්‌ ද කියල දන්නවා. මට සහතිකයි මම වඩා වඩාත් බුද්ධිමතෙක්‌ වෙන බවට."

"කණගාටු වෙන්නෙ නැද්ද...?"

"වඩා බුද්ධිමත් වෙනවට..? දෙවියනේ කොහොම ද වඩා බුද්ධිමත් වීම කරදරයක්‌ වෙන්නෙ?"

සූසන් සුප් කෝපපය තොලගෑවා ය. අවන්හල සිසාරා ළගන්නාසුලු සංගීතයක්‌ පැතිර යයි. තමන් මින් පෙර මේ අවන්හලේ ම ආහාර ගත්තේ කෙතරම් උණුසුම් සිත් ඇති ව ද? මතකයේ එන්නත ඒ සියල්ල ම සොරාගෙන ඇති සෙයකි.

"මං කියන්න ගියේ මේකයි."

සසාන් හෙමින් තෙපළා ය.

"ඕක වඩා බුද්ධිමත් වීමක්‌ නො වෙයි. මතකය අලුත් වීමක්‌ විතරයි."

"ඒ කොහොම ද? මම හරියට හැම දේ ම මතක්‌ කරනව නම්, ඉංගී්‍රසි හරියට පාවිච්චි කරනව නම්, ද්‍රව්‍ය ප්‍රමාණ නියම විදිහට කියන්න දන්නව නම් ඒක වඩා බුද්ධිමත් වීමක්‌ නො වෙයි ද? මට පේන්නෙ ඔයා මට ඉරිසියා කරනවා වගෙයි සූ."

සූසන් ඔහු දැස්‌ දෙස කෙළින් බැලුවා ය. අවන්හලේ සංගීතය නතර ව තිබිණි.

"ඊර්ෂ්‍යා කරනවා ඔයාට"

ඈ ඔහු නෙත් දෙසම බලා කතා කළා ය.

"මටත් ඕන නම් එන්නතක්‌ ගත්ත හැකි නෙ."

"ඒත් ඔයා ගෙ වැඩි දියුණු වන දැනුමෙන් මාව මේ තත්ත්වයෙන් පහළට දාන්න බැරි වේ වි."

"මොන තත්ත්වයෙන් ද?"

වේටර්වරයා තවත් කැම බඳුනක්‌ රැගෙන ආවේ ය. ජෝන් ආහාර ගන්නේ කලබල වූ ලෙසිනි. තමන් වඩාත් කල්පනාකාරී විය යුතු බව සූසන් වටහාගත්තා ය.

"අනාගත ලෝකයේ පළමු පුද්ගලයා" කියන මගේ තත්ත්වය. හෝමෝ සුපීරියර් ඔයාට කූෆර් කියපු දේවල් මතක නේ. ඉතා ම සාමාන්‍ය මිනිස්‌සු අඩුයි. සමහරු සාමාන්‍ය තත්ත්වයෙන් ඉහළයි. සමහරු පහළයි. ඔයා සාමාන්‍ය තත්ත්වයෙන් ඉහළ කෙනෙක්‌. ඒ නිසා ඔයාට මගේ තත්ත්වයට ළඟා වෙන්න බෑ."

සූසන් මුව විවර කරගෙන බලා සිටියා පමණි.

"මම වගේ සමහරු ඉන්න පුළුවන්. ඒත් ඉතා ම ටික දෙනයි. ඒ අය දැන් මම ඉන්න උසස්‌ තත්ත්වයට එන්න ඉස්‌සර මට මගේ ගමන යන්න ඕන. තේරුණා ද සූ, මේක අපි දෙන්න ම වෙනුවෙන් මයි."

අනතුරුව ජෝන් කල්පනාවක නිරත වන්නට විය. ඔහු තම මොළයේ ක්‍රියාකාරීත්වය අධ්‍යයනය කරන සේ ය.

සූසන් නිහඩ ව කෑම ගත්තා ය. වේදනාවෙන් තම හදවත පිරී ඇති සේ ඇයට දැනිණි.

දින කිහිපයක්‌ උත්සාහ ගනිමින් ජෝන් තම මතකයන් පිළිවෙළට තැබුවේ ය. එය පහසුවෙන් කියවීම සඳහා පොත් ලැයිස්‌තුගත කරන්නාක්‌ බඳු ය. එකින් එක පිළිවෙළින් පිළිවෙළට ඔහු තම උගත් දැ, ඇසු දුටු දැ මතක ගබඩාවේ හරියාකාර ව ඇසුරුවේ ය.

තමාට අනවශ්‍ය යෑයි සිතෙන දෑ අවශ්‍ය වන විට ලබාගැනීම සඳහා මොළයේ වෙන ම ස්‌ථානයක ගබඩා කර තැබීම ද අපහසු නො විණි. මින් පෙර ඇසූ, ඒ අවස්‌ථාවේ වැදගත් නො වූ කටකතා ආදිය ද ඔහු වුවමනාවෙන් නැවත මකත් කරගත්තේ ය.

මේ ක්‍රම නිසා අලුතෙන් මොළයට ඇතුළු වන දෑ ගබඩා කර තැබීම වඩා පහසු වූවා සේ ම ඒ තිබිය යුතු ස්‌ථානය ද වහා වැටහිණි.

ඊළඟ බ්‍රහස්‌පතින්දා ජෝන් ගේ මේසය අසලට ඔහු ගේ ප්‍රධානියා වූ රොස්‌ පැමිණියේ ය.

"මගේ කාර්යාලයේ දී ඔහෙව ටිකක්‌ හම්බවෙන්න ඕනෙ ජෝන්"

ජෝන් රොස්‌ ගේ වදන් වැඩි සැලකිල්ලකට නො ගත්තේ ය.

"හම්බ වෙන්න ඕන ම ද? මට හරියට වැඩ"

"පේනවා"

රෝස්‌ ජෝන් ගේ මේසය මතට එබුණේ ය. ඔහු අත වූයේ සිනාමුසු ව සිsටින සූසන් ගේ ඡායාරූපයකි.

"හරියට වැඩ කිව්වේ මෙයා සම්බන්ධයෙන් වෙන්න ඇති. මගේ කාර්යාලයේ දී මාව හම්බ වෙන්න බෑෘ මේ බලනවා. මගේ කාමරේට එන්න දොරක්‌ තියනවා. එක්‌කෝ ඒ දොරෙන් ඇතුළට එනවා. නැත්නම් මේ දොරෙන් මෙතනින් එළියට යනවා. දෙකෙන් එකක්‌ ඉක්‌මනින් තෝරාගන්නවා".

ජෝන් මොහොතක්‌ කල්පනාවේ නිරත වූයේ ය. අනතුරුව කලබලයකින් තොර ව ම රොස්‌ පිටුපසින් ඇදුණේ ය.

රොස්‌ තම පුටුවේ වාඩි ගත් මුත් ඔහු ජෝන්ට වාඩි වීම සඳහා ආරාධනා නො කළේ ය.

"මොකක්‌ ද මේ සුමානෙ දි ඔහෙට වෙලා තියෙන්නෙ? ජෝන් ඔහෙ ගෙ රක්‌ෂාව මොකක්‌ ද කියල දන්නෙ නැද්ද?"

ඔහු විමසුවේ දෙබැම රැළි කරමිනි.

"මම ඒක දන්නවා. මම වැඩ කරපු බව පෙන්නත් තියනවා."

ජෝන් පවසන්නට විය.

"සියුම් හිරු කිරණ ගැන ලියපු වාර්තාව සර් ගේ මේසෙ උඩ තියෙනවා. අවසාන දිනයට දවස්‌ හතකට ඉස්‌සරයි මම ඒක සම්පූර්ණ කළේ. ඔය චෝදනා කිරීම් මං වෙනුවෙන් කරන්න බෑ."

"මට චෝදනා කරන්න ඔහෙ ගෙන් අවසර ගන්නත් ඕනෙ ද? එහෙම නැත්නම් ඔහෙ ගෙන් අවසර ගන්න ඕන තරමට මගෙ තත්ත්වය බාල්දු කරල ද?"

"මම එහෙම දෙයක්‌ කිව්වෙ නැහැ රොස්‌ මහත්තයා. මම කිව්වෙ මේ කාරණය සම්බන්ධයෙන් මට චෝදනා කරන්න හේතුවක්‌ නැහැයි කියලා. අනික්‌ කාරණා සම්බන්ධයෙන් මට චෝදනා කිරීමේ අයිතිය ඔහෙට තියනවා."

රොස්‌ වඩාත් කිපී ඇත්තේ ය.

"මේ අහනව මෝඩයා. ඔහෙ ගෙ ඔය පොඩි ඔළුවයි, ලොකු කටයි තියාගෙන කෑගහන්න එපා. මෙතන ඉදලා ඔහේ ඔහේ ගෙ වැඩ කළා ද කියන එක නො වෙයි ප්‍රශ්නය. කවුද, කොයි විදිහට ද තමුසෙ මේ ආයතනයෙ සියලු දෙනා ම පාලනයට යෙදෙව්වෙ කියන එක?"

ජෝන් කිසිවක්‌ පැවසුවේ නැත.

රොස්‌ තවත් වරක්‌ ගුගුලේ ය.

"කියනව බලන්න."

ජෝන් රොස්‌ ගේ දැස්‌ දෙස මොහොතක්‌ බලා සිටියේ ය.

"ඔහෙ ගෙ නියෝගය පොඩි ඔළුවයි ලොකු කටයි තියාගෙන කෑගහන්න එපා කියන එක නෙ."

රොස්‌ තවත් කෝප වූවේ ය. කෝපය නිසා ඔහු මුහුණ රත් පැහැ ගති.

"දෙනව මගෙ ප්‍රශ්නෙට උත්තර.."

"මම හැම දෙනා ම පාලනය කරමින් ඉන්නව කියන එක මට හංගන්න ඕන නැහැ....."

ජෝන් පැවසුවේ ය.

"මේ ආයතනයෙ අඩු තරමින් ඔහේට එක වතාවක්‌ වත් වැරැදි නො කරපු කෙනෙක්‌ නෑ ජෝන්. ඔහේ මේ ආයතනයේ වැඩ අවුල් කරනවා. ඔහේ ගෙ දක්‌ෂතාත් අරගෙන දවල් කෑමට ඉස්‌සර මෙහෙන් පිට වෙලා යනවා. ආයෙමත් කවදා වත් මෙහෙට එන්න එපා. ආපහු තමුසෙ ආවොත් පයින් ගහල දොට්‌ට දාලා මං හොඳ සන්තෝෂයක්‌ ලබනවා. ඔහෙ ගෙ වැඩ තහනම් කිරීමේ රාජකාරි ලිපිය පස්‌සෙ ලැබෙයි."

"ජෝන් නිහඩ ව රොස්‌ දෙස ම බලා සිටියේ ය. ඒ දිගු දැස්‌ තියුණු බැල්මකින් ආලෝකවත් වී තිබිණි."

"මාව නිකං බය කරන්න එපා රොස්‌..."

ජෝන් පවසන්නට විය.

"ඔහේ ඔහේ ගෙ අදක්‌ෂතාව නිසා ඩොලර් මිලියනයකින් කාලක්‌ විතර මේ ආයතනයෙන් වැය කරලා තියෙන බව ඔහේ දැනගන්න ඕන."

රොස්‌ හිඳ සිටි පුටුවෙන් නැගිට්‌ටේ ය. ඔහු දෙබැම රැළි ගැසී තිබිණි.

"මොනව ගැන ද ඔය කියවන්නෙ?"

ඔහු විමසුවේ මවිතයන් කුතුහලයක්‌ පිරුණු කටහඩිනි.

තව කොටසක්‌ ලබන සතියේ

(අයිසෙක්‌ ඇසිමොව් ගේ විද්‍යා ප්‍රබන්ධයක අනුවාදයකි)

දම්මිකා සෙනෙවිරත්න