logo4.gif (427 bytes)

arrow7.gif (1098 bytes)


පාසල් අධ්‍යාපන ක්‍රියාවලිය තුළ STEM අධ්‍යාපනය (STEM Education) නගාසිටුවමින් ප්‍රචලිත කිරීමට පියවර

විද්‍යා, තාක්‌ෂණ හා පර්යේෂණ අමාත්‍යංශය සංවිධාන කළ STEM අධ්‍යාපනය නගාසිටුවමින් ප්‍රචලිත කිරීමේ පළමු සමුළුව විද්‍යා, තාක්‌ෂණ හා පර්යේෂණ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා කොළඹ GLOBAL TOWER හෝටලයේ දී පැවැත්විණි.

විද්‍යා, තාක්‌ෂණ හා පර්යේෂණ අමාත්‍යංශයේ සුවිශේෂී වැඩසටහනක්‌ ලෙස පාසල් අධ්‍යාපන ක්‍රියාවලිය තුළ STEM අධ්‍යාපනය වඩාත් ප්‍රචලිත කිරීමට පියවර ගෙන තිබේ. විද්‍යා හා තාක්‌ෂණ ක්‌ෂේත්‍ර සමඟ සෘජුව ම බැඳී පවතින විද්‍යාව, තාක්‌ෂණවේදය, ඉංජිනේරු විද්‍යාව සහ ගණිතය යන විෂය ක්‌ෂේත්‍රයන් සුවිශේෂී ලෙස වෙන් කරගෙන එම විෂයන් හැදෑරීම සඳහා වැඩි පාසල් සිසුන් ප්‍රමාණයක්‌ යොමු කරවීම මේ වැඩසටහනේ අරමුණයි. අධ්‍යාපන අමාත්‍යංශයේ සහයෝගය මත වැඩසටහන ක්‍රියාත්මක වේ.

වත්මන් ශ්‍රී ලංකාවේ පාසල් අධ්‍යාපන ක්‍රියාවලිය තුළ අනිවාර්ය විෂයන් ලෙස විද්‍යාව හා ගණිතය අ.පො.ස. සාමාන්‍ය පෙළ දක්‌වා හැදෑරීම සිදු කළ ද ඉන් අනතුරුව අ.පො.ස. උසස්‌ පෙළට යොමු වන සිසුන් අතුරෙන් විද්‍යා විෂය ධාරාවන් (ජීව විද්‍යාව සහ ගණිතය) තෝරගනු ලබන්නේ ඉතා ම අවම ප්‍රතිශතයකි. වැඩි ප්‍රතිශතයක්‌ කලා සහ වාණිජ විෂය ධාරාවන් කරා යොමු වීම පැහැදිලිව පෙනේ.

ඉතා ශීඝ්‍රයෙන් දියුණු වන වර්තමානයේ මෙන්ම අනාගත ලෝකයේ පදනම හා තීරණාත්මක සාධකය නවෝත්පාදනයයි. මෙය හොඳින් අවබෝධ කරගෙන සිටින ලෝකයේ සංවර්ධිත රටවල් මීට බොහෝ කලකට පෙර සිට ම මේ STEM අධ්‍යාපනය (Science, Technology, Engineering, Mathematics) කෙරෙහි වැඩි අවධානයක්‌ යොමු කර එය ඉහළ නැංවීමට කටයුතු කර තිබේ.

සංවර්ධිත රටවල් සමඟ සසඳන විට තාක්‌ෂණික සංවර්ධනයෙන් අප සිටින්නේ වර්ෂ 15ක තරම් පසුපසිනි. වරින් වර ලෝකයේ නැඟී එන තාක්‌ෂණික රැළි නියමිත කාලයේ දී ග්‍රහණය කර නො ගැනීමත්, නවෝත්පාදනය ඉලක්‌ක කරගත් ආර්ථික ක්‍රමෝපායන්වලට යොමු නො වීමත් මේ සඳහා හේතු වී තිබේ.

වර්තමානයේ දී ශ්‍රී ලංකාව නැනෝ තාක්‌ෂණය, ජීව තාක්‌ෂණය, පරිගණක තාක්‌ෂණය යන ක්‌ෂේත්‍රයන්ට වැඩි නැඹුරු වීමක්‌ හරහා නවොත්පාදනය තුළින් සංවර්ධනය කරා ගමන් කිරීමට අවධානය යොමු කර තිබේ. ඒ ක්‌ෂේත්‍රවලින් අනාගත ලෝකය ජයගැනීමට අවශ්‍ය විද්‍යාඥයන්, තාක්‌ෂණවේදීන් නිර්මාණය කිරීම ඉලක්‌ක කරගනිමින් STEM අධ්‍යාපනය ප්‍රචලිත කරමින් අධ්‍යාපන ප්‍රතිසංස්‌කරණයක්‌ සිදු කිරීමට නියමිත ය.

මේ වැඩසටහනේ දී, ද්විතීයික මට්‌ටමේ පාසල්හි STEM අධ්‍යාපනය නගාසිටුවීම පිණිස පළාත් විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ විද්‍යා අධ්‍යාපනය භාර ගරු අධීක්‌ෂණ නිලධාරීන් සඳහා නැගී එන තාක්‌ෂණයන් පිළිබඳ දැනුවත් කිරීම පළමුව සිදු කෙරෙන අතර ඉන් අනතුරුව ඔවුන් හරහා එම දැනුම විධිමත් ලෙස පාසල් පද්ධතිය තුළට සම්ප්‍රේෂණය කිරීමට නියමිත ය. මෙහි දී නැනෝ තාක්‌ෂණය, ජෛවතාක්‌ෂණය, කෘත්‍රිම බුද්ධිය, අභ්‍යවකාශ තාක්‌ෂණය හා තොරතුරු හා සන්නිවේදන තාක්‌ෂණය වැනි ලොව නැගී එන නවීන තාක්‌ෂණයන් පිළිබඳව එම ක්‌ෂේත්‍රයන්හි ප්‍රවීණතාවක්‌ දක්‌වන දේශීය විදේශීය ශ්‍රී ලාංකික විද්‍යාඥයන් විසින් එම නිලධාරීන් දැනුම්වත් කෙරේ.

ඊට අමතරව විද්‍යා, තාක්‌ෂණ හා පර්යේෂණ අමාත්‍යංශය යටතේ ඇති කාර්මික තාක්‌ෂණ ආයතනය, නවීන තාක්‌ෂණය පිළිබඳ ආතර් සී. ක්‌ලාක්‌ ආයතනය, ශ්‍රී ලංකා නැනෝ තාක්‌ෂණ වැනි ආයතනයන්හි ක්‌ෂේත්‍ර චාරිකා සඳහා යොමු කරන අතර එහි දී එම පර්යේෂණාගාර වල සිදු වන නවීන තාක්‌ෂණයන් පිළිබඳව ද ප්‍රායෝගිකව දැනුම්වත් කෙරේ.

මේ අවස්‌ථාවට විද්‍යා, තාක්‌ෂණ හා පර්යේෂණ අමාත්‍යංශයේ ලේකම්, උදය සෙනෙවිරත්න, අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්, සුනිල් හෙට්‌ටිආරච්චි යන මහත්වරුන්, මධ්‍යම, උතුරු මැද හා වයඹ පළාත්වල විද්‍යා අධ්‍යාපන අංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ විද්‍යා අධ්‍යාපනය භාර ගුරු අධීක්‌ෂණ නිලධාරීන්, විද්‍යා, තාක්‌ෂණ හා පර්යේෂණ අමාත්‍යංශයේ සහ අධ්‍යාපන අමාත්‍යංශයේ නිලධාරීන් ඇතුළු පිරිසක්‌ සහභාගි වී සිටිය හ.