logo3.gif (702 bytes)

arrow7.gif (1098 bytes)


මෙවර ලෝක ජනගහන දිනයේ තේමාව 'සැලසුම්සහගත පවුලක්‌ - තිරසාර හෙටක්‌'

තව අවුරුදු හයකින් එනම්, 2023 දී ලෝක ජනගහනය බිලියන 8 ඉක්‌මවනු ඇත. එසේ ම ලෝක ජනගහනයෙන් අටෙන් එකක්‌ එනම්, බිලියනයක්‌ ම වයස අවුරුදු 60 ඉක්‌මවූ අය වනු ඇත. එසේ ම 2023 වන විට දැනට පවතින අනුපාතයට වඩා ඉහළ අනුපාතයකට පිරිමි ජනගහනය වර්ධනය වනු ඇත. මේ බව හෙළි වන්නේ පසුගිය සතියේ දී නිකුත් වූ එක්‌සත් ජාතීන් ගේ වාර්ෂික ජනගහන සමීක්‌ෂණය වාර්තාවෙනි. මේ ලිපිය ලියන මොහොතේ එනම් 2017.07.07 දින සවස 1.47ට සමස්‌ත ලෝක ජනගහනය 7,532,854,197කි. පුරුෂ ජනගහනය 3,799,630,677කි. ස්‌ත්‍රී ජනගහනය 3,733,223,536කි. එනම් පුරුෂ ප්‍රතිශතය 50.4%ක්‌ ද ස්‌ත්‍රී ප්‍රතිශතය 49.6%ක්‌ ද වේ. මේ ලිපිය අවසන් කළ මොහොතේ එනම් හවස 1.57ට ලෝක ජනගහනය 7,532,855,909ක්‌ විය. ඒ මොහොත් දීත් ස්‌ත්‍රී පුරුෂ ප්‍රතිශතය නොවෙනස්‌ ව පැවතිණි.

මෙය ඉතා සුළු පරතරයකි. එහෙත් වාර්තාව පෙන්වා දෙන්නේ මේ පරතරය 2023 දී තවත් ඉහළ යන බවයි. වර්තමානයේ එනම් 2017 දී ලෝක ජනගහන වර්ධන වේගය 1.2%කි. මෙය 1966 දී 2%ක්‌ ව පැවතිණි. 2050 වසරේ දී ලෝක ජනගහනය බිලියන 9.8ක්‌ දක්‌වා වර්ධනය වන බව ද මේ අධ්‍යයනය පෙන්වා දෙයි.

"පවුලක්‌ සැලසුම් නො කිරීම නිසා පවුල් අවුල් වීම ගැන සාහිත්‍යයේත් කියවෙනවා. 1970 ගණන්වල අපට පණිවිඩයක්‌ ආවා 'පුංචි පවුල රත්තරන්' කියලා. හැබැයි එයින් හැඟවෙන්නේ ළමයින් අවශ්‍ය නැහැ කියන එක නො වෙයි. ළමයි ඕනෙමයි. එහෙත් දරාගන්න බැරි තරම් ළමයි හොඳ නැහැ. බලන්න අපේ රාජාවලිය ගැන. රාවණ රජු ගැන හිතන්න. විජය ගැන හිතන්න. දුටුගැමුණු ගැන හිතන්න. මේ හැමට ම හිටියේ ළමයයි හෝ දෙන්නයි. ඒ කාලෙ දි අපේ රටේ අප ලොකුවට ළමයි හැදුවා කියා කතා ගෙතුවාට ඒ කතා බොරු. යමක්‌ කමක්‌ තිබූ අය අතීතයෙ දීත් ළමයි ගොඩක්‌ හැදුවේ නැහැ."

එසේ ප්‍රකාශ කරන්නේ සෞඛ්‍ය සේවා අධ්‍ය ජනරාල් ජයසුන්දර බන්ඩාර මහතා ය. ඔහු ඒ බව පැවසුවේ මෙවර ජනගහන දිනය වෙනුවෙන් ඉකුත් දා පැවැති මාධ්‍ය සකච්ඡාවේ දී ය. මෙවර ජනගහන දිනයේ තේමාව 'සැලසුම්සහගත පවුලක්‌ - තිරසාර හෙටක්‌' යන්න වේ.

පවුල් සැලසුම් කිරීම මානව අයිතිවාසිකමක්‌ වන අතර 2030 වසරේ දී තිරසර සංවර්ධන අරමුණු ළඟා කරගැනීම සඳහා මෙය ද වැදගත් ඉලක්‌කයක්‌ ලෙස සැලකේ. මෙමගින් කාන්තාවට තමන් ගර්භණීභාවයට පත් විය යුතු ද, එසේ නම් ඒ කුමන අවස්‌ථාවේ දී ද සහ කොපමණ වතාවක්‌ ද යන්න තීරණය කිරීමට අවස්‌ථාව ලබා දේ. පවුල් සැලසුම් මගින් කාන්තාවට, ඇය ගේ ශරීරය සහ ඇගේ අනාගතය පිළිබඳව දැනුවත් ව තීරණ ගැනීම සඳහා සවිබල ගැන්වීම තුළින් සෞඛ්‍යවත් සහ ආරක්‌ෂාකාරී ජීවිතයක්‌ ගත කිරීමටත්, ජාතික ආර්ථිකයේ සංවර්ධනයට තම දායකත්වය ලබා දීමටත් අවස්‌ථාව උදා කර දේ.

පවුල් සැලසුම් කිරීමේ වැදගත්කම හඳුනාගනිමින් සෞඛ්‍ය අමාත්‍යංශය ශ්‍රී ලංකාවේ ජාතික පවුල් සැලසුම් වැඩසටහනේ පළමු සමාලෝචන වාර්තාව පවුල් සෞඛ්‍ය කාර්යංශයේ දී ජූලි 10 දින එළිදක්‌වනු ලැබී ය.

1965 වසරේ දී ශ්‍රී ලංකාවට පවුල් සැලසුම් වැඩසටහන් හඳුන්වා දීමෙන් පසුව සිදු කරන ලබන පළමු සමාලෝචනය මෙය වේ. ජූලි 11 වැනි දින ලෝකය පුරා ලෝක ජනගහන දිනය සමරන අවස්‌ථාවේ දී මේ සමාලෝචනය සිදු කෙරිණි. එය ඉතා කාලෝචිත වාර්තාවක්‌ ලෙස සැලකිය හැකි ය.

ජාතික පවුල් සැලසුම් වැඩසටහන් සමාලෝචනය සිදු කරන්නේ රජයේ, සංවර්ධන පාර්ශ්වකරුවන් සහ රාජ්‍ය නො වන සංවිධානවල ප්‍රවීනයන් ගෙන් සැදුම්ලත් කණ්‌ඩායමක්‌ මගිනි. මේ පරිපූර්ණ වාර්තාව මගින් දැනට පවත්නා සේවාවන් සහ කාලීන අවශ්‍යතාවන් තක්‌සේරු කරන අතර මෙහි දී හඳුනාගන්නා ලද දුර්වලතාවන්ට විසඳුම් ලබා දීම සඳහා සුදුසු නිර්දේශ සපයනු ඇත.

මේ අවස්‌ථාවේ දී අදහස්‌ දක්‌වමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්‌ෂ ජනරාල් ජයසුන්දර බණ්‌ඩාර මහතා "1965 වසරේ දී ජාතික පවුල් සැලසුම් වැඩසටහන ආරම්භ කිරීමේ අවස්‌ථාවේ දී ම ශ්‍රී ලංකා රජය එය මාතෘ සහ ළමා සෞඛ්‍යයට ඒකාබද්ධ කරමින් මාතෘ මරණ සහ ළමා මරණ අඩු කිරීමට පවුල් සැලසුම් කිරීමේ වැදගත්කම කහවුරු කිරීමට කටයුතු කළා. දැනට පවත්නා අභියෝගවලට විසඳුම් ලබා දීමට සහ 2030 තිරසර සංවර්ධන න්‍යාය පත්‍රයේ ඉලක්‌ක ජයගැනීමට සඳහා මෙය ඉතා වැදගත් වෙනවා." යෑයි පැවසී ය.

එක්‌සත් ජාතීන් ගේ ජනගහන අරමුදලේ ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා වූ නියෝජිත රිට්‌සු නැකෙන් මහත්මිය අදහස්‌ දක්‌වමින් "ආරක්‌ෂාකාරී ව හා ස්‌වේච්ඡාවෙන් පවුල් සැලසම් ක්‍රම සඳහා ප්‍රවේශ වීමට හැකි වීම මානව අයිතිවාසිකමක්‌. ස්‌ත්‍රී පුරුෂ සමාජභාවය ප්‍රවර්ධනය කිරීම සහ කාන්තාවන් ගේ සවිබලගැන්වීමේ දී මෙය ඉතා වැදගත් වන අතර දරිද්‍රතාව අඩු කිරීම සඳහා ප්‍රධාන සාධකයක්‌. 2030 වසරේ දී තිරසාර සංවර්ධන අරමුණු ජයගැනීම සුරක්‌ෂිත වන්නේ ද යන කරුණු සහ මේ ක්‍රියාවලියේ දී සියලු ම දෙනා අන්තර්ගත වීම තීරණාත්මක බලපෑමක්‌ ඇති කරනු ලබනවා" යෑයි පැවසී ය.

ශ්‍රී ලංකාවට පවුල් සැලසුම් වැඩසටහන මුලින් ම හඳුන්වා දෙනු ලැබුවේ 1965 දී ය. ජාතික පවුල් සැලසුම් වැඩසටහන ශ්‍රීS ලංකා ජනතාව ගේ පවුල් සැලසුම් අවශ්‍යතා සපුරාලීමේ දී බොහෝ දුරට සාර්ථකත්වයක්‌ ළගා කරගෙන තිබෙන නමුත් සියලු දෙනාට ම ගූණාත්මකභාවයෙන් ඉහළ සහ සමානාත්මතාවෙන් යුතු ව මේ සේවාවන්ට හා තොරතුරුවලට ප්‍රවේශ වීමට අවස්‌ථාව ලබා දීමේ ගැටලු තවදුරටත් පවතී. පවුල් සැලසුම් පිළිබඳව පවත්නා සෘණාත්මක සංජානනයන් මේ සම්බන්ධයෙන් අභියෝග ඇති කරනු ලබයි. අනවශ්‍ය ගැබ්ගැනීම් වළක්‌වාගැනීම සඳහා පවත්නා මඳ සරුභාවය වළක්‌වාගැනීමටත්, ඒ සඳහා වූ ප්‍රතිකාර ලබා දීම මගින් කාන්තාවන්ට ගර්භණීභාවයට පත් වීමටත් උපකාර සලසා දේ.

ලෝක ජනගහන දිනයේ තේමාව තවදුරටත් අවධාරණය කරමින් පවත්නා මිථ්‍යා මත දුරු කිරීමටත්, පවුල් සැලසුම් වැඩසටහන් ඔස්‌සේ ජනතාව සවිබලගැන්වීමටත්, රටවල් සංවර්ධනය කිරීමට සහ ජන ජීවිත සුරැකීමටත් උපකාර වන අයුරින් ජාතික පවුල් සැලසුම් වැඩසහටන් සමාලෝචන වාර්තාව ජනතාව දැනුම්වත් කරනු ලබයි.

මේ අවස්‌ථාවේ දී මාධ්‍ය සම්මන්ත්‍රණයට සහභාගි වූ කොළඹ විශ්වවිද්‍යාලයයේ ප්‍රජා විද්‍යා අධ්‍යයන අංහයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ඉන්ද්‍රලාල් ද සිල්වා මහතා පෙන්වා දුන්නේ අපේ ජනගහනය වැඩි වීමට හේතුව මෑත දී කතුන් ගේ සඵලතාව බවයි. ලංකාවේ වයස අවුරුදු පනහේ දී කාන්තාවක ලබා සිටින දරුවන් ගණනෙහි සාමාන්‍යය (සමස්‌ත සාඵල්‍යතා අනුපාතය හෙවත් TFR අගය) 2.42කි. 1950 දී Total Fertility Rate - TFR අගය 3.4ක්‌ විය. 1998 දී එය 1.9ක්‌ විය. ලංකාවේ දැන් Living together ක්‍රමය ද ඉස්‌මතු වන බව පෙනී යන්නේ යෑයි ඔහු සඳහන් කරයි. යුද්ධයෙන් පසු රටේ ජනගහනය අඩු වූවා යෑයි සිතමින් එය පියවාගත යුතු යෑයි සිතන පිරිසක්‌ ද දැන් බිහි ව ඇත. අපේ මඳසරුභාවට අදාළ ප්‍රතිකර්ම ද වර්ධනය වී ඇත.

ශ්‍රී ලංකාවේ ජනගහනය 2042 දී මිලියන 25කට වඩා ඉහළ යන බව මහාචාර්ය ඉන්ද්‍රලාල් පැවසී ය. මේ තත්ත්වය අනුව පෙනී යන්නේ නිසි පවුල් සැලසුම් ක්‍රම අනුගමනය නො කළ හොත් අනාගතයේ දී මෙරට ජනගහන පිපිරුමක්‌ ඇති වීමේ අවදානමක්‌ පවතින බව ය.

මනෝඡ් රත්නායක