logo3.gif (702 bytes)

arrow7.gif (1098 bytes)


විදුසරට ජවය දුන් ආදි නිවැසියකු ගේ නික්‌ම යැම

විදුසරට හදවතින් ම ආදරය කළ ප්‍රභාත් වීරරත්න ගේ සොඳුරු හදවත ඉකුත් සතියේ සදහට ම නතර විය.

මිය ගිය කෙනකු වුව අවදි කිරීමට සමත් තරම් වන ක්‍රියාශීලිත්වයකින් සහ ප්‍රබෝධයකින් නිතර හැසිරෙන, අවට ගිගුම් දෙන හඩ පෞරුෂයකින් යුතු වූ ඔහු නිසල ව තනි ව අවසන් සයනයේ සැතපී සිටින දසුන ඔහුට අවසන් ගෞරව දක්‌වන්නට පැමිණි අය තුළ ඇති කළේ කම්පනයකි. ඔහු නැති අඩුව ඔවුනට නොඅඩු ව දැනුණා නිසැක ය.

ප්‍රභාත් කොළඹ ආනන්ද විදුහලෙන් පැමිණ විදුසරෙන් පටන්ගෙන පුවත්පත් කලාවේ මුදුනට ම ගිය මාධ්‍යවේදියෙකි. මිය යන විට ඔහු සේවය කළේ සත්හඩ ඉරිදා පුවත්පතේ සම කර්තෘ ලෙස ය. ඒ අතරතුර කාලයේ ජාතික පුවත්පත් ගණනාවක ඔහු ඉහළ වගකීම් දරා තිබේ.

කෙතරම් ඉහළට ගිය ද ඔහු කිසි විටක මුල අමතක කළේ නැත. මීට වසර 5කට ඉහත දී විදුසරට 25 වසරක්‌ පිරීම නිමිත්තෙන් ඔහු ලියූ සමරු ලිපියෙහි ද ඔහු කියා තිබුණේ යන එන අතරමග 'උපාලි පුවත්පත් ආයතනයේ සුවිසල් ගේට්‌ටුව දකින විට අදටත් මා සිත තුළ ඇති වන්නේ මෙය අපට පුවත්පත් කලාවේ 'අ' යන්න කියා දුන් මහගෙදර නො වේ ද යන සිතිවිල්ලයි' යනුවෙනි.

ප්‍රභාත්, ගතින් පමණක්‌ නො ව සාධනීයව සිතීමේ හැකියාවෙන් ද දැවැන්තයෙක්‌ විය. සදා මතකයේ රැඳෙන දැවැන්ත මාධ්‍ය කාර්යභාරයක්‌ ඉටු කිරීමට ඔහුට හැකි වූයේ එනිසා ය. ඔහු වඩාත් ප්‍රකට ව සිටියේ ගවේෂණාත්මක මාධ්‍යවේදියකු වශයෙනි. පළමු හමුවෙන් ම කෙනකු ගේ විශ්වාසය දිනාගැනීමට සමත් ඔහු ගේ හරබර වාග් විලාශය පමණක්‌ නො ව ඔහු තුළ වූ සෙසු අයට සාවධානව ඇහුම්කන් දීමේ ගුණය, ඔවුන් ගේ දුක සැප සොයා බැලීමේ හා පිහිට වීමේ පුරුද්ද යනාදී චර්යාවන් විසින් සමාජයේ හැම ක්‌ෂේත්‍රයක්‌ ම පාහේ නියෝජනය කරන අති මහත් වූ මිතුරු කැළක්‌ ඔහුට උපයා දෙනු ලැබ තිබිණි. මාධ්‍ය ගවේෂණයන්හි දී එම සම්බන්ධතා ජාලය ඔහුට ආශිර්වාදයක්‌ විය.

ප්‍රභාත් ගේ වචනවලින් ම කියනවා නම් ඔහුට තිබුණේ 'කට්‌ට කාගෙන ලිවීමේ ඇම්මකි'. එනිසා ම ඔහු ගේ ලිපි සැම විට ම ඉහළ මට්‌ටමේ සරු බවකින් යුතු විය. ලිවීමට සමවැදුණු විට ඔහුට රෑ දහවල් ගත වීම අමතක ය. එවකට වත්මන, විදුසර කර්තෘ මණ්‌ඩලවල කටයුතු නිම කර පිරිස නිවෙස්‌වලට යන්නේ පාන්දර යාමයේ ය.

ප්‍රභාත් කෙරෙන් සාමාන්‍යයෙන් දිස්‌ වන 'බරපතළ' ස්‌වභාවය එවකට ඇතැම් සගයන් සිය වෙහෙස නිවාගැනීම පිණිස විනෝදයකට ද පෙරළාගත් අවස්‌ථා ද එමට තිබිණි. එහෙත් ඔහු එවැනි ප්‍රතිචාර විනෝදයෙන් ම හෝ බැරි ම විටෙක උපේක්‌ෂාවෙන් හෝ බාරගත්තා මිස සෙස්‌සන් සමග ගැටුමක්‌ ඇති කරගන්නට ගියේ නැත.

ප්‍රභාත් අවසන් වරට, දැනට සති කිහිපයකට පෙර, විදුසරේ දැනට ඉතිරි ව සිටින සිය එක ම ආදි සගයාට දුරකථනයෙන් අමතා කීවේ 30 වැනි වසරටත්, 25ට වගේ ම ආදි සාමාජිකයන් ගේ අදහස්‌ එකතුවක්‌ පළ කරමු කියා ය. 25 වැනි සමරුවට ලියාගන්නට බැරි වූ තවත් මතක සටහන් රැසක්‌ ඔහු ළග තිබෙන්නට ඇත.

ප්‍රභාත් වීරරත්න මාධ්‍යවේදියා ගේ භූමිකාව පිළිබඳ සාධාරණ ආවර්ජනයක්‌ කරන්නට හදිසියේ ලියන මෙවැනි කෙටි සටහනක්‌ කොහෙත් ම ප්‍රමාණවත් නැත. ඔහු ලියා නිම කළ නොහැකි තරම් මතක සටහන් අනන්තයක්‌ ඉතිරි කර ගොස්‌ ඇත.

ප්‍රභාත් විදුසර 25 වැනි සංවත්සර කලාපයට ලියූ ලිපිය පහත අන්තර්ජාල සබැඳිය ඔස්‌සේ ඔබට කියවිය හැකි ය.

http://www.vidusara.com/2012/11/07/feature11.html