logo3.gif (702 bytes)

arrow7.gif (1098 bytes)


බළල් ගෘහාශ්‍රිතකරණය මුලින් ම සිදු ව ඇත්තේ මෑතපෙරදිග දී

බළලුන් යනු අතීතයේ සිට ම මිනිසුන්ට බොහෝ සමීප වූ සත්ත්ව විශේෂයකි. මී උවදුරට පිළියමක්‌ ලෙස මෙන්ම සුරතල් සතකු ලෙස ද ඇති කරන බළලුන් හා මිනිසුන් අතර සම්බන්ධයට සැලකිය යුතු ඉතිහාසයක්‌ ඇත. අතීතයේ යම් දිනයක බළලුන් ගෘහාශ්‍රිතකරණයට ලක්‌ වූ අතර ඒ කොතැනක කවර දා ද යන්න පැහැදිලි කිරීම මේ පිළිබඳ අවධානය යොමු කළ විද්‍යාඥයන් ගේ පර්යේෂණවලට පාදක ව තිබූ පැනයකි.

එහෙත් පසුගිය දා පළ වූ පර්යේෂණයකින් පෙන්වා දෙන ආකාරයට බළලුන් ගෘහාශ්‍රිතකරණය මුලින් ම සිදු වී ඇත්තේ මෑත පෙරදිග ප්‍රදේශයේ වන අතර පසුව පැරැණි ඊජිප්තුවේ ද එවැනි ගෘහාශ්‍රිතකරණයක්‌ සිදු ව ඇත. මේ සඳහා දායක වී ඇත්තේ එක ම වල් බළල් උප විශේෂයකි.

ප්‍රවේණික ද්‍රව්‍ය පිළිබඳ අධ්‍යයනයක්‌

වනගත ව වෙසෙන වල් බළලා (Wild cat) හෙවත් Felis silvestris විශේෂයේ උප විශේෂ පහක්‌ ලෝකයේ දැකිය හැකි ය. එහෙත් ඒ අතරින් ගෘහාශ්‍රිතකරණය වූ බළලා පැවතෙන්නේ කුමන විශේෂයකින් ද යන්න පැහැදිලි නො වී ය. මේ සියලු උප විශේෂ පෙනුමින් එක හා සමාන වන බැවින් ගෘහාශ්‍රිත බළලා ඇති වීමට හේතු වූ බළල් උප විශේෂය බාහිර රූපාකාරයෙන් වෙන් කර හඳුනාගැනීම කළ නොහැකි දෙයක්‌ විය. මේ නිසා මේ අධ්‍යයනය සිදු කළ විද්‍යාඥයන් ගේ අවධානය යොමු වූයේ බළලුන් ගේ ප්‍රවේණික ද්‍රව්‍ය මගින් ඔවුන් ගේ සම්භවය පිළිබඳ ගැටලුවට විසඳුමක්‌ ලබාගැනීමට ය.

මේ සඳහා ඔවුන් විවිධ පුරාවිද්‍යාත්මක ස්‌ථානවලින් ලබාගත් බළලුන් 209ක ගේ පමණ DNA දත්ත හදාරා ඇත. මේ සඳහා මෑත පෙරදිග, අප්‍රිකාව හා යුරෝපයෙන් ලබාගත් බළල් නිදර්ශකවලින් ලබාගත් මවු පාර්ශ්වයෙන් උරුම වන DNA හෙවත් mtDNA යොදාගෙන තිබේ. මේ පැරැණි DNA ලබාගැනීම සඳහා ලෝකයේ විවිධ ප්‍රදේශවලින් හමු වූ බළලුන් ගේ අස්‌ථි වැනි ශරීර කොටස්‌ යොදාගෙන ඇත. ඒවා අදින් වසර 100ක සිට 9,000ක්‌ පමණ දක්‌වා වූ කාල වකවානුවලට අයත් විය. එසේ ම මේ වන විට ලෝකයේ ජීවත් වන වල් බළලුන් ගේ ප්‍රවේණික ද්‍රව්‍ය ද මේ අධ්‍යයනය සඳහා යොදාගෙන ඇත. ඒ වල් බළල් විශේෂ අතරින් ගෘහාශ්‍රිත බළලුන්ට සම්බන්ධ වන්නේ කුමන විශේෂය ද යන්න අනාවරණය කරගැනීම සඳහා ය.

එක ම වල් බළල් විශේෂයකින් පැවත එයි

අධ්‍යයනයේ දී අනාවරණය වූ කරුණු අනුව අද ලෝකයේ දැකිය හැකි ගෘහාශ්‍රිත බළලුන් පැවත එන්නේ පෙර කී වල් බළල් උප විශේෂ අතරින් අප්‍රිකානු වල් බළලා ලෙස හඳුන්වන උප විශේෂය වන Felis silvestris lybica නම් උප විශේෂයෙනි. මේ වල් බළල් උප විශේෂය දැකිය හැක්‌කේ උතුරු අප්‍රිකාවේ හා මෑත පෙරදිග ප්‍රදේශයේ ය.

මෙහි දී හෙළි වී ඇති තොරතුරු අනුව බළලුන් ගෘහාශ්‍රිතකරණය වීම මුලින් ම සිදු ව ඇත්තේ මෑත පෙරදිග හෙවත් නිරිතදිග ආසියානු ප්‍රදේශවල බව මේ පර්යේෂකයන් ගේ අදහස වේ. මේ සඳහා හේතු වූයේ ඒ ප්‍රදේශවල විසූ මුල් ම ගොවීන් ගේ ධාන්‍යවලට මීයන් වැනි කෘන්තකයන් ගෙන් ඇති වූ හානිය විය හැකි ය. මේ සතුන් ගොදුරු කරගන්නා වල් බළලුන් ද එම කෘන්තකයන් දඩයම් කිරීමට මිනිස්‌ වාස ආශ්‍රිත ව වාසය කළ බව හා තමන්ට සිදු වූ සේවය නිසා ගොවීන් අතර වල් බළලුන්ට කැමැත්තක්‌ තිබෙන්නට ඇති බව සිතිය හැකි ය. එසේ කලක්‌ ගත වීමෙන් පසුව මිනිසුන් හා සමීප වී ගෘහාශ්‍රිතකරණය වන්නට ඇති බවත් මේ අනුව පෙනේ. ඒ අනුව මිනිසුන් විසින් බළලුන් අල්ලා ඇති කරන ලද බවට ඇති අදහස බැහැර වන බව පෙනේ. මේ ප්‍රදේශයෙන් ගෘහාශ්‍රිත බළලුන් මිනිසුන් සමග යුරෝපයට හා අප්‍රිකාවට ව්‍යාප්ත වී ඇත. මේ ව්‍යාප්තිය අදින් වසර 6,400කට පමණ පෙර ආරම්භ වූ බව පෙන්වා දී තිබේ.

කෙසේ වෙතත් ඉන් පසුව සිදු වූ තවත් ගෘහාශ්‍රිතකරණයක්‌ සම්බන්ධව ද මෙහි දී සාධක ලැබී තිබේ. ඊජිප්තුවේ අද වාසය කරන ගෘහාශ්‍රිත බළලා පැවත එන්නේ මුලින් ගෘහාශ්‍රිතකරණය වූ මෑත පෙරදිග ප්‍රදේශවලින් ගෙන ආ බළලුන් වෙතින් ද, එසේ නැත හොත් ඔවුන් පැවත එන්නේ ඊජිප්තුවේ ම සිදු වූ තවත් දෙවැනි ගෘහාශ්‍රිතකරණය ප්‍රතිඵලයක්‌ ලෙස ද යන්න මේ අධ්‍යයනයෙන් මතු වූ තවත් ගැටලුවකි. මේ දෙවැනි ගෘහාශ්‍රිතකරණය අදින් වසර 3,500කට පමණ පෙර සිදු ව ඇති අතර, ඉන් පසු එම බළලුන් මධ්‍යධරණි ප්‍රදේශවලට හා පැරැණි ලෝකයේ සෙසු රටවලට ව්‍යාප්ත වී තිබේ. එය සාර්ථක ව්‍යාප්ත වීමක්‌ සේ සැලකේ.

මේ ගෘහාශ්‍රිතකරණ සිදුවීම් දෙකට ම සම්බන්ධ වී ඇත්තේ අප්‍රිකානු වල් බළල් උප විශේෂය හෙවත් Felis silvestris lybica උප විශේෂයයි. බළලුන් ගේ ගෘහාශ්‍රිතකරණය සංකීර්ණ හා දිගුකාලීන ක්‍රියාවලියක්‌ වී ඇති බව පැහැදිලි ය.

බළලුන් ගේ ඇති වූ වෙනස්‌කම්

මේ ආකාරයෙන් මිනිසුන් සමග සමීප ලෙස වාසය කිරීමෙන් ගෘහාශ්‍රිතකරණය වූ බළලා තැනින් තැනට සංක්‍රමණය වූ මිනිසුන් සමග වෙනත් ප්‍රදේශවලට ව්‍යාප්ත වූයේ ය. එය ගොඩබිමින් මෙන්ම නැව් මාර්ගයෙන් ද සිදු ව තිබේ. රට රටවල් අතර පැවැති වෙළෙඳාම ද මීට හේතු වූ මූලික සාධකයකි. වෙළෙඳ නැව්වල මීයන් දඩයම් කිරීම සඳහා යොදාගත් බළලුන් නිසා ගෘහාශ්‍රිත බළලුන් වෙනත් ප්‍රදේශවලට පැතිර ගියේ ය. බෝල්ටික්‌ මුහුද ආශ්‍රිත ව පිහිටා තිබූ වයිකිං ජනාවාසයකින් ඊජිප්තුවට සමීපතා දක්‌වන බළලුන් ගේ අස්‌ථි ආදිය හමු වීම මේ ව්‍යාප්තිය පෙන්වන සිදුවීමකි.

මේ අධ්‍යයනයේ දී බළලුන් ගේ ප්‍රවේණික ද්‍රව්‍ය ආශ්‍රියෙන් බළලුන් ගේ සමේ දැකිය හැකි රටා ගැන අපූරු කරුණු හෙළි වී තිබේ. පළමුව ගෘහාශ්‍රිතකරණය කරන ලද බළලුන් වැඩි වශයෙන් ම ඉරි සහිත සතුන් වූ අතර මුල් කාලයේ වඩාත් දැකිය හැකි වූයේ මේ සතුන් ය. එය වල් බළලුන් ගේ සමේ දැකිය හැකි වූ රටාව හා සමාන විය. මේ සඳහා වෙනත් පුරාවිද්‍යාත්මක සාධක ද දැකිය හැකි ය. නිදසුනක්‌ ලෙස පැරැණි ඊජිප්තු චිත්‍ර ආදියේ දැක්‌වෙන්නේ ඉරි සහිත වූ බළලුන් ය. ශරීරයේ පැල්ලම් සහිත ස්‌වභාවයෙන් යුත් බළලුන් දැකිය හැකි වන්නේ මධ්‍යතන යුගයෙන් පසු ව ය. විශේෂයෙන් 18 වැනි සියවසේ දී පමණ සිට මේ තත්ත්වය වැඩි වශයෙන් දැකිය හැකි විය. වර්තමානය වන විට ගෘහාශ්‍රිත බළලුන් අතරින් 80%ක්‌ පමණ මේ පැල්ලම් සහිත (blotchiness) ස්‌වභාවයේ බළලුන් ය. එය වල් බළලුන් අතර දැකිය හැක්‌කේ ඉතා අඩුවෙනි.

මෙසේ බළලුන් ගේ සමේ රටාව වෙනස්‌ වීමට හේතුව ජානයක්‌ වන අතර එය සිදු ව ඇත්තේ බළලුන් අභිජනනයේ දී මිනිසුන් සිදු කළ තෝරාගැනීම නිසා බව මේ පර්යේෂකයන් ගේ අදහසයි. අතීතයේ දී මිනිසුන්ට බළලුන් ගේ පෙනුමට වඩා ඔවුන් ගේ හැසිරීම වැදගත් වී ඇත. වෙනත් ආකාරයකින් පවසන්නේ නම් බළලුන් අභිජනනයේ දී අතීතයේ දී වඩා වැදගත් වූයේ ඒ සතුන්ට මීයන් ඇල්ලීමට පැවැති හැකියාවයි. එහෙත් පසු කලක බළලුන් ඇති කිරීමේ දී සමේ රටාව වැනි කරුණුවලට ද වැදගත්කමක්‌ හිමි වූ බව පෙනේ. (මූලාශ්‍රය: Nature Ecology, DOI: 10.1038/s41559-017-0139)

ධනේෂ් විසුම්පෙරුම