logo3.gif (702 bytes)

HOME


විද්‍යා ප්‍රබන්ධ
මතකයේ එන්නත

(මේ ප්‍රබන්ධය 1993 ජූලි 21 සිට සැප්තැම්බර් 29 දක්‌වා විදුසර පුවත්පතේ පළ වූවකි).

කඳු අතරින් හිරු බැස යන අයුරු සැබැවින් ම සුන්දර ය. රතුපාට හිරු රැස්‌ වැදීමෙන් තුරුලතාවලින් ගහන කඳුවැටිය නොයෙක්‌ වර්ණයන් ගෙන් එළිය වී ඇත. තේ වතුත්, කුඹුරු යායවලුත් මහපාරෙන් වෙන් කරගත නොහැකි තරමට අපැහැදිලි ය.

මඳ සුළඟින් අවුල් වන කෙස්‌වැටිය සකස්‌ කරගනිමින් සූසන් කවුළුව අසල රැඳී සිටියා ය. සිතේ සතුටට පරිසරයේ සුන්දරත්වයත් එකතු ව ඇති සේ ඇයට දැනිණි.

තව සති දෙකකින තමන් විවාහ වනු ඇත.

පෙරුම්පුරා පැමිණි ගමනේ අවසානය දකින්නට තමන් කොතෙක්‌ කල් බලා සිටියා ද?

ජෝන් ගැඹුරු කල්පනාවක ය. මෙවන් බුද්ධිමත්, කරුණාවන්ත, කඩවසම් සැමියකු ලබන්නට තරම් මා වාසනාවන්ත වූ හැටි.. ඈ සිතුවා ය.

සූසන් කවුළුව අසලින් මෑත් වූයේ ජෝන් වෙනුවෙන් තේ කෝප්පයක්‌ පිළියෙල කරන්නට ය.

ජෝන් සුසුමක්‌ හෙළුවේ ය. තමන් දක්‌ෂයකු නො වූයේ ඇයි? තමා සදහට ම පහළ ශ්‍රේණියේ විධායක නිලධාරියෙක්‌ ද? ඉහළට යන්නට, ලෝකය දන්නා පුද්ගලයකු වෙන්නට තමන්ට හැකියාවක්‌ නැත. සූසනුත් මෙය තේරුම්ගෙන ඇත.

සූසන් තේ කෝපපයක්‌ ගෙන ජෝන් කරා පැමිණියා ය.

"මේ සාත්තු කරන්න ඉගෙනගන්නවා. බලන්න තේ එක රසයි ද කියලා."

ජෝන් නෙතගින් ඇය දෙස බැලුවේ සිනාසෙමිනි. එහෙත් ඔහු කණගාටුවෙන් පසු වන බවක්‌ සූසන්ට හැඟිණි.

"ඔයා ගෙ පඩියත් මට වැඩිය වැඩියි සූ..."

ඔහු සෙමින් පැවසුවේ ය.

"ඉතින්..... දෙන්න ගෙ ම සල්ලි එක පොකට්‌ එකට නේ යන්නේ. ඒක ගැන තියෙන ප්‍රශ්නේ මොකක්‌ ද?"

ජෝන් නිහඩ ව තේ තොල ගෑවේ ය.

මිටියාවත දෙසින් සංගීත රාවයක්‌ ගලා එයි. ඒ තමන් ඉතා ප්‍රිය කරන ගීයකි. තනුවට අනුව සූසන් සෙමින් දෙකකුල් පද්දන්නට වූවා ය.

"කීයට ද ඔයා ගෙ යාළුවො එන්නේ?"

ආ දෙකකුල් පැද්දීම නතර නො කරමින් ම ජෝන් ගෙන් විමසුවා ය.

"නවයට, නවය හමාරට ඒ වි. ඇත්තට ම කිව්වොත් එයාලා මගේ යාළුවෝ නෙවෙයි. මේ පර්යේෂකයෝ කට්‌ටියක්‌."

"ඉතින් රෑට කන්න දෙන්නත් වේ වි නේ."

ජෝන් ඈ දෙස බැලුවේ මදහසකින් යුතු ව ය.

"රෑ කෑමෙන් පස්‌සේ එනව කියලයි එයාල කිව්වේ, මේක මේ සුහද සාකච්ඡාවක්‌ නෙවෙයි. පොඩි ව්‍යාපාරයක්‌."

සූසන් දෙනෙත් විශාල කළා ය.

"ඔයා ඒක ඊට ඉසසෙල්ලා කිව්වෙ නෑ"

"මොනව ද කිව්වෙ නැත්තේ?"

"ඕක ව්‍යාපරයක්‌ කියලා. ඔයාට සහතික ද ඒක?"

"මං හිතන්නෙ එයාල එහෙම කිව්වා."

ජෝන් පැවසුවේ නොසන්සුන් වූ සිතකින් යුතු ව ය. කිසිවක්‌ පිළිබඳව නිසැක මතකයක්‌ ඔහුට නැත.

සූසන් ඉන් කලබල නො වූවා ය.

"ඔයා ඒ විදිහට හිතනව ද? මං හිතන්නේ.... කියල කිව්වෙ ඔයාට ඒක විශ්වාස නැති නිසා නේ. මේක ව්‍යාපාරයක්‌ නෙවෙයි කියලා ඔයාට පෙනෙන්නෙ නැද්ද? මේක ව්‍යාපාරයක්‌ නම් ඔයා වත් හවුල් කර ගනී වි යෑ."

"ඒක රහසක්‌....."

ජෝන් පවසන්නට විය.

"ඇත්තට ම මගේ වැඩපළේ දී වත් මගේ කාමරේ දී වත් මාව හම්බ වෙන්න ඒ ගොල්ලන් කැමති නෑ."

"ඇයි එහෙනම් මෙතන දි හම්බ වෙන්න?"

"ආ මමයි ඒක කිව්වෙ. ඔයා වත් ළඟ තියාගෙන මේකට මුහුණ දෙන්නයි මට ඕන කළේ."

සූසන් මොහොතක්‌ කල්පනා කළා ය.

"මොන විදිහේ රහසක්‌ ද කියන එක මත මාව ළඟ තියාගන්න පුළුවන් ද කියන එක ර පවතිනවා නේ ද? ඔයාට මොනවත් අදහසක්‌ ගන්න බැරි වුණා ද?"

"නැහැ. ඒත් මට හිතෙන විදිහට අපේ කොම්පැනියේ මට ඉහළින් ඉන්න පුළුවන් තාලෙ වැඩපිළිවෙළක්‌ වගෙයි."

"ඇයි ඔයා? දැන් ඉන්න තැන...."

සූසන් විමසුවේ මවිතයට පත් වෙමිනි.

"ඇයි මාව තෝරාගත්තහම"

ජෝන් කණගාටුවට පත් වූයේ ය.

"ඔයා ගෙ තනතුරේ ඉන්න මනුස්‌සයෙක්‌ එක්‌ක ඔය තරම් රහස්‌ වැඩ මොනවට ද? මට නම් හිතාගන්න අමාරුයි."

කිසිවකු පැමිණෙන බව දක්‌වමින් සීනුව නාද විණි.

"එයාලා එනවා."

සූසන් සෙමින් පැවසුවා ය.

ඈත කඳු ශිඛර තුළ හිරු ගිලී යමින් තිබිණ.

පුද්ගලයන් දෙදෙනෙක්‌ දොර අසලට පැමිණ සිටිය හ.

ඉන් පළමුවැන්නා වූ බොරිස්‌ කුෆsර්, ජෝන්ට මින් පෙර හමු වී තිබිණි. බොරිස්‌ සිරුරින් විශාල ය. නොඉවසිලිවන්ත බවක්‌ පෙන්නුම් කළේ ය. නිකටේ වූ එළු රැවුල, ඔහු වෙත තේජස්‌ පෙනුමක්‌ ආරුඪ කර තිබිණි.

වඩා කුඩා සිරුරකින් යුතු ඉවසිලිවන්ත පෙනීමක්‌ ද ඇති අනෙක්‌ තැනැත්තා ඩේවිඩ් ඇන්ඩර්සන් නම් විය. ඔහු ගේ දැස වහ වහා හැම තැන ම ගමන් කළේ ඒවායේ බලපෑමට සියලු දෙයක්‌ ම හසු කරගන්නට මෙනි.

"සූසන්"

ජෝන් තවමත් විවෘත කළ දොර අල්ලාගත් වන ම හිඳ සූසන් ඇමතුවේ ය. ඔහු ගේ කටහෙඩ් වූයේ කනස්‌සලු ගතියකි.

"මේ මං කියපු දෙන්නා. මෙයා බොරිස්‌...."

ඔහු බොරිස්‌ ගේ සම්පූර්ණ නම මතක්‌ කර ගන්නට උත්සිහ කළේ ය.

"බොරිස්‌ කූෆර්"

විශාල සිරුරින් යුත් පුද්ගලයා පැවසුවේ අමනාප වූ සේ ය.

".....මෙයා ඩේවිඩ් ඇන්ඩර්සන්..... මිස්‌"

ඔහු සූසන් වෙත හැරෙමින් විමසුවේ ය.

"සූසන් කොලින්ස්‌?"

ජෝන්ටයි අපිටයි අපේ කටයුත්ත කරගන්න ඔයා ගේ ගෙදර ඉඩ දුන්න එක ලොකු දෙයක්‌. ඔයා ගෙ වෙලාවයි, කාලයයි නාස්‌ති කරන්න වුණ එකට කණගාටුයි. ඒ වගේ ම ඒකට බොහෝම ස්‌තුතියි....."

"....අපි තවත් ස්‌තූතිවන්ත වෙනවා අපේ වැඩේ කරගන්න ඉඩ දීලා මිස්‌ කාමරෙන් යනවා නම්....."

එම පැනයෙන් තමන් පුදුමයට පත් වූ බවක්‌ නො පෙන්වමින් සූසන්, කූෆර් ඇමතුවා ය.

"මම එළියට යන්න ද ඕනේ. නැත්තම් අල්ලපු කාමරේට යන්න ද?"

"යාළුවෙක්‌ හම්බ වෙන්න වගේ යන්න පුළුවන් නම්...."

"නැහැ..."

සූසන් ගේ හඩ දැඩි විය.

".....මං එළියට යන්නෙ නැහැ...."

"ඔයා ගෙ වලාව ඕනෙ විදිහකට, ඔයා කැමති විදිහකට පාවිච්චි කරන්න".

"මම යන්නේ නෑයි කිව්වොත් නැහැ මයි. මට ඕන මේ මොකක්‌ ද කියල දැනගන්න."

කූෆර් කලබල වූ සේ ය. ඔහු ඇන්ඩර්සන් දෙස මෙහොතක්‌ බලා සිටියේ ය.

"ඒක රහසක්‌. මං හිතන්නේ ජෝන් ඔයාට තේරුම් කරන්න ඇති."

"සූසන්.."

සූසන් පවසන්නට වූවා ය.

"කිසි දෙයක්‌ තේරුම්ගන්නෙ නැහැ. තමන් නැති ව මෙතන දෙයක්‌ සිද්ධ වෙන්න ඕනැයි කියලා තේරුම්ගන්න ඕනෙත් නැහැ. මේක මගේ ගෙදර. අනිත් එක ජෝනුයි මමයි තව සති දෙකකින් බඳින්න ඉන්නේ. හරියට ම තව සති දෙකකින් අපි බඳිනවා. එතකොට ඔහේලට කටයුතු කරන්න වෙන්නේ අපි දෙන්න ම එක්‌කයි."

ඇන්ඩර්සන් පළමු වරට කතා කරන්නට විය. ඔහු ගේ කටහඩ ගැඹුරු ය. එමෙන් ම සුමුදු ය.

"බොරිස්‌ එයා හරි. එයාව මෙතනින් අයින් කරන එක වැරදියි. අපි එයාට යන්න කියනවයි කියන්නෙ එයා ගෙ හිතේ අපි මොනව ද කරන්න හදන්නෙ කියල දැනගන්න තද ආසාවක්‌ ඇති කරනවා කියන එකයි. මම එයාට කියනවා මෙතන ඉන්න කියලා."

සූසන් ගේ මුවට මඳ සිනාවක්‌ නැඟිණ.

"හොඳයි."

"මොනව ද මං ඔයාලට බොන්න ගේන්නෙ? මම බීම ගෙනාවට පස්‌සෙ ම අපිට වැඩේ පටන් ගන්න පුළුවන්."

දැන් හාත්පස ම අඳුරින් වට වී ඇති සේ ය. කඳු යායේ තැනින් තැන විදුලි බුබුළු දැල්වුණත් අවට අඳුර පරදන්නට ඒ මදි ය. සුළං රැල්ල සමඟ දැඩි සීතලත් මුසු ව ආයෙන් සූසන් ජනෙල් පියන්පත් වසා දැමුවා ය.

කූෆර් හා ඇන්ඩර්සන් බීම තොල ගාන්නට වූයේ අනතුරුදායක යමක්‌ සිදු කරන ලෙසිනි.

"ජෝන්... මං හිතන්නෙ නෑ අපේ කොම්පැනියෙ වැඩ ගැන ඔයා හොඳට දන්නව කියල. විශේෂයෙන් මොළයේ රසායනික ද්‍රව්‍ය ගැන."

කූෆර් කතාව පටන් ගත්තේ ය.

"පොඩ්ඩක්‌ වත් දන්නෙ නෑ"

ජෝන් පැවසුවේ අපහසුවෙනි.

"දැනගන්න හේතුවක්‌ තිබුණෙත් නෑ නේ."

ඒ ඇන්ඩර්සන් ය.

"ඒක මේ වගේ දෙයක්‌."

කූෆර් පවසන්නට වූයේ සූසන් දෙසට නොසතුටු බැල්මක්‌ යොමු කරමිනි.

"තාක්‌ෂණය ගැන විස්‌තර කියන්න ඕනෙ නැහැ."

ඇන්ඩර්සන් බාධා කළේ ය. කූෆර් මඳක්‌ රතු වූ සේ ය.

"මොළයට බලපාන රසායනික ද්‍රව්‍ය ගැනයි මේ පර්යේෂණ කෙරෙන්නෙ."

ඔහු පැවසුවේ ය.

"ඒක හරි සංකීර්ණ වැඩක්‌ වෙන්න ඕනෙ...."

සූසන් කල්පනාබර ව පැවසුවා ය. ජෝන් කතාවකින් තොර ව ම බලා හිදියි.

"ක්‌ෂීරපායින් ගේ මොළයේ එක එක අණු පිහිටල තියෙනවා..."

කූෆර් විස්‌තර කරන්නට විය.

"මේවායින් මොළයේ වැඩ කරනවා. හිතීම වගේ දේවල් පවා. ඉතින් මේ සම්බන්ධ තාක්‌ෂණික විස්‌තරවලින් වැඩක්‌ නැහැ.... ප්‍රශ්නය වෙලා තියෙන්නෙ අපි තවදුරටත් සතුන් එක්‌ක මේ පර්යේෂණ කරන එක. අපි මිනිසුන් එක්‌කයි වැඩ කරන්න ඕන."

"ඉතින් ඇයි වැඩ නො කරන්නෙ?"

සූසන් විමසුවේ කුතුහලයෙනි.

"මොනවා හරි වැරදුණොත් කොම්පැනියට අපකීර්තියක්‌ අත් කරල දෙන්න බෑ."

සූසන් සරදම් ලෙස සිනා වෙමින් ඔවුන් දෙදෙනා දෙස බැලුවා ය.

"ඒ කියන්නෙ ඔය දෙන්නා තමන් ගැන ම පර්යේෂණ කරගන්න ද යන්නේ?"

කූෆර් පිළිතුරු දෙන්නට සැරසුණ මුත් ඇන්ඩර්සන් ඒ වැළැක්‌වූයේ ය.

"නෑ මිස්‌ අපි මේක ජයගත්තොත් ඒක ඉතින් ඉතා ම හොඳ ජයග්‍රහණයක්‌. මේකෙන් පරාද වුණොත් අපේ මුළු අනාගතය ම ඉවරයි. ඒත් අපිට හොඳ විශ්වාසයක්‌ තියෙනව මේකෙන් දිනන්න පුළුවන් කියල. හැබැයි හානියක්‌ සිදු වෙන්නෙ නැති බව නම් සහතික වෙන්න පුළුවන්.... හා දැන් කූෆර් ඉතිරි හරිය ඔහේ කියන්න."

කූෆර් මඳක්‌ රැළි බුරුල් හැරියේ ය. ජෝන් තවමත් නිහඩ ව බලා හිදියි. ඔහු ගේ දිගු විසල් දැස භාවනාවකට සම වැදුණ සේ ආගන්තුකයන් වෙත යොමු වී ඇත.

"අපි ළඟ මතකය දියුණු කරන්න පුළුවන් රසායනික ද්‍රව්‍යයක්‌ තියෙනවා. ඒක පර්යේෂණ කරපු හැම සතෙක්‌ එක්‌ක ම හොඳට වැඩ කළා. මිනිසුන් ගෙ මතකයත් දියුණු කරන්න පුළුවන් කියල අපිට හොඳට ම විශ්වාසයි."

"හේ.."

ජෝන් භාවනාවෙන් මිදුණ සේ ය. "ඔව් තමන්ට ලැබෙන හැම දෙයක්‌ ම පිළිවෙළට ගබඩා කරගන්න මොළයට බෑ. දැන් බලන්න මේ දිව අග තියන දේ අපිට මතක නැති ව යනවා. ආයිමත් පස්‌සේ වෙලාවක මතක්‌ වෙනවා. වෙන දෙයක්‌ ගැන හිතද්දී මුලින් අමතක වුණු දෙයක්‌ මතක්‌ වෙනවා. මොළයට දැනගන්න දේවල් නියම පිළිවෙළට ආපහු දෙන්න බැරි වීමයි මෙතන තියෙන ප්‍රශ්නය. මං හරි නේ ද ඇන්ඩර්සන්..."

ඇන්ඩර්සන් මඳක්‌ තොල් උල් කළේ ය.

"මේකට හේතුව මොළයේ තියෙන ඒක රසායනික ද්‍රව්‍යයක්‌ අපි හදලා තියෙනවා. දැන් මේ රසායනික ද්‍රව්‍යයේ බලය නැති කරන්න පුළුවන් තවත් රසායනිකයක්‌ මේක අහිතකර ප්‍රතිඵල නෑ."

සූසන් හඩනගා සිනාසුණා ය.

"බළලා මල්ලෙන් එළියට එන්නේ දැන්. ඔහේලට ආපහු යන්න පුළුවන්. මගේ ජොනී ව ඕවට ගාවගන්න බැහැ."

තව කොටසක්‌ ලබන සතියේ
(අයිසෙක්‌ ඇසිමොව් ගේ විද්‍යා ප්‍රබන්ධයක අනුවාදයකි)
දම්මිකා සෙනවිරත්න