logo3.gif (702 bytes)

HOME


ක්‌වොන්ටාවේ කතාව 36
අයින්ස්‌ටයින් හා බෝර් සමඟ නො ගිය ක්‌වොන්ටම් යථාර්ථය පිළිබඳ ගැටලුව

"බෝර් මිය යැමට පෙර රාත්‍රියේ ඔහු සිය අවසාන රූප සටහන ඇඳ තිබිණි. ඒ, අයින්ස්‌ටයින් ඊට වසර 30කට පෙර ක්‌වොන්ටම්වාදයට එරෙහි ව එල්ල කළ චිත්ත පරීක්‌ෂණයක සටහනයි. අයින්ස්‌ටයින්ට මෙන් ම බෝර්ට ද මියෙන තුරා ම ක්‌වොන්ටම්වාදයේ හිසරදයෙන් ගැලවීමට හැකි වී නැත. කාට වුවත් යථාර්ථයට එරෙහි ව යැම ඒ තරම් ම අපහසු ය.

යුද්ධයෙන් පසු හයිසන්බර්ග් යම් කොන් වීමකට ලක්‌ විය. එහෙත් බෝර් සහ අයින්ස්‌ටයින් ඒ පරණ කෝන්තර හිතේ තියාගත්තෝ නො වූ හ. 1954 වසරේ ප්‍රින්ස්‌ටන්වලට පැමිණි හයිසන්බර්ග් පැය කිහිපයකට අයින්ස්‌ටයින් හමු විය. එය සුහද කතාබහක්‌ විය. "මම ඔබේ වර්ගයේ භෞතික විද්‍යාවකට කැමති නෑ. ඇත්ත...එය සංගතයි. ඒත් මම කැමති නෑ." අයිස්‌ටයින් කීවේ ය. මේ වන විටත් අයින්ස්‌ටයින් ගේ සෞඛ්‍ය තත්ත්වය වේගයෙන් පිරිහෙමින් තිබිණි. ඔහු ගේ මහා ධමනියේ වූ ඉදිමුම වැඩි වෙමින් ඇත. 1955 මුල දී ඔහු න්‍යෂ්ටික අවි හරණය පිළිබඳ ප්‍රකාශනයකට අත්සන් කළේ ය. එසේ කරන ලෙස ඔහු බෝර් ගෙන් ද ඉල්ලා සිටියේ ය. "මෙය ක්‌වොන්ටම්වාදය වගේ නො වේ. අප දෙදෙනාට ම සම්පූර්ණයෙන් ම එකඟ විය හැකි දෙයක්‌".

අයින්ස්‌ටයින් ගේ ගුරුත්වය අවකාශ-කාල ජ්‍යාමිතියයි. වස්‌තු හෝ විකිරණ (ශක්‌තිය) මඟින් අවකාශ-කාල ජ්‍යාමිතියත් අනෙක්‌ අතට ඒ ජ්‍යාමිතිය වස්‌තු හෝ විකිරණවල අවකාශ-කාල පැවැත්මත් නිර්ණය කරයි. ඒ ජ්‍යාමිතිය ඔහු ගිරිගොරියෝ රිසී ගේ ටෙන්සර් යොදාගෙන වීජ ගණිතයෙන් නිරූපනය කළේ ය. එමගින් හෙතෙම සමීකරණ 10ක්‌ නිර්මාණය කළේ ය. දෙවියන් විශ්වය මවා ඇත්තේ කලාත්මක රටාවකට බවත් ඒ රටා සමීකරණ මඟින් නිරූපනය කළ යුතු බවත් කියමින් ඔහු සිතැඟි පරිදි සිය සමීකරණවලට යම් විචල්‍යයන් ද එක්‌ කළේ ය. එහෙත් පසු කලෙක ඔහුට පෙනී ගියේ ඔහු ගේ දෙවියන් එතරම් කලාත්මක නො වන බවයි. හෙතෙම ඇතැම් විචල්‍යයන් ඉවත් කළේ ය. ඩී. සීටර් පෙන්වා දුන්නේ අයින්ස්‌ටයින් ගේ සමීකරණවලට අනුව හිස්‌ අවකාශ-කාලය ද වක්‍ර වීමකට ලක්‌ විය හැකි බවයි. එනම් නිව්ටන් කී ලෙස වස්‌තු නොමැති වුවත් නිරපේක්‌ෂ අවකාශය පවතී. වස්‌තු මඟින් අවකාශ-කාලය අර්ථ දැක්‌වේ යන අයින්ස්‌ටයින්ගේ මූලික අදහස මින් අභියෝගයට ලක්‌ විය. ඩී. සීටර් ගේ විශ්වය ප්‍රසාරණය වන්නකි. එය ද අයින්ස්‌ටයින් ගේ ස්‌ථිතික විශ්වය අභියෝගයට ලක්‌ කළේ ය. ප්‍රොයිඩ්මන් පෙන්නුවේ ප්‍රසාරණය සංකෝචනය යා ස්‌ථිතික පැවැත්ම යන තුන් ආකාරය ම විය හැකි බව ය. හබල් ගේත්, එඩින්ටන් ගේත් නිරීක්‌ෂණවලින් පසු ප්‍රසාරණය වන විශ්වය කාගේත් විශ්ව මාදිලිය විය. අයින්ස්‌ටයින් සිය සමීකරණ ණයෙන් වෙනස්‌ කළේ ය.

විශ්වයේ දේව රටා සෙවීම අතහැර දැමූ ඔහු ගුරුත්වය හා විද්යුත් චුම්බකත්වය එක්‌ කරන මඟක්‌ සෙවීමට පටන්ගත්තේ ය. ඔහු එහි දී විද්යුත් චුම්බකත්වය මෙන් ගුරුත්වය ද ශ්‍රාවයක්‌ ලෙස ගත්තේ ය. ඊට පෙර වයිල් හා එඩින්ටන් ද එවැනි ම උත්සාහයක්‌ දරා තිබිණි. තියෝඩර් කලුසා හා ඔස්‌කාර් ක්‌ලෙයින් ගේ අදහස්‌ අයින්ස්‌ටයින් ගේ නෙත ගැටෙන්නේ මේ අතර ය. ඔවුන් අවකාශ-කාල චතුර්මානයට අමතර ව පස්‌ වැනි මානය ලෙස විද්යුත් චුම්බකත්වය සලකා තිබිණි. ඔවුනට අනුව විද්යුත් චුම්බකත්වය (උදා: ආරෝපණ) මේ වක්‍ර වූ පස්‌වැනි මානයේ පවතී. ප්‍රතිවිරුද්ධ ආරෝපන පස්‌වැනි මානයේ ප්‍රතිවිරුද්ධ දිශාවල වේ. එමෙන් ම මේ පස්‌වැනි මානයට අවකාශ-කාලයට බලපෑම් කළ හැකි බව ද ඔවුන් පෙන්වා දී තිබිණි. අයින්ස්‌ටයින් මේ පස්‌වැනි මානයට වශී විය. ඒ සමඟ හෙතෙම දශක දෙකක්‌ වෙහෙසුණේ ය. අවසානයේ එය ද අතහැර දැමූ ඔහු අවකාශ-කාල තරංගයක්‌ ලෙස ගුරුත්වය දෙස බලන්නට විය. එය ද සාර්ථක වූයේ නැත. මේ අතර ම දැඩි ගුරුත්ව හමුවේ සිය සමීකරණ අනිර්ණ වීම ඉවත් කිරීමට ද හෙතෙම වෙහෙස විය. මෙසේ අයින්ස්‌ටයින් සිය අවසන් දශක කිහිපයේ ම "විශ්වයේ රහස" සොයාගන්නට අසාර්ථක උත්සාහයක්‌ දැරුව අතර අනෙක්‌ පුද්ගලයන් ගේ නව නිර්මාණ ගැන කිසිදු අවධානයක්‌ යොමු කළේ ද නැත. "මට හිතෙනවා මා පිළිතුරක්‌ ගැන කිසි ම බලාපොරොත්තුවක්‌ තැබිය නොහැකි විද්‍යා ප්‍රශ්නවල හිර වෙලා කියලා. මම සමාජෙනුත් හුදකලා වුණා." ක්‌වොන්ටම්වාදයේ යථාර්ථයට ගැරහීම ද ඔහු ගේ සිතට දැඩි ව වද දෙමින් තිබිණ. වරක බෝර් කීවේ අයින්ස්‌ටයින් නිකරුණේ සිය කාලය නාස්‌ති කරන බවයි.

1952 ඊශ්‍රායලයේ ප්‍රථම ජනාධිපති සියාන් වයිස්‌මාන් ගේ මරණින් පසු ඊශ්‍රායල ජනාධිපතිකම අයින්ස්‌ටයින්ට පිරිනැමුවත් ඔහු එය පිළිගත්තේ නැත. යුදෙව් ජාතික ව්‍යාපාරය වෙනුවෙන් පෙනී සිටියත් මැදපෙරදිග වෙන ම යුදෙව් රාජ්‍යයක්‌ සඳහා හෙතෙම කැමැත්ත පළ කළේ නැත. වරක්‌ ඔහු වයිස්‌මාන් ගෙන් ඇසුවේ "යුදෙව්වන්ට අරාබි ජාතිකයන් සමඟ සාමයෙන් සිටින්න බැරි වුණොත් අප (යුදෙව්වන්) වසර 2000ක දුක්‌ විදීමෙන් ඉගෙනගත් පාඩම කුමක්‌ ද?" යනුවෙනි. අයින්ස්‌ටයින් ගේ දෙවියන් ද සාම්ප්‍රදායික යුදෙව් දෙවියන් ගෙන් වෙනස්‌ විය. එය වඩාත් සමපාත වූයේ තවත් යුදෙව්වකු වූ ස්‌පිනොසා ගේ (පසුව ඔහු යුදෙව් සමාජයෙන් පිටුවහල් කරනු ලැබී ය) දැක්‌මටයි. "අපේ මනසට ග්‍රහණය කරගන්නට බැරි යම් රටාවක්‌ මේ විශ්වයේ තියෙනවා. එහි යම් ගුණ අපට වක්‍ර ව හැඟෙනවා. ඒ අසිරිමත් රටාව ගැන වූ භක්‌තිය මගේ ආගමයි" අයින්ස්‌ටයින් කීවේ ය. මෙය දෙවියන් විසින් විශ්වය මවා එය යම් රටාවකට චලිතයේ තබා ඇත යන පැරැණි කතාවේ වචන වෙනස්‌ කිරීමක්‌ පමණි.

1955 අප්‍රේල් 15 වැනි දින අයින්ස්‌ටයින් රෝහල්ගත කෙරිණි. හදිසි ශල්‍යකර්මයක්‌ කළ යුතු වුවත් ඔහු එය ප්‍රතික්‌ෂේප කළේ ය. "මා යා යුතු වේලාවට යා යුතුයි. කෘත්‍රිම ව ජීවිතයට එල්ලී සිටීමෙන් පලක්‌ නැහැ. මා ගේ කොටස මා සිදු කොට අවසන්. මේ මට යැමට වේලාව." දින දෙකකට පසු තත්ත්වය මඳක්‌ සුව අතට හැරුණු අතර, හෙතෙම සිය සුපුරුදු ලියන කඩදාසි ඉල්ලාගත්තේ ය. ඒ ඔහු නිම නො කළ සියල්ල පැහැදිලි කළ හැකි සිද්ධාන්තයේ තවත් යමක්‌ කිරීමට ය. අවසාන මොහොතේ හෝ ක්‌වොන්ටම්වාදය යථාර්ථයට යා කිරීමට ය. එහෙත් ගත වූයේ පැය කිහිපයකි. නැවත කිසිවක්‌ කළ නොහැකි ලෙස ඒ සුවිශේෂ මොළය නතර විය. 1955 අප්‍රේල් 18 දින අයින්ස්‌ටයින් එසේ මිය ගියේ ය. ඔහු ගේ ඉල්ලීම පරිදි එදින ම ඔහු ගේ සිරුර ආදාහනය කරන ලදී. "අයින්ස්‌ටයින් ගේ අභාවය මනුෂ්‍ය වර්ගයාට පිරිමැසිය නොහැකි පාඩුවක්‌. එහෙත් ඔහු ගේ මිතුරන් වීමට වාසනාව ලද අපට එය දරාගත නොහැකි දුකක්‌" බෝර් ලීවේ ය.

අයින්ස්‌ටයින්ට ක්‌වොන්ටම්වාදය ඒත්තු ගැන්වීමේ බෝර් ගේ දීර්ඝ කාලීන උත්සාහය අසාර්ථක විය. ඔහු ගේ මරණින් පසු ව වුව ද ක්‌වොන්ටම්වාදයේ යථාර්ථය පිළිබඳ ප්‍රශ්නය අවසන් වූයේ නැත. බෝර් ගේ හිතේ අයින්ස්‌ටයින් ජීවත් විය. "අයින්ස්‌ටයින් ගේ මිත්‍රශීලී සිනාව මට තාමත් පේනවා". බෝර් එන්න එන්න ම කාර්යබහුල විය. ලොව පුරා දේශන සඳහා ඉල්ලුම් ද බොහෝ විශ්වවිද්‍යාලවලින් ආචාර්ය උපාධි ද ගලා එන්නට විය. 1951 ඔහු සිය මූලිකත්වයෙන් පර්යේෂණ ආයතනයක්‌ පිහිටුවූ අතර එය සුප්‍රසිද්ධ සර්න් (CERN) ආයතනයයි. 1957 වසරේ ඔහු 'සාමය සඳහා පරමාණු' නම් සම්මානයෙන් ද පුදනු ලැබිණි. 1960 ජනවාරි මස 75 හැවිරිදි බෝර් දේශන මාලාවක්‌ සඳහා ඉන්දියාවේ සංචාරයක නිරත විය. ඉන්දියාවේ බොහෝ ප්‍රදේශවල ඔහු ඇවිද්ද අතර, ඔහු කැටුව ගියේ අගමැති නේරු ය. පසු ව ඔහු රුසියාවේත්, ඇමෙරිකාවේත් සංචාරයන්හි නිරත විය. බෝර් ගේ අදහස වූයේ ඔහු ගේ විශිෂ්ටතම නිර්මාණය නම් සිය අනුපූරකතා මූලධර්මය බවයි.

1962 නොවැම්බර් 17 දින බෝර් "ක්‌වොන්ටම්වාදයේ ඉතිහාසය" නමින් වූ පටිගත කිරීමකට සහභාගි විය. පසු දින දහවල් නින්දට ගිය ඔහු නැවත නැගිට්‌ටේ නැත. මාරාන්තික හෘදයාබාධයක්‌ හේතුවෙන් ඔහු මිය ගොස්‌ තිබිණි. "ලොවට විශිෂ්ටතම වූ විද්වතකු නැති වූවා පමණක්‌ නො ව, එදා මෙදා තුර බිහි වූ ඉහළ ම ප්‍රඥාවක්‌ ද අහිමි වී ඇත." නිව්යෝර්ක්‌ ටයිම්ස්‌ පුවත්පත වාර්තා කළේ ය. බෝර් මිය යැමට පෙර රාත්‍රියේ ඔහු ගේ කාමරයේ වූ කළු ලෑල්ලේ ඔහු සිය අවසාන රූප සටහන ඇඳ තිබිණි. ඒ අයින්ස්‌ටයින් ඊට වසර 30කට පෙර ක්‌වොන්ටම්වාදයට එරෙහි ව එල්ල කළ චිත්ත පරීක්‌ෂණයක්‌ වූ "ආලෝක පෙට්‌ටිය" පිළිබඳ සටහනයි. අයින්ස්‌ටයින්ට මෙන් ම බෝර්ට ද මියෙන තුරා ම ක්‌වොන්ටම්වාදයේ හිසරදයෙන් ගැලවීමට හැකි වී නැත. කාට වුවත් 'යථාර්ථයට' එරෙහි ව යැම, ඉන් මිදීම ඒ තරම් ම අපහසු ය.

අයින්ස්‌ටයින් ගේ හා බෝර් ගේ මරණවලින් පසු ව ද ක්‌වොන්ටම්වාදයේ යථාර්ථය පිළිබඳ ප්‍රශ්නය යට ගියේ නැත. ඒ අතර ම ක්‌වොන්ටම් ලෝකය සම්බන්ධයෙන් බොහෝ පරීක්‌ෂණ ද තව තවත් සිදු කෙරිණි. ඒ සියල්ල ක්‌වොන්ටම් සංසිද්ධිවල අද්භූත භාවයත් ප්‍රතිඵලවලින් එහා ගිය යථාර්ථය පිළිබඳ ගැටලුවත්, නියතිවාදයේ ගැටලුවත් තව තවත් පෙන්වා දුන්නේ ය. ඒවායේ නිරීක්‌ෂිත ප්‍රතිඵල පුරෝකථනයේ දී ක්‌වොන්ටම්වාදය අතිශයින් ම නිවැරැදි විය. අපට නිරීක්‌ෂණය වන දේට එහායින් ගිය පැවැත්මක්‌ ඇත් ද? එහි දී කෝපන්හේගන් අර්ථකථනය මෙන් ම බෝම් ගේ නියමු තරංග මාදිලිය ද යොදාගත හැකි ය. (තවත් මාදිලි ද ඇත). අනෙක්‌ අතට මේ සියලු මාදිලි ගොඩනගන්නේ ම මේ පරීක්‌ෂණවල අත්දැකීම් පැහැදිලි කිරීම සඳහා ම ය. මෙසේ ක්‌වොන්ටම්වාදයේ වැදගත් ම පරීක්‌ෂණයක්‌ වන්නේ ද්විත්ව සිදුරු පරීක්‌ෂණයයි. එය අද්භූත පරීක්‌ෂණයකි.

ලබන සතියේ : 37 කොටස : අද්භූත පරීක්‌ෂණයක්‌

සමිත ප්‍රසන්න හේවගේ