logo3.gif (702 bytes)

arrow7.gif (1098 bytes)


විද්‍යා ප්‍රබන්ධ
නිසි දඩුවම්

(මෙය 1993 ජූනි 30 සිට ජූලි 14 දක්‌වා විදුසර පුවත්පතේ පළ වූ ප්‍රබන්ධයකි. එය පළ වූයේ 'නිසි දඩුවමක්‌' මැයෙනි. )

අයන් බ්‍රැස්‌ඩ්ටොන් ඇවිදගෙන යන අතර තවත් නගරයකට පිවිසියේ ය. එහි එක්‌තරා සුපිරි වෙළෙඳසලක්‌ අසල මිනිසුන් එක්‌ රොක්‌ වී සිටිනු දුටු ඔහු එහි නැවතුණේ ය. ආපසු හැරී දිවීමට තරම් සිතක්‌ ඔහු තුළ මුලින් ඇති වුව ද පසුව එම සිතිවිල්ල මැඩපවත්වාගැනීමට ඔහුට හැකි විය. ත්‍රාසය පිළිබඳව වූ ඇල්ම විසින් ඔහු එහි රඳවා තැබිණ.

ඔහු තුළ වූ කුතුහලය විසින් ඔහු ගේ මුව විසල් ප්‍රශ්නාර්ථයක්‌ වූවා නිසැක ය. අසල වූවකු ඔහුට ළං වී සිදු වී ඇති සියල්ල පැහැදිලි කර දුන්නේ ඒ නිසා විය යුතු ය.

"ත්‍රිමාන චෙස්‌ ඒක හරි ම ත්‍රාසජනක ක්‍රීඩාවක්‌"

චෙස්‌ ක්‍රීඩාව පිළිබඳ සියල්ල ඔහු දැන සිටියේ ය. කොටින් ම ඔහු දක්‌ෂ චෙස්‌ ක්‍රීඩකයෙකි. පරිගණකයෙන් කළ මේ චෙස්‌ ක්‍රීඩාව වඩාත් චමත්කාර යෑයි ඔහුට සිතිණි. කිහිප දෙනෙක්‌ වට වී පරිගණකය පරාජය කිරීමට දැඩි උත්සාහයක්‌ ගනිමින් සිටිය හ. එහෙත් වැඩියෙන් ඉඩකඩ වූයේ ඔවුන් ගේ පරාජයට ය. "දැව තල්ලු" හයක්‌ එක්‌ "දැව තල්ලුවකි". පරිගණක රටාවල ඉවසිය නොහැකි දිස්‌නයට ඔහු ගේ දැස්‌ ඉබේ වැසිණ. ඔහු අමනාපයෙන් ඉවත බැලී ය. කුඤ්ඤ මත එකක්‌ උඩ එකක්‌ තබා සමබර කොට තිබූ චෙස්‌ ලෑලි අටක්‌ එවිට ඔහුට දක්‌නට ලැබිණ.

"සාමාන්‍ය චෙස්‌ ලෑලි, ප්ලාස්‌ටික්‌ චෙස්‌ ඉත්තෝ" හේ හදිසි විස්‌මයකින් කී ය.

"මීට වඩා කිට්‌ටු කරන්න අමාරුයි. මේක මා සකස්‌ කළේ බලාගන්නයි, පරෙස්‌සමෙන්, පෙරළන්න එපා." චෙස්‌ බෝඩ් ළඟ වූ තරුණයා කී ය.

"දැන් තත්ත්වය ඒක ද?" බ්‍රැඩ්ස්‌ටොන් ඇසී ය.

"ඔව් මේ කට්‌ටිය විනාඩි දහයක්‌ සාකච්ඡා කළා."

"බ්‍රැඩ්ස්‌ටොන් තත්ත්වය පිළිබඳව සියුම් ව සෝදිසි කොට බැලී ය."

"රැජන මාළිගේ B - 6, ඩෙල්ටා B - 5ට ඇද්දොත් වාසි ලැබෙයි." අනතුරුව බ්‍රැඩ්ස්‌ටොන් කී ය.

තරුණයා චෙස්‌ ලෑලි දෙස සුපරීක්‌ෂාවෙන් බැලී ය.

"ඔය ඇත්ත ම ද?"

"ඔව් මට හොඳට ම විශ්වාසයි. පරිගණකයේ ක්‍රියාව කුමක්‌ වුවත් රැජන

රැකීමට ගන්නා උත්සාහය ව්‍යර්ථයි." බ්‍රැඩ්ස්‌ටොන් කී ය.

තරුණයා තවත් සුපරීක්‌ෂාවෙන් බලා, "හේයි - මෙන්න මෙයා කියනවා, රැජන මාළිගේ මට්‌ටම් දෙකින් අදින්න ඕන කියලා."

ඇතුළත සිටියවුන් සාමූහික සුසුමක්‌ හෙළනු ඇසිණි.

"මාත් ඒක හිතුවා" ඉන් එකෙක්‌ කී ය.

"දැන් තේරුණා." දෙවැන්නෙක්‌ කී ය.

"ඔය යෝජනා කරන ඔබ ම ඇවිත් මේක අදිනව ද?" ඒ ඇසෙත් ම බ්‍රැඩ්ස්‌ටොන් පිටුපසට පැන්නේ ය. ඔහු ගේ මුහුණ භීතියෙන් ඇළලී විකෘති ස්‌වභාවයකට පත් විය.

"නැහැ, නැහැ, මං සෙල්ලම් කරන්නෙ නැහැ."

ඔහු ආපසු හැරී ඉක්‌මන් ගමනින් ඉවත් විය.

ඔහුට තද කුසගින්නක්‌ දැනෙන්නට විය. ළගක දී සිට ඔහු ඉන්නේ කුසගින්නේ ය.

පරිගණක ග්‍රහණයට දැඩි සේ හසු වූ ආර්ථිකයක වෙළෙඳ සංවිධායකයන් විසින් ඉඩකඩ ගැන නො තකා සංවිධානය කරන ලද පලතුරු වෙළෙඳ සංකීර්ණ, මෙසේ ඇවිදගෙන යන ඔහුට ඉදහිට හමු වෙයි. බ්‍රැඩ්ස්‌ටොන් සුපරීක්‌ෂාකාරී වූයේ නම් ඒවායින් ඇපල් ගෙඩියක්‌ හෝ දොඩම් ගෙඩියක්‌ හෝ සොරා ගෙන අතුරුදන් වීමට හොඳට ම ඉඩ තිබිණ.

එය භයානක දෙයකි. ඉන් ඔහු නීතියේ

රැහැනට හසු වීමට පිළිවන. එසේ වුව හොත් ඒවාට මුදල් ගෙවීමට ඔහුට සිදු වෙයි. මුදල් අතින් අඩුපාඩුවක්‌ ඔහුට නො වී ය. සෑහෙන තරම් මුදල් ඔහු ගේ ගිණුමට බැර කොට ඇත. එහෙත් මුදල් ගෙවීම ඔහුට ප්‍රශ්නයකි.

මෙසේ ඔහු ඇවිදගෙන යන අතර ඉබේ ම බොජුන්හලක්‌ අසලට පැමිණියේ ය. එහි මුළුතැන්ගෙහි පිසුණු රසමසවුළුවල සුවඳ දැනිණ. ඔහු ගේ කුසගින්න ඒ සුවඳ විසින් නැවතත් මකත් කර දෙන ලදි.

තවත් ඒ සුවඳ ඔහුට වාවාගෙන සිටිය නොහැකි විය. ඔහු බොජුන් හලේ ජනේලයක්‌ අසලට වී ඒ තුළින් ඇතුළට එබුණේ ය. බොහෝ දෙනකු එහි ආහාර ගනිමින් සිටින අයුරු ඔහුට පෙනිණ. කිසිවකු ගේ ඇසට ඔහු හසු වෙතැයි බියක්‌ ඔහු තුළ උපන. එසේ ම ජනේලයෙන් එබෙන තමා දෙස කුතුහලයෙන් සහ අනුකම්පාවෙන් ඔවුන් බලතැයි යන සිතිවිල්ල ද ඔහු තුළ ඇති විය. ඔහු වහා හිස එළියට ගෙන ජනේලයෙන් මෑත් විය.

ඔහු ගේ උදරය තුළ කැරුණු පෙරැළිය පිටතට වුව ඇසෙන තරම් විය. ජනේලයෙන් එබුණේ තමා පමණක්‌ නො වන බව වටපිට බැලීමේ දී ඔහුට පෙනිණ. කුඩා කොලුවකු ද තමා මෙන් ම ජනේලයකින් හිස දමා බොජුන්හල ඇතුළේ ආහාර ගනිමින් සිටින පිරිස දෙස බලනු ඔහු දුටුයේ ය. කොලුවා දස වසකට වඩා වයස්‌ නො වූවෙකි. එහෙත් තමා මෙන් ඔහු නම් කුසගින්නෙන් පෙළෙන්නකු නො වන බව කොලුවා ගේ සැටියෙන් පෙනිණ.

බ්‍රැඩ්ස්‌ටොන් කොලුවාට සමීප නො වී ම කරුණාවෙන් කථා කළේ ය.

"හලෝ පොඩි එකා, ඇයි බඩගිනි ද?"

කොලුවා සැකයෙන් ඔහු දෙස බලා "නැහැ"යි කියා හෙමින් සීරුවේ ජනේලය අසලින් ඉවත් විය. එහෙත් බ්‍රැඩ්ස්‌ටොන් කොලුවාට සමීප වීමට තැත් නො කළේ ය. යම් විදියකින් එසේ කළේ නම් නිසැක ව ම කොලුවා පැන දුවතියි යන බියක්‌ ඔහු තුළ ඇති විය.

"කෑම ඇණැවීමට තරම් ඔබ වයස ඇති නේ. ඇත්තෙන් ම හොඳ ආහාර වේලක්‌ ඇණැවන්න ඔබට බැරි ය?" ඔහු කොලුවා දෙසට හැරී කී ය.

කොලුවා තුළ වූ සැකය අභිබවා ගර්වය නැගී ආයේ ය.

"ඔව් ඕනෑ වේලාවක ඒක මට පුළුවන්." කොලුවා ආඩම්බරයෙන් කී ය.

"ඒ වුණාට ඔබට මුදල් පතක්‌ නෑ නේ ද? ඒ නැති ව ඔබ ඇණවුම් කරන්නේ කොහොම ද?"

කොලුවා සිය දුඹුරු ඇස්‌ යොමා බ්‍රැඩ්ස්‌ටොන් දෙස හොඳින් බැලී ය. ඔහු මනාව හැඳ පැළඳ සිටි අතර බුද්ධිමත් බවක්‌ විදහා පෑ ය.

"මේ මා ළඟ මුදල් පතක්‌ තියෙනවා. ඔබට ඕනෑ ම දෙයක්‌ මින් ඇණවුම් කරන්න. මටත් යමක්‌ ගෙනෙන්න. රස හැම්බර්ගයක්‌, තැම්බූ අර්තාපල්, කෝපි, ඇපල් පූපයක්‌. මට එච්චරයි." ඔහු කොලුවා අමතා කී ය.

"මා ගෙදර ගිහිල්ලයි කෑම කන්නේ" කොලුවා ගාණකට නො ගෙන කී ය.

"ඒයි මෝඩ වෙන්න එපා. ඒවා ගෙදර ඉතුරු වෙන්නෙ නෑ. ඔබ මෙහේ ආ විත්තිය අම්මලා දන්නවා ඇති නේ."

"අපි මෙහෙන් ඕන තරම් කෑම කාලා තියනවා." කොලුවා ආඩම්බරයෙන් කී ය.

"ඔය කියන්නෙ. ඉතින් අදත් මෙහෙන් කන්න කෝ. මේ මුදල් පත ඔබ පාවිච්චි කරන්න. හරියට ලොකු මිනිහෙක්‌ වගේ. ආ... ගන්න. ඉස්‌සරවෙලා ඔබ ඇතුළට යන්න."

බ්‍රැඩ්ස්‌ටොන් තුළ කිසි ම චකිතයක්‌ ඇති නො විණ. කොලුවා ලවා තමා මේ කරවන දැයින් කොලුවාට හානියක්‌ වෙතැයි ඔහුට මදකුදු නො සිතුණේ ය. කෙසේ වුව ද මේ සිද්ධිය දෙස පිටතින් බලා සිටියකු නරක සහ සාවද්‍ය තීරණයකට එළඹෙන්නට ඉඩ තිබිණ.

අවස්‌ථාවක්‌ ලබා දුන හොත් තමා පිළිබඳ යථාර්ථය පැහැදිලි කිරීමට බ්‍රැඩ්ස්‌ටොන්ට හැකි ය. එහෙත් තමාට කළ නොහැකි දැයක්‌ කුඩා කොලුවකු ලවා ඉටු කරගන්නා බව අනාවරණය වූ විට ඉන් ඔහු අවඥවට භාජන වීම ඔහු නුරුස්‌සයි.

කොලුවා ද මඳ වේලාවක්‌ දෙගිඩියාවෙන් පසු විය. ඉක්‌බිති ඔහු බොජුන්හලට ඇතුළු විය. කොලුවාත් තමාත් අතර සෑහෙන පරතරයක්‌ සිටින සේ බ්‍රැඩ්ස්‌ටොන් කොලුවා පිටුපසින් ගමන් කළේ ය.

කොලුවා ආහාර ගනිමින් සිටි කිහිප දෙනකු පසු කර ගොස්‌ මේසයක්‌ ළඟ වාඩි විය. මඳ වේලාවකින් බ්‍රැඩ්ස්‌ටොන් ද එතැනින් ම විත් කොලුවා ඉදිරිපසින් වාඩි විය.

බ්‍රැඩ්ස්‌ටොන් සොර සිතකින් මෙන් සිය මුදල් පත කොලුවා අත තැබී ය. අමිහිරි ස්‌පර්ශයක්‌ ලද කලක මෙන් සිය අත නළියනු ඔහුට දැනිණ. මේ දිනවල එම ස්‌වභාවය ඔහු ගේ දැත් අත නෑර රැඳී ඇත. මුදල් පත අතපත ගැවෙන හැම විට ම විදුලිය දහරක්‌ වැදුණු විටෙක මෙන් මුළු ගත පුරා ම දිවෙන හිරියක්‌ ඔහුට දැනෙයි.

ඔහු ගේ දැස්‌ වටා මස්‌පිඩු නටවන දැඩි ලෝහමය දිස්‌නයක්‌ ඉන් නිකුත් වූයේ ය. ඒ දෙස බැලීමට ඔහුට නුපුළුවන. එය අතිශයින් ම වේදනාකාරී එකක්‌ විය. එහෙයින් ඉන් මිදීම ඔහුට මහත් සහනයක්‌ ගෙන දුන් සෙයකි.

මුදල්පත ගත් කොලුවා තවත් බලා හිඳිනු දුටු ඔහු,

"දරුවා, යන්න ගිහින් කෑම තෝරගෙන එන්න"යි කී ය.

කොලුවා මුලින් කීයේ බොරුවක්‌ නො වේ. පරිගණකය හොඳින් හැසිරවීමේ හැකියාවක්‌ ඔහුට තිබිණි. ඔහු එහි නිපුණයෙකි.

"හැම්බර්ගයක්‌, ඔබට තව තැම්බූ අර්තාපල්, ඇපල් පූපයක්‌, කෝපි, ඉතින් සැලඩ් එහෙමත් ඕනෙ ද?" වැඩිහිටියකු ගේ ස්‌වරයෙන් කොලුවා ඇසී ය.

"අපේ අම්මා ආවොත් හැම දා ම ඇණැවුම් කරන්නේ සැලඩ්ෘ නමුත් මා ඊට කැමති නෑ....." කොලුවා නැවතත් කී ය.

"ඒ වුණත් ඒකෙ රස බලන්න මම කැමතියි. මිශ්‍ර කොළ පාට සැලඩ් මෙහෙ තියනව ද?"

කොලුවා කෙළින් ම පරිගණකය වෙත ගියේ ය. ගොස්‌ නො පැකිළ කදිම නිපුණත්වයකින් මුදල් පත පරිගණකයට ඇතුළු කළේ ය. මෙය සුපරීක්‌ෂාවෙන් බලා සිටි බ්‍රැඩ්ස්‌ටොන්ට ඊර්ෂ්‍යාවක්‌ සිතිණි. ඔහු ගේ උදරය පෙරළාගෙන පිටතට එන්නාක්‌ සේ ද දැනෙන්නට විය.

වුවමනා ආහාර පාන සඳහා අවශ්‍ය ඇණැවුම් කළ කොලුවා මුදල්පත බ්‍රැඩ්ස්‌ටොන්ට ආපසු භාර දුන්නේ ය.

"මා හිතනවා ප්‍රමාණවත් මුදල් ඇතැයි කියා" කොලුවා වාඩි වෙමින් වගකිවයුතු පුද්ගලයකු මෙන් බ්‍රැඩ්ස්‌ටොන් දෙසට හැරී ඇසී ය.

"සටහන් වූ සංඛ්‍යාව ඔබ දුටුව ද?" බ්‍රැඩ්ස්‌ටොන් හනික ඔහු ගෙන් ඇසී ය.

"ඕ.. නෑ. අපේ තාත්තා මට කියා තියෙනවා ඒවා බලන්න එපා කියලා. මුදල් පත ප්‍රතික්‌ෂේප වුණේ නැති නිසා කෑමවලට ප්‍රමාණවත් තරම් මුදල් ඇතැයි කියා සිතනවා."

කඩ වුණු බලාපොරොත්තුවක්‌ ගැන බ්‍රැඩ්ස්‌ටොන් තුළ ඇති වූ සිතිවිල්ල ඔහු ආයාසයෙන් යටපත් කැරගත්තේ ය. සංඛ්‍යා කියෑවීම බ්‍රැඩ්ස්‌ටොන් ද නො රිස්‌සූ එකකි. එය අනෙකකු ලවා කියෑවීමට ද සිත් නො දුන්නේ ය. එවන් අවස්‌ථාවල දී බැංකුව වෙත ගොස්‌ එය අසා දැනගැනීමේ ක්‍රමෝපායක්‌ යොදාගැනීමට ඔහුට සිදු විය.

ලබන සතියේ තවත් කොටසක්‌

(අයිසෙක්‌ ඇසිමොව් ගේ විද්‍යා ප්‍රබන්ධයක අනුවාදයකි)
ආර්. බී. අතපත්තු