logo3.gif (702 bytes)

HOME


ක්‌වොන්ටාවේ කතාව 33
ලෝකය දවාලන මාරයා දැන් මම වෙමි!

"ක්‌ෂණයෙන් මුළු අහස ම ඒකාලෝක විය. ආරක්‌ෂිත අව් කණ්‌ණාඩි පැළඳ සිටියත් ඔවුන් ගේ දැස්‌ නිලංකාර වී ගියේ ය. කන් බිහිරි කරන ගිගුරුම් හඩ සහිත ආ මහා කම්පන තරංගය කිලෝමීටර් 150කටත් වඩා දුරකට විහිද ගියේ ය. පෝරණුවක්‌ තුළ මෙන් උෂ්ණත්වය ඉහළ ගියේ ය. ගල්ගැසී ගිය ඔවුන් ඊළඟට දුටුවේ අඩි 40,000ක්‌ පමණ උසට විහිදි ගිය හත්තක්‌ හැඩයට වූ වලාවකි.

1943 වසරේ ඔක්‌තෝබර් 1 වැනි දා ඩෙන්මාර්කයේ යුදෙව්වන් හිට්‌ලර් විසින් නෙරපා හැරීමට යන බව බෝර්ට කල් තියා දැනගන්නට ලැබිණි. හිට්‌ලර් 'අවසාන විසඳුම' ("Final Solution") තෝරාගෙන තිබිණි. මුලින් හිට්‌ලර් ගේ අදහස වූයේ යුදෙව්වන් මැඩගස්‌කර් දූපතේ පදිංචි කරවීමට ය. බෝර් ගේ මව ද යුදෙව් ජාතික කාන්තාවකි. ඔහු සිය පවුල සමඟ ස්‌වීඩනයට පලා ගියේ ය. එතනින් ස්‌කොට්‌ලන්තයට පැන ගියේ ය. වැඩි කල් නො ගොස්‌ ඇමෙරිකාවේ ප්‍රින්ස්‌ටන්වලට ගිය ඔහු පරමාණු බෝම්බ ව්‍යපෘතියට සම්බන්ධ විය. ඒ නිකොලස්‌ බේකර් නම් අන්වර්ථ නාමයෙනි. ඔහු හිතුවාට වඩා ඒ ව්‍යාපෘතිය බොහෝ ඉදිරියෙන් විය. ඒ වන විටත් එන්රිකෝ ෆර්මි (Enrico Fermi) විසින් ප්‍රථම න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරකය ද (Reactor) නිපදවනු ලැබ තිබිණි.

1945 වසරේ මුල වන විටත් යුරෝපයේ තත්ත්වය කණපිට හැරී තිබිණි. නැෙගනහිර දෙසින් සෝවියට්‌ රතු හමුදා බර්ලින් දක්‌වා ම ජර්මන් හමුදා එළව එළවා පහර දෙමින් ඇත. යුරෝපයේ මහා නගරය වූ බර්ලිනය දැන් නටබුන් ගොඩකි. ආඩෙන්ස්‌ ඝන වනයේ තීරාණාත්මක සටන (Battle of the Bulge) ජර්මන් බටහිර පෙරමුණේ අවසානය විය. 1945 අප්‍රේල් 30 දින හිට්‌ලර් සියදිවි නසාගත් බව ප්‍රකාශ කෙරිණි. ජර්මනිය කොන්දේසි විරහිත ව යටත් විය. එතැන් සිට ලක්‌ෂ්‍ය ගණනක්‌ යටත් වූ ජර්මන් හමුදා සෙබළුන් ඝාතනය කෙරුණු අතර, මිලියනයකට වඩා ජර්මන් කාන්තාවෝ දුෂණයට ලක්‌ වූ හ. ඒවාට වැරැදිකරුවන් සිටියේ නැත. මෙසේ යුද්ධය අවසන් වෙමින් තිබුණත් ඇමෙරිකාවේ පරමාණු බෝම්බය තැනීමේ වේගය අඩු වූයේ නැත. ඒ වන විටත් අවශ්‍ය ප්‍රමාණයට යුරේනියම් 235 වෙන් කරගෙන තිබිණි.

දිනය 1945 ජූලි 16. වෙලාව උදෑසන 5.30ට ආසන්න ය. ඇමෙරිකාවේ නිව් මෙක්‌සිකෝ කාන්තාරය මැද ඒ "ගැජට්‌ටුව" එල්ලා තිබුණේ අඩි 100ක්‌ පමණ උසිනි. ඊට කිලෝ මීටර් 6කටත් වඩා දුරකින් හාර සිය විසි පස්‌ දෙනකු කොන්ක්‍රීට්‌ බංකර් තුළ තෙරපෙමින් ඇස්‌ පිය නො හෙළා බලා සිටින්නේ ඔවුන් ගේ වසර පහක අසීමිත වෙහෙසේ අවසන් ඵලය කෙසේ වේ දැයි කියා ය. ගණන් කිරීම ඇරඹිණි. දහයයි ...නවයයි...අටයි...සියල්ලන් ගේ හුස්‌ම ගැනීම පවා නතර විය. තුනයි...දෙකයි....එකයි.....

ක්‌ෂණයෙන් මුළු අහස ම ඒකාලෝක විය. ආරක්‌ෂිත අව් කණ්‌ණාඩි පැළඳ සිටියත් ඔවුන් ගේ දෑස්‌ නිලංකාර වී ගියේ ය. සූර්යයන් කිහිපයක්‌ පෑව්වාක්‌ මෙන් කාන්තාරය අවට කඳු තත්පර කිහිපයක්‌ පුරා ආලෝකවත් විය. ඊළඟට කන් බිහිරි කරන ගිගුරුම් හඬ සහිතව ආ මහා කම්පන තරංගය බංකරය තුළ කිහිප දෙනකු බිම දැමීමට ද සමත් වූ අතර, ඒ කම්පනය කිලෝ මීටර 150කටත් වඩා දුරකට විහිද ගියේ ය. මොහොතකින් පෝරණුවක්‌ තුළ මෙන් උෂ්ණත්වය ඉහළ ගියේ ය. ගල්ගැසුණු ඔවුන් ඊළඟට දුටුවේ අඩි 40,000ක්‌ පමණ උසට විහිදී ගිය හත්තක්‌ හැඩයට වූ වලාවකි.

එසේ ලොව ප්‍රථම පරමාණු බෝම්බය අත්හදා බැලීම (Trinity Test) සිදු විය. එය TNT ටොන් 18,000කට සමාන පිපුරුමක්‌ විය. බෝම්බය පුපුරා ගිය උෂ්ණත්වය අංශක මිලියන දහයක්‌ පමණ වූයේ යෑයි ගණන් බලා ඇත. ඒ අවට කාන්තාරයේ වැල්ල උණු වී වීදුරු බවට පත් ව තිබිණි. එය සියෑසින් දුටුවෝ මෑන්හැටන් ව්‍යාපෘතියට සම්බන්ධ වූ භෞතික විද්‍යාඥයෝ, ඉංජිනේරුවෝ සහ ඉහළ යුද නිලධාරියෝ ය. "හිරු සියයක්‌ එක්‌වර පෑයුවාක්‌ ලෙස ලෝක දවාලන මාරයා මම වෙමි දැන්" හින්දු භගවත් ගීතාවේ පාඨයක්‌ උපුටා දක්‌වමින් පරමාණු ගින්නේ වියරුව දුටු ඔපන්හයිමර් කීවේ ය. ඇතැමෙක්‌ සතුටින් උඩ පැන්නා හ. තවත් අයකු ගේ දෙනෙත්වල සතුටු කඳුළු ය. එහෙත් බොහෝ දෙනා තව මත් වික්‌ෂිප්ත ව ගල්ගැසී සිටින්නේ අනාගත ලෝකයට විය හැකි මහා විනාශයක සේයාව ඔවුන්ට දැනුණ නිසා ය. එහෙත් ඒ වන විටත් තවත් මෙවැනි ම බෝම්බයක්‌ පැසිෆික්‌ සාගරයේ මරියානා දූපත්වලට නැව්ගත කර තිබුණු බව ඔවුන් බොහෝ දෙනකු දැන සිටියේ නැත.

1945 අගෝස්‌තු 6 වැනි දින උදේ 8:16ට ජපානයේ හිරෝෂිමා නගරයට ලොව ප්‍රථම න්‍යෂ්ටික ප්‍රහාරය එල්ල විය. එහි 290,000ක්‌ පමණ සිටියේ සිවිල් වැසියන් ය. හමුදාව සිටියේ 43,000ක්‌ (13%) පමණි. එහෙත් ඇමෙරිකානු ජනාධිපති ට්‌රූමන් කීවේ හිරෝෂිමාව සම්පූර්ණයෙන් ම යුදමය ඉලක්‌කයක්‌ බවයි. පාසල්, රෝහල් සියල්ල සමඟ හිරෝෂිමාව බිමට සමතලා විය. පළමු කිලෝ මීටර් දෙක තුළ සියල්ල අළු වී තිබිණි. මිනිසුන් වාෂ්ප වී තිබිණි. ඔපන්හයිමර් කී ලෙසම එය ලෝක දවාලන මාරයකු බව හිරොෂිමා වැසියන් අත්වින්දත් එය කියන්නට ඒ බොහෝ දෙනෙක්‌ ඉතිරි වූයේ නැත. 1945 අවසානය වන විට ප්‍රරහාරයෙන් මිය ගිය ප්‍රමාණය 140,000ක්‌ ද, වසර 5කට පසු එය 200,000ක්‌ ද විය. "මෙය ලෝකය ඉතිහාසයේ වැදගත් ම සිද්ධියයි" ප්‍රහාරය ආරංචි වූ විට ට්‌රූමන් කීවේ ය. දින තුනකට පසු නාගසාකි නගරයට දෙවැනි පරමාණු බෝම්බය පතිත විය. වසර පහකට පසු මිය ගිය ප්‍රමාණය 140,000ක්‌ පමණ විය. අගෝස්‌තු 14 ජපානය කොන්දේසි විරහිත ව යටත් විය. ඒ දෙවැනි ලෝක යුද්ධයේ අවසානය සලකුණු කරමිනි.

ඇත්තෙන් ම පරමාණු බෝම්බයක්‌ ජපානයට දැමීමේ අවශ්‍යතාවක්‌ තිබුණේ ද? එය යුද්ධය අවසන් කොට සාමය ගෙන ඒමට ද? හිරෝෂිමා ජනඝාතනයට පෙර එනම්, 1945 ජුලි 13 වැනි දින - යටත් වීමට කැමැත්ත පළ කරමින් ජපානය සෝවියට්‌ රුසියාවට විදුලි පණිවිඩයක්‌ යවා තිබූ අතර, එය ඇමෙරිකන් බුද්ධි අංශ ද සවන් දී තිබිණි. එමෙන් ම සැබෑ අරමුණ ජපානය යටත් කරගැනීම නම් දින තුනක්‌ වැනි ඉතා කෙටි කාලයක්‌ තුළ දෙවැනි බෝම්බයක්‌ දැමීමෙන් පලක්‌ නැත. හිරෝෂිමාවේ විනාශය පිළිබඳ තක්‌සේරුවක්‌ වත් කිරීමට කාලයක්‌ ජපනුන්ට තිබුණේ නැත. අනෙක පරමාණු බෝම්බ ප්‍රහාරයට පෙර ඇමෙරිකාව දිගින් දිගට ම ජපානයේ නගරවලට බෝම්බ හෙළමින් සිටි අතර, 1945 මාර්තු 10 දින ටෝකියෝ නගරයට බෝම්බ දමා (Firebombing of Tokyo) පමණක්‌ ලක්‌ෂයකට වැඩි ප්‍රමාණයක්‌ ඝාතනය කළේ ය. එමෙන් ම ජන ශූන්‍ය පෙදෙසකට පරමාණු බෝම්බය දමා ජපානය බියට පත් කළ හැකි ව ද තිබිණි. "ජපානයට එරෙහි ව මේ ම්ලේච්ඡ අවිය යොදාගැනීමෙන් යුදමය වශයෙන් කිසිදු උපකාරයක්‌ සිදු වූයේ නැහැ. ජපානය ඒ වන විටත් පරාජය වෙලයි තිබුණේ. කොහොමත් ඔවුන් සිටියේ යටත් වීමට සූදානමින්" ඇමෙරිකානු යුධ මාණ්‌ඩලික ප්‍රධානි අද්මිරාල් විලියම් ලෙහි කීවේ ය. ජනරාල් ජෝර්ඡ් මාෂල් කීවේ "එය හමුදා තීරණයක්‌ නො වේ, හුදු දේශපාලන තීරණයක්‌" යන්නයි.

මේ න්‍යෂ්ටික ප්‍රහාරයේ අරමුණක්‌ වූයේ අනාගත බලවතකු වීමට නියමිත වූ සෝවියට්‌ රුසියාව සලිත කිරීමයි. අනෙක්‌ අතට ජපානය රුසියාවට යටත් වනු දැකීමට ඇමෙරිකාව කැමති වූයේ නැත. එමෙන් ම ඩොලර් බිලියන 26කට (වර්තමාන මිල) අධික වියදමෙන් කාටත් පෙනෙන දෙයක්‌ කළ යුතු ව තිබිණි. එහි හැකියාවේ තරම මැනගත යුතු ව තිබිණි. එය සාර්ථකයි. ක්‌ෂණික මරණ ම 120,000කට වැඩියි.

යුද්ධය අවසානයත් සමඟ හයිසන්බර්ග් ඇතුළු විද්වතුන් දහ දෙනකු පමණ මිත්‍ර පාර්ශ්වික හමුදා මගින් අල්ලා ගැනුණු අතර ඔවුන් එංගලන්තයේ ගොඩ්මැන්චෙස්‌ටර්හි රදවා තබන ලදී. (Operation Epsilon). හිරෝෂිමා පරමාණු ප්‍රහාරය ගැන සැළ වීමෙන් පසු මේ ජර්මන් විද්වතුන් කුමක්‌ කතා වේ දැයි දැනගනීමට ඇමෙරිකානු හා එංගලන්ත බුද්ධි අංශ ඔවුන්ට රහසේ සවන් දුනි. එහි දී ඒ දස දෙනා අතර සිටි ඔටෝ හාන් කිවේ "මට හැකියාව තිබුණා නම් ජර්මන් යුද්ධය කඩාකප්පල් කොට දමනවා යන්නයි." "අපට ජර්මන් ජයග්‍රහණය අවශ්‍ය වූවා නම් අපට පරමාණු බෝම්බය හැදීමේ හැකියාව තිබුණා" කාර්ල් වෙයිස්‌සසකර් කීවේ ය. 1960 වසරේ හයිසන්බර්ග් මෙසේ ලීවේ ය. "ජර්මන් විද්වතුන් පරමාණු බෝම්බය සෑදීම වැළැක්‌වීම සඳහා ඔටෝ හාන්, වොන් ලුව් සහ මම පරමාණු බොම්බය හා සම්න්බන්ධ ගණනයන් හිතා මතා ම අවුල් කළෙමු." කෙසේ වුවත් ඇතම් ජර්මන් විද්වතුන් ගේ මතය වූයේ එය අවශ්‍ය වුවත් ඔවුන්ට ඉටු කරගැනීමට නොහැකි වූ බවයි.

පසු කලෙක හයිසන්බර්ග් කීවේ සිය පැරැණි ගුරා, බෝර් ඇතුළු සියල්ලන් ඔහු ගේ අරමුණ නිවැරැදි ව තේරුම් නො ගත් බවයි. කෙසේ වුවත් විද්‍යාගාරයේ පිපිරීමත් රාජ්‍ය අනුග්‍රහය හීන වීමත් වැනි කරුණු නිසා ජර්මන් ව්‍යපෘතිය මුල් පරීක්‌ෂණ මට්‌ටමෙන් එහාට ගියේ නැත. එක්‌ අදහසක්‌ වන්නේ හයිසන්බර්ග් සෛද්ධාන්තික භෞතික විද්‍යාවේ විශිෂ්ටයකු වුවත් පරමාණු බෝම්බයක්‌ තැනීමට තරම් වූ ප්‍රායෝගික දැනුමක්‌ ඔහු තුළ නො වූ බවයි. තවත් මතයක්‌ නම් හයිසන්බර්ග් හිතාමතා ම ජර්මානු න්‍යෂ්ටික ව්‍යාපෘතිය අඩපණ කළ බව ය. පරමාණු බෝම්බයක්‌ හිට්‌ලර් අතට යැම වැළැක්‌වීම ඔහු ගේ අරමුණ වූ බව ය. එහෙත් හරියට ම එය පැහැදිලි නැත.

කෙසේ වුවත් මෑන්හැටන් ව්‍යාපෘතියේ සිටි ඇතැම් විද්වත්තු පරමාණු බෝම්බය ප්‍රායෝගික ව යොදාගැනීමට විරුද්ධ වූ හ. ඔවුහු ඒ සම්බධයෙන් වාර්තාවක්‌ ද (Frank Report) ඇමෙරිකානු රජයට ඉදිරිපත් කළෝ ය. කොම්ප්ටන් ද සිලාර්ඩ් ද ඒ අතර වූ හ. අයින්ස්‌ටයින් මේ ව්‍යාපෘතියට දායක වූයේ නැති තරම් ය. ඇත්තෙන් ම අයින්ස්‌ටයින් එයට ගාවාගත්තේ නැත්තේ ඔහු කෙරෙහි වූ සැකය නිසා ය. 1944 දෙසැම්බර් බෝර්ට ලියූ ලිපියක ඔහු කීවේ මේ යුද්ධය අවසන් වූ පසු ඊටත් වඩා භයානක ප්‍රතිඵල ගෙන දෙන තාක්‌ෂණික රහස්‌ යුද්ධයක්‌ සිදු විය හැකි බවයි. අයින්ස්‌ටයින් හිරෝෂිමා ප්‍රහාරය හෙළාදැක්‌කේ ය. ඔහු කීවේ රුසියාවට පෙර ජපානය යටතට ගැනීම බෝම්බ ප්‍රහාරයේ අරමුණ වන්නට ඇති බව ය. "මා මගේ ජීවිතයේ එක්‌ බරපතළ වරදක්‌ කළා. ඒ පරමාණු බෝම්බය සම්බන්ධයෙන් රූස්‌වෙල් ජනාධිපතිතුමාට මා ලියූ ලිපියයි." අයින්ස්‌ටයින් 1954 ලීවේ ය.

බෝර් ගේ අදහස ද වූයේ යුද්ධය නිමා කිරීමට කියා කිසි සේත් ම පරමාණු බෝම්බය යොදා නො ගත යුතු බව ය. එය අනාගත න්‍යෂ්ටික අවි තරගයකට පාර කපනු ඇතැයි ඔහු කීවේ ය. එය වැළකීමේ මගක්‌ ලෙස පරමාණු බෝම්බ ව්‍යාපෘතිය ගැන රුසියාව දැනුවත් කළ යුතු බව ද ඔහු ගේ අදහස විය. එය ඇසූ එවකට එංගලන්ත අගමැති වින්ස්‌ටන් චර්චිල් යක්‌ෂාවේශ විය. "මම හිතන්නේ මේ නීල්ස්‌ බෝර් කියන මනුස්‌සයා නිවාස අඩස්‌සියේ තැබිය යුතුයි. ඔහු දන්නේ නෑ ඔහු කතා කරන්නේ කුමක්‌ ද කියලා."

කෙසේ වුවත් අයින්ස්‌ටයින් හා බෝර් කියූ ලෙස ම න්‍යෂ්ටික අවි තරගය ඉක්‌මනින් ම ඇරඹිණි. වසර හතරකට පසු (1949 අගෝස්‌තු) රුසියාව සිය ප්‍රථම න්‍යෂ්ටික අත්හදා බැලීම සිදු කළේ ය. 1952 වන විට ඇමෙරිකාව ප්‍රථම හයිඩ්‍රජන් බෝම්බය තැනුවේ ය. එය හිරෝෂිමා බෝම්බයට වඩා ප්‍රමාණයෙන් කුඩා වුවත් ඒ මෙන් 2500 ගුණයක්‌ බලවත් විය. වසරකින් රුසියාව ද හයිඩ්‍රජන් බෝම්බයක්‌ තැනුවේ ය. ඒ මග ගොස්‌ අද වන විට ලොව පුරා 16,000කට අධික න්‍යෂ්ටික අවි ප්‍රමාණයක්‌ ඇත. ඒ සියල්ල ලොව ගිනි තැබීමට ය.

කෙසේ හෝ දෙවැනි ලෝක සංග්‍රාමයෙන් පසු යථාර්ථය පිළිබඳ සංග්‍රාමය නැවත ඇරඹිණි.

ලබන සතියේ : 34 කොටස : මුළු විශ්වයට ම ඇත්තේ එක ඉලෙක්‌ට්‍රොaනයක්‌ පමණයි!

සමිත ප්‍රසන්න හේවගේ