logo3.gif (702 bytes)

arrow7.gif (1098 bytes)


විද්‍යා ප්‍රබන්ධ
සත්‍ය ප්‍රේමය - 04

"කථා කරන රොබෝව" සාර්ථක එකක්‌ නො වූ අතර, තිබුණේ ප්‍රචාරක වටිනාකමක්‌ පමණි. පැයකට වරක්‌, එය ඉදිරියේ එක්‌රැස්‌ වූ පිරිස, එය භාර ව සිටි රොබෝ ඉංජිනේරු මහතා වෙත ප්‍රශ්න ඉදිරිපත් කළ හ. ඔහු විසින් තෝරාගනුන් ලද රොබෝවේ ප්‍රශ්න, ඔහු "කථා කරන රෝබෝව" වෙත යොමු කළේ ය.

එය ඇත්තෙන් ම නීරස දෙයක්‌ විය. එයට යොමු කළ බොහෝ ප්‍රශ්න විසඳීමට, කිසිවකුටත් රොබෝවක පිහිට පැතීමට අවශ්‍ය නො වී ය. පහසුවෙන් එහා මෙහා කළ නොහැකි, වර්ග මීටර් 25ක්‌ පමණ ඉඩක්‌ ගන්නා, කම්බි හා දඟරවලින් සමන්විත වූ රොබෝවක්‌ ඊට කිසිසේත් ම අවශ්‍ය නො වේ. එය නැරඹීමට දෙවතාවක්‌ ආ අය විරල වූ හ. එහෙත් එක්‌ ළාබාල යුවතියක්‌ තෙවැනි වතාවටත් එම අවස්‌ථාව ලබාගැනීමට, ඇගේ වාරය එනතෙක්‌ එහි වූ අසුනක හිඳගෙන සිටියා ය. ග්ලෝරියා එතැනට පැමිණෙන විට එහි සිටියේ එම යුවතිය පමණි.

ග්ලෝරියා, ඈ දෙස බැලුවේ නැත. ඇය ගේ අවධානය නිතැතින් ම යොමු වූයේ රොබෝව වෙත ය. එක්‌ අතකින් ඇයට එය අදහාගත නොහැක්‌කකි. ඇය දැක තිබූ අන් සියලු රොබෝවන්ට වඩා මෙය වෙනස්‌ විය.

මඳක්‌ සැකෙන් යුතු ව පරෙස්‌සමින් ඇය කටහඩ අවදි කළා ය.

"මට කරුණාකරලා කියන්න, මිස්‌ටර් රොබෝ, සර් "කථා කරන රොබෝව" කියලා කියන්නේ ඔයාට ද කියලා."

ඇය හරිහැටි දැන නො සිටි මුත් ඇත්තට ම කතා කරන රොබෝවක්‌ සමඟ, ආචාර සම්පන්න බවකින් යුතු ව කථා කළ යුතු යෑයි ඇය සිතුවා ය.

රොබෝවේ යාන්ත්‍රික කොටස්‌වල ක්‍රියාකාරීත්වය නිසා පැනනැගුණු හඩත් සමඟ ම, නිසි උච්චාරණයක්‌ හෝ ස්‌වරයක්‌ නොමැති වූ හඩක්‌ නික්‌මිණි.

"මම- තමයි - කථා කරන - රොබෝව"

ග්ලෝරියා ඔහු දෙස බලා සිටියේ කණගාටුදායක හැඟීමකිනි. ඇත්ත වශයෙන් ම රොබෝව කථා කළත්, එහි හඩ පිට වූයේ ඇතුළත යම්කිසි ස්‌ථානයකිනි. මුහුණක්‌ වශයෙන් සැලකිය හැකි තැනක්‌ එහි නො වී ය.

"මට උදව්වක්‌ කරන්න පුළුවන් ද මිස්‌ටර් රොබෝ, සර්?" ඇය ඇසුවා ය.

"කථා කරන රොබෝව" තනා තිබුණේ ප්‍රශ්නවලට පිළිතුරු සැපයීමට හැකි ආකාරයකට වූ නිසාත්, පිළිතුරු දිය හැකි ආකාරයේ ප්‍රශ්න පමණක්‌ ඉදිරිපත් කිරීමට කටයුතු කර තිබූ නිසාත්, රොබෝවට තම පිළිතුරු දීමේ හැකියාව සම්බන්ධයෙන් සැකයක්‌ නො වී ය. තම හැකියාව ගැන සෑහීමකට පත් වී සිටි නිසා එය ඉක්‌මනින් ම ප්‍රතිචාරයක්‌ දැක්‌වී ය.

"මට - පුළුවන් - උදව් - කරන්න."

"ස්‌තුතියි, මිස්‌ටර් රොබෝ, සර්. ඔයා දැක්‌ක ද රොබීව?"

"කවුද - රොබී - කියලා - කියන්නේ?"

"එයා රොබෝවක්‌, මිස්‌ටර් රොබෝ, සර්. එයා මේ තරම් විතර උසයි, ඊටත් වැඩිය ටිකක්‌ උසයි." ඇය ඇඟිලි තුඩුවලින් ඉස්‌සී පෙන්නුවා ය.

"එයාට ඔළුවක්‌ තියෙනවා. මම කිව්වේ, ඔයාට තිබුණේ නැති වුණත් එයාට තිබුණා කියලා, මිස්‌ටර් රොබෝ, සර්."

"රොබෝවක්‌?"

"ඔව් මිස්‌ටර් රොබෝ, සර්. ඔයා වගේ ම රොබෝවක්‌. කතා කරන්න බැරි එක විතරයි වෙනස. හැඩයෙනුත් එයා ඇත්ත කෙනෙක්‌ වගේ මයි."

"මම - වගේ - රොබෝවක්‌?"

"ඔව්, මිස්‌ටර් රොබෝ, සර්."

ඊට පිළිතුරු ලෙස ලැබුණේ අපැහැදිලි, තේරුම්ගත නොහැකි ගත නොහැකි වචන පෙළක්‌ හා වරින් වර ඇසුණු නො ගැලපෙන හඩක්‌ පමණි. තමා තනි පුද්ගලයකු ලෙස නො ව, සමූහයක්‌ අතරින් තෝරාගත් එක්‌ අයකු ලෙස සලකනු ලැබූ කල එය යන්ත්‍රයට දරාගත නොහැකි වූවා වන්නට ඇත. යන්ත්‍රයේ දඟර කිහිපයක්‌ පිළිස්‌සී ගිය අතර, අනතුරු ඇඟවීමේ හඩ නික්‌මිණි.

ග්ලෝරියා යන්ත්‍රයෙන් පිළිතුරක්‌ නිකුත් වන තෙක්‌ නොඉසිලිවන්ත ව බලා සිටියා ය.

"අන්න එයා ඉන්නවා" ඇයට පිටුපසින් ඇසුණු හඩ, තම මව ගේ කටහඩ ලෙස ඇය හඳුනාගත්තා ය.

"නරක ළමයා මොනව ද මෙතන කරන්නේ?" වෙස්‌ටන් මහත්මිය ගේ කාංසාව, කෝපය බවට පත් වෙමින් තිබිණි.

"හිතුවේ නැද්ද, ඔයා ගේ අම්මයි තාත්තයි කොයි තරම් බය වෙයි ද කියලා, ඇයි ඔයා පැනලා ගියේ?"

රොබෝ ඉංජිනේරු මහතා ද හදිසියේ ම පැමිණි අතර කොණ්‌ඩය ද විසුරුවා දමමින් ඔහු කෑගසන්නට වූයේ එතැනට රැස්‌ වෙමින් සිටි පිරිස අතරින් කවරකු යන්ත්‍රය අතපත ගෑවා දැයි විමසමිනි.

"කාට වත් කියවන්න බැරි ද, මෙතන ගහලා තියෙන දැන්වීම? උපදේශකයකු නැති ව මෙතනට එන්න තහනම්" ඔහු කෑගැසී ය.

පැවැති ගාලගෝට්‌ටිය නිසා, ග්ලෝරියාට උස්‌ හඩින් කෑගසමින් කථා කරන්නට සිදු විණි.

"අනේ අම්මේ, මම කථා කරන රොබෝව බලන්නයි ආවේ. දෙන්න ම රොබෝලා හින්දා මම හිතුවා රොබී ඉන්න තැන එයා දන්නවා ඇති කියලා."

රොබී ගැන මතකය, යළි ඇවිස්‌සීම නිසා, ඇය නැවතත් කදුළු වගුරවන්නට විය.

"රොබීaව හොයගන්න ඕනේ, අම්මේ. මට කොහොම හරි රොබීව හොයාගන්න ඕනේ."

"දෙවියනේ, මේක නම් මට දරාගන්න බැහැ. යමු ජෝර්ඡ්, ගෙදර." වෙස්‌ටන් මහත්මිය ආයාසයෙන් යුතු ව හැඟීම් මැඩපවත්වාගෙන කීවා ය.

тттттт

එදින සැඳෑවේ ජෝර්ඡ් වෙස්‌ටන් පැය කිහිපයකට නිවසින් බැහැර ව සිටියේ ය. පසු දා උදයේ, ඔහු තම බිරිඳ හමු වීමට පැමිණියේ තෘප්තිමත් වූ හැඟීමකින් යුතු බවක්‌ පෙන්නුම් කරමිනි.

"ග්‍රේස්‌, මට පොඩි අදහසක්‌ ආවා."

"මොකක්‌ ගැන ද?" ඇය ඇසුවේ ඒ ගැන උනන්දුවක්‌ නොමැති බවක්‌ දනවමිනි.

"ග්ලෝරියා ගැන."

"මොකද, අර රොබෝව ආයෙත් ගෙන්න ගන්න යෝජනා කරනවා ද?"

"නැහැ එහෙම දේකට නෙවෙයි."

"හොඳයි, එහෙනම් කියන්න කෝ බලන්න. මම කරපු දේවල්වලිනුත් වැඩි සුගතියක්‌ වුණේ නෑ නේ."

"මම කල්පනා කළේ මෙහෙමයි. ග්ලෝරියා හැම වේලාවෙ ම රොබීට සැලකුවේ, පුද්ගලයකු හැටියට මිසක්‌ යන්ත්‍රයක්‌ හැටියට නෙවෙයි. ඉතින් දුවට එයාට අමතක කරන්න බැරි එක පුදුමයක්‌ නෙවෙයි. ඉතින් අපි එයාට ඒත්තු ගැන්නුවොත් රොබී කියලා කියන්නේ යකඩ කෑලි, කම්බි වගේ දේවල්වලින් හදපු, විදුලිය ගමන් කරන කොට විතරක්‌ "පණ" උපදින දෙයක්‌ කියලා, එයාට වැඩි කාලයක්‌ යන්නට කලින් ම, කරුණු අවබෝධ වේ වි. ඒක තමයි මේ ප්‍රශ්නයේ මනෝවිද්‍යාත්මක පැත්ත."

"ඔයා කොහොම ද ඒක කරන්න හිතන් ඉන්නේ?"

"ඒක සුළු දෙයක්‌. ඊයේ රෑ මම කොහේ ගියා කියලා ද ඔයා හිතන්නේ? මම ඇමෙරිකානු රොබෝ හා යාන්ත්‍රික මිනිස්‌ සමාගමේ වැඩ කරන රොබට්‌සන් මුණ ගැහෙන්න ගියා. මට එයාව පොලඹවාගන්න පුළුවන් වුණා හෙට එයාගෙ සමාගමේ සම්පූර්ණ චාරිකාවකට. අපි තුන් දෙනා හෙට එහෙ ගියාට පස්‌සේ, ප්‍රශ්නය ඉවරයි. රොබී පණ නැති දෙයක්‌ බව, අපි එයාට තදින් ම හිතට කාවද්දන්න ඕනේ."

වෙස්‌ටන් මහත්මිය ගේ දැස්‌ ක්‍රමයෙන් විශාල වී අමුතු දිප්තිමත් බවකින් බබළන්නට විය.

"ඒක නම් හොඳ අදහසක්‌, ජෝර්ඡ්"

"මගේ කොයි අදහසත් එහෙම නේ."

ජෝර්ඡ් වෙස්‌ටන් කීවේ ය.

тттттт

රොබට්‌සන් හෘද සාක්‌ෂියට එකඟ ව කටයුතු කරන, අවංක කළමනාකරුවෙක්‌ විය. ඒ අතර ම ඔහු තරමක්‌ කටකාර පුද්ගලයෙක්‌ ද විය. ඔහු ගේ එම ලක්‌ෂණයන් දෙක එක්‌තැන් වීම නිසා ඔහු ඉතා හොඳින් කරුණු පැහැදිලි කරමින්, සැම පියවරක්‌ පාසා ම වුවමනාවටත් වඩා විස්‌තර කළේ ය. කෙසේ වුව ද එය වෙස්‌ටන් මහත්මියට වෙහෙසකර වූයේ නැත. කිහිප අවස්‌ථාවක දී ම ඇය එය ග්ලෝරියාටත් තේරෙන පරිදි සරල බසින් නැවතත් විස්‌තර කරන ලෙස ඉල්ලා සිටියා ය. තම විස්‌තර කිරීමේ හැකියාව අගය කොට සැලකීම නිසා ඔහු වඩාත් උනන්දුවෙන් සංවාදශීලී ව කටුයතු කළේ ය.

ජෝර්ඡ් වෙස්‌ටන් පමණක්‌, ක්‍රමයෙන් වැඩි වන නොඉවසිලිමත් බවකින් පසු විය.

"රොබට්‌ සමා වෙන්න බාධා කළාට" ප්‍රභාවිද්යුත් කෝෂය ගැන විස්‌තර කරමින් සිටිය දී ජෝර්ඡ් ඔහු ගේ කථාවට බාධා කළේ ය.

"ඔබ කිව්වා නේ ද මෙතන රොබෝවල සේවය විතරක්‌ ලබාගන්න අංශයක්‌ තියෙනවා කියලා?"

"මොකක්‌ ද? ආ, ඔව් ඔව්." ඔහු වෙස්‌ටන් මහත්මිය දෙස බලා සිනාසෙමින් කීවේ ය.

"රොබෝවරුන් හදන තවත් රොබෝවරු. කොහොම වුණත් අපි ඒක එක දිගට කරන්නේ නැහැ. ඒකට එක හේතුවක්‌ තමයි අපේ වෘත්තීය සමිතිවලින් ඒකට ඉඩ නො දෙන එක."

"එහෙනම් අපි කර්මාන්තශාලාවේ ඒ අංශයට ගිහින් බලමු, නේ ද? මම හිතන්නේ ඒක අපට හුඟක්‌ ප්‍රයෝජනවත් වේ වි කියලා."

"ඔව් එක ඇත්ත. එන්න මාත් එක්‌ක."

දිග පටු ආලින්දයක්‌ ඔස්‌සේ ඔවුන් තිදෙනා කැඳවාගෙන ගමන් කරද්දී, ඔහු සාපේක්‌ෂ වශයෙන් නිශ්ශබ්ද ව පසු විය. පඩිපෙළක්‌ බැස, යකඩ ගැටෙන හඩ ඇසෙන, විශාල ආලෝකවත් කාමරයකට ඔවුන් ඇතුළු වුණ පසුව නැවතත් ඔහු දොඩමළු වන්නට විය.

"ඔන්න අපි නියම තැනට ආවා. රොබෝවරු පමණයි" ඔහු ගේ ස්‌වරයේ යම් සාඩම්බර බවක්‌ විය.

"මේ රොබෝලව බලාගන්න, මිනිසුන් පස්‌ දෙනෙක්‌ යොදවලා තියනවා. ඒ වුණත් ඒ අය හැම වේලාවකට මෙතන ඉන්නෙත් නැහැ. අවුරුදු පහකට කලින් ඉඳලා, ඒ කියන්නේ අපි මේ ව්‍යාපෘතිය පටන් ගත්ත දා ඉඳන් තවම එක ම අනතුරක්‌ වත් සිදු වෙලා නැහැ. ඇත්තෙන් ම මෙතැන රැස්‌ වෙලා ඉන්න රොබෝවරු සාපේක්‌ෂව සරලයි, ඒ වුණත්...."

කළමනාකරු ගේ කටහඩ, මේ වන විටත් ග්ලෝරියා ගේ සවනින් ඈත් වී ගොස්‌ තිබුණු අතර, ඇයට එය ඇසුණේ මිමිණීමක්‌ ලෙසින් පමණි. රොබෝවන්, වරින් වර ඇගේ නෙත ගැටුණත්, මුළු චාරිකාව ම ඇයට නීරස, තේරුමක්‌ නැති එකක්‌ විය. රොබීට යන්තමින් හෝ සමාන රොබෝවක්‌ වත් ඇයට හමු නො වුණු අතර, අනෙක්‌ රොබෝවරුන් දෙස ඇය බැලුවේ අවඥවෙනි.

ඇය දැන් ඉන්නා කාමරයේ මිනිසුන් කිසිවකු නො වූ බව ඇයට පෙනී ගියේ ය. කාමරයේ තරමක්‌ ඇතුළතින් වූ වට මේසයක්‌ අසල රැස්‌ ව සිටි කඩිසර ව වැඩ කරන රොබෝවන් හයක්‌ හෝ හතක්‌ ඇයට දක්‌නට ලැබිණි. එහෙත් ඇයට එක්‌ වර ම ඇගේ දෙනෙත් අදහාගත නොහැකි විය. එම කාමරය විශාල එකක්‌ වූ නිසා ඇයට හරියට ම දැකගැනීමට නොහැකි වුවත්, ඉන් එක්‌ රොබෝවක්‌ හරියට ම රොබී ගේ හැඩරුවට සමාන විය. "ඔව් ඒ රොබී තමයි".

"රොබී" ඇය උස්‌ හඩින් කළ කෑගැසීම නිසා මේසය වටා රැස්‌ වී සිටි රොබෝවන් අතරින් එක්‌ අයකු කලබල වීමෙන්, ඔහු අල්ලාගෙන සිටි උපකරණ්‍ය ගිලිහී වැටිණි.

ග්ලෝරියා සතුටින් පිනා ගොස්‌ තිබිණි. ඇගේ මවුපියන්ට ඇය වළකාලීමට හැකි වීමට පෙර ම ඇය වැටෙන් රිංගා අඩි කීපයක්‌ පහළ වූ පොළොව මතට පැන රොබී වෙත දිව ගියේ දැත් විහිදාගෙන කොණ්‌ඩය විසුරුවා දමමිනි.

එහෙත් බියෙන් ත්‍රස්‌ත වී ගල්ගැසී බලා සිටි වැඩිහිටියන් තිදෙනා කලබල වී සිටි දැරිය නොදුටු යමක්‌ දුට හ. තම ගමන් මාර්ගයට අවතීර්ණ වෙමින් තිබූ බර පටවාගත් දැවැන්ත ට්‍රැක්‌ටරයක්‌ ඔවුන්ට පෙනිණි.

වෙස්‌ටන්ට සිහි එළවාගැනීමට ගත වූයේ තත්පරයකටත් වඩා අඩු කාලයකි. එහෙත් එම නිමේෂය අතිශය තීරණාත්මක එකක්‌ විය. ග්ලෝරියා පසු කර ගොස්‌ ඇය අල්ලාගැනීමට දැන් ප්‍රමාද වැඩි ය. වෙස්‌ටන් වහා ම වැටෙන් ඇතුළට පැනගත්ත ද, ඉන් කිසි ම පලක්‌ නො වන බව හොඳින් ම පැහැදිලි විය. රොබට්‌සන් මහතා රොබෝවරුන් බලාගැනීමට සිටි මිනිසුන්ට ට්‍රැක්‌ටරය නවත්වන ලෙස සංඥ කර කීවත්, ඔවුන් මනුෂ්‍යයන් වූ නිසා එය පිළිපැදීමට යම් කාලයක්‌ ගත විය.

එහෙත් ප්‍රමාදයකින් තොර ව ඉතා ම නිරවද්‍ය ලෙස ක්‍රියා කිරීමට සමත් වූයේ රොබී පමණි.

රොබී තම දිගු ලෝහමය පාද තබා තමා හා තම කුඩා ස්‌වාමිදුව අතර දුර ක්‍රමයෙන් අඩු කරලමින් ප්‍රතිවිරුද්ධ දිශාවේ සිට දිව ආවේ ය. සියල්ල නිමේෂයකින් සිදු විය. දිගු කළ ලෝහමය හස්‌තයකින් ග්ලෝරියා රැගෙන තම ගමන් වේගය බිඳකුඳු අඩු නො කොට රොබී ගමන් කළේ ය.

සිදු වන දෙය ගැන වෙස්‌ටන්ට හරි අවබෝධයක්‌ නො වී ය. එහෙත් රොබී තමා පසු කරගෙන වේගයෙන් ගමන් කොට නිශ්චලතාවට පත් වූ බව ඔහුට දැනිණි. ඉන් තත්පර භාගයකට පසු ට්‍රැක්‌ටරය ග්ලෝරියා සිටි මාර්ගය හරහා ගමන් කළ අතර තවත් අඩි දහයක්‌ පමණ ගමන් කොට නිශ්චලතාවට පත් විය.

ග්ලෝරියා නැවතත් සාමාන්‍ය පරිදි හුස්‌ම ගත්තා ය. මවුපියන් ඇයව සිප වැළඳගත්තාට පසු ඇය රොබී වෙත හැරුණා ය. ඇය සිටියේ තම රොබෝ මිතුරා ආපසු ලැබීම හැර අන් කිසිවක්‌ සිදු නො වූවා පරිද්දෙනි.

වෙස්‌ටන් මහත්මියට එය සැනසුමට කරුණක්‌ වූ මුත් ඉන් පසුව එය දැඩි සැකයක්‌ බවට පරිවර්තනය වී තිබිණි.

"මේක ඔයා සැලසුම් කරලා කරපු දෙයක්‌, එහෙම නේ ද?" අය තම සැමියා දෙසට හැරී දැඩි ස්‌වරයකින් ඇසුවා ය.

"ජෝර්ඡ් වෙස්‌ටන්, ලේන්සුව ගෙන තම නළල පිස දා ගත්තේ ය. ඔහු ගේ අත වෙව්ලන්නට වූ අතර, දෙතොල්වල දුර්වල, ආයාසකර සිනාවක්‌ මැවී තිබිණි."

"රොබීව සැලසුම් කරලා තියෙන්නේ ඉංජිනේරු වැඩවලට වත්, ඉදිකිරීම් වැඩවලට වත් නෙවෙයි. ඒ නිසා එයාව මෙතැනට අවශ්‍ය වෙන්නෙ නැහැ. ඔයා එයාව මෙතන තියලා තිබුණේ, ග්ලෝරියාට හොයාගන්න පුළුවන් වෙන්න හිතාමතා මයි. ඔයා දන්නවා ඔයා ඒක කළා කියලා."

"ඔව්, මම එහෙම කළා" වෙස්‌ටන් පැවසී ය.

"ඒත් ග්‍රේස්‌ මම කොහොම ද දන්නේ, නැවත හමු වීම මේ තරම් ප්‍රචණ්‌ඩ විදිහට සිදු වේ වි කියලා? රොබී දුව ගේ ජීවිතය බේරුවා. ඔයාට එක්‌ පිළිගන්න වෙනවා. ඔයාට බැහැ ආයෙත් සැරයක්‌ රොබීව යවන්න."

වෙස්‌ටන් මහත්මිය, ඒ ගැන සිතා බලන්නට වූවා ය. ඇය ග්ලෝරියා හා රොබී දෙසට හැරී, ඔවුන් දෙස මද වේලාවක්‌ බලා සිටියා ය. ග්ලෝරියා, රොබී ගේ ගෙළ වටා අත යවා දැඩි කොට අල්වාගෙන යමක්‌ සිහින් හඩින් මුමුණමින් සිටියා ය. අඟල් දෙකක විෂ්කම්භයෙන් යුතු යකඩයක්‌ නවා, කඹයක්‌ මෙන් ඇඹරීමට තරම් ශක්‌තියක්‌ ඇති රොබී ගේ ක්‍රෝම් ආලේපිත ලෝහමය අත් දැරිය ගේ සිරුර වටා ලිහිල් ව වෙළී තිබිණි. ඔහු ගේ දැස්‌ තද රතු පැහැයෙන් දිදුලන්නට විය.

"ඔව්" වෙස්‌ටන් මහත්මිය බොහෝ වේලාවකට පසු පැවසුවා ය.

"මම හිතන්නේ එයාට හැම දා ම අපි ළඟ ඉන්න පුළුවන්. එයා දිරලා යනකම් ම අපිත් එක්‌ක ඉන්න පුළුවන්"

නිමි.
අසිසෙක්‌ ඇසිමෝව්ගේ' "රොබී" නම් විද්‍යා ප්‍රබන්ධය ඇසුරෙනි.
අනුවාදය
අමල් වික්‍රමසූරිය