logo3.gif (702 bytes)

HOME


නව සර්ප විශේෂයක්‌ බදුල්ලෙන් සොයාගනී

'තුඩුල්ලා' පස තුළ ජීවත් වන සර්ප විශේෂයකි. යුරෝපෙල්ටිඩේ (Uropeltidae) පවුලට අයත් රයිනොෆිස්‌ (Rhinophis) ගණයට අයත් වන තවත් නව තුඩුල්ලකු පිළිබද විද්‍යාත්මක ප්‍රකාශනය මීට සතියකට ඉහත දී පළ වූයේ ලංකාවේ ආවේණික සර්ප නාමාවලියට තවත් සාමාජිකයෙක්‌ එක්‌ කරමිනි. උරගයන් පිළිබද ප්‍රවීන පර්යේෂක මෙන්ඩිස්‌ වික්‍රමසිංහ ඇතුළු පර්යේෂකයන් විසින් සොයාගන්නා ලද නව සර්ප විශේෂය 2010 වසරේ දී බදුල්ල ආශ්‍රිත ව සිදු කළ පර්යේෂණයක්‌ ප්‍රතිපලයකි. මුල් ම සර්ප නිදර්ශනය බෙරගල ප්‍රදේශයෙන් ද ඉන් පසුව හල්දුම්මුල්ල හා අවටින් සොයාගත් නිදර්ශන 3ක්‌ ඇසුරෙන් මේ සර්පයා අනෙක්‌ තුඩුල්ලන් ගෙන් වෙන් කර වෙන ම සර්ප විශේෂයක්‌ ලෙස හැදිනගෙන තිබේ.

විද්‍යාත්මක ව Rhinophis roshanpererai ලෙසත්, සිංහලෙන් 'රොෂාන් පෙරේරා ගේ තුඩුල්ලා' (Roshan Perera’s Sheild tail) ලෙසත් මේ සර්පයා නම් කර තිබෙන්නේ තරුණ සත්ත්වවේදීaන් ගේ සංගමයේ ක්‍රියාකාරී සාමාජිකයකු වූ මීට වසර 18කට පෙර වියෝ වූ රොෂාන් පෙරේරාට කරන උපහාරයක්‌ ලෙසිනි. නව විශේෂය Rhinophis ගණයේ අනෙකුත් විශේෂයන් ගෙන් පහසුවෙන් වෙන් කර හදුනාගැනීම සඳහා, පෘෂ්ඨීය කොරල අගයන්, උදරීය කොරල ගණන, වර්ණ රටාව මෙන්ම කුඩා ප්‍රමාණයේ වලිග පළිසෙහි පිහිටා ඇති, පැහැදිලිව දිස්‌ වන්නා වූ කුඩා තුඩු ආකාරයේ නෙරුම් තුනක්‌ හෝ හතරක්‌ පිහිටා තිබීම වැදගත් හදුනාගැනීමේ ලක්‌ෂණ අතර ප්‍රමුඛ වේ. මධ්‍ය කදුකරය තුළ, මේ නව විශේෂය හමු වන්නා වූ ප්‍රදේශ සහ සම උච්චත්ව පරාස පිළිබදව හා සමාන වාසස්‌ථාන පිළිබඳව ඇති වාර්තාමය දැනුම-අවබෝධය ඉතා අල්ප බවත්, නව විශේෂය, දැනට දන්නා කරුණුවලට අනුව ඉතා ම කුඩා වපසරියකට සීමා වී ඇතී බවත් පර්යේෂකයෝ පවසති. ඩිල්මා කන්සර්වේෂන් (Dilmah Conservation)හි අනුග්‍රහය ඇති ව සිදු කළ මේ පර්යේෂණයට දුලාන් රංග, ගිහාන් රජිව් ද දායක වී තිබේ. මේ නව සොයාගැනීමත් සමග, රයිනොෆිස්‌ (Rhinophis) ගණයේ තුඩුල්ලන් ගණන 20 දක්‌වා වැඩි වේ. මොවුන් ගෙන් 16ක්‌ ලංකාවට ආවේණික වන අතර, ඉතිරි 4 දෙනා ඉන්දියාවට ආවේනික වේ.

මාලක රොඩි්‍රගෝ