logo3.gif (702 bytes)

arrow7.gif (1098 bytes)


විද්‍යා ප්‍රබන්ධය
සත්‍ය ප්‍රේමය - 01

"අනූඅට-අනූ නවය-සීය" ග්ලෝරියා මෙතෙක්‌ වේලා තම දැස්‌ වසාගෙන සිටි කුඩා අත්ල ඉවතට ගෙන දහවල් හිරු කිරණ අතරට වී මොහොතක්‌ නිසල ව බලා සිටියා ය. ඉන් පසුව කඩිනමින් වටපිට බලා ඇය හේත්තු වී සිටි ගස ළගින් ඈත් වී සෙමෙන් අඩිය තබා පියවර කිහිපයක්‌ ගමන් කළා ය.

ඇය ගෙල හරවා තැලී පොඩි වී ගිය පඳුරු තිබේ දැයි විපරම් කර බැලුවා ය. කෘමීන් ගෙන් නැෙගන හඩත්, වරින් වර ඇසෙන කුරුල්ලන් ගේ නාදයත් හැර පරිසරය නිශ්චල විය.

"මම හිතන්නේ එයා ගේ ඇතුළට යන්න ඇති. මම එයාට කී සැරයක්‌ කියලා තියනව ද එහෙම කරන්න එපා කියලා." ග්ලෝරියා කුඩා මුව තද කොට නළල රැළි ගන්වා නිශ්චිත වූ හැඟීමකින් යුතු ව, මහා මාර්ගයට යාබද ව වූ දෙමහල් ගොඩනැඟිල්ල දෙසට ගමන් කරන්නට වූවා ය.

එහෙත් ඇයට පිටුපසින් ඇසුණු සර සර හඩත්, රිද්මයානුකූල ව නැඟුණු ලෝහමය පාද ගැටෙන හඩත් ඇසෙන විට ඇය සෑහෙන දුරක්‌ ගමන් කොට තිබිණි. ඇගේ ප්‍රතිමල්ලවයා සැඟවුණු තැනින් ඉවතට පැන හැකි තරම් වේගයෙන් දිණුම් කණුව කරා ජයග්‍රාහි ව දිව යන අයුරු ඇයට දැකගත හැකි විය.

ග්ලෝරියා, කලබල වී කෑගසන්නට වූවා ය.

"ඔහොම ඉන්න රොබීෘ ඔයා හරි නරකයි. ඔයා පොරොන්දු වුණා නේ මම ඔයාව හොයාගන්නකම් දුවන්නේ නැහැ කියලා"

රොබී ගේ දිගු පාද හමුවේ ඇගේ කුඩා දෙපාවලට ජයගත නොහැකි බව පැහැදිලි විය. එහෙත් දිණුම් කණුවට අඩි 10ක්‌ පමණ ආසන්නයට පැමිණි විට රොබී ගේ වේගය එක්‌වර ම ඉතා ම අඩු වන්නට විය. මේ අතර ග්ලෝරියා හැකි තරම් වේගය වැඩි කොට රොබී පසු කර දිව ගොස්‌ දිණුම් කණුව වූ ගස වෙත පැමිණ එය ජයග්‍රාහී ව අල්ලාගත්තා ය.

තම විශ්වාසවන්ත රොබෝ මිතුරා කළ පරිත්‍යාගය ගැන මොහොතකට වත් නො සිතා ග්ලෝරියා, ඔහුගේ දිවීමේ හැකියාව ගැන සමච්චල් කරන්න වූවා ය.

"රොබීට බෑ දුවන්න. හූ... හූ..."

ඇය හැකි තරම් උස්‌ හඩින් කෑගසන්නට වූවා ය.

"මට ඕනේ දවසක පුළුවන් එයාව පරද්දන්න. මට ඕනේ දවසක පුළුවන් එයාව පරද්දන්න." ඇය එය ලතාවකට අනුව ගයන්නට වූවා ය.

රොබී කිසිවක්‌ කීවේ නැත. ඔහු ඇය මඟහැර රවුමට දුවන්නට පටන්ගත්තේ ය. ඇය තම කුඩා දැත් විදහාගෙන ඔහු පසුපස එලවන්නට වූවා ය.

"රොබී ඔහොම ඉන්නවා· මුවට නැඟුණු සිනාව පාලනය කරගනීමට ඇය කෑගැසුවා ය."

ඊළඟ මොහොතේ රොබී ඇය වෙත හැරී ඇය ඔසවා වේගයෙන් කරකවා නැවත බිම තැබී ය. ඇය රොබී ගේ පාදයකට හේත්තු වී ඔහු ගේ ලෝහමය ඇඟිල්ලකින් අල්ලාගෙන තණ බිම මත සිටගෙන සිටියා ය.

ටික වේලාවකින් ඇය ගේ වෙහෙස දුරු විය. ඇය ඇගේ අවුල් ව ගිය කෙස්‌ කළඹ සකසාගත් අතර ඇදුම් ඉරී ගියා දැයි පරීක්‌ෂා කර බැලුවා ය.

"නරක ළමයා· මම ඔයාට හොඳ දඩුවමක්‌ දෙනවා." ඇය රොබීට පහරක්‌ ගැසුවා ය. රොබී ඔහු ගේ දැතින් මුහුණ ආවරණය කරගත්තේ ය. ඇයට ඔහු ගැන අනුකම්පාවක්‌ ඇති විය.

"නෑ, රොබී මම ඔයාට ගහන්නේ නෑ. කොහොම වුණත් ඔයා ගේ කකුල් දිග නිසා මම ඔයාව හොයාගන්නකම් දුවන්නේ නෑ කියලා ඔයා පොරොන්දු වුණා නේ. දැන් හැංගෙන්නේ මම හරි ද?"

රොබී ඔහු ගේ හිස වනා ගස ළඟට ගියේ ය.

තුනී ලෝහමය පටලයකින් ඔහු ගේ දිදුළන දැස්‌ වැසී ගියේ ය. ඔහු ගේ සිරුර තුළින් සමාන කාලාන්තරවලින් යුතු ව සිහින් හඩක්‌ නික්‌මිණි.

"හොරෙන් බලන්න බෑ හරි ද? සීයට යනකම් ගණන් කරන්නත් ඕනේ." ග්ලෝරයා රොබීට අනතුරු ඇඟවීමක්‌ කර සැඟවීම සඳහා නික්‌ම ගියා ය.

සමාන කාලාන්තර සියයක්‌ ගෙවී ගිය පසු රොබී ගේ ඇස්‌ ඇරිණි. ඔහු ගේ දිදුලන ඇස්‌, ගල් තලාවක්‌ අතරින් පිටතට මතු වී තිබූ වර්ණවත් යමක්‌ වෙත යොමු විණි. පියවර කීපයක්‌ ඉදිරියට ඇවිත් බැලූ විට එතැන ග්ලෝරියා සැඟවී සිටින බව ඔහුට පැහැදිලි විය.

ග්ලෝරියා හා දිනුම් කණුව අතරට වී සිට, ඇය සැඟවී සිටින ස්‌ථානය වෙත ඔහු පැමිණියේ ය. ඇයට පෙනෙන තෙක්‌ ළඟට පැමිණි පසු ඇය ඔහු දුටු බවක්‌ නො පෙන්වා සිටි නිසා ඔහු එක්‌ අතක්‌ ඇය වෙත දිගු කර, අනෙක්‌ අත ඔහු ගේ ලෝහමය පාදයක ගැටෙන්නට සැලැස්‌වී ය. ග්ලෝරියා, අකැමැත්තෙන් මෙන් සැඟවී සිටි තැනින් පිටතට පැමිණියා ය.

"ඔයා හොරෙන් බැලුවා නේ ද? කොහොම උනත් දැන් නම් මට හැංඟිමුත්තම් කරලා ඇති වෙලා තියන්නේ. දැන් ඔයා මාව කරේ තියාගෙන අරගෙන යන්න ඕනේ."

ඇය කළ බොරු චෝදනාව නිසා රොබී සිටියේ නොමනාපයෙනි. ඔහු හිස දෙපසට වැනී ය.

"අනේ රොබී මම ඔයා හොරෙන් බැලුවා කියලා බොරුවට නේ කිව්වේ. මාව අරගෙන යන්න කෝ."

රොබී ගේ සිත වෙනස්‌ කිරීම ඒ තරම් පහසු නො වී ය. ඔහු අහස දෙස බලා පෙරටත් වඩා දැඩි ලෙසින් හිස දෙපසට වැනී ය.

"අනේ රොබී මාව අරගෙන යන්න කෝ" ඇය ඔහු ගේ ගෙළ වටා අත යවා ඔහු තදින් වැළඳගත්තා ය. ඉන්පසු එක්‌වර ම අදහස වෙනස්‌ කරගෙන ඇය ඔහු ගෙන් ඈත් වූවා ය.

"ඔයා මාව අරන් ගියේ නැත්තම් මම අඩනවා". ඇය ඊට මුල පුරන්නට මෙන් මුහුණ සකස්‌ කරමින් කීවා ය."

රොබී ගේ ලෝහමය හදවත එවර ද උණු වූයේ නැත. ඔහු තුන්වැනි වරටත් තම හිස දෙපසට වැනී ය. අන්තිම තුරුම්පුව යෙදීමට අවශ්‍ය අවස්‌ථාව එළඹ ඇති බව ඇය තීරණය කළා ය.

"ඔයා මාව අරන් ගියේ නැත්තම් මම ආයේ කතන්දර කියලා දෙන්නේ නැහැ එක ම එක කතාවක්‌ වත්"

රොබී එක්‌ වර ම කොනදේසි විරහිත ව ම අවනත වී ලෝහමය බෙල්ලෙන් හඩක්‌ පිට වන තරම් ම වැරෙන් හිස වැනී ය. ඔහු ඇය පරිස්‌සමෙන් ඔසවා තම පුළුල් උරහිස මත හිඳුවාගත්තේ ය.

ග්ලෝරියා ගේ ඇස්‌වල වූ කදුළු ඉක්‌මනින් ම වියළී ගියේ ය. ඇය ප්‍රීතියෙන් පිනා ගොස්‌ තිබිණි. අධි ප්‍රතිරෝධී දඟර මගින් අංශක 70ක නියත උෂ්ණත්වයක පවත්වාගෙන තිබුණු රොබී ගේ යකඩ සම ඇයට ගෙන දුන්නේ සුවදායක හැඟීමකි. ඇගේ පාද රොබී ගේ යකඩ පපුවේ රිද්මයකට අනුව වැදීමෙන් නැඟුණු හඩ ද ඊට එක්‌කරේ චමත්කාරයකි.

"රොබී ඔයා අහස්‌ නැවක්‌. ලොකු රිදී පාට නැවක්‌. ඔයාෙරැa අත්දෙක දික්‌ කරගෙන ඉන්න." ග්ලෝරියා රොබෝ ගේ හිස කරකවා දකුණු දෙසට ඇල කළා ය. ඉන් පසු ඇය අහස්‌ නැවේ ගමනේ දී ඇති වන ශබ්දයන් ද අනුකරණය කළා ය.

ඔහු කෙත් යාය පසු කර වේගයෙන් ගමන් කොට එහි අනෙක්‌ පැත්තේ වූ තණබිම මත йණික ව නතර කළේ ය. ග්ලෝරියා කෑගසමින් තණබිම මතට වැටුණා ය.

"එක නම් හරි ම හොඳ ගමනක්‌." ඇය හති දමමින් ම කීවා ය.

රොබී ඇගේ විඩාව මඳක්‌ සන්සිෙදන තෙක්‌ සිට ඇය ගේ කෙස්‌ ගස්‌ කීපයකින් අල්ලා සෙමින් ඇද්දේ ය.

"ඔයාට මොනවා හරි ඕනෙ ද?"

ඔහු කෙස්‌ගස්‌ තවත් තද කර ඇද්දේ ය.

"මට තේරුණා ඔයාට කතාවක්‌ අහන්න ඕනෙ නේ ද?" රොබී වේගයෙන් හිස වැනුවේ ය.

"කොයි කතාව ද?"

රොබී ඔහු ගේ ඇඟිල්ලකින් අර්ධ වෘත්තාකර කොටසක්‌ අහසේ සලකුණු කළේ ය.

"ආයෙත් සැරයක්‌? මම ඔයාට සින්ඩරැල්ලා ගේ කතාව සිය පාරකටත් වැඩිය කියල තියනවා නේ. ඒක බබාල ගේ කතාවක්‌ නේ. ඇත්තට ම ඔයාට ඒක අහලා අහලා ම එපා වෙන්නෙ නැද්ද?"

තවත් අර්ධ වෘත්තාකාර කොටසක්‌ සලකුණු විය.

"හා කමක්‌ නැහැ තවත් සැරයක්‌ කියන්නම් කෝ." ඇය කතාවට අවශ්‍ය කරුණු මනසින් ගලපාගනිමින් රොබී දෙස බැලුවාය.

"ඔයා ලෑස්‌ති ද කතාව අහන්න? හරි ඔන්න එකමත් එක රටක හිටියා එලා කියලා ලස්‌සන ගැහැනු ළමයෙක්‌. එයාට හිටියා නපුරු කුඩම්මා කෙනෙක්‌. ඒ කුඩම්මාට හිටියා කැත ම කැත නපුරු දුවලා දෙන්නෙක්‌. එක දවසක්‌....."

ග්ලෝරියා, කතාවේ හොඳ ම කොටස කියමින් සිටියා ය. මධ්‍යම රාත්‍රිය එළඹ තිබිණි. රොබී නොඉවසිලිමත් ව දිදුලන දැස්‌ විදහාගෙන කතාවට සවන් දෙමින් සිටියේ ය.

"ග්ලෝරියා" එක්‌වර ම හදිසියේ ඇසුණු හඩකින් ඊට බාධා විය. එය එක්‌ වරක්‌ නො ව කිහිප වරක්‌ ම කතා කොට, ඉවසීමේ සීමාව ඉක්‌මවා යන්නට ආසන්න ව නිකුත් වූ හඩක්‌ විය.

"අම්මා මට කතා කරනවා." ග්ලෝරියා පැවසුවේ එතරම් සතුටකින් නො වේ.

"රොබී, ඔයා මාව ගෙදරට අරන් ගියොත් හොඳයි."

රොබී ඊට කැමැත්තෙන් ම ඉදිරිපත් විය.

වෙස්‌ටන් මහත්මියට කිසිදු පැකිළීමකින් තොර ව අවනත වීම වඩාත් සුදුසු බව ඔහු තීරණය කර තිබිණි. ග්ලෝරියා ගේ පියා ඉරිදා දිනවල හැර, දිවා කලයේ ගෙදර සිටියේ කලාතුරකිනි. ඔහු ප්‍රසන්න, කරුණු හරිහැටි තෝරාගත් ප්‍රසන්න පුද්ගලයෙක්‌ විය. එහෙත් ග්ලෝරියා ගේ මව, රොබීට හිසරදයක්‌ ව පැවැති අතර ඇය දුටු වහා ම එතැනින් ඉවත් ව යැමට ඔහු පුරුදු වී සිටියේ ය. ඔවුන් දෙදෙනා තණ පියසින් නැඟිට්‌ටාට පසු වෙස්‌ටන් මහත්මිය නිවස තුළට ගොස්‌ ඔහුන් එන තුරු රැඳී සිටියා ය.

"ග්ලෝරියා, කෑගහලා, කෑගහලා දැන් මගේ කටත් රිදෙනවා. කොහේ ද ගියේ?"

"මම රොබී එක්‌ක හිටියේ. මම එයාට

සින්ඩරැල්ලා කතාව කිය කියා හිටියේ. රෑ කෑම වේලාව ගැනත් අමතක වුණා." ග්ලෝරියා තතනමින් කීවා ය.

"රොබීට වත් ඒක මතක්‌ නො වුණු එකයි

වැරැද්ද රොබී, යන්න ගේ ඇතුළට. එයාට දැන් ඔයාව අවශ්‍ය නැහැ. මම කතා කරන කල්, මේ පැත්තට වත් එන්න ඕනෙ නැහැ. තේරුණා ද?" ඇය රොබී දෙස බලා තර්ජනාත්මක ස්‌වරයකින් පැවසුවා ය.

රොබී ආපසු යැමට සැරසුණත්, ග්ලෝරියා නිදහසට කරුණු කියමින් කළ කන්නලව්ව නිසා මඳක්‌ නැවතිණි.

"අනේ අම්මේ රොබීට යන්න කියන්න එපා. මට එයාට සින්ඩරැල්ලා කතාවේ ඉතිරි කොටස කියන්න තියෙනවා."

"ග්ලෝරියා·"

"අනේ ඇත්තමයි, අම්මේ, එයා අතන පුටුවේ ඉඳගෙන කිසි ම සද්දයක්‌ නො කර ඉඳී වි නේ ද රොබී?"

ඇය රොබී දෙස ද බලා කීවා ය. රොබී ඔහු ගේ හිස ඉහළට හා පහළට වැනුවේ ය.

"ග්ලෝරියා, ඔයා මේ නාඩගම් නැවැත්තුවේ නැත්නම් තව සතියක්‌ යනකම් ඔයාට රොබීව දකින්න ලැබෙන එකක්‌ නෑ තේරුණා ද?"

ග්ලෝරියා ගේ දැස්‌ බිමට යොමු විණි.

"සින්ඩරැල්ලා තමයි එයා ආස ම කතාව. මට එක ඔක්‌කොම කියලා ඉවර කරන්නත් බැරි වුණා. එයා හුඟක්‌ ම ආසයි ඒ කතාවට."

රොබී සැනසිලි සුවයකින් තොර ව ම පිට වී ගියේ ය. ග්ලෝරියා ඉකිබිඳුම ආයාසයකින් මැඩපවත්වාගත්තා ය.

ттттттттттт

අසිසෙක්‌ ඇසිමෝව්ගේ' "රොබී" නම් විද්‍යා ප්‍රබන්ධය ඇසුරෙනි.

අනුවාදය

අමල් වික්‍රමසූරිය