logo3.gif (702 bytes)

HOME


ක්‌වොන්ටාවේ කතාව 29
යථාර්ථයට එරෙහි වූවන්ට ජය

"නිදිවර්ජිත රාත්‍රියේ උදැසන එක්‌ වර ම ඔහුට අයින්ස්‌ටයින් ගේ චිත්ත පරීක්‌ෂණයේ ඇති වරද පෙනී ගියේ ය. අයින්ස්‌ටයින් ගේ ම සාධාරණ සාපේක්‌ෂතාවාදය ඔහු ගේ ම මේ චිත්ත පරීක්‌ෂණයේ දී හරහට සිට ඇති බව බෝර් ගේ සුවිශේෂී බුද්ධියට පෙනී ගියේ ය. අයින්ස්‌ටයින් නිරුත්තර විය. තමා ගේ විශිෂ්ටතම නිර්මාණය දැන් තමන්ට ම පාරාවළල්ලක්‌ වී ඇත. හෙතෙම පරාජය පිළිගත්තේ ය. "අපි තරගය ජයගත්තා. අපි සියල්ලෝ ම සතුයෙන් ඉපිල ගියා" හයිසන්බර්ග් පසු ව කීවේ ය.

ඒ 1930හේ ඔක්‌තෝබර් මාසයයි. හයවැනි සොල්වේ සම්මන්ත්‍රණ ශාලාව පිරී තිබිණි. සියල්ලන් ඇස පිය නො හෙළා බලා සිටිය දී අයින්ස්‌ටයින් සිය නවතම චිත්ත පරීක්‌ෂණයෙන් බෝර්ට දමා ගැසුවේ ය. බෝර් ගල් ගැසිණි. මීට පෙර ඔහු අයින්ස්‌ටයින්ගේ සියලු අභියෝග ඉක්‌මනින් ම බිඳ හෙළුවත් මෙවර නම් එය එසේ නො වේ. ඒ පරීක්‌ෂණය මෙසේ ය(

ආලෝකය පුරවා ඇති පෙට්‌ටියක්‌ ඇත (රූපය 1). එහි බර මුලින් මැනගනිමු. පෙට්‌ටියේ බිත්තියක කුඩා සිදුරක්‌ ඇති අතර සිදුර පියනකින් වසා ඇත. මේ පියන පෙට්‌ටිය ඇතුළේ ම ඇති ඔරලෝසුවකට සවි කොට ඇති අතර, යම් නිශ්චිත වේලාවක දී පියන විවෘත වී ක්‌ෂණයෙන් නැවත වැසී යන පරිදි සකසා ඇත. ඒ ක්‌ෂණික විවෘත වීමේ දී සිදුරෙන් එක්‌ ආලෝක ක්‌වොන්ටාවක්‌ පිට වූයේ යෑයි සිතමු. පියන විවෘත වී වැසී ගිය මොහොත දන්නා බැවින් ක්‌වොන්ටාව පිට වූ වේලාව ඕනෑ ම නිවැරැදිතාවකට දැනගත හැකි ය. අයින්ස්‌ටයින් විස්‌තර කරයි. බෝර් නො සන්සුන් වෙයි. දැන් නැවත පෙට්‌ටියේ බර කිරමු. එක්‌ ක්‌වොන්ටාවක්‌ පිට ව ඇති හෙයින් ශක්‌තිය ක්‌වොන්ටාවකින් අඩු වී ඇත. ඔහු ගේ ම E=mc2 අනුව ස්‌කන්ධය ද අඩු වී ඇත (E/C2කින්). මුල් බරෙහි සහ පසු බරෙහි වෙනසින් මේ අඩු වූ බරත්, එමගින් ස්‌කන්ධයත් ගණනය කළ හැකි ය. ස්‌කන්ධය දන්නා බැවින් දැන් E=mc2 න් ක්‌වෙන්ටාවේ ශක්‌තිය හරියට ම ගණනය කළ හැකි ය. කාලය ද දනිමු. එනම් නිශ්චිත කාලයක දී (මොහොතක දී) ආලෝක ක්‌වොන්ටාවේ ශක්‌තිය හරියට ම ගණනය කළ හැකි ය. එහෙත් අවිනිශ්චිතතා මූලධර්මයෙන් කියන්නේ කාලය හා ශක්‌තිය එක්‌ වර නො පවතින බව හෙවත් මොහොත නිවැරැදි වන විට ඒ මොහොතේ ශක්‌තිය වඩ වඩාත් අවුල් වේ යන්නයි.



බෝර්ට හෙණයක්‌ පතිත වූවාක්‌ මෙන් විය. අවිනිශ්චිතතා මූලධර්මයත්, කෝපන්හේගන් අර්ථකථනයත් කොටින් ම මුළු ක්‌වොන්ටම්වාදයත් බිඳ වැටී අවසන් යෑයි ඔහුට සිතිණි. හෙතෙම අයින්ස්‌ටයින් ගේ මුහුණ දෙස බැලුවේ ය. අයින්ස්‌ටයින් ගේ මුවගට සිනාවක්‌ නැගී තිබිණි. බෝර් ද පහසුවෙන් අත්හැරීමට සූදානම් වූයේ නැත. කෝපන්හේගන් අර්ථකථනය බේරාගැනීම සඳහා ඔහු ඒ මුළු රාත්‍රිය ම නිදි නැති ව වලිකෑවේ ය. උදෑසන එක්‌ වර ම ඔහුට අයින්ස්‌ටයින් ගේ චිත්ත පරීක්‌ෂණයේ ඇති වරද පෙනී ගියේ ය. අයින්ස්‌ටයින් ගේ ම සාධාරණ සාපේක්‌ෂතාවාදය ඔහු ගේ ම මේ චිත්ත පරීක්‌ෂණයේ දී හරහට සිට ඇති බව බෝර් ගේ සුවිසේෂී බුද්ධියට පෙනී ගියේ ය.

ශක්‌ති ක්‌වොන්ටාව පෙට්‌ටියෙන් නික්‌මෙන විට ගම්‍යතා සංස්‌ථිතික විය යුතු බැවින් සහ බර වෙනස්‌ විය යුතු බැවින් පෙට්‌ටිය චලිත වේ. එහි දී සිදු වන ශක්‌ති හානිය වැළැක්‌වීමට චලනයට ඉඩ තිබිය යුතු අතර ඉන් ශක්‌තිය හෙවත් ස්‌කන්ධයේ අවිනිශ්චිතතාව අඩු කෙරේ. එහෙත් මේ චලිතය නිසා පිහිටීම අවිනිශ්චිත වේ. අයින්ස්‌ටයින් ගේ ම සාධාරණ සාපේක්‌ෂතාවාදයට අනුව ගුරුත්වාකර්ෂණ ක්‌ෂේත්‍රයක සිරස්‌ ව චලිත වන විට කාලය මන්දනය වේ. එනම්( පිහිටීම හා කාලය සම්බන්ධ වී ඇති බැවින් පිහිටීමේ අවිනිශ්චිතභාවය කාලයේ අවිනිශ්චිතභාවක්‌ ජනිත කරයි. ශක්‌තිය නිවැරැදි ව මැනීමට යැමේ දී ඒ ශක්‌තිය පවතින කාල මොහොත අවිනිශ්චිත වේ. අවිනිශ්චිතතා මූලධර්මය නිවරැදියි. බෝර් දිගට ම විස්‌තර කළේ ය. අයින්ස්‌ටයින් නිරුත්තර විය. තමා ගේ විශිෂ්ටතම නිර්මාණය දැන් තමන්ට ම පාරාවළල්ලක්‌ වී ඇත. හෙතෙම පරාජය පිළිගත්තේ ය. 'අපි තරගය ජයගත්තා. අප සියල්ලෝ ම සතුටෙන් ඉපිල ගියා'. හයිසන්බර්ග් පසුව කීවේ ය.

දිගින් දිගට ම බෝර් හමුවේ වූ පරාජයන් ගෙන් පසු ව වුවත් අයින්ස්‌ටයින් වෙනස්‌ වූයේ නම් නැත. "ක්‌වොන්ටම් සිද්ධාන්තය සංගත විය හැකියි. එහෙත් එය අවසන් සත්‍යය නො වේ. අනාගතයේ දිනක නිරීක්‌ෂකයා ගෙන් තොර ව පවතින යථාර්ථයක්‌ සහිත පරිපූර්ණ සිද්ධාන්තයක්‌ (අයින්ස්‌ටයින්ට අනුව) මගින් ක්‌වොන්ටම්වාදය කුණු කුඩයට යනු නිසැක ය" ඔහු කීවේ ය. ඔහු ගේ අදහස ක්‌වොන්ටම්වාදය මගින් හඳුනා නො ගත් සැඟවුණු විචල්‍යයන් (Hidden Variables) තිබිය යුතු ය යන්නයි. උදාහරණයක්‌ ලෙස වායුවක පීඩනය, පරිමාව, උෂ්ණත්වය ඇති වීම සලකමු. මේ ගුණ අපට නො පෙනෙන වායු අණුවල අහඹු චලිතයේ ප්‍රතිඵලයක්‌ බව පෙන්වා දෙන ලදී. දැන් මේ අණුවල චලිතය අපට නො පෙනෙන සැඟවුණු විචල්‍යයකි. අයින්ස්‌ටයින් කියන්නේ තවමත් හඳුනාගැනීමට නොහැකි වූ සැඟවුණු විචල්‍යයක්‌ ක්‌වොන්ටම්වාදය පතුලේ ඇති බවයි. ඒ සැඟවුණු බලයන්, අංශු, තරංග හෝ වෙන යමක්‌ විය හැකි ය.

මූලික කොන්දේසි එක ම වුවත් සර්වසම විකිරණශීල පරමාණු දෙකක්‌ විකිරණ පිට කරන්නේ එක්‌ වර ම නො වන බව අපි දුටුවෙමු. එයට ඇත්තේ හුදු සම්භාවිතාවකි. එහෙත් අයින්ස්‌ටයින් කියන්නේ අප නො දන්නා යමක්‌, සැඟවුණු විචල්‍යයක්‌ හේතුවෙන් පරමාණු දෙකේ මූලික කොන්දේසි අපට නො දැනුණත් වෙනස්‌ බව ය. බැමුම, ගම්‍යතා, පිටීම්, කාල, ශක්‌ති ගුණ නිරීක්‌ෂණය අනුව වෙනස්‌ වන්නේ සැඟවුණු විචල්‍යය හේතුවෙනි. 'අප සර්වසම ලෙස දුටුවත්, ඒ ක්‌වොන්ටම් එකිනෙක වෙනස්‌' අයින්ස්‌ටයින් ගේ අදහස එයයි. එහෙත් කෝපන්හේගන් විවරණයෙන් කියන්නේ එවන් සැඟවුණු විචල්‍යයන් නැති බවයි. අයින්ස්‌ටයින්ට තවත් හිසරදයක්‌ වෙමින් කෝපන්හේගන් විවරණයට ගණිතමය සාධනයක්‌ 1932 වසරේ පළ විය. එය "නිව්මාන් සාධනය" වශයෙන් ප්‍රචලිත විය.

"ක්‌වොන්ටම් යාන්ත්‍රිකයේ ගණිතමය පදනම (Mathematical Foundations of Quantum Mechanics) නමින් පළ වූ ග්‍රන්ථයේ ඒ සාධනය ඉදිරිපත් විය. එහි කර්තෘ විසිවැනි සියවසේ විසූ විශිෂ්ටතම ගණිතඥයකු වූ ජෝන් වොන් නිව්මාන් ය (John von Neumann). 1903 වසරේ හංගේරියාවේ උපන් යුදෙව්වකු වූ නිව්මාන් බුඩාපේස්‌ට්‌, බර්ලින් හා ගොටින්ටන් විශ්වවිද්‍යාලයවල සිසුවෙකි. පසු ව ඇමෙරිකාවට සංක්‍රමණය වූ ඔහු අයින්ස්‌ටයින් සමඟ ප්‍රින්ස්‌ටන් සරසවියේ මහාචාර්යවරයෙක්‌ විය. කුලකවාදය, ගණිතයේ සම්භාවිතාව වැනි විෂයයන්වල ඔහු ගේ මුල් ම නිර්මාණ බිහි විය. ඊළඟට ක්‌වොන්ටම් ලෝකයට අතගැසූ ඔහු ක්‌වොන්ටමයක අවස්‌ථාවක්‌ (State) අපරිමිත මාන ප්‍රමාණයක්‌ සහිත වූ හිල්බට්‌ දෛශික අවකාශයේ දෛශිකයකින් නිරූපණය කළේ ය. ප්‍රථම පරමාණු බෝම්බය තැනූ මෑන්හැටන් ව්‍යාපෘතියේ දී ප්ලුටෝනියම් බෝම්බය තැනීමේ තීරක කාර්යයක්‌ ද ඔහු සිදු කළේ ය. එහි දී පරමාණු බෝම්බයෙන් විය හැකි විනාශය ද තක්‌සේරු කරන ලද්දේ ඔහු විසිනි. ගණිතය, භෞතික විද්‍යාව පමණක්‌ නො ව, ආර්ථික විද්‍යාවේ සංකීර්ණ හැසිරීම් සඳහා ද ඔහු තැනූ ගණිත මාදිලි සුප්‍රසිද්ධ ය. එපමණක්‌ නො ව, බොහෝ කොටස්‌ සහිත පද්ධතියක්‌ එහි යාබද කොටස්‌ අතර ඇති සරල නීති කිහිපයක්‌ මගින් පරිණාමය වන අයුරුත් ඉන් ඇතැම් විට පද්ධතියට අලුත් ම ගුණ පහළ වන අයුරුත් ඔහු අසන්තතික ගණිත මාදිලි මගින් මුල් වරට විස්‌තර කළේ ය. ඒ, නූතන සංකීර්ණ පද්ධති විද්‍යාවේ (Complex Science) ප්‍රධාන අංගයකි. එහෙත්, ඔහු වැඩි ම ප්‍රසිද්ධිය උසුලන්නේ නූතන පරිගණකයේ වාස්‌තු විද්වතා ලෙස ය. දෘඪාංග වෙනස්‌ කිරීම වෙනුවට මෘදුකාංග භාවිත කළ හැකි බව මුලින් ම පෙන්වා දුන් ඔහු තොරතුරු හා ක්‍රමලේඛය එක ම මතකයක පවත්වාගනිමින් එකකින් අනෙක වෙනස්‌ කළ හැකි බව පෙන්වා දුන්නේ ය. "ලෝකයේ මිනිස්‌සු වර්ග දෙකක්‌ සිටිති. එක්‌ වර්ගයක්‌ වොන් නිව්මාන් ය. අනෙක්‌ වර්ගය නම් ඔහු හැර අප සියල්ල ම ය." නොබෙල් ත්‍යාගලාභී භෞතික විද්‍යාඥ ඉයුජින් විග්න වරක්‌ කීවේ ය.

ඉලෙක්‌ට්‍රොaන වැනි ක්‌වොන්ටම්වලට අපෙන් තොර වූ පැවැත්මක්‌ හෙවත් යථාර්ථයක්‌ ඇතැ යි උපකල්පනය කරමු (සැඟවුණු විචල්‍යය ද මෙයට අදාළ වේ). එනම් අප මැන්නත්, නැතත් ක්‌වොන්ටම්වලට නිශ්චිත ව ම පිහිටීම, ප්‍රවේගය, කාලය, ශක්‌තිය වැනි ගුණ පවතී. එම උපකල්පනය සත්‍යය නම් ක්‌වොන්ටම්වාදයෙන් කියන ආකාරයේ හැසිරීමක්‌ ඉලෙක්‌ට්‍රොaන හෝ අනෙක්‌ ක්‌වොන්ටම්වලට තිබිය නොහැකි බව නිව්මාන් ගණිතමය වශයෙන් සාධනය කළේ ය. එනම් ක්‌වොන්ටම් නිරීක්‌ෂණයන්වල ප්‍රතිඵල වෙනස්‌ විය යුතු ය. එනම් යාථාර්ථය උපකල්පනය කොට පුරෝකථනය කරන ක්‌වොන්ටම්වල හැසිරීම සැබෑ නිරීක්‌ෂණ සමඟ ගැළපෙන්නේ නැත. සැබෑ නිරීක්‌ෂණ ක්‌වොන්ටම්වාදය මඟින් නිවැරැදි ව ම පැහැදිලි කරයි. එනම්( වාස්‌තවික යථාර්ථය සහ ක්‌වොන්ටම්වාදය එකිනෙක විසංවාදී වේ. තවත් ආකාරයකට කියන්නේ නම් ක්‌වොන්ටම්වාදයේ සැඟවුණු විචල්‍යයන් තිබිය නොහැකි බව ය. සැඟවුණු විචල්‍යය ඇත්නම් නිරීෂණ ප්‍රතිඵල රටාවන් වෙනස්‌ විය යුතු ය. කිසිවකුටත් නිව්මාන් ගැන සැකයක්‌ නැත. බෝර් සතුටෙන් ඉපිල ගියේ ය. අයින්ස්‌ටයින් කඩා වැටුණේ ය. එහෙත් නිව්මාන් ගේ එක්‌ අඩුපාඩුවක්‌ ද තිබූ බව කිසිවකු දැන සිටියේ නැත.

ලබන සතියේ : 30 කොටස : ක්‌වොන්ටම්වාදය අසම්පූර්ණ ද?

සමිත ප්‍රසන්න හේවගේ